Monday, April 29, 2013

අනගාරික ධර්මපාල 80 වන ගුණ සමරුව.


ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය සඳහා මහත් වූ සේවයක් කල අනගාරික ධර්මපාලයන්ගේ 80 වන ගුණ සමරුව අද දිනට යෙදී තිබේ. ලාංකික ජනතාව යටත් විජිතවාදයෙන් බැට කමින් සිටින යුගයක එයින් ඔවුන් මුදවා චින්තනමය විප්ලවයක් ඇති කිරීම සඳහා යොමු වූ කිහිප දෙනාගෙන් එක් කැපී පෙනෙන අයකු ලෙස එතුමා අවිවාදයෙන් පිළිගනු ලැබේ. තවද, එතෙර රටවල බෞද්ධාගම ප්‍රචලිත කිරීමේ මෙන්ම ඉන්දියාවේ බෞද්ධ උරුමය රැකගැනීමේද නියමුවකු ලෙස ධර්මපාලතුමා සලකනු ලැබේ.

ධර්මපාලතුමාද රුහුණට සම්බන්ධකම් කියන ජාතික නායකයකු විය. ඔහුගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ වූ අතර මව මල්ලිකා හේවාවිතාරණ නම් වූවාය. පියාගේ උපන් ගම වූයේ මාතර හිත්තැටියයි. 1864 සැප්තැම්බර් 17 වනදා උපන් ධර්මපාලයන්ට දෙමාපියන් විසින් තබන ලද නම වූයේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන්නයි.

කුඩා දොන් ඩේවිඩ් අධ්‍යාපනය ලබන සමයෙහි ලංකාවේ තිබුනේ ක්‍රිස්තියානි මිෂනාරි පාසල් සහ රජයේ පාසල් කිහිපයක් පමණි. රජයේ පාසල්වලද ඉගැන්වූයේ බටහිර අධ්‍යාපනයයි. කෝට්ටේ ක්‍රිස්තියානි පාසල, කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ එවකට කොළඹ ඇකඩමිය නමින් හැඳින්වූ කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ඔහු ලැබුයේ බටහිර පන්නයේ අධ්‍යාපනයකි. කෙසේ වුවද එහි වාසිය වූයේ ඔහුට ඉංග්‍රීසි භාෂාව සහ බටහිර ශිෂ්ටාචාරය පිලිබඳ මනා අවබෝධයක් එතුලින් ලැබීමයි.




පරම විඥානාර්ථ සංගමයේ නිර්මාතෘවරයකු වූ කර්නල් ඕල්කට් ලංකාවට පැමිණියේ 1880 දීය. ඔහුගේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කිරීමට තරුණ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වරම් ලැබීය. එමගින් ඔහු බුදු දහම සහ ලංකාවේ එය පත්ව ඇති තත්ත්වය පිලිබඳ මනා වැටහීමක් ලබාගන්නට ඇත. සුළු කලකින් ලංකාවේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ක්‍රියාකාරීව සම්බන්ධ වූ හෙතෙම සිය ඉංග්‍රීසි පන්නයේ නම ඉවත ලා ධර්මපාල යන නාමය ආරූඪ කරගත්තේය.

කෙසේ වුවද අනගාරික ධර්මපාලතුමා පරම විඥානාර්ථ සංගමය සමඟ දිගටම සම්බන්ධ වී නොසිටියේය. එතුමා ජාතික වීරයකු බවට පත් වූයේ වෙනත් අරගලයක් හේතුවෙනි. එනම් බුද්ධගයාව බේරා ගැනීමේ සටනයි. 1891 දී බුද්ධගයාව දැක බලාගැනීමට ගිය හෙතෙම එය පත්ව ඇති තත්ත්වය දැක කම්පාවට පත් වී බුද්ධගයාව බෞද්ධයනට යලි ලබා ගැනීම සඳහා සටනක් ඇරඹීය. "සිංහලයිනි නැගිටියව්! බුද්ධගයාව බේරා ගනිව්!" යන්න ඔහුගේ සටන් පාඨය විය. බුද්ධගයාව වෙනුවෙන් නඩු මගට බස්සද දීර්ඝ නඩු විභාගයකින් පසු 1906 දී එතුමා පරාජයට පත් විය. ඉංග්‍රීසි පාලන සාමය තුල බුද්ධගයාව බෞද්ධයනට උරුම වූයේ නොවේ. 1949 සම්මත වූ "බුද්ධගයා පනත" මගින් එය බෞද්ධ-හින්දු ඒකාබද්ධ කමිටුවක පාලනයට ගෙනෙන ලද්දේ නිදහස් ඉන්දියාවේ ආණ්ඩුවයි.

1891 ඇරඹි ඉන්දියාවේ මහාබෝධි සංගමය ඔස්සේ ඉන්දියාවේත්, එංගලන්තයේත් බුදු දහම ප්‍රචලිත කිරීමට ධර්මපාලතුමා, ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් ප්‍රමුඛ පිරිසක් මුල පිරූහ. මේ අතර 1893 චිකාගෝවේ පවතී ලෝක ආගම් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ධර්මපාලතුමා භාග්‍යය ලැබීය. එහිදී ඔහු බුදු දහම පිළිබඳ බටහිර ජාතීන්ට ගැලපෙන සේ දේශනයක් කළේය. නවීන විද්‍යාව, ක්‍රිස්තියානි ධර්මය යනාදිය සමඟ බුදු දහම සසඳමින්, ඒවා අතර යම් යම් සමානකම් පවතින නමුත් බටහිර නොමැති චින්තනයක් පෙරදිග රටවල පවතින බව ඔහු පැහැදිලි කළේය. මෙම සමුළුවේදී ඔහු ස්වාමි විවේකානන්ද වැනි පෙරදිග ආගමික නායකයන් මුණ ගැසුණු අතර ධර්මපාලතුමා සහ ස්වාමි විවේකානන්ද අතර බොහෝ යහපත් මිත්‍රත්වයක් ගොඩනැගුන බව සඳහන්ය.

දේශීයත්වයට මුල් තැන දෙන ප්‍රතිපත්තියක ධර්මපාලතුමා ලංකාවේදී දිගටම නියලී සිටියේය බුද්ධගයාව බේරා ගැනීමට කල අසාර්ථක වූ නමුත් ප්‍රබල සටනට අමතරව, සුරාවෙන් සූදුවෙන් සහ වෙසෙසින්ම ගව මස් කෑමෙන් සිංහලයා මුදවා ගැනීමට එතුමා විශාල සටනක් කළේය. තවද, රටේ ආර්ථිකය විජාතිකයන් සහ ඔවුනට සහය දක්වන දේශීය පලන්තියක පාලනයෙන් ගලවා ගැනීම සඳහා මුල් පියවරක් ලෙස දේශීය සුළු කර්මාන්ත ඇරඹීමට එතුමා අනුබල දුන්නේය.

1931 ජූලි මාසයේදී ධර්මපාලයෝ සිරි දේවමිත්ත ධර්මපාල නමින් ඉන්දියාවේදී පැවිදි බිමට ඇතුළු වූහ. එහිදී උන්වහන්සේ අපවත් වූයේ 1929 අප්‍රේල් 29 වනදාය.

අනගාරික ධර්මපාලයන්ගේ ජාතික මෙහෙවර පිලිබඳ විවාදයක් නැත. එහෙත් මගේ අදහසට අනුව, එතුමාගේ ඇතැම් කටයුතුවල යම් යම් ගැටලු දක්නට ලැබේ. එතුමාගේ චින්තනය ඉන්දියානු ආභාෂයෙන් හැඩගැසුනිද යන සැකයක් පැන නගී. උදාහරණයක් වශයෙන් ගතහොත් දේශීය සුළු කර්මාන්ත ආරම්භ කිරීම ඉන්දියාවේ ස්වදේශී ව්‍යාපාරයේ ආදර්ශයක් විය. ස්වදේශී ව්‍යාපාරය ප්‍රබලව පැන නැගුනේ 20 වන සියවස පළමු දශකයේය. අනගාරික ධර්මපාලයන්ගේ දේශීය කර්මාන්ත දිරි ගැන්වීමේ ප්‍රතිපත්තිය ඇරඹුණේ කවර දිනෙකදැයි මම හරිහැටි නොදනිමි.

තවද, පොදුවේ සත්ව ඝාතනය සහ මස් අනුභවයට එරෙහි වනු වෙනුවට ගව ඝාතනයට පමණක් ප්‍රබල ලෙස එරෙහි වූයේ කිනම් අදහසකින්ද යන්න මම හරි ආකාරව නොදනිමි. ගවයා හින්දුන්ගේ පූජනීය වස්තුවක් වූවා සේම සිංහල ගැමියාගේද වටිනා වස්තුවක් වූයේය. සිංහල ගැමියා ගව මස් කෑමට එතරම් හුරුවී ඉන්නට නැත. නාගරික ජනගහනය සම්බන්ධයෙන් නම් එම කරුණ වෙනස් වන්නට ඇත. නමුත් නාගරික ජනගහනය ඉතා ලංකාවේ මුළු ජනගහනයෙන් සුළු ප්‍රතිශතයක් විය. එනිසා ගවමස් කෑමට එරෙහි වීම ජනප්‍රිය සටන් පාඨයක් හෝ ඉන්දියානු ආභාෂය නිසා ඇති කරගත් සටන් පාඨයක් වීදැයි අපි නොදනිමු.


ප. ලි. ලංකාවේ ප්‍රමුඛතම ජාතික වීරයකු වන අනගාරික ධර්මපාලයන් රටේ වැසියනට කෙතරම් අමතකද යන්න තුල අප රට අද පත්ව ඇති තත්ත්වය මොනවට පැහැදිලි වේ. අද දින පලවූ සමහර සිංහල පුවත්පත්වල එතුමා පිළිබඳ කිසිදු සටහනක් නොවීය. ඊටත් වඩා කණගාටුදායක කරුණ නම් සිංහල ජාතිය පිළිබඳ හඬ නගන බව කියන ෆේස්බුක් වීරයන්ගේ Group සහ Fan Page සමහරකද එතුමා ගැන කිසිදු දෙයක් සඳහන් නොවීමයි.

10 comments:

  1. ධර්මපාල තුමන් ගේ අවසන් කාලය ගැන කතාව මෙයිට හුගක් වෙනස් ඒ ගැන සොයා බලන්න. හොද ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මම ඒ ගැන යම් යම් දේවල් අසා තිබෙනවා. නමුත් හරි හමන් විස්තරයක් දැන් මතක නැති නිසා ඒ ගැන වැඩිය ලියුවේ නැහැ.

      මට අවශ්‍ය වුනේ කාටත් අමතක වෙච්ච දෙයක් මතක් කරලා දෙන්න. විශේෂයෙන්ම අර වීරයෙක්ගේ පහනින් එලිය දකින්න දඟලන පුහු වීරයන්ට. මම බලාපොරොත්තු වුනා කට්ටියගේ කමෙන්ට්ස්වලින් මම නොකියපු දේ ගැන කියවෙයි කියලා. ඒ වගේම මම නොදන්නා දේවල් ගැනත්.

      ධර්මපාලතුමා ගැන මධ්‍යස්ත විචාරයක් අද වෙනකල් ලාංකිකයෙක් අතින් වෙලා නැහැ කියලා මට හිතෙනවා. තියෙන්නේ එක්කෝ අගයකිරීම් පමණයි. නැත්නම් විවේචන පමණයි.

      Delete
  2. සමාවෙන්න .. ලිපිය බුක්මාර්ක් කරගත්තට කියවන්න ලැබුණෙ අද :(

    ගොඩක් වටින කරුණු මෙතැන එකතුවෙලා තියෙනවා. සතුටුයි මෙහෙම දෙයක් කියවන්න ලැබුණට.. අර අන්තිමට කියපු ෆේස්බුක් වීරයන්ගෙ කතාවට, වකා අත් දෙකම උස්සලා එකඟ වෙනවා. :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ... අත් දෙක විතරක් ඉස්සුවහම ඇති.
      අද හරි ඇවිත් කියෙව්වා නේ. එල :-)

      Delete
    2. :) :)

      අනිත් ලිපිත් කියවනවා හෙමීට.. ඔහෙ කියවන්නන් වාලෙ කියවගෙන ගියොත් කිසිම දෙයක් ඔළුවට යන්නේ නෑ

      තව පොඩි ඉල්ලීමකුත් කරන්න ආසයි ඔබතුමාට පුළුවන් නම්.. එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ කටයුතු රටවල්වල sovereignty එකට බලපාන හැටි ගැන ලිපියක් ලියන්න පුළුවන්ද?

      Delete
    3. එක්සත් ජාතීන්ගේ කටයුතු රටක ස්වෛරීභාවයට බලපාන හැටි. :-)
      හොඳ මාතෘකාවක්. හැබැයි බොහොම මතභේදාත්මකයි. බලමු බලමු. ඉස්සර නම් ඔව්වා ගැන ඉගෙන ගත්තා. දැන් ඒ විෂය ගැන මතකය ටිකක් විතර මදි. යන්තම් දැනගෙන ලියන්න බැහැ නේ (අර ෆේස්බුක් වීරයෝ ලියනවා වගේ) ඔහොම යමුකෝ බලන්න.

      ඔය කියන 'ඔබතුමා' නම් මෙහෙ නෑ. මෙහෙ ඉන්නේ අහිංසක මම විතරයි. :)

      අනිත් ටිකත් ෂේප් එකේ කියවලා බලන්න. මේ දවස්වල ලිව්වේ බොහොම අඩුවෙන්. වෙලාව තමයි ගැටලුව. මේ වගේ එකක් ලියන්නත් පැය කීපයක් යනවා. ආවට ගියාට ලියන්න බැහැනේ.

      FB ඉන්නවා නම් මාව හොයාගන්න. මගේ නමින් තමයි මම ඉන්නේ. එතකොට 'වකාතුමිය' යෝජනා කරපු මාතෘකාව ගැන කතා කරන්න පුළුවනි.

      Delete
    4. I always find people who hit me back using my words. :D

      Wakathumee - There is no one called wakathumee here.

      No worries. I just asked because I found this topic interesting and also because there are no good sources on this issue in online resources. :)

      Please write only if it is possible...

      Delete
    5. Let's see.
      I have one blog post stuck for two weeks. Trying to finish that thing. Actually struggling. Once I got to write it I realized I know very little about it. So, stopped writing and started research. :)

      There are more than enough things to write. If time so permits.
      Let's see.....

      Delete
  3. ඔව් අපේ වීරයෝ අපේ අයටම අමතක වෙලා.ඉස්සරහට එතුමා වගේ නව විප්පලවාදී චින්තකයෙක් පහල වන තෙක් බලන් ඉන්නවා

    ReplyDelete