Monday, April 16, 2012

උතුරු කොරියානු රොකට් උමතුව


උතුරු කොරියාව විසින් පසුගියදා දියත් කරන ලද ක්වන්ග්ම්යොන්ග්සොන්ග්-3 නම් චන්ද්‍රිකාව රැගත් උන්හා-3 රොකට්ටුව තත්පර කීපයකදී පොලොවට කඩා වැටුනා. ඒ අනුව ජපානය සහ දකුණු කොරියාව විසින් තර්ජනය කර තිබූ පරිදි එය වෙඩි තබා බිම හෙලීමේ අවශ්‍යතාවයක් මතු වූයේ නැහැ. සති ගණනක් තිස්සේ ඉහත සඳහන් රටවල් දෙක සහ බටහිර රටවල් ගණනාවක්ම විවිධ තර්ජනයන් කලත් එම රොකට්ටුව දියත් කිරීමේ තීරණය උතුරු කොරියානුවන් විසින් වෙනස් කෙරුනේ නෑ. ඔවුන් ප්‍රකාශ කලේ මෙම රොකට්ටුව විසින් කක්ෂගත කිරීමට නියමිත වූ චන්ද්‍රිකාව කාලගුණ චන්ද්‍රිකාවක් බවයි. නමුත් බටහිර රටවල් පුන පුනා ප්‍රකාශ කලේ මෙම රොකට්ටුව දියත් කිරීමේ සැඟවුණු අරමුණ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම බවයි.

උතුරු කොරියානුවන් මෙම රොකට්ටුව දියත් කරන්නට නියම කරගෙන තිබුනේ පසුගිය අප්‍රේල් 12-16 අතර දිනකයි. ඒ එරට පළමු නායකයා වූ කිම් ඉල්-සුන්ග් ගේ 100 වන ජන්ම දිනය සැමරීමට සමගාමීවයි. 1912 අප්‍රේල් 15 දින උපන් කිම් ඉල්-සුන්ග් 1930 ගණන්වල ජපන් විරෝධී ගරිල්ලා නායකයෙකු වූ අතර 1945න් පසු සෝවියට් දේශයේ උපකාරය ඇතිව කොරියාවේ සෝවියට් පාලන ප්‍රදේශයේ නායකයා බවට පත් වී, 1948 දී උතුරු කොරියාව හෙවත් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසු, 1994 ජූලි මාසයේ සිදු වූ ඔහුගේ මරණය දක්වාම එරට පාලකයා වුනා. කිම් ඉල්-සුන්ග්ගේ මරණින් ඉක්බිති, ඔහුගේ පුත්‍රයා වූ, කිම් ජොන්ග්-ඉල් බලයට පත් වුනා. 2011 දෙසැම්බරයේ සිදුවූ ඔහුගේ මරණයෙන් පසු, බලයට පත් වුනේ ඔහුගේ පුත්‍රයෙක් වන කිම් ජොන්ග්-උන්.

උතුරු කොරියාවේ නායකයින්ගේ පෞද්ගලික තොරතුරු බාහිර ලෝකයට එතරම් අනාවරණය වෙන්නේ නෑ. කිම් ජොන්ග්-උන්ගේ උපන් දිනය පවා හරියටම නොදන්නා නමුත් ඔහු මේ වනවිට 28 වන වියෙහි පසුවන බව කියවෙනවා. ඒ අනුව, දැනට ලොව සිටින ලාබාලතම රාජ්‍ය නායකයා වන්නේ කිම් ජොන්ග්-උන් ය. මිලියන 25ක පමණ ජනගහනයක් වසන මෙම රටෙහි හමුදාව (කොරියානු මහජන හමුදාව) සෙබළුන් සංඛ්‍යාව අනුව ලොව 4 වන විශාලතම හමුදාවයි. මිලියන 1.1 වන මෙම සෙබල සංඛ්‍යාව රටේ සමස්ත ජනගහනයෙන් 4% ඉක්මවනවා. එසේ වුනත්, උතුරු කොරියාව ලෝකයේ ඉතාමත්ම දුප්පත් රාජ්‍යයක්. එහි වසර ගණනාවක සිට ආහාර හිඟයක් පවතිනවා.

එවන් තත්ත්වයක් යටතේ, තව දුරටත් රොකට් තාක්ෂනය, න්‍යෂ්ටික වැඩපිළිවෙල වැනි කරුණු කෙරෙහි ප්‍රමුඛ අවධානය ලබා දෙන උතුරු කොරියානු රජය, රටේ දුප්පත්කම පිලිබඳ අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නෑ. කිම් ජොන්ග්-උන්ගේ නායකත්වය යටතේ යම් යම් වෙනස්කම් සිදු වේ යයි බලාපොරොත්තු වුනත්, උතුරු කොරියාවේ රජය තව දුරටත් පැරණි ක්‍රමවේදයම අනුගමනය කරන බව පෙනෙන්නට තියෙනවා. රොකට් අත්හදා බැලීම අසාර්ථක වූ පසු සිදු වූ එකිනෙකට වෙනස් ආකාරයේ සිදුවීම් දෙකකින් පැහැදිලි වන්නේ, යම් යම් වෙනස්කම් සහිතව තම පාලන ක්‍රමය දිගටම පවත්වා ගැනීමට උතුරු කොරියානු පාලකයින් කටයුතු කරන බවයි.

සාමාන්‍යයෙන් යමක් වැරදුනු විට ඒ බව පිලි නොගන්නා උතුරු කොරියානු රජය, මෙවර තමන්ගේ උත්සාහය වැරදුනු බවට පිළිගත්තා. ඒ අතරම, අප්‍රේල් 15 වනදා, කිම් ඉල්-සුන්ග්ගේ 100 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් පැවති හමුදා පෙළපාලිය අවස්ථාවේ, බොහෝ දෙනා පුදුමයට පත් කරමින් කිම් ජොන්ග්-උන් ජනතාව ඉදිරියේ පෙනී සිටිමින් කතාවක් පැවැත්වුවා. එහිදී තම සීයා සහ පියාගේ කර්තව්‍යය අගය කල ලාබාල කිම්, සිය හමුදාවද අගය කළා. කවුරුන් මොනවා කීවත් තමන් යන මාර්ගය වෙනස් නොකරන බව මෙයින් උතුරු කොරියානු රජය ලොවට පෙන්වා දුන්නා.

සිය ජනතාව හාමතින් පෙළෙද්දී, තව දුරටත් රාජ්‍ය ආරක්ෂක හමුදා කෙරෙහිත්, රොකට් තාක්ෂනය හා න්‍යෂ්ටික වැඩ පිළිවෙල කෙරෙහිත් උතුරු කොරියානු රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ ඇයිද යන්න ගැටලුවක්. උතුරු කොරියානු පාලකයෝ, තම රටෙහි චීනයේ මෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට බියක් දක්වන බවයි පෙනෙන්නේ. ඒවගේ උත්සාහයන් කීපයක් ඔවුන් දරුවා උනත්, චීනය තරම් විවුර්ත වෙන්නට ඔවුන් කැමැත්තක් දැක්වූයේ නෑ. ඊට මූලික හේතුව උනේ, එම ප්‍රතිසංස්කරණ තමන්ගේ පාලනයෙන් මිදීම ගැන බයක් උතුරු කොරියානු නායකයන්ට තිබුන එකයි. එහෙම උනා නම් ටික කලකින්, කොරියානු කම්කරු පක්ෂයේ පාලනය අවසන් වීමට ඉඩ තිබුනා. චීන කොමියුනිස්ට් පක්ෂයට එසේ නොවුනට තමන්ට එසේ නොවෙයි කියලා හිතන්නට ඔවුන් සූදානම් උනේ නෑ. එයට තවත් හේතුවක් තිබුනා. ඒ තමයි, චීනයට මෙන් නොව, උතුරු කොරියාවට විරුද්ධවාදියෙක් සිටීම. ඒ, දකුණු කොරියාවයි. එහි වෙනම ආර්ථික දේශපාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම, 1970 ගණන් වෙනකල්, උතුරු කොරියාව දකුණු කොරියාවට වැඩිය හොඳ ආර්ථිකයක් තිබුන රටක්. නමුත් අද ඔවුන් අතර වෙනස අහසයි පොලවයි වගේ.

උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහන, රොකට් වැඩසටහන වැනි දේ දිගටම පවත්වාගෙන යන්නේ, එමගින් ඔවුනට හෙට්ටු කිරීමේ හැකියාවක් ලැබෙන නිසයි. ඔවුනට ආධාර අවශ්‍යයි. නමුත් බටහිර රටවල්වලින් ආධාර ගන්නවා නම් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වෙන්නට උතුරු කොරියාවට සිද්ධ වෙනවා. නමුත් උතුරු කොරියාවටත් අනික් අතට කොන්දේසි ඉදිරිපත් කිරීමට හැකියාවක් ඔවුන්ගේ වැඩසටහන් නිසා ලැබිලා තියෙනවා. ළඟදී කරන ලද රොකට් අත්හදා බැලීමට පෙර, ඒ ආකාරයට ඇමරිකාව සමඟ ඇති කරගෙන තිබුණු ගිවිසුමකට අනුව ආහාර ආධාර වෙනුවට න්‍යෂ්ටික වැඩපිළිවෙල නවතා දමන්නට උතුරු කොරියාව එකඟ වෙලා තිබුනා. නමුත් දැන් ඇමරිකාව ඒ එකඟතාවයෙන් අයින් වෙන්න තීරණය කරලා. මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ අවශ්‍ය නම් ආයෙමත් න්‍යෂ්ටික වැඩපිළිවෙල පටන් ගන්නට උතුරු කොරියාවට අවස්තාව ලැබීමයි.

උතුරු කොරියානු තර්ජනයට මුවා වෙලා දකුණු කොරියාව සහ ජපානයත් තම හමුදා ශක්තිය වර්ධනය කර ගනිමින් ඉන්නවා. චීනයත් මේ ගැන ඉන්නේ විමසිල්ලෙන්. රුසියාව උනත් බොහොම හෙවිල්ලෙන් මේ ගැන බලාගෙන ඉන්න බව නිසැකයි. අවසන් ප්‍රතිපලය තමයි, මේ කලාපය මිලිටරිකරණය වීම. කෙලින්ම අවි ගැටුමකට මේ කලාපයේ රටවල් පෙළඹෙන එකක් නෑ. නමුත් උතුරු-දකුණු කොරියානු අර්බුදය ළඟකදී අවසාන වෙන බවක් පෙනෙන්නෙත් නෑ.




පින්තූරය: උන්හා-3 රොකට්ටුව, Voice of America, Wikimedia Commons.



-මූලාශ්‍ර-

Paul Koring, "Failed Rocket Provides Pyongyang's Moment of Truth", The Globe and Mail (Canada), April 13, 2012.

Damian Grammaticas, "Kim Joun-un's First Public Speech" BBC, April 16, 2012.

"Kim Jong-un Speeks at Military Parade", Korean Central News Agency (KCNA) [කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය], April 15, 2012.

2 comments:

  1. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි යුද්ධයකට ගියොත් කවුරු දිනයිද? රටවල් දෙකටම විදේශ යුද්ධාර නොමැති නම්

    ReplyDelete
    Replies
    1. බොන්න ඕන ප්‍රශ්නයක්...:-D සංඛ්‍යාත්මකව නම් උතුරු කොරියාව දකුණු කොරියාවට වැඩිය ගොඩක් විශාල හමුදාවක් ඉන්න රටක්.. එත් මෙහෙම එකක් තියෙනවා. දකුණු කොරියාවට මෙච්චර කල් විදේශ ආධාර නොතිබ්බා නම් උනුත් මෙලහට ඒ වගේ ලොකු හමුදාවක් හදලා... උන් එච්චර වියදමක් නොකළේ ඇමරිකාව 40,000 ක් හමුදාව ඒ රටේ තියලා තියෙන නිසා..

      Delete