Sunday, March 10, 2013

හියුගෝ චාවේස් පළමුවරට ජාතිය ඇමතූ ඓතිහාසික අවස්ථාව (1992 පෙබරවාරි 4)


පසුගිය මාර්තු 5 වනදා අභාවප්‍රාප්ත වූ වෙනෙසුවෙලාවේ ජනාධිපති හියුගෝ චාවේස් පළමු වතාවට ජාතිය ඇමතුවේ ඉතා සුවිශේෂී අවස්ථාවකය. එහිදී ඔහු තමාටම නොදැනීම පරාජය, ජයග්‍රහණයකට පෙරලා ගත්තේය. විනාඩියකට මඳක් වැඩි ඒ කතාව ඔහු ජාතික වීරයකු බවට පත් කළේය.

1992 පෙබරවාරි 3 වනදා නින්දට ගිය වෙනෙසුවෙලා වැසියන් ඊළඟ දිනයේ පිබිදුණේ බලාපොරොත්තු නොවූ සිද්ධියක් දැකීමටය. 4 වනදාට එළිවන පාන්දර, තරුණ හමුදා නිලධාරියකු විසින් රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් දියත් කොට තිබුණි. ජනාධිපති කාලෝස් අන්ද්‍රේස් පෙරේස්ගේ ආණ්ඩුවට කුමන්ත්‍රණයක් පිළිබඳ යම් යම් තොරතුරු ලැබී තිබුණද, හරියටම විස්තරය කුමක්ද යයි කලින් අවබෝධ වී නොතිබිණ.

මෙම කුමන්ත්‍රණයේ නායකත්වය ගත්තේ එතෙක් කල් වෙනෙසුවෙලාවේ අප්‍රකට චරිතයක් වූ, පැරෂුට් බලකායේ නිලධාරියෙකි. ඔහු ලුතිනන් කර්නල් හියුගෝ චාවේස් නම් විය. ඔහුගේ වීරයා වූයේ දකුණු ඇමරිකාවේ "විමුක්තිදායකයා" හෙවත් සයිමන් බොලිවාර් ය. බොලිවාර් බලාපොරොත්තු වූ ආකාරයේ එක්සත් සමාජයක් ඇති කිරීම චාවේස්ගේ බලාපොරොත්තුව විය.

හමුදා කුමන්ත්‍රණයේ මූලික කරුණු 3 වනදා රාත්‍රිය වන විට සැකසී තිබුන අතර රාත්‍රී 12 ට මඳක් කලින් එම කටයුතු ක්‍රියාවට නැගිණ. ඇතැම් ප්‍රදේශ කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා කණ්ඩායම් විසින් සිය පාලනයට ගත්තේ වී නමුදු, වඩා වැදගත් වූ කරාකස් අගනුවර කුමන්ත්‍රණය බලාපොරොත්තු වූ පරිදි සාර්ථක නොවිය. හිමිදිරියේ ජනපති කාලෝස් අන්ද්‍රේස් පෙරේස් ජාතිය අමතමින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති නමුත් තත්ත්වය පාලනය කර ඇති බව ප්‍රකාශ කළේය. මේ අතර චාවේස්ගේද මිතුරකු වූ රෆායල් සැන්ටෙලිස් මැදිහත්කරුවකු ලෙස යොදාගනිමින් චාවේස්ට යටත් වන ලෙස රජය දන්වා සිටියේය. සිය බලාපොරොත්තු සුන් වූ චාවේස් තමා රැඳී සිටින ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට කෙරුණ තර්ජනයද සලකා යටත් වීමට තීරණය කළේය. උදෑසන 7 කණිසම ළඟාවූ කළ චාවේස් යටත් විය.



චාවේස් බ්‍රසීලයේදී (2003). Victor Soares-ABr (Agencia Brazil). Wikimedia Commons.



උදෑසන 10 වනවිට චාවේස් ආරක්ෂක අමාත්‍යාංශය වෙත රැගෙන යන ලදී. ඔහු සමඟ ඔහුගේ මිත්‍රයා, සැන්ටෙලිස් ද විය. එහිදී ඔහු දැනගත්තේ පිට පලාත්වල තමන්ගේ බොහෝ සගයින් යටත් වූ නමුත් ඇතැමුන් තවමත් සටන් මෙහෙයවන බවයි. වෙසෙසින්ම අරගුවා ප්‍රාන්තයේ මැරකේ (Maracay) නගරයේ කැරලි නායකයා වූ ජීසස් හර්නැන්ඩෙස් උර්ඩනේටා දිගටම සටන් කරමින් සිටියේය. ආරක්ෂක අංශ සිටියේ මරකේ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සිතමිනි.

තමා මැරකේ නගරයේ සිය අනුගාමිකයනට ඍජුවම අමතා යටත් වන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව චාවේස් විසින් ඉදිරිපත් කෙරුනේ මේ අවස්ථාවේය. නමුත් මැරකේ නගරයට වූ දුරකථන මාර්ග විසන්ධි වී තිබිණ. එවිට චාවේස් ගුවන්විදුලිය ඔස්සේ ඔවුන් ඇමතීමට යෝජනා කළේය. ඔහුගේ පෙර පිනකට මෙන් රූපවාහිනිය වඩා සුදුසු බවට එහි හුන් හමුදා නිලධාරීන් අතුරින් අදහසක් යොමු විය. ආරක්ෂක ඇමතිවරයා වූ ඔචොආ ඇන්ටිච් (Ochoa Antich) ද එම අදහසෙහි වරදක් දුටුවේ නැත. ඔහු ජනපති පෙරේස් අමතා ඒ සඳහා අවසර පැතීය. පෙරේස් නියෝග කලේ චාවේස්ට මාංචු දමා සිරකරුවකු ලෙස ඉදිරිපත් කිරීමටත්, ඔහුගේ කතාව කලින් ලියාගනීමටත් ය. නමුත්, චාවේස් ඒ එකදු කොන්දේසියකට හෝ එකඟ වූයේ නොවේ. පරාජිත හැඟීමෙන් ඔහු දැඩි ලෙස පීඩා වින්ද නමුත් ඒ බව පෙන්වීමට ඔහුට අවශ්‍ය නොවීය. ජාතිය ඉදිරියේ පෙනී සිටීමට ලැබෙන මේ අවස්ථාවේ ඔහු හැකි තරම් ගාම්භීර ලෙස ජනතාව අබියස පෙනී සිටීමට අදිටන් කරගත්තේය.

මතුව තිබුන තත්ත්වයෙහි බැරෑරුම්කම සළකා ආරක්ෂක අංශ ඔහුගේ ඉල්ලීමට එකඟ වූහ.

මුහුණ කට සෝදාගත් චාවේස්, සිය නිල ඇඳුමද මනාව සකසාගෙන පැරෂුට් භටයන්ගේ රතු පැහැති බෙරේ තොප්පියක් ලා ගත්තේය. ඉන්පසු, නියම හමුදා නිලධාරියකු සේ ගාම්භීර ලීලාවෙන් රූපවාහිනී කැමරා ඉදිරියේ පෙනී සිටියේය. මීළඟ තත්පර 72 ක කාලය ඔහු වැය කලේ ජීවිතයේ ඔහු කල වැදගත්ම කතාවටය.

පළමුවෙන්ම සියලු වෙනෙසුවෙලා වැසියන්ට සුබ උදෑසනක් වේවා! කියා ප්‍රාර්ථනා කිරීමට මම කැමතියි. මේ බොලිවාරියානු පණිවිඩය අරගුවා හි සිටින සියලු පැරෂුට් භටයන් සහ වැලෙන්සියාවේ යුධ ටැංකි භටයන් වෙතයි. සහෝදරවරුනි, අවාසනාවන්ත ලෙස, අගනුවර රැඳී සිටි අපට මේ වතාවේ අපේ අරමුණු ඉටු කරගන්නට ලැබුනේ නැහැ. එනම්, අපට කරාකස් නගරයේදී බලය අල්ලාගන්නට ලැබුනේ නැහැ. ඔබ කොහි සිටියත්, ඉතාමත් හොඳින් ඔබේ කාර්යභාරය ඉටු කළා. දැන් ආපසු හැරී බලන්නට සුදුසු කාලය එළඹී තිබෙනවා. අපේ දේශය අනිවාර්යයෙන්ම මීට වඩා යහපත් තැනක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා අලුත් අවස්ථා එළඹෙනු ඇති.

ඒ නිසා, දැන් මා කියන දේ හොඳින් අසන්න. මේ පණිවිඩය ඔබට දෙන කමන්ඩන්ටේ චාවේස්ගේ හඬට ඇහුම්කන් දෙන්න. කරුණාකරලා, යලි සිතා බලා, අවි බිම තබන්න. මොකද, අගනුවරදී අපට රාජ්‍ය බලය අල්ලා ගැනීමට නොහැකි වූ නිසාත් ඊට අවස්ථාවක් නොමැති නිසාත්. සහෝදරවරුනි, ඔබ වෙත එන මේ සහයෝගීතාවයේ පණිවිඩය අසන්න. මා ඔබේ පක්ෂපාතීත්වයටත්, නිර්භීතභාවයටත්, නොමසුරු ආධාරයටත් සදා ණය ගැතියි. දේශය සහ ඔබ අබියස මා මේ බොලිවාරියානු ව්‍යාපාරය සඳහා පූර්ණ වගකීම භාර ගන්නවා. බොහොම ස්තූතියි!


(කතාවේ වීඩියෝ දර්ශනය මෙතනින් බලන්න).

තමන් මවිතයට පත් කල කුමන්ත්‍රණයේ නායකයා, තමන් ඉදිරියේ බොහෝ ගාම්භීර ආකාරයෙන් පෙනී හිඳිමින්, කුමන්ත්‍රණයේ අසාර්ථකත්වය පිලිබඳ වගකීම භාර ගනු දුටු වෙනෙසුවෙලා වැසියෝ පුදුමයෙන් ගල් ගැසුනහ. රටේ බොහෝ දේ හරි ආකාරව සිදු නොවෙද්දී පවා, තමන් අතින් වූ වරදකට වගකීම භාරගත් දේශපාලකයකු ඔවුන් ඉන් පෙර දැක තිබුනේ නැත. නමුත් එම පෙබරවාරි මස 4 වනදා උදෑසන ඔවුන් ඉදිරියේ පෙනී සිටි තරුණ හමුදා නිලධාරියා සිය අසාර්ථකත්වයට වගකීම භාරගත්තේ, තමා අනෙක් දේශපාලකයන්ට වඩා වෙනස් බව පසක් කරමිනි.

සාර්ථක කතාවක් කලද, හියුගෝ චාවේස් සිටියේ දැඩි මානසික ආතතියකිනි. අසාර්ථක වූ කුමන්ත්‍රණයක් දියත් කොට, එහි අවසන රජයට යටත් වන ලෙස සිය සගයින්ගෙන් ඉලා සිටීමට සිදු වීම ඔහුගේ මනසට දැඩි පීඩනයක් විය. ඔහුගේ මිත්‍රයා සන්ටෙලිස් ඔහු සොයා ආවේ මෙවිටය.

"නියම කතාව මිත්‍රයා!" ඔහු කියා සිටියේය.

"මොන නියමක්ද? මම ඉල්ලා හිටියේ යටත් වෙන්න කියලා නේ."

"ඇයි එහෙම කියන්නේ. ඔබ කිව්වා, මේ වතාවේ (Por Ahora-ඉංග්‍රීසියෙන් "For now")කියලා"

තමා නොදැනීම චාවේස් විසින් එම වචන දෙක පිටව තිබිණ. "මේ වතාවේ" එනම්, තව වතාවක් එන බවට ඉඟියකි. ඒ වතාව උදා වූයේ 1998 ජනාධිපතිවරණයේ ය. එහිදී චාවේස්ගේ එක් සටන් පාඨයක් වූයේ මේ "Por Ahora" වචන දෙකයි. 1998 දෙසැම්බර් ජනාධිපතිවරණයෙන් 56.2% ඡන්ද ප්‍රතිශතයක් ලැබූ චාවේස් 1999 පෙබරවාරි 2 වනදා, එනම් සිය කුමන්ත්‍රණයේ සත්වන සංවත්සරයට දින දෙකකට පෙර, වෙනෙසුවෙලාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

(The Nation පත්‍රයේ පලවූ ඉංග්‍රීසි ලිපිය... මගේ පරණ ඉංග්‍රීසි බ්ලොග් පෝස්ට් එකකිනි).

25 comments:

  1. ෂහ්.. මරු කතාවක්නෙ... මිනිහා මරු පොරක්..

    ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා !!!

    ReplyDelete
    Replies
    1. මරු පොරක් තමයි... හිතල බලන්න, නිකම්ම හිතට ආපු විදියට ඔහොම කතාවක් කළා කිව්වහම...

      Delete
  2. පළමුව ඔබට මා තුති කරමි ඔහුගේ පළමු ජාතිය ඇමතීමේ විඩියෝව ඉදිරිපත් කිරීම වෙනුවෙන්. මා ඔහු ගැන සහ ඔහු කළ ප්‍රකාශයන් පිළිබඳව අසා ඇතත්, මෙම විඩියෝ පටය දැක නැහැ.
    එමෙන්ම
    "මං එක්සත් ජනපද බල අධිකාරියට එරෙහිව සමාජවාදී පෙරමුණේ සටන් කරන නිහතමානී සොල්දාදුවෙක්"
    ඔහු බාවිත කළ වචනයක් සේම එය වචනයට සීමා නොවී ක්‍රියාවෙන් ද ඔප්පු කෙරීය.
    ඔහුට පිළිකාවක් වැලදීම සැකසහිත බව ද ප්‍රකාශ වූවත්, එය සත්‍ය හෝ අසත්‍ය වූවද‍, අධිරාජවාදීන්ගේ මරණ ලැයිස්තුවේ ශ්‍රණිගතව සිටිබවනම් පැහැදිලිය.
    සැබවින්ම ඔහු දුප්පත් ජනතාව වෙනුවෙන් සේවය කළ, රටට ආදරය කළ ශ්‍රේෂ්ඨ නායකයෙකි.

    ReplyDelete
    Replies
    1. පිළිකාවක් කියන එක ගැන අපට අනාවැකි කියන්නට බැහැ. ඔහොම කතාවක් ඇති වෙන්න හේතුවක් තිබුණා. ඊට හේතු වුනෙත් චාවෙස්ගේම කතාවක්. 2011 දෙසැම්බරයේදී ඔහු කියා තිබුණා දකුණු ඇමරිකාවේ තමන්ගේ හිතවත් නායකයන් කීප දෙනෙකුටම පිළිකා වැළඳීම පිටිපස ඇමරිකාව සිටින බව.
      මේ ලිපියේ ඒ ගැන තියෙනවා.

      http://www.guardian.co.uk/world/2011/dec/29/hugo-chavez-us-cancer-plot

      එහි ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැහැ.

      චාවේස් දුප්පතුන්ගේ වීරයෙක් බවට විවාදයක් නැහැ. වෙනෙසුවෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියන අයගෙන් අහන්න තියෙන්නේ චාවේස් එනකල් එහෙම දෙයක් තිබුනද කියන ප්‍රශ්නයයි.

      2006 UN එකේදී චාවේස් කරපු මේ ප්‍රකාශය: "The Devil came here yesterday, and it smells of sulphur still today"

      මොන රටේ නායකයාද බය නැතුව ඔහොම කියන්නේ?
      සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකුට තව රාජ්‍ය නායකයෙක් ඔහොම කතා කරන්නේ නැහැ. ඒ වුනත් ඇමරිකාව ඇරුනහම අනෙක් රටවල් බොහොමයක ඒ ප්‍රකාශයෙන් පස්සේ චාවෙස්ව සැලකුවේ කට මෑත දොඩවන පිස්සෙක් හැටියට නෙවෙයි. වීරයෙක් හැටියට.
      එතනදි ඇමරිකානු රිපබ්ලිකානුවන් තේරුම් නොගත්තු දෙයක් තමයි තමන්ව ලෝකේ කොච්චර අයට එපා වෙලාද කියන එක. ඒක දැනගෙන තමයි චාවේස් ඒ කතාව කලේ. චාවේස් කියන්නේ ඉවක් බවක් නැතිව කියවපු කෙනෙක් නෙවෙයි. එහෙම කෙනෙකුට දැඩි මානසික අවපාතයක් තියෙද්දී Por Ahora වගේ කතාවක් කරන්න බැහැ.

      ස්තූතියි එකතු කිරීමට.

      Delete
    2. අපේ රටේ පුහු ඇමෙරිකන් විරෝධීන්ට හා සසදපුවාම මොහු වීරයෙක්

      Delete
  3. අඩේ... අපේ ලොක්කො කතාවක් කරන්න කලින් රටේ හොඳම මහාචාර්යවරුන්ට කියලා කතාව ලියාගෙන දවසක් විතර පාඩම් කරල තමයි කරන්නේ... ඒකට මෙන්න නියම නායකයෝ... (මට මේකෙ වටිනම දේ උනේ කතාවෙ වීඩියෝ එක)

    ReplyDelete
    Replies
    1. මට දැන් ගැටළු කීපයක්ම මතු වෙනවා යසිත්..

      කව්ද හොඳම මහාචාර්යවරු??? දවසක් පාඩම් කලහම ඇතිද??? ඔයා හරියටම එහෙම කරනවා කියලා දන්නේ කොහොමද? (සමහර විට ඔයත් ඒ මහාචාර්ය කෙනෙක්ද දන්නේ නැහැ)

      වීඩියෝ එක නම් සිරා. තව දෙයක් එකතු කරන්න ඕන. මම මේ කතාව පරිවර්තනය කලේ වීඩියෝ එකෙන් නෙවෙයි. හියුගෝ චාවේස් ගැන ලියවුන පොත් දෙකකම තිබුන ඉංග්‍රීසි පරිවර්තන තමයි මම යොදා ගත්තේ. ඒ පරිවර්තන දෙකේත් පුංචි පුංචි වචන කීපයක වෙනස්කම් තිබුණා. එයින් එක වර්ෂන් එකක් තමයි මම කඩ්ඩෙන් ලියාපු ආටිකල් එකට ගත්තේ.

      Delete
  4. වැඩි කැමැත්තක් නැති මතෘකාද කියවිමට පුරුදු කරවිමට ස්තුතියි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මිලිටරි කස්ටිය, මිලිටරි කස්ටිය ගැන කියවන්න කැමැති නැද්ද?

      Delete
    2. @ ගයනි.ඇත්තටම ඔයා මෙයා ගැන නම් කියවන්නම ඕනි.මොකද අපේ රටේත් මෙවන් අවංක ව්ප්ලවයක් කරන්න පුළුවන් වෙයිනේ.

      Delete
  5. නොහිතා කියවුණු වචනය පස්සේ ඔහුට සෑහෙන ශක්තියක් වෙලා තියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. නිකම්ම කියවෙන වචන නිසා නරක වගේම හොඳත් වෙන්න පුළුවන්.
      බලන්න කතාවේදී චාවේස් ඒ වචන දෙක ගැන කිසි අවදානයක් යොමු කලේ නැහැ. (වැරදිලානේ කිව්වේ) නමුත් එයාගේ යාලුවට තේරුනා මිනිස්සු ඒක කොහොම තේරුම් ගනීද කියන එක.

      Delete
  6. පට්ට :)

    //පිළිකාවක් කියන එක ගැන අපට අනාවැකි කියන්නට බැහැ. ඔහොම කතාවක් ඇති වෙන්න හේතුවක් තිබුණා.//

    ඔය පිළිකාව හැදුණ එකට බටහිර රටවල් සැකයි කියන්නෙ අර ෆිදෙල් කැස්ත්‍රෝ ට කරපු දේවල් වගේ චාවෙස් ටත් කළා කියලා වෙන්න ඔනෙ..

    එක පාරක් ෆිදෙල් කැස්ත්‍රෝ බොන සුරුට්ටුව ටත් වස දාන්න හැදුවා කියලා මන් කොහේ හරි කියෙව්ව වගේ මතකයි..

    ReplyDelete
    Replies
    1. හයසිය වතාවකට වැඩිය කස්ත්‍රෝ මරන්න හැදුවා කියනවා. අනේ මන්දා එච්චර වතාවක් ට්‍රයි කරාද කියලා. සුරුට්ටු කතාව නම් මමත් අසා තියෙනවා.

      Delete
  7. ඔය පිළිකාව හැදුණ එකට බටහිර රටවල් සැකයි කියන්නෙ අර ෆිදෙල් කැස්ත්‍රෝ ට කරපු දේවල් වගේ චාවෙස් ටත් කළා කියලා වෙන්න ඔනෙ..

    එක පාරක් ෆිදෙල් කැස්ත්‍රෝ බොන සුරුට්ටුව ටත් වස දාන්න හැදුවා කියලා මන් කොහේ හරි කියෙව්ව වගේ මතකයි..

    ReplyDelete
  8. ඒකත් යස වැඩේ නේද ?? 1992 අත් අඩංගුවට ගත්තු චාවේස්ට මොකද වුණේ ඊට පස්සේ ??

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ප්‍රශ්නයක්!

      පාර්ලිමේන්තුවේ හමුදා කුමන්ත්‍රණයට පක්ෂව කතා කරපු එක මන්ත්‍රී කෙනෙක් හිටියා. එයා එදා හවස මරු කතාවක් කළා. ඒ මන්ත්‍රී තමයි හියුගෝ චාවේස්ට පස්සේ එදා වීරයෙක් වෙච්ච කෙනා. එයා කෙලින්ම කිව්වේ නැහැ හමුදා කුමන්ත්‍රණය හරි කියලා. වහෙන් ඔරෝ තමයි කිව්වේ.

      1994 ඒ මන්ත්‍රී, රෆායල් කල්දෙරොන් ජනාධිපති වුනා. ඒ වෙනකොට චාවේස් හිටියේ හිරේ. කල්දෙරොන් එයාව නිදහස් කළා. චාවේස් තමන්ගේම පක්ෂයක් පටන් ගත්තා. එයා ජනප්‍රිය වුනාට මුල් කාලේදී රටේ ප්‍රධාන පක්ෂ තරම් එයාගේ පක්ෂය ජනප්‍රිය වුනේ නැහැ. එයාට ඡන්ද ව්‍යාපාරවලට සල්ලි හොයාගන්න උනෙත් අමාරුවෙන්. 1නමුත් 998 ජනාධිපතිවරනේදී එයාට විරුද්ධව ආපු දෙන්නවම එයා ලේසියෙන් පරාද කළා.

      Delete
  9. හමුදා කුමන්ත්‍රණයෙන් පස්සෙ චාවේස්ට දඬුවම් හිමි නොවුනේ ඇයි? සාමාන්‍යයෙන් රජය පෙරලීමට තැත් කරන්නන්ට සෑම රටකම පාහේ මරණ දඬුවම ලැබෙනවා නේද? වෙනිසියුලාවේ නීතිය වෙනස්ද? නැත්නම් වෙන හේතුවක්ද?

    මට නම් චාවේස් වීරයෙක් කියලා හිතෙන්නෙ නෑ,.

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට වෙනෙසුවෙලාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වුනේ නැහැ. ඔහුව යම් කාලයකට හිරේට යැව්වා. නමුත් 1994 බලයට පත් වූ අලුත් ජනාධිපති කෙනෙක් ඔහුව නිදහස් කළා.
      මම හිතන්නේ නැහැ මරණ දඬුවම තිබ්බත් චාවේස්ට විරුද්ධව ඒක යොදවන්න එදා ආණ්ඩුව ක්‍රියා කරයි කියලා. මොකද ඔහු ජනප්‍රිය පුද්ගලයකු බවට එසැනින් පත් වුනා.

      චාවේස් ඔබට වීරයෙක් නොවෙන්න පුළුවන්. නමුත් සමාජයේ පිළිගැනීමක් නොතිබුන ලක්ෂ ගණනක් දුප්පත් එමෙන්ම කොන් කරන ලද වෙනෙසුවෙලා වැසියන්ට ඔහු වීරයෙක්.

      Delete
    2. විවිධ අයට විවිධ මිනිස්සු පේන්නේ විවිධ විදිහටනේ.සමහරවිට හරීත් ඇමෙරිකානු කදවුරේ ප්‍රවෘත්ති අඩවි කියවනවා ඇති.චවේස් ස්වදේශිකයන් වෙනුනේ බොහෝ දේ කර තිබෙනවා.

      Delete
    3. එව්වා නම් ඉතින් හරී දනී මම නොදනී...

      Delete
  10. මාත් චාවේස් ගැන ලිපි පෙළක් ලියන්නයි හිතන් හිටියේ.එක ලිපියකින් නැවතුනා.ආයෙත් පටන්ගන්නවා.ඔහු ඇත්තටම නියම නායකත්ව ගුණාංග වලින් හෙබී අයෙක්.චතුර වාග් විලාශය බොහෝ සෙයින් පිටිවහල් උනා රටේ නායකත්වය ගන්න.ලතින් අමෙරිකානු කලාපය තුල නව්‍ය සමාජවාදයක් ව්‍යාප්ත කිරීමට ගත් වෙහෙස වටිනවා.ඔහුගේ පාලන තන්ත්‍රය නව සමාජවාදි එකක් නිසා වෙන්න ඇති ආර්ථික දියුණුව අතින් එතරම් ප්‍රබල තත්වයක් ලගා කරගන්නේ බැරි උනේ..මං කියෙව්වා මතකයි මාධ්‍යෙවේදිනියක් සමග චාවේස්ගේ සාකච්ජාවක්.එතනදී චාවේස් කිව්වා එයාගේ නව ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිළුල 2021 දීවත් ලබා ගන්න හිතනවා කියා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. මම හිතන්නේ ඒ මාතෘකාව ගැන ඔයාගේ බ්ලොග් එකේ අපි අතර සාකච්ඡාවක් වුනා.
      ලියන්න ලියන්න... මටත් වෙලාවක් නැහැ තියෙන ඔක්කොම ලියන්න... මාර තොගයක් දේවල් ඔලුවේ නම් තියෙනවා. ලියන්න හිතන්හිටියට වෙන්න නැති එකයි අවුල. :-(

      Delete