Sunday, June 1, 2014

ලෝක දුම්කොළ විරෝධී දිනය: වයස චෙක් කළාට තරහ වෙන්න එපා

මැයි 31 වනදා ලෝක දුම්කොළ විරෝධී දිනයයි. ශ්‍රී ලංකාවේ අපිට මෙවර ලෝක දුම්කොළ විරෝධී දිනය​, එහෙමත් නැත්නම් දුම්වැටි විරෝධී දිනය වැදගත් වුනේ පසුගිය දිනයක අධිකරණය හමුවේ විභාග වුන සිගරට් පැකට්ටුවල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ නඩු විභාගය හේතුවෙන්.

නමුත් අද මම කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ සම්බන්ධව නෙවෙයි.

මේ සිගරට් වෙළෙඳාම සම්බන්ධ දැන්වීමක් ගැනයි.

මේ පින්තූරයේ දකින්න තිබෙන දැන්වීම දෙස හොඳින් බලන්න​. එහි මෙන්න මේ ආකාරයෙන් ඉංග්‍රීසියෙන් ලියා තියෙනවා.

"Dear customer, If you are lucky enough to look under 18, please do not be offended if we ask for proof of age when you buy tobacco"

මෙය සරලව සිංහලට පරිවර්තනය කලොත් ඉන් කියවෙන්නේ මෙන්න මේ අදහස​. "ඔබේ වයස අවුරුදු 18ට අඩුවෙන් පෙනෙන්නට තරම් ඔබ වාසනාවන්ත නම්, දුම්කොළ නිශ්පාදන මිලට ගනිද්දී ඔබේ වයස පරීක්ෂා කිරීම ගැන අමනාප නොවන්න."

මේ දැන්වීම දකින්න ලැබුණේ ලංකාවෙදි නම් නෙවෙයි. මේ සිංගප්පූරුවේ අංග් මෝ කියෝ (Ang Mo Kio) MRT නැවතුමේ සිට බස් නැවතුමට යන උමං මාර්ගයේ තිබුණ වෙළෙඳසලක තිබිච්ච දැන්වීමක්.

මේ දැන්වීමෙ පින්තූරය ගන්න ගියාම එතන හිටපු වෙළෙඳ සේවිකාව පින්තූර ගන්න එපා කියලා අවවාදයක් කළා. මම එතකොට එයාට කිව්වා මට ඕන මේ දැන්වීමෙ පින්තූරයක් ගන්න විතරයි කියලා. එතකොට ඒ සේවිකාව හිනහවෙලා, "කමක් නැහැ" කිව්වා. එහෙම තමයි මම මේ පින්තූරය අරගත්තේ.

සිංගප්පූරුවේ දුම්වැටි භාවිතය පිළිබඳ විවිධ නීති තියෙනවා. ඒ අතර අලෙවි කිරීම වගේම දුම් පානය කරන්න පුලුවන් ස්ථාන ගැනත් නීති තියෙනවා. සෑම තැනකම දුම් පානය කරන්න බැහැ. ඒ සඳහා නියමිත ස්ථාන තියෙනවා.

මේ අතර, 2017 වනවිට සියලුම ප්‍රධාන පාසැල්වල දුම්පානය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ සැලසුමක් පිළිබඳ මැයි 31 වනදා උදෑසන සිංගප්පූරු මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ වනවිට සිංගප්පූරුවේ වැඩිහිටි ජනගහනය දුම් පානයට යොමු වීමේ ප්‍රවණතාව උච්ඡාවචනයක් (ලොකු ඉහළ පහළ යාමක්) නැතිව එක් ස්ථානයක රැඳී තිබෙනවා. 2007 වසරේ දුම්පානය කරන්නන් සියයට 13.6 ක් වූ අතර 2013 දී එය සියයට 13.3 ක් වුනා. ඒ වගේම වයස අවුරුදු 18-29 අතර පුද්ගලයින් අතර දුම්පානය කිරීමේ ප්‍රවණතාව මේ කාළය තුල සියයට 17.2 සිට 12.7 දක්වා සීඝ්‍ර අඩු වීමක් පෙන්වා තිබුණා. සිංගප්පූරු බලධාරීන් බලාපොරොත්තු වන්නේ 2020 වනවිට වැඩිහිටියන් අතර දුම්පානය කරන ප්‍රතිශතය සියයට 12 දක්වා අඩු කරගැනීමටයි.

ලංකාවේ දුම්පානය පිරිමින් අතර සියයට 39 ක් සහ කාන්තාවන් අතර සියයට 2.6 ක් වුනා. ඒ 2009 දි. සමස්ථ ප්‍රතිශතය සියයට 21.6 ක් වුනා. ඒ වසරේ වයස අවුරුදු 18-29 කාණ් ඩයේ පිරිමින් සියයට 19.3 ක් සහ කාන්තාවන් සියයට 0.9 ක් දුම් පානය කළා. ඒ අනුව සමස්ථ ප්‍රතිශතය වුනේ සියයට 10.4 ක්. මේ අනුව ලංකාවේ මුලු ජනගහනය සැළකූ විට දුම්පානය කරන ප්‍රතිශතය සිංගප්පූරුවට වඩා වැඩි වුනත්, තරුණ පරපුර අතරේ තත්ත්වය ඒ රටට වඩා යහපත් බව කියන්න පුලුවන්.

දුම්වැටි විරෝධී දිනය ගැන ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන මෑතකදී ලියූ ලිපිය (ඉංග්‍රීසි) කියවන්න​.

9 comments:

  1. වටිනා ලිපියක් මෙවැනි ලිපි වලින් මේ වගේ දෙවල් ගැන පෙන්වා දීම ගොඩාක් වටිනවා

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  2. ඔය නිති සේරම අස්සෙ ෂොපින් මෝල් ඉස්සරහ පෝලිමට සිගරට් බොනවා .මට බස් ස්ටෑන්ඩ් වල පොඩ්ඩක් ඈතින් හිටගෙන දුම් බොනව. අපෙ රටට වඩා වැඩියි මෙ නැගෙනහිර ආසියාවෙ සේරම රටවල දුම් පානය.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඕකෙම තව පැත්තක් තමයි මත්පැන් තහනම් රටවල දුම් පානය සහ වෙනත් මත් ද්‍රව්‍ය භාවිතය වැඩියි. සිගරට් ගැන කියද්දි කස්ටිය අනෙක්වා අමතක කරනවා.

      Delete
  3. නිවැරදි සෞඛ්‍යමය අවවාද නිසි ලෙස සමාජ ගත කෙරෙන්නේ නම් මේ උවදුරින් සමාජය ගොඩ දාන්න පුලුවන් !

    ReplyDelete
    Replies
    1. ඔව්. සටන් පාඨ විතරක් මේකට ප්‍රමාණවත් නැහැ. නීති විතරකුත් ප්‍රමාණවත් නෑ. මම හිතන්නෙ ඒ ගැන හිතලා තමයි සිංගප්පූරුව අර වගේ වැඩපිළිවෙලක් පාසල් මට්ටමෙන් පටන් ගන්න තීරණය කරලා තියෙන්නේ.

      Delete
  4. අර දැන්වීම මම දැක්කෙ සිගරට් බීමට කෙරෙන පෙළඹවීමක් වගේ. එතනින් වක්‍රාකාරව කියවෙනවා සිගරට් බොන අයට තරුණ පෙනුමක් තියෙනවා වගේ දෙයක්. ලංකාවෙත් ඔය විදිහට සිගරට් විකුණන්නේ මේ වයසෙන් වැඩි අයට කියන එක දැන්වීමක් විදිහට පාවිච්චි කරනවලු. ඒ වගේම මම දැකලා තියෙනවා සමහර කඩවල විකුණන්න තියෙන සිගරට් ජාති කඩේ තැනින් තැන තියෙන කුඩා ශෝ කේස්වල දාලා තියෙනවා. ඒකත් දැන්වීමක් වගේනෙ..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපි ඒක දකින්න ඕන ඊට ටිකක් පළල් විදියට​. මේ දැන්වීම එක අවස්ථාවක් විතරක් නෙවෙයි. මම දන්න විදියට සිංගප්පූරුවෙ බොහෝ නීති තියෙනවා සිගරට් ගැන. මේක හාස්‍යය මතු කරන්න ගත්තු උත්සාහයක් විදියටයි මට පෙනෙන්නේ.

      Delete
  5. කොහොම වුණත් අර උඩින් එහෙම කියලා තියෙනවා වගේ.සිගරට් බොන එක නතරම කරන්න ගියොත් එකට හරි යන ආදේශක හොයා ගන්න අපේ අය පසුබට වෙන්නේ නැහැ.කලයුතු හොදම දේ මේ ගැන නිවැරදිලෙස ජනතාව දැනුවත් කිරීමයි.

    අර රූපමය අවවාද වැඩේ හොදයි.නමුත් ඊට වඩා වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ මේක නිවැරදි ලෙස පාලනය කිරීමට නම්.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීම් නොවෙනවා නෙවෙයි. ඒවයෙ මදිකම හෝ අසාර්ථකකම හෝ තමයි තියෙන්නෙ. රූපමය අවවාද බොහොම සාර්ථක වෙලා තියෙනවා සමහර රටවල​. සම්පූර්ණෙන් නෙවෙයි. එහෙම සම්පූර්ණෙන් සාර්ථක වෙන උපක්‍රමයක් නම් කොහෙවත් නැතුව ඇති.

      Delete