Friday, June 19, 2015

බ්‍රිතාන්‍යයන් විසින් සාඩම්බරයෙන් සමරන වෝටර්ලූ සංග්‍රාමය​

බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසය තුල වෝටර්ලූ සංග්‍රාමය කෙරෙහි දක්වන විශාල අවධානය එක්තරා ආකාරයකින් අධි තක්සේරුවකි. අනෙක් අතින් එහි වරදක් ද නැත​. නමුත් බොහෝ දෙනා විසින් අමතක කරනු ලබන කාරණය නම්, වෝටර්ලූ සංග්‍රාමයේදී නැපෝලියන් පරාජය වීම ඔහුගේ වැටීම ඉක්මන් කළා පමණක් බවයි. යම් හෙයකින් නැපෝලියන් එම සටනෙන් දිනූවද​, ඔහුගේ වැටීම ඒ වන විට අනිවාර්යයෙන් සිදු විය යුත්තක් බවට පත්ව තිබුණි.

අනෙක් අතට​, බ්‍රිතාන්‍යය මෙම සටන ජය ගැනීම නැපෝලියන් අධිරාජයාගේ වැටීම පිළිබඳ ගෞරවයෙන් වැඩි කොටස එම රටට දිනා දීමට සමත් වූයේය​. යම් හෙයකින් එම සටනෙන් නැපෝලියන් ජය ලද්දේ නම්, නැපෝලියන් පරාජය කිරීමේ අවසාන ගෞරවය වෙනත් රටකට අයත් වීමට ඉඩ තිබිණ​.

1814 අප්‍රේල් මාසයේදී සිහසුන අතැර ගිය නැපෝලියන් නැවත බලයට පැමිණියේ 1815 මාර්තුවේය​. ඔහු එතැන් පටන් මිත්‍ර පාක්ෂික රටවලට එරෙහිව ආරම්භ කළේ ජය ගැනීමට අතිශයින්ම අපහසු සටනකි. බ්‍රිතාන්‍යය​, රුසියාව, ඔස්ට්‍රියාව යන දැවැන්තයින් ද​, ප්‍රශියාව, ස්වීඩනය ආදී තවත් රටවල් කිහිපයකින් ද සැදුම් ලත් 'හත්වැනි සන්ධානයට​' එදිරිව කෙරුන අරගලයකින් දුර්වල වී සිටි ප්‍රංශය ජයගනිතැයි සිතීම උගහට වූයේය​.
ප්‍රංශයේ සහ ඒ අවට හමුදා ස්ථානගතව තිබූ අයුරු (1815 ජූනි 1)

තමා සිටි නරක තත්ත්වය පිළිබඳ මනා වැටහීමක් තිබූ නැපෝලියන් මේ අවස්ථාවේ කළේ කළ හැකිව තිබූ එකම උපක්‍රමයය​. එනම්, ප්‍රතිවාදී හමුදා ඒකාබද්ධ වීමට පෙර ඔවුනට පහර දීමය​. නැපෝලියන් සිය හමුදා බෙල්ජියම කරා මෙහෙයවූයේ එම අරමුණෙනි.

ජෙනරාල් ගර්බාර්ඩ් ෆොන් බ්ලූශර් විසින් මෙහෙයවුන ප්‍රශියානු හමුදාවක් සමඟ නැපෝලියන් ජුනි 16 වනදා ගැටුනේ ලිග්නි හිදීය​. මෙහිදී ප්‍රශියානු සේනාංකය පරාජය වූ නමුදු ක්‍රමානුකූලව පසු බැස්සේ තවත් දිනෙක සටන් කිරීමේ හැකියාව ඉතිරි කරගනිමිනි. එම සේනාංකය ලුහුබැඳ පලවා හැරීමට සමත් නොවීම නැපෝලියන් කළ බරපතල වරදකි.

මේ අතර ජුනි 16 වනදා මාර්ෂල් නී යටතේ වූ තවත් සේනාංකයක් ක්වාත්‍ර බ්‍රාස් හිදී නෙදර්ලන්ත හමුදාවකට පහර දුන්නේය​. මේ අවස්තාවේ වෙලින්ටන් සිය හමුදා එහි මෙහෙයවා මාර්ෂල් නී ගේ හමුදාව පළවා හැරියේය​.

කෙසේ වුවද බ්ලූශර්ගේ හමුදා පසු බැසීම හේතුවෙන් වෙලින්ටන්ට සිය හමුදාව ක්වාත්‍ර බ්‍රාස් හි තබා ගැනීම අවදානම් බව පෙනී ගියේය​. මේ හේතුවෙන් ඔහු කළේ බ්‍රසල්ස් නගරයෙන් දකුණු දෙසට වන්නට පිහිටි වෝර්ටලූ වෙතට සිය හමුදා මෙහෙයවීමය​. වෙලින්ටන් මුණ ගැසේයයි අදහසින් ක්වාත්‍ර බ්‍රාස් වෙත පැමිණි නැපෝලියන්ට ඔහු හමු වූයේ නැත​.

මේ අනුව නැපෝලියන් සිය ප්‍රධාන බල සෙනඟ වෝටර්ලූ බලා මෙහෙයවූ අතර මාර්ෂල් ග්‍රෞචි යටතේ වූ තවත් සේනාංකයක් පසුබැස ගිය බ්ලූශර් හඹා යාමට යැවීය​.

1815 ජූනි 18 වන දා, එම තීරණාත්මක දිනයේ, වැඩි වාසි තිබුණේ බ්‍රිතාන්‍ය සහ ප්‍රශියානු හමුදාවලටය​. වෝර්ටලූ පෙරමුණ පහසුවෙන් ආරක්‍ෂා කළ හැකි වූ ස්ථානයක පිහිටියේය​. මේ අතරම ප්‍රශියානු හමුදාවද සිටියේ වැඩි ඈතක නොවේ. නමුත් නැපෝලියන්ට පහර දෙනු හැර විකල්පයක් නොවීය​.

සටන හරියටම ඇරඹුනේ කිනම් වේලාවකදැයි තවමත් ඉතිහාසකරුවන් අතර මතභේද පවතී. නමුත් සහතික වශයෙන්ම කිව හැක්කේ සටන 1815 ජූනි 18 වනදා උදෑසන 10 ට පමණ හෝ ඊට තරමක් පසුව හෝ ඇරඹි බවයි. අවස්ථා කිහිපයකදීම ප්‍රංශ හමුදා ප්‍රතිවාදී සටන් පෙරමුණ දෙස කඩා පැන්නද ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පළවා හරින ලදී.

ප්‍රශියානු හමුදා මුලින්ම සටන් බිමෙහි මතු වූයේ දහවල් එකට පමණ ය​. සවස් වනවිට ප්‍රංශ සහ මිත්‍ර රටවල හමුදා දරුණු ලෙස සටන් කරන අතරවාරයේ ප්‍රධාන ප්‍රශියානු බල ඇණි ප්‍රංශ හමුදාවේ දකුණුපස පෙරමුණෙන් පහර දුන්හ​. මේ අතර, වහා වෝටර්ලූ වෙත පැමිණෙන ලෙස නැපෝලියන් විසින් ග්‍රෞචි වෙත යවන ලද පණිවිඩය ඔහුට ලැබෙන විට සටන බොහෝකොටම අවසන් වී තිබිණ​. රාත්‍රී දහය පමණ වනවිට සටන නිමා වූයේ මිත්‍ර හමුදාවලට ජය අත්කර දෙමිනි.

වෝටර්ලූ යනු නියම වශයෙන් ගතහොත් නැපෝලියනික් යුද්ධවල නිමාව නොවීය​. ග්‍රෞචිගේ හමුදා ජූනි 19 වනදා ප්‍රශියානු පසුපෙළ සේනාවක් හා ගැටී එය පරාජය කළේය​. නැපෝලියන් යටත් වූ පසුද ඇතැම් ප්‍රංශ බලකොටු යටත් නොවීය​. ඇතැම් ප්‍රංශ සෙන්පතියන්ට අවශ්‍ය වූයේ දිගටම සටන ගෙනයාමයි. නමුත් නැපෝලියන් සිහසුන අත හැරීමේ තීරණයට එළඹියේය​. ඔහු 1815 ජූනි 24 වනදා දෙවන වරටද සිහසුන අතැර, බ්‍රිතාන්‍යයන්ට යටත් විය​. හෙතෙම සාන්ත හෙලේනාවට පිටුවහල් කරන ලදී.

නැපෝලියන්ගේ පරාජය සඳහා බ්‍රිතාන්‍යයේ දායකත්වය කිසිසේත් අවතක්සේරු නොකළ යුත්තේය​. එරට වෙළෙඳ හා නාවික බලයට එදිරි වීමට ශක්තියක් නැපෝලියන්ට නොවීය​. එමෙන්ම​, අනෙක් අතට, ප්‍රංශයේ යුධ හමුදාව සමඟ සටන් වැදීමට තරම් තනි ශක්තියක් බ්‍රිතාන්‍ය යුධ හමුදාවට තිබුණේද නැත​.

සත්‍ය වශයෙන්ම​, නැපෝලියන්ගේ පරාජය යනු බ්‍රිතාන්‍ය වෙළෙඳ ක්‍රමය ඉදිරියේ නැපෝලියන්ගේ මහාද්වීපික පටිපාටියේ පරාජයය​. එමෙන්ම බ්‍රිතාන්‍ය වාණිජ බලයේ මස්තකප්‍රාප්තිය සනිටුහන් කළ අවස්ථාවය​. නමුත්, අර්ධද්වීප යුද්ධය​, මොස්කව් යුධ ව්‍යාපාරය සහ 1813 ලිප්සිග් සටන නොවන්නට 1815 වෝටර්ලූ සංග්‍රාමයක් සිදු නොවන්නේය​.

Wednesday, June 10, 2015

බලාපොරොත්තු නොවූ සිදුවීමකට සිංගප්පූරු වැසියන්ගෙන් බලාපොරොත්තු නොවූ පිළිතුරක්

2015 අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වේ. මේ සඳහා රටවල් එකොළහක් සහභාගී වෙති. මෙම උළෙලේ ජල ක්‍රීඩා තරඟ පැවැත්වෙන්නේ කලාංග් හි OCBC ජල ක්‍රීඩා මධ්‍යස්තානයේය.

පසුගිය ජුනි 8 වන සඳුදා එහි පවත්වන ලද අවසන් තරඟ 6 කින්ම ජයග්‍රහණය කළේ සත්කාරකත්වය උසුලන සිංගප්පූරුවයි. මේ අනුව එරට ජාතික ගීය, එනම්, Majulah Singapura ගීය එදින OCBC මධ්‍යස්ථානයේ සය වරක් වාදනය වූයේය.

මින් හයවෙනි, නැතහොත් අවසාන අවස්ථාවේදී, රන් පදක්කම් ලාභී ජයග්‍රාහිකාවන් වූයේ මීටර් 200 x 4 සහය පිහිනුම් කාන්තා ක්‍රීඩිකාවන් ය. නමුත් ජාතික ගීය වාදනය අතරමැදදී වූයේ ලංකාවේදී කෙසේ වෙතත් සිංගප්පූරුවේදී බලාපොරොත්තු නොවන දෙයකි. එනම්, ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියා විරහිත වීමයි.

මේ අවස්ථාවේ පදක්කම්ලාභී ක්‍රීඩිකාවන් සිව් දෙනා බලවත් තිගැස්මකට පත් වූහ. තම ක්‍රීඩා දිවියේ වැදගත්ම අවස්තාවක්, තම රටේ ජනතාව ඉදිරිපිටදීම මෙසේ බොඳ වී යනු ඇතැයි ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවන්නට ඇත.

නමුත් සිදු වූයේ ඔවුන් නොසිතූ දෙයකි. ශබ්ද විකාශන යන්ත්‍රවල අඩුව පිරවීමට එක්රොක්වී හුන් නරඹන්නෝ එකාවන්ව ඉදිරිපත් වූහ. ඔවුන් එක්ව ජාතික ගීය ගායනා කළෝය. මනා සේ ගායනා කළෝය. ශබ්ද විකාශන යන්ත්‍රවලින් එන හඬටත් වඩා හොඳින්, දේශානුරාගයෙන් යුතුව, එකාවන්ව ගායනා කළෝය.

එය පදක්කම්ලාභී සිංගප්පූරු තරුණියන් සිව්දෙනාගේ අමතක නොවන දිනයක් බවට නොඅනුමානය. නමුත් එදින එක්රොක්ව සිටි නරඹන්නෝ සමස්ත ප්‍රේක්ෂකාගාරයටම එය අමතක නොවන දිනයක් බවට පත් කළෝය.

මෙම සිද්ධිය පිළිබඳ ප්‍රශංසා කළෝ බොහෝය. ඒ අතර සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූංග් ද වූයේය. සිය ෆේස්බුක් පිටුව හරහා ඔහු අසා සිටියේ "සිංගප්පූරු වැසියන්ට ගීත ගායනය කළ නොහැක්කේ යයි කියන්නේ කවුද?" යනුවෙනි.

මෙහිදී සැලකිය යුතු වැදගත්ම කාරණයක් ඇත. සිංගප්පූරුවේ ජනයාගෙන් වැඩි කොටස, එනම් සියයට 75 ක් පමණ, චීන ජාතිකයෝ වෙති. නමුත් ජාතික ගීය මැලේ බසින් ලියවුනකි. එරට අනෙක් රාජ්‍ය භාෂාවන් වන චීන, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවන්ට මෙම ගීය නිල වශයෙන්ම පරිවර්තනය කර ඇත. නමුත් ජාතික ගීය යානයා කළ යුත්තේ මැලේ බසින් බවට නීති ප්‍රකාරව සඳහන් කර තිබේ.

Majulah Singapura යන්නෙහි අදහස "සිංගප්පූරුව ඉදිරියටම" වැන්නකි. මෙවන් සිදුවීම් දකින කල සිංගප්පූරුව ඉදිරියට යාමෙහි අරුමයක් කෙනෙකුට මතු නොවන්නේය.

Tuesday, June 2, 2015

අමරාවතී නගරය පිළිබඳ විවාදයක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නව අගනුවර පිළිබඳ මේ වනවිට විශාල විවාදයක් මතුවී තිබේ. මීට හේතු වී ඇත්තේ එම ප්‍රාන්ත මහ ඇමතිවරයා විසින් ඓතිහාසික අමරාවතිය ඒ සඳහා නම් කිරීම සමඟ මතුවී ඇති විරෝධයයි.

අමරාවතිය ඉන්දියාවේ ඓතිහාසික නගරයකි. මෞර්ය අධිරාජ්‍යයේ වැටීමෙන් පසු ඩෙකානයේ බලයට පත්වූ සතවහන අධිරාජ්‍යයේ අගනගරය වූයේ අමරාවතියයි. ක්‍රිශ්ණා ගඟබඩ පිහිටි එම ප්‍රදේශය අද වනවිට කෘෂිකර්මාන්තය අතින් ද වැදගත් ප්‍රදේශයකි.
අමරාවතී පිහිටීම (NDTV)

මහ ඇමති චන්ද්‍රබාබු නායිදුගේ අපේක්‍ෂාව වන්නේ මෙම ප්‍රදේශයෙහි සිංගප්පූරු මොඩලයේ නගරයක් ඉදි කිරීමයි. නමුත් මෙම අදහසට පක්‍ෂව මෙන්ම විපක්‍ෂව විවිධ අදහස් මතුවෙමින් පවතී.

2014 වසරේදී සිදුවූ ආන්ද්‍රා ප්‍රදේශය දෙකඩ වීමත් සමඟ එහි පැරණි අගනගරය වූ හයිද්‍රාබාදය අලුතෙන් ඇතිවූ තෙලන්ගනා ප්‍රාන්තයට අයත් වූයේය​. තොරතුරු තාක්‍ෂණය සඳහා ප්‍රකට හයිද්‍රාබාදය සමහරුන් හඳුන්වන්නේ සයිබරාබාද් යනුවෙනි. එම නගරය එම තත්ත්වය කරා ගෙනයාමේ මූලික වැඩ කොටස කෙරුණේ වත්මන් ආන් ද්‍රා මහ ඇමති නායිදු අතිනි.

දැන්, නායිදුගේ ඉලක්කය වන්නේ එවැනිම වූ තවත් නගරයක් නිර්මාණය කිරීමයි. එය පරිපාලන මෙන්ම ආර්ථික මධ්‍යස්ථානයක් වනු දැකීම ඔහුගේ අභිලාශයයි. අගනුවර ප්‍රදේශය ලෙස නම් කර ඇති මුලු ප්‍රදේශය වර්ග කිලෝමීටර 7,068 කි. අමරාවතී අගනුවර වර්ග කිලෝමීටර 225 ක් විශාල වනු ඇත​. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම ඉන්දියානු රුපියල් කෝටි ලක්‍ෂ 4 කි.

කෙසේ වෙතත්, ඔහුගේ අදහසට එරෙහි වන ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙය නිරපරාදී වටිනා කෘෂිකාර්මික ප්‍රදේශයක් විනාශ කිරීමක් බවයි. ප්‍රදේශයේ වසන ගොවීන් මෙන්ම ඉඩම් නැති අඳ ගොවීන් සහ කම්කරුවන් ගේ ඉරණම පිළිබඳ සැක සංකා මතු වෙමින් පවතී. විරුද්ධවාදීන් සඳහන් කරන්නේ මෙය ඉඩම් මංකොල්ලයක් පමණක් බවයි. වටිනා ඉඩම් අයිතිකරුවන් ගෙන් ඩැහැගෙන සමාගම්වලට පවරා දීම මෙයින් බලාපොරොත්තු වන බව ඔවුහු පවසති.
Dhyana Buddha Amaravathi (Jai Kishan Chadalawada)

එමෙන්ම මෙම අලුත් නගරය ඉදිකිරීමට එරෙහිව මේ වනවිට නඩුවක්ද ගොනු කරනු ලැබ ඇත​. විජයවාදා හි වසන පන්ඩලනෙනි ශ්‍රීමන්නාරායන​ විසින් ගොනු කර ඇති නඩුවෙන් කියැවෙන්නේ මෙම ප්‍රදේශය භූමිකම්පාවලට භාජනය විය හැකි ප්‍රදේශයක් බවයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ පාංශු ස්වාභාවය අනුව ඉතා උස් ගොඩනැගිලි ඉදිකිරීම යෝග්‍ය නොවන බවද පෙත්සම්කරු පවසයි. එමෙන්ම මෙම ප්‍රදේශය නිව්‍ යෝර්ක් නගරයටත් වඩා විශාල වන බව පෙන්වා දෙන පෙත්සම්කරු, එවන් විශාල ප්‍රදේශයක් යටකිරීමේ අවශ්‍යතාවද ප්‍රශ්න කරයි. මෙම පෙත්සම ඉන් දියාවේ ජාතික හරිත විනිශ්චය සභාව ඉදිරියේ මෙම වසරේ ජූලි 27 වනදා විභාගයට ගැනීමට නියමිතය​. ඉන්දියානු මධ්‍යම රජය​, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජය​, වනාන්තර සහ පරිසර අමාත්‍යාංශය සහ අගනුවර ප්‍රදේශ සංවර්ධන අධිකාරිය මෙහි වග උත්තරකරුවෝ වෙති.

මේ අතරම නගරය ඉදිකිරීම සඳහා අරමුදල් එකතු කරගන්නා ආකාරය පිළිබඳවද ගැටලු පවතින බව විවේචකයෝ පෙන්වා දෙති. නමුත් නායිදු පාක්‍ෂිකයින් පෙන්වා දෙන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ බැංකුව​, ජයිකා ආයතනය​, සිංගප්පූරුවේ තමසෙක් සමාගම සහ චීන සමාගම් යනාදී ජාත්‍යන්තර ආයතන මීට සහය දක්වනු ඇති බවයි.