Saturday, May 14, 2016

රුවන්ඩා ක්‍රිකට් නායකයා පැය 51 ක් එකදිගට පිතිකරණයේ

රුවන්ඩා ක්‍රිකට් කණ්ඩායමේ නායක එරික් දුසිංගිෂිමානා (Eric Dusingizimana) පැය 51 ක් පුරාවට පුහුණු දැලක් තුල පිතිකරණයේ යෙදෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට​ සමත් විය​.

ඒ රුවන්ඩාවේ පළමු ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම සඳහා ආධාර එකතු කිරීමේ උත්සාහයක් ලෙසිනි.

සෑම පැයකටම විනාඩි පහක් බැගින් විවේක ගනිමින් ඔහු එක දිගට පැය 51ක් පිතිකරණයේ යෙදුණි.

ඔහුට පළමු පන්දුව එවන ලද්දේ රුවන්ඩාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් විලියම් ගෙලිංග් ය​. අවසාන පන්දුව එවන ලද්දේ ඔහුගේ බිරිඳ විසිනි.

එමෙන්ම හිටපු බ්‍රිතන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ද දුසිංගිෂිමානා වෙත පන්දු යැවීමට එක් විය​.

දුසිංග්‍ෂිමානා විසින් බිඳ හෙලන ලද්දේ 2015 දෙසැම්බරයේදී පැය 50 ක් පිතිකරණයේ යෙදෙමින් ඉන් දියාවේ විරාග් මරේ විසින් පිහිටවූ වාර්තාවකි.

Tuesday, May 10, 2016

පැනමා පත්‍රිකාවල ලාංකිකයන් 65 ක් නැහැ

මහත් ආන්දෝලනයකට ලක් වූ පැනමා පත්‍රිකාවල සඳහන් නම් සහ සමාගම්වල නම් ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට නිකුත් කෙරුණි.

ඒ අන්තර්ජාතික ගවේෂණාත්මක ජනමාධ්‍යවේදී සංසදය (International Consortium of Investigative Journalists - ICIJ) විසින්.

මේ අතර ශ්‍රී ලාංකිකයන් ගේ නම් ද ඇතුලත්.

ICIJ විසින් නිකුත් කළ සම්පූර්ණ දත්ත ගබඩාවට 2013 දී නිකුත් වූ නම් ද ඇතුලත්. ඒ හේතුවෙන් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණේ පැනමා පත්‍රිකාවල ලාංකිකයන් 65 කගේ නම් සඳහන් වී ඇති බවයි.

නමුත් මේ 65 න් 40 කට වඩා 2013 ලැයිස්තුවේ සඳහන් නම් වන අතර 'පැනමා පත්‍රිකා' හි සඳහන් ශ්‍රී ලාංකික නම් සංඛ්‍යාව 20 ක් පමණ වේ.


2013 ලැයිස්තුව පහළින් බලන්න​



Monday, May 9, 2016

පැනමා පත්‍රිකා තොරතුරු අද රාත්‍රියේ නිකුත් වේ

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට හේතු වූ පැනමා පත්‍රිකාවල (Panama Papers) සඳහන් සමාගම් 200,000 කට අධික විස්තර ඇතුලත් දත්ත ගබඩාවක් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට නිකුත් කරන බව අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදය ප්‍රකාශ කළේය​.

පැනමා පත්‍රිකා යනු පැනමාවේ පිහිටි නීති සමාගමක් වන මොසාක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනු පිළිබඳ ලේඛන මිලියන 11.5 ක පමණ සුවිශාල එකතුවකි. මේවායෙහි සමාගම් 214,000 ක පමණ අයිතිකරුවන්, කොටස් හිමිකරුවන් සහ අධ්‍යක්ෂකවරුන් පිළිබඳ විස්තර ඒවායේ තිබෙන බව පැවසේ. ආදායම් බදු නීති ලිහිල් රටවල සමාගම් ස්ථාපිත කොට ආදායම් බදු නීති සහිත රටවල අයවලුන් ගේ මුදල් ඉහත කී සමාගම්වල තැන්පත් කිරීම සඳහා පහසුකම් සැලසීම මොසැක් ෆොන්සේකා සමාගමට එල්ලවන චෝදනාවය​. එමගින් ඉහත මුදල් තැන්පත් කරන්නන් ඔවුනගේ රටවල ආදායම් බදු නීතිවලින් නිදහස් ව සිය මුදල් තැන්පත් කිරීමට සමත් වන බව සඳහන් ය​.

2015 අගෝස්තුවේ සියුඩ්ඩොයිෂ සෙයිටුන්ග් (Süddeutsche Zeitung - දකුණු ජර්මන් පුවත්පත) නම් පුවත්පතට අඥාත පුද්ගලයකු විසින් මෙම ලිපි ලේඛන ලබා දී ඇති අතර එම පුවත්පත විසින් ඒවා අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදය (International Consortium of Investigative Journalists) වෙත යොමු කොට තිබේ. මේවා ලොවපුරා මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් අතර බෙදා හැර පරීක්ෂාවට බඳුන් කරන ලදී.

මෙම ඇතැම් සමාගම්වල කොටස් හිමිකරුවන් අතර රාජ්‍ය නායකයින් පස් දෙනකු සහ රාජ්‍ය නායකයින් 40 කගේ පමණ පවුල්වල සාමාජිකයින් සිටින බවද සොයාගෙන තිබේ. එමෙන්ම වෙනත් සුප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ නම් ද මේ අතර වේ.

මේ පිළිබඳ පළමුවෙන්ම ජනමාධ්‍යවලින් වාර්තා කෙරුණේ අප්‍රේල් 3 වනදා ය. එයින් ටික දිනකට පසු එම හෙළිදරව් කිරීම් හේතුවෙන් අයිස්ලන්ත අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වූ අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට ද ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වූයේය​.

Saturday, May 7, 2016

නැගෙනහිර ජර්මනියේ හිටපු නායක එරික් හොනෙකර්ගේ බිරිඳ මිය යයි

නැගෙනහිර ජර්මනියෙහි හෙවත් ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයෙහි හිටපු නායක එරික් හොනෙකර්ගේ බිරිඳ වූ මාර්ගොට් හොනෙකර් ඊයේ දිනයේ චිලී දේශයේදී මිය ගියාය​.  මරණයට හේතුව ලෙස සඳහන් වූයේ පිළිකාවකි. මිය යනවිට ඈ 89 වන වියෙහි පසු වූවාය​.

1927 අප්‍රේල් 17 වනදා ජර්මනියේ හෝල් නගරයේදී උපන් ඈ මිය යනවිට 89 වන වියෙහි පසු වූවාය​. 1945 දී ජර්මන් කොමියුනිස්ට් පක්ෂයට බැඳුණාය​. ඈ 1946 දී අලුතින් බිහිවූ සමාජවාදී එක්සත් පක්ෂයෙහි (SED) සාමාජිකාවක වූවාය​.

මාර්ගොට් සිය අනාගත සැමියා වූ එරික් හොනෙකර් මුණ ගැසුනේ 1950 පමණය​. ඔහු ඇයට වඩා අවුරුදු පහළවකින් වැඩිමහලු වූවාක් මෙන්ම විවාහකයකුද විය​. 1952 දී ඔවුනට සොන්යා නම් දියණියක උපන් අතර හොනෙකර් සිය කළින් බිරිඳ දික්කසාද කොට 1953 දී මාර්ගොට් හා විවාහ වූවේය​.

1963 සිට 1989 දක්වා නැගෙනහිර ජර්මනියේ අධ්‍යාපන ඇමතිණිය වූ මාර්ගොට් එරට පාසල්වලට යුධ පුහුණුව හඳුන්වා දීම හේතුවෙන් කුප්‍රකට වූවාය​.

දැඩිමතධාරී කොමියුනිස්ට්වාදිනියක වූ ඈ එවකට නැගෙනහිර ජැමනියෙහි දෙවැනියටම වෛරයට පාත්‍ර වූ පුද්ගලයා ලෙස සැළකේ. ඇයට වඩා ජනතා අප්‍රසාදය යොමු වූයේ එරට රහස් ඔත්තු සේවය වූ ස්ටාසි හි ප්‍රධානියා වූ එරික් මීල්කේ පමණි.

සිය කොණ්ඩය වර්ණ ගැන්වීම පිළිබඳ ප්‍රකට වූ ඈ එනිසාම 'දම්පැහැ යක්දෙස්සිය' යන නමින් ජනතාව අතර ප්‍රකට වූවාය​.

1976 සිට 1989 දක්වා එරික් හොනෙකර් නැගෙනහිර ජර්මනිය පාලනය කළ අතර 1989 න් පසු ඔහු රුසියාවට පළා ගියේය​. 1993 දී ඔහු නැවතත් ජර්මනියට පිටුවහල් කළ නමුත් අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් ඔහුට එරෙහිව නඩු විමසීමක් කෙරුණේ නැත​.

හොනෙකර් යුවළ ඉනික්බිති චිලී දේශයෙහි පදිංචි වූහ​. එරික් 1994 දී පිළිකාවකින් මිය ගියේය​. එරික් සහ මාර්ගොට්ගේ දියණිය සොන්යා අදත් චිලී දේශයේ වසන්නීය​.

Thursday, March 31, 2016

ISIS ත්‍රස්තයින් මරාගෙන මැරුණ පැල්මයිරාවේ රුසියානු වීරයා

ඔහු නමින් ඇලෙක්සැන්ඩර් ප්‍රොකොරෙන්කෝ. වයස අවුරුදු 25 ක්. ජීවත් වූයේ රුසියාවේ ඔරෙන්බර්ග් ප්‍රාන්තයේ ගොරොඩ්කි නම් කුඩා ගම්මානයේ. මියගියේ වසර 2000 ක් ඉපැරණි සිරියාවේ පැල්මයිරා නගරයේදී.

මේ යුද්ධයට මැදිවූ එක් තරුණයකුගේ කතාවක් පමණක් නොවේ. ලොව පහළ වූ අන්ත කෲරතර ත්‍රස්ත කල්ලිවලින් එකක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ISIS නඩයට එරෙහිව කළ සටනේදී වීරයකු ලෙස දිවි දුන් රුසියානු තරුණයෙකි ප්‍රොචොරෙන්කෝ.

බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත ඔහුව හඳුන්වා දුන්නේ රුසියාවේ රම්බෝ ලෙසයි. මෙය ප්‍රොකොරෙන්කෝට කළ නිගරුවකි. රම්බෝ යනු ප්‍රබන් ධයකි. ප්‍රොකොරෙන්කෝ යනු සත්‍ය ලෝකයේ ජීවත් වූ තරුණයෙකි.

රුසියානු විශේෂ බලකා සාමාජිකයකු වූ ප්‍රොකොරෙන්කෝ පැල්මයිරාවට යවන ලද්දේ විශේෂ මෙහෙයුමකටය​. රුසියානු ගුවන් හමුදා ආධාර සහිතව සිරියානු හමුදා පැල්මයිරාව වෙත ගමන් කරමින් තිබුණි. ප්‍රොකොරෙන්කෝ එහි යවන ලද්දේ සතුරු ඉලක්ක හඳුනාගෙන ඒවා පිළිබඳ ගුවන් හමුදාවට වාර්තා කිරීමටය​.

මෙය ඉතා භයානක මෙහෙයුමක් වූයේය​. ඒ වනවිට ද නගරය පැවතියේ ISIS ත්‍රස්ත ග්‍රහණයේය​. ඔවුහු ප්‍රොකොරෙන්කෝ සිටින තැන සොයාගෙන එම ස්ථානය වටලෑමට වූහ​.

ප්‍රොකොරෙන්කෝ තම අවසානය ළඟ බව දැනගෙන​, තමා සිටි ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියානු ගුවන් හමුදා යොමු කළේය​. ඔහු මිය ගියේ සතුරන් පිරිසක් ද නසමිනි.

ප්‍රොකොරෙන්කෝ සිරියාවේ සටනට ගිය බව ඔහුගේ බිරිඳවත් පවුලේ අනෙක් අයවත් දැන සිටියේ නැත​. ඔහුගේ බිරිඳ එකටරීනා ඔවුනගේ පළමු දරුවා කුස දරා සිටින්නීය​. ඇය සිතා සිටියේ ඇගේ ස්වාමියා රුසියාවේ කොකේසස් කඳු ප්‍රදේශයේ කඳවුරක සිටින බවය​.

Tuesday, March 1, 2016

ජර්මනිය එරට නව​-නට්සි පක්ෂය තහනම් කිරීමේ වෑයමක

නව-නට්සිවාදී පක්ෂයක් ලෙස සැලකෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (NPD) තහනම් කිරීම සඳහා ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් බුන්ඩස්‍රාටය විසින් කරන ලද ඉල්ලීමක් එරට ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ අද සිට සළකා බැලෙනු ඇත​.

මෙහිදී බුන්ඩස්රාටය විසින් සනාථ කිරීමට උත්සාහ දරනුයේ NPDය යනු ජර්මනියේ තහනම් කරන ලද දේශපාලන දර්ශනයක් වන ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි මතවාදය මත පදනම් වූ පක්ෂයක් බවය​. තවද​, 2000 සිට 2006 දක්වා සිදුවූ දේශපාලන ඝාතන දහයකට පමණ සම්බන්ධ ජාතික සමාජවාදී යටිබිම්ගත සංවිධානය සමඟ මෙම පක්ෂය සම්බන්ධ බව ද බුන්ඩස්රාටය ඔප්පු කිරීමට බලාපොරොත්තු වේ.

ජර්මන් රජය මෙම නඩුවේදී බුන්ඩස්‍රාටයේ පක්ෂය ගෙන ඇතත් ක්‍රියාකාරී ලෙස ඊට සහය නොදක්වයි. මේ අතර NPDය ප්‍රකාශ කරන්නේ මෙහිදී අධිකරණයේ තීන් දුව කවරක් වුවද එය තමනට ගැටලුවක් නොවන බවයි.

NPDය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රධානම ප්‍රති තර්කය වනු ඇත්තේ මෙම නඩුව නිර්මාණය කරන ලද සාක්ෂි මත පදනම් වන බවය​. මින් පෙර 2001 දී මෙම පක්ෂය තහනම් කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් වූ අවස්ථාවේ මෙම කරුණ මත එම නඩුව බිඳ වැටුණි.

එහිදී හෙලි වූයේ රජය විසින් පක්ෂය තුළට උපාය දූතයන් යොදවා ඇති අතර ඔවුන් ඇතැම් සාක්ෂි නිර්මාණය කර ඇති බවය​. රජයේ උපාය දූතයන් පක්ෂය තුළ තීරණ ගැනීමේ තත්ත්වයට පවා ඉහලට නැග සිටි බැව් එවකට හෙළි විය​.

1964 දී ජර්මන් රයිෂ පක්ෂයේ (German Reich Party) අනුප්‍රාප්තික පක්ෂය ලෙස පිහිටුවන ලද NPDය අද වනතුරු ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දිනා නොමැත​. නමුත් මෙක්ලන්බර්ග්-බටහිර පොමරේනියා ප්‍රාන්ත සභාවේ ඔවුනගේ සමාජිකයෝ වෙති. එමෙන්ම පසුගිය යුරෝපා මැතිවරණයේදී යුරෝපා පාර්ලිමෙන්තුවට එක් නියෝජිතයකු තෝරාපත්කරගැනීමට එම පක්ෂයට හැකි විය​.

විදේශ අමාත්‍යාංශය ප්‍රතිව්‍යුහගත කිරීමට සිංගප්පූරුවේ සහය​

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිව්‍යුහගත​ කිරීම සඳහා සිංගප්පූරුවේ උපදෙස් ලබා දීමට නියමිත බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය පෙබරවාරි 29 වනදා ප්‍රකාශ කළේය​.

එහි ප්‍රකාශකයකු සිංගප්පූරුවේ චැනල් නිව්ස් ඒෂියා ආයතනය සමඟ කියා සිටියේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙහි ධාරිතා-සංවර්ධනය (capacity-building) කෙරෙහි සිංගප්පූරු සහය ලැබෙනු ඇති බවය​.
මංගල සමරවීර සහ විවියන් බාලක්‍රිෂ්නන් හමුව (නොවැ. 2015)

පසුගිය ජනවාරියේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සඳහා සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය විසින් දින දෙකක පුහුණු සැසියක් පවත්වන ලද බවත් එහිදී සැලසුම්කරණය​, මානව සම්පත් සහ පුහුණුව පිළිබඳ අවධානය යොමු කළ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය​.

කෙසේ වෙතත්, සිංගප්පූරුව විසින් ශ්‍රී ලංකාව වෙත උපදේශනය ලබා දෙන අතර, එම  නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීරණ ගනු ලබන්නේ ශ්‍රී ලංකාව විසින් බව එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය​.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගිය වසරේ සිංගප්පූරු සංචාරයක් අතරතුර සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට මෙසේ සහය දක්වන බව සිංගප්පූරු විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.