Monday, May 30, 2016

මැකෆී (McAfee) ඇමරිකානු ජනපති සටනට​

ලොව පළමු ප්‍රති-වයිරස මෘදුකාංගයේ නිර්මාතෘ ජෝන් මැකෆී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ සටන සඳහා ඉදිරිපත් වීමට දැරූ උත්සාහය අසාර්ථක විය​.

එරට තෙවැනි පක්ෂයක් වන ලිබර්ටේරියානු පක්ෂයේ (Libertarian Party) ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඔහු කළ උත්සාහය මැයි 29 වනදා පරාජයෙන් කෙළවර විය​.

එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගනු ලැබුණේ නව මෙක්සිකෝ ප්‍රාන්ත හිටපු ආණ්ඩුකාර ගැරී ජොන්සන් ය​. ඔහු 2012 දී ද එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය​.

ලිබර්ටේරියානු ජාතික සම්මේලනය මැයි 26 වනදා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඕර්ලැන්ඩෝ නගරයේදී ආරම්භ විය​. මෙහිදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා කිහිප දෙනකුම තරඟ වැදුණි.
John McAfee (Wikimedia Commons)

පළමු වටයේ ඡන්ද විමසීමේදී පක්ෂ සම්මේලන නියෝජිතයින් 458 දෙනකුගේ ඡන්ද ජොන්සන්ට ලැබුණු අතර දෙවනි තැන දිනාගත් ඔස්ටින් පීටර්සන්ට ඡන්ද 197 ක් ලැබුණි. මැකෆී ඡන්ද 131 ක් දිනාගත්තේය​.

දෙවැනි වටයේදී මුලු ඡන්ද 928 කින් 518 ක්, එනම් සියයට 55.82 ක් ජොන්සන් වෙත ලැබුණ අතර පීටර්සන් ඡන්ද 203 ක් දිනුවේය​. මැකෆී නැවතත් ඡන්ද 131 ක් ලබාගත්තේය​.

මේ අතර පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු මැසචුසෙට්ස් ආණ්ඩුකාර විලියම් වෙල්ඩ් තෝරාගන්නා ලදී.

ලිබර්ටේරියානු පක්ෂය මධ්‍ය දක්ෂිනාංශික පක්ෂයක් වන අතර සිවිල් නිදහස සුරැකීම මෙන්ම ආර්ථිකයට රජය විසින් කරන බලපෑම අවම කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති පක්ෂයකි.

අනපේක්ෂිත යමක් නොවී නම් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වනු ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂයෙන් බොහෝ විට හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වීමට ඉඩ ඇත​. බැර්නි සැන්ඩර්ස්ට ඇත්තේ ඉතා අඩු ඉඩකි. කෙසේ වෙතත් රිපබ්ලිකන් පක්ෂය තුළ ට්‍රම්ප්ට විරුද්ධ සැළකිය යුතු කොටසක් වන අතර ඩිමොක්‍රටික් පක්ෂය තුළ ද ක්ලින්ටන්ට විරුද්ධ සැළකිය යුතු පිරිසක් වෙති. ලිබර්ටේරියානු පක්ෂය බලාපොරොත්තු වන්නේ මෙම අපේක්ෂාභංගත්වයට පත් පිරිස් තමන් වටා එක් කර ගැනීමටය​

5 comments:

  1. ට්‍රම්ප් ඇමෙරිකාණු දේශපාලනයේ කලු පැල්ලමක් වෙයිද ?

    ReplyDelete
    Replies
    1. ක්ලින්ටන් එක්ක සසඳද්දී නම් ට්‍රම්ප් අවංකයි. සාපේක්ෂව​. මිනිහා හිතේ තියෙන එක කියනවා... බිස්නස් ගැන ඇරෙන්න :)
      නමුත් ඇත්තටම ඔහු ජනාධිපති වුනොත් මොකද වෙන්නේ කියන එක බලන්න වෙන්නෙ එතකොට තමයි

      Delete
    2. ඔහු ජනපති වුනොත් ලෝකය පුරාම අන්තවාදයට එක දිරිගැන්වීමක් වෙන්නත් බැරි නැහැ නේද?

      Delete
    3. ඔව්. ඒක එහෙම වෙන්නත් පුලුවනි. මොකද අන්තවාදය ටැකල් කරන්න පුලුවන් උපක්‍රමික අදහස් මිනිහට තියෙයි කියල හිතන්න බෑ. මිනිහ දන්නෙ ගියා, ගැහුවා, ආවා වගේ එව්වා තමා

      Delete