මම අහපු, දැකපු, කියවපු, රස විඳපු, විවේචනය කරපු දේවල්වලින් ලියන්න පුළුවන් සහ ලියන්න වෙලාව ලැබුණු දේවල්වල එකතුව.
Monday, April 9, 2012
සදාම් හුසේන්ගේ වැටීමෙන් අවුරුදු නවයකට පසු
මේ පින්තූරයෙන් දැක්වෙන්නේ, ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සනිටුහන් කරමින් මීට අවරුදු නවයකට කලින් 2003 අප්‍රේල් 9 වෙනිදා බැග්ඩෑඩ් නගරයේ ඔහුගේ ප්‍රතිමාවක් බිම හෙලීම. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම බටහිර ආසියාවේ හෙවත් 'මැද පෙරදිග' දේශපාලනයට ඍජු බලපෑමක් ඇති කරපු බව නොරහසක්. එයින් පසුව ඉරාකය කොයි තරම් අස්ථායී උනාද කියන එක කව්රුත් දන්නවා. අදටත් ඉරාකයේ යුද්ධය අවසානයක් දකින්න නෑ.
ඉරාකය මෙච්චර අස්ථායී වෙන්න එක ප්‍රධානතම හේතුවක් උනේ ඒ රටේ ඉන්න ජන කණ්ඩායම් අතර බෙදීම්. රටේ කොටසක ජීවත්වන කුර්දි ජාතිකයෝ අවරුදු ගණනක් තිස්සේ වෙනම පාලනයක් වෙනුවෙන් සටන් කළා. මේ අතර අරාබි ජාතිකයොත් සුන්නි-ෂියා විදියට ඉස්ලාම් නිකාය දෙකකට අයිති. බ්‍රිතාන්‍යයන් විසින් ඉරාකය බිහි කරපු දවසේ ඉඳලා සදාම්ගේ වැටීම වෙනකල් රට පාලනය කලේ සුළුතරයක් වෙච්චි සුන්නි නිකායට අයත් පාලකයන්.
සදාම් හුසේන් ඉරාකයේ ඒකාධිපති පාලනයක් ගෙනිච්ච නමුත් ඒ යටත් 2003 ට පස්සේ අපි දකිනවට වැඩිය සාමකාමී තත්ත්වයක් තිබුනා. අනෙක් කණ්ඩායම් බලාගෙන හිටියේ තමන්ගේ අවස්තාව එනකල්. ඇමරිකාව ප්‍රමුඛ රටවල් කීපයක් ඉරාකය ආක්‍රමණය කරාම ඔවුනට අවස්ථාව ලැබුනා තමන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න. ෂියාවරු දැනගෙන හිටියා ජනගහනයෙන් භාගයකටත් වැඩිය ඔවුන් හිටපු නිසා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් යටතේ ඔවුනට බලය ලබාගන්න පුළුවන් බව. කුර්දීන්ටත් අවශ්‍ය උනා තමන්ට තිබුනට වැඩිය නිදහසක්. මේ අතරේ සුන්නි නායකයෝ කැමති උනේ නෑ ඔවුන්ගෙන් බලය ගිලිහෙනවට. සදාම් එළවා දැමූ පසු ඉරාකයේ මූලිකම ගැටලුව උනේ ඕකයි. අනෙක් ගැටලුව උනේ, ඇමරිකාව යුද්ධයට ලෑස්ති උනාට ඊට පස්සේ සිද්ධ වෙන දේවල් පිලිබඳ කලින් සිතා නොතිබීම. ඔවුන් බලාපොරොත්තු උනා සදාම් එළවා දැමූ පසු සියලු දේ තිතටම වෙයි කියලා. නමුත් සිද්ධ උනේ මහා විනාසයක්. ඇමරිකාව එක හතුරෙක් එළවලා හතුරෝ රෑනක්ම සාදා ගැනීමක් තමයි මෙතනින් උනේ. ටික දවසක් යනකොට නා නා ප්‍රකාර පිරිස් ඇමරිකන් හමුදා සෙබළු ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. අද වෙනකොට ඇමරිකන් හමුදා යුධ මෙහෙයුම්වලින් අයින් කරගෙන තිබුනා උනත් ඉරාක රජයට විරුද්ධව දිනපතාම වගේ ප්‍රහාර එල්ල වෙනවා.
ඉරාකයේ වගේම තවත් බොහොමයක් රටවල ගැටුම් පිලිබඳ හොයල බැලුවම පෙනෙන පොදු සාධකයක් තියෙනවා. ඒක තමයි, ඒ රටවල් ඇත්ත වශයෙන්ම යටත්විජිතවාදීන්ගේ නිර්මාණයන් වීම. එවැනි රටවල ජනතාවට නිදහස භුක්ති විඳින්න ලැබුන ගමන් ඔවුන් එයින් ප්‍රයෝජන අරගෙන තම තම අවශ්‍යතා ඉෂ්ට කරගන්නවා මිසක් රටක් ගැන හිතන්නේ නෑ. ඉරාකයේ විවිධ කණ්ඩායම් එකට එකතු වෙලා ඉරාකය ගොඩ නගයි කියලා ඇමරිකාව බලාපොරොත්තු වීම ඇත්තටම අහස් මාලිගා තැනීමක්.
බටහිර රටවල් අදටත් එහෙම අහස් මාලිගා තනන බවයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් ලිබියාවේ ගඩාෆි පලවා හරින්නට විරුද්ධවාදීන්ට උපකාර කලේ. ඔවුන් ගදාෆිට පස්සේ ලිබියාවෙත් හැම දෙයක්ම හොඳට වෙයි කියල හිතන්න ඇති. නමුත් ඒක එහම වෙන බවක් පෙනෙන්න නෑ. අද ලිබියාවේ විවිධ පළාත් පාලනය කරන්නේ විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම්.
ලිබියාවත් ඉරාකය වගේම යටත් විජිතවාදීන්ගේ නිර්මාණයක්. ට්‍රිපොලිටානියා, සිරෙනයිකා සහ ෆෙසාන් කියන එකිනෙකට වෙනස් ප්‍රදේශ තුනක එකතුවක්. ගඩාෆි යටත් රටේ නැගෙනහිර සිරෙනයිකාවේ අයට බලයක් තිබුනේ නෑ. ඒ නිසා තමයි ඒ පළාත ගඩාෆි විරෝධීන්ගේ බලකොටුව බවට පත් උනේ. අද වෙනකොට ඒ පළාතේ වෙනම පාලනයක් ඇති වෙලා තියෙනවා. ඉරාකයේ නම් සත්‍ය වශයෙන්ම එකමුතුවක් නොතිබ්බත් අවුරුදු නවයක් ඒ රට නොකැඩී ඉන්න සමත් වෙලා තියෙනවා. (කොහොම උනත් ඉරාක කුර්දිස්ථානය දැන් පාලනය වෙන්නේ එක්තරා විදියකට වෙනමම රටක් විදියට.) ලිබියාවට එහෙම ඉන්නට ලැබෙයිද කියන ඒක පිලිබඳ තවම මුකුත් කියන්නට බැහැ.
Subscribe to:
Post Comments (Atom)
ඇෆ්ගනිස්ථානය,පකිස්ථානය,ඉරාකය,ලිබියාව වගේ රටවල් වලට මෙහෙම අවසානවන්ත සිදුවීම් වර්තමානයේ මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ රටවල් වල හිටිය පාලකයෝ අරන් ගිය ඒකාධිපති පාලනයන් නිසා.බටහිර රටවල් වලට අවස්ථාව දුන්නේ ඒ ඒකාධිපති පාලකයින්ම තමයි.
ReplyDeleteයන්තන් අපේ ජනතාව බුද්ධිමත් නිසා එහෙම නොවී බේරුනේ හිටපු ඒකාධිපති රජෙක්ගෙන්.නැතිනම් මේකේ යටත් විජිත හදන්නේ සුද්දෝ නොවී චීන්නු,ඉන්දියන් කාරයෝ..:D