Sunday, March 23, 2014

දැනුම මිනුම 04: ජනපති කෙනඩි

ඇමරිකානු ජනතාව පසුගිය නොවැම්බර් මාසයේ 22 වනදා, ජනපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයේ 50 වන සංවත්සරය සිහිපත් කළහ​. ඇමරිකානු ජනාධිපතිවරණයක් දිනූ ලාබාලම පුද්ගලයා විය​. ඔහුගේ ඝාතනය බොහෝ දෙනා සසල කරවූ සිදුවීමක් විය​. අදටත් 20 වන සියවස දිවි ගෙවූ දේශපාලකයන් අතුරින් ජෝන් එෆ්. කෙනඩි නොහොත් JFK වඩාත්ම මතකයේ රැඳුන චරිතයකි.

කෙනඩි ඝාතනයට මොහොතකට පෙර​
01. ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි උපන්නේ 1917 මැයි 29 වන දා ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බෘක්ලින්හිදීය​. ඔහුගේ පියා ජෝසප් පැට්ට්‍රික් කෙනඩි (ජේෂ්ඨ​) වූ අතර මව රෝස් එලිසබෙත් ෆිට්ස්ජෙරල්ඩ් නම් වූවාය​. JFK නමින් පසුව ප්‍රසිද්ධ වූ නමුත් ජනපති කෙනඩි කුඩා කාළයේ සිට පවුලේ අය ඔහු ඇමතුවේ වෙනත් නමකිනි. මේ නම කුමක්ද​?

02. JFK තම ධූර කාළය තුලදී ඝාතනය වූ සිව්වන ඇමරිකානු ජනාධිපතිවරයා වූයේය​. පළමුවෙන්ම එසේ ඝාතනය කළ ඇමරිකානු ජනාධිපතිවරයා කවුද​?

03. දෙවන ලෝක යුධ සමයේ ඇමරිකානු නාවික හමුදාවේ සේවය කළේය​. එක් අවස්ථාවක ඔහු රාජකාරි කළ PT-109 නම් බෝට්ටුව නව ජෝර්ජියා නම් දූපතක් අසළ රාත්‍රී මුර සංචාරයක යෙදෙන විටෙක ජපන් ප්‍රහාරයකට ලක් විය​. සිය සගයින් සමඟ කෙනඩි අසළ වූ කුඩා දූපතකට සේන් දු විය​. මේ අවස්ථාවේ කෙනඩි විසින් පිළිස්සුම් තුවාල සහිත සගයකුගේ ජීවිතය බේරාගන්නා ලදී. මෙම සිදුවීම් මාලාව සිදුවූ නව ජෝර්ජියා දූපත ආසන්න ප්‍රදේශය අද අයත් වන්නේ කිනම් රටකටද​?

04. 1963 නොවැම්බර් 22 වනදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නගරයේදී කෙනඩි ඝාතනය වනවිට ඔහු ගමන් ගත් රථයේ කෙනඩිගේ බිරිඳ වූ ජකොලයින් මෙන්ම, ටෙක්සාස් ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ බිරිඳද වූහ​. එවක ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වූයේ කවරෙක්ද​?

05. කෙනඩි ඝාතනය පිළිබඳ අදටත් නොවිසඳුන අබිරහසක් ඇති බව බොහෝ දෙනා විශ්වාස කරති. මෙම සැක සංකා බිඳලීමට සමත්කමක් තිබිය හැකිවූ එක් පුද්ගලයකු වූයේ ලී හාර්වි ඔස්වල්ඩ්‍ ය​. කෙනඩි ඝාතනයට සැක පිට ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහුට මෙම සිද්ධිය පිළිබඳ ඔහු දන්නා සියලු දේ එළි කිරීමට කල් නොලැබුණි. පොලිස් අත් අඩංගුවේ සිටියදීම රාත්‍රී සමාජශාලා හිමිකරුවකු විසින් ඔහු වෙඩිතබා ඝාතනය කරන ලදී. ලී හාර්වි ඔස්වල්ඩ්ගේ ඝාතකයා වූයේ කවුද​?

දැනුම මිනුම 03 සඳහා පිළිතුරු

1. ගැව්‍ රිලෝ ප්‍රින්සිප්

2. දෙවන යිප්‍රී සටන (යිප්‍රී හි දෙවන සටන​)

3. සෝම් සංග්‍රාමය​

4. ජෙනරාල් පෝල් එමිල් ෆොන් ලෙට්ටොව්-ෆෝර්බෙක් (Lettow-Vorbek)

5. කොම්පේඤ්ඤ වනාන්තරය​ (Forest of Compeigne)