Sunday, February 21, 2016

යුරෝපා සංගමය බිඳ වැටේද​? එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ ජනමත විචාරණය ජූනි මාසයේදී

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේද යන්න තීරණය කිරීම සඳහා පැවැත්වීමට සැලසුම් කෙරුණ ජනමතවිචාරණය සඳහා ඊයේ දින නියම විය​. කැබිනට් මණ් ඩලය සමඟ පවත්වන ලද සාකච්ඡාවකට පසු එළඹෙන ජූනි 23 වනදා මෙම ජනමතවිචාරණය පවත්වනු ලබන බව අගමැති ඩේවිඩ් කැමරන් ඊයේ එරට වෙලාවෙන් සවස් යාමයේදී ප්‍රකාශ කළේය​.

අගමැතිවරයාගේ මෙම ඓතිහාසික කතාව සිදු කරන ලද්දේ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර ඇතිවූ එකඟතාවයෙන් එක් දිනකට පසුවය​. මෙම එකඟතාවය හේතුවෙන් යුරෝපා සංගමය තුළ එක්සත් රාජධානියට විශේෂ ස්ථානයක් හිමිවන බව කැමරන් ප්‍රකාශ කළේය​.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ සාමාජිකයකු වීම නුරුස්සන පිරිසක් කළක් මුලුල්ලේම එරටෙහි වූහ​. එරට ප්‍රධානම දේශපාලන පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂය තුළද මෙම මතය කවදත් තරමක් ජනප්‍රිය වූ අතර ඊට වඩා දක්ෂිනාංශික යයි සැළකෙන සියලු කණ්ඩායම් සාමාන්‍යයෙන් කවදත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බැව් ප්‍රකාශ කළහ​.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම වඩා තීව්‍ර වූයේ ආර්ථික අර්බුදය සහ සරණාගත ප්‍රශ්නය හේතුවෙනි. අගමැති ඩේවිඩ් කැමරන් ද යුරෝපා සංගමය තුළ පැවති තත්ත්වය යටතේ එක්සත් රාජධානිය රැඳී සිටිනට අකමැති වූ නමුදු එයින් ඉවත්වීම පිළිබඳ දෙගිඩියාවෙන් පසු වූයේය​. එහෙයින් ඔහු එක්සත් රාජධානියට යම් විශේෂිත ස්ථානයක් ලැබෙන ආකාරයෙන් එකඟතාවකට ළඟා වූයේය​. මේ අනුව සරණාගත ප්‍රශ්නයේදී, මූල්‍ය කටයුතුවලදී සහ දේශපාලන ඒකාබද්ධතාව පිළිබඳ ගැටලුවලදී බ්‍රිතාන්‍යයට යම් සුරක්ෂිතභාවයක් ලැබෙනු ඇත​.

මෙම එකඟතාවයෙන් පසු කැමරන් යුරෝපා සංගමයේ දිගටම රැඳී සිටීම කෙරෙහි සිය පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළේය​. එහෙත් ඔහුගේම කැබිනෙට්ටුවේ සාමාජිකයන් කිහිප දෙනෙක් ද ඇතුලුව කොන්සර්වේටිව් පාක්ෂිකයන් පිරිසක් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යයි ප්‍රකාශ කරති.

මේ අතර ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බව ප්‍රකාශ කරන අතර එම පක්ෂයේ කුඩා පිරිසක් යුරෝපයෙන් වෙන්වීම සඳහා සහය දක්වන්නට තීරණය කර තිබේ. ස්කොට්ලන්තයේ ප්‍රධානතම පක්ෂය වන ස්කොටිෂ් ජාතික පක්ෂය (Scottish National Party - SNP) වෙනමම වචන හරඹයක යෙදෙමින් 'ස්කොට්ලන්තය යුරෝපා සංගමයේ සිටිය යුතු බව​' ප්‍රකාශ කර තිබේ. ස්කොටිෂ් ජාතික පක්ෂය ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්විය යුතු නමුත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බව පිළිගන්නා පක්ෂයකි.

යුරෝපයෙන් වෙන්වීම සිය ප්‍රතිපත්තින්හි මූලික අංගයක් වන එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය (United Kingdom Independence Party - UKIP) ඒ සඳහා ප්‍රචාරක කටයුතුවල නිරත වනු ඇත​. මේ අතර එංගලන්තයේ සහ වේල්සයේ හරිත පක්ෂය (Green Party of England and Wales) වඩා යහපත් යුරෝපයක් සඳහා සටන් කරමින්, යුරෝපයේ රැඳී සිටින ගමන් එහි පාරිසරික සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කළ යුතු බව කියයි.

7 comments:

  1. වෙන්න වෙන්න පුලුවන් නම්..වෙන් වී ඔබ යන්න.. එපා අපේ ආ....දරේ ගෑන... ආයෙත් කාත කරන්න..

    ReplyDelete
  2. දැන් ඉතින් එතකොට ඔය අනෙක් රටවල් එහෙමත් තමන්ට ඕනේ ඕනේ විදියට අයින් වෙන්න හෝ යුරෝපා සංගමයේ පොදු අරමුණු වලින් බැහැරව ක්‍රියා කරන්න ගත්තොත් සංගමයට අඹ සරණයිනේ හිටං.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ ඉතින්... මම හිතන්නෙ නෑ බ්‍රිතාන්‍යය ගියත් අනෙක් උන් ඒ මග යාවි කියල​. එහෙම ගියොත් යුරෝපය ආපහු අවුල් ජාලයක් වෙනවා... ඉතිහාසය යළි යළිත් වෙනවලු නෙ. යුරෝපියානු යූනියන් එකට කෙළ වුනොත් කට්ටිය බෙදිල ගහමරාගෙන ආයෙ එකතු වෙයි. යුද්ධයක් එයි කියන එක නෙවෙයි මම කියන්නෙ. කට්ටිය ඇරගනිවි එකොනොමික්, පොලිටිකල් ගේම්වලින්...

      Delete
    2. හැබැයි ඕක වැටුනොත් ඒ වාසිය යන්නේ ඇමරිකාවට නෙමේද?මට හිතෙන්නෙම මේක පිටිපස්සේ ඇමරිකානු අධිරජය්වාදීන් ඇති කියලා හිටං..:D

      Delete
    3. අපේ හිටං ඉන්නව වෙන්නත් බැරි නෑ හිටං

      නෑ ඇත්තටම යුරෝපය බිස්නස්වලට ආකර්ශණීය වෙලා තියෙන්නෙ එහි ඒකාබද්ධ ශක්තිය නිසා. යුරෝපය අස්ථාවර වුනොත් ඒක ඇමරිකාවට හොඳ වෙයි කියල හිතන්න බෑ. ඒකෙ වාසියක් වුනොත් වෙන්නෙ රුසියාවට​

      Delete
  3. බොහෝ විට රුසියාවටත් ඇමෙරිකාවටත් 2ටම වාසි වේවී.. මොකද රුසියාව කැමති නැහැ යුක්‍රේන එක්ක අර්බුද තියෙන අතරතුර ඔවුන්ට ආධාර කරන ශක්තිමත් සංගමයක් බටහිරින් තියෙන එකට.. අනෙක් අතට යුරෝපා සංගමයේ ඒකාබද්ධ ආර්ථික ශක්තිය ලෝකයේ ඕනෑම රටකට අභියෝගයක්.. ඇමෙරිකාවට පවා.

    ඉතින් එංගලන්තය ඉවත් උනොත් යුරෝපා සංගමය දුර්වල වෙනවා විතරක් නෙවයි ඒක විහිලුවක් වේවී.. මොක්ද එංගලන්තය නැති යුරෝපයක් ගැන හිතන්නවත් පුලුවන්ද..?

    ReplyDelete