Tuesday, February 16, 2016

"මම ඔයාලගෙ අපේක්ෂකයා නෙවෙයි"

ඒ 1982 වසරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවක දැඩි අර්බුදයක ගැලී සිටියේය​. පක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තිබිණ​. මේ අතර ලක් ඉතිහාසයේ පළමු ජනාධිපති මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් වූයේය​.

මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් එවකට ජනාධිපති ධූරය දැරූ ජේ. ආර්. ජයවර්ධන ඉදිරිපත් වූයේය​. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු තෝරාගැනීම පිළිබඳ බරපතල ගැටලුවකට මුහුණ දුන්නේය​.

පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ අවශ්‍යතාවය වූයේ තම පුත් අනුර බණ්ඩාරනායකට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමය​. නමුත් පක්ෂයේ විශාල පිරිසකගේ, වෙසෙසින්ම එහි තරුණ සාමාජිකයන්ගේ දැඩි විරෝධයක් මෙම තීරණය කෙරෙහි මතු වූයේය​.

විජය කුමාරතුංග ඇතුලු පක්ෂයේ තරුණ සාමාජිකයන් පිරිසක් හෙක්ටර් කොබ්බෑකඩුව මුණ ගැසීමට යන්නේ මේ අතරතුරය​. ඔවුන් හෙක්ටර් කොබ්බෑකඩුවගෙන් ඉල්ලා සිටිනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසය​.

හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශමත් දේශපාලකයකු වූයේය​. 1970-77 රජයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා වූ ඔහුට අක්කර 50 නීතිය හේතුවෙන් විශාල ඉඩකඩම් ප්‍රමාණයක් අහිමි වූ අතර​, ඉඩම් අහිමි වූ බොහෝ නෑදෑයෝ ඔහු හා අමනාප ද වූහ​. තත්ත්වය කෙතරම් බරපතල වී ද යත්‍, ඔහුගේ සහෝදරයකු ඔහුගේ නිවසද බෙදාගෙන ඔහුගේ කොටසට අයිතිවාසිකම් කීවේය​. කොබ්බෑකඩුව දේශපාලනයෙන් මුදල් සෙවූවකු ද නොවීය​.

මේ හේතුවෙන්ම විජය ඇතුලු පිරිසගේ ඉල්ලීම ඔහු කරුණාවෙන් ඉවත දැම්මේය​. "මේ ගේත් තාප්පයක් ගහල දෙකට බෙදල​. මම අඳින්නෙත් අණ්ඩ දාපු කමිස​. කැබිනට් ඇමතියෙක් වුනාට මම හොයාගත් මුදලක් නෑ. එහෙව් මම කොහොමද ඡන්ද කරන්නෙ. මම ඔයාල හොයන අපේක්ෂකයා නෙවෙයි. කරුණාකර වෙන කෙනෙක් හොයාගන්න​" ඔහු කීවේය​.

නමුත් එයින් විජය කුමාරතුංග ඇතුලු පිරිස පසුබට නොවූහ​. "සර් තරග​ කරන්න​. අපි වියදම් බලාගන්නම්" ඔවුහු කීහ​.

සිරිමා බණ්ඩාරනායකගේ විරුද්ධත්වය හේතුවෙන් පක්ෂයෙන් කොබ්බෑකඩුවට වියදම් නොකළද ඔහුගේ සහචරයෝ කෙසේ හෝ මුදල් සපයා ගත් හ​. 1982 සැප්තැම්බර් 17 වනදා නාම යෝජනා කැඳවන ලද අතර අපේක්ෂකයෝ සය දෙනෙක් මෙහිදී තරග​ බිමට බටහ​. මෙයින් ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා අපූරු තර්කයක් ඉදිරිපත් කරමින් පැවසූයේ කොබ්බෑකඩුවගේ පක්ෂයේ නායිකාවට ප්‍රජා අයිතිය නොමැති බවත්, ඔහුට ඡන්දය දීම නිශ්ඵල බවත් ය​.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වූ සිරිමා පාර්ශවයේ වූවෝ කොබ්බෑකඩුව සමච්චලයට ලක් කළහ​. අනුර බණ්ඩාරණායක වරක් ප්‍රකාශ කළේ සිය පක්ෂයේ අපේක්ෂකයාට 'මෝටර් රථයට පෙට්‍රල් ගහගන්නටවත් මුදල් නැති' බවය​. මේ සියලු ප්‍රශ්න මැද හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ඇදී ගියේය​.

කෙසේ වෙතත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරණ සටන ජයගත්තේය​. ජයවර්ධන ඡන්ද 3,450,811ක් (52.91%) ලබාගනිද්දී කොබ්බෑකඩුව ඡන්ද 2.548,438 ක් (39.07%) ලබාගත්තේය​.

4 comments:

  1. මේ මැතිවරණය සහ කොබ්බෑකඩුව ගැන මගේ අත්දැකීමක්:
    http://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.html


    ReplyDelete
    Replies
    1. දේවාලෙක කපුකමක් කොළා නම් ගොඩම තමා :D

      Delete
  2. දැන් නම් ඔය අපේක්ෂකත්වය ගන්න ඕනේ තරම් කට්ටිය ඉන්නේ. අර ගිය ජන්දේදී කිව්වේ මර්වින් සිල්වා වගේම දයා ගමගේ වුනත් ඉල්ලන්න සුදානමින් හිටියා කියලා ඕනෙනම්.

    ReplyDelete