Saturday, December 5, 2015

පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

1914 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හන්ගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමඟ පළමු ලෝක යුද්ධයේ ආරම්භය සනිටුහන් වූ අතර දින කිහිපයක් තුළදී ජර්මනිය සහ ඔස්ට්‍රා-හන්ගේරියාව එක් පාර්ශවයකත්, බ්‍රිතාන්‍යය​, ප්‍රංශය, බෙල්ජියම​, සර්බියාව​, රුසියාව යන රටවල් අනෙක් පාර්ශවයත් වශයෙන් බෙදී එකිනෙකා හා කුළල් කා ගැනීම ඇරඹිණ​. පසුව මෙම රටවල් අතරට තවත් බොහෝ රටවල් එක් වූ අතර​, ජර්මනිය ඇතුලු පාර්ශවය මධ්‍ය බලවතුන් ලෙසත්, අනෙක් පාර්ශවය මිත්‍ර පාර්ශවය ලෙසත් සළකණු ලැබේ.

ඔස්ට්‍රා-හන්ගේරියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළ සැණින්, සිය ස්ලාව් ජාතික මිත්‍රයා වෙනුවෙන් ඉදිරිපත් වූ රුසියාව​, ඔස්ට්‍රා-හන්ගේරියාවට එරෙහිව හමුදා ජංගමගත කිරීම ඇරඹුවේය​. ජූලි 30 වනදා රුසියාව ජර්මනියට එරෙහිවද හමුදා ජංගමගත කිරීම ඇරඹීය​. මෙම ක්‍රියාව නවතන ලෙස ජර්මනිය රුසියාවට කියා සිටි නමුත්, එම අනතුරු ඇඟවීම බලාපොරොත්තු වූ පරිදිම නොසළකා හරින ලදී. අගෝස්තු 1 වනදා රුසියාවට එරෙහිව ජර්මනිය යුධ ප්‍රකාශ කළේය​.

බටහිර පෙරමුණෙහි යුධ තත්ත්වයක් සඳහා ජර්මන් යුධ සැලසුම ෂ්ලීෆන් සැලසුම (Schlieffen Plan) නම් විය​​. එම සැලසුම අනුව ජර්මන් හමුදා බෙල්ජියම හා ලක්සම්බර්ග් හරහා විදුලි වේගයෙන් ප්‍රංශයට කඩා වැදිය යුතු විය​. මෙහිදී ජර්මනිය. යුරෝපා බලවතුන් අතර වූ එකඟතා ගිවිසුමක් උල්ලංඝනය කිරීමට නියමිතව තිබිණ​.

1839 දී යුරෝපා රටවල් බෙල්ජියමේ මධ්‍යස්ථභාවය පිළිබඳ එකඟතා ගිවිසුමකට පැමිණියහ​. මේ ගිවිසුම යුරෝපා රටවල් විසින් මහත් ඉහළින් සලකන ලදී. ඒ කෙතෙක්දැයි කිවහොත්, 1870 දී ප්‍රංශ​-ප්‍රශියා යුධ සමයේදී, ප්‍රශියානු හමුදා ප්‍රංශය ආක්‍රමණය කළේ ඇල්සාස් හරහා වූ වඩා දුෂ්කර මාර්ගය ඔස්සේය​.

අගෝස්තු 1 වනදා ජර්මනිය ප්‍රංශයෙන් මධ්‍යස්ථභාවය පිළිබඳ සහතිකයක් ඉල්ලා සිටියේය​. මක් නිසාද යත්, රුසියාවට යුධ ප්‍රකාශ කළ විට ඊට එරෙහිව ප්‍රංශය ඉදිරිපත් වන බව දැන හුන් හෙයිනි. ප්‍රංශය​, ජර්මනියේ මෙම ඉල්ලීම සැළකුවේ නැත​. ජර්මනිය අගෝස්තු 2 වනදා ලක්සම්බර්ග් වෙත හමුදා යවා අගෝස්තු 3 වනදා ප්‍රංශයට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​.

මේ අතර​, ජර්මනිය​, බෙල්ජියම හරහා සිය හමුදා යැවීමට අවසර ඉල්ලූ නමුත්, බලාපොරොත්තු වූ පරිදිම එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූයෙන්, බෙල්ජියමට එරෙහිව යුද්ධයට බටහ​. මෙහි ප්‍රතිපලය වූයේ බ්‍රිතාන්‍යය අගෝස්තු 4 වනදා ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමයි.

ආරම්භයේදී මධ්‍ය බලවතුනට සිදුවූ එක් වරදක් නම් රටවල් දෙක අතර උපක්‍රමික අනවබෝධයයි. ජර්මනිය ප්‍රංශයට කඩා වදිද්දී, රුසියාව පිළිබඳ ඔස්ට්‍රියා-හන්ගේරියාව විසින් අවධානය යොමු කෙරෙනු ඇතැයි එරට බලාපොරොත්තු විය​. එනමුත් ඔස්ට්‍රියාව වඩා අවධානය යොමු කළේ සර්බියාව දෙසටය​. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා පෙරමුණු දෙකකට කැඩීමය​.

මේ අනුව ඔස්ට්‍රා - හන්ගේරියාවට සර්බියානු සටන් පෙරමුණට එවිය හැකි වූයේ 300,000 කට මඳක් වැඩි හමුදාවක් පමණි. සර්බියානු ආක්‍රමණය මෙහෙයවීම භාර වූයේ ජෙනරාල් ඔස්කාර් පොටියොරෙක්ට ය​.

පොටියොරෙක් විචිත්‍රවත් පුද්ගලයකු වූයේය. 1911 සිට බොස්නියා හර්සගොවිනාවේ ආණ්ඩුකාරයා වූ හෙතෙම 1914 ජූනි 28 වනදා ආච්‍ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය වූ අවස්ථාවේ එම රථයේ සිටියේය​. ඇතැම් වාර්තා අනුව​, ඝාතකයා වූ ගැව්රිලෝ ප්‍රින්සිප් පසුව ප්‍රකාශ කළේ ආච්ඩියුක්වරයාගේ බිරිඳ වූ සොෆීට වැදුණ වෙඩිල්ල ඇත්තෙන්ම තබන ලද්දේ පොටියොරෙක් වෙත බවයි.

ජර්මන් යුධ සැලැස්ම​

යුරෝපයේ මධ්‍යගතව වූ ජර්මනියේ පිහිටීම එරටට වාසි අවාසි දෙකම ගෙන ආවේය​. එක් අතකට එමගින් දෙපසින් වන ප්‍රතිවාදීන්ට එරට විවෘත වූ අතර දිගු කාලීන යුද්ධයකදී එය අවාසිදායක වීමට ඉඩ තිබිණ​. අනෙක් අතට ප්‍රතිවාදී රටවල් දෙකේ හමුදාවලට එක්ව, එක පසකින් ජර්මනියට පහරදීමේ හැකියාව නොවීය​. තව ද ජර්මන් දුම්රිය මාර්ග ඉතාම සැළකිල්ලෙන් යුතුව තනා තිබුණි. එම මාර්ග තැනීමේදී හමුදාවේ අනුමැතිය ද ලබාගත යුතු වූයේය​. මේ අනුව ජර්මන් හමුදාවට යුධ සමයකදී සිය පිරිස් ප්‍රවාහනය කිරීම සඳහා මනා දුම්රිය මාර්ග ජාලයක් නිර්මාණය වී තිබුණි. මීට සාපේක්ෂව රුසියාවේ පැතැතියේ ඉතාම ප්‍රාථමික මට්ටමේ ගමනාගමන පහසුකම් ය​.

1871 දී ප්‍රංශ - ප්‍රශියානු යුද්ධය අවසන් වූ පසු ජර්මන් අධිරාජ්‍යයේ යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හෙල්මුත් ෆොන් මෝල්ට්කේ (වැඩිමහලු) ප්‍රංශය සහ රුසියාව යන දෙරටටම එරෙහිව යුද්ධයක් සඳහා සැලසුමක් සූදානම් කළේය​. යම් හෙයකින් එම දෙරට සමඟම ජර්මනියට යුද්ධ කිරීමට සිදු වුවහොත් එහි ඇති අපහසුව ඔහු තේරුම් ගත්තේය​. පෙරමුණු දෙකක සටන් කිරීම සඳහා ජර්මනියට අවශ්‍ය සම්පත් සහ පිරිස් බලය ප්‍රමාණවත් නොවන බව ඔහු දැන සිටියේය​. නමුත් එම රටවල් දෙක දෙපසක පැවතීම නිසා මුලින් එක් රටකට පහර දී එය අඩපණ කොට ඉන් පසු අනෙක් රට දෙස හැරීමට ඔහු අදහස් කළේය​.

මෝල්ට්කේගේ අදහස වූයේ රුසියාවට මුලින්ම පහර දී එරට අඩපණ කොට ඉන් පසු ප්‍රංශය දෙස අවධානය යොමු කිරීමය​. මේ අනුව දෙරටින් එකක්වත් සිය හමුදා ජංගමගත කිරීමට පෙර රුසියාවට පහර දෙන ජර්මනිය එරටට දරුණු ලෙස පහර දී, ඉන් පසු එම පෙරමුණේ හමුදාවලින් කොටසක් ද ප්‍රංශය වෙත යැවිය යුතු විය​. ඉන් පසු ප්‍රංශයට කඩා වැදිය යුතු විය​. ඒ බෙල්ජියම හරහා ය​.

1891 දී මෝල්ට්කේගේ තනතුරට පත් ජෙනරල් ඇල්ෆ්‍රඩ් ෆොන් ෂ්ලීෆන් වෙනස් කළේ මෙම සැළැස්මය​. නමුත් ෂ්ලීෆන් තීරණය කළේ මුලින්ම රුසියාවට පහර දීම අවදානම් බව ය​. රුසියාව විශාල බිම් ප්‍රදේශයකින් යුත් රටක් වීම ඊට හේතුව විය. ෂ්ලීෆන් සැලසුම් කළේ බෙල්ජියම සහ ලක්සම්බර්ග් හරහා ප්‍රංශයට කඩා වැදී, ප්‍රංශ - ජර්මන් දේශසීමා ආරක්ෂක බලකොටුවලට පසුපසින් පහර දීමට ය​. මේ අනුව ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශවල රැඳවිය යුතු වූයේ කුඩා සේනාංකයක් පමණි. මේ අතර රුසියානු ආක්‍රමණයකින් ආරක්ෂා වීම සඳහා නැගෙනහිර පෙරමුණේ හමුදා රැඳවිය යුතු වූ අතර ඔවුන් ආක්‍රමණකාරී නොවී ප්‍රතිවාදියාගෙන් සිය දේශසීමා ආරක්ෂා කිරීම පමණක් කළ යුතු විය​.

මෙහිදී ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශ මග හරිමින් බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදීමට තීරණය කිරීමේ හේතුව පැහැදිලි ය​. ඇල්සාස් - ලොරේන් ප්‍රදේශ ආශ්‍රිත ජර්මන් - ප්‍රංශ දේශසීමාවේ වැඩි කොටසක් කඳුකරය වූ අතර එහි වූ පටු පහත් බිම හරහා ජර්මන් හමුදා පැමිණියේ වී නම් ඒ සමඟම ඔවුන්ගේ මග ඇවිරීමට ප්‍රංශ බලකොටු කිහිපයක් ම විය​. මේ අනුව එම ප්‍රදේශයේ යුධ පෙරමුණ පටු මෙන්ම බාධක සහිත එකක් වීමට නියමිත වූයේය​. ජර්මනිය බලාපොරොත්තු වූ ආකාරයේ වේගවත් ප්‍රහාරයකට එම පෙරමුණ සුදුසු වූයේ නැත​.

බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදීමේදී මුහුණ දිය යුතු වූ ප්‍රධාන බාධකයක් වූයේ බෙල්ජියමේ ලීග් බලකොටුව ය​. ෂ්ලීෆන් අදහස් කළේ එම බලකොටුව මග හැර හමුදාව ප්‍රංශයට යැවීමට ය​. තව ද බෙල්ජියම ආක්‍රමණයට ඔහු කෙළින්ම කැමැත්තක් දැක්වූයේ නැත​. බෙල්ජියමේ මධ්‍යස්ථභාවය බිඳ දමා ජර්මනිය වරදකරුවකු වීමට වඩා ඔහු කැමැති වූයේ බෙල්ජියමේ අවසරය ලබාගෙන හමුදා එරට හරහා යැවීම ය​. අනෙක් අතට බෙල්ජියම අසළ හමුදා එක් රැස්වනු දකින ප්‍රංශය බෙල්ජියම හරහා හමුදා එවීමට කටයුතු කරනු ඇතැයි ද යන සිතිවිල්ලක් ඔහු තුළ විය​.

කෙසේ වෙතත් ඔහුගේ සැලසුම අනුව බටහිර පෙරමුණෙහි ජර්මන් හමුදාවල දකුණු අත පස ශක්තිමත් විය යුතු වූ අතර වම් පස​, එනම් ඇල්සාස් - ලොරේන් අශ්‍රිත සේනාංක එතරම් විශාල වීම අවශ්‍ය නොවීය​. මෙම අදහස ෂ්ලීෆන් තුළ කෙතරම් තදින් පැළපදියම් වී තිබ්බේද යත් ඔහු සිය මරණ මංචකයේදී "මොනවා කළත් දකුණත පස ශක්තිමත් කරන්න​" යයි පැවසූ බැව් සඳහන් ය​.

1913 දී සිදු වූ ෂ්ලීෆන්ගේ මරණින් පසු ඔහුගේ තනතුරට පත් වූයේ වැඩිමහලු මෝල්ට්කේගේ බෑණා වූ හෙල්මුත් ෆොන් මෝල්ට්කේ (කනිෂ්ඨ​) ය​. ඔහු ෂ්ලීෆන් සැකසූ සැලැස්ම තවත් වෙනස්කම්වලට භාජනය කළේය​. ෂ්ලීෆන් ඉදිරිපත් කළ සැළැස්මේ මූලික හරය එසේම තිබුණ ද මෝල්ට්කේ දකුණුපස ශක්තිමත් කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමු නොකළේය​. 1905 සිට 1914 දක්වා සමය තුළ අලුතින් එක්වූ හමුදා ඩිවිෂන 9 න් 8 ක් ම ඔහු එක් කළේ වම් පෙරමුණට ය​. එම දෙසින් ජර්මන් සේනාංක ශක්තිය මදි යයි ඔහු සිතූ සේ ය​. මේ අතර රුසියානු පෙරමුණෙන් එක් ඩිවිෂනයක් බටහිරට ගෙන ආ බව සැබැවි. එහෙත් මේ වෙද්දී රුසියානු හමුදා පෙර තරම් දුර්වල තත්ත්වයක නොවූ හෙයින් එය ද අවසානයේ නරකට හිටියේය​.

අනෙක් අතට ෂ්ලීෆන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් බෙල්ජියම හරහා හමුදා යැවීමට අවසර සකසා ගැනීම ගැන අවධානය යොමු කළ ද මෝල්ට්කේ එවන් අදහසක් නොදැරීය​. ඔහු බලාපොරොත්තු වූයේ වේගවත් ප්‍රහාරයක් මගින් ලීග් බලකොටුව අල්ලා ගැනීම ය​.

ප්‍රංශ යුධ සැලැස්ම​

ජර්මනියට එරෙහි යුද්ධයක් සඳහා ප්‍රංශය විසින් සකසන ලද යුධ සැළැස්මෙහි මූලික අඩුපාඩු දෙකක් විය​. එකක් නම් ජර්මන් හමුදා ශක්තිය අවතක්සේරු කිරීම ය​. ජර්මනිය සතු අතිරේක සේනාංක ද යුද්ධය වෙනුවෙන් යොදවා ගනු ඇතැයි ප්‍රංශය විශ්වාස කළ අතර ඔවුන් තක්සේරු කළේ ජර්මන් සේනා ශක්තිය ඩිවිෂන 68 ක් වනු ඇති බව ය​. මෙයින් අතිරේක සේනාංක එතරම් බලපෑමක් නොකරනු ඇතැයි ඔවුන් විශ්වාස කළ හ​. එහෙයින් ඔවුන් බලාපොරොත්තු වූයේ ඩිවිෂන 45 ක පමණ වූ සේනා ශක්තියකට මුහුණ දීමට ය​. නමුත් ජර්මන් සේනා ශක්තිය අතිරේක හමුදා ද සහිතව ඩිවිෂන 83 ක් විය​.

අනෙක් අතට ප්‍රංශ හමුදා අංශ බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප්‍රදේශයක පැතිරුණ ප්‍රහාරයක් ජර්මානු හමුදා විසින් එල්ල කරන ලදී. බෙල්ජියම හරහා ඔවුන් කඩා වදිනු ඇතැයි ප්‍රංශ නිලධාරීන් විශ්වාස කළ ද ඔවුන් බලාපොරොත්තු වූයේ ආර්ඩනස් ප්‍රදේශය හරහා ප්‍රධාන ප්‍රහාරය එල්ල වනු ඇතැයි යන්න ය​.

ප්‍රංශ සැලැස්ම ආරක්ෂාකාරී එකකට වඩා ප්‍රහාරාත්මක එකක් විය​. ඔවුනගේ පළමු සහ දෙවන හමුදා සාර් ප්‍රදේශය වෙත ලොරේන් ප්‍රදේශය හරහා කඩා වැදිය යුතු වූ අතර තුන්වන හමුදාව මේට්ස් ප්‍රදේශයේ රඳවන ලදී. පස්වන හමුදාව ආර්ඩනස් දෙසට මුහුණ ලා සිටියේය​. සිව් වැනි හමුදාව යුධ පෙරමුණෙන් පසුපසින් අතිරේක සේනාංකයක් ලෙස තබා තිබුණි.

මූලික ජර්මන් ප්‍රහාරය​

මනා සැලසුමකින් යුතුව තනන ලද දුම්රිය මාර්ග පද්ධතිය හේතුවෙන් ජර්මන් හමුදා ඉතා වේගයෙන් බටහිර පෙරමුණ කරා ගෙනෙන ලදී. අගෝස්තු 6 වනදා වනවිට මහා පරිමාණ හමුදා යෙදවීම පටන් ගෙන තිබිණ​. දිනකට දුම්රිය 550 ක් රයින් නදිය හරහා වැටුණ පාලම් මතින් සෙබලුන් පෙරමුණට ගෙන ආවේ ය​. අගෝස්තු 12 වනවිට හමුදා සේනා හතක මිලියන 1.5 ක පිරිසක් පෙරමුණ වෙත පැමිණියෝ ය​.

ජර්මන් හමුදා බෙල්ජියමට කඩා වදින මාර්ගය හරස් කරගෙන ලීග් බලකොටුව වූ අතර අගෝස්තු 5 වනදා බලකොටු මග හරිමින් ගිය බ්‍රිගේඩයක් විසින් නගරය අල්ලාගන්නා ලදී. මෙම බ්‍රිගේඩයට නායකත්වය දුන්නේ පසු කළෙක මහත් ප්‍රසිද්ධියක් දිනාගත් ලූඩන්ඩෝර්ෆ් ය​. කෙසේ නමුත් ලීග් බලකොටු අල්ලාගත හැකි වූයේ හවිට්සර් වර්ගයේ විශාල කාලතුවක්කු සටනට පැමිණි පසු ය​.

කෙසේ වෙතත් ප්‍රංශ යුධ නායකයන්ට ජර්මන් ප්‍රහාරය එල්ල වන ස්ථානය පිළිබඳ අවබෝධයක් නොවූ හෙයින් ඔවුන් හමුදා සූදානම් කොට තිබුණේ ඇල්සාස්, ලොරේන් සහ බෙල්ජියමේ ආර්ඩනස් ප්‍රදේශයනට මුහුණලා ය​. එහෙයින් බෙල්ජියම හරහා එන ජර්මන් හමුදාවලට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් ප්‍රංශ හමුදා මේ වෙද්දී එම ප්‍රදේශයේ නොවූහ​. මේ අතර​, සිය හමුදා සමූල ඝාතනය වීම වැළැක්වීම පිණිස බෙල්ජියම් හමුදා ඇන්ට්වර්ප් දෙසට පසු බැස්සෝය​.

ප්‍රංශ හමුදා ප්‍රහාර​

අගෝස්තු 7 වනදා බටහිර පෙරමුණේ අනෙක් අන්තයෙහි ප්‍රංශ ප්‍රහාරය ඇරඹිණ​. මෙම ප්‍රහාරය එල්ල වූයේ ඉහළ ඇල්සාස් ප්‍රදේශයට ය​. මුල් ප්‍රහාරය ඉක්මණින් ම මැඩ පවත්වන ලද අතර අගෝස්තු 19 වනදා වඩා විශාල සේනාංක සමඟ කළ දෙවන ප්‍රහාරය මගින් ප්‍රංශ හමුදා රයින් නදිය වෙත ළඟා වීමට සමත් වූහ​. නමුත් වෙනත් ප්‍රදේශවල වූ පරාජයන් හේතුවෙන් මෙම ප්‍රහාරය නවතා දමන ලදී.

මේ අතර අගෝස්තු 14 වනදා ලොරේන් ප්‍රදේශයට ප්‍රංශ හමුදා කඩා වැදුණ හ​.

මෙම ප්‍රහාර හේතුවෙන් ජර්මන් හමුදාවල අවධානය වෙනතක යොමු විය​. මේ අවස්ථාවේ කළ යුතු වූයේ දකුණු පසින් පෙරමුණ වෙත එල්ල කෙරෙමින් පැවති ප්‍රහාරය දිගටම සිදු කරගෙන යාම වුව ද කනිෂ්ඨ මෝල්ට්කේ ඉහත කී ප්‍රංශ ප්‍රහාර කෙරෙහි අවධානය යොමු කලෙන්, මූලික ප්‍රහාරය දුර්වල වීමට එය හේතු විය​.

දින කිහිපයක් යන තෙක් මෝල්ට්කේ සිටියේ දෙලොවක් අතර ය​. එක් අතකින් දකුණු පසින් එල්ල කෙරෙන ප්‍රහාරය දිගටම කරගෙන යාම සහ අනෙක් පසින් වම් පස දෙස අවධානය යොමු කිරීම අතර දෝලනය වූ ඔහු පසුව දකුණු පසින් එල්ල වන ප්‍රහාරය දිගටම සිදු කිරීමට තීරණය කළේය​. එහෙත් ඔහු වම් පස හමුදාවලට උපදෙස් දුන්නේ හැකි තරම් ප්‍රංශ සේනාංක ඒ දෙස රඳවා තබා ගන්නා ලෙස ය​. එහි හමුදා මෙහෙයවූ රුප්‍රෙෂ්ට් කිරුළ හිමි කුමරු මෝල්ට්කේ වෙත කියා සිටියේ තමන්ට එසේ කිරීමට නම් ප්‍රංශ හමුදා වෙත පහර දීමට සිදු වන බව ය​. මෙහිදී මෝල්ට්කේ කළේ ඒ පිළිබඳ තීරණය ගැනීම රුප්‍රෙෂ්ට් කුමරුටම පැවරීමයි.

මේ අනුව​, උපක්‍රමශීලීව පසු බසිමින් සිටි රුප්‍රෙෂ්ට් සිය හමුදා නවතා ලොරේන් වෙත කඩා වැදුණ ප්‍රංශ සේනා හා සටනට බැස්සේය​. ප්‍රංශ සේනාංක මේ ප්‍රහරයෙන් පසු බැස ගියේය​. නමුත් රුප්‍රෙෂ්ට් සතුව තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය හමුදා ශක්තිය නොවීය​. තව ද​, ප්‍රංශ හමුදාව වට කිරීමට කළ උත්සාහයක් ද අසාර්ථක වූ අතර ප්‍රංශ සේනාවෝ සිය බලකොටු වෙත පසු බැස්සෝය​. ඔවුන් එයින් පළවා හැරීමට ප්‍රමාණවත් සේනාංක ජර්මානුන්ට නොවීය​. ඒ හේතුව නිසාම​, ප්‍රංශ හමුදාවට සිය පිරිස් ශක්තියෙන් කොටසක් ප්‍රධාන ප්‍රහාරය එල්ල වන ප්‍රදේශය වෙත යැවීමට පිළිවන් විය​.

මේ අතර ප්‍රංශ සේනාංක බෙල්ජියම හරහා ඉදිරියට එන ජර්මානුන්ට පහර දීම සඳහා උපක්‍රමයක් සැලසුම් කළ හ​. මේ අනුව ආර්ඩනස් ප්‍රදේශයට ප්‍රංශ තුන්වන සහ සිව්වන හමුදා කඩා වැදිය යුතු වූ අතර ඔවුන් ජර්මන් හමුදාවලට පසුපසින් පහර දිය යුතු විය​. මේ අතර පස්වන හමුදාව වයඹ දෙසට යවන ලදී. මේ වනවිට ප්‍රංශයට ගොඩ බැස සිටි බ්‍රිතාන්‍ය කාර්යය සාධක බලකාය ද සමඟ එක්ව ඔවුන් ජර්මානුන් හා සටන් කළ යුතු විය​.

නමුත් ප්‍රංශ හමුදා තමන් ඉදිරියේ සිටින ජර්මන් සේනාංකවල ශක්තිය මෙන්ම ඔවුන් කෙතරම් ප්‍රදේශයක පැතිර සිටියේද යන්න පිළිබඳ නිවැරදි අදහසකින් යුතුව සටන් නොකළෝය​. ආර්ඩනස් හරහා ජර්මානුන්ට පහර දීමට ගිය ප්‍රංශ සේනා බලාපොරොත්තු වූයේ වැඩි පිරිස් ශක්තියකට මුහුණ දීමට ඔවුනට නොහැකි වනු ඇත යනුවෙනි. එහෙයින්, එක්තරා මීදුම් සහිත දිනයක (අගෝස්තු 22), ජර්මන් සිව්වන සහ පස්වන හමුදාවලින් සමන්විත ප්‍රබල බල සෙනඟකට මුහුණ දීමට සිදු වූ විට ප්‍රංශ හමුදා විමතියට පත් වූහ​. මේ අතර වයඹ දෙසට ගිය සේනාංක ද ජර්මන් පළමු, දෙවන සහ තුන්වන හමුදා හමුවේ පසු බැස්සෝය​. බ්‍රිතාන්‍ය කාර්යය සාධන බලකායට ද වේගයෙන් පසු බැසීමට බල කරන ලදී.

මින් පසු බෙල්ජියමේ සහ වයඹ දිග ප්‍රංශයේ නාමූර්, මෝබේග් (Maubeuge) සහ ජිවේ (Givet) වැනි බලකොටු සඳහා සටන් ඇතිවූ අතර ජර්මන් ඩිවිෂන කිහිපයක් එහි රැඳී සිටියහ​. එහෙයින් ඔවුහු තීරණාත්මක වූ මාර්න් නදී සංග්‍රාමය සඳහා සම් බන් ධ නොවූහ​.

මීටත් වඩා විමතියට කරුණ නම් ජර්මන් ඩිවිෂන හතරක් බටහිර පෙරමුණෙන් ඉවත් කර නැගෙනහිර පෙරමුණ වෙත යැවීම ය​. මෙම හමුදා ඉවත් කරගත්තේ අගෝස්තු 25 වනදා ය​. ඒ වනවිට නාමූර් සටන අවසන් වේගන ආවා පමණි. යම් හෙයකින් එම ඩිවිෂන දිගටම එහි රැඳී සිටියේ නම් මාර්න් නදී සංග්‍රාමයට එම හමුදා ද යොදවා ගත හැකි වන්නට තිබුණි.

මාර්න් නදී සංග්‍රාමය​

කෙසේ නමුත් අගෝස්තු අවසානය වන විට තමන්ට සිදු වූ පරාජයන් සමඟම ප්‍රංශ මාණ් ඩලික ප්‍රධානී ජෙනරල් ජ්‍යොෆ්‍ර සිය හමුදා පසුපසට ගත්තේය​. වර්ඩුන් කේන් ද්‍ර කරගෙන මෙම හමුදා ප්‍රතිසංවිධානය කරගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය​.

ෂ්ලීෆන් සැලැස්මට අනුව ජර්මන් හමුදා පැරිසිය ද හසුවන සේ හමුදා මෙහෙයවා ඉන් පසු එම හමුදා වැටලිය යුතු විය​. ප්‍රංශ හමුදා පසුබසිනු දුටු ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆොන් ක්ලක්ගේ පළවන ජර්මන් හමුදාව සහ ජෙනරාල් කාර්ල් ෆොන් බ්‍යුලෝගේ දෙවන ජර්මන් හමුදාව පැරිසිය වට කරනු පසෙක ලා පසු බසින ප්‍රංශයින් වටලෑමට සිය හමුදා මෙහෙයවීය​. නමුත් ඒ සමඟම​, ජර්මන් සේනාංක සිය දකුණු අත දිශාවෙන් නිරාවරණය වූහ​.

මෙම වරද ජ්‍යොෆ්‍ර විගස දුටුවේය​. මේ අනුව ඔහු සිය හමුදා එදෙසට යැවූ අතර පසු බසින හමුදාවලට ද නැවතී සටන් කරනැයි අණ දුන්නේය​. සැප්තැම්බර් මුල් සතිය නිම වෙද්දී ප්‍රංශ හමුදා ජර්මානුන්ට පහර දුන්නේ ය​.

සතියක් තිස්සේ පැවති පළමු මාර්න් නදී සංග්‍රාමය නිම වූයේ ජර්මන් හමුදාව පළවා හැරීමෙනි. පැරීසියට වූ අවදානමෙන් එය මුදවනු ලැබූ අතර යළි වසර හතරක් ගතවන තුරු පැරිසිය වැටෙනු ඇතැයි යන භීතියක් ප්‍රංශයට ඇති වූයේ නැත​.

පැරිසියට එල්ල වූ අවදානමෙන් එය මිදීම ප්‍රංශ ජාතිකයනට කෙතරම් වැදගත් වූයේද යත්, මාර්න් නදී සංග්‍රාමය "මාර්න් නදියේ ප්‍රාතිහාර්යය​" ලෙසද හඳුන්වනු ලැබේ.

අගල් යුධ ව්‍යාපාරය​

මාර්න් නදී සංග්‍රාමයෙන් පසු, බටහිර පෙරමුණෙහි යුද්ධය පැවැතියේ එකිනෙකා වටලෑමට කරන ලද උත්සාහයන් පෙළකි. එක් පාර්ශවයක් උතුරු දෙසින් හමුදා යවමින් අනෙක් පාර්ශවයේ හමුදා වටලන්නට යත්න දරද්දී අනෙක් පාර්ශවය​, ඊට උතුරින් හමුදා සේනාංක යවමින් එම හමුදා වටලන්නට උත්සාහ කළහ​. මේ අයුරින් දෙපාර්ශවය එකිනෙකා පරයන්නට කළ උත්සාහයන් නතර වූයේ උතුරු මුහුදු වෙරළෙනි. එහෙයින් මේ සටන් මාලාවට 'මුහුද කරා තරඟ දිවීම' ලෙස කියනු ලැබේ.

මෙම සටන්වලින් කිසිදු පාර්ශවයකට තීරණාත්මක ජයග්‍රහණයක් නොලැබුන හෙයින් සීත ඍතුව ආරම් භ වන විට දෙපාර්ශවය උතුරු මුහුදේ සිට ලොරේන් දක්වා වූ දිගු පෙරමුණක් දිගේ එකිනෙකාට මුහුණ දීගෙන සිටියෝය​. ජර්මන් හමුදා මෙහි ආරක්ෂිත යුධ අගල් ඉදි කළ අතර​, මිත්‍ර හමුදා ද ඊට පිළිතුරු අගල් මාලාවක් ඉදි කළහ​.

මුලින් මේවා ඉදි වූයේ තාවකාලික ආරක්ෂිත උපක්‍රමයක් ලෙසය​. නමුත්, යුද්ධාවසානය ආසන්න වනතෙක්ම බටහිර පෙරමුණෙහි යුද්ධය අර්ථ දැක්වනුයේ මෙම අගල් යුධ ව්‍යාපාරය මගිනි.

නැගෙනහිර පෙරමුණ​

බටහිර පෙරමුණේ ප්‍රංශය කෙරෙහි එල්ල වූ ජර්මන් බලපෑම මඳක් අඩු කරවන අටියෙන් නැගෙනහිර පෙරමුණෙහි සටන් ලහි ලහියේ ඇරඹීමට රුසියානුවෝ ක්‍රියා කළහ​. ඔවුනගේ මූලික ඉලක්කය වූයේ නැගෙනහිර ප්‍රශියාවයි.

රුසියානු හමුදා බොහෝ අංශවලින් ජර්මන් හමුදාවලට වඩා පසුපසින් සිටි බැව් සිහි තබාගත යුත්තේය​. රුසියානුවනට පිරිස් බලය පිළිබඳ ගැටලුවක් නොවීය​. එහෙත් ප්‍රවාහනය සහ හමුදාවේ ගුණාත්මකභාවය යන අතින් රුසියාව ජර්මනියට වඩා වූයේ පසුපසිනි. ජර්මානුන්ට සිය දුම්‍රිය මාර්ග පද්ධතිය ඔස්සේ විගස හමුදා ප්‍රවාහනය කළ හැකි විය​.

මේ අතර​, හමුදා නායකත්වය අතින් ද ජර්මානුන් ඉදිරියෙන් සිටිනු දක්නා ලදී. විශ්‍රාම ගෙන සිටි ජෙනරල් පෝල් ෆොන් හින්ඩන්බර්ග් නැවත සේවයට කැඳවූ ජර්මනිය​, ඔහු සහ ජෙනරල් එරික් ලූඩන්ඩෝර්ෆ් නැගෙනහිර පෙරමුණ වෙත යැවූහ​. මේ දෙදෙනා මෙතැන් පටන් පළමු ලෝක යුද්ධය පුරාවටම ජර්මනියේ යුධ ව්‍යාපාරය කෙරෙහි විශාල බලපෑමක් කරන්නට නියමිතව සිටියෝය​.
ටැනන්බර්ග් සටනේදී යටත් වූ රුසියානු සිරකරුවන් පිරිසක්

අගෝස්තු 26-30 අතර සිදුවූ ටැනන්බර්ග් සංග්‍රාමයේදී, රුසියානු දෙවැනි හමුදාව අතුගෑවී ගියාහ​. රුසියානු දෙවැනි හමුදාවේ 230,000 ක් සටනට එක්වූ බව සඳහන් වන අතර ඉන් 92,000 ක් සිරකරුවන් ලෙස අල්ලාගන්නා ලදී. තවද​, මියගිය හෝ තුවාල ලද හෝ පිරිස 78,000 ක් බව කියැවේ.

මෙම සටනෙන් රුසියානු දෙවැනි හමුදාව විනාශ කරන ලද මුත් රුසියානු පළමු හමුදාව තවදුරටත් නැගෙනහිර ප්‍රශියාවේ රැඳී සිටියේය​.​. ටැනන්බර්ග් ජයග්‍රහණයෙන් පසු, ජර්මන් අටවැනි හමුදාව රුසියන් පළමු හමුදාව දෙස අවධානය යොමු කළේය​​. පළමු මාසුරියන් විල් සටනේදී (First Battle of the Masurian Lakes) පළමු හමුදාව පරාජය වූ අතර එය වටලනු ලැබීමට පෙර වහ වහා පළා ගියේය​​.

සර්බියානු වික්‍රමය​

ඉතිහාසයේ ඇතැම් සිදුවීම් කෙරෙහි සාමාන්‍ය අවධානය යොමු වීම අඩුය​. බටහිර ඉතිහාසඥයින් බොහෝ දෙනකු බෙල්ජියමේ නිර්භීතකම පිළිබඳ සාකච්ඡා කළද ඔවුනට සර්බියාව නිතර මතකයට නොනැඟේ. පළමු ලෝක යුද්ධය ආරම්භයේදීම මිත්‍ර පාක්ෂික ජයග්‍රහණයක් ලෙස වාර්තා වූයේ සර්බියානුවන් විසින් තමනට වඩා ප්‍රබල ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජ්‍යයේ හමුදා පරාජය කිරීමයි.

1914 අගෝස්තු මාසයේදී චර් කඳු ගැටය අසළ සිදු වූ සටනේදී (Battle of Cer) සර්බියානු හමුදා විසින් ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා පරාජය කරන ලදී. මේ අනුව ඔස්ට්‍රියා-හන්ගේරියානුවන්ගේ පළමු සර්බියානු ආක්‍රමණය ලත් තැනම ලොප් විය​.
Battle of Cer
නැගෙනහිර පෙරමුණේ ජර්මන් හමුදා විසින් රුසියානුවනට දරුණු ලෙස පහර දීමෙන් පසු ලද ඉස්පාසුවේදී ඔස්ට්‍රියා-හන්ගේරියානුවෝ යළිත් සර්බියාව දෙසට කඩා වැදුණහ​. මෙම ප්‍රහාරයේදී ද එම හමුදා මෙහෙයවන ලද්දේ පොටියොරෙක් විසිනි. කලින් සිදු වූ පරාජය පසෙක තිබියදී ඔහු එම ප්‍රහාරය පිළිබඳ ඉතාම විශාල බලාපොරොත්තු තැබීය​.

ඔක්තෝබරය මැද භාගයේ පමණ සිට සර්බියාවට වර්ෂාව ඇද හැලුණ අතර බොහෝ මාර්ග මඩ වීමෙන් ගමනාගමනය දුර්වල විය​. සර්බියානු ෆීල්ඩ් මාර්ෂල් රඩොමීර් පුට්නික්ගේ අපේක්ෂාව වූයේ එම හමුදාවේ ඉදිරි ගමන එමගින් මන් දනය වනු ඇති බවයි. කෙසේ නමුත් ඔස්ට්‍රියා - හන්ගේරියානු හමුදාවලට පුට්නික් බලාපොරොත්තු වූ තරම් බාධාවක් වර්ෂාවෙන් එල්ල නොවීය​.

නොවැම්බර් මස මැදදී ඇරඹි ඔස්ට්‍රියා - හන්ගේරියානු ප්‍රහාරය හමුවේ සර්බියානු හමුදා පසු බැස ගිය අතර 1914 දෙසැම්බර් 2 වනදා ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා බෙල්ග්‍රේඩයට ඇතුලු වූහ​.

කෙසේ වුවද මෙය උපක්‍රමික පසුබෑමක් විය​. සර්බියානු හමුදා දෙසැම්බර් 3 වනදා වනවිට ප්‍රතිප්‍රහාර දියත් කිරීම ඇරඹූ අතර දින කිහිපයකින් ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා වේගයෙන් පසු බස්වන ලදී. දෙසැම්බර් මැද වනවිට ඔවුහු සර්බියාවෙන් මුලුමනින්ම පළවා හරින ලදහ​.

කළින් ලියූ ලිපි පෙළ​

පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

Saturday, November 14, 2015

ජවිපෙට කුමාර් ගුණරත්නම් අදාළ​ නැත​

ජනතා විමුක්ති පෙරමුණට​, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් හෝ අදාළ නැත​.

ජවිපෙ නායකයින් ඡන්ද අඩු වූ විට කියන්නේ තමන්ගේ ඡන්ද අඩු වුවද​, මතවාදය පැරදී නැති බවත්, විප්ලවීය පක්ෂයකට ඡන්ද ගණන එතරම් වැදගත් නැති බවත් ය​.

මැතිවරණ යනු විප්ලවීය පක්ෂයක අරගලයේ එක් සාධකයක් පමණක් බව ඔවුහු කියති.

ඒ අතරම​, ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ගණනවත් ගන්නට බැරි වූ පෙරටුගාමීන් තමන්ට අදාළ නැති වග ඔවුහූ පුන පුනා කියති.

කුමාර් ගුණරත්නම් ද තමන්ට අදාළ නැති බව ඔවුහු පුන පුනා කියති.

ටීවී වැඩසටහනක හෝ මාධ්‍ය සාකච්ඡාවක හෝ කටට උත්තරය දී අමාරුවේ දැමූ අවස්ථාවක එවැනි උත්තරයක් දීමෙන් නොනවතින ඔවුහු ප්‍රසිද්ධ රැළිවලදීද එවැනි දෑ කියති.

තමන්ට එරෙහිව නඩු මගට ගිය චිත්‍රාංගනීගේ සැමියා වර්ණනයට ගත් වචන ප්‍රමාණය හා සමාන​ වචන ප්‍රමාණයක්,ඇතැම්විට ඊටත් වඩා වැඩි වැඩි වචන ප්‍රමාණයක්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් ගැන පැවසීමට මෙවර ඉල් මහ විරු සමරුවේදී අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා යන දෙදෙනා වැය කළහ​.

ඒ කුමාර් ගුණරත්නම් ඔවුනට අදාළ නොවන බැවිනි.

එනයින් ගම්‍ය වන්නේ, ඔවුන් වැඩි කළක් මිඩංගු කරන්නේ ඔවුනට අදාළ නොවන දේ පිළිබඳ කියැවීමට වගයි.

Friday, October 9, 2015

අන්න ඒ නිසා, Hasta Siempre Commandante!


ආර්ජන්ටීනාවේ පොහොසත්ම පවුලක උපත ලබා,
දකුණු ඇමරිකාව පුරා සැරි සරා,
පීඩිතයාගේ දුක සියලු ලෝකයාටම පොදු යයි දැන,
සියලු ලෝකයා වෙනුවෙන්,
විමුක්ති මාර්ගය මේ යයි තමා සිතූ මාර්ගයේ යමින්,
ග්වාතමාලාවේදී දේශපාලනයේ අලුත් පාඩමක් ඉගෙන,
මෙක්සිකෝවේදී සිය අතිජාත මිත්‍රයා හැඳින,
පුන්චි බෝට්ටුවක කියුබාවට පැමිණි චේ,
කියුබානු, කොංගෝ සහ බොලිවියානු ජනතාව වෙනුවෙන් අවි අතට ගෙන,
බොලීවියාවේ ලා හිගුවේරාවේදී ඝාතනය කරනු ලැබීය.
ඝාතනය කලද,
ඔහුගේ රුව ලෝකයාට අමතක නොවීය.
ඔහු මරා දැමූ ධනපති පන්තිය,
අද ඔහු වෙලෙඳ මෙවලමක් කරගෙන ඇත.
එමෙන්ම,
තමන් සතු කිසිදු විප්ලවීය ගුණයක් නැති බොරුකාරයන්,
අද චේගේ රුවට මුවා වී වීරයන් වන්නට මාන බලති.
චේ මරා දැමුණේ 1967 දී නොවේ.
චේ මරා දමන්නේ වර්තමානයේය.
කයින් එක් වරක් මරා දැමුනු චේ,
අද නැවතත්,
නැවත නැවතත්,
මරා දමනු ලබයි!!!
එසේ වෙතත්,
ඒ මරා දැමෙන ඔහුගේ,
රුව තුළින් දිස්වන්නේ,
ජයග්‍රහණයේ බලාපොරොත්තුවකි.
අන්න ඒ නිසා,
Hasta Siempre Commandante!!!

* මා 2013 දී ලියූ මෙම අදහසට වස්තු බීජය වූයේ මාලින්ද සෙනවිරත්නගේ COMMANDANTE පබැඳුමයි

Wednesday, October 7, 2015

ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් ගැටලුව නොහොත් ලංකාවේදී ඇණ ගැනීම​

Sherlock Holmes: His Sri Lanka Debacle
ප්‍රබන්ධයකි. තොප්පි වැටෙන්නේ නම් දාගත්තාට අමනාපයක් නැත​.

හෝම්ස්: වොට්සන්, අද අපිට හරිම බැරෑරුම් ප්‍රශ්නයක් එන්න නියමිතයි

වොට්සන්: ඈ හෝම්ස්, ඒ මොකක්ද ඒ? අයිසිස් එකේ බ්‍රිතාන්‍ය මෙහෙයුමද?

හෝම්ස්: නෑ නෑ... ඒ ප්‍රශ්නෙ අපි උපාය දූතයො දාල ඉවර කළා නෙ. දැන් ඉතින් ලෙස්ට්‍රෙඩ් වගේ පොලිස්කාරයෙකුට වුණත් පුලුවන් ඕක ඉවර කරන්න. දැන් ඒ ඔපරේශන් එකේ කිසි ගතියක් නෑ... අනික අපේ මහ රැජිණගෙ ආණ්ඩුවට ඕඩර්ස් ඇවිත් තියෙනව ඒක පස්සෙන් වැඩිය එලවන්න එපා කියල.

වොට්සන්: අම්මප? ඒ කාගෙන් ද?

හෝම්ස්: වොට්සන්... මිසිස් හඩ්සන් උනත් ඒ කාගෙන් ද කියල කියාවි. ඔය මොළේ පාවිච්චි කරනව යකෝ!

වොට්සන්: ආ, තේරුණා. අත්ලන්තික් සාගරෙන් එහා පැත්තෙ ඉඳන් නේද?

හෝම්ස්: අන්න හරි

වොට්සන්: දැන් ප්‍රශ්නෙ මොකක්ද?

හෝම්ස්: මේක මේ ලංකාව කියන රටේ සිද්ධියක්. ලංකාව ගැන දන්නව නේද?

වොට්සන්: අපොයි මොකද මම නොදන්නෙ? අර මෙහෙ වෙන දේවල් මුකුත් නොවෙන රට නේද? එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියන එක

හෝම්ස්: ඔව් ඔව්. ඒ රටේ තමා. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කොටදෙණියාව කියල පළාතක.

වොට්සන්: ආ, ඔව් ඔව්. මට ආරංචි. අද මෙහෙ පත්තරවලත් තිබ්බ ඕකෙ DNA ඉෂූ එකක් කියල.

හෝම්ස්: ඒක නෙවෙයි බං ප්‍රශ්නෙ. ඒක නම් උන් දඟලල දඟලල විසඳගනී. ඕක ඔය තුන්වෙනි ලෝකෙ රටවල ප්‍රශ්නයක්. ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. ප්‍රශ්නෙ ඒක නෙවෙයි

වොට්සන්: එහෙනම්?

හෝම්ස්: මට ඒ රටේ ඉහළම නිලධාරියෙක් කතා කළා අදම එන්න කියල. සම්පූර්ණ වියදම් එක්ක ඉල්ලන ගාණක් දෙන්නම් කීව. අනිවාර්යයෙන්ම උන් IMF එකෙන් හරි ලෝක බැංකුවෙන් හරි ණයක් දාල හරි ඕක ගෙවයි. ඒක නෙවෙයි ප්‍රශ්නෙ.

වොට්සන්: එහෙනම්?

හෝම්ස්: උන් මට දීපු ගැටලුව මට විසඳන්න බෑ!!!

වොට්සන්: මොකා?

හෝම්ස්: ඔව් වොට්සන්... හරිම භයානක තත්ත්වයක්

වොට්සන්: හරි මොකක්ද දැන් ගැටලුව?

හෝම්ස්: මතක් වෙද්දිත් ඇඟ කිළි පොළා යනවා... කො.. කොටදෙණියාව පොලිසියෙ OICගෙ මොළේ කොහෙද තියෙන්නෙ කියල හොයන එක!

(වොට්සන්ට ක්ලාන්තය දමයි)

Saturday, September 12, 2015

සිංගප්පූරු මැතිවරණයෙන් පාලක පක්ෂයට නොසිතු විරූ ජයක්

සිංගප්පූරුවේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය නොසිතූ විරූ ආකාරයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය​.

මහජන ක්‍රියාකාරී පක්ෂය (People's Action Party - PAP) ආසන 83 ක් ලබාගත් අතර ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ලබාගත්තේ ආසන 6 ක් පමණි. මහජන ක්‍රියාකාරී පක්ෂය සමස්ථ ඡන්දවලින් සියයට 69.86 ක් ලබා ගත්තේය​.
අගමැති ඇතුලු මහජන ක්‍රියාකාරී පක්ෂ Ang Mo Kio අපේක්ෂක කණ්ඩායම​

මහජන ක්‍රියාකාරී පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට සැකයක් නොවූ නමුත් බොහෝ විචාරකයන් බලාපොරොත්තු වූයේ විපක්ෂය මීට වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලබාගනු ඇති බවය​. ආසන පහක පමණ තියුණු සටනක් බලාපොරොත්තු වුවද​, එම සියලු ආසන පාලක පක්ෂය විසින් පහසුවෙන් ජයගනු ලැබීය​.

තියුණු සටනක් වාර්තා වූ එකම ආසනය වූයේ විපක්ෂයට බලය තිබූ අල්ජුනයිඩ් කණ්ඩායම් නියෝජිත කොට්ඨාශයේ ය​ (Aljuneid Group Representative Constituency). මෙහිදී ඡන්ද නැවත ගණන් කෙරුණ අතර​, විපක්ෂ කම්කරු පක්ෂය සිය බලය රඳවා තබා ගත්තේ තියුණු සටනකින් පසුවය​.

සිංගප්පූරු මැතිවරණය පවත්වන්නේ කේවල ක්‍රමයේම වෙනස් ආකාරයකටය​. එනම් එරට තනි මන්ත්‍රී ආසන (Single Member Constituency - SMC) මෙන්ම කණ්ඩායම් නියෝජිත කොට්ඨාශ (Group Representative Constituency - GRC) ද වෙති. කණ්ඩායම් නියෝජිත කොට්ඨාශවල මන්ත්‍රීවරු සිව් දෙනකුගේ සිට සය දෙනකු දක්වා සිටිය හැක​. එම කොට්ඨාශ සඳහා තරඟ කරන පක්ෂ අදාළ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරති. එම ආසනය ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයින් සියල්ලම ඒ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මෙම ක්‍රමය ආණ්ඩු පක්ෂයට වාසි සහගත ලෙස ක්‍රියාවට නැගෙන බැව් විපක්ෂය චෝදනා කරයි.

මෙම මැතිවරණයෙන් පසු අදහස් දැක්වූ ඇතැම් විපක්ෂ නායකයන් කියා සිටියේ මැතිවරණය පාලක පක්ෂයට වාසිදායක සමයක පැවැත්වීම විපක්ෂ ප්‍රතිඵලයට අයහපත් බලපෑමක් කළ බවය​. මාර්තු මාසයේ සිදුවූ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ මරණය සහ අගෝස්තු මාසයේ පැවති 50 වන නිදහස් සැමරුම යන අවස්ථාවලින් රජය වාසි ලබාගත් බව ඔවුහු චෝදනා කළෝය​.
අවසන් ප්‍රතිඵලය​ (The Straits Times)

අගමැති ලී සියෙන් ලූන්ග් කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ජනතාව රජයේ ප්‍රතිපත්ති පිළිගෙන ඇති බව දිස්වන අතර​, විදේශික ව්‍යාපාරික ප්‍රජාවටද සිංගප්පූරුවේ ස්ථාවරභාවය පිළිබඳ පණිවිඩයක් මෙයින් ලබාදෙන බවයි.

Wednesday, September 9, 2015

තීරණාත්මක 2015 සිංගප්පූරු මැතිවරණය​

සිංගප්පූරුවේ මීළඟ මහ මැතිවරණය එළඹෙන සිකුරාදා, එනම් මෙම මස 11 වනදා පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් සිකුරාදා මධ්‍යම රාත්‍රිය පමණ වන විට මැතිවරණ ප්‍රතිඵල සියල්ල නිකුත් වනු ඇතැයි සිතිය හැකි අතර සිංගප්පූරු පාර්ලිමේන්තුවේ සංයුතිය කෙබඳු වනු ඇත්දැයි එමගින් තීරණය වනු ඇත​.

මෙම මැතිවරණය කැඳවන ලද්දේ පසුගිය සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ධූර කාළය නිම වීමට මාස අටකට පෙර වීම විශේෂත්වයකි. තවද​, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉතා කෙටි කාළයක් ලබාදී තිබීම ද වැදගත් සිදුවීමකි. නමුත් සති කිහිපයක සිටම මැතිවරණයක් නුදුරු අනාගතයේදීම කැඳවන බවට ඉඟි පළ වීම හේතුවෙන් විපක්ෂ දේශපාලන පක්ෂ ද ඒ සඳහා සූදානම් වනු දක්නට ලැබුණි.

මෙවර මැතිවරණය නූතන සිංගප්පූරුවේ පියා ලෙස සැළකෙන ලී ක්වාන් යූ අභාවප්‍රාප්ත වීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණය වේ. ලී ක්වාන් යූ මියගියේ පසුගිය මාර්තුවේදී ය​. ලීගේ මරණය මගින් සිංගප්පූරු වැසියන් ගේ අවධානය ඔහුගේ උරුමය වෙත නිතැතින්ම යොමු කෙරිණ​. 1959 සිට මේ දක්වා සිංගප්පූරුව පාලනය වන්නේ ලී ක්වාන් යූ මෙහෙයවූ මහජන ක්‍රියාකාරී පක්ෂය (People's Action Party - PAP) මගිනි.
සිංගප්පූරු පාර්ලිමෙන්තු සංකීර්ණය (James Mason-Hudson, Wikimedia Commons)

තවද​, මෙවර මැතිවරණය පවත්වනු ලබන්නේ සිංගප්පූරුවේ 50 වන නිදහස් දිනය සමරා මාසයකිනි. සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන්ව ස්වාධීන රටක් බවට පත් වූයේ 1965 අගෝස්තු 9 වනදා ය​. අඩ සියවස් ජාතික දිනය මෙවර අති උත්කර්ශවත් අන්දමින් සමරනු ලැබුණි. මේ අතර නිදහස් දින රැළිය අගෝස්තු 23 වනදා පවත්වන ලදී. මෙම රැළිය අවස්ථාවේද​, එරට අගමැති ලී සියෙන් ලූන්ග්, ළඟ එන මැතිවරණයක් පිළිබඳ ඉඟි කළේය​.

එයින් දින දෙකකට පසු, අගෝස්තු 25 වනදා, පාර්ලිමේන්තුව විසිරුවන ලදී. නාම යෝජනා දිනය ලෙස සැප්තැම්බර් 1 වනදා ද​, මැතිවරණ දිනය ලෙස සැප්තැම්බර් 11 ද නියම කෙරිණ​.

මෙවන් පසුබිමක මැතිවරණයක් කැඳවීමෙන් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය බලාපොරොත්තු වූ වාසිදායක තත්ත්වය එයට හිමිවේදැයි නියමාකරයෙන් දැකිය හැකිවනු ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය​. වෙන කවරදාකටත් වඩා හොඳ ප්‍රතිඵලයක් සිංගප්පූරුවේ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් පෙන්වනු ඇති බවට බොහෝ විචාරකයෝ අනුමාන කරති.

මින් පෙර පැවති 2011 මැයි පාර්ලිමේන්තු මැතිවරණයේදී අන් කවදාටත් වඩා වැඩි ආසන ප්‍රමාණයක් මෙන්ම ඡන්ද ප්‍රතිශතයක් ද එරට විපක්ෂ පක්ෂ විසින් දිනාගන්නා ලදී.

තවද​, මෙවර මැතිවරණයේදී තවත් වාර්තාවක් තබන විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණයේදී තරඟ කරනු ලබන සෑම ආසනයකටම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සමත්ව සිටිති. මින් පෙර එකදු මැතිවරණයකදීවත් ඔවුන් සෑම ආසනයකටම තරඟ නොකළහ​.

සිංගප්පූරුවේ කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයකට තනිව මහජන ක්‍රියාකාරී පක්ෂයට අභියෝග කිරීමේ ශක්තියක් නොමැත​. එහෙයින් එම පක්ෂ විවිධ ආසනවලට තරඟ කරන අතර​, එක තනි මන්ත්‍රී ආසනයකදී හැර අන් ආසන සඳහා එක විපක්ෂ දේශපාලන පක්ෂයකට වඩා ඉදිරිපත් නොවේ.

මැතිවරණ ක්‍රමය​

සිංගප්පූරු මැතිවරණය පවත්වන්නේ කේවල ක්‍රමයේම වෙනස් ආකාරයකටය​. එනම් එරට තනි මන්ත්‍රී ආසන (Single Member Constituency - SMC) මෙන්ම කණ්ඩායම් නියෝජිත කොට්ඨාශ (Group Representative Constituency - GRC)ද වෙති. කණ්ඩායම් නියෝජිත කොට්ඨාශවල මන්ත්‍රීවරු සිව් දෙනකුගේ සිට සය දෙනකු දක්වා සිටිය හැක​. එම කොට්ඨාශ සඳහා තරඟ කරන පක්ෂ අදාළ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරති. එම ආසනය ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයින් සියල්ලම ඒ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මෙම ක්‍රමය ආණ් ඩු පක්ෂයට වාසි සහගත ලෙස ක්‍රියාවට නැගෙන බැව් විපක්ෂය චෝදනා කරයි. මක් නිසාද යත් වඩා විශාල ආසනවල ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් අවශ්‍ය බැවිනි.

සෑම මැතිවරණයකටම පෙර, සීමා නිර්ණ කමිටුව​ (Election Boundaries Review Committee) විසින් මැතිවරණය සඳහා ආසන නිර්ණය කරනු ලැබේ. මේ අනුව මෙවර මැතිවරණයෙන් කොට්ඨාශ 29 කින් මන්ත්‍රීවරුන් 89 ක් පත්කර ගැනෙනු ඇත​. මින් ආසන 13 ක් කේවල නියෝජිත කොට්ඨාශ වෙති.

විවාදයට බඳුන් වන ප්‍රධාන කරුණු

මෙවර මැතිවරණයේදී ප්‍රධාන වශයෙන් විවාදයට ගැනෙන මාතෘකාවන් අතර සංක්‍රමණිකයන් සීමා කිරීම​, ආර්ථිකය​, විශ්‍රාම වැටුප් සහ නිවාස​, ප්‍රවාහන පහසුකම් සහ පාලක පක්ෂයේ බලය අඩු කිරීම යන කරුණු වේ.

මේ පිළිබඳ එකින් එක විමසා බැලීමට මෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන හෙයින් ඒ පිළිබඳ වැඩිදුර සලකා බැලීම පසුවට තබනු ලැබේ.

දේශපාලන පක්ෂ​

මහජන ක්‍රියාකාරී පක්ෂය සියලු ආසන සඳහා තරඟ කරන බව කළින් සඳහන් කෙරිණ​. සිංගප්පූරුවේ විපක්ෂ පක්ෂ නවයක් වන අතර ඒවායෙන් ද අපේක්ෂකයෝ අඩු වැඩි වශයෙන් ඉදිරිපත්ව සිටිති.
මහජන ක්‍රියාකාරී පක්ෂ ආධාරකරුවන් පිරිසක් (Pic: PAP Facebook Page)

ප්‍රධානම විපක්ෂය වන කම්කරු පක්ෂය (Workers' Party) අපේක්ෂකයින් 28 ක් ඉදිරිපත් කරද්දී, ජාතික සහයෝගීතා පක්ෂය (National Solidarity Party) අපේක්ෂකයින් 12 ක් ඉදිරිපත් කර ඇත​. ප්‍රතිසංස්කරණවාදී පක්ෂය (Reform Party) සහ සිංගප්පූරු ප්‍රජාතාන්ත්‍රික පක්ෂය (Singapore Democratic Party) අපේක්ෂකයින් 11 බැගින් ද​, සිංගප්පූරු වැසියන් පළමුව පක්ෂය (Singaporeans First) අපේක්ෂකයින් 10 ක් ද​, සිංගප්පූරු ජනතා පක්ෂය (Singapore People's Party) අපේක්ෂකයින් 8 ක් ද​, සිංගප්පූරු ප්‍රජාතාන්ත්‍රික සන්ධානය (Singapore Democratic Alliance) අපේක්ෂකයින් 6 ක් ද​, මහජන බලය පක්ෂය (People's Power Party) අපේක්ෂකයින් 4 ක් ද ඉදිරිපත් කර ඇත​. තවද තනි මන්ත්‍රී ආසන දෙකකට ස්වාධීනව තරඟ වදින්නන් දෙදෙනෙක් සිටිති.

Saturday, September 5, 2015

කොකාකෝලා කම්හලෙන් කැළණි ගඟට මුසු වූයේ ඩීසල් නොවන බව හෙළි වේ


කොකාකෝලා කර්මාන්තශාලාවෙන් මෑතකදී සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව හෙළිව තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් 'ද නේශන්' පුවත්පතට පවසා තිබුණේ මෙම සිද්ධියට හේතුව මෙතිලීන් වර්ගයේ කාබනික සංයෝගයක් බව හෙළිවී ඇති බවයි.

අඹතලේ සහ කැළණි ගඟේ වෙනත් ස්ථාන කිහිපයකින් ගෙන ඉන්දියාවට යවා පරීක්ෂා කළ ඇතම් ජල සාම්පලවල ලීටරයට මිලිග්‍රෑම් 0.5 ක ප්‍රමාණයක් මෙම සංයෝගය අඩංගු වී ඇත​.

මෙතිලීන් සංයෝගවල අහිතකරභාවය සංයෝගයෙන් සංයෝගයට වෙනස් වන නමුදු ඒ සංයෝග කිසිවක් පානීය ජලය හා මුසු වීම සුදුසු නොවේ.

කෝලා බීම නිශ්පාදනය හා බැඳුන එක් මෙතිලීන් සංයෝගයක් වන්නේ 4-මෙතිලීන් ඉමිඩසෝල් (4-MeI) ය​. මෙය කැරමල් වර්ණකවල අඩංගු වන අතර 2011 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් පිළිකා ජනක සංයෝගයක් ලෙස සැක කරන සංයෝගයක් ලෙස මෙය නම් කළේය​. දිනකට මයික්‍රෝග්‍රෑම් 29 කට වඩා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව කැලිෆෝර්නියා ප්‍රාන්තය නිගමනය කළේය​. කෝලා බීමවල ලීටරයක මයික්‍රෝග්‍රෑම් 700 දක්වා මෙම සංයෝගය අඩංගු විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත​.