Monday, October 15, 2018

අගරදගුරු ඔස්කාර් රොමේරෝ සහ මැල්කම් කාදිනල් රන්ජිත්

1980 මාර්තු 24 වනදා දේව මෙහෙයක් පවත්වමින් සිටියදී ඝාතකයකුගේ වෙඩි පහරට ලක්ව එල් සැල්වදෝරයේ අගරදගුරු ඔස්කාර් රොමේරෝ මරණයට පත් වූයේ ය​. ඔහුගේ ඝාතනය අදට ද නොවිසඳුණ අබිරහසකි. නමුත් එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් මගින් කියවුණේ අන්ත දක්ෂිනාංශික ඝාතක කල්ලියක ප්‍රධානියා වූ රොබර්තෝ ඩ'අබුයිසොන් මෙම ඝාතනයට අණ දුන් බව ය​.

රොමේරෝගේ "අපරාධය" වූයේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගීම ය​.

සාන්ත ඔස්‍කාර් රොමේරෝ (Getty Images)

ඔහුගේ අවමගුල් උත්සවය අවස්ථාවේ 250,000 ක් පමණ ජනකායක් ඊට එක් වූ බව කියවේ. ඒ එල් සැල්වදෝරයේ ජනගහනයෙන් දහසයෙන් එකකි. අවමගුල් උත්සවයේදී ද කලබල ඇති වූ අතර එය ද කිසිවකු විසින් කළේදැයි නොදනී.

ඊයේ (2018 ඔක් 14) ෆ්‍රැන්සිස් පාප්තුමා ඔස්කාර් රොමේරෝ සාන්තුවරයට උසස් කළේ ය​. ඒ මානව හිමිකම් වෙනුවෙන් කළ සටන නිසා ය​.

මැල්කම් කාදිනල් රන්ජිත් (News First)

මේ අතර ලංකාවේ කාදිනල් මැල්කම් රන්ජිත් නමැත්තා මානව හිමිකම් ප්‍රතික්ෂේප කරමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ද අභියෝග කරමින් සිටියි.

යේසුස්වහන්සේගේ ඉගැන්වීම් රෝමය වෙත ළඟා වෙද්දී, යක්ෂයාගේ ඉගැන්වීම් ලංකාවේ කතෝලික පල්ලිය අරක් ගනිමින් සිටියි.

Tuesday, October 9, 2018

ජර්මානුන් 132 දෙනකු තනිව යටත් කරගත් ඇමරිකානුවා

පළමු ලෝක යුද්ධයේදී වාර්තා වූ විවිධ වීරක්‍රියා අතුරින්, ඇතැම් විට තනි පුද්ගලයකු විසින් සිදු කරන ලද පුදුමාකාරම වීර ක්‍රියාව වාර්තා වන්නේ 1918 ඔක්තෝබර් 8 වනදා ය​. මියුස්-ආර්ගොන් ප්‍රහාරය අතරතුර දී ඇමරිකානු හමුදා ඛණ්ඩයකට ජර්මන් මැෂින් තුවක්කු කණ්ඩායමක් අල්ලා ගැනීම බාර විය​. මෙම ඇමරිකානු භට පිරිසෙහි 17 දෙනකු වූ අතර ඒ වනවිට ද ඔවුනට සිරකරුවන් පිරිසක් යටත් වී සිටිය හ​. ඔවුනගේ ඉලක්කය වූ මැෂින් තුවක්කු කණ්ඩායම විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ ඇමරිකානු භට පිරිසෙන් සය දෙනෙක් මියගොස් තුන් දෙනෙක් තුවාල ලද හ​. ඉතිරි වූ පිරිසේ ඉහල ම නිලධාරියා වූයේ ඇල්වින් යෝර්ක් නම් කෝප්‍රල්වරයෙකි.

ඇල්වින් යෝර්ක් තම වීරක්‍රියාව සිදු වූ ස්ථානයේ 1919 දී

අනෙක් පිරිසට සිරකරුවන් මුර කිරීම බාර දුන් යෝර්ක්, සිය රයිෆලයෙන් මැෂින් තුවක්කු කණ්ඩායමේ එක එක සෙබළා බැගින් ඉලක්ක කරන්නට විය​. මෙසේ 28 දෙනකු ඔහුගේ වෙඩි පහරට ලක් වූහ​. ඉන්පසු බයිනෙත්තු ප්‍රහාරයක් එල්ල කළ සෙබළුන් සය දෙනෙකුට පිස්තෝලයෙන් වෙඩි තබා ඔවුන් බිම හෙළූ කෝප්‍රල් යෝර්ක් ජර්මානුන්ට යටත් වන ලෙස අණ කළේ ය​. තමන්ට එල්ල වූ ප්‍රහාරය හමුවේ විශාල පිරිසක් තමන්ට පහර දෙන්නේ යයි සිතූ ජර්මන්නු යටත් වූහ​. කෝප්‍රල් ඇල්වින් යෝර්ක් ජර්මානුන් 132 දෙනකු සහ මැෂින් තුවක්කු 35 ක් තනිවම තමන් භාරයට ගත්තේ ය​.