Tuesday, November 8, 2022

ඇමරිකානු අන්තර් මධ්‍යකාලීන මැතිවරණ - රතු රැල්ලක් ද​? රතු රැලිත්තක් ද​?

ඇමරිකා එක්සත් ජනපද අන්තර් මධ්‍යකාලීන මැතිවරණ (Midterm Elections) අද පැවැත්වේ. මෙහිදී එරට කොන්ග්‍රස් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි ආසන 435 සඳහා ද කොන්ග්‍රස් මණ්ඩලයෙහි ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ආසන 100 න් 35 ක් සඳහා ද මැතිවරණ පැවැත්වෙන අතර මීට අමතරව ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ 39 ක ආණ්ඩුකාරවරුන් සඳහා මෙන්ම ප්‍රාන්ත කොන්ග්‍රස් සභා සහ වෙනත් තනතුරු සඳහා ද මැතිවරණ පැවැත්වීමට නියමිත ස්ථානයන් හි මැතිවරණ පවත්වනු ලබයි. දැනට වාර්තා කර ඇති සමීක්ෂණ අනුව පෙනී යන්නේ මෙම මැතිවරණයේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ රතු රැල්ලක් හෝ රතු රැලිත්තක් නිර්මාණය වන බව ය​. සෙනට් සභාව පිළිබඳ සටන කරටකර වන බව වැඩිදෙනාගේ මතය වී තිබේ.


මුලින්ම, අන්තර් මධ්‍යකාලීන මැතිවරණය යනු කුමක්දැ යි කෙටියෙන් විග්‍රහ කරගැනීම, ඒ පිළිබඳ දැනුම අඩු අය උදෙසා වැදගත් යයි සිතමි. අන්තර් මධ්‍යකාලීන මැතිවරණය පැවැත්වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන සිව් වසරක කාලසීමාවෙන් හරි අඩක් ගිය තැන ය​. උදාහරණයක් ලෙස ගතහොත්, 2020 සහ 2024 ජනාධිපතිවරණ අතරතුර පැවැත්වෙන අන්තර් මධ්‍යකාලීන මැතිවරණය 2022 දී පැවැත්වේ. මැතිවරණ දිනය වන්නේ නොවැම්බර් මාසයේ පළමු සඳුදා දිනයට පසුව එන අඟහරුවාදා ය​.

 


ඇමරිකා එක්සත් ජනපදයෙහි කොන්ග්‍රස් සභාවේ මන්ත්‍රණ සභා දෙකකි. ඒවා නියෝජිත මන්ත්‍රණ සභාව සහ සෙනට් සභාව ය​. නියෝජිත මන්ත්‍රණ සභාවෙහි සභික සංඛ්‍යාව 435 ක් වන අතර එහි ධුර කාලය වසර දෙකකි. සෑම වසර දෙකකටම වරක් එහි සභිකයන් තෝරාගැනේ. එමෙන්ම ඇමරිකානු සෙනට් සභාවේ සභිකයන් 100 ක් වන අතර ඔවුන්ගේ ධුර කාලය වසර හයකි. සෑම වසර දෙකකටම වරක් සභිකයන් අතුරින් තුනෙන් එකක් (33 ක් හෝ 34 ක් හෝ) තෝරාගැනෙති. ඔවුන් පත්වන වසර අනුව වර්ගීකරණය පහසුව සඳහා මෙම මන්ත්‍රීන් කාණ්ඩ තුනකට බෙදා සලකනු ලබයි (ඔවුන්ගේ බලතල අතර කිසිදු වෙනසක් නැති හෙයින් යන්නට පන්තීන් යයි යෙදීම වැරදි වැටහීමක් ගෙනදීමට ඉඩ ඇත​). මේ අනුව මෙම වසරේදී තුන්වන කාණ්ඩයේ සෙනට් මන්ත්‍රීන් 34 දෙනා සහ දෙවන කාණ්ඩයේ සෙනට් සභිකයකු තෝරාගැනීම සඳහා වන විශේෂ මැතිවරණයක් ද පැවැත්වේ. (මෙවර කැලිෆෝර්නියාවේ විශේෂ අවස්ථාවක් මතුව ඇති හෙයින් එහි තරග දෙකක් පැවැත්වෙන නමුත් එය සමස්ථයට එතරම් වැදගත් නොවේ. එහිදී මන්ත්‍රීවරයකු පත්වීමට නියමිතව ඇත්තේ එක් සෙනට් ආසනයක් සඳහා පමණි).


—-


සරලව කිවහොත්:


ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් සභාව (US Congress)​


මන්ත්‍රී මණ්ඩල දෙකකි


1. පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය​ (House of Representatives). ආසන 435 යි. ධුර කාලය වසර දෙකයි.


2. ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාව (The Senate)​. ආසන 100 යි. මන්ත්‍රීවරයකුගේ ධුර කාලය වසර හයයි. සෑම වසර දෙකකටම වරක් මන්ත්‍රීන් අතුරින් තුනෙන් එක්දෙනෙක් පත්වෙති.


—--


මීට අමතරව ආණ්ඩුකාරවරුන් සහ ප්‍රාන්ත කොන්ග්‍රස් සභා ගණනාවක් ද තෝරාගැනීමට නියමිත නමුත් ජාතික තලයේදී එය එතරම්ම වැදගත් නොවන හෙයින් සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම අනවශ්‍ය ලෙස සංකීර්ණ වන හෙයින් මෙහිදී සලකා බලනු නොලැබේ.


මෙවර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂය වෙත හිමිවනු ඇති බව සාමාන්‍ය විශ්වාසය ය​. දැනට ඩිමොක්‍රටික් පක්ෂය එහි වැඩි ආසන ප්‍රමාණයක් හිමිකරගෙන සිටියද එම තත්ත්වය වෙනස් වන බව සෑම සමීක්ෂණයකින්ම පාහේ පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් රිපබ්ලිකන් (රතු) පාර්ශවය කෙතරම් ආසන ප්‍රමාණයක් දිනාගනු ඇතිදැ යි තවම අවිනිශ්චිත ය​. ආසන විශාල ප්‍රමාණයක (30 ක හෝ ඊට වඩා වැඩි) බහුතරයක් හිමිවන රතු රැල්ලක් හෝ සුළු බහුතරයක් හිමිවන රතු රැලිත්තක් හෝ නිර්මාණය විය හැකි බව මේ වනවිට පෙනී යයි.


සෙනට් මන්ත්‍රී මණ්ඩලය සඳහා සටන මීට වඩා තියුණු ස්වභාවයක් ගෙන තිබේ. එහි දැනට සභිකයින් 50 බැගින් පක්ෂ දෙකට හිමිව තිබෙන අතර කිසියම් අවස්ථාවක ඡන්ද සමවීමක් සිදුවුවහොත් සෙනට් මණ්ඩලයේ සභාපති වන උප ජනාධිපතිට ඡන්දයක් හිමිවන හෙයින් දැනට සෙනට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂය සතුව තිබේ. නමුත් මෙවර රිපබ්ලිකන් පක්ෂය නැවත එහි බලය අල්ලාගැනීමට බලාපොරොත්තු වේ. ජෝර්ජියා, පෙන්සිල්වේනියා, නෙවාඩා ආදී ප්‍රාන්ත අටක පමණ තීරණාත්මක සෙනට් සභා තරග පවතින අතර ඉන් සමහරක කරට කර සටන් පැවතියහොත් අවසන් ප්‍රතිඵල ප්‍රමාද විය හැකි ය​. එහෙයින් හෙට වනවිට සෙනට් සභාවේ සංයුතිය අවසානාත්මක වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇති බව පෙනෙන්නට තිබේ.


මෙම මැතිවරණයේදී ඇමරිකානුවන් වැඩි දෙනකු සලකා බලන කරුණ වන්නේ ආර්ථිකය බව සමීක්ෂණ මගින් පෙන්නුම් කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂය වෙනත් කරුණු සඳහා ඡන්දදායකයන්ගේ අවධානය යොමුකිරීමට උත්සාහ කළ ද එය සාර්ථක බවක් පෙන්නුම් නොකරයි. මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් සාධකය ද මෙවර මැතිවරණයේදී ප්‍රමුඛ ලෙස බලපාන කරුණකි. ඔහු 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යයි පෙනෙන්නට තිබෙන අතර මෙවර අන්තර් මධ්‍යකාලීනමැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය වෙතින් ශක්තිමත් ප්‍රතිඵලයක් ලැබුණහොත් ඔහු තවත් දිරිමත් වනු ඇත​.

No comments:

Post a Comment