Saturday, September 12, 2015

සිංගප්පූරු මැතිවරණයෙන් පාලක පක්ෂයට නොසිතු විරූ ජයක්

සිංගප්පූරුවේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය නොසිතූ විරූ ආකාරයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය​.

මහජන ක්‍රියාකාරී පක්ෂය (People's Action Party - PAP) ආසන 83 ක් ලබාගත් අතර ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ලබාගත්තේ ආසන 6 ක් පමණි. මහජන ක්‍රියාකාරී පක්ෂය සමස්ථ ඡන්දවලින් සියයට 69.86 ක් ලබා ගත්තේය​.
අගමැති ඇතුලු මහජන ක්‍රියාකාරී පක්ෂ Ang Mo Kio අපේක්ෂක කණ්ඩායම​

මහජන ක්‍රියාකාරී පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට සැකයක් නොවූ නමුත් බොහෝ විචාරකයන් බලාපොරොත්තු වූයේ විපක්ෂය මීට වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලබාගනු ඇති බවය​. ආසන පහක පමණ තියුණු සටනක් බලාපොරොත්තු වුවද​, එම සියලු ආසන පාලක පක්ෂය විසින් පහසුවෙන් ජයගනු ලැබීය​.

තියුණු සටනක් වාර්තා වූ එකම ආසනය වූයේ විපක්ෂයට බලය තිබූ අල්ජුනයිඩ් කණ්ඩායම් නියෝජිත කොට්ඨාශයේ ය​ (Aljuneid Group Representative Constituency). මෙහිදී ඡන්ද නැවත ගණන් කෙරුණ අතර​, විපක්ෂ කම්කරු පක්ෂය සිය බලය රඳවා තබා ගත්තේ තියුණු සටනකින් පසුවය​.

සිංගප්පූරු මැතිවරණය පවත්වන්නේ කේවල ක්‍රමයේම වෙනස් ආකාරයකටය​. එනම් එරට තනි මන්ත්‍රී ආසන (Single Member Constituency - SMC) මෙන්ම කණ්ඩායම් නියෝජිත කොට්ඨාශ (Group Representative Constituency - GRC) ද වෙති. කණ්ඩායම් නියෝජිත කොට්ඨාශවල මන්ත්‍රීවරු සිව් දෙනකුගේ සිට සය දෙනකු දක්වා සිටිය හැක​. එම කොට්ඨාශ සඳහා තරඟ කරන පක්ෂ අදාළ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරති. එම ආසනය ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයින් සියල්ලම ඒ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මෙම ක්‍රමය ආණ්ඩු පක්ෂයට වාසි සහගත ලෙස ක්‍රියාවට නැගෙන බැව් විපක්ෂය චෝදනා කරයි.

මෙම මැතිවරණයෙන් පසු අදහස් දැක්වූ ඇතැම් විපක්ෂ නායකයන් කියා සිටියේ මැතිවරණය පාලක පක්ෂයට වාසිදායක සමයක පැවැත්වීම විපක්ෂ ප්‍රතිඵලයට අයහපත් බලපෑමක් කළ බවය​. මාර්තු මාසයේ සිදුවූ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ මරණය සහ අගෝස්තු මාසයේ පැවති 50 වන නිදහස් සැමරුම යන අවස්ථාවලින් රජය වාසි ලබාගත් බව ඔවුහු චෝදනා කළෝය​.
අවසන් ප්‍රතිඵලය​ (The Straits Times)

අගමැති ලී සියෙන් ලූන්ග් කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ජනතාව රජයේ ප්‍රතිපත්ති පිළිගෙන ඇති බව දිස්වන අතර​, විදේශික ව්‍යාපාරික ප්‍රජාවටද සිංගප්පූරුවේ ස්ථාවරභාවය පිළිබඳ පණිවිඩයක් මෙයින් ලබාදෙන බවයි.

Wednesday, September 9, 2015

තීරණාත්මක 2015 සිංගප්පූරු මැතිවරණය​

සිංගප්පූරුවේ මීළඟ මහ මැතිවරණය එළඹෙන සිකුරාදා, එනම් මෙම මස 11 වනදා පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් සිකුරාදා මධ්‍යම රාත්‍රිය පමණ වන විට මැතිවරණ ප්‍රතිඵල සියල්ල නිකුත් වනු ඇතැයි සිතිය හැකි අතර සිංගප්පූරු පාර්ලිමේන්තුවේ සංයුතිය කෙබඳු වනු ඇත්දැයි එමගින් තීරණය වනු ඇත​.

මෙම මැතිවරණය කැඳවන ලද්දේ පසුගිය සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ධූර කාළය නිම වීමට මාස අටකට පෙර වීම විශේෂත්වයකි. තවද​, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉතා කෙටි කාළයක් ලබාදී තිබීම ද වැදගත් සිදුවීමකි. නමුත් සති කිහිපයක සිටම මැතිවරණයක් නුදුරු අනාගතයේදීම කැඳවන බවට ඉඟි පළ වීම හේතුවෙන් විපක්ෂ දේශපාලන පක්ෂ ද ඒ සඳහා සූදානම් වනු දක්නට ලැබුණි.

මෙවර මැතිවරණය නූතන සිංගප්පූරුවේ පියා ලෙස සැළකෙන ලී ක්වාන් යූ අභාවප්‍රාප්ත වීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණය වේ. ලී ක්වාන් යූ මියගියේ පසුගිය මාර්තුවේදී ය​. ලීගේ මරණය මගින් සිංගප්පූරු වැසියන් ගේ අවධානය ඔහුගේ උරුමය වෙත නිතැතින්ම යොමු කෙරිණ​. 1959 සිට මේ දක්වා සිංගප්පූරුව පාලනය වන්නේ ලී ක්වාන් යූ මෙහෙයවූ මහජන ක්‍රියාකාරී පක්ෂය (People's Action Party - PAP) මගිනි.
සිංගප්පූරු පාර්ලිමෙන්තු සංකීර්ණය (James Mason-Hudson, Wikimedia Commons)

තවද​, මෙවර මැතිවරණය පවත්වනු ලබන්නේ සිංගප්පූරුවේ 50 වන නිදහස් දිනය සමරා මාසයකිනි. සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන්ව ස්වාධීන රටක් බවට පත් වූයේ 1965 අගෝස්තු 9 වනදා ය​. අඩ සියවස් ජාතික දිනය මෙවර අති උත්කර්ශවත් අන්දමින් සමරනු ලැබුණි. මේ අතර නිදහස් දින රැළිය අගෝස්තු 23 වනදා පවත්වන ලදී. මෙම රැළිය අවස්ථාවේද​, එරට අගමැති ලී සියෙන් ලූන්ග්, ළඟ එන මැතිවරණයක් පිළිබඳ ඉඟි කළේය​.

එයින් දින දෙකකට පසු, අගෝස්තු 25 වනදා, පාර්ලිමේන්තුව විසිරුවන ලදී. නාම යෝජනා දිනය ලෙස සැප්තැම්බර් 1 වනදා ද​, මැතිවරණ දිනය ලෙස සැප්තැම්බර් 11 ද නියම කෙරිණ​.

මෙවන් පසුබිමක මැතිවරණයක් කැඳවීමෙන් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය බලාපොරොත්තු වූ වාසිදායක තත්ත්වය එයට හිමිවේදැයි නියමාකරයෙන් දැකිය හැකිවනු ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය​. වෙන කවරදාකටත් වඩා හොඳ ප්‍රතිඵලයක් සිංගප්පූරුවේ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් පෙන්වනු ඇති බවට බොහෝ විචාරකයෝ අනුමාන කරති.

මින් පෙර පැවති 2011 මැයි පාර්ලිමේන්තු මැතිවරණයේදී අන් කවදාටත් වඩා වැඩි ආසන ප්‍රමාණයක් මෙන්ම ඡන්ද ප්‍රතිශතයක් ද එරට විපක්ෂ පක්ෂ විසින් දිනාගන්නා ලදී.

තවද​, මෙවර මැතිවරණයේදී තවත් වාර්තාවක් තබන විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණයේදී තරඟ කරනු ලබන සෑම ආසනයකටම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සමත්ව සිටිති. මින් පෙර එකදු මැතිවරණයකදීවත් ඔවුන් සෑම ආසනයකටම තරඟ නොකළහ​.

සිංගප්පූරුවේ කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයකට තනිව මහජන ක්‍රියාකාරී පක්ෂයට අභියෝග කිරීමේ ශක්තියක් නොමැත​. එහෙයින් එම පක්ෂ විවිධ ආසනවලට තරඟ කරන අතර​, එක තනි මන්ත්‍රී ආසනයකදී හැර අන් ආසන සඳහා එක විපක්ෂ දේශපාලන පක්ෂයකට වඩා ඉදිරිපත් නොවේ.

මැතිවරණ ක්‍රමය​

සිංගප්පූරු මැතිවරණය පවත්වන්නේ කේවල ක්‍රමයේම වෙනස් ආකාරයකටය​. එනම් එරට තනි මන්ත්‍රී ආසන (Single Member Constituency - SMC) මෙන්ම කණ්ඩායම් නියෝජිත කොට්ඨාශ (Group Representative Constituency - GRC)ද වෙති. කණ්ඩායම් නියෝජිත කොට්ඨාශවල මන්ත්‍රීවරු සිව් දෙනකුගේ සිට සය දෙනකු දක්වා සිටිය හැක​. එම කොට්ඨාශ සඳහා තරඟ කරන පක්ෂ අදාළ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරති. එම ආසනය ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයින් සියල්ලම ඒ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මෙම ක්‍රමය ආණ් ඩු පක්ෂයට වාසි සහගත ලෙස ක්‍රියාවට නැගෙන බැව් විපක්ෂය චෝදනා කරයි. මක් නිසාද යත් වඩා විශාල ආසනවල ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් අවශ්‍ය බැවිනි.

සෑම මැතිවරණයකටම පෙර, සීමා නිර්ණ කමිටුව​ (Election Boundaries Review Committee) විසින් මැතිවරණය සඳහා ආසන නිර්ණය කරනු ලැබේ. මේ අනුව මෙවර මැතිවරණයෙන් කොට්ඨාශ 29 කින් මන්ත්‍රීවරුන් 89 ක් පත්කර ගැනෙනු ඇත​. මින් ආසන 13 ක් කේවල නියෝජිත කොට්ඨාශ වෙති.

විවාදයට බඳුන් වන ප්‍රධාන කරුණු

මෙවර මැතිවරණයේදී ප්‍රධාන වශයෙන් විවාදයට ගැනෙන මාතෘකාවන් අතර සංක්‍රමණිකයන් සීමා කිරීම​, ආර්ථිකය​, විශ්‍රාම වැටුප් සහ නිවාස​, ප්‍රවාහන පහසුකම් සහ පාලක පක්ෂයේ බලය අඩු කිරීම යන කරුණු වේ.

මේ පිළිබඳ එකින් එක විමසා බැලීමට මෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන හෙයින් ඒ පිළිබඳ වැඩිදුර සලකා බැලීම පසුවට තබනු ලැබේ.

දේශපාලන පක්ෂ​

මහජන ක්‍රියාකාරී පක්ෂය සියලු ආසන සඳහා තරඟ කරන බව කළින් සඳහන් කෙරිණ​. සිංගප්පූරුවේ විපක්ෂ පක්ෂ නවයක් වන අතර ඒවායෙන් ද අපේක්ෂකයෝ අඩු වැඩි වශයෙන් ඉදිරිපත්ව සිටිති.
මහජන ක්‍රියාකාරී පක්ෂ ආධාරකරුවන් පිරිසක් (Pic: PAP Facebook Page)

ප්‍රධානම විපක්ෂය වන කම්කරු පක්ෂය (Workers' Party) අපේක්ෂකයින් 28 ක් ඉදිරිපත් කරද්දී, ජාතික සහයෝගීතා පක්ෂය (National Solidarity Party) අපේක්ෂකයින් 12 ක් ඉදිරිපත් කර ඇත​. ප්‍රතිසංස්කරණවාදී පක්ෂය (Reform Party) සහ සිංගප්පූරු ප්‍රජාතාන්ත්‍රික පක්ෂය (Singapore Democratic Party) අපේක්ෂකයින් 11 බැගින් ද​, සිංගප්පූරු වැසියන් පළමුව පක්ෂය (Singaporeans First) අපේක්ෂකයින් 10 ක් ද​, සිංගප්පූරු ජනතා පක්ෂය (Singapore People's Party) අපේක්ෂකයින් 8 ක් ද​, සිංගප්පූරු ප්‍රජාතාන්ත්‍රික සන්ධානය (Singapore Democratic Alliance) අපේක්ෂකයින් 6 ක් ද​, මහජන බලය පක්ෂය (People's Power Party) අපේක්ෂකයින් 4 ක් ද ඉදිරිපත් කර ඇත​. තවද තනි මන්ත්‍රී ආසන දෙකකට ස්වාධීනව තරඟ වදින්නන් දෙදෙනෙක් සිටිති.

Saturday, September 5, 2015

කොකාකෝලා කම්හලෙන් කැළණි ගඟට මුසු වූයේ ඩීසල් නොවන බව හෙළි වේ


කොකාකෝලා කර්මාන්තශාලාවෙන් මෑතකදී සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව හෙළිව තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් 'ද නේශන්' පුවත්පතට පවසා තිබුණේ මෙම සිද්ධියට හේතුව මෙතිලීන් වර්ගයේ කාබනික සංයෝගයක් බව හෙළිවී ඇති බවයි.

අඹතලේ සහ කැළණි ගඟේ වෙනත් ස්ථාන කිහිපයකින් ගෙන ඉන්දියාවට යවා පරීක්ෂා කළ ඇතම් ජල සාම්පලවල ලීටරයට මිලිග්‍රෑම් 0.5 ක ප්‍රමාණයක් මෙම සංයෝගය අඩංගු වී ඇත​.

මෙතිලීන් සංයෝගවල අහිතකරභාවය සංයෝගයෙන් සංයෝගයට වෙනස් වන නමුදු ඒ සංයෝග කිසිවක් පානීය ජලය හා මුසු වීම සුදුසු නොවේ.

කෝලා බීම නිශ්පාදනය හා බැඳුන එක් මෙතිලීන් සංයෝගයක් වන්නේ 4-මෙතිලීන් ඉමිඩසෝල් (4-MeI) ය​. මෙය කැරමල් වර්ණකවල අඩංගු වන අතර 2011 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් පිළිකා ජනක සංයෝගයක් ලෙස සැක කරන සංයෝගයක් ලෙස මෙය නම් කළේය​. දිනකට මයික්‍රෝග්‍රෑම් 29 කට වඩා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව කැලිෆෝර්නියා ප්‍රාන්තය නිගමනය කළේය​. කෝලා බීමවල ලීටරයක මයික්‍රෝග්‍රෑම් 700 දක්වා මෙම සංයෝගය අඩංගු විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත​.

Friday, June 19, 2015

බ්‍රිතාන්‍යයන් විසින් සාඩම්බරයෙන් සමරන වෝටර්ලූ සංග්‍රාමය​

බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසය තුල වෝටර්ලූ සංග්‍රාමය කෙරෙහි දක්වන විශාල අවධානය එක්තරා ආකාරයකින් අධි තක්සේරුවකි. අනෙක් අතින් එහි වරදක් ද නැත​. නමුත් බොහෝ දෙනා විසින් අමතක කරනු ලබන කාරණය නම්, වෝටර්ලූ සංග්‍රාමයේදී නැපෝලියන් පරාජය වීම ඔහුගේ වැටීම ඉක්මන් කළා පමණක් බවයි. යම් හෙයකින් නැපෝලියන් එම සටනෙන් දිනූවද​, ඔහුගේ වැටීම ඒ වන විට අනිවාර්යයෙන් සිදු විය යුත්තක් බවට පත්ව තිබුණි.

අනෙක් අතට​, බ්‍රිතාන්‍යය මෙම සටන ජය ගැනීම නැපෝලියන් අධිරාජයාගේ වැටීම පිළිබඳ ගෞරවයෙන් වැඩි කොටස එම රටට දිනා දීමට සමත් වූයේය​. යම් හෙයකින් එම සටනෙන් නැපෝලියන් ජය ලද්දේ නම්, නැපෝලියන් පරාජය කිරීමේ අවසාන ගෞරවය වෙනත් රටකට අයත් වීමට ඉඩ තිබිණ​.

1814 අප්‍රේල් මාසයේදී සිහසුන අතැර ගිය නැපෝලියන් නැවත බලයට පැමිණියේ 1815 මාර්තුවේය​. ඔහු එතැන් පටන් මිත්‍ර පාක්ෂික රටවලට එරෙහිව ආරම්භ කළේ ජය ගැනීමට අතිශයින්ම අපහසු සටනකි. බ්‍රිතාන්‍යය​, රුසියාව, ඔස්ට්‍රියාව යන දැවැන්තයින් ද​, ප්‍රශියාව, ස්වීඩනය ආදී තවත් රටවල් කිහිපයකින් ද සැදුම් ලත් 'හත්වැනි සන්ධානයට​' එදිරිව කෙරුන අරගලයකින් දුර්වල වී සිටි ප්‍රංශය ජයගනිතැයි සිතීම උගහට වූයේය​.
ප්‍රංශයේ සහ ඒ අවට හමුදා ස්ථානගතව තිබූ අයුරු (1815 ජූනි 1)

තමා සිටි නරක තත්ත්වය පිළිබඳ මනා වැටහීමක් තිබූ නැපෝලියන් මේ අවස්ථාවේ කළේ කළ හැකිව තිබූ එකම උපක්‍රමයය​. එනම්, ප්‍රතිවාදී හමුදා ඒකාබද්ධ වීමට පෙර ඔවුනට පහර දීමය​. නැපෝලියන් සිය හමුදා බෙල්ජියම කරා මෙහෙයවූයේ එම අරමුණෙනි.

ජෙනරාල් ගර්බාර්ඩ් ෆොන් බ්ලූශර් විසින් මෙහෙයවුන ප්‍රශියානු හමුදාවක් සමඟ නැපෝලියන් ජුනි 16 වනදා ගැටුනේ ලිග්නි හිදීය​. මෙහිදී ප්‍රශියානු සේනාංකය පරාජය වූ නමුදු ක්‍රමානුකූලව පසු බැස්සේ තවත් දිනෙක සටන් කිරීමේ හැකියාව ඉතිරි කරගනිමිනි. එම සේනාංකය ලුහුබැඳ පලවා හැරීමට සමත් නොවීම නැපෝලියන් කළ බරපතල වරදකි.

මේ අතර ජුනි 16 වනදා මාර්ෂල් නී යටතේ වූ තවත් සේනාංකයක් ක්වාත්‍ර බ්‍රාස් හිදී නෙදර්ලන්ත හමුදාවකට පහර දුන්නේය​. මේ අවස්තාවේ වෙලින්ටන් සිය හමුදා එහි මෙහෙයවා මාර්ෂල් නී ගේ හමුදාව පළවා හැරියේය​.

කෙසේ වුවද බ්ලූශර්ගේ හමුදා පසු බැසීම හේතුවෙන් වෙලින්ටන්ට සිය හමුදාව ක්වාත්‍ර බ්‍රාස් හි තබා ගැනීම අවදානම් බව පෙනී ගියේය​. මේ හේතුවෙන් ඔහු කළේ බ්‍රසල්ස් නගරයෙන් දකුණු දෙසට වන්නට පිහිටි වෝර්ටලූ වෙතට සිය හමුදා මෙහෙයවීමය​. වෙලින්ටන් මුණ ගැසේයයි අදහසින් ක්වාත්‍ර බ්‍රාස් වෙත පැමිණි නැපෝලියන්ට ඔහු හමු වූයේ නැත​.

මේ අනුව නැපෝලියන් සිය ප්‍රධාන බල සෙනඟ වෝටර්ලූ බලා මෙහෙයවූ අතර මාර්ෂල් ග්‍රෞචි යටතේ වූ තවත් සේනාංකයක් පසුබැස ගිය බ්ලූශර් හඹා යාමට යැවීය​.

1815 ජූනි 18 වන දා, එම තීරණාත්මක දිනයේ, වැඩි වාසි තිබුණේ බ්‍රිතාන්‍ය සහ ප්‍රශියානු හමුදාවලටය​. වෝර්ටලූ පෙරමුණ පහසුවෙන් ආරක්‍ෂා කළ හැකි වූ ස්ථානයක පිහිටියේය​. මේ අතරම ප්‍රශියානු හමුදාවද සිටියේ වැඩි ඈතක නොවේ. නමුත් නැපෝලියන්ට පහර දෙනු හැර විකල්පයක් නොවීය​.

සටන හරියටම ඇරඹුනේ කිනම් වේලාවකදැයි තවමත් ඉතිහාසකරුවන් අතර මතභේද පවතී. නමුත් සහතික වශයෙන්ම කිව හැක්කේ සටන 1815 ජූනි 18 වනදා උදෑසන 10 ට පමණ හෝ ඊට තරමක් පසුව හෝ ඇරඹි බවයි. අවස්ථා කිහිපයකදීම ප්‍රංශ හමුදා ප්‍රතිවාදී සටන් පෙරමුණ දෙස කඩා පැන්නද ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පළවා හරින ලදී.

ප්‍රශියානු හමුදා මුලින්ම සටන් බිමෙහි මතු වූයේ දහවල් එකට පමණ ය​. සවස් වනවිට ප්‍රංශ සහ මිත්‍ර රටවල හමුදා දරුණු ලෙස සටන් කරන අතරවාරයේ ප්‍රධාන ප්‍රශියානු බල ඇණි ප්‍රංශ හමුදාවේ දකුණුපස පෙරමුණෙන් පහර දුන්හ​. මේ අතර, වහා වෝටර්ලූ වෙත පැමිණෙන ලෙස නැපෝලියන් විසින් ග්‍රෞචි වෙත යවන ලද පණිවිඩය ඔහුට ලැබෙන විට සටන බොහෝකොටම අවසන් වී තිබිණ​. රාත්‍රී දහය පමණ වනවිට සටන නිමා වූයේ මිත්‍ර හමුදාවලට ජය අත්කර දෙමිනි.

වෝටර්ලූ යනු නියම වශයෙන් ගතහොත් නැපෝලියනික් යුද්ධවල නිමාව නොවීය​. ග්‍රෞචිගේ හමුදා ජූනි 19 වනදා ප්‍රශියානු පසුපෙළ සේනාවක් හා ගැටී එය පරාජය කළේය​. නැපෝලියන් යටත් වූ පසුද ඇතැම් ප්‍රංශ බලකොටු යටත් නොවීය​. ඇතැම් ප්‍රංශ සෙන්පතියන්ට අවශ්‍ය වූයේ දිගටම සටන ගෙනයාමයි. නමුත් නැපෝලියන් සිහසුන අත හැරීමේ තීරණයට එළඹියේය​. ඔහු 1815 ජූනි 24 වනදා දෙවන වරටද සිහසුන අතැර, බ්‍රිතාන්‍යයන්ට යටත් විය​. හෙතෙම සාන්ත හෙලේනාවට පිටුවහල් කරන ලදී.

නැපෝලියන්ගේ පරාජය සඳහා බ්‍රිතාන්‍යයේ දායකත්වය කිසිසේත් අවතක්සේරු නොකළ යුත්තේය​. එරට වෙළෙඳ හා නාවික බලයට එදිරි වීමට ශක්තියක් නැපෝලියන්ට නොවීය​. එමෙන්ම​, අනෙක් අතට, ප්‍රංශයේ යුධ හමුදාව සමඟ සටන් වැදීමට තරම් තනි ශක්තියක් බ්‍රිතාන්‍ය යුධ හමුදාවට තිබුණේද නැත​.

සත්‍ය වශයෙන්ම​, නැපෝලියන්ගේ පරාජය යනු බ්‍රිතාන්‍ය වෙළෙඳ ක්‍රමය ඉදිරියේ නැපෝලියන්ගේ මහාද්වීපික පටිපාටියේ පරාජයය​. එමෙන්ම බ්‍රිතාන්‍ය වාණිජ බලයේ මස්තකප්‍රාප්තිය සනිටුහන් කළ අවස්ථාවය​. නමුත්, අර්ධද්වීප යුද්ධය​, මොස්කව් යුධ ව්‍යාපාරය සහ 1813 ලිප්සිග් සටන නොවන්නට 1815 වෝටර්ලූ සංග්‍රාමයක් සිදු නොවන්නේය​.

Wednesday, June 10, 2015

බලාපොරොත්තු නොවූ සිදුවීමකට සිංගප්පූරු වැසියන්ගෙන් බලාපොරොත්තු නොවූ පිළිතුරක්

2015 අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වේ. මේ සඳහා රටවල් එකොළහක් සහභාගී වෙති. මෙම උළෙලේ ජල ක්‍රීඩා තරඟ පැවැත්වෙන්නේ කලාංග් හි OCBC ජල ක්‍රීඩා මධ්‍යස්තානයේය.

පසුගිය ජුනි 8 වන සඳුදා එහි පවත්වන ලද අවසන් තරඟ 6 කින්ම ජයග්‍රහණය කළේ සත්කාරකත්වය උසුලන සිංගප්පූරුවයි. මේ අනුව එරට ජාතික ගීය, එනම්, Majulah Singapura ගීය එදින OCBC මධ්‍යස්ථානයේ සය වරක් වාදනය වූයේය.

මින් හයවෙනි, නැතහොත් අවසාන අවස්ථාවේදී, රන් පදක්කම් ලාභී ජයග්‍රාහිකාවන් වූයේ මීටර් 200 x 4 සහය පිහිනුම් කාන්තා ක්‍රීඩිකාවන් ය. නමුත් ජාතික ගීය වාදනය අතරමැදදී වූයේ ලංකාවේදී කෙසේ වෙතත් සිංගප්පූරුවේදී බලාපොරොත්තු නොවන දෙයකි. එනම්, ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියා විරහිත වීමයි.

මේ අවස්ථාවේ පදක්කම්ලාභී ක්‍රීඩිකාවන් සිව් දෙනා බලවත් තිගැස්මකට පත් වූහ. තම ක්‍රීඩා දිවියේ වැදගත්ම අවස්තාවක්, තම රටේ ජනතාව ඉදිරිපිටදීම මෙසේ බොඳ වී යනු ඇතැයි ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවන්නට ඇත.

නමුත් සිදු වූයේ ඔවුන් නොසිතූ දෙයකි. ශබ්ද විකාශන යන්ත්‍රවල අඩුව පිරවීමට එක්රොක්වී හුන් නරඹන්නෝ එකාවන්ව ඉදිරිපත් වූහ. ඔවුන් එක්ව ජාතික ගීය ගායනා කළෝය. මනා සේ ගායනා කළෝය. ශබ්ද විකාශන යන්ත්‍රවලින් එන හඬටත් වඩා හොඳින්, දේශානුරාගයෙන් යුතුව, එකාවන්ව ගායනා කළෝය.

එය පදක්කම්ලාභී සිංගප්පූරු තරුණියන් සිව්දෙනාගේ අමතක නොවන දිනයක් බවට නොඅනුමානය. නමුත් එදින එක්රොක්ව සිටි නරඹන්නෝ සමස්ත ප්‍රේක්ෂකාගාරයටම එය අමතක නොවන දිනයක් බවට පත් කළෝය.

මෙම සිද්ධිය පිළිබඳ ප්‍රශංසා කළෝ බොහෝය. ඒ අතර සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූංග් ද වූයේය. සිය ෆේස්බුක් පිටුව හරහා ඔහු අසා සිටියේ "සිංගප්පූරු වැසියන්ට ගීත ගායනය කළ නොහැක්කේ යයි කියන්නේ කවුද?" යනුවෙනි.

මෙහිදී සැලකිය යුතු වැදගත්ම කාරණයක් ඇත. සිංගප්පූරුවේ ජනයාගෙන් වැඩි කොටස, එනම් සියයට 75 ක් පමණ, චීන ජාතිකයෝ වෙති. නමුත් ජාතික ගීය මැලේ බසින් ලියවුනකි. එරට අනෙක් රාජ්‍ය භාෂාවන් වන චීන, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවන්ට මෙම ගීය නිල වශයෙන්ම පරිවර්තනය කර ඇත. නමුත් ජාතික ගීය යානයා කළ යුත්තේ මැලේ බසින් බවට නීති ප්‍රකාරව සඳහන් කර තිබේ.

Majulah Singapura යන්නෙහි අදහස "සිංගප්පූරුව ඉදිරියටම" වැන්නකි. මෙවන් සිදුවීම් දකින කල සිංගප්පූරුව ඉදිරියට යාමෙහි අරුමයක් කෙනෙකුට මතු නොවන්නේය.

Tuesday, June 2, 2015

අමරාවතී නගරය පිළිබඳ විවාදයක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නව අගනුවර පිළිබඳ මේ වනවිට විශාල විවාදයක් මතුවී තිබේ. මීට හේතු වී ඇත්තේ එම ප්‍රාන්ත මහ ඇමතිවරයා විසින් ඓතිහාසික අමරාවතිය ඒ සඳහා නම් කිරීම සමඟ මතුවී ඇති විරෝධයයි.

අමරාවතිය ඉන්දියාවේ ඓතිහාසික නගරයකි. මෞර්ය අධිරාජ්‍යයේ වැටීමෙන් පසු ඩෙකානයේ බලයට පත්වූ සතවහන අධිරාජ්‍යයේ අගනගරය වූයේ අමරාවතියයි. ක්‍රිශ්ණා ගඟබඩ පිහිටි එම ප්‍රදේශය අද වනවිට කෘෂිකර්මාන්තය අතින් ද වැදගත් ප්‍රදේශයකි.
අමරාවතී පිහිටීම (NDTV)

මහ ඇමති චන්ද්‍රබාබු නායිදුගේ අපේක්‍ෂාව වන්නේ මෙම ප්‍රදේශයෙහි සිංගප්පූරු මොඩලයේ නගරයක් ඉදි කිරීමයි. නමුත් මෙම අදහසට පක්‍ෂව මෙන්ම විපක්‍ෂව විවිධ අදහස් මතුවෙමින් පවතී.

2014 වසරේදී සිදුවූ ආන්ද්‍රා ප්‍රදේශය දෙකඩ වීමත් සමඟ එහි පැරණි අගනගරය වූ හයිද්‍රාබාදය අලුතෙන් ඇතිවූ තෙලන්ගනා ප්‍රාන්තයට අයත් වූයේය​. තොරතුරු තාක්‍ෂණය සඳහා ප්‍රකට හයිද්‍රාබාදය සමහරුන් හඳුන්වන්නේ සයිබරාබාද් යනුවෙනි. එම නගරය එම තත්ත්වය කරා ගෙනයාමේ මූලික වැඩ කොටස කෙරුණේ වත්මන් ආන් ද්‍රා මහ ඇමති නායිදු අතිනි.

දැන්, නායිදුගේ ඉලක්කය වන්නේ එවැනිම වූ තවත් නගරයක් නිර්මාණය කිරීමයි. එය පරිපාලන මෙන්ම ආර්ථික මධ්‍යස්ථානයක් වනු දැකීම ඔහුගේ අභිලාශයයි. අගනුවර ප්‍රදේශය ලෙස නම් කර ඇති මුලු ප්‍රදේශය වර්ග කිලෝමීටර 7,068 කි. අමරාවතී අගනුවර වර්ග කිලෝමීටර 225 ක් විශාල වනු ඇත​. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම ඉන්දියානු රුපියල් කෝටි ලක්‍ෂ 4 කි.

කෙසේ වෙතත්, ඔහුගේ අදහසට එරෙහි වන ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙය නිරපරාදී වටිනා කෘෂිකාර්මික ප්‍රදේශයක් විනාශ කිරීමක් බවයි. ප්‍රදේශයේ වසන ගොවීන් මෙන්ම ඉඩම් නැති අඳ ගොවීන් සහ කම්කරුවන් ගේ ඉරණම පිළිබඳ සැක සංකා මතු වෙමින් පවතී. විරුද්ධවාදීන් සඳහන් කරන්නේ මෙය ඉඩම් මංකොල්ලයක් පමණක් බවයි. වටිනා ඉඩම් අයිතිකරුවන් ගෙන් ඩැහැගෙන සමාගම්වලට පවරා දීම මෙයින් බලාපොරොත්තු වන බව ඔවුහු පවසති.
Dhyana Buddha Amaravathi (Jai Kishan Chadalawada)

එමෙන්ම මෙම අලුත් නගරය ඉදිකිරීමට එරෙහිව මේ වනවිට නඩුවක්ද ගොනු කරනු ලැබ ඇත​. විජයවාදා හි වසන පන්ඩලනෙනි ශ්‍රීමන්නාරායන​ විසින් ගොනු කර ඇති නඩුවෙන් කියැවෙන්නේ මෙම ප්‍රදේශය භූමිකම්පාවලට භාජනය විය හැකි ප්‍රදේශයක් බවයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ පාංශු ස්වාභාවය අනුව ඉතා උස් ගොඩනැගිලි ඉදිකිරීම යෝග්‍ය නොවන බවද පෙත්සම්කරු පවසයි. එමෙන්ම මෙම ප්‍රදේශය නිව්‍ යෝර්ක් නගරයටත් වඩා විශාල වන බව පෙන්වා දෙන පෙත්සම්කරු, එවන් විශාල ප්‍රදේශයක් යටකිරීමේ අවශ්‍යතාවද ප්‍රශ්න කරයි. මෙම පෙත්සම ඉන් දියාවේ ජාතික හරිත විනිශ්චය සභාව ඉදිරියේ මෙම වසරේ ජූලි 27 වනදා විභාගයට ගැනීමට නියමිතය​. ඉන්දියානු මධ්‍යම රජය​, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජය​, වනාන්තර සහ පරිසර අමාත්‍යාංශය සහ අගනුවර ප්‍රදේශ සංවර්ධන අධිකාරිය මෙහි වග උත්තරකරුවෝ වෙති.

මේ අතරම නගරය ඉදිකිරීම සඳහා අරමුදල් එකතු කරගන්නා ආකාරය පිළිබඳවද ගැටලු පවතින බව විවේචකයෝ පෙන්වා දෙති. නමුත් නායිදු පාක්‍ෂිකයින් පෙන්වා දෙන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ බැංකුව​, ජයිකා ආයතනය​, සිංගප්පූරුවේ තමසෙක් සමාගම සහ චීන සමාගම් යනාදී ජාත්‍යන්තර ආයතන මීට සහය දක්වනු ඇති බවයි.

Friday, January 16, 2015

රජුගේ වරදට ජනතාවගෙන් පළි ගැනීම​

ශ්‍රී ලංකා වැසියන් තුල අනාදිමත් කාළයක පටන් සංඝයා වහන්සේ කෙරේ වූයේ මහත් වූ ගෞරවයකි. මෙම ගෞරවයේ මහත කෙතරම් දැයි කියැවෙන කතා පුවතක් වන්නේ මිරිසවැටිය දාගැබ නිර්මාණය කිරීමේ කතා පුවතයි.

එළාර රජුන් පරදා ත්‍රී සිංහලය එක්සත් කලාවූ දුටුගැමුණු රජතුමා තුළ සංඝයා කෙරේ වූයේ මහත් භක්තියක් බව වංසකතාකරුවෝ පවසති. තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය.

වංසකතා කරුවන් මෙහිදී ප්‍රකාශ නොකරන කතාවක් වේ. එනම් මෙවන් විශාල චෛත්‍ය කර්මයක් සඳහා අවශ්‍ය ශ්‍රමය පිළිබඳ සාධකයයි. පුණ්‍ය ක්‍රියාවක් ලෙස චෛත්‍ය නිර්මාණයකට දායක වීම ජනතාව කැමැත්තෙන්ම කරන්නට ඇත​. නමුත් තමා අතින් වූ අතපසු වීමකට දඬුවමක් ලෙස දුටුගැමුණු රජු විසින් මෙම චෛත්‍යය ගොඩ නැගුවේ නම් එහි අදහස දුටුගැමුණු රජතුමා අකාරුණික රජකු බවයි. මන්ද යත්, ඔහු තමාගේ අතපසු වීම වෙනුවෙන් දසදහස් ගණන් රටවැසියන් ගේ ශ්‍රමය යොදවාගෙන චෛත්‍යයක් සෑදවූ බැවිනි.

රජතුමා ජනතාවගේ ශ්‍රමය සූරාගත් බවක් මින් අදහස් නොකෙරේ. රුවන්වැලි සෑය ගොඩ නගද්දී ශ්‍රමයෙන් දායක වූ සියල්ලන්ට රජතුමා විසින් වේතනයක් ගෙවූ බව වංසකතාකරු පවසයි. මිරිසවැටිය ගොඩ නගද්දී ද එය එසේ වන්නට ඇත​. නමුත් ඒ ගෙවන්නට ඇත්තේ රාජ්‍ය භාණ්ඩාගාරයෙනි. එනම්, ජනතාවගේම බදු මුදල්වලිනි. රජකුගේ අතපසුවීමක් වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කිරීම අවැඩකි.

පුණ්‍ය ක්‍රියාවක් ලෙස චෛත්‍යයක් ගොඩ නැගීම මහත් වූ වදගත් කමකින් යුත් කාර් යයකි. නමුත් තමන් කළ වරදකට දඬුවමක් ලෙස එය කරවන ලද්දේ නම් දුටුගැමුණු රජතුමා කර ඇත්තේ තම වරදට ජනතාවගෙන් පළි ගැනීමයි.

රජකුගේ අතපසුවීමකට රට වැසියාගෙන් පළි ගැනීම අයුතු ය​.

මේ සිද්ධියේ ඇත්ත නැත්ත අපි නොදනිමු. අප දන්නේ මහාවංසය අපට පවසන දෙයයි. ඒ අනුව මහාවංසය දුටුගැමුණු රජතුමා අකාරුණික රජකු බවට පෙන්වා ඇත​.

මේ මහාවංසය විවෘත මනසකින් යළි කියැවීමට කාළය යහපත් වගට තවත් එක් කුඩා සාධකයක් පමණි.