Wednesday, June 10, 2015

බලාපොරොත්තු නොවූ සිදුවීමකට සිංගප්පූරු වැසියන්ගෙන් බලාපොරොත්තු නොවූ පිළිතුරක්

2015 අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වේ. මේ සඳහා රටවල් එකොළහක් සහභාගී වෙති. මෙම උළෙලේ ජල ක්‍රීඩා තරඟ පැවැත්වෙන්නේ කලාංග් හි OCBC ජල ක්‍රීඩා මධ්‍යස්තානයේය.

පසුගිය ජුනි 8 වන සඳුදා එහි පවත්වන ලද අවසන් තරඟ 6 කින්ම ජයග්‍රහණය කළේ සත්කාරකත්වය උසුලන සිංගප්පූරුවයි. මේ අනුව එරට ජාතික ගීය, එනම්, Majulah Singapura ගීය එදින OCBC මධ්‍යස්ථානයේ සය වරක් වාදනය වූයේය.

මින් හයවෙනි, නැතහොත් අවසාන අවස්ථාවේදී, රන් පදක්කම් ලාභී ජයග්‍රාහිකාවන් වූයේ මීටර් 200 x 4 සහය පිහිනුම් කාන්තා ක්‍රීඩිකාවන් ය. නමුත් ජාතික ගීය වාදනය අතරමැදදී වූයේ ලංකාවේදී කෙසේ වෙතත් සිංගප්පූරුවේදී බලාපොරොත්තු නොවන දෙයකි. එනම්, ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියා විරහිත වීමයි.

මේ අවස්ථාවේ පදක්කම්ලාභී ක්‍රීඩිකාවන් සිව් දෙනා බලවත් තිගැස්මකට පත් වූහ. තම ක්‍රීඩා දිවියේ වැදගත්ම අවස්තාවක්, තම රටේ ජනතාව ඉදිරිපිටදීම මෙසේ බොඳ වී යනු ඇතැයි ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවන්නට ඇත.

නමුත් සිදු වූයේ ඔවුන් නොසිතූ දෙයකි. ශබ්ද විකාශන යන්ත්‍රවල අඩුව පිරවීමට එක්රොක්වී හුන් නරඹන්නෝ එකාවන්ව ඉදිරිපත් වූහ. ඔවුන් එක්ව ජාතික ගීය ගායනා කළෝය. මනා සේ ගායනා කළෝය. ශබ්ද විකාශන යන්ත්‍රවලින් එන හඬටත් වඩා හොඳින්, දේශානුරාගයෙන් යුතුව, එකාවන්ව ගායනා කළෝය.

එය පදක්කම්ලාභී සිංගප්පූරු තරුණියන් සිව්දෙනාගේ අමතක නොවන දිනයක් බවට නොඅනුමානය. නමුත් එදින එක්රොක්ව සිටි නරඹන්නෝ සමස්ත ප්‍රේක්ෂකාගාරයටම එය අමතක නොවන දිනයක් බවට පත් කළෝය.

මෙම සිද්ධිය පිළිබඳ ප්‍රශංසා කළෝ බොහෝය. ඒ අතර සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූංග් ද වූයේය. සිය ෆේස්බුක් පිටුව හරහා ඔහු අසා සිටියේ "සිංගප්පූරු වැසියන්ට ගීත ගායනය කළ නොහැක්කේ යයි කියන්නේ කවුද?" යනුවෙනි.

මෙහිදී සැලකිය යුතු වැදගත්ම කාරණයක් ඇත. සිංගප්පූරුවේ ජනයාගෙන් වැඩි කොටස, එනම් සියයට 75 ක් පමණ, චීන ජාතිකයෝ වෙති. නමුත් ජාතික ගීය මැලේ බසින් ලියවුනකි. එරට අනෙක් රාජ්‍ය භාෂාවන් වන චීන, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවන්ට මෙම ගීය නිල වශයෙන්ම පරිවර්තනය කර ඇත. නමුත් ජාතික ගීය යානයා කළ යුත්තේ මැලේ බසින් බවට නීති ප්‍රකාරව සඳහන් කර තිබේ.

Majulah Singapura යන්නෙහි අදහස "සිංගප්පූරුව ඉදිරියටම" වැන්නකි. මෙවන් සිදුවීම් දකින කල සිංගප්පූරුව ඉදිරියට යාමෙහි අරුමයක් කෙනෙකුට මතු නොවන්නේය.

12 comments:

  1. උදේ සවස ජාත්‍යාලයෙන් කෑකොස්සන් නොගැසුවත් සිංගප්පුරු ජාතිකයින් රටට ආදරේ ඇති පිරිසක් බව පෙනේ. ලී ක්වාන් යු මහතා මිය ගිය වෙලාවේ අනික් වැඩ කටයුතු අඩාල කර නොගනිමින් ඔහුට අවසන් ගෞරවය දැක්වූ අයුරු අපුරුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම​. ලී ක්වාන් යූ ගෙ මළගම දවස්වල මගේ මූණු පොතේ වැඩිපුරම තිබුනේ ඒ ගැන​. මිනිසුන් පැය 9 - 10 පෝලිමේ ඉඳලා අවසන් ගෞරව දැක්වූවා. ඒ සමහරු ආපහු ගියපු අවස්ථා පවා තිබුණා... ඔහු රෝහලේ සිටියදී පවා රට පුරාම බාල මහලු හැමෝම ඔහුට සුවය පතා එක් රොක් වුණා. වෙන එකක් තියා රෝහල ළඟ කාඩ්පත් සහ මල් තියන්න හදාපු ඉඩ මදි වෙලා අලුතෙන් ටෙන්ට් එකකුත් ගැහුවා...

      මෙන්න මේ වගේ කාඩ්පත් ඒ අතර තිබුණා...

      http://thelonelymuse.blogspot.com/2015/03/singapore-father.html

      Delete
  2. දේශප්‍රේමය ගැන සිංගප්පූරුවේ මේ ආදර්ශය ගොඩක් වැදගත්. එහෙ ජාතික ගීතය ගායනා කිරීම සුළුතර භාෂාවකින් වීම ගැන එයාලට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ නේද ? අනිත් භාෂාවලිනුත් ගායනා කළානම් තවත් හොඳයි. http://syberheartblog.blogspot.com/

    ReplyDelete
  3. සිංගප්පුරු ජාතිකයින් ඒ වෙලාවේ එහෙම කටයුතු කරන කොට පුදුම අභිමානයක් දැනෙන්න ඇති නේද පදක්කම් ලාභීන්ට වගේම අනෙක් සියලු නරඹනන්ටත්.

    මේ තරඟාවලියෙද කොහෙද අපේ ජාතික කොඩිය අරන් ගිහින් නැති පුවතක් වාර්තා වුනා.අර ගම්මන්පිලගෙන් හරි කොඩියක් ඉල්ලං යන්න බැරි මළල ක්‍රීඩා සංගමයක්නේ අපිට නම් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ මම හිතන්නෙ ආසියානු යොවුන් තරඟාවලිය​. අග්නිදිග ආසියානු තරඟාවලියට ලංකාව නැහැ නෙ.

      Delete
    2. හැබැයි අග්නිදිග විශ්ව විද්‍යාලය තියෙන්නේ "ඔළුවිල්" වලනේ.:D

      Delete
  4. මේ වීඩියෝ එක බලද්දි අපිටත් හැගීමක් දැනෙනවා.රටේ චීන ජාතිකයන් 75%ක් හිටියට ජාතික ගීයේ මැලේ භාශාවෙන් ගායනා කරන්නේ ඇයි කියලා නම් මට හිතා ගන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුව නිදහස ලබද්දි මේ ගීතය තමා තෝරාගත්තේ ජාතික ගීය විදියට​. ඉතින් ඔරිජිනල් එක මැලේ භාෂාවෙන් තමා තිබ්බෙ.

      Delete
  5. ලංකා‍ෙවෙත් ජාතික ගිය සිංහ‍ෙ‍ෙලෙන් කියුවනංීය සිංහ‍ෙලෙන් කියුවනං සි‍ෙදෙම‍ෙලෙන් කියුවනං සියළුම පුෑුරස්න විස‍ෙදෙයි වා‍ෙගෙි් ‍ෙනෙ

    ReplyDelete
    Replies
    1. Diversity is a strength කියන එක පිළිගත්තු එක රටක් තමයි සිංගප්පූරුව​.

      Delete
  6. අපුරු සටහනක්.. බින්දි කිව්ව වගේ අතොරක් නැතිව කෑ නොගැහුවට සිංගප්පු ජාතිකයන් රට ගැන හිතන පිරිසක් බවට නිතැතින්ම පත් කර තියෙනවා.. විශ්ෂ්ඨ නායකයෙකුගේ ගමන් මගට හසු වන ඕනම දෙයක් ඒ අනුවම යනවා.. ජය

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. මේක පොඩි කාලෙ ඉඳන් ඒ මිනිස්සුන්ට කාවද්දන දෙයක්. එහෙ යුධ සේවය අනිවාර් ය කරල තියෙන්නෙ. සමහරු කියන්නෙ සිංගප්පූරුව අඥි දිග ආසියාවෙ ඊශ්‍රායලය කියලා.

      මේ සිදුවීම ගැන අගමැති Lee Hsien Loong ලියාපු ෆේස්බුක් සටහනේ එක කමෙන්ට් එකක් තිබුනා. එහි අම්ම කෙනෙක් කියල තිබ්බෙ ශබ්ද විකාශන වෙනුවට ජාතික ගීය ගායනා කළා නම් වටිනවා කියලා. සංගීතය ඇහෙනකොටම එයාගෙ ළමයි නැගිටලා ගීය ගායනා කරන්න ගන්නවාලු. මේ කමෙන්ට් එකට පිළිතුරු දීපු කීප දෙනෙක්ම කියලා තිබ්බා එයාලගෙ ළමයිනුත් එහෙමයි කියලා...

      Delete