Wednesday, September 9, 2015

තීරණාත්මක 2015 සිංගප්පූරු මැතිවරණය​

සිංගප්පූරුවේ මීළඟ මහ මැතිවරණය එළඹෙන සිකුරාදා, එනම් මෙම මස 11 වනදා පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් සිකුරාදා මධ්‍යම රාත්‍රිය පමණ වන විට මැතිවරණ ප්‍රතිඵල සියල්ල නිකුත් වනු ඇතැයි සිතිය හැකි අතර සිංගප්පූරු පාර්ලිමේන්තුවේ සංයුතිය කෙබඳු වනු ඇත්දැයි එමගින් තීරණය වනු ඇත​.

මෙම මැතිවරණය කැඳවන ලද්දේ පසුගිය සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ධූර කාළය නිම වීමට මාස අටකට පෙර වීම විශේෂත්වයකි. තවද​, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉතා කෙටි කාළයක් ලබාදී තිබීම ද වැදගත් සිදුවීමකි. නමුත් සති කිහිපයක සිටම මැතිවරණයක් නුදුරු අනාගතයේදීම කැඳවන බවට ඉඟි පළ වීම හේතුවෙන් විපක්ෂ දේශපාලන පක්ෂ ද ඒ සඳහා සූදානම් වනු දක්නට ලැබුණි.

මෙවර මැතිවරණය නූතන සිංගප්පූරුවේ පියා ලෙස සැළකෙන ලී ක්වාන් යූ අභාවප්‍රාප්ත වීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණය වේ. ලී ක්වාන් යූ මියගියේ පසුගිය මාර්තුවේදී ය​. ලීගේ මරණය මගින් සිංගප්පූරු වැසියන් ගේ අවධානය ඔහුගේ උරුමය වෙත නිතැතින්ම යොමු කෙරිණ​. 1959 සිට මේ දක්වා සිංගප්පූරුව පාලනය වන්නේ ලී ක්වාන් යූ මෙහෙයවූ මහජන ක්‍රියාකාරී පක්ෂය (People's Action Party - PAP) මගිනි.
සිංගප්පූරු පාර්ලිමෙන්තු සංකීර්ණය (James Mason-Hudson, Wikimedia Commons)

තවද​, මෙවර මැතිවරණය පවත්වනු ලබන්නේ සිංගප්පූරුවේ 50 වන නිදහස් දිනය සමරා මාසයකිනි. සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන්ව ස්වාධීන රටක් බවට පත් වූයේ 1965 අගෝස්තු 9 වනදා ය​. අඩ සියවස් ජාතික දිනය මෙවර අති උත්කර්ශවත් අන්දමින් සමරනු ලැබුණි. මේ අතර නිදහස් දින රැළිය අගෝස්තු 23 වනදා පවත්වන ලදී. මෙම රැළිය අවස්ථාවේද​, එරට අගමැති ලී සියෙන් ලූන්ග්, ළඟ එන මැතිවරණයක් පිළිබඳ ඉඟි කළේය​.

එයින් දින දෙකකට පසු, අගෝස්තු 25 වනදා, පාර්ලිමේන්තුව විසිරුවන ලදී. නාම යෝජනා දිනය ලෙස සැප්තැම්බර් 1 වනදා ද​, මැතිවරණ දිනය ලෙස සැප්තැම්බර් 11 ද නියම කෙරිණ​.

මෙවන් පසුබිමක මැතිවරණයක් කැඳවීමෙන් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය බලාපොරොත්තු වූ වාසිදායක තත්ත්වය එයට හිමිවේදැයි නියමාකරයෙන් දැකිය හැකිවනු ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය​. වෙන කවරදාකටත් වඩා හොඳ ප්‍රතිඵලයක් සිංගප්පූරුවේ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් පෙන්වනු ඇති බවට බොහෝ විචාරකයෝ අනුමාන කරති.

මින් පෙර පැවති 2011 මැයි පාර්ලිමේන්තු මැතිවරණයේදී අන් කවදාටත් වඩා වැඩි ආසන ප්‍රමාණයක් මෙන්ම ඡන්ද ප්‍රතිශතයක් ද එරට විපක්ෂ පක්ෂ විසින් දිනාගන්නා ලදී.

තවද​, මෙවර මැතිවරණයේදී තවත් වාර්තාවක් තබන විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණයේදී තරඟ කරනු ලබන සෑම ආසනයකටම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සමත්ව සිටිති. මින් පෙර එකදු මැතිවරණයකදීවත් ඔවුන් සෑම ආසනයකටම තරඟ නොකළහ​.

සිංගප්පූරුවේ කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයකට තනිව මහජන ක්‍රියාකාරී පක්ෂයට අභියෝග කිරීමේ ශක්තියක් නොමැත​. එහෙයින් එම පක්ෂ විවිධ ආසනවලට තරඟ කරන අතර​, එක තනි මන්ත්‍රී ආසනයකදී හැර අන් ආසන සඳහා එක විපක්ෂ දේශපාලන පක්ෂයකට වඩා ඉදිරිපත් නොවේ.

මැතිවරණ ක්‍රමය​

සිංගප්පූරු මැතිවරණය පවත්වන්නේ කේවල ක්‍රමයේම වෙනස් ආකාරයකටය​. එනම් එරට තනි මන්ත්‍රී ආසන (Single Member Constituency - SMC) මෙන්ම කණ්ඩායම් නියෝජිත කොට්ඨාශ (Group Representative Constituency - GRC)ද වෙති. කණ්ඩායම් නියෝජිත කොට්ඨාශවල මන්ත්‍රීවරු සිව් දෙනකුගේ සිට සය දෙනකු දක්වා සිටිය හැක​. එම කොට්ඨාශ සඳහා තරඟ කරන පක්ෂ අදාළ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරති. එම ආසනය ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයින් සියල්ලම ඒ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මෙම ක්‍රමය ආණ් ඩු පක්ෂයට වාසි සහගත ලෙස ක්‍රියාවට නැගෙන බැව් විපක්ෂය චෝදනා කරයි. මක් නිසාද යත් වඩා විශාල ආසනවල ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් අවශ්‍ය බැවිනි.

සෑම මැතිවරණයකටම පෙර, සීමා නිර්ණ කමිටුව​ (Election Boundaries Review Committee) විසින් මැතිවරණය සඳහා ආසන නිර්ණය කරනු ලැබේ. මේ අනුව මෙවර මැතිවරණයෙන් කොට්ඨාශ 29 කින් මන්ත්‍රීවරුන් 89 ක් පත්කර ගැනෙනු ඇත​. මින් ආසන 13 ක් කේවල නියෝජිත කොට්ඨාශ වෙති.

විවාදයට බඳුන් වන ප්‍රධාන කරුණු

මෙවර මැතිවරණයේදී ප්‍රධාන වශයෙන් විවාදයට ගැනෙන මාතෘකාවන් අතර සංක්‍රමණිකයන් සීමා කිරීම​, ආර්ථිකය​, විශ්‍රාම වැටුප් සහ නිවාස​, ප්‍රවාහන පහසුකම් සහ පාලක පක්ෂයේ බලය අඩු කිරීම යන කරුණු වේ.

මේ පිළිබඳ එකින් එක විමසා බැලීමට මෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන හෙයින් ඒ පිළිබඳ වැඩිදුර සලකා බැලීම පසුවට තබනු ලැබේ.

දේශපාලන පක්ෂ​

මහජන ක්‍රියාකාරී පක්ෂය සියලු ආසන සඳහා තරඟ කරන බව කළින් සඳහන් කෙරිණ​. සිංගප්පූරුවේ විපක්ෂ පක්ෂ නවයක් වන අතර ඒවායෙන් ද අපේක්ෂකයෝ අඩු වැඩි වශයෙන් ඉදිරිපත්ව සිටිති.
මහජන ක්‍රියාකාරී පක්ෂ ආධාරකරුවන් පිරිසක් (Pic: PAP Facebook Page)

ප්‍රධානම විපක්ෂය වන කම්කරු පක්ෂය (Workers' Party) අපේක්ෂකයින් 28 ක් ඉදිරිපත් කරද්දී, ජාතික සහයෝගීතා පක්ෂය (National Solidarity Party) අපේක්ෂකයින් 12 ක් ඉදිරිපත් කර ඇත​. ප්‍රතිසංස්කරණවාදී පක්ෂය (Reform Party) සහ සිංගප්පූරු ප්‍රජාතාන්ත්‍රික පක්ෂය (Singapore Democratic Party) අපේක්ෂකයින් 11 බැගින් ද​, සිංගප්පූරු වැසියන් පළමුව පක්ෂය (Singaporeans First) අපේක්ෂකයින් 10 ක් ද​, සිංගප්පූරු ජනතා පක්ෂය (Singapore People's Party) අපේක්ෂකයින් 8 ක් ද​, සිංගප්පූරු ප්‍රජාතාන්ත්‍රික සන්ධානය (Singapore Democratic Alliance) අපේක්ෂකයින් 6 ක් ද​, මහජන බලය පක්ෂය (People's Power Party) අපේක්ෂකයින් 4 ක් ද ඉදිරිපත් කර ඇත​. තවද තනි මන්ත්‍රී ආසන දෙකකට ස්වාධීනව තරඟ වදින්නන් දෙදෙනෙක් සිටිති.

8 comments:

  1. ලංකාවෙත් බහුමන්ත්‍රි ආසන ක්‍රමය තිබුණා සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ. යම් ආසනයක වෙනත් ජාතීන් 30%කට වඩා ඉන්නවනම් තව මන්ත්‍රි ධූරයක් හිමි වෙන හැටියටයි ඒක සංවිධානය කරල තිබුණේ. සංගප්පූරුවේ ඒ පදනම මොකක්ද කියල දැනගන්න පුළුවන්ද ?http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවේ හැම GRC එකකම හැම පක්ෂයකම අපේක්ෂක ලැයිස්තුවේ මැලේ, ඉන්දියානු හෝ වෙනත් සුලු ජාතිකයින් එක් අයකු හෝ සිටිය යුතුයි. සුලු ජාතීනට නියෝජනයක් ලබා දීම තමා අරමුණ​.

      ලංකාවෙ තිබ්බ බහු පක්ෂ ක්‍රමයෙ වගේ නෙවෙයි. මෙතෙනදි දිනන පැත්තෙ ඉන්න ඔක්කොමල්ල පාර්ලිමේන්තු යනවා. මෙහෙම ක්‍රමයක් තියෙන්නෙ සිංගප්පූරුවෙ විතරයි.

      Delete
  2. අවූරුදු 56 තිස්සේ එකම පක්‍ෂයක පාලනයට යටත්ව ඉන්න සිංගප්පුරු වැසියෝ මෙවර හෝ විපක්‍ෂ කණ්ඩායම් වලට බලය ලබාදේවිද ?

    ReplyDelete
    Replies
    1. නෑ. එච්චර දෙයක් නම් වෙන එකක් නෑ.

      Delete
  3. සිංගප්පූරු කැබිනට් ඒක තමා ලෝකේ තියෙන බුද්ධිමත්ම කැබිනට්ටුව.. මං හරිනම් සියල්ලෝම පශ්චාත් උපාධිධාරියෝ..... අාචාර්ය උපාධි ගොඩක් තියෙනවා.... හැබැයි සමස්ථය 20 ට අඩුයි..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ උගත්ම කිව්වා නම් හරි. ඇත්තෙන්ම ඇමතිවරු තෝරාගන්නෙ සිස්ටම් එකකට​.

      Delete
  4. ඇත්තද සිංගප්පූරු ජනතාව යාන්ත්‍රික ජීවිතයක් ගතකරනවා කියන්නෙ?

    ReplyDelete