Thursday, January 24, 2013

ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරයේ ඉතිහාසය සැකෙවින්

බටහිර බෙංගාලයේ නැක්සල්බාරි ගම්මානය නොවන්නට නැක්සලයිට්වරුනට ඒ නම නොලැබෙන්නේය. ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශය එරට අනෙකුත් ප්‍රදේශය හා යා කෙරෙන සිලිගුරි කොරිඩෝරය නම් පටු බිම් පෙදෙස ආසන්නයේම මෙම ගම්මානය පිහිටා ඇත.සාමාන්‍ය ලෝක සිතියම් පොතක නම් මෙම කුඩා ගම්මානය හමු නොවේ. නමුත් ඉන්දියානු මාවෝවාදීන්ගේ ඉතිහාසයේ සහ ඔවුනගේ ප්‍රකාශනවල මෙම ගම්මානයට මහා නගරයකට මෙන් වැදගත්කමක් ලැබෙන්නේය. ඊට හේතුව ඉන්දීය රජයට එරෙහි ඔවුනගේ සන්නද්ධ අරගලය ඇරඹුණේ එම ගම්මානයෙන් වන නිසාය.

1960 මැද භාගය වනවිට බීජිං-මොස්කව් මත ගැටුම ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය දෙකඩ කිරීමට සමත් විය. 1964 වසරේදී එම දෙකඩ වීමත් සමඟ වඩා විශාල පිළ චීනයට හිතවත් ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්තේය. එය අදටත් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සම්බන්ධව පවතින විශාලතම කොමියුනිස්ට් පක්ෂය වේ. මෙමෙ පක්ෂය ආරම්භයේදීම එය තුල ක්‍රියාත්මක වූ වඩා රැඩිකල්වාදී කණ්ඩායමක් විය. එහි ප්‍රමුඛතම නායකයා වූයේ බෙංගාලි ජාතිකයකු වූ චාරු මසුම්දාර්ය. ඔහු මාඕ සේතුංගේ මතවාදය හා කෙතරම් එකඟ වීද යත් "ඉන්දීය විප්ලවයේ මූලික පදනම වන්නේ ගොවිජන විප්ලවයයි" යනුවෙන් වරක් ප්‍රකාශ කළේය. මැතිවරණ යනු ධනපති පන්තියේ ප්‍රෝඩාකාරී රැවටීමක් බව විශ්වාස කල ඔහු සහ ඔහුගේ අනුගාමිකයෝ, සිය පක්ෂය මැතිවරණවලට තරඟ කිරීමට ගත් තීරණය නිර්දය ලෙස විවේචනය කළහ. මසුම්දාර් විශ්වාස කලේ ඉන්දියානු ගොවි ජනතාව විප්ලවයකට සූදානමින් සිටින බවත් එක ගිනි පුපුරකින් එය ඇවිලී යනු ඇති බවත්ය.

චාරු මසුම්දාර්, Wikimedia Commons



1967 වසරේ නැක්සල්බාරි ගම්මානයේ ඇතිවූ කැරැල්ලට නායකත්වය දුන්නේ මෙම කණ්ඩායමය. නමුත් එයින් මසුම්දාර් බලාපොරොත්තු වූ ආකාරයේ විප්ලවයක් ඇති නොවූ අතර ටික කලකින්ම පොලීසිය විසින් කැරැල්ල මර්ධනය කරන ලදී. කෙසේ වුවද එය ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරයේ ආයුධ සන්නද්ධ අරගලයන්හි ආරම්භය සනිටුහන් කළේය. 1969 වසරේදී මසුම්දාර් විසින් ඉන්දියාවේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය [Communist Party of India (Marxist-Leninist)-CPI(ML)] පිහිටුවන ලදී. ඉන්දියාවේ තන්හි තන්හි මතු වූ නැක්සලයිට් කණ්ඩායම් බොහොමයක උපත සිදු වන්නේ මෙම පක්ෂය තුලිනි.

සිලිගුරි කොරිඩෝව (රතු පැහැයෙන් පෙන්වා ඇති ස්ථානය), Wikimedia Commons



මුල් අවධියේ නැක්සලයිට් ව්‍යාපාරය ඇතැම් ගොවි නායකයන් සහ සරසවි සිසුන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රීකාකුලම් වැනි පිටිසරබද ප්‍රදේශවල ඇතිවූ ගොවි ජන නැගිටීම් සහ කල්කටා වැනි නගරවල ක්‍රියාත්මක වූ නාගරික ත්‍රස්තවාදී ව්‍යාපාරය වසර කිහිපයක් යනතුරු පැවතින. මේවාට එරෙහි රාජ්‍ය ප්‍රතික්‍රියාවද ඉතා දරුණු විය. 1972 ජූලි මාසයේදී චාරු මසුම්දාර් අල්ලා ගන්නා ලදී. දින දොළහකදී ඔහු අත්අඩංගුවේදීම මරණයට පත් විය. 1970 දශකය මැද භාගය වනවිට නැක්සලයිට් ව්‍යාපාරය මුළුමනින්ම පාහේ මැඩ පවත්වා තිබිණ.

කෙසේ වුවද මෙම පරාජයෙන් නැක්සලයිට් ව්‍යාපාරය මුළුමනින්ම අතුගෑවී නොගියේය. මෙම පරාජය තුලින් උපන් කුඩා කණ්ඩායම් කිහිපයක් දිගටම අරගලය ගෙන ගියේය. ඔවුන් CPI(ML) පක්ෂය අතින් සිදුවූ වැරැදිවලින් පාඩම් ඉගෙනගෙන තිබුණහ. ඇත්තෙන්ම පක්ෂය ගෙනගිය සටනෙහි වැරදි බොහොමයක් විය. මසුම්දාර් අන්ධ ලෙස මාඕ සේතුං අනුගමනය කල අතර එක්තරා අවස්ථාවක "චීනයේ සභාපති, අපෙත් සභාපති" වැනි සටන් පාඨයක් පවා යොදා ගත්තේය. එම සටන් පාඨය ඉන්දියාවේදී යොදාගත හැකිව තිබූ අනුචිතම සටන් පාඨයකි. තවද, මුලින් සඳහන් කල පරිදි මසුම්දාර් තුල ගොවි ජනතාවගේ විප්ලවීය සූදානම පිළිබඳව වූයේ වැරදි වැටහීමකි. එමෙන්ම "පන්ති සතුරන් වැනසීමේ" නාගරික ත්‍රස්තවාදී ව්‍යාපාරය බොහෝ සාමාන්‍ය වැසියන්ගේ අප්‍රසාදයට හේතු විය. පුළුල් ජනතා පදනමක් නොමැති වීම ඔවුනගේ සටන පහසුවෙන් පරාජය වීමට ඍජුවම බලපෑවේය.

අද වනවිට ඉන්දියාවේ බොහෝ මාවෝවාදී කණ්ඩායම් වෙති. 2011 වසරේ අගභාගයේදී ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක ප්‍රධානතම කණ්ඩායම වන ඉන්දියාවේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය [Communist Party of India (Maoist)] හැරුණු විට ක්‍රියාත්මකව පවතින තවත් කණ්ඩායම් 23 ක් ප්‍රකාශයට පත් කළේය. මෙතරම් විශාල කණ්ඩායම් ප්‍රමාණයක් පැවතීමට 1970 ගණන්වල සිදුවූ සිද්ධීන් බලපෑවේය. ඒ වනවිටත් නැක්සලයිට් ව්‍යාපාරය තුල මතවාදී බෙදීම් ඇතිවෙමින් පැවතින. ඔවුනගේ පරාජයත් සමඟ ඉතිරි වූ කුඩා කණ්ඩායම් සී සී කඩ වූ අතර එහෙයින් ඔවුන් වෙනමම ක්‍රියාත්මක වන්නට වූහ. කෙසේ වුවද, ඔවුනගේ පොදු මූලාරම්භය සනිටුහන් කරමින් ඒ බොහෝ කණ්ඩායම්වලට ඇත්තේ එක හා සමාන නම් ය. මෙය ඉන්දියාවේ මාවෝවාදී ව්‍යාපාරය පිලිබඳ කියවන සාමාන්‍ය තැනැත්තෙකු නොව ඒ පිලිබඳ හදාරන්නන් පවා අපහසුතාවයට පත් කරයි.

1970 ගණන්වල මැද භාගයේ සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නැක්සලයිට් අරගලය ක්‍රියාත්මක වූයේ කොන්ඩපල්ලි සීතරාමයියා නම් පුද්ගලයෙකුගේ නායකත්වය යටතේය. පුළුල් මහජන සංවිධාන පිහිටුවා නොගැනීම මසුම්දාර් කල බරපතල වරදක් ලෙස දුටු හෙතෙම රැඩිකල් ශිෂ්‍ය එකමුතුව, රැඩිකල් තරුණ ලීගය සහ ජන නාට්‍ය මණ්ඩලී වැනි ජනතා සංවිධාන පිහිටුවා මාවෝවාදී මතවාදය පැතිරවීය. මෙමගින් ඔහුට සිය අරගලය සඳහා කැපවීමට සූදානම් තරුණ කණ්ඩායමක් සාදා ගැනීමට හැකි විය. වර්තමාන ඉන්දියාවේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී නායකයන් අතුරින් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රදේශයෙන් පැමිණි අය බොහෝදෙනා ව්‍යාපාරයට එකතු වූයේ මේ සමයේය.

1980 අප්‍රේල් 22 වනවිට දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට තරම් සිය ව්‍යාපාරය ශක්තිමත් බව සීතරාමයියා තීරණය කළේය. මේ අනුව එදින ඔහු විසින් ඉන්දියාවේ මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මහජන යුද්ධය) [Communist Party of India (Marxist-Leninist) People's War] නමින් දේශපාලන පක්ෂයක් පිහිටවීය. මෙය වඩා ප්‍රචලිත වූයේ මහජන යුද්ධ කණ්ඩායම (People's War Group-PWG) ලෙසය. මාඕ සේතුංගේ "මහජන යුද්ධ" සිද්ධාන්තය අකුරටම පිළිපදිමින් මෙම පක්ෂය අනාගත අරගලය සඳහා බල ප්‍රදේශ පිහිටුවා ගැනීමට පටන් ගත්හ. මේවා බොහෝකොටම පිහිටුවා ගැනුනේ වර්තමානයේ චට්ටිස්ඝාර් ප්‍රාන්තයට අයත් දණ්ඩකාරණ්‍ය වනාන්තරයේය.

කාඩර්වරු ප්‍රදේශයේ ආදිවාසී ගෝත්‍රිකයන්ගේ සහාය කෙමෙන් කෙමෙන් තමන් වෙත ඇද ගැනීමට සමත් වූහ. කලක් යද්දී ඔවුන් සිය බලපෑම වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කරන්නට වූහ. ඒ සමඟම එම ප්‍රදේශ සමහරක ක්‍රියාත්මක වූ වෙනත් නැක්සල්වාදී කණ්ඩායම් සමඟද ඔවුහු ගැටුම් ඇති කරගත්හ. එයින් එක ප්‍රධාන කණ්ඩායමක් වූයේ බිහාරයේ ක්‍රියාත්මක වූ මාඕවාදී කොමියුනිස්ට් කේන්ද්‍රයයි (Maoist Communist Centre-MCC). අනෙකුත් බොහෝ නැක්සලයිට් කණ්ඩායම් මෙන් නොව සංවිධානය පක්ෂය තුලින් පන නැගුනක් නොවීය.

1990 ගණන්වල මුල් කාලයේ සිට PWG සහ MCC යන ප්‍රධාන නැක්සලයිට් කණ්ඩායම් දෙක සන්ධානගත වීම සඳහා සාකච්ඡා පැවැත්වූ අතර 2004 දී එය මල්පල ගැනුනේ ඉන්දියාවේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය බිහිවීමත් සමඟය.



මෙය කලින් මා ලියූ "ඉන්දියාවේ 'අමතක කරන ලද' නැක්සල්වාදී යුද්ධය" යන ලිපියට සබැඳේ.


Wednesday, January 23, 2013

අහ්මඩ් ඩොගාන් "ඝාතන තැත"



ඒ 2013 ජනවාරි 19 වනදාය. ස්ථානය බල්ගේරියාවේ සොෆියා අගනුවර ජාතික සංස්කෘතික මන්දිරයයි. අයිතිවාසිකම් සහ නිදහස් සඳහා වන ව්‍යාපාරය (Movement for Rights and Freedoms-MRF) නම් ලිබරල්වාදී පක්ෂයේ මහ සමුළුව පැවැත්වෙමින් තිබුණි. වේදිකාවේ සිට සභාව අමතමින් සිටියේ 1990 එම පක්ෂය ආරම්භයේ සිට 23 වසරක් එහි නායකයා ව සිටි අහ්මඩ් ඩොගාන් ය.

අහ්මඩ් ඩොගාන් 2009 බල්ගේරියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, Bulgarian politician Ahmed Dogan during a 2009 post-election conference, Vladimir Petkov, Wikimedia Commons



එකවරම සිදු වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියකි. අසන්නන් අතර සිටි තරුණයෙක් වේදිකාව වෙත පැමිණ, කුඩා පිස්තෝලයක් ඩොගාන්ගේ මුහුණට එල්ල කොට වෙඩි තැබුවේය. ඩොගාන්ගේ වාසනාවට පිස්තෝලයෙන් උණ්ඩයක් පිට නොවූ අතර ඉන්පසු ආත්මාරක්ෂාව සඳහා ඩොගාන් එල්ල කල පහරකින් පිස්තෝලය විසි වී ගියේය. අසල සිටියවුන් වහ වහා ක්‍රියාත්මක වී වේදිකාවට නැග්ගෝය. කිහිප දෙනෙක් ඩොගාන්ගේ ආරක්ෂාවට ඔහු වට කරගනිද්දී, අනෙක් අය ඔහුට වෙඩි තබන්නට ගිය තරුණයා වටකොට ඔහුට ගුටි බැට සංග්‍රහයක් පූජා කිරීමට කටයුතු කළහ. (මෙම සිද්ධිය කැමරාවට හසුව තිබුනේ මෙසේය).

මෙම ප්‍රහාරයෙන් පසු ඩොගාන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් විය. කෙසේ නමුදු, පසුව සොයා ගන්නා ලද්දේ ඔහුට වෙඩි තැබීමට කල උත්සාහයේදී යොදා ගත් වායු පිස්තෝලයෙහි උණ්ඩ නොවූ බවයි. එහි තිබී ඇත්තේ පේපර් ස්ප්‍රේ බවද සඳහන්. මේ අනුව මෙය ඝාතන තැතක් ලෙසම සැලකිය නොහැක. මේ හේතුවෙන් සම්පූර්ණ සිද්ධියම කලින් සැලසුම් කළ ජවනිකාවක්දැයි යන සැකය ඇතැමුන් තුලින් මතු විය. කෙසේ නමුත්, ඩොගාන් "ඝාතනය කිරීමට" උත්සාහ කල ඔක්ටායි එනිමෙහ්මෙදොව් නම් බල්ගේරියානු-තුර්කි ජාතික තරුණයාට වසර හයක් දක්වා වන සිර දඬුවමක් ලැබීමේ ඉඩක් ඇත.

MRF පක්ෂයට ප්‍රධාන වශයෙන් සහය ලබාදෙන්නේ බල්ගේරියාවේ තුර්කි ජාතිකයන් ඇතුළු මුසල්මානුවන්ය. 2009 පැවති මහ මැතිවරණයේදී මෙම පක්ෂයට ආසන 240 න් 37 ක් ලැබී තිබිණ. සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 14 ක් ඔවුනට ලැබී තිබිණ.

2011 පවත්වන ලද ජන සංගණනය අනුව බල්ගේරියාවේ සමස්ථ ජනගහනය 7.3 ඉක්මවයි. ඉන් හයසිය දහසකට (ලක්ෂ හයකට) ආසන්න ප්‍රමාණයක්, එනම් සියයට 8.8 ක් තුර්කි ජාතිකයෝ වෙති. ඊට අමතරව තවත් සියයට හයක පමණ ප්‍රමාණයක් ජනතාව හතළිහක් පමණ වන සුළු ජාතීන්ට අයත් වන අතර එයින්ද ඇතැමෙක් ඉස්ලාම් ලබ්ධිකයෝ වන්නාහ. බල්ගේරියාවට තුර්කි ජාතිකයන් පැමිණීම සියවස් ගණනක් ඈතට දිවෙන කතාන්දරයකි. ඔටෝමන් තුර්කි ප්‍රහාරවලින් ගැලවීමට ඇනටෝලියාවේ විසූ වෙනත් තුර්කි ගෝත්‍රවල ජනයා 14 වන සියවසේ අග භාගයේදී මෙම ප්‍රදේශවලට පැමිණියහ. මේ අතර 14 වන සියවස අවසානයේදී බල්ගේරියාව ඔටෝමන් තුර්කීන් විසින් යටත් කරන ලදී. ඉන්පසු ඉස්ලාම් දහම වැළඳගත් අය කාලයාගේ ඇවෑමෙන් "තුර්කිකරණය" වී ඇත්තේය. තවත් මතයකට අනුව ඔටෝමන්වරුන් පැමිණීමට බොහෝ කලකට පෙර පැමිණි තුර්කි ගෝත්‍රික කණ්ඩායම්වලින් පැවත එන තුර්කි ජාතිකයන් පිරිසක්ද මේ අතර වන්නේ යයි ඇතැමෙක් විශ්වාස කරති. බල්ගේරියාවේ තුර්කි ජාතිකයන් වැඩි වශයෙන් ජීවත් වන්නේ එරට ඊසානදිග ප්‍රදේශයේ පළාත් හතරක සහ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි එක පලාතකය.

බල්ගේරියාවේ පළාත් මට්ටමෙන් තුර්කි ජාතිකයන් ප්‍රතිශතය, Wikimedia Commons.



1954 මාර්තු 29 වනදා උපන් අහ්මඩ් ඩොගාන් බල්ගේරියානු කොමියුනිස්ට් පාලන සමයේදී රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කමිටුව (බල්ගේරියානු ඔත්තු සේවය) වෙනුවෙන් ඔත්තුකාරයකු ලෙස සේවය කල බව කියවේ. 2001 වසරේදී ඔහුගේ පක්ෂය පළමු වරට එරට සභාග ආණ්ඩුවකට එකතු වූ අතර 2005 මැතිවරණයෙන් පසුවද දිගටම පාලක සභාගයේ රැඳී සිටියේය. 2009 සිට පක්ෂය විපක්ෂයේ රැඳී සිටී. ආණ්ඩුවේ සිටියදී සිදුවූයේ යයි පැවසුන ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ නමුත් 2010 ඔක්තොම්බරයේදී දී එයින් ඔහු නිවැරදිකරු බව තීන්දු විය. එවර ඔහුගේ දේශපාලන අනාගතය පිලිබඳ ඇතිවූ අවිනිශ්චිතභාවය එම තීන්දුවත් සමඟ දුරු වූ නමුත්, ඔහුට විරුද්ධව ක්‍රියාවට නැගුන "ඝාතන තැතින්" පසු ඩොගාන්ගේ දේශපාලන අනාගතය කෙසේ වේද යන්න තවමත් නිශ්චිත නැත.

Sunday, January 20, 2013

2013 අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය


අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය (Africa Cup of Nations) යනු අප්‍රිකාවේ විශාලතම අන්තර්ජාතික පාපන්දු තරඟාවලියයි. සෑම දෙවසරකට වරක්ම පැවැත්වෙන මෙම තරඟාවලිය ආරම්භ කෙරුනේ 1957 වසරේදීය. රටවල් තුනක සහභාගීත්වයෙන් පවතී එම තරඟාවලියේ ශූරතාවය දිනාගත්තේ ඊජිප්තුවයි. මෙතෙක් පැවති තරඟාවලි සියල්ලෙන්ම වැඩිම ගණනක (7) ශූරතාව දිනා ඇත්තේද එරටය.

අප්‍රිකා ජාතීන්ගේ කුසලානය ආරම්භ වූ සමයෙහි අප්‍රිකාවේ පාපන්දු ක්‍රීඩාව එතරම්ම ප්‍රචලිත වී නොතිබුන අතරම එම මහාද්වීපයේ බොහෝ රටවල් තවමත් යටත් විජිත වශයෙන් පැවතියේය. නමුත් කල් යත්ම තමනට පාපන්දු ක්‍රීඩාව හඳුන්වා දුන් යුරෝපීයයන්ටත් වඩා දක්ෂ පාපන්දු කණ්ඩායම් අප්‍රිකාවෙන් බිහි වන්නට විය. වසර 2000 වනවිට ලෝක කුසලානය අප්‍රිකානු රටක් විසින් දිනාගනු ඇතැයි එක අවස්ථාවක සුප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ විසින් ප්‍රකාශ කරන්නට ඇත්තේ එබැවිනි.

මුලින්ම ඔත්තේ සංඛ්‍යාත්මක අවුරුදුවල පැවැත්වුන අප්‍රිකානු කුසලානය 1968 සිට ඉරට්ටේ සංඛ්‍යාත්මක අවුරුදුවල පවත්වනු ලැබුනි. නමුත් මේ වසරේ සිට නැවත එය ඔත්තේ සංඛ්‍යාත්මක වසරවල පවත්වන්නට තීරණය කෙරුණි. ඊට හේතු වූයේ සෑම සිව් වසරකටම වරක් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සමඟ මෙම තරඟාවලිය ද පැවැත්වීම වැළැක්වීමටය. මේ අනුව 2012 ජනවාරියේ පැවති තරඟාවලියෙන් අවුරුද්දකට පසු 2013 දීද තරඟාවලියක් පැවැත්වීමට තීරණය විය. මෙම තරඟාවලිය මුලින්ම පැවැත්වීමට නියමිත වූයේ ලිබියාවේය. එහෙත් එරටෙහි ඇතිවූ සිවිල් යුධ වාතාවරණය හේතුවෙන් තරඟාවලිය දකුණු අප්‍රිකාවට ගෙනයාමට තීරණය විය. ඒ වෙනුවට 2017 තරඟාවලිය ලිබියාවේ පැවැත්වීමට නියමිතය.

අප්‍රිකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත වීමට තිබූ ප්‍රධානතම බාධක දෙකක් වූයේ දේශපාලන අස්ථාවරභාවය සහ මූල්‍යමය ගැටලුය. කෙසේ වුවද, මේ බාධක මධ්‍යයේ වුවද අප්‍රිකාව ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ නමක් තබා ඇත. 1980 දශකයේදී කැමරූනය සහ ඇල්ජීරියාවත්, 1990 දශකයේ නයිජීරියාවත්, 2002 දී සෙනගාලය සහ 2006, 2010 වසරවලදී ඝානාවත් ලෝක කුසලානයේදී නමක් තැබූ අප්‍රිකානු කණ්ඩායම් වූහ. ක්‍රීඩාව ප්‍රචලිත වනවිට අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය සඳහාද සහභාගීත්වය වැඩි විය. 1996 වසරේ සිට, සුදුසුකම් ලැබීමේ තරඟවලින් තෝරාගන්නා රටවල් 16 ක් අවසන් තරඟාවලියට සහභාගී වෙති. (කෙසේ නමුත් 1996 දී නයිජීරියාව අවසන් මොහොතේ තරඟාවලියෙන් ඉවත් වූ හෙයින් පළමුවෙන් කණ්ඩායම් 16 ක් සහභාගී වූයේ 1998 දකුණු අප්‍රිකාවේ පැවති තරඟාවලියටය).

FNB ක්‍රීඩාංගනය (FNB Stadium, or the Soccer City), ජොහැනස්බර්ග්. 1989 දී විවෘත කෙරුණ මෙය ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා 2009 වනවිට නවීකරණය කෙරිණ. මේ 2010 ජූලි 3 වනදා ලෝක කුසලාන තරඟයක් පවතින අවස්ථාවය. Marcello Casal Jr/ABr, Wikimedia Commons.



වසර පහලවකට පසු මෙවර තරඟාවලිය යලිත් දකුණු අප්‍රිකාව කරා ගොස් ඇති නමුත් මෙවර නම් සත්කාරක රටට 1998 තරම් දස්කම් පෙන්වීමට නොහැකි වනු ඇති බව පෙනී යයි. 1998 යනු දකුණු අප්‍රිකානු පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය යුගය විය. එවර අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය ඔවුන් විසින් දිනා ගන්නා ලදී. මෙවර A කාණ්ඩය යටතේ ඔවුන් තරඟ වදින අතර ඊයේ (එනම් ජනවාරි 19 වනදා) පැවති ආරම්භක තරඟයට ඔවුන් මුහුණ දුන්නේ කේප් වර්ඩ් දූපත් (Cape Verde) සමඟය. මෙහිදී දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු නොවූ පරිදි තරඟය ගෝල රහිතව නිම විය. A කාණ්ඩයේ අනෙක් තරඟය වූ ඇන්ගෝලාව සහ මොරොක්කෝව අතර තරඟයද ගෝල රහිතව නිමා විය.

කේප් වර්ඩ් දූපත් මෙවර අප්‍රිකානු කුසලානයට එක්වන එකම කෝඩුකාර කණ්ඩායමය. එහෙත් කාණ්ඩයේ කණ්ඩායම් හතරෙන් ලෝක පාපන්දු සම්මේලනයේ නවතම කණ්ඩායම් පෙළගැස්ම අනුව හොඳම ස්ථානය, එනම් 70 වෙනි ස්ථානය එම පිලට ලැබී ඇත. තවද, ඔවුන් මෙම තරඟාවලියට සුදුසුකම් ලැබුවේ අප්‍රිකානු පාපන්දු ක්ෂේත්‍රයේ පෙරළිකාර කණ්ඩායමක් වන කැමරූන් පිල ගෙදර යවමිනි. මේ අතර, සත්කාරක දකුණු අප්‍රිකාව ලෝකයේ 85 වන තැන සිටින අතර මොරොක්කෝව 74 වන තැනත්, ඇන්ගෝලාව 78 වන තැනත් රැඳී සිටිති.

ජනවාරි 20 දා (අද) පැවැත්වෙන B කාණ්ඩයේ තරඟවලදී ඝානාව ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය සමඟත්, මාලි රාජ්‍යය අසල්වැසි නයිජර් රාජ්‍යය සමඟත් තරඟ වදිති. (මෙය ලියන අවස්ථාව වනවිට මින් පළමු තරඟය අවසන් වී ඇති අතර දෙවැන්න ඇරඹීමට නියමිතය). දේශපාලන අස්ථාවරභාවය යටතේ වුවද මාලි පාපන්දු කණ්ඩායම මේ වනවිට ඉතා ප්‍රබල තත්ත්වයක පසුවන හෙයින් තරඟාවලිය තුල පෙරලියක් කරනු ඇතැයි බලාපොරොත්තු පලවී ඇත. මේ වනවිට එම කණ්ඩායම අප්‍රිකාව තුල තුන්වන තැනත් ලෝකයෙන්ම 25 වන තැනත් පසුවෙයි. අසල්වැසි නයිජර් රාජ්‍යය මූල්‍යමය අපහසුතා හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවේ ඉදිරියට පැමිණීමට නොහැකි වූ එක කණ්ඩායමකි. මෙවර තරඟාවලියේදී හොඳ දස්කම් දැක්වීම ඔවුනට ඉතා වැදගත් වනු ඇත.

මීට ටික වෙලාවකට පෙර ඝානාවේ එමානුවෙල් අග්යෙමන්ග්-බඩූ (Agyemang-Badu) මෙවර තරඟාවලියේ පළමු ගෝලය වාර්තා කළේය. මේ වනවිට ලෝකයේ 26 වන ස්ථානයේ රැඳී සිටින ඝානාව අප්‍රිකාවේ ප්‍රබලතම කණ්ඩායමකි. ඔවුහු මීට පෙර සිව් වරක් මෙම කුසලානය දිනා ඇත. කෙසේ වෙතත් ප්‍ර. කොන්ගෝ ජනරජයට එරෙහි තරඟයේදී 2-0 ක් ලෙස ඝානාව පෙරමුණ ගත්තද තරඟය අවසාන වූයේ 2-2 ලෙසය. මෙය ඝානාවට නම් එතරම් හොඳ ප්‍රතිපලයක් නොවේ. ප්‍ර. කොන්ගෝ ජනරජය ඝානාවට වඩා බෙහෙවින් පිටිපසින් සිටින කණ්ඩායමකි. මේ වනවිට ලෝකයේ 101 වන තැන එරට රැඳී සිටියි.

මෙවර තරඟාවලියේ පළමු ගෝලය වාර්තා කළ එමානුවෙල් අග්යෙමන්ග්-බඩූ, එංගලන්තයේ ආර්සනල් පිලට එරෙහිව ඉතාලි පාපන්දු සමාජයක් වන උඩින්සේ (Udinese) වෙනුවෙන් තරඟ වැදුන අවස්ථාවකි (2011 අගෝස්තු 16). Wikimedia Commons.



C කාණ්ඩය යටතේ වර්තමාන අප්‍රිකානු ශූරයින් වන සැම්බියාව මෙන්ම අප්‍රිකානු පාපන්දු ඉතිහාසයේ පෙරළිකාර කණ්ඩායමක් වන නයිජීරියාවද තරඟ වදිති. ඔවුනට කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් දෙක වන ඉතියෝපියාවෙන් සහ බුර්කිනාෆාසෝ රටෙන් එතරම් තර්ජනයක් නොවනු ඇතැයි අපේක්ෂිතය. ගියවර තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා වූ නායක ක්‍රිස්ටෝපර් කටොන්ගෝගේ මෙහෙයවීම යටතේ මෙවර සැම්බියා කණ්ඩායම සිය කිරුල රැකගැනීමට සටන් වදිනු ඇත.

D කාණ්ඩය තරඟාවලියේ "මාරක කාණ්ඩය" ලෙස සැලකිය හැක. මේ වනවිට අප්‍රිකාවේ හොඳම පාපන්දු කණ්ඩායම ලෙස ගැනෙන කෝටේ ඩිවා (Cote d'Ivore) හෙවත් අයිවරි කෝස්ට් දේශයත්, දෙවන හොඳම කණ්ඩායම වන ඇල්ජීරියාවත් මෙම කාණ්ඩය යටතේ තරඟ වදිති. තවද, කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන ටියුනීසියාව සහ ටෝගෝ රාජ්‍යයද පාපන්දු ක්ෂේත්‍රයේ නවකයින් නොවේ. මේ නිසා අවසන් ප්‍රතිපලය කෙසේ වුවද, අප්‍රිකාවේ හොඳම පාපන්දු කණ්ඩායම් දෙකකට ඊළඟ වටය අහිමි වීමට නියමිතය. මන්ද යත් D කාණ්ඩයේ කණ්ඩායම් හතරම ඉතා හොඳ කණ්ඩායම් බැවිනි.

මූලික වටයේ තරඟ ජනවාරි මාසය අවසාන වනවිට නිමා වනු ඇති අතර පෙබරවාරි 10 වනදා ජොහැනස්බර්ග් හි FNB ක්‍රීඩාංගනයේදී (FNB Stadium. Soccer City නමින්ද හැඳින්වේ) අවසන් තරඟය පැවැත්වීමට නියමිතය. එයින් ජයග්‍රහණය කරන කණ්ඩායම 2015 දී මොරොක්කෝවේ පැවැත්වෙන තරඟාවලිය තෙක් අප්‍රිකානු ශූරයින් ලෙස කිරුළු දරනු ඇත.

Saturday, January 19, 2013

අපට වෙච්ච දේ 009: මගේ සිතියම් පොත්



මම අට වසරේ ඉන්න කාලේ වෙනකොට මට ලෝකේ බොහොමයක් රටවල අගනුවරවල්, ප්‍රධාන නගර, ලෝකයේ ප්‍රධාන සමුද්‍ර සන්ධි, දූපත්, ගංගාවල් ආදී එකී මෙකී නොකී බොහෝ දේවල් ගැන හොඳ මතකයක් තිබුනා. ඒ කාලේ මට එකසිය පනහකට වැඩිය රටවල්වල අගනුවරවල් මතකයි. ඒ ඒ රටවල් තියෙන තැන් පවා මතකයි. යාළුවන්ට පුදුමයි මම කොහොමද ඒවා මතක තියාගන්නේ කියලා. නමුත් මම කට පාඩම් කළා නෙවෙයි. ඒ සේරම ඔලුවේ තැන්පත් වෙලා තිබුනා. ඒ ඔක්කොම සිද්ධ වුනේ මගේ ළඟ තිබුන සිතියම් පොතක් නිසා. ඒ වගේම මට ඒ පොත ලැබුනේ මුද්දර එකතු කිරීමේ විනෝදාංශය නිසා.

දැන් මගේ ළඟ තියෙන සිතියම් පොතේ ඇතුළු පිටුවක්.



මට මුලින්ම සිතියම් පොතක් කියලා එකක් ලැබුනේ මම හතර වසරේ නැත්නම් පහ වසරේ ඉන්නකොට. ඒ අර ගුණසේන-ෆිලිප්ස් සිතියම් පොතේ ෆොටෝකොපි එකක්. නමුත් ඒකෙ කොළ අඩුයි; තිබුන සමහර එව්වා පැහැදිලිත් නැහැ. ඒ වෙලත් මම එකෙන් හොඳ ප්‍රයෝජනයක් ගත්තා. ඊට අමතරව අපේ තාත්තාට අයිති බිත්තියේ එල්ලන සිතියමකුත් තිබුනා. ඊට පස්සේ හය වසරේ විතර ඉන්නකොට මට ලේක් හවුස් සිතියම් පොතක් ලැබුනා අම්මාගේ 'විදේශ ආධාර' යටතේ. ඒ පොතේ නම් වැරදි ගණනාවක් තියෙනවා. සමහර විදෙස් නගරවල නම් වැරදියට ලියා තිබීම තමයි ලොකුම වරද. අනික සමහර නගර ලකුණු කරලා තියෙන්නේ තියෙන්න ඕන තැන්වල නෙවෙයි. ටිකක් එහා මෙහා වෙලා. ඒ වුනත් ඒ පොතෙනුත් ලොකු සේවයක් වුනා. ඒ ගැන පස්සේ කියන්නම්.

ඉස්සර මම මුද්දර එකතු කරන්න හරිම ආසයි. අලුත් රටක මුද්දරයක් ලැබුනහම ඒ රටවල විස්තර හොයාගන්න එකත් මගේ පුරුද්දක්. නමුත් ඒ කාලේ මට ඉන්ටර්නෙට් තිබුනෙත් නැහැනේ. ඉතින් සිතියම් පොත්, ගෙදර තිබුන වෙන වෙන පොත් තමයි පිහිටට ආවේ. හත වසරේ නැත්නම් අට වසරේ මුල කාලේ මට ලැබුනා Jersey (ජර්සි) කියලා රටක මුද්දරයක්. රැජිනගේ මුහුණේ රූපයක් වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි ඉහල තිබුන නිසා මට තේරුනා මේ බ්‍රිතාන්‍යයට අයිති රටක් බව. නමුත් සීතලට අඳින ජර්සි ඇරුනහම වෙන ජර්සියක් ගැන මම අහලා තිබුනෙත් නැහැ.

මේ වෙනකොට මගේ ෆොටෝකොපි සිතියම් ටික අස්ථානගත වෙලා. ලේක් හවුස් සිතියම් පොතේ බැලුවට ඒකෙ මට ජර්සියක් හම්බ වුනේ නැහැ. අර බිත්තියේ එල්ලන සිතියම බිම දිගා කරලා එකේ දිගාවෙලා හෙව්වත් ජර්සියක් හම්බ වුනේ නැහැ. ඉතින් අසාර්ථක උත්සාහයකට පස්සේ මට තිබුන එකම විකල්පය තමයි විදේශ ආධාර ඉල්ලීම.

තාත්තාගෙන් ඇහුවහම මට කිව්වා නම් නිව් ජර්සි කියලා ජනපදයක් තියෙනවා කියලා. මගේ දැනුම කියන්නේ මම එහෙම දෙයක්වත් දැනගෙන උන්නේ නැහැ. නමුත් මම දැනගෙන හිටියා මම කතා කරන ජර්සිය අයිති බ්‍රිතාන්‍යයට කියලා. (රැජිනගේ මුහුණේ රූපය නිසා). නිව් ජර්සි ප්‍රදේශය ඉස්සර නම් අයිති වෙලා තිබුනා බ්‍රිතාන්‍යයට. (ඇමරිකාවේ ස්වීඩන් කොලනිය තිබුනෙත් එහෙ තමයි) නමුත් ඒ කාලේ මුද්දර කියලා ජාතියක් තිබ්බෙත් නැහැ. ඉතින් ඔන්න මාව අම්මා වෙත යොමු කෙරුනා. අම්මාගෙන් දැනගත්තෙත් නිව් ජර්සියක් ගැන විතරයි. දැන් ඉතින් මම දහ අතේ කල්පනා කරනවා මොකක්ද මේ ජර්සිය කියලා. අනිත් අතට මගේ ගොන් මොලේට වුනත් තේරුනා නිව් ජර්සියක් තියෙනවා නම් පරණ එකකුත් තියෙන්නත් එපැයි කියලා. (ඇත්තෙන්ම නිව් ජර්සියට නම දාලා තියෙන්නේ මේ මම දැන් කියන ජර්සිය සිහි කරලා තමයි. ඒ වගේම අපි අඳින ජර්සිය නම් කරලා තියෙන්නෙත් මේ කියන ජර්සිය සිහි වෙන්නම තමයි.)

ඊට පස්සේ, අපේ තාත්තා එයාගේ පරණ කබඩ් එක ඇදලා මට පිටු හතලිහක සිතියම් පොතක් අරන් දීලා ඒකෙ සූචිය බලන්න කිව්වා. මෙන්න බොලේ ජර්සි කියලා තැනක් තියෙනවා!

ජර්සිය ගැන කියන්න කලින් ඒ සිතියම් පොත ගැනත් කියන්න ඕන. ඒක එංගලන්තේ හොඳම සිතියම් පොත් ප්‍රකාශන සමාගමක් වෙච්ච ජෝර්ජ් ෆිලිප් සහ පුත්‍රයෝ සමාගමේ ප්‍රකාශනයක්. මේ සමාගමේ ඉතිහාසය 1834 තරම් ඈතකට දිව යනවා. එහි ආරම්භකයා වුනේ ජෝර්ජ් ෆිලිප් (1800-1882) කියන සිතියම් අඳින්නා. ඔහුගේ පුතාගේ නමත් ජෝර්ජ් ෆිලිප් (1823-1902). එයාවත් 1848 වෙද්දී මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගැනෙනවා. ඔවුන්ගේ ජෝර්ජ් ෆිලිප් පාසල් සිතියම් පොත (George Philip School Atlas) බොහෝ කලක් ලංකාවේ ජනප්‍රිය සිතියම් පොතක් වුනා. අපේ තාත්තාගේ සිතියම් පොත 1964 විතර මුද්‍රණය කල එකක්. ඒ පොත නම් පොඩි පොතක්. නමුත් ඊට වැඩිය ලොකු පොතුත් ඒ කාලේ මුද්‍රණය කළා. බිත්තියේ එල්ලන සිතියම් පවා ඒ කාලේ තිබුනා. මම කිව්වත් වගේ අපේ ගෙදර අදටත් තියෙන බිත්ති සිතියම ඒ ජෝර්ජ් ෆිලිප් සමාගමේ එකක්.

ගුණසේන සමාගමෙන් ප්‍රකාශයට පත් කල ගුණසේන-ෆිලිප්ස් සිතියම් පොතට අරගෙන තියෙන විදෙස් සිතියම් ජෝර්ජ් ෆිලිප් සමාගමේ ඒවා. ඒ පොතේ තියෙන මධ්‍යධරණී ප්‍රදේශවල සිතියම එහෙම අර පරණ පුංචි සිතියම් පොතේ තිබුන මම ආසම සිතියමක්.

හොඳයි, එතකොට කොහෙද මේ ජර්සිය තියෙන්නේ?

Europe-Jersey, Wikimedia Commons. ජර්සිය තියෙන්නේ මෙන්න මෙතන.



ජර්සි කියන්නේ ඉංග්‍රීසි ඕඩයේ පිහිටි චැනල් දූපත් කියන දූපත් වලින් එකක්. එය එක්සත් රාජධානියට අයිති නැති බ්‍රිතාන්‍යයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක්. විශාලත්වය වර්ග කිලෝ මීටර එකසිය දහ නවයයි. ජනගහනය ලක්ෂයක් පමණ. මේ දූපත 1940-45 කාලේ ජර්මනියට යටත් වෙලා තිබුනා. අගනුවර සාන්ත හේලියර්. ජර්සි දූපත එහි ඉන්න ජර්සි ගව ප්‍රභේදය නිසාත් ප්‍රසිද්ධයි. මේ දූපත බිත්තියේ එල්ලන සිතියමක හරි යුරෝපා මහාද්වීපයේ සිතියමක හරි වෙනමම දක්වන්න තරම් ලොකු දූපතක් නෙවෙයි. ඒ නිසා තමයි මෙච්චර වෙලා මට ඒක හොයාගන්න බැරි වුනේ.

Jersey herd at New Moor Farm, Walworth Gate, County Durham, England, May 2010, Wikimedia Commons. ජර්සි හරක් මෙන්න මෙහෙමයි.



දැන් මට තවත් කතාවක් මතක් වෙනවා. ඒ ආදි රසායනඥයන් (Alchemists) ගැන. ඔවුන් ඊයම් වගේ ලාබ ලෝහ රත්‍රන් බවට පත් කරන්න උත්සාහ කළා. ඒ වගේම, සදාකාලිකව තරුණ වෙලා ඉන්න බෙහෙතක් හෙව්වා. පුදුමයක් නෙවෙයි, ඒ දෙකම ඔවුනට ලැබුනේ නැහැ. එහෙත් ඔවුන් රසායන විද්‍යාව ගැන වෙනත් විවිධාකාර දේ හොයා ගත්තා. අර මගේ ළඟ තිබුන සිතියම්වල ජර්සි දූපත නොතිබුනාට (දූපතක් කියලා දැනගෙන හිටියෙත් නැහැනේ) ඒක හොයන්න ගිහින් මම ලෝකේ රටවල් ගොඩක් තියෙන තැන ඉගෙන ගත්තා. අලුත් සිතියම් පොත ලැබුනහම මම වැඩි වැඩියෙන් සිතියම් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. නැපෝලියන්ගේ යුද්ධ, ලෝක යුද්ධ ගැන එහෙම කියවන වෙලාවටත් ඒ පොත ළඟ තියාගෙන ඒ ඒ සටන් වෙච්ච තැන් ගැන හොයන්න පටන් ගත්තා. ඒ වගේම මම විකල්ප ඉතිහාස (Alternative Histories) ලියන්නත් පටන් ගත්තා. නැපෝලියන්ට වැරදුනේ නැත්නම් මොකද වෙන්නේ? හිට්ලර් පෝලන්තෙට ගහන්නේ නැතුව කෙලින්ම සෝවියට් දේශයට ගහන්න ක්‍රමයක් හොයා ගත්තා නම් මොකද වෙන්නේ? එහෙම ක්‍රමයක් හොයාගන්න ඔහුට පුළුවන්කමක් තිබුනාද? ඔන්න ඔහොම දේවල් ගැන මම සිතියම් පොත ළඟ තියාගෙන කල්පනා කළා. ටික දවසක් යනකොට මට ලෝක සිතියම් පොත ගෙදර එන පාර වගේ හුරු වුනා. ඉතින් එහෙම වුනාම රටවල් එකසිය පනහක අගනුවරවල් දන්නවා කියන්නේ පුදුමයක් නෙවෙයි නේ?

නමුත් මට දැන් නම් ඒ සමහර දේවල් මතක නැහැ. අගනුවරවල් නම් ගොඩක් මතකයි. ඒත් වෙන වෙන ස්ථාන ඉස්සර තරම් මතක නැහැ. ඊට ප්‍රධාන හේතුව මගේ සිතියම් පොත නැති වෙච්ච එක. අපේ මල්ලි එයාගේ යාලුවෙකුට දෙන්න ඒක ඉල්ලා ගත්තා. එච්චරම තමයි. මම ඊට පස්සේ ඊට වැඩිය ලොකු සිතියම් පොතක් (ජෝර්ජ් ෆිලිප්ස් එකක්ම තමයි ඉතින්) ගත්තා. නමුත් තවම මට ඒක අර පරණ පොත වගේ පුරුදු නැහැ.

මම කලින් කිව්වානේ ලේක් හවුස් සිතියම් පොතෙනුත් මට වැඩක් වුනා කියලා. දැන් මගේ ළඟ තිබුන ඒ පොතේ කෑලිත් නැහැ. නමුත් ඒකෙ තිබුන සමහර දේවල් මට අදත් මතකයි. 2012 ජූලි මාසේ අපි ගියපු දැනුම මිනුම තරඟයකදී (අර ජපන් තරඟය වගේ ලිඛිත තරඟයක්) ප්‍රශ්නයක් ඇහුවා, ඩියේගෝ ගාර්ෂියා දූපත අයිති මොන දූපත් කාන්ඩයටද? කියලා. අවුරුදු පහකට විතර කලින් ඇහුවා නම් මට උත්තර දෙන්න යන්නේ ප්‍රශ්නේ අහන පරක්කුව විතරයි. නමුත් එදා මට ඒක මතක් වෙන්නෙම නැහැ. ඔහොම කල්පනා කරගෙන යනකොට මට මතක් වුනා ලේක් හවුස් සිතියම් පොතේ ආසියානු මහාද්වීපයේ සිතියමේ යටම කෙලෙවරේ මෙන්න මෙහෙම එකක් තිබුන බව. "දියේගෝ ගාර්ෂියා සහ චාගොස් කොදෙව් රැස." හිතපු නැති විදියට අපිට ලකුණක් ලැබුනේ අවුරුදු ගානකට කලින් දැකපු ඒ වචන සෙට් එක මතක් වුන නිසා.

මුද්දර එකතු කිරීම, සිතියම් පොත් අධ්‍යයනය සහ ඉතිහාසය ගැන කියවීම එකම වගේ කාලයේ මම පුරුදු වුන දේවල්. එකෙන් මම ඉගෙන ගත්තු දේ අපමණයි. ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දු වෙන්නට මූලික අඩිතාලම වැටුනේ අපි ලියුමක් යවද්දී අලවන මුද්දරයෙන් කියලා මතක් වෙනකොට පුදුමත් හිතෙනවා.

Friday, January 18, 2013

84 වන උපන්දිනය සැමරූ ටින්ටින්


අප බොහෝදෙනෙකු දැක ඇති, ඉස්සරහින් ඉහලට ඉස්සුන ලාක්ෂණික කොණ්ඩයක් හිමි තරුණ පුවත්පත් වාර්තාකරුවකු වන ටින්ටින් සහ ඔහු පෙනී සිටින "ටින්ටින්ගේ වීරක්‍රියා" කතා පෙලට 2013 ජනවාරි 10 වනදා අවුරුදු 84ක් පිරුනා. බෙල්ජියානු ජාතික කාටූන් ශිල්පියෙකු වූ ජෝර්ජස් රෙමී හෙවත් "හර්ජි" විසින් ටින්ටින් නිර්මාණය කොට මුලින්ම කලඑළි බස්වන ලද්දේ 1929 ජනවාරි 10 වනදා. එදා පටන් අඩසියවසක් මුළුල්ලේ ටින්ටින් තමන්ගේ වීරක්‍රියා මගින් ලෝකය පුරාවටම සිය නම ප්‍රචලිත කළා. මේ අඩසියවසක කාලය තුල ඔහු ලෝකයේ මහාද්වීප සියල්ලටම ගියා පමණක් නොව සඳ මත පා තබන්නත්, පිටසක්වල යානයකට ගොඩවෙන්නටත් සමත් වුනා. නමුත් මේ අඩසියවස මුළුල්ලේම ටින්ටින් වයසට ගියේ නම් නැහැ.

හර්ජි මුලින්ම ටින්ටින් කතා නිර්මාණය කලේ Le XXe Siècle (විසිවන සියවස) නම් ප්‍රංශ භාෂාවෙන් මුද්‍රණය වන බෙල්ජියානු සඟරාවක, ළමයින් සඳහා වූ Le Petit Vingtième කියන අතිරේකයට. මුලින්ම ටින්ටින් නිර්මාණය කරද්දී හර්ජිට වයස අවුරුදු 22 පිරී තිබුනෙත් නැහැ.

Tintin (Stockel Metro Station, Brussels), William Murphy, Fotopedia.



මුලින්ම පල කළ ටින්ටින් කතා සාර්ථක වුන අතර සඟරාවේ අලෙවියත් කිහිප ගුණයකින් වැඩි වුනා. නමුත් මේ කතා, එනම් Tintin in the Land of Soviets (1929-30) සහ Tintin in the Congo (1930-31) කියන කතා දෙක, එතරම් පුළුල් පර්යේෂණයකින් තොරව නිර්මාණය කල ඒවා බව සඳහන්. ඒවා නිර්මාණය කල අවස්තාව වනවිට හර්ජිට අදාළ රටවල් දෙකම ගැන තිබුනේ ඉතා සීමා සහිත අදහසක්. බෙල්ජියානු යටත් විජිතයක් වූ බෙල්ජියානු කොන්ගෝව පිළිබඳ ඔහු දැනගත්තේ මිෂනාරිවරුන්ගෙන්. මෑත කාලයේත් කතාව අප්‍රිකානු විචාරකයන් විසින් විවේචනය කෙරුනේ එයින් ස්වදේශික අප්‍රිකානු ගෝත්‍රිකයන් හෑල්ලුවට ලක් කෙරෙන බව පවසමින්. පළමු ටින්ටින් කතා නවයම මුලින්ම පල කෙරුනේ කළු සුදු වර්ණයෙන්. ඒවා පසුව වර්ණ ගන්වනු ලැබුවා. නමුත් Tintin in the Land of Soviets කතාව හර්ජි විසින් වර්ණ ගන්වා ප්‍රකාශ කෙරුනේ නැහැ. ඇතැම්විට ඊට හේතු වන්නට ඇත්තේ එම කතාව පිළිබඳ ඔහුද එතරම් සෑහීමකට පත් නොවීම විය හැකියි.

කෙසේ වුනත් පසු කාලීනව පලවූ කතා හර්ජි විසින් නිර්මාණය කෙරුනේ සැලකියයුතු මට්ටමේ පර්යේෂණයකට පසුවයි. 1940 දක්වා පලවූ පළමු කතා නවය තුල දේශපාලන තේමා රැගත් කතා කිහිපයක්ම තිබුනා. දෙවන ලෝක යුධ සමයේ බෙල්ජියම යටත් කරගත් ජර්මානුන් ඔහු රැකියාව කල සඟරාව වසා දැමූ අතර සිය රැකියාව අහිමි වූ හර්ජිට අලුත් රැකියාවක් සොයා යන්නට සිදු වුනා. මෙහිදී ඔහුට Le soire (The Evening) කියන ප්‍රසිද්ධ පුවත්පතට බැඳීමට අවස්තාව ලැබුනා. එහිදී ඔහු දේශපාලන තේමා රහිත කතා නිර්මාණය කලේ ජර්මන් බලධාරීන්ගේ උදහසට ලක්වීමෙන් ගැලවීමටයි.

ලෝක යුද්ධය නිමා වීමෙන් පසු ටික කලක් හර්ජි දිගටම ඒ පුවත්පතේ සේවය කළා. නමුත් 1949 එයින් ඉවත් වී ඔහු 1950දී තමන්ගේම ආයතනයක් Studios Hergé නමින් පිහිටුවා ගත්තා. නිර්මාණකරුවාගේ ස්වාධීනත්වය වැඩි වීමත් සමඟ ටින්ටින් කතා තවත් ජනප්‍රිය වන්නට වුනා. හර්ජි තමන්ගේම ආයතනයක් පිහිටුවාගත් පසු මුලින්ම කලේ ටින්ටින් චන්ද්‍ර ගමනකට යොමු කිරීමයි. ඒ Destination Moon සහ Explorers on the Moon පොත් හරහායි.

හර්ජි තමන්ගේ ටින්ටින් කතාවලට බොහෝ විටම කාලීන මාතෘකා යොදා ගත්තා. එවැනි උදාහරණ ගණනාවක්ම අපට දකින්න පුළුවන්. ටින්ටින් 1930 ගණන්වල චීනයට යන්නේ ජපනුන් විසින් මැන්චූරියාව ආක්‍රමණය කලාට පසුව. The Blue Lotus කතාවට ඒ ආක්‍රමණයත් පසුබිම් වෙනවා. The Broken Ear කතාවට බොලිවියාව සහ පැරගුවේ රට අතර 1930 ගණන්වල ඇතිවූ Gran Chaco War කියන යුද්ධය පසුබිම් වෙනවා. එමෙන්ම ජනරාල් අල්කසාර් සහ ජනරාල් ටැපියෝකා වැනි චරිතවලින් සමකාලීන ලතින් ඇමරිකානු හමුදා පාලකයන් පිලිබඹු වන බවත් පෙනෙනවා. ඒ වගේම ටින්ටින් හඳට යන්නෙත් අභාවකාශ ගමන් පිළිබඳ අවධානය යොමු වන්නට පටන් ගන්නා කාලයේමයි. හර්ජි විසින් ටින්ටින් ටිබෙට් රටට යවන්නේ 1958-60 කාලයේ. මේ කාලයේ ටිබෙටය කෙරෙහිත් ජාත්‍යන්තර අවධානය යොමු වුනා. 1959 අවුරුද්දේ ටිබෙට් රටේ චීනයට විරුද්ධ කැරැල්ලක් ඇති වෙනවා. නමුත් මේ කැරැල්ල නම් කතාවට පසුබිම් වන්නේ නැහැ.

හර්ජි ඇතැම් කතා සඳහා කල්පිත රාජ්‍යයන් නිර්මාණය කළා. ලතින් ඇමරිකාවේ සැන් තියොඩොරෝස්, නුඑවෝ රිකා සහ සාඕ රීකා, බෝල්කන් ප්‍රදේශයේ සිල්ඩේවියාව සහ බොඩෝරියාව වගේම අරාබියේ ඛේමඩ් වැනි රටවල් මේ සඳහා උදාහරණ වෙනවා. මේ අතර ඇති චරිතත් ඇතැම් විට බොහොම වැදගත්. උදාහරණයක් වශයෙන් කතාවේ හමුවන බොඩෝරියාවේ පාලක ඛුර්වි ටාෂ් ඇත්තෙන්ම කතාවට කෙලින්ම සම්බන්ධ වන්නේ නැහැ. නමුත් ඔහුගේ පෝස්ටර, දැවැන්ත ප්‍රතිමා, චිත්‍ර ආදිය යන යන තැන දකින්නට ලැබෙනවා. ඒ වගේම ඒ රටේ රාජ්‍ය ලාංඡනය වන්නේ රතු පසුබිමක ඇති උඩු රැවුලක්. මේ පාලකයාගේ උඩු රැවුලයි. ඒ විතරක් නොව එරට නිලධාරීන් දිවුරන්නෙත් "ඛුර්වි ටාෂ්ගේ රවුල්ගස් පල්ලා" (By the whiskers of Khurvi Tasch) කියායි. ඇත්තෙන්ම මෙම චරිතය තුලින් හිට්ලර්, ස්ටාලින්, මුසෝලිනි යන සියල්ලන්ගේම ලක්ෂණ ටික ටික දකින්නට පුළුවන්. (දැවැන්ත ප්‍රතිමා නම් මතකයට නගන්නේ ස්ටාලින්ව).

හර්ජි විසින් සිය ජීවිත කාලය තුල ටින්ටින් කතා 23ක් සම්පූර්ණයෙන් නිර්මාණය කළා. එක කතාවක් ඔහු අතහැර දැම්මා. එමෙන්ම 1983 මාර්තු 3 වනදා ඔහු මියයනවිට Tintin and Alph-Art නම් තවත් කතාවක් අඩ වශයෙන් නිමවා තිබුණා. පසුව හර්ජි පදනමේ මැදිහත් වීමෙන් 1986 දී එය මුල් වරට ප්‍රකාශයට පත් කෙරුනා.

Sunday, January 13, 2013

ඉන්දියාවේ 'අමතක කරන ලද' නැක්සල්වාදී යුද්ධය

බටහිර ආසියාවේ අර්බුද, නැගෙනහිර ආසියාවේ සමුද්‍රීය සීමා මතභේද, නවදිල්ලි උද්ඝෝෂණ සහ ලෝක ආර්ථික අවපාතය කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතින මේ දිනවල වැඩිදෙනෙකුට ඉන්දියාව අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මකව පවතින කැරැල්ල පිලිබඳ අමතක වී ඇති සෙයක් පෙනේ. නමුත් මෙසේ අමතකවීම පිලිබඳ ඉන්දීය රජයවත් කරලිකරුවන්වත් අසතුටින් පසුවන බවක් නොපෙනේ.

ඉන්දියාවේ නැක්සල්වාදීහු හෙවත් මාවෝවාදී කැරලිකරුවෝ එරට රජය සමඟ සටන් වදින්නේ දශක හතරහමාරක සිටය. මේ කාලය තුල එහි නැගීම් සහ බැසීම් දක්නට ලැබුන අතර 1970 දශකයේ මුල් භාගයේ සිදුවූ පරාජයෙන් පසුව පසු බැස, යලිත් අළු ගසාදමා නැගිට්ටේ මීට දශකයකට පමණ පෙරය. එම කැරැල්ල කෙතරම් ප්‍රබල ලෙස මතුව ආවේදැයි පැහැදිලි වන්නේ 2006 දී එරට අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් එය ඉන්දියාව මුහුණ දෙන බරපතලම අභ්‍යන්තර අර්බුදය බව ප්‍රකාශ කිරීමෙනි.

අගමැතිතුමා එසේ කීවද, බොහෝ ඉන්දියානුවන් පවා එම අදහස එතරම් ගණන් ගන්නා බවක් නොපෙනුණි. එම වසරේ අප්‍රේල් මාසයේදී නැක්සල් කැරැල්ල සම්බන්ධයෙන් ගතයුතු පොදු උපායමාර්ග සාකච්ඡා කිරීම පිණිස වන සමුළුවක් සඳහා එම කැරැල්ල මතුව පැවති ප්‍රාන්ත දහතුනක ප්‍රධාන අමාත්‍යවරුන්ට නවදිල්ලියට පැමිණෙන ලෙස අගමැතිතුමා ආරාධනා කළේය. නමුත් ඔහුගේ ආරාධනය පිළිගත්තේ එයින් හයදෙනෙකු පමණි. අනෙක් ප්‍රධාන ඇමතිවරුන් තම නියෝජිතයන් දිල්ලියට එවූයේ ඔවුනට ඊට වඩා වැදගත් වැඩ තිබූ හෙයින් විය යුතුය. කෙසේ වුවද එසේ පැමිණි හයදෙනාගෙන්ද එක අයෙක් සමුළුව අතරතුර සුව නින්දක පසුවනු දක්නා ලදී.

මීට වසර හයකට පමණ පෙර නැක්සල් කැරැල්ලෙහි බලපෑම දැනුණ ප්‍රදේශ. මේ වනවිට මින් ඇතැම් ප්‍රදේශවල කැරලිකරුවෝ මුළුමනින්ම පසුබා සිටිති. Wkimedia Commons.



බොහෝ අය මෙම කැරැල්ල දුටුවේ 2009 ජුනි මාසයේදී The Economist සඟරාව විසින් හඳුන්වා දෙන ලද ආකාරයේ "පිළිවෙලක් නැති කැරැල්ලක් (a ragtag rebellion)" ලෙසය. කෙසේ වුවත් එම සඟරාව තවදුරටත් සඳහන් කරන්නට යෙදුනේ කැරැල්ලට සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇති නිර්භීත දේශපාලකයන්, අවංක නිලධාරීන් සහ මනා පුහුණුවක් ලද පොලිස් නිලධාරීන් නොමැති බවය. 2009 වර්ශාවසානය වනවිට The Economist සඟරාව ප්‍රකාශ කලේ ඉන්දීය බලධාරීන් නැක්සල් විරෝධී යුද්ධය කැරලිකරුවන්ගේ හදබිම තුලටම ගෙනයාමට බලාපොරොත්තුවන බවය. නමුත් 2010 පෙබරවාරි වනවිට එම සඟරාවම කියා සිටියේ ඉන්දියාව මෙම කැරැල්ලෙහි බරපතලකම තේරුම් ගතයුතු බවය. පැහැදිලිවම ඉන්දීය බලධාරීන් කැරැල්ල මඩින්නට ගත් උත්සාහයෙන් පලක් නොවූ බව පෙනින. නමුත් නිර්භීත දේශපාලකයන්, අවංක නිලධාරීන් සහ මනා පුහුණුවක් ලද පොලිස් නිලධාරීන් නොමැතිව එවන් සටනක් ඔවුන් සාර්ථකව දියත් නොකිරීම පිලිබඳ පුදුම වියයුතු නොවීය.

මෙම ලිපිය පලවී සති කිහිපයකට පසු මාවෝවාදී කැරලිකරුවෝ ආරක්ෂක අංශ වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. 2010 අප්‍රේල් මාසයේ මුල චට්ටිස්ඝාර් ප්‍රාන්තයේදී මුර සංචාරයක නිරත වූ මධ්‍යම සංචිත පොලිස් බලඇණියේ (Central Reserve Police Force-CRPF) භට පිරිසකට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් එම පිරිසෙන් 76 දෙනෙකු මිය ගියහ. මේ ප්‍රහාරයත් සමඟ මාවෝවාදී අරගලයට නව මුහුණුවරක් ලැබිණ. ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය වැඩියෙන් ඒ දෙස යොමු වන්නට වූ අතර ඊට එරෙහිව කාර්යක්ෂම ප්‍රතික්‍රියාවක් දැක්වීමේ අවශ්‍යතාව ඉන්දීය පාලකයනට වෙනදාටත් වඩා තේරුම් ගියේය.

මේ වනවිටත් මාවෝවාදීන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික බල කඳවුරු වූ ප්‍රදේශවලින් පසුබා ගොස් සිටියහ. ඔවුනගේ "බල ප්‍රදේශ" පිහිටියේ චට්ටිස්ඝාර් සහ ජාර්ඛන්ඩ් ප්රාබන්ත සහ ඒ ආශ්‍රිතව පිහිටි වනගත පෙදෙස්වලය. ඔවුනට මේ ප්‍රදේශවල සිටි ආදිවාසී ගෝත්‍රිකයන්ගේ සහයෝගය ලැබිණ. මීට පිළිතුරක් ලෙස චට්ටිස්ඝාර් ප්‍රාන්තයේ අනුග්‍රහය ඇතිව සල්වා ජුදුම් (Peace March-සාමයේ ගමන) යන විශේෂ පොලිස් බලකායක් ඇතිකරන ලදී. මෙහි සාමාජිකයන් වූයේද ආදිවාසී ජනතාවගෙන්ම බඳවා ගනු ලැබූ පිරිසකි. එහෙයින්, එම ප්‍රාන්තයේදී මාවෝවාදී කැරැල්ල ආදිවාසී ගෝත්‍රිකයන් අතර ගැටුමක් බවට පත් විය. කෙසේ වුවද, 2011 ජූලි මාසයේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ මෙවැනි විශේෂ පොලිස් කණ්ඩායම් පිහිටුවීම සහ එයට ආදිවාසී තරුණයින් බඳවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

යථෝක්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියානු ආරක්ෂක අංශ මාවෝවාදීනට එරෙහිව පෙරට වඩා ක්‍රියාකාරී වූහ. ප්‍රධානතම මාවෝවාදී කණ්ඩායම වන ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාවෝවාදී) මේ වනවිට දුර්වල වී ඇති සෙයක් පෙනේ. ඊට හේතුව එහි නායකයන් රැසක් මියයාම, අල්ලාගනු ලැබීම හෝ පක්ෂය අතහැර යාම වැනි කරුණු නිසා පක්ෂයට අහිමි වීමය. මුල් කාලයේ එවන් නායකයන්ගේ අඩුව එතරම් තදින් නොදැනුනද 2011 නොවැම්බර් මාසයේ සිදුවූ කොටේස්වර රාඕ හෙවත් කිෂෙන්ජි නම් ප්‍රබල නායකයාගේ ඝාතනයෙන් පසු මාවෝවාදී පක්ෂය තරමක් අඩපණව ඇත. විශේෂයෙන්ම කිෂෙන්ජිගේ නායකත්වය යටතේ එවකට බටහිර බෙංගාලයේ ක්‍රියාත්මක වූ මාවෝවාදී සටන සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටියේය. 2012දී ඔවුන් සිදුකල ප්‍රසිද්ධියට පත් වූ ප්‍රධාන මෙහෙයුම වූයේ ඔදීෂා (ඔරිස්සා) ප්‍රාන්තයේදී ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු සහ ප්‍රාදේශීය දේශපාලකයකු පැහැර ගැනීමය.

නමුත් එම සිද්ධියට සම්බන්ධ වූ ඔදීෂා මාවෝවාදී නායක සුබ්යසාචි පන්ඩා 2012 මැද පක්ෂය අතැර ගියේය. ඔහුගේ එක චෝදනාවක් වූයේ පක්ෂයෙහි තීරක බලය පවතින්නේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි නායකයන් අත බවය. පක්ෂයේ මහලේකම් මුපල්ලා ලක්ෂ්මන රාඕ හෙවත් ගණපති, කිෂෙන්ජි ආදී ප්‍රධාන පෙළේ නායකයන් රැසක්ම ආන්ද්‍රාවේ උපන්නෝ වෙති.

කෙසේ නමුත්, ඉන්දියාවේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය සාමාජිකයන් රැසකගෙන් සැදුම්ලත් පක්ෂයකි. එහි සන්නද්ධ අංශය වන මහජන ගරිල්ලා විමුක්ති හමුදාව (People's Liberation Guerrilla Army-PLGA) හොඳින් පුහුණුව ලද 8,000 ක් පමණ වන භටයන් පිරිසකගෙන් සැදුම් ලද්දක් බව මීට මාස කිහිපයකට පෙර එරට රජයේ අනුමානය විය. මීට අමතරව එතරම් හොඳින් පුහුණුව හෝ අවි ආයුධ නොලත්, එහෙත් සංඛ්‍යාවෙන් 38,000 ක් පමණ විශාල, ප්‍රාදේශීය ජනතා මිලීෂියාවක් ද පක්ෂයට විය. PLGA භටයන් ලබන පුහුණුව ඉන්දීය පොලිස් භටයන් ලබන පුහුණුවට සාපේක්ෂව ඉතා උසස් තත්ත්වයක වනබව එම සංවිධානය හැර පැමිණියන් විසින් පවසනු ලැබ ඇත. මේ අතර ආදිවාසී ජනතාව අතරින් නැක්සල්වාදීන්ට සැලකියයුතු ජනතා සහයක් තවමත් ලැබෙමින් පවතී.

එහෙයින් එවන් සංවිධානයක් සාපේක්ෂව නිහඬ වූ පමණින් පරාජයට පත් වී ඇති සිතීම මුළාවකි. ඔවුහු සිය වැරදි නිවැරදි කරගනිමින්, එතරම් අවධානය යොමු නොවන පරිදි යළි සිය බලපෑම ව්‍යාප්ත කරමින් සිටින බව ඇතැම් වාර්තා අනුව කියවේ. එවන් තත්ත්වයක් හමුවේ, තමන් යලි සංවිධානය ගොඩ නගනතුරු එය පිළිබඳ ජනමාධ්‍යවල අවධානය එතරම් යොමු නොවීම කෙරෙහි මාවෝවාදීන් කම්පා නොවනු ඇත.

Wednesday, January 9, 2013

ඇමරිකාවේ මීළඟ ආරක්ෂක ලේකම් චක් හේගල් ද?



ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් තමන්ගේ මීළඟ ආරක්ෂක ලේකම් ලෙස චාර්ල්ස් තිමති (චක්) හේගල් මහතා යෝජනා කර තිබේ. කෙසේ වෙතත් මෙම යෝජනාවට එරෙහිව දැඩි විරෝධතාවයක් රිපබ්ලිකානු පක්ෂය දෙසින් එල්ල වෙමින් පවතී. විවේචකයින් පවසන්නේ ඔහු ඊශ්‍රායලය කෙරෙහි ලිහිල් මදි බවත් ඉරානය කෙරෙහි ලිහිල් වැඩි බවත්ය. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ ඔහු විවේචනය කරන්නන් ඒ සඳහා පාදක කරගන්නේ, ඇමරිකානු සෙනට් මණ්ඩලයේ නෙබ්‍රස්කා ජනපදයෙහි හිටපු රිපබ්ලිකානු සෙනට් සභිකයකු ලෙස ගතකල සමයෙහි ඔහු ඉදිරිපත් කල අදහස් වීමයි.

චක් හේගල් උපන්නේ 1946 ඔක්තෝම්බර් 4 වනදා නෙබ්‍රස්කාවේ නෝර්ත් ප්ලැට් නම් කුඩා නගරයේය. ඔහුගේ පියා ජර්මන් සම්භවයකින්ද මව පෝලිෂ් සහ අයිරිෂ් සම්භවයකින්ද යුතු වූහ. 1967 දී වියට්නාමයේ යුධ මෙහෙයුම්වලට සම්බන්ධ වූ හේගල් එහිදී තුවාල ලබා දෙවරක්ම "පර්පල් හාට්" සම්මාන දිනා ගත්තේය. මෙය මේ වනවිට ඔහුට සහාය දක්වන්නන් ඉදිරිපත් කරන එක් කරුණකි.

චක් හේගල්, ඇමරිකානු සෙනට් සභිකයකුව සිටි සමයේ ගත් නිල ඡායාරූපය, Wikimedia Commons.



යුධ සේවයෙන් පසුව යලි සියරට පැමිණි හේගල් ව්‍යාපාරිකයකු වශයෙන් නමක් දිනාගනිමින් සැලකියයුතු ධනයක් එක්රැස් කරගත්තේය. මේ අතර 1980 වසරේ රේගන් ජනාධිපති සටනට ඔහු දායක විය. හේගල් දේශපාලනයට පැමිණියේ 1996 වසරේ ඇමරිකානු සෙනට් සභාවට තරඟ කිරීමෙනි. එහිදී ඔහු වසර 24 කට පසු නෙබ්‍රස්කාව නියෝජනය කරමින් සෙනට් සභාවට පත් වූ පළමු රිපබ්ලිකානුවා බවට පත් විය. 2002 වසරේ නැවත එම තනතුරට තරඟ කල හේගල් එවර ලබාගත් 82.8% ඡන්ද ප්‍රතිශතය නෙබ්‍රස්කාවේ කිසිදු ඇමරිකානු සෙනට් සභා තරඟයකදී ලැබුවාට වඩා වැඩි ප්‍රතිශතයකි.

ඉරාක ආක්‍රමණයට මුලදී පක්ෂ වූ හේගල්, පසුව එහි නියම තතු හෙලි වනවිට ඉරාක යුද්ධයට විරුද්ධව මත පල කිරීමට වූයේය. 2005 වසර වෙද්දී ඔහු රිපබ්ලිකානු ආණ්ඩුවේ ඉරාක ප්‍රතිපත්තිය තදබල ලෙස විවේචනය කරන්නකු බවට පත් වී තිබුණි. එම වසරේ අගෝස්තුවේදී ඉරාක කැරලිකරුවන් පරාජය වීමට ආසන්න බව උප ජනාධිපති ඩික් චේනි කල ප්‍රකාශය හේගල් විසින් ප්‍රසිද්ධියේ හාස්‍යයට ලක් කරන ලදී. "ආණ්ඩුවෙන් ප්‍රශ්න ඇසීම දේශද්‍රෝහීකමක් නොවේ. ප්‍රශ්න නෑසීමයි දේශද්‍රෝහීකම" වරක් ඔහු ප්‍රකාශ කළේය. ඉරාකයේ කල සංචාරවලින් පසු ඔහුගේ විවේචන තවත් ඉහල ගියේය. 2007 වසරේදී ඔහු ප්‍රකාශ කලේ පසුගිය වසර 40 ක කාලය තුල ඇමරිකාවේ පැවති නරකම ආණ්ඩුව බුෂ් පාලනය බවයි.

ඊශ්‍රායලය සම්බන්ධයෙන්ද හේගල් බුෂ් පාලනය විවේචනය කරන්නට පසුබට වූයේ නැත. වෙසෙසින්ම, 2006 දී ඊශ්‍රායලය විසින් ලෙබනනයට පහර දෙන අවස්ථාවේ ඔහු ප්‍රකාශ කලේ දෙපක්ෂයේම මිනිසුන් නිරපරාදේ මරණයට පත් වනු වැළැක්වීම සඳහා බුෂ් පාලනය විසින් සටන් විරාමයක් ඇති කරන ලෙස බල කලයුතු බවයි. නමුත් ඒ පිලිබඳ කිසිවක් බුෂ් පාලනයෙන් සිදු කෙරුනේ නැත.

හේගල් විසින් 2008 වසරේදී කරනු ලැබූ ප්‍රකාශයක් අද ඔහුගේ විරුද්ධවාදීන්ගේ ප්‍රධානතම අවිය බවට පත්ව ඇත. එම අවස්ථාවේ ඔහු ප්‍රකාශ කලේ යුදෙව් සභාකක්ෂ මන්ත්‍රකයින් (Jewish Lobby) මෙහි (ඇමරිකාවේ) සිටින බොහෝ දෙනා බයගන්වන බවයි. (දේශපාලනයේදී සභාකක්ෂ මන්ත්‍රණය (Lobbying) යනු යම් කරුණක් සම්බන්ධව උනන්දුවක් දක්වන අය විසින් එම අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස රාජ්‍ය ප්‍රතිපත්ති තීරකයන්ට බලපෑම් කිරීමයි). කෙසේ වුවද, ඇතැම් මධ්‍යස්ත මතධාරී යුදෙව්වන් පවා මෙම Jewish Lobby යන වචනය භාවිතා කර ඇත. එමෙන්ම මධ්‍යස්ත යුදෙව් නායකයන් ඇතැම්විට ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති විවේචනය කල අවස්ථාද ඇත්තේය. අනෙක් අතට, හේගල් යුදෙව් ජාතිකයන් සමඟ යහපත් සම්බන්දතාවක් පවත්වන බව යුදෙව් නායකයන් සමහරක් දෙනා ප්‍රකාශ කොට ඇත. ඊශ්‍රායලයේ හිටපු නාවික හමුදාපතිවරයෙකුද ප්‍රකාශ කරන්නට යෙදුනේ හේගල් ඊශ්‍රායලයේ මිතුරකු බවයි.

ඇතැම් විචාරකයින්ගේ මතය වන්නේ චක් හේගල්ට එරෙහි මෙම "යුදෙව් විරෝධය" නිකම්ම මඩ ප්‍රහාරයක් බවයි. මෙහි ඇතුලත කතාව ලෙස ඔවුන් දකින්නේ ඔබාමා පරිපාලනයට යුධ වියදම් අඩු කිරීමට ඇති අවශ්‍යතාවයයි. මේ වනවිට ඇතැම් යුධවාදීන් ඉරානයට එරෙහිව පිළිබඳව නන් දොඩන්නේ ඉරාකයේ සහ ඇෆ්ඝනිස්තානයේ යුද්ධ සාර්ථක වූ බව සලකාගෙන මෙන් පෙනේ. මෙම යුද්ධ බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් අවසන් නොවූවා පමණක් නොව ඊට ගිය වියදම ඇමරිකානු ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත් කොට ඇත. නමුත් රිපබ්ලිකානුවන් බොහෝ දෙනෙකු එය පිළිගැනීමට සූදානම් නැත.

ඔබාමා පාලනය දැන් උත්සාහ කරන්නේ යුධ වියදම් අඩු කරගැනීමටය. මේ බව ලිබියාව සහ සිරියාව වැනි රටවලදීද පැහැදිලි විය. ලිබියාවේ ගඩාෆි විරෝධී සටනට ක්‍රියාකාරීව සහය දුන්නේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයයි. සිරියාවේ විපක්ෂයටද ආධාර කරන්නට මූලික වී ඇත්තේ යුරෝපා රටවල්ය. යුධ වියදම් අඩු කරගන්නට තමාට උපකාර කරන්නෙකු ආරක්ෂක ලේකම් තනතුරට ජනාධිපතිවරයා විසින් යෝජනා කොට ඇත. යුධවාදීන් හේගල්ට විරුද්ධව යුධවදින්නට පටන්ගෙන ඇත්තේ මේ තත්ත්වය තේරුම් ගැනීම හේතුවෙනි.

Tuesday, January 8, 2013

ODESSA සංවිධානය සහ "හිට්ලර්ගේ SS හමුදාව"



මෑතකදී පරිවර්තන සාහිත්‍යය පිළිබඳ ඇති වුන සංවාදයකදී මා ඉදිරිපත් කරපු කරුණක් වුනේ, පරිවර්තන කෘතියකට නමක් දැමීමේදී ආකර්ෂණීයභාවය පමණක් නොව එම නමෙහි අදාලත්වය සහ නිරවද්‍යභාවය සැලකිය යුතුවන බවයි. විශේෂයෙන්ම එය පරිවර්තනයක් විට මුල් කතෘවරයාටත් සාධාරණය ඉටු විය යුතුයි. එදින අපගේ සාකච්ඡාවට යොමු වුනේ නම් අද මම කතා කරන කෘතිය නෙවෙයි.

අභය හේවාවසම් මහතා අපේ රටේ සිටි ප්‍රවීන පරිවර්තකයෙක්. අවාසනාවකට ඒ මහතා අද අප අතර නැහැ. නමුත් සිංහල සාහිත්‍යට වැදගත් පොත් කිහිපයක්ම එතුමා එකතු කළා. විශේෂයෙන්ම, මට මතක විදියට එතුමාගේ පළමු පරිවර්තනය වුනු "වීර දිවයින" (Brave Island) අපේ රටම ගැන ලියවුනු ඓතිහාසික නවකතාවක්. එවැනි පොත් සිංහල පාඨකයාට හඳුන්වා දීම පැසසිය යුතුයි. ඒ වගේම මා ෆෙඩ්රික් ෆෝර්සයිත්ගේ කතාවල රසිකයෙක් බවට පත් වුනේ එතුමා පරිවර්තනය කරපු "වෘකයාගේ දවස" (The Day of the Jackal) කියවලා. බලන්න මේ පොත් දෙකේදීම එතුමා ඉංග්‍රීසි නම එහෙමම සිංහලයට අරගෙන තියෙනවා. එහෙම කරන්නටම අවශ්‍ය නැහැ. නමුත් එහෙම වුනා කියලා පොතට හානියක් වෙලා නැහැ. ඒ පරිවර්තන කෘති දෙකම මම ඉහලින්ම රස වින්දා.

කෙසේ වුනත්, පසුකාලීනව එතුමා කරපු ඇතැම් පරිවර්තන මුල් කාලයේ පරිවර්තන තරම් රසවත් වුනේ නැහැ. ඒ වගේම ඇතැම්විට යොදාගත්තු නම් පවා ප්‍රශ්න සහගතයි. Harry Potter and the Philosopher's Stone කියන පොතට "හැරී පොටර් සහ මායාගල" කියන නම යොදාගැනීම පිළිබඳව තමයි මම අර මුලින් කියාපු සංවාදය ඇති වුනේ. Philosopher's Stone යනු සිතුමිණ, චින්තාමාණික්‍යය ආදී වශයෙන් හඳුන්වන වස්තුව බව මගේ දැනුමයි. එවන් වස්තුවකට "මායාගල" කීම කෙතරම් උචිතද යන්න මට ගැටලුවක් වුනා. මා ඉදිරිපත් කල අදහස වුනේ, එවැනි නමක් යොදාගැනීම මගින් පරිවර්තකයා අදාළ විෂයය පිළිබඳ මනා අවබෝධයකින් තොරව පරිවර්තනය කල බව පෙනෙන බවයි. යම් පරිවර්තනයක් කරන්නේ නම් අදාළ විෂයය පිළිබඳ තරමක හෝ අදහසක් තිබිය යුතුයි. එසේ නොමැති වූ විට සිදු වන අසාර්ථක පරිවර්තනයන් අප දැක තිබෙනවා.

එවැනිම තවත් නමක් තමයි "හිට්ලර්ගේ SS හමුදාව" කියන නම. මේ ෆෙඩ්රික් ෆෝර්සයිත්ගේ දෙවන ප්‍රබන්ධ කෘතිය වූ The Odessa File පොතේ පරිවර්තනයක්. (ෆෝර්සයිත්ගේ පළමු ප්‍රබන්ධ කෘතිය තමයි The Day of the Jackal පොත). මේ නම බැලූ බැල්මට ලොකු අවුලක් නැති බව පෙනුනත් මට නම් මුල පටන්ම පුංචි අවුලක් තේරුනා. මොකද SS හෙවත් Schutztaffel (ආරක්ෂක බලකාය) සංවිධානය 1945 දී තහනම් කෙරුනා. SS සංවිධානයට හමුදා අංශයක්ද තිබුනා (Waffen SS). එයද 1945 දී තහනම් කෙරුනා. SS නායකයා වූ හයින්රිච් හිම්ලර් සියදිවි නසාගත්තා. හිට්ලර්ද දිවි නසාගත් බව විශ්වාස කෙරෙනවා.

ඩචාවු ආරක්‍ෂිත රැඳවුම් කඳවුර නිරීක්ෂණයට හිම්ලර් පැමිණෙයි (මැයි 8, 1936) ඡායාරූපය ෆෙඩ්රික් ෆ්‍රාන්ස් බවර්, ජර්මන් ෆෙඩරල් ලේඛනාගාරය. Bundesarchiv, Bild 152-11-12 / CC-BY-SA, Wikimedia Commons



SS සංවිධානය පටන් ගත්තේ 1920 ගණන්වල හෙවත් ශාලා ආරක්ෂකයින් ලෙස (Saal Schutz). ඒ කාලයේ බොහෝවිට නාසි පක්ෂයේ රැස්වීම් තිබුනේ බීර ශාලාවල නේ. ඒ නිසා එහි ආරක්ෂාවට යොදාපු භටයින් තමයි පසුව SS සංවිධානය විදියට විකාශය වුනේ. මෙය දැඩි නාසි මතධාරී, විශේෂ හමුදාවක්. මේ SS සංවිධානය තමයි බොහොමයක් යුධ අපරාධ සිදු කලේ (සාමාන්‍ය ජර්මන් යුධ හමුදාව නෙවෙයි). Waffen SS සංවිධානය දෙවන ලෝක යුධ සමයේ ඩිවිෂන් 38ක් දක්වා වර්ධනය වුනා. එම සංවිධානයට ප්‍රධාන අංශ තුනක් තිබුනා. ඒ ලීබ්ස්ටන්ඩාර්ටේ (Leibstandarte) හෙවත් හිට්ලර්ගේ පෞද්ගලික ආරක්ෂක ඩිවිෂනය, Totenkopfverbände හෙවත් 'මාරයාගේ හිස' බටැලියන් (වද කඳවුරු පාලනය කලේ මේ අංශයයි) සහ Verfügungstruppe සාමාන්‍ය හමුදා අංශයයි. පැන්සර් හෙවත් යුධ ටැංකි ඩිවිෂනවල සිට පාබල ඩිවිෂන දක්වා විවිධ අංශ මේ අතර වුනා.

ODESSA සංවිධානය යනු Organisation der ehemaligen SS-Angehörigen (පැරණි SS සාමාජිකයන්ගේ සංවිධානය) නම් සංවිධානයක්. එතැනින්ම කියවෙනවා එය හමුදාවක් නොව පැරණි සාමාජිකයන්ගේ එකමුතුවක් බව. එහි කෙටි කාලීන අරමුණ වුනේ පලායන සාමාජිකයන්ට ආරක්ෂාව සහ පලායාමට මාර්ග සැලසීම. දිගු කාලීන අරමුණ වුනේ හතරවැනි රයිෂයක් පිහිටුවීම. (හිට්ලර්ගේ ජර්මනිය තුන්වන රයිශය ලෙස හඳුන්වනු ලැබුනා) නමුත් මෙම සංවිධානය ඇත්තටම පැවතියේද යන්න විවාදයට හේතු වූ මාතෘකාවක් වුනා. ඇතැම් පැරණි භටයන් සමහරෙක් එවන් සංවිධානයක් නොපවතින බව දැඩි සේ ප්‍රකාශ කළා. නමුත් එය ගෙඩි පිටින් විශ්වාස කිරීම "හොරාගෙන් පේන අහනවා වගේ" වැඩක් වුනත්, සංවිධානයේ ඇත්තම ස්වභාවය පිළිබඳව නම් හරි වැටහීමක් නැහැ. ඇතැමුන් විශ්වාස කරන්නේ එය ලොව පුරා එක ජාලයක් ලෙස පවතින බව. තවත් සමහරෙක් කියන්නේ එය තනි කණ්ඩායමක් නොව කණ්ඩායම් කිහිපයක් බව.

ලෝක ප්‍රසිද්ධ නාසි දඩයක්කරුවෙකු (Nazi Hunter) වූ සයිමන් විසෙන්තාල් සඳහන් කරන පරිදි ODESSA සංවිධානය බිහි වුනේ 1946 දී. නමුත් ඇතැම් මතයකට අනුව, යුද්ධයේ අවසන් කාලය වනවිට මේ සඳහා පිඹුරුපත් සකස් වෙමින් තිබුනා. එය එසේ වී නම් ඒ හිට්ලර්ගේ යුධ ක්‍රමවේදයට ඉඳුරාම වෙනස්. යුද්ධයෙන් පරාජය වෙද්දී හිට්ලර්ට අවශ්‍ය වුනේ වැනසෙනවා නම් සියල්ලම වනසාගෙන වැනසෙන්නටයි. 1944 වසරේදී පැරිස් නගරය අතහැර එන්නට පෙර එහි වැදගත් ස්ථාන සියල්ල (අයිෆල් කුලුන පවා) විනාශ කරන්නට ඔහු විසින් නියෝග නිකුත් කිරීම ඊට හොඳ නිදසුනක්. (කියවන්න: 'Is Paris Burning?' by Larry Collins and Dominique Lapierre) ඒ වගේම ජෝකිම් ෆෙස්ට් (Joachim Fest) ලියූ der Untergang කියන පොත කියෙව්වොත් (හිට්ලර්ගේ අවසානය, පරිවර්තනය රන්ජිත් කුරුප්පු) හිට්ලර් අන්තිම කාලයේ හිටපු මානසිකත්වය ගැන කියවන්නට පිළිවන්. මේ පොත ලියූ ජෝකිම් ෆෙස්ට් තමයි හිට්ලර් චරිතය ගැන විශාල ප්‍රමාණයේ පොතක් රචනා කල පළමු ජර්මානුවා. ('Hitler' by Joachim Fest) අදත් ජර්මන් භාෂාවෙන් හිට්ලර් චරිතය ගැන ලියූ හොඳම පොත ලෙස ඇතැමුන් මෙය සලකනවා.

ස්පාඤ්ඤය, පෘතුගාලය වගේ රටවල් හරහා පැරණි SS සාමාජිකයන් ආර්ජන්ටිනාව ආදී ලතින් ඇමරිකානු රටවලට පලා ගියේ ODESSA සංවිධානයේ උදවු ඇතුව බවයි පැවසෙන්නේ. ODESSA නමින් සංවිධානයක් පැවතුනා හෝ නැතා හෝ ඊට සමාන සංවිධානයක් පැවතුන බව පෙනෙන්නට තියෙනවා. ඇතැම්විට යුද්ධය පවතින කාලයේදීම ඔවුන් මේ සඳහා මූලික කටයුතු කරගන්නට ඇති. සමහරුන්ගේ අදහස වන්නේ SS නායක හයින්රිච් හිම්ලර් ODESSA සංවිධානය බිහි කිරීමට සම්බන්ධ වූ බව. නමුත් එය පිළිගන්නට හැකි තරම් සාධක තවම ලැබී නැහැ. එයින් පෙනෙන්නේ මෙය හිට්ලර්ට පමණක් නොව හිම්ලර්ටද රහසෙන් සිද්ධ වුනු ක්‍රියාවලියක් බව. මම එහෙම හිතන්නේ යුද්ධය අවසන් වූ පසුව එවැනි සංවිධානයක් පිහිටුවීමට කටයුතු පටන් ගැනීම කිසිසේත්ම පහසු නොවන නිසා. හිතන්න, ජර්මනිය පුරාම මිත්‍ර හමුදා සේනාංක ඉන්නවා. පැරණි සාමාජිකයෝ අත් අඩංගුවේ; නැත්නම් සැඟවිලා. වැනි සංවිධානයකට මුදල් අවශ්‍යයි. පරණ ජර්මන් මුදල් දැන් වටිනාකමෙන් තොරයි. ඒ නිසා කලින්ම වෙනත් මුදල්වලින් හෝ රත්රන් වැනි දෙයකට පරිවර්තනය කොට විශාල මුදලක් ළඟ තබා ගැනීම අවශ්‍යයි. එවැනි අවශ්‍යතා යුධ පරාජයෙන් පසු ඉටු කරගන්නට අමාරුයි. සමහරවිට සංවිධානය ඇත්තෙන්ම පිහිටුවන්නට ඇත්තේ 1946 වසරේ. නමුත් ඒ සඳහා මූලික කටයුතු ඊට කලකට පෙර කෙරෙන්නට ඇති.

නොර්මන්ඩි වෙරළේදී අල්ලා ගන්නා ලද Waffen SS භටයින් පිරිසක්. (1944) එක්සත් ජනපද ලේඛනාගාරය, Wikimedia Commons



එහෙයින් ODESSA සංවිධානයට "හිට්ලර්ගේ SS හමුදාව" කියා නම් තැබීම සුදුසු නැහැ. ඇත්තෙන්ම එවැනි නමක් සුදුසු වන්නේ Waffen-SS හමුදාව හෝ අඩුම තරමේ SS සංවිධානය හෝ ගැන ලියවුනු පොතකට. මම ඉංග්‍රීසි පොත කියවා නොතිබුනා නම් මටත් පොත අතට ගත්තු ගමන් හිතෙන්නේ මේ දෙවන ලෝක යුද්ධය ගැන ලියවුනු පොතක් බව. නමුත් ඒ සංවිධාන දෙකම 1945 දී විනාශ වුනා. ඒ නිසා ඒ නම පොතට එතරම් සුදුසු වන්නේ නැහැ. ඒ වෙනුවට "හිට්ලර්ගේ රහස් හමුදාව" වගේ නමක් දැම්මා නම් වඩා සුදුසු මෙන්ම ආකර්ෂණීය වන්නටද තිබුනා. SS හමුදාව ගැන නොදන්නා කෙනෙක් වුනත් රහස් මෙහෙයුම් ගැන කියවන්නට අකමැති වන්නේ නැහැ නේ!



(හේවාවසම් මහතාගේ මුල් පරිවර්තන එක්ක බැලූ විට මේ පොත අසාර්ථක පරිවර්තනයක් බව මගේ අදහසයි. සමහරවිට ඊට හේතු වන්නට ඇත්තේ මම ඉංග්‍රීසි පොත කියවා තිබූ එකයි. ඒ ගැන දිනේෂ් අයියාගේ සත්සමුදුර බ්ලොග් එකේ ලිපියක විස්තරයක් ලඟදි පළවුනා)

Sunday, January 6, 2013

අපට වෙච්ච දේ 008: සූර පප්පා බලන්න වුනු හේතුව.


සූර පප්පා හෙවත් Asterix ගැන මම හිතන්නේ අපි කව්රු කව්රුත් යමක් දන්නවා. එකට ගොඩාක්ම හේතු වුනේ කතා සිංහලෙන් හඬකවලා ටෙලිවිෂන් එකෙන් පෙන්නපු එක. 1959දී මුලින්ම කරලියට ආපු ප්‍රංශ චිත්‍ර කතාවක් වුනු Asterix කතා ලියුවේ රෙනේ ගොසින්නි. චිත්‍ර ඇඳ හැඩ වැඩ දැම්මේ ඇල්බර්ට් උඩර්සෝ. 1959-89 කාලයේ පලවූ ප්‍රංශ චිත්‍රකතා සඟරාවක් වූ Pilote සඟරාවේ තමයි මුලින්ම Asterix කතා පල වුනේ. 1977 සිදු වූ ගොසින්නිගේ අකල් මරණින් පස්සේ Asterix කතා නිර්මාණය කිරීම, එනම් ඇඳීම පමණක් නොව ලිවීමත්, උඩර්සෝ කරට ගත්තා. මේ වෙනවිට Asterix පොත් 34ක් පල වී තිබෙනවා. ඉන් බොහොමයක් ලෝකයේ ප්‍රධාන භාෂා රැසකට පරිවර්තනය වී තිබෙනවා. එමෙන්ම එයින් සමහර කතා ආශ්‍රයෙන් කාටූන් චිත්‍රපට නිපදවුණු අතර කතා කිහිපයක් ආශ්‍රයෙන් සාමාන්‍ය චිත්‍රපටත් බිහි වුනා. ලංකාවේ සිංහලට හඬකවා පෙන්වන්නේ ඒ කාටූන් චිත්‍රපටවලින් කිහිපයක්.

සූර පප්පා "ජීවත් වූ කාලයේ", එනම් ක්‍රි. පූ. පළමු සියවසේ ගෝල් දේශය. Wikimedia Commons



මම හිතන්නේ සූර පප්පා කතාවල "ඓතිහාසික පසුබිම" ගැන මම කියන්නට අවශ්‍ය නැහැ. මොකද ගොඩක් දෙනා ඒක දන්නා නිසා. අද මම කියන්නට යන්නේ සූර පප්පා නොබලා ඉඳලා මට වෙච්ච ඇබැද්දියක් ගැන!

සූර පප්පා කතා මුලින්ම සිංහලෙන් විකාශය වුනේ අපි ඕලෙවල් පන්තියේ ඉන්නකොට. ඒ කාලේ ඒ කතා ගියේ රෑ නවයට වගේ මතක. දවස නම් සෙනසුරාදා. (මේ කාලේ රෑට ඒ වෙලාවලට පෙන්නන වැඩසටහන්වලට වැඩිය සූර පප්පා දාහෙන් සම්පතයි). ඉතින් අපේ මල්ලි බොහොම උනන්දුවෙන් ටෙලිවිෂන් එක දාගෙන සූර පප්පා බලන්න පුරුදු වුනා. මම නම් ඒ වෙලාවට ටීවී එක පැත්තවත් බැලුවේ නැහැ. ඇයි ඉතින් "සූර පප්පා පොඩි ළමයින්ගේ කතාවක් නේ. ඕලෙවල් කරන වයසේ අපි පොඩි උන්ය? අපිට හරියනවය ඔව්වා?" වගේ පොර ටෝක් දීලා මම පැත්තකට වෙලා හිටියා. කතාව ටිකක් ෆන් වගේ පෙනුනා තමයි. ඒ වුනාට, පොඩි එවුන්ගේ කතා බලන්න නම් මට එච්චර ආසාවක් ආවේ නැහැ.

පලවෙනි සතියේ නම් ලොකු ආපදාවක් වුනේ නැහැ. ඉස්කෝලේ ගියාම දැනගත්තා පන්තියේ දෙතුන් දෙනෙක් සූර පප්පා බැලුවා කියලා. ලොකු අව්ලක් නැහැ. අපි "පොරවල් ටික" උන්ටත් පොඩි ළමයි වගේ හැසිරෙනවා කියලා බයිට් එකක් දාලා සාමාන්‍ය විදියට හිටියා. ආපදාවක් නැහැ.

දෙවැනි සතිය විතර වෙද්දී වැඩේ ටිකක් සීරියස් වෙන්න පටන් ගත්තා. දැන් කලින් සතියට වැඩිය කට්ටිය සූර පප්පා බලනවා. සඳුදා ඉස්කෝලේ ගියාම වැඩේ ටිකක් අප්සට් වේගෙන එන බව තේරුනා. දැන් කට්ටිය සූර පප්පා ගැන කතාව. සූර පප්පා බලන කට්ටිය එක එක විහිළු කෑලි කියා කියා, මතක් කර කර, විනෝද වෙනවා. බලන්නේ නැති අපි ටික දෙනා උඩ බලාගෙන ඉන්නවා.

තුන්වෙනි සතිය වෙද්දී තත්ත්වය අන්තිම අසාධ්‍යයි. මුලින් සූර පප්පා බලන එවුන් ටික දෙනා නේ බයිට් වුනේ. දැන් නොබලන එවුන් බයිට් වෙන ප්‍රවනතාවයක් වර්ධනය වෙලා. කට්ටිය ෆන් එකේ කතාව මතක් කර කර වෙනවා. බලාපු නැති සමහරු බලපු එවුන්ට පින්සෙන්ඩු වෙනවා කතාව කියලා දෙන්න කියලා. අපිට හරිම තරහයි අපේ සමහර යාලුවෝ ගැන. "අපෝ, පොඩි උන්ගේ කතා කවුද බලන්නේ?" කියලා පොර ටෝක් දීලා ගෙදර ගිය එවුන් මෙන්න සූර පප්පා බලලා ඇවිත් අපිට පොර ටෝක් දෙනවා. ඒ වගේ සැලකියයුතු පිරිසක් "සටන පාවා දුන්නා." ඉතුරු වෙච්ච අපි කීප දෙනාට තේරුනා දිගටම පන්තියේ රැඳී ඉන්න නම් බහුතරයේ පැත්තට නැමෙන්න වෙන බව.

ඉතින් ඊළඟ සෙනසුරාදා නවය වෙද්දී, මෙච්චර දවස් අපේ මල්ලිට පොර ටෝක් දිදී හිටපු මමත් හීන්සැරේ ගිහින් අර මොකාද වගේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන සූර පප්පා බැලුවේ නැතැයි.

මට තවම තේරෙන්නේ නැහැ ඇයි ලොකු අයත් සූර පප්පා බලන්න එච්චර ආස වුනේ කියලා. මම ගැන කිව්වොත්, මම අදටත් සූර පප්පා බලනවා! අදත් "රැජිනට යවනවා කේක් එක" සින්දුව අහන්න බොහොම කැමතියි (ඔයාලත් කැමති ඇති මම හිතන්නේ). ඇයි එතකොට පීතරගේ "ගැටලුවක් නෑ, ප්‍රශ්නයක් කරගන්න එපා!" ප්‍රසිද්ධ ප්‍රකාශය ඒ කාලෙත් ඉස්කෝලේ පුරාම නිතර කියවෙන ප්‍රකාශයක් බවට පත් වුනා. දැනුත් සමහරවිට මට ඒ ප්‍රකාශය කටට එනවා. ඒ වගේම, අදටත් ඌරෙකුගේ පින්තූරයක් හරි දැක්කොත් මට මතක් වෙන්නේ ජිම් පප්පාගේ සුප්‍රසිද්ධ කියමන.

"ඌරන් නැති ලෝකේ මට කවර සැපතක්ද?"

Friday, January 4, 2013

බුරුමය (මියන්මාරය) 65 වන නිදහස් දිනය සමරයි.


බුරුමය (මියන්මාරය) අද සිය 65 වන නිදහස් දිනය සමරයි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබීමට හරියටම මාසයකට පෙර එරට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. නමුත්, බ්‍රිතාන්‍යයින් බුරුමය අතර යනවිට එරට අප රට තිබුනාට වඩා පහත අඩියක තිබූ අතර අද වනතුරු එහි විශාල දියුණුවක් නොපෙනේ. එයට අභ්‍යන්තර මෙන්ම බාහිර සාධකද රැසක් බලපෑවේය.

2010 ඔක්තෝම්බර් 21 දින හඳුන්වා දුන් මියන්මාරයේ නව ජාතික ධජය, Wikimedia Commons.



බුරුමය බ්‍රිතාන්‍යය විසින් යටත් කරගන්නා ලද්දේ, 19 වන සියවසෙහි සිදුවූ ඉංග්‍රීසි-බුරුම යුද්ධ තුනකිනි (1824-26, 1852 සහ 1885). මින් පළමු යුද්ධ දෙකේදී ඇතැම් ප්‍රදේශ බ්‍රිතාන්‍යයට භාර දීමට සිදු වූ අතර තුන්වන යුද්ධයෙන් සම්පූර්ණ බුරුමයම බ්‍රිතාන්‍යය විසින් ඈඳා ගනු ලැබුණි. සත්‍ය වශයෙන්ම බුරුමයට යම් තරමකට හෝ සාර්ථකව බ්‍රිතාන්‍යයට මුහුණ දීමට හැකි වූයේ පළමු යුද්ධයේදී පමණකි. 1885 තුන්වන යුද්ධයට පසු බුරුම රජ පවුල කිසිදු ගරු සරුවක් නොමැතිව පිටුවහල් කෙරුණ අතර ඒ පිළිබඳව බුරුම වැසියන් බ්‍රිතාන්‍යය කෙරෙහි දැක්වූයේ දැඩි අප්‍රසාදයකි. තවද, 1937 වනතුරු බුරුමය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක් ලෙස සැලකීම එරට වැසියන් කිසිසේත් අනුමත කලේ නැත. මේ අතර, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ උපකාරයද ඇතිව, 19 වන සියවස මුළුල්ලේම ඉන්දියානු වෙළෙන්දන් බුරුමයේ වෙළෙඳාම සියතට ගැනීමට කටයුතු කරමින් සිටියහ. 1885 වසරෙන් පසු තත්ත්වය තවත් දරුණු වූවා පමණි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයන් වූයේ බුරුම තේක්ක සහ ස්වාභාවික සම්පත්ය.

කෙසේ වුවද බුරුමයේ වැටීමට ඍජුවම බලපෑවේ දෙවන ලෝක යුද්ධයේදී එරට සිදුවූ මහත් විනාශයයි. ජපන් ආක්‍රමණය හමුවේ පසු බසින බ්‍රිතාන්‍යයන් විසින් බුරුමයෙහි වූ යුධමය වශයෙන් වැදගත් වේ යයි සිතූ බොහෝ වැදගත් දෑ විනාශ කරන ලදී. 1945 යුද්ධය අවසන් වූ පසුවද මේවා යලි ගොඩනැගීමට තරම් කලක් නොවීය. මේ අතර, ජාතික ස්වාධීනත්වය අභියස බුරුම නායකයන් හමුවේ වූ අනෙක් අභියෝගය වූයේ බුරුමයෙහි වාසය කල සුළු ජාතීන් ගණනාවකගේ දුක් ගැනවිලිවලට ප්‍රතිකර්මයක් ලබා දීමයි. ඉරවඩි සහ සැල්වීන් ගංගා නිම්න ප්‍රදේශවලින් බාහිරව වූ, කඳුකර පෙදෙස් මේ ජාතීන්ගේ වාසස්ථාන පිහිටි ප්‍රදේශ විය.

බුරුමයේ ජාතික ව්‍යාපාරයේ නායකයා වූ අවුන්ග් සාන් (1915-1947) 1940 දශකයේ. Wikimedia Commons.



මේ අවස්ථාවේ බුරුමයේ ජාතික ව්‍යාපාරයේ නායකයා වූ අවුන්ග් සාන්, එම සුළු ජාතීන් සමඟ එකඟත්වයකට පැමිණීමට සමත් විය. නමුත් බුරුමයේ අවාසනාවට, ඔවුන් අත්සන් කල පැන්ග්ලොන්ග් ගිවිසුම (Panglong Agreement) ක්‍රියාවට නැගීමට අවස්ථාව නොලැබුණි. 1947 ජූලි මාසයේදී අවුන්ග් සාන් ඇතුළු බුරුම නායකයන් කිහිප දෙනෙකු ප්‍රතිවාදීන් අතින් ඝාතනයට ලක් වීම ඊට හේතුවයි. මෙහි ප්‍රතිපලය වූයේ, 1948 ජනවාරියේ බුරුමය නිදහස ලබා වැඩි කලක් යාමට මත්තෙන්, එම ජාතීන් මධ්‍යම ආණ්ඩුවට එරෙහිව අවි අතට ගැනීමට පටන් ගැනීමයි.

නිදහස ලැබූ පසු බුරුමය ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ කරනු දක්නට ලැබුණි. අනෙකුත් බොහෝ බ්‍රිතාන්‍ය යටත් විජිත මෙන් නොව, බුරුමය, නිදහස ලැබූ විට බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට එක් නොවීය. ඊළඟ දශකය තුල බුරුම අගමැති ඌ නු (U Nu) දැඩි අපහසුතා මධ්‍යයේ එරට සංවර්ධනය කිරීමට අසාර්ථක උත්සාහයක යෙදුනි. කැරලි කණ්ඩායම් රටේ සැලකිය යුතු ප්‍රදේශයක් පාලනය කළහ. මේ අතර 1949 චීන කොමියුනිස්ට්වාදීන්ගේ ජයග්‍රහණයත් සමඟ පසුබැස පලා යන චීන ජාතිකවාදී ගුවෝමින්ඩාන්ග් (Kuomintang-KMT) සෙබළුන් බුරුමයට කඩාවැදීමෙන් තවත් ප්‍රශ්නයක් ඇති වූයේය.

1958 දී එවකට හමුදා සේනාධිපති වූ ජෙනරාල් නේ වින් (Ne Win), කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තේය. නමුත් දෙවසරකට පසු ඔහු නැවත සිවිල් පාලනය රට භාර දුන්නේය එහෙත් රටේ පැවතියේ දැඩි අස්ථාවරභාවයකි. එමෙන්ම හමුදාවේ ඊළඟ පියවර කුමක් වේද යන්න පැහැදිලි ගැටලුවක් විය. මේ සියලු ප්‍රහේලිකා නිරාකරණය වූයේ 1962 බුරුම හමුදාව නැවත බලයට පැමිණීමෙනි. මෙවර නම් හමුදාපති නේ වින් රටේ බලය අල්ලාගත්තේ, යලිත් සිවිල් පාලනයකට රට භාරදීමට නොවේ.

ජෙනරාල් නේ වින් බුරුමය රැගෙන ගියේ අමුතු මාවතකය. ඔහු එය හැඳින්වූයේ "සමාජවාදය කරා බුරුමයේ මාවත" යනුවෙනි. 1974 දී සම්මත කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුරුමය සමාජවාදී ජනරජයක් ලෙස ප්‍රකාශ කෙරුණු අතර එහි වූයේ එකම දේශපාලන පක්ෂයකි. ඒ බුරුම සමාජවාදී වැඩසටහන් පක්ෂයයි (Burma Socialist Program Party). 1988 මහජන උද්ඝෝෂණ හේතුවෙන් බලයෙන් පහ කෙරෙන තුරු බුරුමය පාලනය කලේ නේ වින් ය.

1988 දී බලයට පත් වූයේ ජෙනරාල් සව් මාවුන්ග් (Saw Mawung) නායකත්වය දුන් හමුදා ජුන්ටාවකි. එය රාජ්‍ය නීතිය හා සාමය ප්‍රතිස්ථාපන කවුන්සිලය (State Law and Order Restoration Council-SLORC) ලෙස තමන්ව හඳුන්වා ගත්තේය. යුධ නීතිය පනවා හමුදාව යෙදවූවද, ඔවුනටද ජනතා උද්ඝෝෂණ පාලනය කිරීම පහසු නොවීය. මෙහි ප්‍රතිපලය වූයේ 1990 දී ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයක් පැවැත්වීමට පාලනය එකඟ වීමයි. මේ අතර 1989 දී බුරුමයේ නම මියන්මාරය ලෙසද, අගනුවර වූ රැන්ගුන් නගරයේ නම යැන්ගොන් ලෙසද වෙනස් කරන්නට යෙදුනි.

1990 මැයි මස පැවති මැතිවරණයෙන් අවුන්ග් සාන්ගේ දියණිය වූ අවුන්ග් සාන් සූ කී නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය (National League for Democracy-NLD) විශිෂ්ට ජයක් ලැබීය. නමුත් SLORC පාලනය එම ප්‍රතිපල පිළිනොගෙන දිගටම රටේ පාලනය ගෙන ගියේය. මේ අතර 1997 දී ජුන්ටාවේ නම රාජ්‍ය සාමය සහ සංවර්ධන කවුන්සිලය (State Peace and Development Council-SPDC)ලෙස වෙනස් කෙරින මේ අතර එම වර්ෂයේදීම ආසියාන් සංවිධානයේ (Association of South East Asian Nations-ASEAN) සාමාජිකත්වය මියන්මාරයට ලැබීම එරට හුදෙකලා බව යම් තරමකට හෝ අඩු කිරීමට හේතු විය.

කෙසේ වුවද, 1990 දශකය පුරාවට සහ ඉන් පසුවත් මියන්මාරය සමඟ කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූයේ මහජන චීනයයි. චීනයට මියන්මාරය වැදගත් වූයේ ඉන්දියන් සාගරයට පිවිසෙන දොරටුවක් ලෙසය. 1993 වසරේදී ඛනිජතෙල් අපනයනකරුවකුගේ සිට ආනයනකරුවකු බවට පත් වූ චීනයට ඉන්දියන් සාගරය වැදගත් වූයේ බටහිර ආසියාවේ සිට එන නැව්, එරටට පැමිණිය යුතු වූයේ එය හරහා බැවිනි. යම් ලෙසකින් මලක්කා සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් එම සැපයුම් මාර්ගය වැසී යාමේ හැකියාවක් ඇති හෙයින්, විකල්ප මාර්ගයක් ලෙස මියන්මාරය වැදගත් විය.

ඉන්දියාව මියන්මාරය කෙරෙහි මුලින් අනුගමනය කලේ මීට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තියකි. 1988-90 සමයේ සිදු කල මර්ධනය දැඩිව හෙලා දුටු එරට බොහෝ කලක් යනතුරු මියන්මාර ආණ්ඩුව විවේචනය කළේය. මියන්මාරය ඊට පිළිතුරු දුන්නේ ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශවල ක්‍රියාත්මක කැරලිකාර කණ්ඩායම්වලට ඉන්දු-මියන්මාර් දේශසීමා ප්‍රදේශවල නිදහසේ කටයුතු කරන්නට ඉඩ දීමෙනි. නමුත් 2005 පමණ සිට ඉන්දියාවේ මියන්මාර ප්‍රතිපත්තියෙහි පැහැදිලි වෙනසක් දක්නා ලදී. චීනයෙහි බලපෑම මියන්මාරය තුල වැඩි වීම සහ ඊසානදිග පෙදෙස්වල අස්ථාවරභාවය මීට හේතු වන්නට ඇත. මේ වනවිට දෙරට අතර වෙළෙඳ ගිවිසුම් ආදිය ඇති කරගනිමින් ද්වී පාර්ශවික සබඳතා බෙහෙවින් පුළුල් කරගෙන ඇත. මියන්මාරයේ සිත්වේ වරාය ඉදි කිරීමට ආධාර දෙන්නේ ඉන්දියාවයි.

මෙසේ විදේශ ප්‍රතිපත්තිය යම් තරමකට ලිහිල් වුවද, මියන්මාරයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති පෙර පරිදිම විය. 2005 වනවිට එරට පාලකයන් නයිපිඩව් (රජුන්ගේ නගරය) නම් නව අගනුවරක් ඉදි කිරීමට පටන්ගෙන තිබිණ. අගනුවර එම නගරයට මාරු කෙරුනද එහි ඉදි කිරීම් සම්පූර්ණ කිරීමට තිබුනේ 2012 වසරේය. මෙය වැඩි දෙනෙකු දුටුවේ අනවශ්‍ය වියදමක් ලෙසය. මේ අතර 2007 වසරේ බෞද්ධ භික්ෂුන්වහන්සේගේ නායකත්වයෙන් දියත් වූ "කසාවත් විප්ලවය" දරුණු ලෙස මර්ධනය කරනු ලැබීය. ඉන් වසරක් ඉක්මෙන්නටද පෙර 2008 මැයි මාසයේ මියන්මාරයට ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනයට මුහුණ දීමට සිදු විය. ඒ නාර්ගීස් චණ්ඩ මාරුතයයි. මේ අවස්ථාවේද, එරට පාලකයන් ඉතා රහස්‍ය වූ ආකාරයකින් කටයුතු කල අතර විදේශ ආධාර ලබා දීමට විවිධ රටවල් ඉදිරිපත් වුවද ඒවා කලට වෙලාවට විපතට පත් වූවන්ට නොලැබී ගියේය.

කෙසේ නමුත් ඉන් වසර කිහිපයකට පසු මියන්මාරයේ යම් වෙනසක් සිදු වෙමින් පවතින බව පෙනෙන්නට විය. 2010 ඔක්තෝම්බරයේ එරට පාලකයෝ නව ජාතික ධජයක් හඳුන්වා දුන්හ. 2010 නොවැම්බර් මාසයේදී වසර 20 කට පසු පවත්වන ලද පළමු මහා මැතිවරණය පවත්වන ලදී. මෙයට න්ල්ඩ් පක්ෂයට සහභාගී වීමට හැකියාවක් නොවූ අතර බොහෝ දෙනා මෙය හැඳින්වූයේ හමුදා පාලනයේ තවත් එක මායාවක්, රැවටීමක් බවය. මෙම මැතිවරණයෙන් හමුදාවේ සහය ලද එක්සත් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය (Union Solidarity and Development Party-USDP) ජයගැනීමෙන් එය තවත් තහවුරු වන බව ඔවුහු කියා සිටියහ. කෙසේ නමුත් 2011 මාර්තු වනවිට හමුදා ජුන්ටාවේ පාලනය නිමා කල අතර සිවිල් පාලනයක් රට තුල ඇති කරන ලදී. නමුත් මෙයද රැවටීමක් බව විවේචකයින් විසින් කියා සිටින ලදී. මන්දයත්, පළමු සිවිල් ජනාධිපතිවරයා වූ තෙයින් සෙයින් හිටපු ජුන්ටාවේ ප්‍රධානියාද වූ හෙයිනි.

කෙසේ වුවද, මියන්මාරයේ ඉතා පැහැදිලි වෙනසක් සිදු වෙමින් පවතින. චීන-මියන්මාර් සම්බන්දතා යම් ආකාරයක පලුදු වී ඇති සෙයක් මුලින්ම පෙනුනේ 2011 සැප්තැම්බර් 30 වනදා ජනාධිපති තෙයින් සෙයින් විසින් චීන ආධාරයෙන් ඉදි වෙමින් පවතී මිට්සොනේ වේල්ලෙහි කටයුතු එකවරම නවතා දැමීමෙනි. සුළු කලකින් දේශපාලන සිරකරුවන්ගෙන් කොටසක් නිදහස් කරන ලද අතර ආර්ථික ප්‍රතිපත්තිද ලිහිල් කරන ලදී. මේ අතර වසර 60 ක් තිස්සේ ක්‍රියාත්මක වූ කැරන් ජාතික විමුක්ති හමුදාව () ඇතුළු ඇතැම් කැරලිකාර සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමද බලාපොරොත්තු නොවූ විපර්යාසයක් විය. 2012 අපේල් අතුරු මැතිවරණයේදී NLD ඇතුළු සියලු පක්ෂවලට තරඟ කිරීමට අවස්ථාව ලැබුන අතර එහිදී අවුන්ග් සාන් සූ කී මහත්මියද පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.

ක්ලින්ටන් නෝනා සහ සූ කී නෝනා (2011 දෙසැම්බර් 1), Wikimedia Commons.



මෙම ප්‍රතිසංස්කරණ බටහිර රාජ්‍යයන්ගේ පැසසුමට ලක්වූ අතර චීනය ඒ පිලිබඳ සාමාන්‍යයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. 2011 දෙසැම්බරයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මියන්මාරයේ සංචාරය කිරීම එවක පුදුම එළවනසුලු පුවතක් විය. මෙයින් පැහැදිලි වූයේ, ඉන්දියානු සාගර කලාපය කෙරෙහි වන ඇමරිකානු රජයේ උනන්දුවයි. වෙසෙසින්ම චීනයට කලාපය තුල ඇති සහය අවම කිරීම ඇමරිකාවේ මෙන්ම ඉන්දියාවේද මූලික පරමාර්ථයකි. මේ බව තවදුරටත් පසක් වූයේ, 2012 ජනාධිපතිවරණය ජයගත් බරක් ඔබාමා සති දෙකක් ඉක්මෙන්නටත් මත්තෙන් අග්නිදිග ආසියානු රටවල් තුනක සංචාරය කිරීමයි. ඉන් දෙරටක්ම එනම් කාම්බෝජය සහ මියන්මාරය ඉතා මෑතක් වනතුරු චීනයේ ගජ මිතුරන් ලෙස පසු වූහ.

ඔබාමා සහ තෙයින් සෙයින් ජනාධිපතිවරු, (2012 සැප්තැම්බර් 18, යැන්ගොන්), Wikimedia Commons.



නිදහසින් 65 වසරක් සමරන මේ අවස්ථාවේ බුරුම (මියන්මාර) ජනතාව හමුවේ තවත් බොහෝ අභියෝග ඇත. තවමත් රටේ නැගෙනහිර පෙදෙස්වල කැරලි කිහිපයක් ක්‍රියාත්මකය. එමෙන්ම, රකින් සහ අරකන් ප්‍රාන්තවල රොහින්ග්‍යා ජාතිකයින් සමඟ වන ගැටුම් ජාතිවාදී සහ ආගම්වාදී මුහුණුවරක් ගෙන ඇත. (රොහින්ග්‍යා ජාතිකයින් ඉස්ලාම් ආගම අදහන අතර බුරුම ජාතිකයෝ අති බහුතරය බෞද්ධයෝ වෙති). රටේ ආර්ථිකය සහ සාමාන්‍ය ජනයාගේ ජීවන තත්ත්වය තවමත් ඉතා පහල අඩියක පවතී. තවද, රටේ හමුදාව දේශපාලනය තුල කුමන භූමිකාවක් රඟ දක්වයිද යන්න අනාගතයට භාර තවත් පැනයකි. බුරුම ව්‍යවස්ථාදායක සභාවේ (Pyingdaungsu Hluttaw-ප්යිඩව්න්ග්සු හ්ලූතාව්) ඉහල සහ පහල මන්ත්‍රණ සභා දෙකේ මන්ත්‍රීවරුන් ගණන පිළිවෙලින් 224 ක් සහ 440 කි. මෙයින් හතරෙන් එකක් බැගින් පත් කරන්නේ හමුදාවයි. එහෙයින් බුරුම හමුදාව තව බොහෝ කලකට දේශපාලනයෙන් ඉවත් නොවනු ඇතැයි සැක කල හැක.

Thursday, January 3, 2013

කඳු නොනැඟ තැනිතලා දැකිය නොහැක!


මේ පෝස්ටුව ඊයේ මම ලියාපු අලුත් අවුරුදු පණිවිඩය හා සම්බන්ධ කරන්න පුළුවන් දෙයක් ගැනයි. ඒ ලිපිය කියවන්නට යම් විදියකින් බැරි වුනා නම්, එය කියවා මේ ලිපිය කියවන්න කියා මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

එම ලිපියෙන් මම අවධාරණය කරන්නට උත්සාහ කලේ විවිධ අයගේ විවිධාකාර "කෙප්ප" නිසා රැවටෙන්නේ නැතිව ජීවත් වීමට නම් විචාර බුද්ධියක් ඕන කරන බව. ඒ ගැන හිතද්දී මට මම කලකට පෙර හිතට නගා ගත්තු සිතිවිල්ලක් ආපහු මතකයට ආවා.

හිතන්න අපි තැනිතලාවක ඉන්නවා. අපි හිතමු දූපතක කියලා. දූපත මැද්දේ කන්දකුත් තියෙනවා. අපිට තැනිතලාවේ ගොඩාක් දුර පෙනෙන්නේ නැහැ. අපි ඉතින් අපි ඉන්න තැනට වෙලා කල්පනා කරනවා "අර ගඟෙන් එහා පැත්තේ අර වගේ ඇති. අර කැලේ මේ වගේ ඇති. කන්දෙන් එහා පැත්තේ අර වගේ ඇති" ආදී වශයෙන්. නමුත් අපි ඇත්තෙන්ම දන්නේ නැහැ අපි ඉන්නා දූපතේ තියෙන හැම දෙයක් ගැනම. ඉතින්, කවුරුහරි, විශේෂයෙන් ටිකක් උගතෙක් කියලා සම්මත කෙනෙක්, ඇවිත් කිව්වොත්, "මම කන්දෙන් එහා පැත්තේ ගමකට ගියා, එහෙ මිනිස්සු බත් කන්නේ නහයෙන්" කියලා, හිතන්නේ බලන්නේ නැති අපේ අය ඒක හිස් මුදුනින් පිළිගන්නවා.

එහෙම නැතිව අපිට මේ තැනිතලාවම එක සැරේ බලාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අර කන්දට නගින එක. ඒක අමාරු වැඩක්. කන්ද පාමුල ඉන්නකොට පාරවල් කීපයක් පෙනෙන්න පුළුවන්. ඒ සමහර පාරවල්වලින් ගියාම මුදුනට යන්නට බැහැ. අතරමං වෙනවා. අපිට එක එක අය එක එක පාරවල් පෙන්නයි. ඒ අතරින් අපේ කල්‍යාණ මිත්‍රයෝ තමයි හරි මග පෙන්නන්නේ. ඒ මාර්ගයේ ගියොත් කන්ද මුදුනටම නැගලා තැනිතලාව බලන්න පුළුවන්.

මේ කතාව හදන්න මට සිතිවිල්ල පහල වුනේ මම අද මාතෘකාව විදියට යොදාගත්ත "කඳු නොනැඟ තැනිතලා දැකිය නොහැක" කියන චීන ආප්තෝපදේශය. ඇත්තෙන්ම සාර්ථකත්වය කරා යාමේදී ආයාසයක් ගන්නට වෙනවා කියලා එයින් කියවෙන බව මගේ අවබෝධයයි. ඒක අපේ කතාවටත් වලංගුයි.

ශ්‍රී පාද කන්ද. "කඳු නොනැඟ තැනිතලා දැකිය නොහැක!" මේ ප්‍රකාශයට වැදගත් සංකේතයක් බව මට හිතෙනවා. Adam's Peak, Sri Lanka, from the bottom. Bourgeois, Wikimedia Commons (Sep. 22, 2005)



මේ කන්දක් නැගීම කියන එක මම සංසන්දනය කරන්නේ බෞද්ධයන් විශ්වාස කරන නිවන සමඟයි. දැන් අපි තැනිතලාවේ ඉන්නකොට, එක එක අය කියන එක එක කතා වගේ තමයි අර ලෝක විනාශය, පිටසක්වල යානා ආදී නොයෙක් වූ අද්භූත කතා. නමුත් අපට ඔතන ඉඳගෙන දකින්න පුළුවන් ප්‍රමාණය කොච්චර පුංචිද? අපි දන්නා දේවල්වලින් සමහර නිගමනවලට එන්න පුලුවන් තමයි. නමුත් ඒ එක්තරා සීමාවකට යනකල් විතරයි. නමුත් අපි කන්ද නැග්ගොත් අපට බොහෝ දේ පෙනේවි. පස්සේ අපිට ඔය මනස්ගාතවලින් පලක් නොවෙන්න පුළුවනි. නමුත් නගින්නේ නැතුව දකින්න ලැබෙන්නේ බොහොම පොඩ්ඩයි.

මිනිස් ආත්මයක් ලබාපු දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා නම් ගන්නට අවශ්‍ය වෙන්නේ, සසර එතෙරවන පාර සොයා ගැනීමටයි. වෙන වෙන මනස්ගාත ගැන ඕනාවට වැඩිය හොයන්නට යාමෙන් වෙන්නේ අර මුඛ්‍ය පරමාර්ථයෙන් පිට යන එක. ලෝකය විනාශ වුනොත් වුනාවේ, නොවුනොත් නොවුනාවේ. ඒ ගැන වද වෙනවාට වැඩිය දෙයක් කරන්නට තියෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ "හිස ගිනි ගත්තෙකු ගින්න නිවා ගැනීමට උත්සාහ කරනවාට වඩා ඉක්මනින් නිවන අවබෝධ කරගැනීමට කටයුතු කලයුතු" බවයි. වෙනත් මනස්ගාත කරපින්නාගෙන වැරදි පාරවල්වල යන්න නෙවෙයි. එහෙම වැරදි පාරවල්වල යන්නේ සසර ගමන ගින්නක් බව නොදැනීම නිසයි.

හරි මග සොයාගැනීමට කලණ මිතුරු සේවනය ඉතා වැදගත් වෙනවා. අංගුලිමාල මහරහතන්වහන්සේ, බුදු දහම දකින්නට පෙර වැරදි පාරක යමින් හිටියා. ඒ උගතෙකු වූ සිය ගුරුතුමාගේ වැරදි උපදෙසක් නිසා. උන්වහන්සේ ඒ කාලයේ තේරුම් ගත්තේ නැහැ තමන්ගේ ගුරුවරයා තමන් යවන්නේ වැරදි පාරක කියලා. ගුරු ගෞරවය ඊට වැඩිය ප්‍රමුඛ වුනා. මෙහෙම යනකොට එක්තරා සන්ධිස්ථානයකට ඔහු පැමිණියා. හරියට තුන් මං හන්දියක් වගේ, දෙපැත්තකට හැරෙන්න පුළුවන්. තමන්ගේ මව මරා, වැරදි පාරේ ගියා නම් තව කාලයකට නිවනක් නැහැ. හරි පාරට ආපහු වැටුනා නම් නිවන අත ළඟ. බුදුන්වහන්සේ මෙහිදී කල්‍යාණ මිත්‍රයෙකු (නිවනට උපකාර කරන්නෙකු) බවට පත්වෙමින් ඔහු හරි මගට ගත්තා.

අපට සිටින හොඳම කල්‍යාණ මිත්‍රයා බුදුරජාණන්වහන්සේ මිස අන් අයකු නොවේ. උන්වහන්සේ පහල නොවන කලක නම් ඒ වෙනුවට උන්වහන්සේගේ ධර්මය තියෙනවා. ඒ ධර්මය කියා දෙන්නට කලණ මිතුරනුත් ඉන්නවා. ඔවුන් කියන දේ හරිද වැරදිද කියලා තේරුම් ගන්න නම් වෙන්නේ තමන්ගේ විචාර බුද්ධියෙන්. එයට බුදුන්වහන්සේ ක්‍රමයක් කියලා දීලා තියෙනවා. "යමක් ඇසුරු කරනවිට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වනබව දැනේ නම් එය බුද්ධ දේශනාව ලෙස ගන්න." මේ විදියට විචාර බුද්ධිය මෙහෙයවලා නියම කල්‍යාණ මිත්‍රයන් හඳුනාගෙන හරි මාර්ගයේ ගියොත් නිවන ළඟා කරගන්නට ලැබෙනවා. කන්දක් නගින්න, නගින්න වැඩි වැඩියෙන් වටා පිටාව පෙනෙනවා වගේ නිවනට ලං වෙන්න වෙන්න ලෝක ස්වභාව වැඩි වැඩියෙන් වැටහෙනවා.

ඒ විදියට මුදුනට ලඟා වුනාට පස්සේ, ලෝකය විනාශ වුනත් නැතත්, ග්‍රහයෝ මාරු වුනා නෙවෙයි පිනුම් ගැහුවත්, අනේ අපිට නම් වැඩක් නැහැ. හැම දෙනාටම ඒ මාර්ගයේ යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!

Wednesday, January 2, 2013

අලුත් අවුරුද්දේ අලුත් වෙමු! බුද්ධිමත් මාවත දෙස දැන්වත් හැරෙමු!


අපි පාවිච්චි කරන ග්‍රෙගරියානු දිනදර්ශනයට අනුව 2013 අවුරුද්ද උදා වුනා. මේ අවුරුද්ද ලෝක විනාශයෙන් තොර, අමුතු අමුත් එලි සහ බලි නොපෙනෙන සර්ව සුභවාදී සහ ඵලදායක අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

අපේ අනාගතය ඵලදායක වෙන්න නම් අපි බුද්ධිය හොඳින් මෙහෙයවා තීරණ ගන්න ඕන බව පහුගිය කාලයේදී වෙච්ච ඇතැම් විගඩම්වලින් පැහැදිලි වුනා. ලෝක විනාශය එයින් එකක් පමණයි. අර අහිංසක මායාවරුන් කියාපු දෙයක් වැරදියට අල්ලාගෙන අපේ "උගත්තු" සහ "ජනමාදිලිවේදියෝ" ටික දෙනෙක් සමහර ජ්‍යෝතීර්වේදියන් පිරිසකුත් එක්ක එකතු වෙලා නටාපු විකාරය කාටත් පෙනුනානේ. ඒ නටපු නාඩගම මායාවරුන්ටත් නිග්‍රහයක්. ශ්‍රී ලාංකිකයන්ටත් නිග්‍රහයක්!

අලුත් අවුරුද්දේ වෙනමම මාතෘකාවක් ගැන ලියන්නට හිතුනේ ඒ සියල්ලම ගැන හිතලා. මේක ලියන්නේ බුදු දහමෙන් ඉගැන්වෙන වැදගත් දෙයක් ගැන. නමුත් "බෞද්ධ, අබෞද්ධ" කවුරුත් මේක කියවාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝගෙම අදහස් මට බොහොම වටිනවා, විශේෂයෙන්ම මේ වගේ දෙයක් ගැන ආයේ ලියනවා නම්.

බුද්ධ දේශනාවේ සඳහන් වන කාලාම සූත්‍රය ගැන ඔබ අසා ඇති. ඇතැම්විට නැතිවත් ඇති. කොහොම වුනත් සරලව කිව්වොත්, කාලාම වැසියන්ට දේශනාකළ බුද්ධ දේශනාවෙහි සඳහන් වෙනවා යම් කිසි දෙයක් වෙනත් කෙනෙක් කියපු පලියට පෙර පුරුද්දක් වූ පලියට, පොතක පතක තිබුන පලියට ආදී වශයෙන් අන්ධ විදියට විශ්වාස කරන්න එපා යන පණිවිඩය. එහි කියවෙනවා, යමක් පිළිගන්නට අවශ්‍ය වෙන්නේ තමන්ගේ බුද්ධියෙන් විමසා බැලීමෙන් බව. තමන් අදහන්නේ කුමන ආගමක් වුනත් මේ බුද්ධ දේශනාව කාටත් වටිනා බව මගේ අදහසයි.

අනුරාධපුරයේ සමාධි පිළිමය: බුද්ධියෙන් විමසා බලා තීරණය කරන්න යන බුදු වදන බෞද්ධ, අබෞද්ධ අපි කී දෙනෙක් අනුගමනය කරනවාද? Photo by Chamara Sumanapala (June 10, 2012)



කෙනෙක් යම් නිගමනයකට එන්නේ, තමන්ට තේරෙන විදියට. බුද්ධිය මෙහෙයවා කල්පනා කරන්නට හැකි අය ඒ තුලින් සත්‍යය කුමක්දැයි සොයාගන්නට උත්සාහ කරනවා. බුද්ධිය මෙහෙයවන්නේ නැති අය යන්නන්වාලේ කුමක් හෝ පස්සෙන් යනවා. ඒ අය තමන් විමසා බලා තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නැහැ. සමහර අය විවිධ කණ්ඩායම් විසින් කරන මොළ සේදීම්වලට (Brain Washing) අහුවෙලා. "අරයා කිව්වා නම් එක ඇත්ත තමයි; ඒ ස්වාමීන්වහන්සේ කිව්වා නම් එක හරියටම හරි" වගේ නිගමනවලට එනවා. මේ නිසා තමයි ලෝක විනාශය වගේ මිත්‍යාවල්වලට අනාගතයක් තියෙන්නේ. කොහේ හරි ජනමාධ්‍යයක කියැවුණු පලියට ලෝක විනාශය වෙනවා හෝ නොවෙනවා හෝ කියලා නිගමනය කරපු අය සමාජයේ නැත්තේ නැහැ. ඒ වගේම තමයි මේ එක එක මතවාදයන් අතර අතරමං වෙලා මුකුත් තේරුම් ගන්න බැරි වුන අයත් ඕන තරම් ඇති.

ඕනෑම දෙයක් සම්බන්ධයෙන් තත්ත්වය ඒකයි. බුද්ධ දේශනාව සම්බන්ධයෙන් වුනත්. ඒ නිසා තමයි අද වෙනකොට එක එක මතවාදයන් පස්සේ, එක එක හාමුදුරුවරුන් පස්සේ යන "බෞද්ධයන්" බිහි වෙලා තියෙන්නේ. හොඳට හොයලා බලලා බුද්ධිය මෙහෙයවලා බැලුවොත් ඇතිවෙන ප්‍රශ්නය තමයි, "මේ වගේ එක එක පුද්ගලයන් පස්සේ යන අය ඇත්තෙන්ම බුදුන්වහන්සේ දේශනා කල දේ තේරුම් ගෙන තිබෙනවාද?" යන්න. (ඒ පිලිබඳ ලියන්න මේක වෙලාව නෙවෙයි. ඒක ගැන පස්සේ ලියන්න බලාපොරොත්තු වෙනවා).

ලෝක විනාශය ගැන නම් කියන්නට තියෙන්නේ, ඒ බටහිරින් මෙහාට ඇවිත් (නැත්නම් අපේ අය දැනගෙන හිටියද මායා දින දර්ශනයක් ගැන?) මෙහෙ පැලපදියම් වෙච්ච, මෙහෙ සමහරු සහමුලින්ම ගිලලා, දැන් වමාරන, දිරච්ච ලණුවක්. මේ වගේ ලනු ඉස්සරත් ආවා. තව ඉස්සරහටත් එනවා නිසැකයි. එතකොටත් "ජනමාදිලිවේදියෝ" ඒවා පතුරවන්නත් "ෆුල් ටයිම්" වැඩ කරාවි. ඒ සියලු දේ ගැන හරි අවබෝධයක් එන්න ඔබ හැමටම බුද්ධිය මෙහෙයවන්න වෙයි. රටේ ලෝකේ වෙන්නේ මොනවාද කියලා විමසා බලන්න. එය බුද්ධියට බහා බලා තීරණයක් ගන්න. එක එක වගකීමක් නැති උදවිය පලකරන අදහස්වලින් බේරිලා ඉන්නට ඔබටත්, මටත් ඒ විචාර බුද්ධිය අවශ්‍ය වෙනවා.

හැමෝටම බුද්ධිමත් නව වසරක් වේවා!!!