Saturday, May 24, 2014

මාලින්ද සෙනවිරත්න 2013 ග්‍රේෂන් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

මාලින්ද සෙනවිරත්න
අද අපට බොහොම සතුටුදායක දවසක්. අද සවස පවත්වන ලද ග්‍රේෂන් සාහිත්‍ය සම්මාන උළෙලේදී, 2013 වසර සඳහා වන ග්‍රේෂන් සම්මානය අපේ පුවත්පතේ කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතාට ප්‍රදානය කරනු ලැබීම එයට හේතුවයි. ඒ ඔහුගේ "Edges" කියන කවි එකතුව සඳහා.

මාලින්ද සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකීම හසළ දැනුමක් ඇති කෙනෙක්. නමුත් ඔහු පුවත්පත් කලාවේ නිරත වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ වගේම මාලින්දගේ පොතුත් ලියවෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔහු නිරන්තරයෙන් කවි ලියන කෙනෙක්. ඒ නිසාම පහුගිය වසර කිහිපයේම හැම අවුරුද්දක් පාසාම මාලින්ද අලුත් කවි පොතක් පළ කරන්න සමත් වුනා. මෑතකදී ඒ පොත් 5 ක් ආපහු මුද්‍රණය කෙරුනා. පහල එයිනුත් 4  ක්ම කලින් අවුරුදු 4 දී ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වුනා. මගේ දැනුමේ හැටියට මම හිතන්නේ වැඩිම වාර ගණනක් ග්‍රේෂන් සම්මානය සඳහා යෝජනා වුන නම මාලින්ද සෙනවිරත්න බවයි. නමුත් සම්මානය දිනුවේ මේ වතාවේ තමයි.

මීට පෙර ග්‍රේෂන් පදනමෙන්ම ප්‍රදානය කෙරුණ හොඳම පරිවර්තනය (සිංහලෙන් ඉංග්‍රීසියට) සඳහා වන H.A.I. ගුණතිලක සම්මානය මාලින්දට ලැබුණා. ඒ සයිමන් නවගත්තේගම මහතාගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පොතේ පරිවර්තනයට.

කවි පිළිබඳ මගේ දැනුම එච්චරම හොඳ නැති නිසා මට ලොකු ලොකු විචාරකයන් වගේ කවි ගැන මුකුත් කියන්න බැහැ. නමුත් මට දැනෙන දේ තමයි මාලින්ද බොහොම දක්ෂ විදියට වචන හසුරවමින් සංවේදී හැඟීමක් කියවන්නා තුල ඉතුරු කරන්න සමත් වන බව. ඒ වගේම මම කියවන්න බොහොම කැමති අංගයක් තමයි අපේ පුවත්පතේ විශේෂාංග ලිපි පළවන "FINE" කියන කොටසේ අන්තිම පිටුවේ මාලින්ද ලියන කවිය. එහි මාලින්ද ලියන්නේ කුමක් හෝ මාතෘකාවක් සම්බන්ධ පින්තූර එකතුවක් ගැන. අපි පින්තූර ගැන ගද්‍යයෙන් ලියනවාට වඩා අපූරුවට මාලින්ද ඒ ගැන පද්‍යයෙන් ලියනවා.

මෑතකදී නිකුත් කළ කවි පොත්
නිතර නිතර ලිව්වා කියලා මාලින්දගේ ලිවීමේ තත්ත්වය බාල වෙන්නේ නැහැ. මාලින්දට වඩා හොඳට ලියන්න පුලුවන් අය ඉන්නවා ඇති. ඊට වඩා වේගයෙන් ලියන්න පුලුවන් අයත් ඇති. නමුත්, එතරම් වේගයකින් එච්චර හොඳ තත්ත්වයේ නිර්මාණ කරන්න හැකි ය නම් හොයාගන්න හරිම අමාරුයි. භාෂා දෙකකින්ම ඒ දස්කම පෙන්නන්න හැකියාව තියෙන කෙනෙක් නම් හොයාගැනීම කළුනික හොයනවා වගේ දෙයක්.

නමුත් ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න වාසනාව අපට ලැබිලා තියෙනවා. මාලින්ද කියන්නේ හරිම සරල ගති පැවතුම් තියෙන කෙනෙක්. වෙලාවකට හිනහත් යනවා මාලින්දගේ වැඩවලට. මාලින්ද හොඳ ලේඛකයෙක් වගේම දක්ෂ චෙස් ක්‍රීඩකයෙක්. චෙස් ක්‍රීඩාවෙන් ඉගෙනගත්තු බොහෝ දේ ඔහු නිතර ප්‍රායෝගික ජීවිතයේදි භාවිතා කරනවා. ඒ වගේම මාලින් ද හොඳ බෞද්ධයෙක්. බෞද්ධ ඉගැන්වීම්වල කියවෙන දේවල් ඔහු බොහොම වෙලාවට ජීවිතයේදි උපයෝගී කරගන්නා බව අපි දැක තියෙනවා.

මම ඔහුගේ දකින වැදගත්ම දේ තමයි, ඔහු කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වීම​. මාලින් ද කියන කරන දේ ගැන අපි කැමති වෙන්න පුලුවන්, අකමැති වෙන්න පුලුවන්. නමුත් ඒ ඕනම දෙයක් ගැන කතා බහ කරන්න ඔහු සූදානම්. ඒ අතින් මාලින්ද බොහොම නිහතමානී, විවෘත කෙනෙක්.

වරක් මාලින්ද මට කියාපු දෙයක් මට මතක් වෙනවා. බොහෝ මිනිසුන් මුණ ගැහෙන්න ඔහු කැමතියි. ඒ හැම කෙනෙක්ටම කියන්න දෙයක් තියෙන්න පුලුවන්. ඒ දේවල්වලින් අපි යමක් ඉගෙන ගන්නවා. ඒ වගේම වඩාත් සංවේදී වෙන්න ඉගෙනගන්නවා.

මාලින්දගේ සාහිත්‍ය නිර්මාණවල යම් සාර්ථකත්වයක් තියෙනවා නම් එහි රහස ඒකයි කියලා මම හිතනවා.

Saturday, May 17, 2014

නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකරයි

ඉන්දියාවේ අභිනවයෙන් අගමැති ධූරයට පත්වන නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකොට තිබේ.

ඊයේ දිනයේ ඉන්දියානු මහා මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ දුරකථනයෙන් නරේන්ද්‍ර මෝඩි ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ නරේන්ද්‍ර මෝඩි වෙත සිය සුබ පැතුම් එක්කොට තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිතුමා විසින් නරේන්ද්‍ර මෝඩි වෙත ආරාධනා කරනු ලැබුණි. මේ බව ජනාධිපතිතුමාගේ නිල ට්විටර් පිටුව හරහා නිවේදනය කෙරිණ.
නරේන්ද්‍ර මෝඩි (Mayur Bhatt, Wikimedia Commons)

මෙම නිවේදනයට තමන්ගේ ට්විටර් අඩවිය හරහා පිළිතුරු දුන් නරේන්ද්‍ර මෝඩි ජනාධිපති රාජපක්ෂ සමඟ කතා කිරීමට ලැබීම සතුටක් බවත්, ශක්තිමත් ඉන්දු-ලංකා සබඳතාවක් කෙරෙහි තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත් කියා සිටියේය.

පසුගිය වසර කිහිපය ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවලට එතරම් යහපත් නොවීය. එයට මූලික හේතුව වූයේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ පාලක එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිගින් දිගටම තමිල්නාඩු දේශපාලකයන්ගේ කෙනිත්තිලිවලට ලක් වීමය. ලෝක් සභාවේ ආසන 545 න් 39 ක් තමිල්නාඩුවේ තිබීම මෙයට බලපෑ ප්‍රධානම කරුණයි.

නමුත් පසුගිය මහා මැතිවරණයේදී මෙම තත්ත්වය උඩු යටිකුරු විය. ජයලලිතාගේ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය තමිල්නාඩුවේ ආසන 39 න 37 ක්ම දිනාගත්තේය. නරේන්ද්‍ර මෝඩි සහ භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ විශාල වශයෙන් ප්‍රචාරක කටයුතු කලද ඔවුනට එහි ලබාගත හැකිවූයේ එක අසුනක් පමණි. තමිල්නාඩුවේ බීජේපී පක්ෂය මින් පෙර කිසිදිනෙක වැදගත් දේශපාලන පක්ෂයක් නොවූ හෙයින් මේ එක ඇසුනද සැලකිය යුතු ජයකි. නමුත් මෙය එම පක්ෂය බලාපොරොත්තු වුවාට වඩා අඩු ජයකි.

කෙසේ වුවද, සමස්ත ඉන්දියාව සැලකීමේදී බීජේපී පක්ෂය ආසන 283 ක් දිනා ලෝක් සභාවේ බහුතරයක් දිනා ඇත. බීජේපී පක්ෂය සමඟ සන්ධානගත අනෙක් පක්ෂද තවත් ආසන 53 ක් දිනූහ. එහෙයින් මීළඟ අවුරුදු 5 තුල තමිල්නාඩුවේ පදයට නවදිල්ලිය නටනු ඇතැයි සිතීම අපහසුය. නරේන්ද්‍ර මෝඩි කුමන තත්ත්වයක් යටතේ වුවද කාගේවත් පදයට නටන තැනැත්තෙකු නොවේ. මේ ඡන්ද ප්‍රතිපලයත් සමඟ ඔහුට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත.

ශ්‍රී ලංකාවට මෝඩි යහතින් තබාගැනීම වැදගත් වනු නොඅනුමානය. ඔහු ආචාර්ය මන්මෝහන් සිං මෙන් ඇමරිකානු හිතවාදියකු නොවේ. එමෙන්ම ඔහුගේ මූලික අරමුණු වන්නේ ආර්ථිකය දියුණු කිරීම සහ ත්‍රස්තවාදය පරාජය කිරීමයි. මෙම කරුණුවලදී ලංකාවට සහ ඉන්දියාවට එක්ව කටයුතු කල හැකිවිය යුතුය. ඇමරිකාව තරමක් පහත වැටී සහ චීනය නැගිටිමින් සිටින මෙම සමයේ චීනය සමඟද යහපත් සබඳතාවක් වර්ධනය කරගැනීම මෝඩිගේ බලාපොරොත්තුවක් වනු ඇත. එයද ලංකාවට වාසිදායකය. ශ්‍රී ලංකා රජයට මෝඩි සමඟ සහයෝගයෙන් කටයුතු කල හැකි නම් එය ශ්‍රී ලංකාවේ අයහපතට හේතු නොවනු ඇත.