Showing posts with label සෝවියට් චිත්‍රපට​. Show all posts
Showing posts with label සෝවියට් චිත්‍රපට​. Show all posts

Monday, May 3, 2021

චිත්‍රපටය​: බර්ලින් වෙත යන මග

සෝවියට් ලේඛක එම්මානුවිල් කසකේවිච් විසින් ලියන ලද කෙටි නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු Дорога на Берлин (දරෝග න බෙර්ලින් - බර්ලින් වෙත යන මග) 2015 දී තිරගත වූ රුසියානු යුධ චිත්‍රපටයකි.

සර්ගේයි පපෝව් (Sergei Popov) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නට්සි ජර්මනිය පරාජය කළ විජයග්‍රහණයේ 70 වන සංවත්සරයට සමගාමීව 2015 මැයි 7 වනදා නිකුත් විය.


මෙහි කතාව ගෙතෙන්නේ ප්‍රධාන චරිත දෙකක් වටාය. ඒ ලුතිනන් සර්ගේයි අගර්කොෆ් සහ ජුර්බයෙෆ් ය. අගර්කොව් යුධ අධිකරණය විසින් මරණ දණ්ඩනයට නියම කරනු ලබන අතර ඔහුව මුර කිරීමට භාර දෙන්නේ කසාක් ජාතික ජුර්බයෙෆ් වෙත ය. මේ අවස්ථාවේ ජර්මානු හමුදා ඔවුන් සිටින ගම්මානය අල්ලාගනිති. අගර්කොෆ්ගේ දණ්ඩනය තහවුරු කිරීමට ජුර්බයෙෆ් ඔහුව හමුදා මූලස්ථානය වෙත ගෙන යා යුතු ය.

අගර්කොෆ්ට පළා යන්නට අවස්ථා ගණනක් ලැබේ. ඔහු පළා යනු ඇතිද? ඔවුන් දෙදෙන හමුදා මූලස්ථානය වෙත යයි ද? එසේ නැතිනම් හමුදා මූලස්ථානය සොයාගෙන බර්ලින් වෙත ම යන්නට වේද? චිත්‍රපටය නැරඹීමෙන් ඔබට එම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත.

ඉංග්‍රීසි උප සිරැසි සමග චිත්‍රපටය නරඹන්න:



Sunday, May 2, 2021

චිත්‍රපටය​: යුද්ධයට යන්නේ “වයසක මිනිසුන්” පමණි

2020 වසරේදී දෙවන ලෝක යුද්ධයේ විජයග්‍රහණයේ 75 වන සංවත්සරයට සමගාමීව Kino Mail.ru වෙබ් අඩවිය විසින් පවත්වන ලද මත විමසුමට අනුව ජනප්‍රියම සෝවියට් යුධ චිත්‍රපටය බවට පත්වූයේ В бой идут одни "старики" (ව් බොයිදූත් අද්නී ස්තරීකි - යුද්ධයට යන්නේ වයසක මිනිසුන් පමණි) යන චිත්‍රපටයයි.


ලියොනිද් බයිකෆ් විසින් අධ්‍යක්ෂණය කරන ලද, 1973 දී තිරගත වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ද බයිකෆ් ය. ප්‍රහාරක ගුවන් යානා බලඝණයක නියමුවන් පිරිසකගේ ජීවිතය අළලා මෙය නිර්මාණය වී ඇත. එම බලඝණය වෙත පියාසර පාසැලෙන් නික්මුනු, යුධ පෙරමුණේ අත්දැකීම් රහිත තරුණ නියමුවන් පිරිසක් එවනු ලබයි. එහෙත් ප්‍රවීණ නියමුවෝ විවිධ කරුණු දක්වමින් ඔවුන් අවදානමට ලක් නොකර සිටිති. වයසක මිනිසුන් පමණක් යුද්ධයට යන්නේය යනු මෙම චිත්‍රපටයේ එන එක් කියමනකි. මෙහි "වයසක මිනිසුන්" යනු ප්‍රවීණයන් යන අදහස දනවන යෙදුමක් මිස වයසින් වැඩි යන අදහස නොවේ.


කෙසේ වෙතත්, තරුණයින්ව සම්පූර්ණයෙන් යුද්ධයෙන් ඉවත තබාගත නොහැක. ඔවුන්ව ද අවශ්‍ය වන අවස්ථාව කෙදිනක හෝ මතුවේ.

බලඝණයෙහි සංගීත කණ්ඩායමක් වෙයි. එහි එන එක් තරුණයකු ඔවුනට ස්මුග්ලියන්කා නම් ගීතය හඳුන්වා දෙයි. එහෙයින් ඔහුට ස්මුග්ලියන්කා යන නම පටබඳින අනෙක් පිරිස ඔහුව විහිළුවට ගනී. එහෙත් එය උපහාසාත්මක විහිළුවක් නොව, ජීවිතය මඳක් සැහැල්ලු කරගන්නට කරන විවිධ දේ අතුරින් තවත් එකකි.

යුද්ධයට යන්නේ වයසක මිනිසුන් පමණි චිත්‍රපටය සඳහා පැරණි රුසියානු හා සෝවියට් ගීත කිහිපයක් යොදාගෙන තිබේ. එයින් ද වඩා ප්‍රකට වූ ගීතය ස්මුග්ලියන්කා ය. සෝවියට් පාර්ටිසාන්වරියන්ට ගෞරව පිණිස එය ලියවුණ නමුත් මුලින් එය එතරම් බැරෑරුම් නැතැයි සලකන ලද බව කියනු ලබයි. කෙසේ වෙතත්, වසර කිහිපයකට පසු, 1944 දී අලෙක්සන්ද්‍රොව් වාද්‍ය වෘන්දය​ විසින් ගායනා කරන ලදුව කලක් ප්‍රකට වූ ස්මුග්ලියන්කා ගීතය මෙම චිත්‍රපටය හේතුවෙන් අතිශයින්ම ජනප්‍රිය විය. (ඓතිහාසික වශයෙන් ගත්කළ, මෙම චිත්‍රපටයට පාදක වන 1943 වසර වනවිට ස්මුග්ලියන්කා ගීය ප්‍රසිද්ධ වේදිකාවේ ගායනා කර නොතිබුණි).

ස්මුග්ලියන්කා ගීතය රතු හමුදා වාද්‍ය වෘන් දය විසින් බල්‍ෂෝයි තියාතර් හි ගයන ලද අවස්ථාවක්:




මෙම චිත්‍රපටයෙහි විශාල සටන්, වීරෝධාර මෙහෙයුම් ආදිය නැත. තනි පුද්ගලයන්ගේ සහ කණ්ඩායමේ සාමූහික උත්සාහයෙන් අභියෝග ජය ගනිමින් හැකි තරම් සතුටින් කල් ගෙවීම මෙම පිරිසගෙන් ප්‍රදර්ශනය වෙයි. එහෙයින් සාමාන්‍ය සෝවියට් යුධ චිත්‍රපටයකින් අප බලාපොරොත්තු වන "බැරෑරුම්" මාතෘකා වෙනුවට මෙහි දිස්වන්නේ ඉතා සරල කතාවකි. එහෙත් යුද්ධයේ අනිටු ඵලයන් ද එම කතාන්දරයට නොවැළැක්විය හැකි ලෙස පැමිණෙයි.


චිත්‍රපටය පුරා දිවෙන්නේ යුද්ධය උත්කර්ශයට නැංවීමට වඩා අනාගතයේදී බිහිවන සාමය පිළිබඳ බලාපොරොත්තුව ය. "යුද්ධ එනවා, යනවා. එහෙත් සංගීතය හැමදාම තිබෙනවා" යනු තිතරෙන්කෝගේ ප්‍රකාශයකි. ඔහු අවසානයේදී දෙන්නේ ද පොරොන්දුවකි. එනම් යුද්ධය අවසන් වූ පසු ආපසු පැමිණ ස්මුග්ලියන්කා ගීතය ගයන පොරොන්දුව ය.

චිත්‍රපටය ඉංග්‍රීසි උප සිරැසි සමග බලන්න​: