Tuesday, May 1, 2012

වැඩකරන ජනතාව දිනකට මුරුංගා අත්තේ තැබීම හෙවත් මැයි දින සැමරුම


අද අපි බොහොම උජාරුවෙන් සමරන ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනයයි. එක්තරා පුවත්පතක පලවූ කාටූනයක සඳහන් වූ සිද්ධියක් අද උදෑසනම මගේ මතයට ආවා. ඒ කාටූනයෙන් කියවුනේ මැයි පළවෙනිදට වැඩකරන ජනතාව දේශපාලකයන් විසින් මුරුංගා ඇත්තට නග්ගන බවත් එයින් පසුවදාම නැවතත් ඔවුන් පරණ පුරුදු තැනටම වැටෙන බවත්. ඒ කාටූනය තුල මැයි දිනය පිළිබඳව ලොකු අදහසක් ගැබ් වී තිබුන බව මගේ අදහසයි. ඇත්තටම කම්කරු ජනතාව තමන්ගේ කරමතින් තමන්ගේ නියෝජිතයන් බලයට පත් කරගත්තු කාලේ පටන්ම සිදු වෙච්ච සිදුවීමක් එයින් පිළිබිඹු උනා කියල කිව්වට වරදක් නෑ. ඒ තමයි කම්කරු දිනය දේශපාලකයන්ගේ තවත් එක දිනයක් බවට පත් වීම.


මැයි දිනය සමරනු ලබන්නේ 1886 වසරේ මැයි 1 වනදා චිකාගෝ නගරයේ කම්කරු විරෝධතාවයකට වෙඩි පොලිසියෙන් වෙඩි තැබූ අවස්ථාවේ මියගිය කම්කරුවන් සැමරීමටයි. 1889 වසරේදී දෙවන ජාත්‍යන්තරය රැස් වූ අවස්ථාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව තමයි 1890 පටන් මැයි දිනය සැමරීමට පටන් ගත්තේ. වම් පැත්තේ පින්තූරයෙන් පෙනෙන්නේ 1899 ස්වීඩනයේ පැවති මැයි රැළියක්. කොහොම උනත් මැයි දිනය සඳහා හේතු වූ ඇමරිකා එක්සත් ජනපදයේ මැයි දිනය සමරන්නේ නෑ. ඒ වෙනුවට සැප්තැම්බරයේදී ඔවුන් "කම්කරු දිනය" නමින් දිනයක් සමරනවා.

ලංකාවේ කම්කරු ව්‍යාපාරය පිබිදීමත් සමඟ මැයි දිනයත් සැමරීම ආරම්භ උනා. මේ අනුව ලංකාවේ පළමුවෙන් මැයි දිනය සමරනු ලැබුවේ 1933 දී ඒ. ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන්. ලංකා සම සමාජ පක්ෂය බිහි වුනේ ඉන් අවුරුදු දෙකකට පසුවයි. දෙවන ලෝක යුද්ධය සමයේ යම් පසු බෑමකට ලක් වුනත් ලංකාවේ කම්කරු ව්‍යාපාරය 1930 දශකයේත් 1945 න් පසුවත් බොහොම ක්‍රියාකාරී තත්වයක පසු වුනා. කෙසේ නමුත් මැයි දිනයට රජයේ අනුග්‍රහය ලැබුනේ 1956 දී. වසර ගණනාවක් තිස්සේ ලෝකයේ කම්කරු ජනතාවගේ ඉල්ලීමක් වූ පැය අටේ වැඩ දිනය ලංකාවේ වැඩ කරන ජනතාවට හිමි වුනෙත් මැයි දිනය නිවාඩු දිනයක් වුනෙත් බණ්ඩාරනායක මහතා බලයට පත් වූ 56 පෙරළියෙන් පස්සේ.

මේ වනවිට ලෝකයේ "වැඩකරන ජනතාවගේ රාජ්‍යයන්" ගණනාවක්ම නිර්මාණය වෙලයි තිබුනේ. 1917 දී බෝල්ෂෙවික් විප්ලවයෙන් ලෝකයේ පළමු කම්කරු රාජ්‍යය රුසියාවේ බිහි වුනා. තවත් රටවල් කිහිපයකම කෙටි කාලයක් පැවති "සෝවියට් රාජ්‍යයන්" බිහි වුනත් ඒවා බොහොමයක් වැඩිකල් පැවතුනේ නෑ. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක්ම සෝවියට් හමුදා විසින් "නිදහස් කරගන්න ලද" පසු, ඒ රටවලත් කොමියුනිස්ට් පාලනයක් බිහි වුනා. මේ අතරේ 1949 වසරේදී චීනයත් මහජන චීනය බවට පත් වුනා. නාමිකව නිර්ධන පාන්තික ආඥාදායකත්වයක් පවතින කම්කරුවන්ගේ රාජ්‍යයන් වුනත් ඒවායේ ඇත්තටම පැවතුනේ බලයේ සිටින්නන් විසින් විකුර්ති කරන ලද සමාජවාදයක්. ඒ නායකයන්ට මැයි දිනය තවත් එක සැමරුමක් පමණක් වුනා. එහිදී ඇතැම් රටවල් මැයි දිනය සමරුවේ තමන්ගේ හමුදා ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන හමුදා පෙළපාලිවලින්. එය තවත් එක දේශපාලන සංදර්ශනයක් පමණක් වුනා.

මැයි පළවෙනිදා අද වෙනකොට ලංකාවෙත් සාමාන්‍ය දේශපාලන සංදර්ශනයක් පමණක් වෙලා තියෙනවා. රට පුරාම අද මැයි රැලි ගණනාවක් පැවතුනා. බලයේ ඉන්න අයත්, බලයේ නැති නමුත් බලයට එන්න දඟලන අයත්, කවදාවත් බලයට එන්න බැරි අයත් ආදී සියල්ලෝම අද වැඩ කරන ජනතාව කර මතින් අරගෙන යනවා. බලයට එන්න හදන අය සහ සමාජවාදී කියල කියාගන්නා අය තමයි වැඩිපුරම වැඩකරන ජනයා වෙනුවෙන් කෑ මොර දෙන්නේ. නමුත් ඒ කෑ ගැසීම් නිෂ්පල ඒවා බව පැහැදිලියි. බලයට එන්න හදන අයට එතකල් කරන්න පුළුවන් දෙයක් නෑ. බලයට ආවට පස්සේ ඔවුන් කරන දෙයකුත් නෑ. බලයට එන්න බැරි නමට සමාජවාදී අයට කොහොමත් කරන්න පුළුවන් දෙයක් නෑ.

අද රටේ පවතින තත්ත්වය බලපුවහම වැඩකරන ජනතාවට සතුටු වෙන්න පුලුවන්ද කියන සැකය මතු වෙනවා. එදා දිනාගන්නා ලද අයිතීන් බොහොමයක් අද විවිධ ක්‍රම වලින් ඇතැම් අයට නැති වී තිබෙනවා. ඊට හොඳම උදාහරණ තමයි (බොහොමයක්) ඇඟලුම් කර්මාන්තශාලා. ඒ වගේම, ලෝක ආර්ථික අවපාතයත් අපිට යම් පමණකට නරක විදියට බලපාල තියෙනවා. තෙල් මිල හේතුවෙන් බොහොමයක් භාණ්ඩ සහ සේවාවල මිල ඉහල යාම නිසා ජීවත්වීම සඳහා බොහොමයක් දෙනාට ලොකු සටනක් දෙන්නට සිදුවී තිබෙනවා. එවැනි තත්වයක් හමුවේ මැයි දිනය තවත් එක සංදර්ශනයක් බව පැහැදිලියි. කොහොම උනත් අපිට හිත හදාගන්න පුළුවන් හේතුවක් තියෙනවා. මේ තත්ත්වය අපේ රටට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ලෝකය පුරාම අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙන දෙයක්.

4 comments:

  1. කවදාටවත් නැති අමුතුම ස්නේහයක් කම්කරුවන් ගැන දේශපාලකයන් ඇති කරගන්නා දිනය තමා මැයි දිනය කියන්නේ :D

    ReplyDelete
    Replies
    1. දැක්ක ගමන් සිත බැඳුනා
      අදයි ඔබේ මැයි දින දා... :-D

      Delete
  2. ඒක නම් ඇත්ත.මට පේන විදිහට මෙයාලා මැයි රැලියේ තේරුමවත් හරියට දැනගෙන නෙමෙයිද කොහෙදෝ පෙලපාලි යන්නේ.දේශපාලකයෝ එයාලගේ අරමුණු ඉටු කරගන්න ඉත්තන් විදිහට කම්කරුවන් යොදාගන්නවා.මං දැන් තියෙන වෘත්තීය සමීති දකින්නෙත් ඒ විදිහට

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ නෙවෙයි. වෘත්තීය සමිතිත් අද කරන්නේ දේශපාලන පක්ෂ නොවැ. ඉස්සර එහෙම නවෙයි. ඒ සමිතිවල පිහිටෙන් දියුණු වෙච්ච පක්ෂ අන්තිමට ඒ සමිති ගිල ගත්තා නේ...

      Delete