Wednesday, May 23, 2012

කාටත් වගේ අමතක ශ්‍රී ලංකාවේ 40 වන ජනරජ දිනය


ශ්‍රී ලංකාවේ ජනරජ දිනය කවදාද? යයි පාසල් ළමයෙකුගෙන් ඇසුවහොත් බොහෝ දෙනා එයට පිළිතුර නොදන්නා බවට සැකයක් නැත. එංගලන්ත කිරීටයට තිබූ අන්තිම ව්‍යවස්ථාමය බැඳීමෙන් මිදී ජනරජයක් බවට පත් වූ දිනය අපේ දේශපාලකයෝද සහමුලින් අමතක කර ඇත්තාහ.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වනදා ය. ඒ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජින හෝ වූ අතර ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයා වශයෙන් අග්රාන්ඩුකාරවරයෙක් කටයුතු කළේය. මේ අනුව ලංකාවේ ඇතැම් කරුණු පිලිබඳ අවසාන බලය හිමිව තිබුනේ එංගලන්තයේ ආයතනයනට ය. උදාහරණයක් ලෙස ගතහොත් ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය.

1948 ලැබුණු ඩොමීනියන් නිදහසට පසු බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ලංකාව ජනරජයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. ඔවුහු බොහොකොටම බටහිර හිතවාදී ප්‍රතිපත්තියක් ගෙනගිය බව නොරහසකි. මේ අතර රටේ ප්‍රධාන වාමාංශික පක්ෂ සියල්ලක්ම ලංකාව ජනරජයක් විය යුතු බවට ප්‍රකාශ කර සිටියහ. 1956 පෙරළියෙන් පසු බලයට පැමිණි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවටද එය ඉටු කිරීමට අවස්තාවක් නොවීය.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට කටයුතු කෙරුනේ 1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේය. මෙහිදී වාමාංශික පක්ෂවල මන්ත්‍රීන්ගෙන් විශාල කාර්යයක් සිදු කෙරුණි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාත්රූවරයා වූයේද ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පාර්ලිමේන්තුව තුල රැස් වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වූ යම් යම් අපහසුතා හේතුවෙන් එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජකීය විද්‍යාලයේ නවරඟහලේදී රැස් වූහ. එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී.

අවාසනාවකට මෙන් ජනරජ දිනය සඳහා මූලිකත්වය නොගත් දේශපාලන පක්ෂ එය සැලකුවේ තමන්ට අයත් දිනයක් ලෙස නොවේ. 1972 න් පසු පෙබරවාරි 4 වනදා සමරන නිදහස් දිනයටත් වැඩි උත්සවශ්‍රීයෙන් ජනරජ දිනය සමරන ලද නමුත් 1977 ආණ්ඩු පෙරළියට පසු එය සැමරීම ඇල් මැරුණු ස්වභාවයක් ගත්තේය. ජනරජ දිනය වෙනුවට එය ජාතික වීර දිනය ලෙස නම් කරනු ලැබුණි.

කෙසේ වෙතත් ජනරජ දිනයට ලොකුම අසාධාරණය සිදු කෙරුනේ සිරිමා බණ්ඩාරනායක මතිනියගේම දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුවෙනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිවාඩු දින ගණන අඩු කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මුලින්ම ඉවත් කරන ලද නිවාඩු දිනය වූයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ දිනයයි. එය ලෝකයේ යටත් විජිත පාලනයෙන් මිදුණු කිසිදු රටක් නොකළ දෙයක් විය යුතුය. ඉන්දියාව ජනරජ දිනය නිදහස් දිනයටත් වඩා ඉහලින් සමරන විට අපි එය මුළුමනින්ම අමතක කොට ඇත්තෙමු. අද අපි අපේ දෙවන නිදහස් දිනය ලෙස සලකන්නේ ත්‍රස්තවාදයෙන් මිදීම සමරන මැයි 19 වනදාය. නමුත් එය අපේ තුන්වන නිදහස් දිනය ලෙස හැඳින්විය යුතු අතර දෙවැනි නිදහස් දිනය විය යුත්තේ ජනරජ දිනයයි.

ජනරජ දිනය ජාතියේ දිනයක් නොව බණ්ඩාරනායක මැතිනියගේ දිනයක් ලෙස සැලකීම තුලින් මේ තත්ත්වය උද්ගතව ඇත. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බව කිව යුතුය. අනාගතයේ යම් දිනෙක පවතින ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් පත් වූ කල, ත්‍රස්තවාදයෙන් මිදුණු දිනයත් ජාතියේ දිනයක් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ සැමරුමක් ලෙස සලකා අමතක කිරීමට වුවද සූදානමින් සිටින දේශපාලකයන් සිටින්නට බැරි නැත.

Tuesday, May 1, 2012

වැඩකරන ජනතාව දිනකට මුරුංගා අත්තේ තැබීම හෙවත් මැයි දින සැමරුම


අද අපි බොහොම උජාරුවෙන් සමරන ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනයයි. එක්තරා පුවත්පතක පලවූ කාටූනයක සඳහන් වූ සිද්ධියක් අද උදෑසනම මගේ මතයට ආවා. ඒ කාටූනයෙන් කියවුනේ මැයි පළවෙනිදට වැඩකරන ජනතාව දේශපාලකයන් විසින් මුරුංගා ඇත්තට නග්ගන බවත් එයින් පසුවදාම නැවතත් ඔවුන් පරණ පුරුදු තැනටම වැටෙන බවත්. ඒ කාටූනය තුල මැයි දිනය පිළිබඳව ලොකු අදහසක් ගැබ් වී තිබුන බව මගේ අදහසයි. ඇත්තටම කම්කරු ජනතාව තමන්ගේ කරමතින් තමන්ගේ නියෝජිතයන් බලයට පත් කරගත්තු කාලේ පටන්ම සිදු වෙච්ච සිදුවීමක් එයින් පිළිබිඹු උනා කියල කිව්වට වරදක් නෑ. ඒ තමයි කම්කරු දිනය දේශපාලකයන්ගේ තවත් එක දිනයක් බවට පත් වීම.


මැයි දිනය සමරනු ලබන්නේ 1886 වසරේ මැයි 1 වනදා චිකාගෝ නගරයේ කම්කරු විරෝධතාවයකට වෙඩි පොලිසියෙන් වෙඩි තැබූ අවස්ථාවේ මියගිය කම්කරුවන් සැමරීමටයි. 1889 වසරේදී දෙවන ජාත්‍යන්තරය රැස් වූ අවස්ථාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව තමයි 1890 පටන් මැයි දිනය සැමරීමට පටන් ගත්තේ. වම් පැත්තේ පින්තූරයෙන් පෙනෙන්නේ 1899 ස්වීඩනයේ පැවති මැයි රැළියක්. කොහොම උනත් මැයි දිනය සඳහා හේතු වූ ඇමරිකා එක්සත් ජනපදයේ මැයි දිනය සමරන්නේ නෑ. ඒ වෙනුවට සැප්තැම්බරයේදී ඔවුන් "කම්කරු දිනය" නමින් දිනයක් සමරනවා.

ලංකාවේ කම්කරු ව්‍යාපාරය පිබිදීමත් සමඟ මැයි දිනයත් සැමරීම ආරම්භ උනා. මේ අනුව ලංකාවේ පළමුවෙන් මැයි දිනය සමරනු ලැබුවේ 1933 දී ඒ. ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන්. ලංකා සම සමාජ පක්ෂය බිහි වුනේ ඉන් අවුරුදු දෙකකට පසුවයි. දෙවන ලෝක යුද්ධය සමයේ යම් පසු බෑමකට ලක් වුනත් ලංකාවේ කම්කරු ව්‍යාපාරය 1930 දශකයේත් 1945 න් පසුවත් බොහොම ක්‍රියාකාරී තත්වයක පසු වුනා. කෙසේ නමුත් මැයි දිනයට රජයේ අනුග්‍රහය ලැබුනේ 1956 දී. වසර ගණනාවක් තිස්සේ ලෝකයේ කම්කරු ජනතාවගේ ඉල්ලීමක් වූ පැය අටේ වැඩ දිනය ලංකාවේ වැඩ කරන ජනතාවට හිමි වුනෙත් මැයි දිනය නිවාඩු දිනයක් වුනෙත් බණ්ඩාරනායක මහතා බලයට පත් වූ 56 පෙරළියෙන් පස්සේ.

මේ වනවිට ලෝකයේ "වැඩකරන ජනතාවගේ රාජ්‍යයන්" ගණනාවක්ම නිර්මාණය වෙලයි තිබුනේ. 1917 දී බෝල්ෂෙවික් විප්ලවයෙන් ලෝකයේ පළමු කම්කරු රාජ්‍යය රුසියාවේ බිහි වුනා. තවත් රටවල් කිහිපයකම කෙටි කාලයක් පැවති "සෝවියට් රාජ්‍යයන්" බිහි වුනත් ඒවා බොහොමයක් වැඩිකල් පැවතුනේ නෑ. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක්ම සෝවියට් හමුදා විසින් "නිදහස් කරගන්න ලද" පසු, ඒ රටවලත් කොමියුනිස්ට් පාලනයක් බිහි වුනා. මේ අතරේ 1949 වසරේදී චීනයත් මහජන චීනය බවට පත් වුනා. නාමිකව නිර්ධන පාන්තික ආඥාදායකත්වයක් පවතින කම්කරුවන්ගේ රාජ්‍යයන් වුනත් ඒවායේ ඇත්තටම පැවතුනේ බලයේ සිටින්නන් විසින් විකුර්ති කරන ලද සමාජවාදයක්. ඒ නායකයන්ට මැයි දිනය තවත් එක සැමරුමක් පමණක් වුනා. එහිදී ඇතැම් රටවල් මැයි දිනය සමරුවේ තමන්ගේ හමුදා ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන හමුදා පෙළපාලිවලින්. එය තවත් එක දේශපාලන සංදර්ශනයක් පමණක් වුනා.

මැයි පළවෙනිදා අද වෙනකොට ලංකාවෙත් සාමාන්‍ය දේශපාලන සංදර්ශනයක් පමණක් වෙලා තියෙනවා. රට පුරාම අද මැයි රැලි ගණනාවක් පැවතුනා. බලයේ ඉන්න අයත්, බලයේ නැති නමුත් බලයට එන්න දඟලන අයත්, කවදාවත් බලයට එන්න බැරි අයත් ආදී සියල්ලෝම අද වැඩ කරන ජනතාව කර මතින් අරගෙන යනවා. බලයට එන්න හදන අය සහ සමාජවාදී කියල කියාගන්නා අය තමයි වැඩිපුරම වැඩකරන ජනයා වෙනුවෙන් කෑ මොර දෙන්නේ. නමුත් ඒ කෑ ගැසීම් නිෂ්පල ඒවා බව පැහැදිලියි. බලයට එන්න හදන අයට එතකල් කරන්න පුළුවන් දෙයක් නෑ. බලයට ආවට පස්සේ ඔවුන් කරන දෙයකුත් නෑ. බලයට එන්න බැරි නමට සමාජවාදී අයට කොහොමත් කරන්න පුළුවන් දෙයක් නෑ.

අද රටේ පවතින තත්ත්වය බලපුවහම වැඩකරන ජනතාවට සතුටු වෙන්න පුලුවන්ද කියන සැකය මතු වෙනවා. එදා දිනාගන්නා ලද අයිතීන් බොහොමයක් අද විවිධ ක්‍රම වලින් ඇතැම් අයට නැති වී තිබෙනවා. ඊට හොඳම උදාහරණ තමයි (බොහොමයක්) ඇඟලුම් කර්මාන්තශාලා. ඒ වගේම, ලෝක ආර්ථික අවපාතයත් අපිට යම් පමණකට නරක විදියට බලපාල තියෙනවා. තෙල් මිල හේතුවෙන් බොහොමයක් භාණ්ඩ සහ සේවාවල මිල ඉහල යාම නිසා ජීවත්වීම සඳහා බොහොමයක් දෙනාට ලොකු සටනක් දෙන්නට සිදුවී තිබෙනවා. එවැනි තත්වයක් හමුවේ මැයි දිනය තවත් එක සංදර්ශනයක් බව පැහැදිලියි. කොහොම උනත් අපිට හිත හදාගන්න පුළුවන් හේතුවක් තියෙනවා. මේ තත්ත්වය අපේ රටට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ලෝකය පුරාම අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙන දෙයක්.