Tuesday, May 18, 2021

2021 රුසියාවේ විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගය

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණය රුසියානුවන් විසින් සමරනු ලබන්නේ මැයි 9 වෙනිදායි. මෙවරත් දෙවන වතාවට කොළඹ රුසියානු මන්දිරය (කලින් රුසියානු මධ්‍යස්ථානය​) විසින් ඒ වෙනුවෙන් ඔන්ලයින් ප්‍රශ්නෝත්තර තරගයක් පැවැත්වූවා.


එහි ප්‍රශ්න සහ පිළිතුරු මෙහි දැක්වෙනවා.

Q 1

1. නට්සි ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම​, එනම් බාබරෝසා මෙහෙයුම, ආරම්භයේදී, පළමුවෙන්ම සෝවියට් දේශසීමාව තරණය කළ ජර්මන් පාබල ඒකකය ලෙස සැලකෙන්නෙ එක්තරා විශේෂ බලකායක්. මෙම ඒකකය විශේෂ මෙහෙයුම් සඳහාම අරඹන ලද එකක්. ජර්මන් නගරයක් සහ පළාතක නමින් මෙය සාමාන්‍ය ව්‍යවහාරයෙදී හඳුන්වනවා. මෙම ඩිවිෂනයේ නම කුමක්ද​?

Q 2

2. දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ ගැන තියෙන එක් දුර්මතයක් තමයි සෝවියට් හමුදා ජර්මානුන්ට උපක්‍රමිකව රට ඇතුලට එන්න දුන්නා කියන එක. ඇත්ත කාරණේ ඊට හාත්පසින්ම වෙනස්. සෝවියට් හමුදාවන්ට පසුබසින්න අණ ලැබුණෙ ඉතා කලාතුරකින්. එමෙන්ම බොහෝවිට ඔවුන්ට ජර්මානුන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අණ ලැබුණා. මුල් කාලෙ එවන් ප්‍රහාර බොහොමයක් අසාර්ථක වුණා.

සෝවියට් හමුදා තමුන්ට අහිමි වූ ප්‍රදේශයක් ආපහු අල්ලගත්තු පළමු අවස්ථාව ලෙස සැලකෙන්නෙ 1941 අගෝස්තු - සැප්තැම්බර් කාලෙ සිදුවූ යෙල්නයා මෙහෙයුමයි. එහිදී එම නගරය අල්ලාගෙන ජර්මානුන් කිලෝමීටර් 25 ක් පමණ පසුප්සට තල්ලු කරන්න සෝවිය්ට් සේනා සමත් වුණා.

ජර්මානුන් අතට පත්වූ විශාල ප්‍රමාණයේ නගරයක් මුදවාගත් පළමු අවස්ථාව සිදුවුණේ 1941 සුප්‍රකට මොස්කව් සටනට සතියකට පමණ කලින්. ඒ දකුණුදිග රුසියාවේ පිහිටි ප්‍රකට නගරයක්. එසේ මුදාගත් නගරය කුමක්ද?

Q 3

3. 1941 දී මොස්කව් නගරය ආසන්නයට ජර්මන් හමුදා පැමිණෙද්දී නගරයේ මෙත්‍රො නැවතුම්පළවල් ආරක්ෂිත ස්ථාන බවට පත්වුණා. වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම කඩ සාප්පු ආදිය ද මේවායේ ක්‍රියාත්මක වූ බව සඳහන්. වෙනකක් තබා ප්‍රසූතිකාගාර පවා මේවායේ ක්‍රියාත්මක වී තිබෙනවා.

1941 නොවැම්බර් 6 වනදා, බල්ෂවික් විප්ලවයේ 24 වන සංවත්සරයට දිනකට පෙර, සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් මෙත්‍රො නැවතුමකට පැමිණියේ මොස්කව් නාගරික සභාවේ සාමාජිකයන් ඇමතීමටයි. ඒ සඳහා වේදිකාවක් වෙනමම ඉදි කරනු ලැබුණා. මෙසේ ඔහු මොස්කව් නගර සභිකයන් අමතා කතාව පැවැත්වූ ප්‍රකට මෙත්‍රො නැවතුම කුමක්ද?

Q 4

4. ජර්මන් හමුදා මොස්කව් දෙසට පැමිණෙද්දී, නගරය අහිමි වුවහොත් යන අවදානමට සෝවියට් රජය සූදානම් වුණා. ඒ අනුව එකල කුයිබිශෙෆ් යන නමින් හඳුන්වන ලද නගරයට අගනුවර ගෙන යාමේ සැලසුම් සකස් කෙරුණා. එය එකල වොල්ගා මිලිටරි දිස්ත්‍රික්කයේ මූලස්ථානය ද වුණා.

කුයිබිශෙෆ් නගරය වර්තමානයේ හඳුන්වන්නේ කවර නමින් ද?

Q 5

5. ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය අළලා නිර්මාණය වූ චිත්‍රපට අතුරින් ජනප්‍රිය සෝවියට් චිත්‍රපටයක් වන්නේ А зори здесь тихие (අ සෝරි ස්දේස් තීහියෙ - The Dawns Here are Quiet) ය. 1942 වසරේ කරේලියාවේ ස්ථානගතව සිටින කාන්තා ගුවන් යානා නාශක කණ්ඩායමක් සහ එහි ප්‍රධානියා වන හමුදා නිලධාරියකු අනපේක්ෂිත ජර්මන් කණ්ඩායමකට මුහුණදෙන ආකාරය පිළිබඳ මෙම චිත්‍රපටයෙන් කියැවේ.

මෙම චිත්‍රපටයට පාදක වූයේ А зори здесь тихие නමින් ම පළ වූ කෘතියකි. එය "නිහඬ හිමිදිරි" නමින් සිංහලයට ද පරිවර්තනය වී තිබේ. මෙම කෘතිය රචනා කළ සෝවියට් ලේඛකයා කවරෙක්ද?

Q 6

6. ජර්මන් ආක්‍රමණයේ මුල් අවස්ථාවලදී ජර්මන් ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් සෝවියට් ගුවන් හමුදාවලට විශාල හානි සිදුවුණා. මෙම අවදානම් සහගත අවස්ථාවේ සෝවියට් නායකත්වය තීරණය කළේ කාන්තා නියමුවරියන්ගෙන් යුතු විශේෂ ඒකක කිහිපයක් ද පිහිටුවීමට යි. මේවායේ ඇතැම් කාන්තා නියමුවරියන් සෝවියට් ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදුන්නා.

මේ කාන්තාවන් අතර විශිෂ්ටතම ප්‍රහාරක නියමුවරිය ලෙස සැලකෙන්නේ 1943 අගෝස්තු 1 වනදා මියගිය තරුණියක්. ඇය මියයනවිට වයස අවුරුදු 22 සම්පූර්ණ වී තිබුණේ ද නැහැ. ප්‍රහාරක මෙහෙයුම් 168 කදී තනිව සතුරු යානා 12 ක් බිමදැමූ ඇය තවත් යානා හතරක් බිම දැමීමට දායක වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ සාර්ථකම ප්‍රහාරක නියමුවරිය ලෙස සැලකෙන්නේ ඇයයි. ඇය හඳුනාගන්න.

Q 7

7. රුසියාවේ කළු මුහුදු බලකායේ ඉතිහාසය 1783 දක්වා දිවෙන්නේ යයි සැලකෙනවා. දෙවන ලෝක යුද්ධයේදී කළු මුහුදු ප්‍රදේශයේ ජර්මන් ආක්‍රමණයන්ට එරෙහි මෙහෙයුම්වලදී මෙන්ම සෝවියට් ප්‍රතිප්‍රහාරයන්වලදී විශාල කාර්යයභාරයක් කළු මුහුදු නාවික බල ඇණිය අතින් සිදුවුණා. මේ අතරින් 1941 ඔඩෙස්සා වටලෑමේදී සහ 1941-42 සෙවස්තෝපල් වටලෑමේදී එය අතින් ඉටුවූ කාර්යයභාරය සුවිශේෂී වුණා. එම සටන්වලදී කළු මුහුදු බලකායට නායකත්වය දුන් සෝවියට් අද්මිරාල්වරයා කවරෙක්ද?

Q 8

8. 1943 වසරේ සිදුවූ කුර්ස්ක් සටනේ අවසන් සතිවලදී කුර්ස්ක් අඩකවයෙන් දකුණු කොටසේ සිට සෝවියට් ප්‍රතිප්‍රහාරයක් දියත් කරන ලදී. අගෝස්තු 3 වනදා අරඹන ලද එහි අවසන් අරමුණ වූයේ යුක්‍රේනයේ දෙවන විශාලම නගරය වන ක්‍රාකෆ් මුදා ගැනීමයි. අගෝස්තු 23 වනදා එම නගරය මුදාගත් අතර එදින සමස්ථ කුර්ස්ක් සටන නිල වශයෙන් අවසන් වූ දිනය ලෙස සැලකෙයි.

මෙම සෝවියට් මෙහෙයුම හඳුන්වන ලද්දේ 18 වන සියවස ජීවත් වූ ප්‍රකට ෆීල්ඩ් මාර්ෂල්වරයකුගේ නමිනි. ඔහු කවරෙක්ද?

Q 9

9. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 1965 වසරේ විජයග්‍රහණයේ දින සැමරුමට එවකට සෝවියට් ආරක්ෂක ඇමතිවරයා සහභාගී වූ අයුරුයි. ඔහු දෙවන ලෝක යුධ සමයෙහි දෙවන යුක්‍රේනියානු පෙරමුණේ අණදෙන නිලධාරියා ලෙස රුමේනියාව​, හන්ගේරියාව​, ස්ලොවැකියාව සහ ඔස්ට්‍රියාව ආදී රටවල් ෆැසිස්ට්වාදීන්ගෙන් මුදාගැනීමේදී විශාල කාර්යයභාරයක් කළා. ඔහු හඳුනාගන්න​.

Q 10

10. 1945 අප්‍රේල් 25 වනදා ජර්මනියේ එල්බ් නදීබඩ ටෝර්ගවු නගරය අසළදී සෝවියට් සහ ඇමරිකන් හමුදා අතර හමුව දෙවන ලෝක යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක්. එහිදී ජර්මනියේ ඉතිරිව තිබුණු කොටස් දෙකඩ වුණා. මෙහි දැක්වෙන ඡායාරූපය එම අවස්ථාව සනිටුහන් කිරීමට ගත් නිල ඡායාරූපයයි.

මෙම හමුව සිදුවූ ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය සෙබළුන්ද වූ බව සඳහන්. නමුත් නිල වශයෙන් සෝවියට් සහ බ්‍රිතාන්‍ය සෙබළුන් අතර හමුවීම සිදුවූයේ මීට දින කිහිපයකට පසු උතුරු ජර්මන් නගරයක් වූ විස්මාර්හි දී.

1945 මැයි 7 වනදා බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් මොන්ට්ගොමරි සහ සෝවියට් මාර්ෂල්වරයකු විස්මාර් නගරයේදී හමුවුණා. එම සෝවියට් මාර්ෂල්වරයා කවුද?

පිළිතුරු

1. බ්‍රැන්ඩන්බර්ග් ඩිවිෂනය​

2. රස්තෝෆ් නා දොන්

3. මයකෝව්ස්කයා

4. සමාරා

5. බරිස් වසිල්යේෆ්

6. ලිඩියා ලිත්ව්‍යාක් 

7. ෆිලිප් ඔක්ත්‍යාබර්ස්කි

8. ෆීල්ඩ් මාර්ෂල් පියෝතර් රුම්යාන්ත්සෆ් (එසේත් නැත්නම් රුම්යාන්ත්සෆ්-සදුනයිස්කි)

9. රදියෝන් මලිනෝව්ස්කි

10. කොන්ස්තන්තීන් රකසෝව්ස්කි

Tuesday, May 11, 2021

මාධ්‍ය හමුවකදී බර්ලින් තාප්පය බිඳවැටුණ හැටි

1989 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ වෙද්දි නැගෙනහිර ජර්මනියෙ කොමියුනිස්ට් පාලනයට එරෙහි උද්ඝෝෂණ ඔඩුදුවමින් තිබ්බෙ. ලක්ෂ ගණන් මහ මග විරෝධතාවල. අවුරුදු දහ අටක් රට පාලනය කරපු එරික් හොනෙකර්ව අයින් කරලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන්න රජය කටයුතු කරල තිබ්බත් එය ප්‍රමාණවත් වෙලා තිබුණෙ නැහැ.

මේ අනුව 1989 නොවැම්බර් 9 වෙනිදා පාලක SED පක්ෂය තීරණය කළේ සංචරණ නීති වෙනස් කරමින් බර්ලින් තාප්පය විවෘත කළයුතු බවයි. නමුත් එක්වරම නෙවෙයි. ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව.

මේ දිනවල, අලුත් ප්‍රතිසංස්කරණ යටතේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මෙන් කටයුතු කළේ ගුන්තර් ෂබොව්ස්කි. නව සංචරණ නීති පිළිබඳ සටහනක් පක්ෂයේ මහ ලේකම් ඊගොන් ක්‍රෙන්ට්ස් විසින් ෂබොව්ස්කි වෙත ලබාදුන්නා. ෂබොව්ස්කි මෙම සීමා ලිහිල් කිරීම පිළිබඳ රැස්වීමේ හිටියෙ නැහැ. ඒ නිසා මේවා දැනට හෙළි නොකළ යුතු බව ඔහු දැන සිටියෙත් නැහැ. එදා මාධ්‍ය හමුවෙදි ඔහු මේ නව සංචරණ නීති ගැන කියා සිටිමින් නැගෙනහිර ජර්මානුවන්ට බර්ලින් තාප්පය හරහා ගමන් කරන්න ඉඩ දෙන බව ප්‍රකාශ කළා.


මෙය අදහාගන්න බැරි ප්‍රකාශයක් වුණා. ඒ නිසාම මාධ්‍යවේදියෙක් ඇහුවා මෙය කවදා ඉඳන් බලපැවැත්වෙනු ඇතිද කියා. මේ ගැන කිසිවක් හරියට නොදත් ෂබොව්ස්කි සිය අත වූ සටහන බැලුවා. එහි කිසිවක් නැහැ.

"මා දන්නා පරිදි දැන් ඉඳන්" ෂබොව්ස්කි කිව්වා.

එයින් පසු නැගෙනහිර ජර්මානුවන් වැල නොකැඩී තාප්පය වෙත පැමිණියා. ඔවුන් ආපහු හරවන්න හැකි බලයක් මෙලොව වූයේ නැහැ.

බර්ලින් තාප්පයේ සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න​: බර්ලින් තාප්පය බිඳ වැටීම-1989 නොවැම්බර් 09

Saturday, May 8, 2021

විලියම් ඩැල්රිම්පල් - Return of a King (රජකුගේ පුනරාගමනය​)

1830 දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍යය හමුදාවක් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේය​. එම හමුදාවේ අභිප්‍රාය වූයේ සඩොසායි රජ පෙළපතේ ශා ෂුජා යළි ඇෆ්ඝනිස්ථානයේ රජ බවට පත් කරවීමයි. මෙම ව්‍යායාමය ආරම්භයේදී එම හමුදා කන්දහාර් වෙත ගමන් කරන අතරතුර​, කලාත් ප්‍රදේශයේ පාලකයාගේ සහය අපේක්ෂාවෙන්, බ්‍රිතාන්‍ය නිලධාරියකු සහ ඔත්තුකරුවකු ද වූ සර් ඇලෙක්සැන්ඩර් බර්න්ස් ඔහු හමුවීමට ගියේය​. කලාත් හි පාලක මෙහ්රාබ් ඛාන් එම ඉල්ලීම ප්‍රතික්ශේප කළේය​.

බර්න්ස් යළි පිටත්වීමට සැරසෙද්දී මෙහ්රාබ් ඛාන් ඔහුගෙන් විමසූයේ ඇෆ්ඝන් ඉතිහාසය මනාව පැහැදිලි කරන ඓතිහාසික පැනයකි.

"ඔබ මෙරටට හමුදාවක් ගෙනවිත් තිබේ. දැන් එය ආපසු රැගෙන යන්නට හිතාගෙන ඉන්නේ කෙසේද​?"


බ්‍රිතාන්‍යය විසින් සිදු කරන ලද විනාශකාරී වූ ඇෆ්ඝන් ආක්‍රමණය පිළිබඳ, කළින් නොලියූ ආකාරයේ පොතක් ලිවීමේ අටියෙන් විලියම් ඩැල්රිම්පල් මෙම කෘතිය රචනා කිරීම ඇරඹීය​. ඔහු මෙහිදී බ්‍රිතාන්‍ය​, ඉන්දියානු, ඇෆ්ඝන් සහ රුසියානු යනාදී මූලාශ්‍ර යොදාගන්නා අතර ඇෆ්ඝනිස්ථානයේ සටන් සිදුවූ ප්‍රදේශවලට ද ගොස් එම සටන් බිම් හැබැහින් දැක ගත්තේය​. මෙය එහි ප්‍රතිඵලයයි.

මෙම කෘතිය රුසියානු - බ්‍රිතාන්‍ය බල අරගලය​, ඇෆ්ඝනිස්ථානය නූතන රාජ්‍යයක් ලෙස නිර්මාණය වීම මෙන්ම පසුකාලීන සෝවියට් සහ ඇමරිකානු ප්‍රමුඛ බටහිර රටවල ඇෆ්ඝන් යුධ මෙහෙයුම් පිළිබඳව ද වටහා ගැනීමට මනා පිටුබලයකි.

ප්‍රකාශක​: Bloomsbury

ප්‍රකාශන වර්ෂය: 2013

චිත්‍රපටය​: සෙවස්තෝපල් සඳහා සටන​

දෙවන ලෝක යුද්ධයේ ස්නයිපර්වරුන් ගැන මතක් කරද්දි සෝවියට් ස්නයිපර්වරියන් ගැන අමතක කරන්න බැහැ. ඒ අතරිනුත් විශිෂ්ටම ස්නයිපර් වෙඩික්කාරියක ලෙස සැලකෙන ලුද්මීලා පව්ලිචෙන්කෝ පාදක කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් තමයි බීත්ව ස සෙවස්තෝපල් (සෙවස්තෝපල් සඳහා සටන​).


මෙම කතාව මූලික වශයෙන් ජර්මන් ආක්‍රමණය පටන් ගත් තැන සිට සෙවස්තෝපල් සටනේ අවසන් කාලය වෙතත්, පව්ලිචෙන්කෝ ඇමරිකාවේ කළ සංචාරයටත් විටින් විට අවධානය යොමු කරමින් දිවෙන කතාවක්. මෙහි පව්ලිචෙන්කෝගේ ජීවිත විස්තර බොහෝ සේ වෙනස් කර තිබෙන නිසා ඇගේ ජීවිත කතාව මෙයින් ඉගෙනගන්න උත්සාහ නොකළ යුතුයි. කෙසේ වෙතත්, ඇය ඉතා කෙටි කලක් තුළ සතුරු හමුදාවන් හි 300 ක් ඉක්මවූ පිරිසක් සිය තුවක්කුවට ඉලක්ක කරගත් බව සත්‍යයක්. එමෙන්ම ඉතා විශාල අභියෝග මැද සෝවියට් සේනාංක සෙවස්තෝපල් නගරය ආරක්ෂා කරගන්නට කළ දැවැන්ත අරගලය පිළිබඳ ඔබට මෙහිදී දකින්න පුළුවනි.

මෙහි තේමා ගීතය ලෙස යොදාගෙන ඇත්තේ රුසියාවේ සුප්‍රකට තරුණ ගායිකාවක වන පලීනා ගගාරිනා ගයන "කුකුෂ්කා" ගීතයයි. එය පැරණි ගීයක නව සංස්කරණයක්. මුල් ගීතය ගයන ලද්දේ 80 දශකයේ සුප්‍රකට සෝවියට් තරුණ ගායක තාරකාව වූ වික්තර් ත්සෝයි විසින්.

ෆිල්ම් එකේ ජවනිකා සමග කුකුෂ්කා ගීතය​:



Tuesday, May 4, 2021

චිත්‍රපටය: උණු හිම

1972 දී තිරගත වූ මෙම සෝවියට් චිත්‍රපටය මගින් අප රැගෙන යන්නේ 1942 දෙසැම්බර් මාසය වෙත ය. එම වසරේ නොවැම්බර් 19 වනදා ක්‍රියාත්මක කරන ලද යුරේනස් මෙහෙයුම මගින් සෝවියට් හමුදා විසින් ස්තලින්ග්‍රාද් හි සිටි ජෙනරල් ෆොන් පවුලුස්ගේ 6 වන ජර්මන් හමුදාව වටලන ලදී. වටලෑම කඩාගෙන එන්නට පවුලුස් අවසර පැතුවද හිට්ලර් එම අවසරය නුදුන්නේ ය. ඒ වෙනුවට ඔහු කළේ ජෙනරල් එරික් ෆොන් මැන්ස්ටයින් යටතේ විශාල යුධ ටැංකි සංඛ්‍යාවක් ද සහිත සේනාංකයක් ස්තලින්ග්‍රාද් දෙසට එවීම ය. මැන්ස්ටයින් බලාපොරොත්තු වූයේ සෝවියට් වටලෑම බිඳගෙන ස්තලින්ග්‍රාද් වෙත කඩා වැදීමට ය.


ජර්මානුන් විසින් විශාල සේනාංකයක් එව්වද, ඔවුන් මෙම ප්‍රදේශයේ තමන් සතු උපරිම ශක්තිය මේ සඳහා යොදන බව සෝවියට් හමුදා නායකත්වයට පෙනී ගිය බව දිස් විය. එහෙයින් සිය අතිරේක හමුදා සටනට එවීම හැකි තරම් ප්‍රමාද කර, තමන් සතු සේනාංකවලින් මැන්ස්ටයින්ගේ ප්‍රහාරය මැඩලීම සෝවියට් නායකත්වයේ බලාපොරොත්තුව විය.

මෙසේ මැන්ස්ටයින්ගේ දැවැන්ත යුධ ටැංකි හමුදාව නවත්වාගැනීම සඳහා යොදවන ලද යුධ ටැංකි නාශක බතරොයියක පැය කිහිපයක දැවැන්ත අරගලය​ පිළිබඳ Горячий снег (ගර්යාචි ස්නේග් - උණු හිම) චිත්‍රපටය අපට පෙන්නුම් කරයි.

සුප්‍රකට සෝවියට් ලේඛක යූරි බෝන්දරෙෆ් විසින් රචිත මෙම නමින්ම යුත් නවකතාව උණු හිම චිත්‍රපටයට පාදක වී ඇත. බෝන්දරෙෆ් එම නවකතාව ලියූයේ කාලතුවක්කු හමුදා නිලධාරියකු ලෙස තම අත්දැකීම් ද සහිතව ය.

ගබ්‍රියේල් යෙගියාසරෆ් (Gabriel Yegiazarov) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ යූරි නසාරෆ්, බරීස් තෝකරෙෆ්, අනතෝලි කුස්නෙස්තෝෆ් සහ ගියෝර්ගි ජ්‍යානෆ් ආදීන් ය. සංගීතය ඇල්ෆ්‍රඩ් ෂ්නීත්ක විසිනි.

ඉංග්‍රීසි උපසිරැසි සහිතව බලන්න: 


තේමා සංගීතය​



Monday, May 3, 2021

චිත්‍රපටය​: බර්ලින් වෙත යන මග

සෝවියට් ලේඛක එම්මානුවිල් කසකේවිච් විසින් ලියන ලද කෙටි නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු Дорога на Берлин (දරෝග න බෙර්ලින් - බර්ලින් වෙත යන මග) 2015 දී තිරගත වූ රුසියානු යුධ චිත්‍රපටයකි.

සර්ගේයි පපෝව් (Sergei Popov) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නට්සි ජර්මනිය පරාජය කළ විජයග්‍රහණයේ 70 වන සංවත්සරයට සමගාමීව 2015 මැයි 7 වනදා නිකුත් විය.


මෙහි කතාව ගෙතෙන්නේ ප්‍රධාන චරිත දෙකක් වටාය. ඒ ලුතිනන් සර්ගේයි අගර්කොෆ් සහ ජුර්බයෙෆ් ය. අගර්කොව් යුධ අධිකරණය විසින් මරණ දණ්ඩනයට නියම කරනු ලබන අතර ඔහුව මුර කිරීමට භාර දෙන්නේ කසාක් ජාතික ජුර්බයෙෆ් වෙත ය. මේ අවස්ථාවේ ජර්මානු හමුදා ඔවුන් සිටින ගම්මානය අල්ලාගනිති. අගර්කොෆ්ගේ දණ්ඩනය තහවුරු කිරීමට ජුර්බයෙෆ් ඔහුව හමුදා මූලස්ථානය වෙත ගෙන යා යුතු ය.

අගර්කොෆ්ට පළා යන්නට අවස්ථා ගණනක් ලැබේ. ඔහු පළා යනු ඇතිද? ඔවුන් දෙදෙන හමුදා මූලස්ථානය වෙත යයි ද? එසේ නැතිනම් හමුදා මූලස්ථානය සොයාගෙන බර්ලින් වෙත ම යන්නට වේද? චිත්‍රපටය නැරඹීමෙන් ඔබට එම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත.

ඉංග්‍රීසි උප සිරැසි සමග චිත්‍රපටය නරඹන්න:



Sunday, May 2, 2021

චිත්‍රපටය​: යුද්ධයට යන්නේ “වයසක මිනිසුන්” පමණි

2020 වසරේදී දෙවන ලෝක යුද්ධයේ විජයග්‍රහණයේ 75 වන සංවත්සරයට සමගාමීව Kino Mail.ru වෙබ් අඩවිය විසින් පවත්වන ලද මත විමසුමට අනුව ජනප්‍රියම සෝවියට් යුධ චිත්‍රපටය බවට පත්වූයේ В бой идут одни "старики" (ව් බොයිදූත් අද්නී ස්තරීකි - යුද්ධයට යන්නේ වයසක මිනිසුන් පමණි) යන චිත්‍රපටයයි.


ලියොනිද් බයිකෆ් විසින් අධ්‍යක්ෂණය කරන ලද, 1973 දී තිරගත වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ද බයිකෆ් ය. ප්‍රහාරක ගුවන් යානා බලඝණයක නියමුවන් පිරිසකගේ ජීවිතය අළලා මෙය නිර්මාණය වී ඇත. එම බලඝණය වෙත පියාසර පාසැලෙන් නික්මුනු, යුධ පෙරමුණේ අත්දැකීම් රහිත තරුණ නියමුවන් පිරිසක් එවනු ලබයි. එහෙත් ප්‍රවීණ නියමුවෝ විවිධ කරුණු දක්වමින් ඔවුන් අවදානමට ලක් නොකර සිටිති. වයසක මිනිසුන් පමණක් යුද්ධයට යන්නේය යනු මෙම චිත්‍රපටයේ එන එක් කියමනකි. මෙහි "වයසක මිනිසුන්" යනු ප්‍රවීණයන් යන අදහස දනවන යෙදුමක් මිස වයසින් වැඩි යන අදහස නොවේ.


කෙසේ වෙතත්, තරුණයින්ව සම්පූර්ණයෙන් යුද්ධයෙන් ඉවත තබාගත නොහැක. ඔවුන්ව ද අවශ්‍ය වන අවස්ථාව කෙදිනක හෝ මතුවේ.

බලඝණයෙහි සංගීත කණ්ඩායමක් වෙයි. එහි එන එක් තරුණයකු ඔවුනට ස්මුග්ලියන්කා නම් ගීතය හඳුන්වා දෙයි. එහෙයින් ඔහුට ස්මුග්ලියන්කා යන නම පටබඳින අනෙක් පිරිස ඔහුව විහිළුවට ගනී. එහෙත් එය උපහාසාත්මක විහිළුවක් නොව, ජීවිතය මඳක් සැහැල්ලු කරගන්නට කරන විවිධ දේ අතුරින් තවත් එකකි.

යුද්ධයට යන්නේ වයසක මිනිසුන් පමණි චිත්‍රපටය සඳහා පැරණි රුසියානු හා සෝවියට් ගීත කිහිපයක් යොදාගෙන තිබේ. එයින් ද වඩා ප්‍රකට වූ ගීතය ස්මුග්ලියන්කා ය. සෝවියට් පාර්ටිසාන්වරියන්ට ගෞරව පිණිස එය ලියවුණ නමුත් මුලින් එය එතරම් බැරෑරුම් නැතැයි සලකන ලද බව කියනු ලබයි. කෙසේ වෙතත්, වසර කිහිපයකට පසු, 1944 දී අලෙක්සන්ද්‍රොව් වාද්‍ය වෘන්දය​ විසින් ගායනා කරන ලදුව කලක් ප්‍රකට වූ ස්මුග්ලියන්කා ගීතය මෙම චිත්‍රපටය හේතුවෙන් අතිශයින්ම ජනප්‍රිය විය. (ඓතිහාසික වශයෙන් ගත්කළ, මෙම චිත්‍රපටයට පාදක වන 1943 වසර වනවිට ස්මුග්ලියන්කා ගීය ප්‍රසිද්ධ වේදිකාවේ ගායනා කර නොතිබුණි).

ස්මුග්ලියන්කා ගීතය රතු හමුදා වාද්‍ය වෘන් දය විසින් බල්‍ෂෝයි තියාතර් හි ගයන ලද අවස්ථාවක්:




මෙම චිත්‍රපටයෙහි විශාල සටන්, වීරෝධාර මෙහෙයුම් ආදිය නැත. තනි පුද්ගලයන්ගේ සහ කණ්ඩායමේ සාමූහික උත්සාහයෙන් අභියෝග ජය ගනිමින් හැකි තරම් සතුටින් කල් ගෙවීම මෙම පිරිසගෙන් ප්‍රදර්ශනය වෙයි. එහෙයින් සාමාන්‍ය සෝවියට් යුධ චිත්‍රපටයකින් අප බලාපොරොත්තු වන "බැරෑරුම්" මාතෘකා වෙනුවට මෙහි දිස්වන්නේ ඉතා සරල කතාවකි. එහෙත් යුද්ධයේ අනිටු ඵලයන් ද එම කතාන්දරයට නොවැළැක්විය හැකි ලෙස පැමිණෙයි.


චිත්‍රපටය පුරා දිවෙන්නේ යුද්ධය උත්කර්ශයට නැංවීමට වඩා අනාගතයේදී බිහිවන සාමය පිළිබඳ බලාපොරොත්තුව ය. "යුද්ධ එනවා, යනවා. එහෙත් සංගීතය හැමදාම තිබෙනවා" යනු තිතරෙන්කෝගේ ප්‍රකාශයකි. ඔහු අවසානයේදී දෙන්නේ ද පොරොන්දුවකි. එනම් යුද්ධය අවසන් වූ පසු ආපසු පැමිණ ස්මුග්ලියන්කා ගීතය ගයන පොරොන්දුව ය.

චිත්‍රපටය ඉංග්‍රීසි උප සිරැසි සමග බලන්න​: