Wednesday, July 10, 2013

සීෂෙල්ස්-ශ්‍රී ලංකා මිතුදම අනාගත ආයෝජනයකි

සාමාන්‍ය නිර්ණායකයනට අනුව සීෂෙල්ස් යනු කුඩා රටකි. වර්ග කිලෝමීටර 450ක් වන භූමි ප්‍රමාණයකින් යුතු එහි ජනගහනය 85,000 කි. එම නිර්ණායක දෙකටම අනුව සීෂෙල්ස් රාජ්‍යය අප්‍රිකාවේ කුඩාම රාජ්‍යය වෙයි. මෑත කාලයේදී ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර මිත්‍රත්වයෙහි පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ. ඇතැමෙක් සීෂෙල්ස් වැනි රටක් සමඟ මිත්‍රත්වය සඳහා මෙතරම් කාලය සහ මුදල් වැය කිරීම විවේචනය කරති. එහි ප්‍රතිලාභයක් ලැබේද යන්න ඔවුහු ප්‍රශ්න කරති.

බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව, අපේ රට කුමක් හෝ බලවතෙකු සමඟ එක්වී සිටිය යුතු යයි යන එක්තරා යටත් විජිත මානසිකත්වයකින් පෙලෙන්නෝය. ඔවුන්ගේ අදහස අනුව ප්‍රබල රටක මිත්‍රත්වය නොමැතිව ශ්‍රී ලංකාවට ලෝක දේශපාලනය තුල රැඳී සිටිය නොහැක. නමුත් අප යම් ප්‍රබල රාජ්‍යයකට ඕනාවට වඩා සමීප වීම අනිකුත් ප්‍රබල රාජ්‍යයන්ගේ නොසතුටට හේතු වන්නේය. නිදහස් ලංකාවේ ඉතිහාසය පුරාවටම අප මේ ගැටලුවට මුහුණ දී ඇත්තේය.

සීෂෙල්ස් වැනි කුඩා දූපත් රාජ්‍යයක් සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීම ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා වැදගත් වෙයි. මෙවන් කුඩා රටවලට තවත් කුඩා රටක් සමඟ මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට බලපාන යටි අරමුණු නොමැත්තේය. මෙවන් රටවල් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කිහිප ආකාරයකින්ම වැදගත් වේ.

"ලොකු කුඩා සෑම දේශයක්ම වැදගත්" ("All nations matter, big or small") සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් ඇලික්ස් මිචෙල් මහතා 2012 අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරය අතරතුර ප්‍රකාශ කළේය. ඔහු ඒ බව සඳහන් කලේ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී "ලෝක දේශපාලනය තුල කුඩා දූපත් රාජ්‍යයන්ගේ කාර්යභාරය යන මැයෙන් කරන ලද දේශනයකදීය. කුඩා දූපත් රාජ්‍යයන්ට යම් යම් සීමා බාධක ඇති නමුත් ඒ අතරම යම් යම් අවස්ථාවන්ද ඇති බව එහිදී ඔහු පැහැදිලි කර සිටියේය. ඇතැම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම රටවලට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළහැකි බව ඔහුගේ මතය විය ධීවර කර්මාන්තය, වෙළෙඳ සබඳතා සහ පරිසරය සුරැකීම වැනි අංශවලදී කුඩා දූපත් රාජ්‍යයන්ට එක්ව කටයුතු කළහැකි බව මිචෙල් මහතා කියා සිටියේය.
සීෂෙල්ස් ජනපති කදිරගාමර් ආයතනයේදී. පින්තූරයේ වමේ සිට: ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් මිචෙල් මහතා සහ සීෂෙල්ස් විදේශ ඇමති ෂෝන්-පෝල් ඇඩම් මහතා. (2012 අගෝස්තු 21)

පසුගියදා සීෂෙල්ස් අගනුවර වික්ටෝරියාහිදී සීෂෙල්ස්-ශ්‍රී ලංකා ජනපතිවරුන් හමුවූ අවස්ථාවේ මෙම කරුණු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් පිලිබඳ අදහස් හුවමාරු විය. සීෂෙල්ස් ජනපති කාර්යාල නිල නිවසෙහි වෙබ් අඩවිය සඳහන් කරන පරිදි වෙළෙඳ සහ ආයෝජන, ගුවන් ගමන්, බැංකු කටයුතු, ධීවර කර්මාන්තය, ආරක්ෂක සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍යය, සංචාරක කර්මාන්තය, බලශක්තිය, මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය සහ සුළු කර්මාන්ත යනාදී කරුණු සම්බන්ධව සාකච්ඡා කෙරී ඇත. මේ අතර දෙරට අතර ගුවන් සේවා, ආරක්ෂක, වෘත්තීය පුහුණුව සහ යෞවන කටයුතු යන කරුණු පිළිබඳ ගිවිසුම් තුනක් අත්සන් කෙරිණ.

සීෂෙල්ස් ජනාධිපතිවරයා සමඟ ජුනි 30 වනදා පැවැත්වූ සාකච්ඡාව අතරතුරදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සීෂෙල්ස් රාජ්‍යයට ගුවන් ගමන් ඇරඹීමට සූදානම් බවය. මෙම පුවත සීෂෙල්ස් ජනපතිවරයාගේ ඉමහත් සතුටට හේතු විය. දෙරට අතර ගුවන් ගමන් ඇරඹීම වෙළෙඳ සහ සංචාරක කටයුතු වර්ධනයට හේතුවනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය. මේ අතර සීෂෙල්ස් විදේශ කටයුතු අමාත්‍ය ශෝන්-පෝල් ඇඩම් සිය Twitter පිටුවේ සඳහන් කලේ "ඊයේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් සීෂෙල්ස්වල ගොඩ බැස්වීම සතුටට කාරණයක්. නිතර මේ දර්ශනය දකින්නට බලාපොරොත්තු වෙමි." යනුවෙනි. ඔහු ඊයේ පැමිණි ගුවන් යානය යයි සඳහන් කලේ ජුනි 29 වනදා ජනාධිපති රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පැමිණි යානයයි.


ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ පැවති ඉහත සාකච්ඡාවේදී ජනාධිපති මිචෙල්ද දූපත් රාජ්‍යයන්ට ලෝක දේශපාලනය තුල වැදගත් කාර්යභාරයක් ඇති බව යලිත් අවධාරණය කළේය. තිරසාර සංවර්ධනයට අනුබල දීම සහ එය ප්‍රචලිත කිරීම එහිදී වැදගත් වගකීමක් වන බව ඔහු කියා සිටියේය. ගෝලීය උණුසුම ඉහල යාමෙන් වැඩිම හානියක් සිදුවිය හැක්කේ දූපත් රාජ්‍යයන්ට බැවින් ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් වැනි රටවල් ඒ පිලිබඳ එක්ව කටයුතු කිරීම වැදගත් බව ඔහුගේ අදහස විය. තවද ඒ ගැන හඬ නගන්නන්ට හඬක් ලබා දීමද වැදගත් බව ඔහුගේ අදහස විය. සීෂෙල්ස් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රාජපක්ෂ මහතාද ලෝක දේශපාලනය තුල දූපත් රාජ්‍යයන්ට කල හැකි වැදගත් කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වීය.

පරිසරය සුරැකීම සහ සමුද්‍ර ගවේෂණය යනාදී අංශවලින් ශ්‍රී ලංකාවටද වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැක්කේය. පරිසරය සුරැකීම වැනි කර්තව්‍යයක් සඳහා ප්‍රමුඛත්වය ගැනීමෙන් ශ්‍රී ලංකාව වැනි රටකට මිතුරන් රැසක් ඇති කරගතහැක. විශාල ජෛව විවිධත්වයක් සහිත රාජ්‍යයක් ලෙස සීෂෙල්ස් රාජ්‍යය දැනටමත් ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත. 2012 දී ඉහත සඳහන් කල දේශනයේදී එරට ජනපති මිචෙල් මහතා සඳහන් කලේ සීෂෙල්ස් රටේ බිම් ප්‍රදේශයෙන් අඩක්ම රක්ෂිත ප්‍රදේශ බවයි. ඒ අනුව රටේ බිම් ප්‍රමාණයෙන් වැඩිම ප්‍රතිශතයක් රක්ෂිත ප්‍රදේශ බවට පත්කොට ඇති රාජ්‍යය සීෂෙල්ස් වන බව සඳහන් කල ඔහු ඒ අතින් තමන්ගේ රට ලෝකයෙන්ම උසස් බව ප්‍රකාශ කලේ මහත් ආඩම්බරයෙනි.

ලෝක දේශපාලනය තුල ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වැදගත්කම ඉහලගොස් ඇති සමයක කලාපීය මිතුදම් වර්ධනය කරගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. සීෂෙල්ස් රාජ්‍යයේ පිහිටීම හේතුවෙන් බලවත් රාජ්‍යයන් කිහිපයකම අවධානය එරට වෙත යොමුවී ඇත. එරට තුල තානාපති කාර්යාලයක් පවත්වාගෙන යන රටවල් අතලොස්ස අතරට චීනය, ඉන්දියාව සහ රුසියාව යන රටවල් තුනම අයත් වේ. එමෙන්ම 2017 වනවිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය සඳහා තරඟ කිරීමට සීෂෙල්ස් රාජ්‍යය අදහස් කරන බව මිචෙල් මහතා ශ්‍රී ලංකාවේදී කල ඉහත දේශනයේදී සඳහන් කළේය. එවන් අරමුණක් ඉටු කරගැනීමට සීෂෙල්ස් වැනි කුඩා රාජ්‍යයකට හැකිවේදැයි කිව නොහැක. නමුත් එවැනි පුළුල් අරමුණු සහිත රටක් සමඟ මිත්‍රත්වයක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට අවැඩක් වේ යයි කිව නොහැක.

13 comments:

  1. මේක අප්‍රිකානු රාජ්‍යයක් හැටියට සලකන්න පුලුවන්ද ? අප්‍රිකාවෙන් සෑහෙන එපිට, ඉන්දියානු සාගරයෙනෙ තියෙන්නෙ...දේශගුණයනම් ලංකාවෙ වගේම වෙන්න පුලුවන්..ජනාධිපතිනම් සුදු ජාතිකයෙක් වගේ තමා පෙනුනෙ..රටේ ඉන්නෙ සුදු ජාතිකයොද ?

    ReplyDelete
    Replies
    1. අප්‍රිකාව තමයි නේ ආසන්නම මහාද්වීපය. ඒ නිසා අප්‍රිකානු රටක් විදියට තමයි සලකන්නේ. ඔක්කොම අප්‍රිකානු රටවල් එක වගේ නැහැ නේ.

      ජනගහනය 85,000 උනාට සීෂෙල්ස්වල ලොකු විවිධත්වයක් තියෙනවා. ගොඩක් අය මිශ්‍ර කට්ටිය. සුළු පිරිසක් ඉන්නවා සුදු ජාතිකයන් හරි චීන අරාබි වගේ ජාතිකයන්... ඉන්දියානුවනුත් ඉන්නවා ටිකක් මට මතක විදියට.

      Delete
    2. ඒක හරියට සුද්දන්ට අපි ඉන්දියන්කාරයෝ වගේ පේනවා වගේම වැඩක් වෙන්නැති...

      Delete
  2. අපේ මන්දා අපේ මිනිස්සුන්ගේ යටත් විජිත මානසිකත්වය කවදා නැති වෙයිද කියලා....

    ReplyDelete
    Replies
    1. එව්වා නම් ඉතින් අනේ මන්දා තමයි :(

      Delete
  3. දූපත් මානසිකත්වය දුරුවේවා සැමගේ.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
  4. පෝලිමේ තියෙන ටිකත් ඉක්මනට ම ලියමු........
    ඒක නෙවෙයි දැන්වත් අර උඹ ලියපු පොත අපිට කියවන්න විදිහක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. සිංහල වර්ෂන් එකවත් බලමු. :)
      ලියන්න නම් පටන් ගත්තා.

      පෝලිමේ තියෙන එකක් අද ලියනවා.

      Delete
    2. සිංහල ඕනෙ නැහැ ඉංග්‍රීසි එකවත් ගන්න පුළුවන් ද?

      Delete
    3. සල්ලි තියෙනවා නම් ගත හැකි :)
      පට්ට ගණන් නේ බං. :(

      Delete
  5. No nation has friends only interests.
    Charles de Gaulle

    ReplyDelete
    Replies
    1. First said by Lord Palmerston a hundred odd years before de Gaulle.

      Delete
  6. 2015 ජනවාරි 8 වෙනසටත් ඉන්දියාවේ මැදිහත්වීමක් වෙන්න ඇති ඒ කිායන්නේ.අපිත් චීනෙට ලං උනා වැඩි උනානේ

    ReplyDelete