Saturday, September 12, 2015

සිංගප්පූරු මැතිවරණයෙන් පාලක පක්ෂයට නොසිතු විරූ ජයක්

සිංගප්පූරුවේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය නොසිතූ විරූ ආකාරයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය​.

මහජන ක්‍රියාකාරී පක්ෂය (People's Action Party - PAP) ආසන 83 ක් ලබාගත් අතර ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ලබාගත්තේ ආසන 6 ක් පමණි. මහජන ක්‍රියාකාරී පක්ෂය සමස්ථ ඡන්දවලින් සියයට 69.86 ක් ලබා ගත්තේය​.
අගමැති ඇතුලු මහජන ක්‍රියාකාරී පක්ෂ Ang Mo Kio අපේක්ෂක කණ්ඩායම​

මහජන ක්‍රියාකාරී පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට සැකයක් නොවූ නමුත් බොහෝ විචාරකයන් බලාපොරොත්තු වූයේ විපක්ෂය මීට වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලබාගනු ඇති බවය​. ආසන පහක පමණ තියුණු සටනක් බලාපොරොත්තු වුවද​, එම සියලු ආසන පාලක පක්ෂය විසින් පහසුවෙන් ජයගනු ලැබීය​.

තියුණු සටනක් වාර්තා වූ එකම ආසනය වූයේ විපක්ෂයට බලය තිබූ අල්ජුනයිඩ් කණ්ඩායම් නියෝජිත කොට්ඨාශයේ ය​ (Aljuneid Group Representative Constituency). මෙහිදී ඡන්ද නැවත ගණන් කෙරුණ අතර​, විපක්ෂ කම්කරු පක්ෂය සිය බලය රඳවා තබා ගත්තේ තියුණු සටනකින් පසුවය​.

සිංගප්පූරු මැතිවරණය පවත්වන්නේ කේවල ක්‍රමයේම වෙනස් ආකාරයකටය​. එනම් එරට තනි මන්ත්‍රී ආසන (Single Member Constituency - SMC) මෙන්ම කණ්ඩායම් නියෝජිත කොට්ඨාශ (Group Representative Constituency - GRC) ද වෙති. කණ්ඩායම් නියෝජිත කොට්ඨාශවල මන්ත්‍රීවරු සිව් දෙනකුගේ සිට සය දෙනකු දක්වා සිටිය හැක​. එම කොට්ඨාශ සඳහා තරඟ කරන පක්ෂ අදාළ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරති. එම ආසනය ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයින් සියල්ලම ඒ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මෙම ක්‍රමය ආණ්ඩු පක්ෂයට වාසි සහගත ලෙස ක්‍රියාවට නැගෙන බැව් විපක්ෂය චෝදනා කරයි.

මෙම මැතිවරණයෙන් පසු අදහස් දැක්වූ ඇතැම් විපක්ෂ නායකයන් කියා සිටියේ මැතිවරණය පාලක පක්ෂයට වාසිදායක සමයක පැවැත්වීම විපක්ෂ ප්‍රතිඵලයට අයහපත් බලපෑමක් කළ බවය​. මාර්තු මාසයේ සිදුවූ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ මරණය සහ අගෝස්තු මාසයේ පැවති 50 වන නිදහස් සැමරුම යන අවස්ථාවලින් රජය වාසි ලබාගත් බව ඔවුහු චෝදනා කළෝය​.
අවසන් ප්‍රතිඵලය​ (The Straits Times)

අගමැති ලී සියෙන් ලූන්ග් කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ජනතාව රජයේ ප්‍රතිපත්ති පිළිගෙන ඇති බව දිස්වන අතර​, විදේශික ව්‍යාපාරික ප්‍රජාවටද සිංගප්පූරුවේ ස්ථාවරභාවය පිළිබඳ පණිවිඩයක් මෙයින් ලබාදෙන බවයි.

6 comments:

  1. සිංගප්පූරුවෙ ටොයියො කියලා ජාතියක් නැතුව වගේ...

    ReplyDelete
  2. සිංගප්පුරුවට ටොයියන් අපනයනය කරමු

    ReplyDelete
    Replies
    1. import-export trade balance එකත් ශේප් වෙයි එතකොට​

      Delete
  3. සිංගප්පුරුවේ විපක්‍ෂ උන්ට තිබ්බේ ජන්දේට ආණ්ඩු පක්‍ෂයේ පොරක් අරගෙන ආප්පයක් එහෙම කලා.පොදු අපේක්ෂක කරලා ජන්දෙට යන්න.

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ අගමෙති කස්ටිකටම එන්න කියල කලු කෝපි දුන්නද කියල :P

      Delete