පළවෙනි සටහනෙන් මම ලිව්වා ලියන්නෙකු වෙන්න මූලික ම අවශ්‍යතාව තමයි තමන් ලියන දේ සහ ඊට පරිවාර කරුණු අධ්‍යයනය කරන්න ඕන කියන එක.
එතකොට මේ අධ්‍යයනය කරන්න ඕන කොහොමද? ඉන්ටර්නෙට් එකෙන් ගත්තම ඇති ද?
සාමාන්‍යයෙන් ලෝකෙ කතාබහට ලක් වෙන, අධ්‍යයනය කෙරෙන දේවල් ගැන මූලික දැනුමක් ගන්න විකිපීඩියා හොඳ මූලාශ්‍රයක්. හැබැයි වැඩිය ම ලෝකෙ අවධානය නැති දේවල් ගැන නම් විකාර තියෙනව. උදාහරණයක් ගත්තොත් ලංකාවෙ ඉතිහාසය ගැන කවදාවත් විකියෙන් බලල ඉගෙන ගන්න හොඳ නෑ. හැබැයි යුරෝපා ඉතිහාසය, ඇමරිකන් ඉතිහාසය වගෙ දේවල්වල පසුබිම ඉගෙන ගන්න විකිය මරු.
හැබැයි මොකක් හෝ දෙයක් ගැන ලියද්දි ඒ ගැන තමන්ට පුද්ගලික අත්දැකීම තියෙනව නම් ඒක වටිනව. එහෙම නැත්නම් එහෙම තියෙන අය එක්ක කතා බහ කිරීම හෝ එයාලගෙ කතාවලට සවන් දීම.
අනෙක් දේ තමයි පොත් පත්, පුවත් වාර්තා, පර්යේශණ ග්‍රන්ථ/ලිපි ආදිය. මේවාට ලොකු වැඩක් කෙරෙනව. මේව ලියන අය ගොඩක් අය එක්ක කතා බහ කරල, නැත්නම් අදාල තැන්වලට ගිහින් ඒවා ලියන අය. අනික සමහර පොත්වලින් ඒ කතා කරන මාතෘකාවට අදාල විශාල වපසරියක් ආවරණය වෙනව. සමහර විෂයන් ගත්තම ඒ ගැන ලියන හෝ කියවන හෝ කෙනෙක් අනිවාර්යයෙන් කියවිය යුතු පොත් එහෙම තියෙනව. ඒ සබ්ජෙක්ට් එක දන්න අයහෙන් ඒ ගැන උපදෙස් ගන්න පුලුවන්.
උදාහරණයක් විදියට දෙවන ලෝක යුද්ධය ගැන කියවන හෝ ලියන හෝ අයෙක් අනිවාර්යයෙන් The Rise and the Fall of the Third Reich පොත කියවන්න ඕන. මොකද ඒ විෂයට අදාල, ඒ කියන්නෙ හිට්ලර්ගෙ ජීවිතය සහ නට්සි ජර්මනියට අදාල ලොකු වපසරියක් ආවරණය වෙන පොතක් නිසා. ඒක ලියූ කෙනා නට්සි පාලන කාලෙ ටිකක් කල් බර්ලිනයේ ජීවත් වූ මාධ්‍යවේදියෙක්. අපට ටයිම් මැෂින් එකක් නැතිව එහෙට යන්න බැරි නිසා, අපට ඒ අත්දැකීම ගන්න බෑ. එතකොට ඒක ගත්තු අයගෙන් අපට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන්.
මේ සියල්ලෙදි ම වැදගත් වන තව දෙයක් තියෙනව. ඒ තමයි හැකි සෑම අවස්ථාවක ම යම් මූලාශ්‍රයකින් ගත්තු කරුණු තවත් මූලාශ්‍රයකින් තහවුරු කරගන්න පුළුවනි නම් ඒක වටිනවා. කෙනෙකුගෙ මතක සටහන් වගේ දෙයක් නම් මේක කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වෙලාවට මේක කිව්වෙ අහවලා කියලා ඔබට සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒ කියන කෙනා සාමාන්‍යයෙන් කවුරුත් දන්න දෙයක් ගැන සිද්ධි කරුණු වරද්දනවා නම් ඒ ගැන නිවැරදි කිරීම් ඔබ ලියන්න ඕන. ඒ කෙනාගෙ අදහස් උදහස් නෙවෙයි. සිද්ධි කරුණු ගැනයි ඒ නිදහස ඔබට තියෙන්නෙ.
උදාහරණයක් විදියට 1996 ලෝක කුසලාන තරඟාවලියෙ සනත් ජයසූරිය ලකුණු 200 ක් ගත්තා කියලා කවුරු හරි කිව්වොත් අපිට පුළුවන් වරහනක් ඇතුලෙ දාන්න (සත්‍ය වශයෙන් ම 213 ක්) කියලා. ඒ වගේ දේවල්වලින් කියවන කෙනා තේරුම් ගන්නවා ලියන කෙනා ඔහේ කියන දේ ලියලා නෙවෙයි, තමනුත් යමක් හොයලා බලලා ලියලා කියන එක.
නමුත් වෙනත් බොහොමයක් දේවල් හැකි නම් මූලාශ්‍ර කිහිපයකින් තහවුරු කරගැනීම ප්‍රයෝජනවත් වනවා.
වර්තමානයෙදි නම් අධ්‍යයන කටයුතු සඳහා තවත් වැදගත් මාධ්‍යයක් තමයි වීඩියෝ. යූ ටියුබ් වගේ තැන්වල හුඟක් වාර්තා වැඩසටහන්, සාකච්ඡා වගේ දේවල් සොයාගන්න පුළුවන්. ඒ දේවල් අතිශයින් ම ප්‍රයෝජනවත් වනවා.
අපි අපේ මූලාශ්‍ර ගැන බලද්දි ඒවා කිනම් ආකාරයේ ද කියන දේ බලන්නට අවශ්‍යයි. සාමාන්‍යයෙන් ගොසිප් අඩවියකින් තොරතුරු අරගෙන ලිපි ලියන එක මගින් ලිපියට වටිනාකමක් එන්නෙ නැහැ. අනෙක ප්‍රකට මාධ්‍ය ආයතන ගත්තොත් ඒ ඒ ආයතන කුමන ආකාරයේ නැඹුරුවක් තියෙන අය ද කියන එක ගැන සොයා බලන එක වැදගත් වනවා.
ඒ වගේ ම පක්ෂග්‍රාහී ලිපියකින් වුනත් කරුණුමය දේවල් උකහා ගන්න බැරි නැහැ. මට මුණ ගැහිච්ච් හොඳම උදාහරණයක් තමයි මුවම්මර් ගඩාෆි ගැන බීබීසී යෙ පළ වූ ලිපියක්. විශේෂිතව ලිබියාව ගැන ලියූ කිසිම පොතක් මම කියවා නැහැ. ඒ නිසා ගඩාෆි ගැන කරුණු ලබා ගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්. මේ කියන බීබීසී ලිපිය ගඩාෆිට එරෙහිව බොහොම පක්ෂග්‍රාහී ව ලියූවක්. නමුත් එහි කරුණු ගොඩක් තිබුණා. මතවාදය සහ සිද්ධිමය කරුණු කියන දෙක වෙන් කර ගත්තම වැඩේ හරිම ලේසියි.
ඒකට පොඩි සාමාන්‍ය බුද්ධියක් සහ විචාර බුද්ධියක් තියෙන්න ඕන.
යම් කිසිවක් අධ්‍යයනයෙදි වැදගත් ම වෙන්නෙ අපි පාවිච්චි කරන මූලාශ්‍රයන් මොනවද සහ පාවිච්චි කළ හැක්කේ මොනවද කියන එක අවබෝධ කරගන්න එක. ගූගල් සර්ච් කරලා මොකක් හෝ සයිට් එකක තියෙන දෙයක් ගන්නවට වඩා ඒක ප්‍රයෝජනවත් වෙනවා.
Interesting
ReplyDelete