Sunday, May 29, 2016

පළමු ලෝක යුද්ධය​: වර්ඩුන් සහ සෝම්

1916 වසරේදී බටහිර පෙරමුණෙහි සටන් පිළිබඳ වචන දෙකකින් විස්තර කළ හැක​. එනම් වර්ඩුන් සහ සෝම් යන වචන දෙකෙනි. පළමු ලෝක යුද්ධය පුරාවට බටහිර පෙරමුණෙහි සිදු වූ දැවැන්තම සටන් දෙක ලෙස වර්ඩුන් සහ සෝම් සැළකිය හැක​.

1915 වසරේදී රුසියාවේදී ලද ජයග්‍රහණයන් හේතුවෙන්, 500,000 ක පමණ සේනාංක බටහිර පෙරමුණ වෙත එවීමට ජර්මනියට හැකියාව ලැබිණ​. ඔවුනගේ අභිප්‍රාය වූයේ 1916 වසරේ මුල දී, එනම් සීත කාළය නිමාවෙන් පසු, බටහිර පෙරමුණට දරුණු ප්‍රහාරයක් එල්ල කර මිත්‍ර පාක්ෂික හමුදාවන්ට හැකි තරම් හානි සිදු කිරීමටය​.

ජර්මන් හමුදා කාර් ය මණ්ඩල ප්‍රධානී ජෙනරාල් එරික් ෆොන් ෆොල්කන්හේන් (Erich von Falkenhayn) වර්ඩුන් ප්‍රදේශයට පහර දීමට තීරණය කළේ එම ප්‍රදේශයේ උපක්‍රමික වැදගත්කම මෙන්ම ප්‍රංශ ජාතිකයින්ට එහි වූ සංකේතාත්මක වැදගත්කම ද සළකා බලමිනි. වර්ඩුන් ප්‍රදේශය දැඩි ආරක්ෂක විධිවිධාන පනවා ශක්තිමත් කරන ලද ප්‍රදේශයක් විය​. එකළ පැවති යුධ උපක්‍රමය අනුව​, සතුරාගේ ප්‍රබලම ස්ථානයට පහර දී දැඩි අලාභහානි පැමිණවීම ආක්‍රමණික හමුදාවේ අරමුණ වූයේය​.
Map of the Western Front, 1915-1916 (History Department of the US Military Academy - West Point)

ජර්මන් හමුදා වර්ඩුන් ප්‍රදේශයට පහර දීමට පිඹුරුපත් සකසද්දී මිත්‍ර හමුදා ද සෝම් නදී ප්‍රදේශයට පහර දීමේ සැලසුම් සකස් කරමින් සිටියෝය​. නමුත් ඔවුනගේ සැලසුම් ක්‍රියාත්මක වීමට තිබුණේ ගිම්හානයේදී ය​.

ජර්මන් හමුදා ඊට පෙර සිය ප්‍රහාර ඇරඹූහ​. මිත්‍ර හමුදාවල​, වෙසෙසින්ම වර්ඩුන් හා ඒ අවට වූ ප්‍රංශ හමුදාවල දැඩි ප්‍රහාර මධ්‍යයේ දහස් ගණනින් සෙබලුන් අහිමි වද්දීද ඔවුහු සිය හමුදා ඉදිරියට මෙහෙයවූහ​. සටන් අරඹා සිව් දිනකින්, එනම් පෙබරවාරි 21 වනදා ජර්මන් හමුදාවෝ ඩෝඅමොන් බලකොටුව අල්ලාගත් හ​.

වර්ඩුන් සටන් බිමෙහි ප්‍රංශ හමුදා අණ දෙන නිලධාරියා ලෙස පත් කළ ජෙනරාල් ෆිලිප් පෙටේන් ගේ මූලික උපක්‍රමය වූයේ වෙඩි බලය මඟින් ප්‍රතිවාදියා මැඩීමය​. ප්‍රංශ හමුදා විසින් එල්ලකළ දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයන් හමුවේ ජර්මන් හමුදා ඉදිරියට ගියේ විශාල ජීවිත හානි ද සමගිනි. මේ අතර මාර්තු 22 වනදා හාර්කෝර්ට් බලකොටුව ද ඉන් සතියකට පසු මෙලන්කෝර්ට් බලකොටුව ද ජර්මානුන් විසින් අල්ලාගන්නා ලදී.

කෙසේ වෙතත් වර්ඩුන් නගරය අල්ලාගැනීමට ඔවුහු තවමත් සමත් නොවූහ​.

අප්‍රේල් මාසය වනවිට ප්‍රදේශයට ඉහළ අහසේ ගුවන් බලය තමන් සතු කර ගැනීමට ප්‍රංශය සමත් වීම යම් වැදගත්කමකින් යුතු සිද්ධියක් වූයේය​. ජුනි මාසයේදී ජර්මානුන් විසින් වෝ බලකොටුව ඇතුලු තවත් බලකොටු කිහිපයක් අල්ලාගන්නා ලද නමුත්, තවමත් වර්ඩුන් නගරය තිබුණේ ප්‍රංශ හමුදා අත ය​.

ජුලි 1 වනදා බ්‍රිතාන්‍යයන් විසින් සෝම් නදී සංග්‍රාමය අරඹන ලදී. ජර්මානු හමුදා සේනාංක සමහරක් එම ප්‍රදේශයට මාරු කර යැවීමට සිදු වූයෙන් වර්ඩුන් දෙසට වන ජර්මන් ප්‍රහාර මඳක් අඩු විය​. මේ අතර අගෝස්තු-දෙසැම්බර් මාසවල ප්‍රංශ හමුදා ප්‍රති ප්‍රහාර එල්ල කරමින් තමන්ට අහිමි වූ ප්‍රදේශ කෙමෙන් කෙමෙන් යළි අල්ලාගත් හ​. වර්ඩුන් හි නව අණ දෙන නිලධාරී ජෙනරල් රොබර්ට් නිවෙල් බලකොටුවෙන් උතුරු දෙසට ප්‍රහාරයක් දියත් කළේය​. සැප්තැම්බර් 24 වනදා ප්‍රංශ හමුදා ඩෝඅමොන් සහ තියොමොන් බලකොටුවලින් එළවා දමන ලදී. නොවැම්බරය වනවිට ඔවුනට වෝ බලකොටුව ද අහිමි විය​.

සෝම් නදී සංග්‍රාමය ආරම්භ වූ 1916 ජූලි 1 වනදා බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ අඳුරු දිනයකි. බ්‍රිතාන්‍ය හමුදා බලාපොරොත්තු වූයේ දරුණු කාලතුවක්කු ප්‍රහාරවලින් ජර්මන් යුධ අගල්වල සිටින සෙබලුන්ට ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදු කර​, එම අගල් අල්ලා ගැනීමය​. මෙම සැලසුමට අනුව ජූලි 1 වනදා හිමිදිරියේ පටන් පැය කිහිපයක් යනතුරු දරුණු කාලතුවක්කු ප්‍රහාරයක් ජර්මන් ආරක්ෂක අගල් වෙත එල්ල කරන ලදී. ඉනික්බිති බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සේනා සිය පාබල හමුදා මගින් අගල් අල්ලා ගැනීමට උත්සාහ කළහ​.

සටන් පෙරමුණේ ඇතැම් ප්‍රදේශවල මෙම ප්‍රහාරය සාර්ථක වූ නමුත් බ්‍රිතාන්‍යයින් විසින් පහර දෙන ලද එක් කොටසකදී සිදු වූයේ බලාපොරොත්තු නොවූවකි. කාලතුවක්කු ප්‍රහාරවලින් ආරක්ෂා වී සිටි ජර්මන් හමුදා බ්‍රිතාන්‍ය පාබල සේනාංක සිය ප්‍රහාරය දියත් කරද්දී ප්‍රති ප්‍රහාර එල්ල කළේ බලාපොරොත්තු නොවූ අයුරිනි. බ්‍රිතාන්‍යයින් ද කිහිප විටක්ම පහර දුන් නමුත් ඒ සෑම විටෙකදීම ඔවුනට පහර දෙන ලදී. මෙම ප්‍රහාරයට ලක් වූ බ්‍රිතාන්‍ය හතරවැනි හමුදාවේ 55,000 ක්ට වැඩි පිරිසක් එදින මිය ගියහ​; නැතහොත් තුවාල ලදහ​.

සෝම් නදී සංග්‍රාමය නොවැම්බරය කරා ඇදී ගිය අතර එහිදී මිත්‍ර හමුදා විසින් වර්ග කිලෝමීටර 325 ක් පමණ අල්ලාගන්නා ලදී.

මෙම සටන අතරවාරයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් නම් අලුත් යුධ ආයුධයක් ලෝකට හඳුන්වා දීමය​. 1916 සැප්තැම්බර් 16 වනදා කෝර්සලේ ප්‍රදේශයේදී කරළියට පැමිණි මේ ආයුධය නම් යුධ ටැංකියයි.

කළින් ලිපිය​: ගැලිපොලි සහ තුර්කි සටන්

6 comments: