ඉතිහාසය යනු ජයග්‍රාහකයාගේ විස්තර කථනයක් ය යන සංසිද්ධිය මනාව පැහැදිලි වන ස්ථානයක් වන්නේ ඉන්දියානු ජාතික අරගලය ය. නිදහසින් පසු අගමැති බවට පත්වූ ජවහර්ලාල් නේරු මෙන්ම අවිහිංසාවාදී සටන හඳුන්වා දුන් ගාන්ධි නිදහස් සටනෙහි වීරයන් ලෙස ලොව පුරා පතල වන්නේ මේ සංකීර්ණ කතා පුවත ම ගාන්ධි-නේරු වික්‍රමයක් ලෙස පෙන්වා දෙමිනි.
පිට පිටම දෙවරක් ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති බවට සුභාෂ් චන්ද්‍ර බෝස් පත්වූයේ කෙසේද යන්න මෙම ගාන්ධි -නේරු විස්තර කථනය විසින් පැහැදිලි නොකරයි. එයින් දෙවන වතාවේ ඔහු එම ධුරයට පත්වන්නේ ගාන්ධියානු පාර්ශවයේ අපේක්ෂකයා පරාජය කරමිනි. ඉන්දීය ජනතාවගේ සටන්කාමීත්වය ගාන්ධිගේ වැනෙනසුළු ස්වභාවය සහ යටත් විජිත පාලකයන් සමග සම්මුතිවලට එලඹීමේ ක්‍රමය මගින් සම්පූර්ණයෙන් යටපත් නොකළ හැකි වූයේ බෝස් ප්‍රමුඛ වාමවාදීන් හේතුවෙනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉන්දීය හමුදා කැරලි ගැසීම මගින් ඉන්දියාව තවදුරටත් තම පාලනයේ තබාගත නොහැකි බව බ්‍රිතාන්‍යයෝ වටහාගත් හ. එම කැරලි ඇතිවූයේ ගාන්ධියානු අවිහිංසාවාදය හේතුවෙන් නොවේ. එහෙයින්ම ගාන්ධි-නේරුවාදී ඉතිහාසකරුවෝ එහි වැදගත්කම සුළුවෙන් තකති.
සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා වූ සිසිර් කුමාර් බෝස් විසින් ලියන ලද මෙම කුඩා කෘතිය අමතක කරන ලද වීරයකු උදෙසා ලියන ලද මහත් වටිනා ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකි ය.
මෙම කෘතිය පරිවර්තනය කර ඇත්තේ උදිත අලහකෝන් ය. මෙහි එක් ප්‍රබලව දැනුණ අඩුපාඩුවක් නම් පරිවර්තකයා විසින් මෙහි පසුබිම් කතාව තරමක් හෝ විස්තර කර නොතිබීම ය. සිසිර් කුමාර් බෝස් මෙය ලියා ඇත්තේ ඉන්දියානු පාඨකයා වෙනුවෙන් බව පැහැදිලි ය. ඔවුන්‍ට අවශ්‍ය නොවුවද අපට පසුබිම් කතාව වැදගත් වන්නේ ය.
මෙම කෘතිය කියවීමේදී මා හට මතකයට නැගුණේ ශ්‍යාම් බෙනෙගල්ගේ "Netaji Subhas Chandra Bose: The Forgotten Hero" චිත්‍රපටය යි. සත්‍ය වශයෙන්ම සුභාෂ් යනු ඉන්දීය නිදහස් සටනේ අමතක කරන ලද විරුවා යි. ඔහු අමතක කිරීමේ ප්‍රතිඵල 1947 න් පසු ඉන්දියාවේ ගමන්මග දෙස බැලීමේදී පෙනෙනු ඇත.
No comments:
Post a Comment