Saturday, December 5, 2015

පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

1914 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හන්ගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමඟ පළමු ලෝක යුද්ධයේ ආරම්භය සනිටුහන් වූ අතර දින කිහිපයක් තුළදී ජර්මනිය සහ ඔස්ට්‍රා-හන්ගේරියාව එක් පාර්ශවයකත්, බ්‍රිතාන්‍යය​, ප්‍රංශය, බෙල්ජියම​, සර්බියාව​, රුසියාව යන රටවල් අනෙක් පාර්ශවයත් වශයෙන් බෙදී එකිනෙකා හා කුළල් කා ගැනීම ඇරඹිණ​. පසුව මෙම රටවල් අතරට තවත් බොහෝ රටවල් එක් වූ අතර​, ජර්මනිය ඇතුලු පාර්ශවය මධ්‍ය බලවතුන් ලෙසත්, අනෙක් පාර්ශවය මිත්‍ර පාර්ශවය ලෙසත් සළකණු ලැබේ.

ඔස්ට්‍රා-හන්ගේරියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළ සැණින්, සිය ස්ලාව් ජාතික මිත්‍රයා වෙනුවෙන් ඉදිරිපත් වූ රුසියාව​, ඔස්ට්‍රා-හන්ගේරියාවට එරෙහිව හමුදා ජංගමගත කිරීම ඇරඹුවේය​. ජූලි 30 වනදා රුසියාව ජර්මනියට එරෙහිවද හමුදා ජංගමගත කිරීම ඇරඹීය​. මෙම ක්‍රියාව නවතන ලෙස ජර්මනිය රුසියාවට කියා සිටි නමුත්, එම අනතුරු ඇඟවීම බලාපොරොත්තු වූ පරිදිම නොසළකා හරින ලදී. අගෝස්තු 1 වනදා රුසියාවට එරෙහිව ජර්මනිය යුධ ප්‍රකාශ කළේය​.

බටහිර පෙරමුණෙහි යුධ තත්ත්වයක් සඳහා ජර්මන් යුධ සැලසුම ෂ්ලීෆන් සැලසුම (Schlieffen Plan) නම් විය​​. එම සැලසුම අනුව ජර්මන් හමුදා බෙල්ජියම හා ලක්සම්බර්ග් හරහා විදුලි වේගයෙන් ප්‍රංශයට කඩා වැදිය යුතු විය​. මෙහිදී ජර්මනිය. යුරෝපා බලවතුන් අතර වූ එකඟතා ගිවිසුමක් උල්ලංඝනය කිරීමට නියමිතව තිබිණ​.

1839 දී යුරෝපා රටවල් බෙල්ජියමේ මධ්‍යස්ථභාවය පිළිබඳ එකඟතා ගිවිසුමකට පැමිණියහ​. මේ ගිවිසුම යුරෝපා රටවල් විසින් මහත් ඉහළින් සලකන ලදී. ඒ කෙතෙක්දැයි කිවහොත්, 1870 දී ප්‍රංශ​-ප්‍රශියා යුධ සමයේදී, ප්‍රශියානු හමුදා ප්‍රංශය ආක්‍රමණය කළේ ඇල්සාස් හරහා වූ වඩා දුෂ්කර මාර්ගය ඔස්සේය​.

අගෝස්තු 1 වනදා ජර්මනිය ප්‍රංශයෙන් මධ්‍යස්ථභාවය පිළිබඳ සහතිකයක් ඉල්ලා සිටියේය​. මක් නිසාද යත්, රුසියාවට යුධ ප්‍රකාශ කළ විට ඊට එරෙහිව ප්‍රංශය ඉදිරිපත් වන බව දැන හුන් හෙයිනි. ප්‍රංශය​, ජර්මනියේ මෙම ඉල්ලීම සැළකුවේ නැත​. ජර්මනිය අගෝස්තු 2 වනදා ලක්සම්බර්ග් වෙත හමුදා යවා අගෝස්තු 3 වනදා ප්‍රංශයට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​.

මේ අතර​, ජර්මනිය​, බෙල්ජියම හරහා සිය හමුදා යැවීමට අවසර ඉල්ලූ නමුත්, බලාපොරොත්තු වූ පරිදිම එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූයෙන්, බෙල්ජියමට එරෙහිව යුද්ධයට බටහ​. මෙහි ප්‍රතිපලය වූයේ බ්‍රිතාන්‍යය අගෝස්තු 4 වනදා ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමයි.

ආරම්භයේදී මධ්‍ය බලවතුනට සිදුවූ එක් වරදක් නම් රටවල් දෙක අතර උපක්‍රමික අනවබෝධයයි. ජර්මනිය ප්‍රංශයට කඩා වදිද්දී, රුසියාව පිළිබඳ ඔස්ට්‍රියා-හන්ගේරියාව විසින් අවධානය යොමු කෙරෙනු ඇතැයි එරට බලාපොරොත්තු විය​. එනමුත් ඔස්ට්‍රියාව වඩා අවධානය යොමු කළේ සර්බියාව දෙසටය​. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා පෙරමුණු දෙකකට කැඩීමය​.

මේ අනුව ඔස්ට්‍රා - හන්ගේරියාවට සර්බියානු සටන් පෙරමුණට එවිය හැකි වූයේ 300,000 කට මඳක් වැඩි හමුදාවක් පමණි. සර්බියානු ආක්‍රමණය මෙහෙයවීම භාර වූයේ ජෙනරාල් ඔස්කාර් පොටියොරෙක්ට ය​.

පොටියොරෙක් විචිත්‍රවත් පුද්ගලයකු වූයේය. 1911 සිට බොස්නියා හර්සගොවිනාවේ ආණ්ඩුකාරයා වූ හෙතෙම 1914 ජූනි 28 වනදා ආච්‍ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය වූ අවස්ථාවේ එම රථයේ සිටියේය​. ඇතැම් වාර්තා අනුව​, ඝාතකයා වූ ගැව්රිලෝ ප්‍රින්සිප් පසුව ප්‍රකාශ කළේ ආච්ඩියුක්වරයාගේ බිරිඳ වූ සොෆීට වැදුණ වෙඩිල්ල ඇත්තෙන්ම තබන ලද්දේ පොටියොරෙක් වෙත බවයි.

ජර්මන් යුධ සැලැස්ම​

යුරෝපයේ මධ්‍යගතව වූ ජර්මනියේ පිහිටීම එරටට වාසි අවාසි දෙකම ගෙන ආවේය​. එක් අතකට එමගින් දෙපසින් වන ප්‍රතිවාදීන්ට එරට විවෘත වූ අතර දිගු කාලීන යුද්ධයකදී එය අවාසිදායක වීමට ඉඩ තිබිණ​. අනෙක් අතට ප්‍රතිවාදී රටවල් දෙකේ හමුදාවලට එක්ව, එක පසකින් ජර්මනියට පහරදීමේ හැකියාව නොවීය​. තව ද ජර්මන් දුම්රිය මාර්ග ඉතාම සැළකිල්ලෙන් යුතුව තනා තිබුණි. එම මාර්ග තැනීමේදී හමුදාවේ අනුමැතිය ද ලබාගත යුතු වූයේය​. මේ අනුව ජර්මන් හමුදාවට යුධ සමයකදී සිය පිරිස් ප්‍රවාහනය කිරීම සඳහා මනා දුම්රිය මාර්ග ජාලයක් නිර්මාණය වී තිබුණි. මීට සාපේක්ෂව රුසියාවේ පැතැතියේ ඉතාම ප්‍රාථමික මට්ටමේ ගමනාගමන පහසුකම් ය​.

1871 දී ප්‍රංශ - ප්‍රශියානු යුද්ධය අවසන් වූ පසු ජර්මන් අධිරාජ්‍යයේ යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හෙල්මුත් ෆොන් මෝල්ට්කේ (වැඩිමහලු) ප්‍රංශය සහ රුසියාව යන දෙරටටම එරෙහිව යුද්ධයක් සඳහා සැලසුමක් සූදානම් කළේය​. යම් හෙයකින් එම දෙරට සමඟම ජර්මනියට යුද්ධ කිරීමට සිදු වුවහොත් එහි ඇති අපහසුව ඔහු තේරුම් ගත්තේය​. පෙරමුණු දෙකක සටන් කිරීම සඳහා ජර්මනියට අවශ්‍ය සම්පත් සහ පිරිස් බලය ප්‍රමාණවත් නොවන බව ඔහු දැන සිටියේය​. නමුත් එම රටවල් දෙක දෙපසක පැවතීම නිසා මුලින් එක් රටකට පහර දී එය අඩපණ කොට ඉන් පසු අනෙක් රට දෙස හැරීමට ඔහු අදහස් කළේය​.

මෝල්ට්කේගේ අදහස වූයේ රුසියාවට මුලින්ම පහර දී එරට අඩපණ කොට ඉන් පසු ප්‍රංශය දෙස අවධානය යොමු කිරීමය​. මේ අනුව දෙරටින් එකක්වත් සිය හමුදා ජංගමගත කිරීමට පෙර රුසියාවට පහර දෙන ජර්මනිය එරටට දරුණු ලෙස පහර දී, ඉන් පසු එම පෙරමුණේ හමුදාවලින් කොටසක් ද ප්‍රංශය වෙත යැවිය යුතු විය​. ඉන් පසු ප්‍රංශයට කඩා වැදිය යුතු විය​. ඒ බෙල්ජියම හරහා ය​.

1891 දී මෝල්ට්කේගේ තනතුරට පත් ජෙනරල් ඇල්ෆ්‍රඩ් ෆොන් ෂ්ලීෆන් වෙනස් කළේ මෙම සැළැස්මය​. නමුත් ෂ්ලීෆන් තීරණය කළේ මුලින්ම රුසියාවට පහර දීම අවදානම් බව ය​. රුසියාව විශාල බිම් ප්‍රදේශයකින් යුත් රටක් වීම ඊට හේතුව විය. ෂ්ලීෆන් සැලසුම් කළේ බෙල්ජියම සහ ලක්සම්බර්ග් හරහා ප්‍රංශයට කඩා වැදී, ප්‍රංශ - ජර්මන් දේශසීමා ආරක්ෂක බලකොටුවලට පසුපසින් පහර දීමට ය​. මේ අනුව ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශවල රැඳවිය යුතු වූයේ කුඩා සේනාංකයක් පමණි. මේ අතර රුසියානු ආක්‍රමණයකින් ආරක්ෂා වීම සඳහා නැගෙනහිර පෙරමුණේ හමුදා රැඳවිය යුතු වූ අතර ඔවුන් ආක්‍රමණකාරී නොවී ප්‍රතිවාදියාගෙන් සිය දේශසීමා ආරක්ෂා කිරීම පමණක් කළ යුතු විය​.

මෙහිදී ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශ මග හරිමින් බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදීමට තීරණය කිරීමේ හේතුව පැහැදිලි ය​. ඇල්සාස් - ලොරේන් ප්‍රදේශ ආශ්‍රිත ජර්මන් - ප්‍රංශ දේශසීමාවේ වැඩි කොටසක් කඳුකරය වූ අතර එහි වූ පටු පහත් බිම හරහා ජර්මන් හමුදා පැමිණියේ වී නම් ඒ සමඟම ඔවුන්ගේ මග ඇවිරීමට ප්‍රංශ බලකොටු කිහිපයක් ම විය​. මේ අනුව එම ප්‍රදේශයේ යුධ පෙරමුණ පටු මෙන්ම බාධක සහිත එකක් වීමට නියමිත වූයේය​. ජර්මනිය බලාපොරොත්තු වූ ආකාරයේ වේගවත් ප්‍රහාරයකට එම පෙරමුණ සුදුසු වූයේ නැත​.

බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදීමේදී මුහුණ දිය යුතු වූ ප්‍රධාන බාධකයක් වූයේ බෙල්ජියමේ ලීග් බලකොටුව ය​. ෂ්ලීෆන් අදහස් කළේ එම බලකොටුව මග හැර හමුදාව ප්‍රංශයට යැවීමට ය​. තව ද බෙල්ජියම ආක්‍රමණයට ඔහු කෙළින්ම කැමැත්තක් දැක්වූයේ නැත​. බෙල්ජියමේ මධ්‍යස්ථභාවය බිඳ දමා ජර්මනිය වරදකරුවකු වීමට වඩා ඔහු කැමැති වූයේ බෙල්ජියමේ අවසරය ලබාගෙන හමුදා එරට හරහා යැවීම ය​. අනෙක් අතට බෙල්ජියම අසළ හමුදා එක් රැස්වනු දකින ප්‍රංශය බෙල්ජියම හරහා හමුදා එවීමට කටයුතු කරනු ඇතැයි ද යන සිතිවිල්ලක් ඔහු තුළ විය​.

කෙසේ වෙතත් ඔහුගේ සැලසුම අනුව බටහිර පෙරමුණෙහි ජර්මන් හමුදාවල දකුණු අත පස ශක්තිමත් විය යුතු වූ අතර වම් පස​, එනම් ඇල්සාස් - ලොරේන් අශ්‍රිත සේනාංක එතරම් විශාල වීම අවශ්‍ය නොවීය​. මෙම අදහස ෂ්ලීෆන් තුළ කෙතරම් තදින් පැළපදියම් වී තිබ්බේද යත් ඔහු සිය මරණ මංචකයේදී "මොනවා කළත් දකුණත පස ශක්තිමත් කරන්න​" යයි පැවසූ බැව් සඳහන් ය​.

සර්බියානු වික්‍රමය​

ඉතිහාසයේ ඇතැම් සිදුවීම් කෙරෙහි සාමාන්‍ය අවධානය යොමු වීම අඩුය​. බටහිර ඉතිහාසඥයින් බොහෝ දෙනකු බෙල්ජියමේ නිර්භීතකම පිළිබඳ සාකච්ඡා කළද ඔවුනට සර්බියාව නිතර මතකයට නොනැඟේ. පළමු ලෝක යුද්ධය ආරම්භයේදීම මිත්‍ර පාක්ෂික ජයග්‍රහණයක් ලෙස වාර්තා වූයේ සර්බියානුවන් විසින් තමනට වඩා ප්‍රබල ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජ්‍යයේ හමුදා පරාජය කිරීමයි.

1914 අගෝස්තු මාසයේදී චර් කඳු ගැටය අසළ සිදු වූ සටනේදී (Battle of Cer) සර්බියානු හමුදා විසින් ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා පරාජය කරන ලදී. මේ අනුව ඔස්ට්‍රියා-හන්ගේරියානුවන්ගේ පළමු සර්බියානු ආක්‍රමණය ලත් තැනම ලොප් විය​.
Battle of Cer
නැගෙනහිර පෙරමුණේ ජර්මන් හමුදා විසින් රුසියානුවනට දරුණු ලෙස පහර දීමෙන් පසු ලද ඉස්පාසුවේදී ඔස්ට්‍රියා-හන්ගේරියානුවෝ යළිත් සර්බියාව දෙසට කඩා වැදුණහ​. මෙම ප්‍රහාරයේදී ද එම හමුදා මෙහෙයවන ලද්දේ පොටියොරෙක් විසිනි. කලින් සිදු වූ පරාජය පසෙක තිබියදී ඔහු එම ප්‍රහාරය පිළිබඳ ඉතාම විශාල බලාපොරොත්තු තැබීය​.

ඔක්තෝබරය මැද භාගයේ පමණ සිට සර්බියාවට වර්ෂාව ඇද හැලුණ අතර බොහෝ මාර්ග මඩ වීමෙන් ගමනාගමනය දුර්වල විය​. සර්බියානු ෆීල්ඩ් මාර්ෂල් රඩොමීර් පුට්නික්ගේ අපේක්ෂාව වූයේ එම හමුදාවේ ඉදිරි ගමන එමගින් මන් දනය වනු ඇති බවයි. කෙසේ නමුත් ඔස්ට්‍රියා - හන්ගේරියානු හමුදාවලට පුට්නික් බලාපොරොත්තු වූ තරම් බාධාවක් වර්ෂාවෙන් එල්ල නොවීය​.

නොවැම්බර් මස මැදදී ඇරඹි ඔස්ට්‍රියා - හන්ගේරියානු ප්‍රහාරය හමුවේ සර්බියානු හමුදා පසු බැස ගිය අතර 1914 දෙසැම්බර් 2 වනදා ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා බෙල්ග්‍රේඩයට ඇතුලු වූහ​.

කෙසේ වුවද මෙය උපක්‍රමික පසුබෑමක් විය​. සර්බියානු හමුදා දෙසැම්බර් 3 වනදා වනවිට ප්‍රතිප්‍රහාර දියත් කිරීම ඇරඹූ අතර දින කිහිපයකින් ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා වේගයෙන් පසු බස්වන ලදී. දෙසැම්බර් මැද වනවිට ඔවුහු සර්බියාවෙන් මුලුමනින්ම පළවා හරින ලදහ​.

මාර්න් නදී සංග්‍රාමය​

1914 අගෝස්තු මාසය අවසන් වන විට ජර්මන් හමුදා ප්‍රහාර හමුවේ බටහිර පෙරමුණේ මිත්‍ර පාක්ෂික හමුදා සේනාංක පසු බසින්නට වන්හ​. මේ අවස්ථාවේ ජර්මන් හමුදා තුනක් පැරිසිය දෙසට ගමන් කරමින් තිබූ අතර නගරය ජර්මානුන් අතට පත්වීමේ අවදානමක් මතු වූයේය​.

මිත්‍ර පාක්ෂිකයන් ගේ වාසනාවට, ජර්මන් හමුදා මේ අවස්ථාවේදී උපක්‍රමික වරදක් සිදු කළහ​. ජෙනරල් ඇලෙක්සැන්ඩර් ෆොන් ක්ලක් විසින් මෙහෙයවුන පළමු ජර්මන් හමුදාව, අනෙක් හමුදා සේනාංකවලින් ඉදිරියට පැමිණ පැරිස් නගරයෙන් නැගෙනහිර ප්‍රදේශයකට ගමන් කළහ. මේ වනවිට පැරිසිය ආසන්නයේ හයවන ප්‍රංශ හමුදාවට ජර්මන් පළමු හමුදාවේ දකුණු පස නිරාවරණය වූයේය​.

මෙසේ නිරාවරණය වූ ජර්මන් පෙරමුණ අතරට වන් ප්‍රංශ හමුදා සැප්තැම්බර් 5 වනදා පළමු ජර්මන් හමුදාව වෙත පහර දුන්නෝය​. සතියක් තිස්සේ පැවති පළමු මාර්න් නදී සංග්‍රාමය නිම වූයේ ජර්මන් හමුදාව පළවා හැරීමෙනි. පැරීසියට වූ අවදානමෙන් එය මුදවනු ලැබූ අතර යළි වසර හතරක් ගතවන තුරු පැරිසිය වැටෙනු ඇතැයි යන භීතියක් ප්‍රංශයට ඇති වූයේ නැත​.

පැරිසියට එල්ල වූ අවදානමෙන් එය මිදීම ප්‍රංශ ජාතිකයනට කෙතරම් වැදගත් වූයේද යත්, මාර්න් නදී සංග්‍රාමය "මාර්න් නදියේ ප්‍රාතිහාර්යය​" ලෙසද හඳුන්වනු ලැබේ.

අගල් යුධ ව්‍යාපාරය​

මාර්න් නදී සංග්‍රාමයෙන් පසු, බටහිර පෙරමුණෙහි යුද්ධය පැවැතියේ එකිනෙකා වටලෑමට කරන ලද උත්සාහයන් පෙළකි. එක් පාර්ශවයක් උතුරු දෙසින් හමුදා යවමින් අනෙක් පාර්ශවයේ හමුදා වටලන්නට යත්න දරද්දී අනෙක් පාර්ශවය​, ඊට උතුරින් හමුදා සේනාංක යවමින් එම හමුදා වටලන්නට උත්සාහ කළහ​. මේ අයුරින් දෙපාර්ශවය එකිනෙකා පරයන්නට කළ උත්සාහයන් නතර වූයේ උතුරු මුහුදු වෙරළෙනි. එහෙයින් මේ සටන් මාලාවට 'මුහුද කරා තරඟ දිවීම' ලෙස කියනු ලැබේ.

මෙම සටන්වලින් කිසිදු පාර්ශවයකට තීරණාත්මක ජයග්‍රහණයක් නොලැබුන හෙයින් සීත ඍතුව ආරම් භ වන විට දෙපාර්ශවය උතුරු මුහුදේ සිට ලොරේන් දක්වා වූ දිගු පෙරමුණක් දිගේ එකිනෙකාට මුහුණ දීගෙන සිටියෝය​. ජර්මන් හමුදා මෙහි ආරක්ෂිත යුධ අගල් ඉදි කළ අතර​, මිත්‍ර හමුදා ද ඊට පිළිතුරු අගල් මාලාවක් ඉදි කළහ​.

මුලින් මේවා ඉදි වූයේ තාවකාලික ආරක්ෂිත උපක්‍රමයක් ලෙසය​. නමුත්, යුද්ධාවසානය ආසන්න වනතෙක්ම බටහිර පෙරමුණෙහි යුද්ධය අර්ථ දැක්වනුයේ මෙම අගල් යුධ ව්‍යාපාරය මගිනි.

නැගෙනහිර පෙරමුණ​

බටහිර පෙරමුණේ ප්‍රංශය කෙරෙහි එල්ල වූ ජර්මන් බලපෑම මඳක් අඩු කරවන අටියෙන් නැගෙනහිර පෙරමුණෙහි සටන් ලහි ලහියේ ඇරඹීමට රුසියානුවෝ ක්‍රියා කළහ​. ඔවුනගේ මූලික ඉලක්කය වූයේ නැගෙනහිර ප්‍රශියාවයි.

රුසියානු හමුදා බොහෝ අංශවලින් ජර්මන් හමුදාවලට වඩා පසුපසින් සිටි බැව් සිහි තබාගත යුත්තේය​. රුසියානුවනට පිරිස් බලය පිළිබඳ ගැටලුවක් නොවීය​. එහෙත් ප්‍රවාහනය සහ හමුදාවේ ගුණාත්මකභාවය යන අතින් රුසියාව ජර්මනියට වඩා වූයේ පසුපසිනි. ජර්මානුන්ට සිය දුම්‍රිය මාර්ග පද්ධතිය ඔස්සේ විගස හමුදා ප්‍රවාහනය කළ හැකි විය​.

මේ අතර​, හමුදා නායකත්වය අතින් ද ජර්මානුන් ඉදිරියෙන් සිටිනු දක් නා ලදී. විශ්‍රාම ගෙන සිටි ජෙනරල් පෝල් ෆොන් හින්ඩන්බර්ග් නැවත සේවයට කැඳවූ ජර්මනිය​, ඔහු සහ ජෙනරල් එරික් ලූඩන්ඩෝර්ෆ් නැගෙනහිර පෙරමුණ වෙත යැවූහ​. මේ දෙදෙනා මෙතැන් පටන් පළමු ලෝක යුද්ධය පුරාවටම ජර්මනියේ යුධ ව්‍යාපාරය කෙරෙහි විශාල බලපෑමක් කරන්නට නියමිතව සිටියෝය​.
ටැනන්බර්ග් සටනේදී යටත් වූ රුසියානු සිරකරුවන් පිරිසක්

අගෝස්තු 26-30 අතර සිදුවූ ටැනන්බර්ග් සංග්‍රාමයේදී, රුසියානු දෙවැනි හමුදාව අතුගෑවී ගියාහ​. රුසියානු දෙවැනි හමුදාවේ 230,000 ක් සටනට එක්වූ බව සඳහන් වන අතර ඉන් 92,000 ක් සිරකරුවන් ලෙස අල්ලාගන්නා ලදී. තවද​, මියගිය හෝ තුවාල ලද හෝ පිරිස 78,000 ක් බව කියැවේ.

මෙම සටනෙන් රුසියානු දෙවැනි හමුදාව විනාශ කරන ලද මුත් රුසියානු පළමු හමුදාව තවදුරටත් නැගෙනහිර ප්‍රශියාවේ රැඳී සිටියේය​.​. ටැනන්බර්ග් ජයග්‍රහණයෙන් පසු, ජර්මන් අටවැනි හමුදාව රුසියන් පළමු හමුදාව දෙස අවධානය යොමු කළේය​​. පළමු මාසුරියන් විල් සටනේදී (First Battle of the Masurian Lakes) පළමු හමුදාව පරාජය වූ අතර එය වටලනු ලැබීමට පෙර වහ වහා පළා ගියේය​​.

කළින් ලියූ ලිපි පෙළ​

පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද