Monday, July 27, 2020

බර්ලින් නගරයට මුලින්ම ඇතුල් වූ සෝවියට් (ඇමරිකන්) යුධ ටැංකි

1945 අප්‍රේල් 20 වනදා, 1 වන බෙලෝරුසියානු පෙරමුණේ අණදෙන නිලධාරී මාර්ෂල් ගියෝර්ගි ෂූකොෆ් තම පෙරමුණේ හිටපු 2 වන යුධ ටැංකි මුරභට හමුදාවේ අණදෙන නිලධාරී සෙම්යොන් බොග්දානෆ් වෙත නියෝගයක් කළා. එය තමයි බර්ලින් වෙත සිය හමුදාව යවන ලෙසට. ඒ වෙද්දි සීලොව් කඳුකරයේ සටන නිම වෙලා. සෝවියට් හමුදා සහ බර්ලින් අතරෙ වැඩකට ඇති කිසිම ජර්මන් සේනාංකයක් නැහැ.



බොග්දානෆ් මේ වැඩේ බාරදුන්නා 1 වෙනි යාන්ත්‍රික බලකායෙ ලුතිනන් ජෙනරල් සෙම්යොන් ක්‍රිවොෂෙයින්ට. අප්‍රේල් 21 වෙද්දි බර්ලින් නගර සීමාවට අයත් වයිසන්සී ප්‍රදේශයට ක්‍රිවොෂෙයින්ගේ සේනාංකය පැමිණියා. ඉතින් මේ සේනාව තමයි බර්ලින් වෙත ඇතුල් වෙච්ච පළමු සෝවියට් සේනාංකය.

ලස්සනම වැඩේ කියන්නෙ මේ යාන්ත්‍රික බලකායෙ තිබ්බෙ ඇමරිකාවෙන් ලැබිච්ච ෂර්මන් යුධ ටැංකි. එතකොට සෝවියට් සේනාංක ආවෙ ඇමරිකන් යුධ ටැංකිවලින්. මේවා සෝවියට් දේශය වෙත ලැබුණේ ණය වෙනුවට බද්දට දීමේ ක්‍රමය යි.

Tuesday, July 21, 2020

එමිරේට් රාජ්‍යය අඟහරු ලොවට ගෙනයන ඇය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ග්‍රහයා වෙත යවන සිය යානය වන "අමාල්" (අරාබි බසින් බලාපොරොත්තුව) ජූලි 19 වනදා පිටත් කළා. එය අඟහරු වටා කක්ෂගත වන යානයක් වනවා. ලබන පෙබරවාරියේදී එය රතු ග්‍රහයා වටා කක්ෂගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනාගතය උදෙස විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව මෙන්ම එහි ආයෝජනය කිරීම කෙරෙහි වැදගත් ස්ථානයක් දෙන රාජ්‍යයක්. ඒ අතින් එය අරාබිකරයේ සුවිශේෂී රාජ්‍යයක් වනවා. එහි එක් පියවරක් ලෙස ඔවුන් 2017 දී කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අමාත්‍ය ධුරයක් ද ස්ථාපිත කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ වැඩපිළිවෙල භාරව සිටින්නේ කාන්තාවක් වීම තවත් සුවිශේෂී කරුණක්. ඇයටද එම වගකීම පැවරුණේ 2017 වසරේයි. ඇය නමින් සාරා අල්-අමීරි.



සාරා අල්-අමීරි වෘත්තිය දිවිය ඇරඹුවේ පරිගණක ඉංජිනේරුවරියක ලෙසයි. පසුව ඇය එමිරේටයේ උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයට සම්බන්ධ වී එරට පණිවිඩ චන්ද්‍රිකා සැලසුම් කිරීමට එක් වුණා. 2016 දී එමිරේටයේ විද්‍යා කවුන්සිලයේ සභාපති ලෙස පත් වූ ඇය 2017 දී උසස් විද්‍යාවන් දියුණු කිරීම භාර අමාත්‍ය ධුරයට පත් කළා.

තම රාජ්‍යය අභ්‍යවකාශ තරණය කෙරෙහි බොහෝ ප්‍රමාද වී යොමු වූ රටක් බව පෙන්වා දෙන ඇය එහෙයින්ම තම රටෙහි උත්සාහය දෙස අන් අය පුදුමයෙන් බැලීම ගැන පුදුම නොවන බව පවසනවා.

කලාපයේ පවතින අස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් ලෝකයට වැඩදායක යමක් කිරීම තම අභිලාෂය බවයි අල්-අමීරි කියන්නේ.

එක්සත් අරාබි එමීරයේ අඟහරු තරණය කිරීමේ වැඩපිළිවෙලේ සියයට 34 ක් දෙනා කාන්තාවන්. එහි විද්‍යාඥ කණ්ඩායමේ සියයට 80ක් කාන්තාවන් වනවා.

පෝර්ට්ලන්ඩ් හි පොලිසියට අභියෝග කළ "නිරුවත් ඇතීනා"

ඇමරිකාවේ ඔරෙගන් ප්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ් නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ අතරතුර පොලිසිය ඉදිරියට නිරුවතින් පැමිණි කාන්තාවක් ඔවුන්ට විරෝධය පළ කරනු දක්නට ලැබුණා.

මුහුණු ආවරණයක් පැළඳ සිටි ඇය වීදියක් හරහා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියට පැමිණ ඔවුනට අභියෝග කරන්නට වුණා.



ඇය සමග තවත් කිහිප දෙනකු එහි පැමිණි අතර ඔවුන් අත පළිහ ද තිබුණා.

පොලිසිය ඔවුන්ගේ දෙපා ප්‍රදේශය වෙත පෙපර් ස්ප්‍රේ බෝල කිහිපයක් එල්ල කළා. පසුව පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගියා.

ඇගේ ක්‍රියාව හේතුවෙන් ඇතමුන් විසින් උද්ඝෝෂකයන්ගේ සහයට පැමිණි දෙවඟනක්, නැත්නම් "නිරුවත් ඇතීනා" ලෙස ඇයව නම් කර තිබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ජනප්‍රිය වූයේ "නිරුවත් ඇතීනා" යන නමින්.

පෝර්ට්ල්න්ඩ් හි විරෝධතා අතරතුර විරෝධතාකරුවන් පිරිසක් පොලිස් ස්ථානයකට ද කඩාවැදී තිබුණා. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු නගරයේ උද්ඝෝෂණ නිතර පවතිනවා.

Sunday, July 5, 2020

සෝවියට් දේශය බෝල්ටික් රටවල් අත්පත් කරගත් හැටි

1940 ජූනි 17 වනදා සෝවියට් විදේශ ඇමති ව්‍යචෙස්ලාව් මෝලතෆ් ජර්මන් තානාපති ෂුලන්බර්ග්ව සිය කාර්යාලය වෙත කැඳවාගත්තේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡාවකටයි.

මෙහිදී සෝවියට් විදේශ ඇමතිවරයා "ජර්මන් හමුදා ප්‍රංශයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ සෝවියට් රජයේ උණුසුම් සුබපැතුම්" එකතු කළා.

එයින් පස්සෙ මෝලතෆ් සාකච්ඡාවට ලක් කළේ ජර්මනියෙ එතරම් කැමති කාරණයක් නෙවෙයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය බෝල්ටික් රටවලදී සිදු කරන යටිකූට්ටු වැඩ මගින් ජර්මනිය සහ සෝවියට් දේශය අතර හොඳ හිත පළුදු කිරීමට උත්සාහ කරන බව පැවසූ මෝලතෆ් එවන් උත්සාහයන් වැළැක්වීමට එම රටවලට සෝවියට් රජයේ විශේෂ නියෝජිතයින් යැවූ බව කියා සිටියා.

ලැත්වියාවේ රීගා නගරයේ මැයි දින සැමරුමක් (1941)


මෙසේ විදේශ ඇමතිවරයා විස්තර කළේ දින කිහිපයකට කලින් සෝවියට් රජය විසින් සිදුකළ කාර්යයක්. මෙසේ යවන ලද නියෝජිතයන් වුණේ ස්ටාලින්ගේ සුවච කීකරු හෙන්චයියන් තිදෙනෙක්. ලිතුවේනියාවට යවන ලද ව්ලදිමීර් දෙකනෝසෆ්, ලැත්වියාවට යවන ලද අන්ද්‍රේයි විෂීන්ස්කි සහ එස්තෝනියාවට යවන ලද අන්ද්‍රේයි ෂ්දානෆ් ඔවුන් තිදෙනායි.

ජූනි 14 වනදා සෝවියට් රජය විසින් ලිතුවේනියාවට අවසානාත්මක නිවේදනයක් එවනු ලැබුණා. එයින් සෝවියට් රජය ලිතුවේනියාවට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා. ලිතුවේනියා රජය ඉල්ලා අස්වීම, ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීම සහ සෝවියට් දේශයට රිසි තරම් රතු හමුදාවන් ලිතුවේනියාව වෙත එවීමට අවසර දීම එම ඉල්ලීම් අතර වුණා. මේවා ඉටු කිරීමට ලබා දුන්නේ පැය නවයක කාලයක් පමණයි.

ලිතුවේනියාව මෙම ඉල්ලීම් පිළිගත් නමුත් එරටින් ලැබුණ ප්‍රතිචාරය අසතුටුදායක බව කියා සිටි සෝවියට් දේශය ජූනි 15 වනදා ලිතුවේනියාවට රතු හමුදාව එවීමට කටයුතු කළා. මීළඟ දින කිහිපයේදි ලැත්වියාව හා එස්තෝනියාව යන දෙරටට ද මෙසේ අවසානාත්මක නිවේදන නිකුත් කරමින් ඒවායේ සෝවියට් හමුදා රඳවන්නට සෝවියට් දේශය ක්‍රියා කළා.

1940 දී එස්තෝනියාව​, ලැත්වියාව සහ ලිතුවේනියාව​ (lithuaninanmaps.com)


මෙයින් පසුව බෝල්ටික් රටවල් තුනේ කොමියුනිස්ට් පක්ෂ හැර සියළු දේශපාලන පක්ෂ තහනම් කරනු ලැබුණා. ඒවායේ ජූලි 14 වනදා මැතිවරණ පවත්වනු ලැබුණා. වෙනත් පක්ෂ නොවූයෙන් එහිදී කොමියුනිස්ට් පාක්ෂිකයන් පාර්ලිමේන්තුවලට පත් වුණා.

ඉන් පසුව මේ රටවල් තුනේ පාර්ලිමේන්තු තම රටවල් සෝවියට් දේශයට එක් කරගන්නා ලෙස සෝවියට් දේශයේ උත්තරීතර සෝවියට් සභාවෙන් ඉල්ලා සිටියා. මෙසේ අගෝස්තු 3 වනදා ලිතුවේනියාව ද, අගෝස්තු 5 වනදා ලැත්වියාව ද, අගෝස්තු 6 වනදා එස්තෝනියාව ද සෝවියට් දේශයට එකතු කරගැනුණා.

නට්සි ජර්මනිය මෙම ක්‍රියාව ගැන එතරම් සතුටු වුණේ නැහැ. නමුත් 1939 දී දෙරට අතර අත්සන් කරන ලද නිරාක්‍රමණික ගිවිසුමෙහි රහස්‍ය කොටසට අනුව බෝල්ටික් රටවල් සෝවියට් බලපෑම් කලාපයට ඇතුලත් කරන ලද බැවින් මීට එරෙහි වෙන්නත් නට්සි ජර්මනියට පදනමක් තිබුණේ නැහැ. අනෙක් අතට ඒ වෙද්දී ජර්මනිය සිටියේ බ්‍රිතාන්‍යය සමග සටන පිළිබඳ පූර්ණ අවධානයෙන්. එහෙයින් බෝල්ටික් රටවල් ගැන ලොකු අවධානයක් දෙන්න ඔවුන්ට බැරි වුණා.

Monday, January 20, 2020

ඉරානය සහ රුසියාව අතර සබඳතාව කෙබඳු ද?

ඇමරිකාව හා ඉරානය අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය එක්ක තුන්වෙනි ලෝක යුද්ධයක් ගැන කතාබහක් ඇතිවුණා. ඊට හේතු වුණේ රුසියාව ඉරානය පැත්ත අරන් යුද්ධයට මැදිහත් වෙයි කියන අදහස. මගේ මතය ඊට විරුද්ධ වුණත්, ඇතැමුන් එවන් මතයක් දැරුවා.

රුසියානු රජයට සමීපව කටයුතු කරන මාධ්‍ය ආයතනයක් ඒ ගැන ලිපියක් පළ කර තිබෙනව. එහි අනුවාදයක් තමයි මම පහළින් පළ කරන්නෙ. මීට අමතරව, ළඟදි වෙච්ච සිද්ධිවලට පුටින් දෙපාර්ශවය වෙතම දොස් පැවරූ බවත් මතක් කරගන්න.

රුසියාව ඉරානයේ සන්ධානගත මිත්‍රයෙක් ද?

(අනුවාදකගේ සටහන - මෙහි සන්ධානගත මිත්‍රයා යනු ally යන අර්ථය ය. Friend යන අර්ථය නොවේ)



ඉරානය සහ රුසියාව අතර මතුව ඇති පවතින අර්බුදය පසුබිමෙහි මේ ප්‍රශ්නය වැදගත් එකකි.

අලුත් අවුරුද්දක් පටන් ගන්නට ඇති එක් "හොඳ ම" ක්‍රමයක් වන්නේ ලෝක විනාශය පිළිබඳ සාකච්ඡා කිරීම යි. එසේ නම්, 2020 ඇරඹුණේ ම විශාල පිපිරීමක් සමග යි. ඉරාන ජෙනරාල් කාසෙම් සුලෙයිමානි ඇමරිකන් ප්‍රහාරයකින් මියයාමත් සමග අන්තර්ජාලය පුරා හුන්වන ලෝක යුද්ධයක් පිළිබඳ කතා පැතිරෙන්නට වුණා. මෙය බොහෝ විටම ඉරානය හා ඇමරිකාව මූලික කරගත් සාකච්ඡාවක් වුවද රුසියාව පිළිබඳ ද (ඇතැම් විට හාස්‍යයට හෝ) සඳහන් වුණා.

උදාහරණයක් ලෙස, හිටපු කාමෝද්දීපණ චිත්‍රපට නිළි මියා කලීෆා සිය ට්විටර් ගිණුමෙහි රුසියානු රාජ්‍ය ලාංඡනය සහිත ටී-ෂර්ට් එකක් ඇඳගෙන ගත් ඡායාරූපයක් පළ කළා ය. එහි ඈ මෙසේ ලියා තිබුණි. "ඇමරිකාව ඉරානය එක්ක හැප්පෙනව. ඉරානය රුසියාවේ මිත්‍රයෙක්. වැඩි පරිස්සමට මම..."

කදිම කතාවක් මියා!

එහෙත්, ඇත්තෙන්ම රුසියාව යි ඉරානය යි "මිත්‍රයො" ද?

1. රුසියාව හා ඉරානය සිරියාවෙදි සහයෝගයෙන් කටයුතු කරනවා.

ඇමරිකාව විසින් ත්‍රස්තවාදියකු ද ඉරානය හා ඊට සහය දක්වන ෂියා මිලිෂියා කණ්ඩායම් විසින් වීරයකු ද ලෙස සලකන ලද කාසෙම් සුලෙයිමානි සිරියානු යුද්ධයෙදී ඉරානය සමග ළඟින් ම කටයුතු කළා. මොස්කව් මෙන්ම ටෙහෙරානය ද මෙහිදී සහය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් වෙතයි. එමෙන්ම රුසියාව හා ඉරානය ඉස්ලාමීය ත්‍රස්තවාදීන් හා බටහිරට හිතවත් සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට විරුද්ධ වනවා.

රුසියාව් ගුවන් ප්‍රහාර සහ සීමිත ගොඩබිම් ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කරද්දී ඉරානය සිරියාවේ භූමියේ විශාල සේනාංක පාලනය කරනවා. ඇමරිකානු ඇස්තමේන්තුවකට අනුව 2018 වනවිට ඉරානය විසින් මෙහෙයවනු ලබන සංවිධානවල (proxies) අවිගත් පිරිස් 12,500 ක් පමණ සිරියානු යුද්ධයට සම්බන්ධ ව සිටියා. රුසියාවේ හා ඉරානයේ සහයෙන් 2015 සිට 2019 වනවිට සිරියාවේ බොහෝ ප්‍රදේශ නැවත සිය පාලනයට ගන්නට අසාද් රජය සමත් වුණා.

ඉතින්, සිරියාව සම්බන්ධයෙන් නම් රුසියාවේ හා ඉරානයේ අවශ්‍යතා එකිනෙක සමපාත වනවා. දෙරටම සිරියාව ඉතා වටිනා සහචරයකු (valuable partner) යයි සළකනවා. "සිරියානු යුද්ධයෙන් පසු එහි නැවත ගොඩනැගීම පිළිබඳ අවධානය යොමුකරන රටවල් දෙක රුසියාව හා ඉරානය යි. එහෙත් ඒ දෙරටටම තනිව එය කරන්න බැහැ. මේ දෙරට සිරියාවේ කරන කටයුතු දෙරටටම වාසිදායක වන ඒකාබද්ධතාවක්" රුසියානු අන්තර්ජාතික සබඳතා කවුන්සිලයේ පෙත්‍ර කොර්තුනොෆ් කියා සිටිනවා.

2. රුසියාව හා ඉරානය මැදපෙරදිග පිළිබඳ සිටින්නේ ස්ථාවරයන් දෙකකයි

කෙසේ වෙතත්, දිගු කාලීන උපක්‍රම පිළිබඳ සාකච්ඡා කරතොත් පෙනී යන්නේ රුසියාව හා ඉරානය මැදපෙරදිග සම්බන්ධයෙන් වෙනස් ඉලක්ක කරා ගමන් කරන බවයි.

"රුසියානු රජයේ අරමුණ වන්නේ කලාප්‍යෙන් බාහිර සිට ක්‍රියාත්මක වන මැදිහත්කරුවකුගේ භූමිකාවෙහි කටයුතු කිරීම සඳහා කලාපයේ බල සංතුලනය පවත්වා ගැනීමයි" ඉරානය පිළිබඳ විශේෂඥයකු වන නිකිතා ස්මගින්, කාර්නගී මොස්කව් මධ්‍යස්ථානය වෙනුවෙන් ලියූ ලිපියක සඳහන් කළා. ඔහු වැඩි දුරටත් සඳහන් කරන පරිදි: "ඉරානය, බොහෝ ආකාරවලින්, බලන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවක් දෙසයි. එරටට අවශ්‍ය මැදපෙරදිග බලවතා වීමයි. සිය ආරක්ෂාව සලසාගත හැකි එකම ක්‍රමය එය බව ඉරානය විශ්වාස කරනවා."

ස්මගින් පෙන්වා දෙන්නේ එවන් එළඹුමක් මොස්කව් රජයෙහි සතුටට හේතු නොවන බවයි. රුසියාව ප්‍රිය කරන්නේ, කිසිදු එක් බලවතෙකු නොමැති, පාලනයන් සහ සංතුලනයන් (checks and balances) සහිත ක්‍රමයක් කෙරෙහියි. ‍රුසියාව, ඉරානය හා සිරියාව පමණක් නොව ඊශ්‍රායලය, තුර්කිය හා මෑතක සිට සෞදි අරාබිය ද සමග හොඳ සබඳතා පවත්වනවා. මේ රටවල් තුනම කලක් තිස්සේ ඉරානය සමග ගැටෙන රටවල්. මේ අතර ඉරානය, සිරියාවේදී අසාද් හා විපක්ෂය අතර එකඟතාවක් ඇතිකරගැනීම මගින් දිගු කාලීන දේශපාලන විසඳුමක් කරා යාම පිණිස රුසියාව විසින් කරන උත්සාහයන්ට බාධා කරනවා. මෙවන් ගැටළු මෑතකදී විසඳෙන හැඩක් නැහැ.

3. දෙරටෙහි ආර්ථික සබඳතා දුර්වලයි

"අප දෙරටෙහි සබඳතාවල දුර්වල තැන ආර්ථිකය යි". 2013 සිට 2019 දක්වා රුසියාවෙහි ඉරාන තානාපති වූ මෙහ්දි සනායෙයි මෙසේ කියා සිටිනවා. එක් හේතුවක් වන්නේ දෙරටම බලශක්තිය අපනයනය කරන රටවල් වීමයි. එහෙයින් එකිනෙකා අතර වෙළෙඳාම පුළුල් කිරීමට අපහසුයි.

ඇත්තෙන්ම දෙරට අතර වෙළෙඳාම තිබෙන්නේ ඉතා අවම තත්ත්වයකයි. 2018 වී එය ඩොලර් බිලියන 1.7 ක් වුණා. එය රුසියාවේ විදේශ වෙළෙඳ පිරිවැටුමෙන් සියයට 1 කට ද අඩු ප්‍රමාණයක්. යටිතල පහසුකම් හා වෙළෙඳාම පුළුල් කිරීමේ ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමු ව තිබෙනවා. ඉන්දියන් සාගරයේ සිට බෝල්ටික් මුහුදට ගොඩබිම් මාර්ගයක් විවර කරගැනීමේ "උතුරු-දකුණු" ව්‍යාපෘතිය ඉන් එකක්. ඉරානය හා රුසියාව ප්‍රමුඛ යුරේසියානු ආර්ථික එකමුතුවක නිදහස් වෙළෙඳ කලාපයක යෝජනාව තවත් එකක්. එහෙත් මේවා නුදුරේදී ඉටු වන බවක් පෙනෙන්නේ නැහැ. ශක්තිමත් ආර්ථික සබඳතා නොමැතිව සන්ධානයකට පවතින්න අමාරුයි.

4. ඉතිහාසයේ දෙරට අතර සබඳතා නරක අතට ගිය අවස්ථා

"19 වන සහ 20 වන සියවස්වල රුසියාව සහ සෝවියට් දේශය ඉරානයේ ස්වෛරීභාවය නොතැකූ අවස්ථා ගණනාවක් වුණා" නිකිතා ස්මගින් මතක් කර දෙනවා. 1911 ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විප්ලවය අවස්ථාවේ සිය බලපෑම් කලාපය ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ රුසියානු අධිරාජ්‍යය ඉරානයට හමුදා එව්වා පමණක් නොව පාර්ලිමේන්තුවට කාලතුවක්කු ප්‍රහාර ද එල්ල කළා.

දෙවන ලෝක යුද්ධය අතරතුර, 1941 දී, සෝවියට් දේශය හා බ්‍රිතාන්‍යය ඉරානයට හමුදා එවා එය සිය පාලනයට යටත් කරගත්තේ ඉරානය ජර්මන් රූකඩයක් වනු ඇතැයි බයෙන්. යුද්ධය නිම වූ පසු, ස්ටාලින් ඉරානයෙන් කොටසක් සෝවියට්කරණය කරන්නත් උත්සාහ කළා. නමුත් 1946 දි සෝවියට් හමුදාවන්ට ජාත්‍යන්තර බලපෑම මත ඉවත් ව යන්න සිදු වුණා.



මෙවන් සිද්ධීන්වලින් රජයන් දෙකක් අතර ගනුදෙනුවලට බාධා නොවෙන්න පුළුවන්. ඒත් ජනතාව අතර ඇති අවිශ්වාසය එහෙම නැති වෙන්නේ නැහැ. ඊට උදාහරණයක් 2016 දි අප දුටුවා. සිරියාවේ ISIS ත්‍රස්තයින්ට පහර දීම සඳහා රුසියානුවන්ට ඉරාන හමුදා කඳවුරක් භාවිතා කිරීමට අවසර දීමට ඉරාන රජය ක්‍රියා කළා. එහෙත් මහජන විරෝධය හමුවේ ඔවුන්ට එම තීරණය ආපහු හරවන්න සිදු වුණා.

5. මේ දෙරට සගයින්, සන්ධානගත මිතුරන් නොවේ

ඉහත කරුණුවලින් පෙනී යන්නේ මේ දෙරට එක්ව කටයුතු නොකරන බවක් නෙවෙයි. මෑත කාලීනව ඔවුන් අතර සබඳතා පෙරට වඩා සමීප වී තිබ්නවා. (ඉරාන හා රුසියන් ජනාධිපතිවරු 17 වරක් එකිනෙකා හමු වී තිබෙනවා). එහෙත් ඔවුන් අතර ඇති සබඳතාව දැකිය හැක්කේ උපක්‍රමික මිත්‍ර සන්ධානයක් මෙන් නොව සගයින් දෙදෙනකු අතර ඇති සබඳතාවක් ලෙසයි.

අල්යෙග් යෙගොරොෆ්
(https://www.rbth.com/lifestyle/331528-russia-iran-ally)

Monday, August 12, 2019

කසාන් ආසන දෙව් මැදුර​, මොස්කව්

පෝලන්ත ආක්‍රමණිකයන්ගෙන් මොස්කව් ගලවාගත් දිමිත්‍රි පොජාර්ස්කි, කසාන් හි අප දේව මෑණියන් ලෙස පෙනී සිටි මරියතුමිය, තමාට සටනේදී ආශිර්වාද කළේ යයි සඳහන් කළේ ලු.



ඒ අනුව කසාන් හි අප දේවමෑණියන් වෙනුවෙන් මොස්කව් හි රතු චතුරශ්‍රයේ මෙම දෙව් මැදුර ඉදි කර ඇත​.

කසාන් ආසන දෙව් මැදුර 1625 දී ඉදි කර අවසන් වූ අතර 1936 දී ස්ටාලින් විසින් එය කඩා දමන ලදී. 1993 දී එය නැවත ඉදි කෙරුණි.

Friday, May 24, 2019

ජාතිකවාදය සහ අමෙති

මාර්තු මාසෙ මුල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමෙති ප්‍රදේශයට පැමිණියා. ඒ රුසියානු ආධාර ඇතිව ඉදි කළ AK-203 ගිනි අවි කම්හලක් විවෘත කිරීමටයි. එහිදී ඔහු මෙහෙම කතාවක් කිව්වා.

"ගාන්ධිලා මොනවද ඔබලාට කළේ? රාහුල් ගාන්ධි අවුරුදු ගාණක් මෙහි මන්ත්‍රී. ඔබලාට රස්සා දුන්න ද? අද මම ඔබට රස්සා දීලා තියෙනව."

එදා මමත් ඒ කතාව ගත්තෙ නිකම්ම දේශපාලන කතාවක් විදියට. ඒත් අද ඒ කතාව ඇත්ත බව අමෙති හි ජනතාව ඔප්පු කරල තියෙනව.



දිල්ලියට වෙලා සැප විඳ විඳ හිටියා මිසක රාහුල් මොනවද කළේ?

මෝදිට දිනන්න ජාතිකවාදය, හින්දුත්ව සංකල්පය ආදිය උදව් වුණා. ඒත් මෝදි දිනන්නෙ ඒ නිසාම නෙවේ. අමෙතිවල ජනයා ඒක පෙන්නුවා.