පළමු සහ දෙවනි සටහන්වලින් මම කතා කළේ ලියන්න ආස කෙනෙක් ඒ සඳහා අධ්‍යයනය කිරීමේ වැදගත්කම සහ ඊට යොදා ගන්නා මූලාශ්‍ර ගැනයි. දැන් කතා කරන්න යන්නෙ වෙනම දෙයක් ගැන.
ඇතැම් වෙලාවට කට්ටියට ඇති වන ප්‍රශ්නයක් තමයි ලියන්න ආස වුනාට ලියන්න බැරි එක. සමහර අය කම්මැලියි කියනවා. තව අය බයයි. වෙලාව නැති එක තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
වෙලාව නැති එකට නම් ඉතින් උත්තර හොයාගන්න එක තමන්ට කරන්න වෙන වැඩක්.
නමුත් කම්මැලියි සහ බයයි කියන ප්‍රශ්නය වෙන දෙයක්. තමුන් ලියන්න ආස නම් තමුන්ට කම්මැලි නම් හිතෙන්න විදියක් නැහැ. එහෙම වෙනවා නම් එක්කෝ තමන් ලියන්න ආස නැහැ. එහෙම නැත්නම් ඒ කියන වෙලාවෙ තෙහෙට්ටුව හෝ මොකක් හෝ නිසා ලියන්න හිතෙන්නෙ නෑ. ඒ දෙකම නෙවේ නම් කම්මැලිකම කියල දැනෙන්නෙ වෙන දෙයක්.
ලියන්න කම්මැලි හිතෙන්නෙ ලියන්න බය නිසා වෙන්න පුළුවන්.
ඇයි අපි ලියන්න බය?
එකක් අපි හිතනවා ආස වුණාට අපට ලියන්න බැහැ කියලා. පුළුවන් වුනත් අපට වඩා හොඳ ලියන්නො ඉන්න නිසා අපේ දේවල් වැඩක් වෙන්නෙ නැහැ කියලා. එහෙමත් නැත්නම් අපි ලියන දේවල් කවුරුවත් කියවන එකක් නැහැ කියලා. ඔහොම සැක හිතලා නොලියා ඉන්නවා. ලිව්වත් කාටවත් පෙනෙන්න දෙන්නෙ නැතුව හංගාගෙන ඉන්නවා.
ඉතින් අහන්න තියෙන සරල ම දේ තමයි, එහෙම හංගගෙන හිටියහම ඒකෙ හොඳ, නරක කියන්නෙ කවුද කියන එක.
ඔය හංගගෙන ඉන්න ප්‍රශ්නය කාළයක් මටත් තිබ්බ දෙයක්. මම මුලින් ම ප්‍රබන් ධ කතා ලියන්න ගත්තෙ ඉස්කෝලෙ යන කාළෙ. මට ඒක කරන්න බැරි බව තේරුනාම මම වෙන දේවල් ලියන්න ගත්තා. ඒ කාලෙ සම්පූර්ණයෙන් ම ලියපු එක "පොතක්" තාම මම වෙනස් කර කර හදනවා. තාම මට ඒ ගැන සෑහීමකට පත් වෙන්න බැරි උනා.
හැබැයි මම පසු කාලීනව ලියාපුවා එක එක්කෙනාට පෙන්නුවා. ෆේස්බුක් ආවට පස්සෙ සහ බ්ලොග් එකක් පටන් ගත්තාට පස්සෙ ඒවයෙ දැම්මා. එතකොට ඒවා කියවන අය එකතු වුනා. මුලින් ටික දෙනයි. ඒත් නිතර ලියද්දි කට්ටිය තව තව එකතු වුණා. මේ අය අතරෙ හොඳ කියන අය වගේම විවේචනය කරන අයත් හිටියා. ඒ සමහර විවේචනවලින් මම ඉගෙන ගත්තා. මගේ අඩුපාඩු වගේ ම පාඨකයාගෙ අඩුපාඩු සහ බලාපොරොත්තුත් ඉගෙන ගත්තා.
විවේචන ජාති කීපයක් තියෙනව. එකක් තමා කෙනෙක් ලියනවට ඉරිසියාකාරයො. ඒ අයව ටැකල් කරන්න පුළුවන් හොඳම ක්‍රමේ මොකක්ද කියලා පොඩ්ඩක් හිතලා බැලුවම තේරේවි. අනෙක් අය සද්භාවයෙන් විවේචන කරන අය. මේ දෙගොල්ල අඳුර ගන්න ගොඩාක් ම අමාරු නෑ. ඒකට සාමාන්‍ය බුද්ධිය සහ විචාර බුද්ධිය තියෙන්න ඕන. ඒ වගේම යම් ප්‍රවීණත්වයක් තියෙන කෙනෙක් සද්භාවයෙන් කරන විවේචන තියෙනව නම් ඒවා සීරියස් ම ගන්න. ඒ ඉතාම හොඳ විවේචනයක් නම් ඒ කියන්නෙ තමන් ඉතාම හොඳ බවයි. ඒක ගැන සතුටු වෙන්න. තමන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න. ඒක ලියන කෙනෙකුට අත්‍යාවශ්‍යයි.
ලියන්න ආස නම්, පටන් ගන්න බය නම්, පොඩි දේවල්වලින් සහ තමන් හොඳට දන්න දේවල්වලින් පටන් ගන්න. ඒ කරන ගමන් අනික් අය ලියන ඒවා කියවන්න. හැබැයි තමන් ලියන ගමන් තමන්ට ම වූ ශෛලියක් හදා ගන්න.
අනික, යමක් සඳහන් කරනවා නම්, හිතට එන දේවල් නැතිව මූලාශ්‍ර සහිතව දේවල් ලියන්න. මූලාශ්‍ර කියන්නෙ, මම කලින් සටහනක ලිව්වා වගේ, ගොසිප් සයිට් නෙවෙයි. (යමක් ගැන තමන්ගෙ මතය ලියනවා වුනත් ඒක සනාථ කරන සාක්කි ලියන්න ඕන). හරි මූලාශ්‍ර සහිතව දෙයක් ලියනවා නම්, විවේචනවලට බය වෙන්න ඕනත් නෑ. එහෙම බය වෙලා ලියන එක නවත්තන්න ඕනත් නෑ.
තමුන් හොඳට ම දන්න දෙයක් ගැන මූලාශ්‍ර ඇතිව ලියනවා නම් මඩ ගහන්න එන උන්ට බය වෙන්න ඕන නෑ. එහෙම ලියද්දි තමුන් නොදැන තමුන් වටේ කණ්ඩායමක් හැදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
පොඩියට ලියන්න පටන් ගන්න. ෆේස්බුක් එකේ ලියන්න. බ්ලොග් එකක් (දැන් බ්ලොග් ටිකක් අවුට් ඩේටඩ් උනාට අපි ලියන දේ තියාගන්න බ්ලොග් එක ප්‍රයෝජනයි) නැත්නම් ෆේස්බුක් පේජ් එකක් පටන් ගන්න. ලියන ඒවට ආකර්ශනීය පින්තූරයක් හෝ කීපයක් හෝ දාන්න. එතකොට ඇහැ යනවා වැඩියි. ඒ පින්තූරවල අයිතිකාරයා කවුද කියන එකත් දාන්න. එතකොට තමුන් ගැන විශ්වසනීයත්වය වැඩි වෙනව. ලංකාවෙ ජාතියේ නාලිකා කියාගන්න සමහර ආයතන කරනව වගේ කරන්න එපා. බීබීසී, සී.එන්.එන්. වගේ අය අනුගමනය කරන්න.
No comments:
Post a Comment