Tuesday, March 1, 2016

විදේශ අමාත්‍යාංශය ප්‍රතිව්‍යුහගත කිරීමට සිංගප්පූරුවේ සහය​

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිව්‍යුහගත​ කිරීම සඳහා සිංගප්පූරුවේ උපදෙස් ලබා දීමට නියමිත බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය පෙබරවාරි 29 වනදා ප්‍රකාශ කළේය​.

එහි ප්‍රකාශකයකු සිංගප්පූරුවේ චැනල් නිව්ස් ඒෂියා ආයතනය සමඟ කියා සිටියේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙහි ධාරිතා-සංවර්ධනය (capacity-building) කෙරෙහි සිංගප්පූරු සහය ලැබෙනු ඇති බවය​.
මංගල සමරවීර සහ විවියන් බාලක්‍රිෂ්නන් හමුව (නොවැ. 2015)

පසුගිය ජනවාරියේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සඳහා සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය විසින් දින දෙකක පුහුණු සැසියක් පවත්වන ලද බවත් එහිදී සැලසුම්කරණය​, මානව සම්පත් සහ පුහුණුව පිළිබඳ අවධානය යොමු කළ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය​.

කෙසේ වෙතත්, සිංගප්පූරුව විසින් ශ්‍රී ලංකාව වෙත උපදේශනය ලබා දෙන අතර, එම  නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීරණ ගනු ලබන්නේ ශ්‍රී ලංකාව විසින් බව එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය​.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගිය වසරේ සිංගප්පූරු සංචාරයක් අතරතුර සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට මෙසේ සහය දක්වන බව සිංගප්පූරු විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment