Tuesday, July 10, 2018

ප්‍රංශයේ උදව්වෙන් බෙල්ජියම නිදහස් වූ හැටි

ප්‍රංශය සහ බෙල්ජියම ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සූදානම් වෙද්දි මේ දෙරට සම්බන්ධ වූ වැදගත් සිද්ධියක් ගැන ලියන්නට හිතුවා. ඒ තමයි බෙල්ජියම රාජ්‍යයක් ලෙස බිහිවීම​. නැපෝලියන් අධිරාජයා පරාජය කළාට පසුව යුරෝපයේ සාමය ස්ථාපිත කරන්නට වියානා සමුළුව රැස් වුණා. එහිදී ගත් එක් තීරණයක් වූයේ පැරණි ඔස්ට්‍රියානු නෙදර්ලන්‍තය ද ඇතුලත්ව එක්සත් නෙදර්ලන්ත රාජධානියක් නිර්මාණය කිරීමට යි. මෙහි අරමුණ වුණේ ප්‍රංශයට උතුරු දෙසින් ප්‍රබල දේශසීමා රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. මේ අනුව නෙදර්ලන්තය සහ පැරණි ඔස්ට්‍රියානු නෙදර්ලන්තය එක් රාජ්‍යයක් බවට පත් වුණා. එහි පාලකයා වූයේ නෙදර්ලන්තයේ රජතුමායි. මේ අතර එරට පාර්ලිමේන්තුවට අලුතින් එක් වූ දකුණුදිග නෙදර්ලන්තයෙන් සහ උතුරුදිග නෙදර්ලන්තයෙන් සමාන මන්ත්‍රීන් සංඛ්‍යාවක් තෝරාගනු ලැබුණා. බැලූ බැල්මට මෙහි සාධාරණත්වයක් පෙනුණත් රටේ ජනගහනයෙන් සියයට 62 ක් පමණ​, ඒ කියන්නෙ ආසන්න වශයෙන් තුනෙන් දෙකක්, දකුණු නෙදර්ලන්තයේ ජීවත් වූ නිසා මෙය සාධාරණ වුණා කියන්නට බැහැ. ඒ වගේම රටේ ප්‍රධාන නිලධාරීන් වැඩි දෙනෙක් නෙදර්ලන්ත (එනම් ලන්දේසින්) වුණා. ඒ අතරට හමුදා නිලධාරින් ද අයත්. තව ද උතුරේ ජනයා රෙපරමාදු ද දකුණේ ජනයා කතෝලික ද වූ අතර ලන්දේසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කිරීමට බල කිරීම දකුණේ වූ ප්‍රංශ කතා කරන අයගේ අප්‍රසාදයට හේතු වුණා. 1830 ජූලි මාසෙදි ප්‍රංශයේ X වන චාර්ල්ස් රජතුමාට එරෙහිව ජනතාව කැරලි ගැහුවා. මේ අනුව ඔහුව බලයෙන් ඉවත් කරලා ලුවී ෆිලිප් නම් රජකු බලයට පත් කරගනු ලැබුණා. මේ සමග යුරෝපයේ වෙනත් ප්‍රදේශවලටත් මේ ජනතා නැගිටීමෙ බලපෑම දැනුණා. අගෝස්තු 25 වනදා බෙල්ජියම් ජනතාව කැරලි ගැහුවා. ලන්දේසි සෙබළුන් පළවා හැරියා. මේ අවස්ථාවෙ නෙදර්ලන්ත රජු යුද්ධයට සම් බන් ධ වෙන්නට අදිමදි කළා. ප්‍රංශයේ නව රජය බෙල්ජියානු විප්ලවවාදීන්ගෙ පැත්ත ගත්තත්, අනෙක් යුරෝපා රටවල් ඔවුනට එරෙහි ස්ථාවරයක තමයි හිටියෙ. නමුත් ඔවුනගේ රටවලත් කලබල ඇතිවූ හෙයින් බෙල්ජියම ගැන මැදිහත් වීමට ඔවුනට හැකි වූයේ නැහැ.

මේ අනුව 1830 නොවැම්බරයෙදි බෙල්ජියමේ ජාතික සභාවක් රැස් වී 1831 පෙබරවාරියෙදි නව ව්‍යවස්ථාවක් සම්මත කළා. මෙහිදී බෙල්ජියම ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ලෙස ප්‍රකාශ කෙරුණා. ඇත්තෙන්ම විප්ලවවාදීන් අතර වූ සමූහාණ්ඩුවාදීන්ට ඕන වුණේ බෙල්ජියම සමූහාණ්ඩුවක් කිරීමටයි. නමුත් එවැනි පියවරක් යුරෝපයේ රටවල් බියට පත් කරන්නට ඉඩ තිබෙන බව දැන සිටි නිසා ඔවුන් ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් සඳහා එකඟ වුණා. ඉන් පසු ඔවුන් රජකමට සුදුස්සෙක් හොයන්නට වුණා. මේ අනුව නැසීගිය වේල්සයේ ෂාලට් කුමරියගෙ ස්වාමියා වූ සැක්ස්-කොබර්ග් හි ලියෝපෝල්ඩ් කුමාරයා ඒ තනතුරට පත්කර ගත්තා. මෙසේ ඉංග්‍රීසි රජ පවුලටත් සම්බන්ධ වූවකු පත් කරගැනීමෙන් බෙල්ජියානුවන් තහවුරු කළේ ප්‍රංශය තමන්ගෙ රට ඈඳා ගැනීමේ තර්ජනයක් නොමැති බවයි. මේ අනුව I වන ලියෝපෝල්ඩ් බෙල්ජියමෙ රජකමට පත් වුණේ 1831 ජූලි 21 වනදා. මේ අවස්ථාවෙ නෙදර්ලන්තය බෙල්ජියම අල්ලාගන්න හමුදා එව්වා. අගෝස්තු 2 වනදා මෙම ප්‍රහාරය එල්ල වුණා. නමුත්, මේ අවස්ථාවේ ප්‍රංශය මැදිහත් වුණා. දින දහයකට පසු අගෝස්තු 12 වනදා නෙදර්ලන්තයට යුද්ධය අතැර දමන්න සිදු වුණා. නෙදර්ලන්තය විසින් බෙල්ජියමේ ස්වෛරීත්වය පිළිගත්තේ 1839 දි. එම අවස්ථාවෙ යුරෝපා බලවතුන් අතර බෙල්ජියමෙ මධ්‍යස්ථභාවය ගැන එකඟත්වයක් ආවා. 1914 දි ජර්මනිය මෙම එකඟතාව කඩ කළ විට​ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළා. ඒක නම් ඉතින් වෙනමම කතාවක්

සාමය සඳහා “යූ ටර්න්” ගැසූ ඉතියෝපියාව

දශක දෙකක කාලයක් තිස්සේ පැවති ඉතියෝපියා - එරිත්‍රියා අර්බුදය විසඳීම සඳහා එම රටවල් දෙක මූලික පියවර ගනු ලැබීම පසුගිය දිනයන් හි කතාබහට ලක් වූ සිද්ධියක් විය​. 1998 සිට 2000 දක්වා කාලය තුළ​, නොවැදගත් කුඩා ප්‍රදේශයක් අරබයා යුධ වැදුණ මෙම දෙරට එතැන් පටන් ම එකිනෙකා නුරුස්සන තත්ත්වයෙන් පසු විය​. මෙම තත්ත්වය වෙනස් කිරීමට කරුණු පෙළ ගැසුනේ ඉතියෝපියාවට නව අගමැතිවරයකු පත් වීමෙනි.

සහෝදරයින් අතර යුද්ධය​

1998 දී දෙරට අතර යුද්ධයක් ඇති වූ අවස්ථාවේ ඇතැම් විචාරකයෝ ඒ පිළිබඳ මවිතයට පත් වූහ​. ඊට හේතුව වූයේ ඊට වසර කිහිපයකට පෙර මෙම දෙරටෙහි දේශපාලන නායකත්වයන් එකමුතුව අප්‍රිකාවේ ප්‍රබලම යුධ හමුදාවක් හා සටන් වැදී ජයගත් හෙයිනි.

මුල් කාලීනව එරිත්‍රියාව සහ ඉතියෝපියාව අතර අර්බුද ඇති වීමට හේතු තිබුණි. එරිත්‍රියාව 19 සියවස අග භාගයේදී ඉතාලි යටත් විජිතයක් බවට පත් වූයේ ය​. ඉතාලිය 1896 දී ඉතියෝපියාව ද යටත් කිරීමට උත්සාහ කර​ ලජ්ජාසහගත පරාජයක් භුක්ති වින්ඳේ ය​. ඉන්පසු ඔවුන් නැවත ඉතියෝපියාව ආක්‍රමණය කළේ 1935 දී ෆැසිස්ට්වාදී බෙනීටෝ මුසෝලිනී යටතේ ය​. කෙටි කලක් ඉතාලිය විසින් ඉතියෝපියාව පාලනය කළ ද දෙවන ලෝක යුද්ධය අතරතුර දී එරට නැවත මුදවා ගන්නා ලදී.

අබියි අහමඩ්
එවකට ඉතියෝපියාවේ වූයේ වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් පවතී යයි කියන සොලමනික රාජ්‍යවංශය යටතේ වූ පාලනයකි. එහි අධිරාජයා හේල් සිලාසි නම් විය​. දෙවන ලෝක යුද්ධයෙන් පසු පරාජය වූ ඉතාලියෙන් එරිත්‍රියාව යළි ලබා ගැනීම ඉතියෝපියානු අධිරාජයාගේ අභිලාශය වූ අතර එරිත්‍රියානු ජනයා ඒ පිළිබඳ එතරම් ප්‍රසාදයක් නොදැක්වූ හ​. මේ අනුව මෙම ගැටළුවට විසඳුමක් ලෙස එරිත්‍රියාවට විශේෂ බලතල ප්‍රදානය කරමින් එය ඉතියෝපියාවේ කොටසක් බවට පත් කරන ලදී.

නමුත් කෙටි කලකින් එම ස්වයං පාලන බලතල ඉවත් කළ අධිරාජයා එරිත්‍රියාව සිය ඍජු පාලනයට ගත්තේය​. මේ අනුව එරිත්‍රියාවේ ස්වාධීනත්ව අරගලයට මග සැලසිණ​.

1974 දී අධිරාජයා බලයෙන් නෙරපූ හමුදා නිලධාරීන් පිරිසක් ඉතියෝපියාවේ බලය අල්ලාගත් හ​. මෙම කමිටුව "ඩර්ග්" නමින් හඳුන්වන ලද අතර එහි නායකයා වූයේ මෙන්ගිට්සු හේල් මාරියම් නමැති නිලධාරියෙකි. ඔවුන් විසින් දැඩි ප්‍රජාපීඩක, මාක්ස්වාදී පාලනයක් නිර්මාණය කළ අතර ඊට සෝවියට් දේශයේ ද සහය ලැබිණ​.

මෙම පාලනයට එරෙහිව අවිගත් ප්‍රධාන කණ්ඩායම් දෙකකි. ඒ එරිත්‍රියානු මහජන විමුක්ති පෙරමුණ (Eritrean People’s Liberation Front - EPLF) සහ ටිග්‍රෙයානු මහජන විමුක්ති පෙරමුණ (Tigrayan People’s Liberation Front - TPLF) ප්‍රමුඛ ඉතියෝපියානු සංවිධානයි. ටිග්‍රෙයානු ජනයා වාසය කළේ එරිත්‍රියාවට යාබද කඳුකර ප්‍රදේශවල ය​.

1991 දී ඉතියෝපියානු රජය කඩා වැටුණ අතර ටිග්‍රෙයානු මහජන විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඉතියෝපියානු මහජන විප්ලවවාදී ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ (Ethiopian People’s Revolutionary Democratic Front - EPRDF) එරට බලයට පත් වූයේ ය​. මේ අතර 1993 මැයි මාසයේදී එරිත්‍රියාව නිල වශයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කළේ ය​. 1994 දී එරිත්‍රියානු මහජන විමුක්ති පෙරමුණෙහි නම ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සඳහා මහජන පෙරමුණ (People’s Front for Democracy and Justice - PFDJ) ලෙස වෙනස් කෙරිණ​.

සංවිධාන හතරක එකමුතුවක් වන EPRDF ඉතියෝපියාව පාලනය කළ අතර නව පරිපාලනයේ පළමු නායකයා වූයේ මෙලෙස් සෙනාවි ය​. ඔහු TPFL හි ද නායකයා විය​. මෑතක් වනතුරු EPRDF පක්ෂයේ ප්‍රධාන සංවිධානය වූයේ TPLF ය. මේ අතර ඉතියෝපියාවේ නායකයා ලෙස 1991 සිට දිගටම කටයුතු කරන්නේ ඉසයියාස් අෆ්වර්කි ය​. මෙම දෙරට ම ඒකාධිපතිත්වය කරා ගමන් කළ අතර එරිත්‍රියාවේ එය ඍජු ලෙසත්, ඉතියෝපියාවේ වක්‍ර ලෙසත් බලාත්මක කරන ලදී. ඉතියෝපියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ වෙතත් ඒවා මෑතක් වනතුරු ම දැඩි මර්ධනයක් යටතේ ක්‍රියාත්මක වූයේ ය​. එරිත්‍රියාවේ වෙනත් පක්ෂ නොමැත​.

විරසකය​

එරිත්‍රියාව නිල වශයෙන් වෙන් වී පස් වසරකට පසු බඩිමේ (Badime) නම් නිසරු කුඩා නගරයක් අරබයා 100,000 ක පමණ ජීවිත අහිමි කරගනිමින් මෙම දරට අතර යුද්ධයක් ඇති වීම තරමක මවිතයක් ඇති කිරීම ස්වාභාවික ය​. විචාරකයන්ගේ මතය වන්නේ මෙම ගැටුමට මූලික හේතුව වූයේ කලක් එක්ව සටන් වැදුණ ඉතියෝපියානු සහ එරිත්‍රියානු නායකත්ව අතර මතු වූ පුද්ගලික මතභේද සහ එදිරිවාදිකම් බව ය​.

2000 දී ඇති කරගන්නා ලද එකඟතාවයකට අනුව සටන් විරාමයකට එළඹි අතර බඩිමේ නගරය එරිත්‍රියාවට පවරා දීමට නියම විය​. නමුත් මෑතක් වනතුරු ඉතියෝපියාව එම කොන්දේසි පිළිගත්තේ නැත​.

මීළඟ වසරවලදී ඉතියෝපියාව වේගවත් සංවර්ධනයක් කරා පියවර තැබීය​. විශේෂයෙන් ම චීනයේ ආයෝජන මීට උපකාර වූයේ ය​. මේ අනුව පසුගිය දශකයක පමණ කාලය තුළ අප්‍රිකාවේ වේගයෙන් ම සංවර්ධනය වන ආර්ථිකය ලෙස ඉතියෝපියාව නමක් දිනා ගත්තේ ය​. මේ අතර විශේෂයෙන් සෝමාලියාවේ ක්‍රියාත්මක වූ අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන්ට උපකාර කරන්නේය යන චෝදනාව මත  එරිත්‍රියාවට එරෙහිව සම්බාධක ද පනවන ලදී. ඉතියෝපියාවට සාපේක්ෂව එරට ආර්ථික අංශයෙන් බොහෝ පසුපසට විය​. ඉතියෝපියානු අසත්‍ය ප්‍රචාරයන් තමන් මත වන සම්බාධක සඳහා ප්‍රධාන හේතුවක් බව එරිත්‍රියාව දිගටම චෝදනා කළේ ය​.

මේ අතරවාරයෙදී, නගර ව්‍යාප්තිය සහ නවීකරණ ව්‍යාපෘති සඳහා ඉඩම් අල්ලා ගැනීම පිළිබඳ ඔරෝමෝ ගෝත්‍රික ජනතාව අතරින් නැගුණ විරෝධයන් හමුවේ ඉතියෝපියාව දේශපාලන අර්බුදයක් කරා ගමන් ගත්තේ ය​. කෙතරම් උත්සාහ කළ ද මෙම විරෝධතා මර්ධනය කිරීමට නොහැකි වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2018 අප්‍රේල් මාසයේදී අගමැති හේල්මාරියම් දෙසලෙගන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. එම ධුරයට තෝරාගත් නව අගමැතිවරයා වූයේ අබියි අහමඩ් ය​.

ප්‍රතිසංස්කරණවාදියා

අබියි අහමඩ් ඔරෝමෝ ජාතික මුස්ලිම් පියකුගේ දරුවෙකි. එමෙන්ම ඔහු EPRDF පක්ෂයේ එක් සංවිධානයක් වන ඔරෝමෝ මහජන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ (Oromo People’s Democratic Organization) නායකයා ය​. තවමත් 42 හැවිරිදි ඔහු බලයට පත් වූ පසු විශාල ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඇරඹී ය​. දේශපාලන සිරකරුවන් දහස් ගණනින් නිදහස් කළ හෙතෙම​, ඇතැම් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සඳහා කටයුතු ඇරඹුවේ ය​.

එමෙන්ම අදටත් ඉතියෝපියාවේ ආර්ථිකය කෘෂිකර්මාන්තය මත රඳා පවතින හෙයින් එය වෙනස් කිරීම සඳහා ඔහු පියවර ගනිමින් සිටියි. යම් හෙයකින් දේශගුණික විපර්යාසයක් හේතුවෙන් කෘෂිකර්මාන්තයට දරුණු පහරක් එල්ල වුවහොත් එය සමස්ථ ආර්ථිකයට ම දරුණු ලෙස බලපෑමට ඉඩ තිබීම ඊට හේතුව ය​.

මේ අතර අසල්වැසි රටවල් සමග මෙන්ම අසල්වැසි රටවල්වල ද​ සාමය ස්ථාපිත කිරීම වැදගත් බව අබියි අහමඩ් විශ්වාස කරයි. එමගින් කලාපීය ස්ථාවරත්වය වැඩි දියුණු කොට ආරක්ෂක වියදම් අඩු කිරීම මෙම හිටපු හමුදා නිලධාරියාගේ අපේක්ෂාව ය​. ඔහුගේ මැදිහත් වීමෙන් දකුණු සුඩානයේ ප්‍රධාන එදිරිවාදීන් දෙදෙනා වන ජනාධිපති සල්වා කීර් සහ කැරලි නායක රියෙක් මචාර් ඉතියෝපියාවෙදී හමු වූහ​. මේ අතර 2000 වසරේ එකඟතාව පිළිගන්නා බව සඳහන් කළ අබියි අහමඩ් එරිත්‍රියාව සමග සාමය සඳහා ද මුල පිරුවේ ය​. මේ අනුව එරිත්‍රියානු දූත පිරිසක් ජූනි 26 වනදා ඉතියෝපියාවේ සංචාරය කළ අතර ළඟදීම අබියි අහමඩ් සහ ඉසයාස් අෆ්වර්කි අතර ද සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

"අනිද්දා" (2018 ජූලි 6) සටහන​: මෙම ලිපිය පළ වී දෙදිනකින් අබියි අහමඩ් එරිත්‍රියාවේ සංචාරය කළ අතර එරට ජනාධිපතිවරයා මුණ ගැසුණි. ඊළඟ දිනයේදී දෙරට අතර සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ගිවිසුමක් අත්සන් කෙරිණ​.