Tuesday, May 11, 2021

මාධ්‍ය හමුවකදී බර්ලින් තාප්පය බිඳවැටුණ හැටි

1989 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ වෙද්දි නැගෙනහිර ජර්මනියෙ කොමියුනිස්ට් පාලනයට එරෙහි උද්ඝෝෂණ ඔඩුදුවමින් තිබ්බෙ. ලක්ෂ ගණන් මහ මග විරෝධතාවල. අවුරුදු දහ අටක් රට පාලනය කරපු එරික් හොනෙකර්ව අයින් කරලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන්න රජය කටයුතු කරල තිබ්බත් එය ප්‍රමාණවත් වෙලා තිබුණෙ නැහැ.

මේ අනුව 1989 නොවැම්බර් 9 වෙනිදා පාලක SED පක්ෂය තීරණය කළේ සංචරණ නීති වෙනස් කරමින් බර්ලින් තාප්පය විවෘත කළයුතු බවයි. නමුත් එක්වරම නෙවෙයි. ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව.

මේ දිනවල, අලුත් ප්‍රතිසංස්කරණ යටතේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මෙන් කටයුතු කළේ ගුන්තර් ෂබොව්ස්කි. නව සංචරණ නීති පිළිබඳ සටහනක් පක්ෂයේ මහ ලේකම් ඊගොන් ක්‍රෙන්ට්ස් විසින් ෂබොව්ස්කි වෙත ලබාදුන්නා. ෂබොව්ස්කි මෙම සීමා ලිහිල් කිරීම පිළිබඳ රැස්වීමේ හිටියෙ නැහැ. ඒ නිසා මේවා දැනට හෙළි නොකළ යුතු බව ඔහු දැන සිටියෙත් නැහැ. එදා මාධ්‍ය හමුවෙදි ඔහු මේ නව සංචරණ නීති ගැන කියා සිටිමින් නැගෙනහිර ජර්මානුවන්ට බර්ලින් තාප්පය හරහා ගමන් කරන්න ඉඩ දෙන බව ප්‍රකාශ කළා.


මෙය අදහාගන්න බැරි ප්‍රකාශයක් වුණා. ඒ නිසාම මාධ්‍යවේදියෙක් ඇහුවා මෙය කවදා ඉඳන් බලපැවැත්වෙනු ඇතිද කියා. මේ ගැන කිසිවක් හරියට නොදත් ෂබොව්ස්කි සිය අත වූ සටහන බැලුවා. එහි කිසිවක් නැහැ.

"මා දන්නා පරිදි දැන් ඉඳන්" ෂබොව්ස්කි කිව්වා.

එයින් පසු නැගෙනහිර ජර්මානුවන් වැල නොකැඩී තාප්පය වෙත පැමිණියා. ඔවුන් ආපහු හරවන්න හැකි බලයක් මෙලොව වූයේ නැහැ.

බර්ලින් තාප්පයේ සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න​: බර්ලින් තාප්පය බිඳ වැටීම-1989 නොවැම්බර් 09

No comments:

Post a Comment