Saturday, May 17, 2014

නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකරයි

ඉන්දියාවේ අභිනවයෙන් අගමැති ධූරයට පත්වන නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකොට තිබේ.

ඊයේ දිනයේ ඉන්දියානු මහා මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ දුරකථනයෙන් නරේන්ද්‍ර මෝඩි ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ නරේන්ද්‍ර මෝඩි වෙත සිය සුබ පැතුම් එක්කොට තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිතුමා විසින් නරේන්ද්‍ර මෝඩි වෙත ආරාධනා කරනු ලැබුණි. මේ බව ජනාධිපතිතුමාගේ නිල ට්විටර් පිටුව හරහා නිවේදනය කෙරිණ.
නරේන්ද්‍ර මෝඩි (Mayur Bhatt, Wikimedia Commons)

මෙම නිවේදනයට තමන්ගේ ට්විටර් අඩවිය හරහා පිළිතුරු දුන් නරේන්ද්‍ර මෝඩි ජනාධිපති රාජපක්ෂ සමඟ කතා කිරීමට ලැබීම සතුටක් බවත්, ශක්තිමත් ඉන්දු-ලංකා සබඳතාවක් කෙරෙහි තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත් කියා සිටියේය.

පසුගිය වසර කිහිපය ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවලට එතරම් යහපත් නොවීය. එයට මූලික හේතුව වූයේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ පාලක එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිගින් දිගටම තමිල්නාඩු දේශපාලකයන්ගේ කෙනිත්තිලිවලට ලක් වීමය. ලෝක් සභාවේ ආසන 545 න් 39 ක් තමිල්නාඩුවේ තිබීම මෙයට බලපෑ ප්‍රධානම කරුණයි.

නමුත් පසුගිය මහා මැතිවරණයේදී මෙම තත්ත්වය උඩු යටිකුරු විය. ජයලලිතාගේ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය තමිල්නාඩුවේ ආසන 39 න 37 ක්ම දිනාගත්තේය. නරේන්ද්‍ර මෝඩි සහ භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ විශාල වශයෙන් ප්‍රචාරක කටයුතු කලද ඔවුනට එහි ලබාගත හැකිවූයේ එක අසුනක් පමණි. තමිල්නාඩුවේ බීජේපී පක්ෂය මින් පෙර කිසිදිනෙක වැදගත් දේශපාලන පක්ෂයක් නොවූ හෙයින් මේ එක ඇසුනද සැලකිය යුතු ජයකි. නමුත් මෙය එම පක්ෂය බලාපොරොත්තු වුවාට වඩා අඩු ජයකි.

කෙසේ වුවද, සමස්ත ඉන්දියාව සැලකීමේදී බීජේපී පක්ෂය ආසන 283 ක් දිනා ලෝක් සභාවේ බහුතරයක් දිනා ඇත. බීජේපී පක්ෂය සමඟ සන්ධානගත අනෙක් පක්ෂද තවත් ආසන 53 ක් දිනූහ. එහෙයින් මීළඟ අවුරුදු 5 තුල තමිල්නාඩුවේ පදයට නවදිල්ලිය නටනු ඇතැයි සිතීම අපහසුය. නරේන්ද්‍ර මෝඩි කුමන තත්ත්වයක් යටතේ වුවද කාගේවත් පදයට නටන තැනැත්තෙකු නොවේ. මේ ඡන්ද ප්‍රතිපලයත් සමඟ ඔහුට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත.

ශ්‍රී ලංකාවට මෝඩි යහතින් තබාගැනීම වැදගත් වනු නොඅනුමානය. ඔහු ආචාර්ය මන්මෝහන් සිං මෙන් ඇමරිකානු හිතවාදියකු නොවේ. එමෙන්ම ඔහුගේ මූලික අරමුණු වන්නේ ආර්ථිකය දියුණු කිරීම සහ ත්‍රස්තවාදය පරාජය කිරීමයි. මෙම කරුණුවලදී ලංකාවට සහ ඉන්දියාවට එක්ව කටයුතු කල හැකිවිය යුතුය. ඇමරිකාව තරමක් පහත වැටී සහ චීනය නැගිටිමින් සිටින මෙම සමයේ චීනය සමඟද යහපත් සබඳතාවක් වර්ධනය කරගැනීම මෝඩිගේ බලාපොරොත්තුවක් වනු ඇත. එයද ලංකාවට වාසිදායකය. ශ්‍රී ලංකා රජයට මෝඩි සමඟ සහයෝගයෙන් කටයුතු කල හැකි නම් එය ශ්‍රී ලංකාවේ අයහපතට හේතු නොවනු ඇත.

6 comments:

  1. එය එසේ වන්නේ නම් අපට යහපත් දෙයකි. ඒ වෙනුවෙන් මේ වන විට කොළ එළි දැල්වි තිබිම අතිශය සතුටට කරුණකි.

    ReplyDelete
    Replies
    1. නරේන්ද්‍ර මෝඩි හරි ආකාරයෙන් කළමනාකරණය කිරීම අපේ අයගේ කාර්යභාරයකි. :)

      Delete
  2. බොහොම ස්තුතියි!

    ReplyDelete
  3. මට නම් හිතෙන්නේ මෝඩි අපිට ඒ තරම් බුරුලක් දෙන එකක් නැති වේවි කියලා.මතයක් තියනවා නේද BJP පක්‍ෂය අපේ unp එකට ටිකක් විතර සමීප පක්ෂයක් කියලා.

    ReplyDelete
    Replies
    1. BJP එක UNP එක වගේ පක්ෂයක් නම් නෙවෙයි. UNP එක බටහිර හිතවාදී පක්ෂයක්. BJP එක හින්දු අන්තවාදී පක්ෂයක් නෙ. කාළයක් ඒක බටහිර හිතවාදී පක්ෂයක් තමයි. නමුත් දැන් මෝඩි ඒ වගේ වෙයි කියලා හිතන්න අමාරුයි.

      මෝඩි කියන්නෙ කිසි කෙනෙක් කියන පදේට නටන කෙනෙක් නෙවෙයි. ඒ නිසා පරිස්සමින් වැඩ කරන්න වෙනවා. නමුත් එකතු වෙලා වැඩ කරන්න පුලුවන් තැන් තියෙනවා. එහෙම බැරි වුනොත් ඉතින් සොරි තමයි...

      Delete
  4. අනාගත දකුණු ආසියාවේ දේෂපාලනික වශයෙන් විශාල වෙනසක් වෙයි මෝඩිගෙ ජයග්‍රහණයත් එක්ක

    මොකද්ද මේ ගැහැණුන්ගෙ පතිවත... සංවාදය සමඟ එකතු වෙන්න

    ReplyDelete