Saturday, May 8, 2021

විලියම් ඩැල්රිම්පල් - Return of a King (රජකුගේ පුනරාගමනය​)

1830 දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍යය හමුදාවක් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේය​. එම හමුදාවේ අභිප්‍රාය වූයේ සඩොසායි රජ පෙළපතේ ශා ෂුජා යළි ඇෆ්ඝනිස්ථානයේ රජ බවට පත් කරවීමයි. මෙම ව්‍යායාමය ආරම්භයේදී එම හමුදා කන්දහාර් වෙත ගමන් කරන අතරතුර​, කලාත් ප්‍රදේශයේ පාලකයාගේ සහය අපේක්ෂාවෙන්, බ්‍රිතාන්‍ය නිලධාරියකු සහ ඔත්තුකරුවකු ද වූ සර් ඇලෙක්සැන්ඩර් බර්න්ස් ඔහු හමුවීමට ගියේය​. කලාත් හි පාලක මෙහ්රාබ් ඛාන් එම ඉල්ලීම ප්‍රතික්ශේප කළේය​.

බර්න්ස් යළි පිටත්වීමට සැරසෙද්දී මෙහ්රාබ් ඛාන් ඔහුගෙන් විමසූයේ ඇෆ්ඝන් ඉතිහාසය මනාව පැහැදිලි කරන ඓතිහාසික පැනයකි.

"ඔබ මෙරටට හමුදාවක් ගෙනවිත් තිබේ. දැන් එය ආපසු රැගෙන යන්නට හිතාගෙන ඉන්නේ කෙසේද​?"


බ්‍රිතාන්‍යය විසින් සිදු කරන ලද විනාශකාරී වූ ඇෆ්ඝන් ආක්‍රමණය පිළිබඳ, කළින් නොලියූ ආකාරයේ පොතක් ලිවීමේ අටියෙන් විලියම් ඩැල්රිම්පල් මෙම කෘතිය රචනා කිරීම ඇරඹීය​. ඔහු මෙහිදී බ්‍රිතාන්‍ය​, ඉන්දියානු, ඇෆ්ඝන් සහ රුසියානු යනාදී මූලාශ්‍ර යොදාගන්නා අතර ඇෆ්ඝනිස්ථානයේ සටන් සිදුවූ ප්‍රදේශවලට ද ගොස් එම සටන් බිම් හැබැහින් දැක ගත්තේය​. මෙය එහි ප්‍රතිඵලයයි.

මෙම කෘතිය රුසියානු - බ්‍රිතාන්‍ය බල අරගලය​, ඇෆ්ඝනිස්ථානය නූතන රාජ්‍යයක් ලෙස නිර්මාණය වීම මෙන්ම පසුකාලීන සෝවියට් සහ ඇමරිකානු ප්‍රමුඛ බටහිර රටවල ඇෆ්ඝන් යුධ මෙහෙයුම් පිළිබඳව ද වටහා ගැනීමට මනා පිටුබලයකි.

ප්‍රකාශක​: Bloomsbury

ප්‍රකාශන වර්ෂය: 2013

2 comments:

  1. //"ඔබ මෙරටට හමුදාවක් ගෙනවිත් තිබේ. දැන් එය ආපසු රැගෙන යන්නට හිතාගෙන ඉන්නේ කෙසේද​?"//
    වැකි දාහක්- දෙකකින්.

    ReplyDelete