Tuesday, May 18, 2021

2021 රුසියාවේ විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගය

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණය රුසියානුවන් විසින් සමරනු ලබන්නේ මැයි 9 වෙනිදායි. මෙවරත් දෙවන වතාවට කොළඹ රුසියානු මන්දිරය (කලින් රුසියානු මධ්‍යස්ථානය​) විසින් ඒ වෙනුවෙන් ඔන්ලයින් ප්‍රශ්නෝත්තර තරගයක් පැවැත්වූවා.


එහි ප්‍රශ්න සහ පිළිතුරු මෙහි දැක්වෙනවා.

Q 1

1. නට්සි ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම​, එනම් බාබරෝසා මෙහෙයුම, ආරම්භයේදී, පළමුවෙන්ම සෝවියට් දේශසීමාව තරණය කළ ජර්මන් පාබල ඒකකය ලෙස සැලකෙන්නෙ එක්තරා විශේෂ බලකායක්. මෙම ඒකකය විශේෂ මෙහෙයුම් සඳහාම අරඹන ලද එකක්. ජර්මන් නගරයක් සහ පළාතක නමින් මෙය සාමාන්‍ය ව්‍යවහාරයෙදී හඳුන්වනවා. මෙම ඩිවිෂනයේ නම කුමක්ද​?

Q 2

2. දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ ගැන තියෙන එක් දුර්මතයක් තමයි සෝවියට් හමුදා ජර්මානුන්ට උපක්‍රමිකව රට ඇතුලට එන්න දුන්නා කියන එක. ඇත්ත කාරණේ ඊට හාත්පසින්ම වෙනස්. සෝවියට් හමුදාවන්ට පසුබසින්න අණ ලැබුණෙ ඉතා කලාතුරකින්. එමෙන්ම බොහෝවිට ඔවුන්ට ජර්මානුන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අණ ලැබුණා. මුල් කාලෙ එවන් ප්‍රහාර බොහොමයක් අසාර්ථක වුණා.

සෝවියට් හමුදා තමුන්ට අහිමි වූ ප්‍රදේශයක් ආපහු අල්ලගත්තු පළමු අවස්ථාව ලෙස සැලකෙන්නෙ 1941 අගෝස්තු - සැප්තැම්බර් කාලෙ සිදුවූ යෙල්නයා මෙහෙයුමයි. එහිදී එම නගරය අල්ලාගෙන ජර්මානුන් කිලෝමීටර් 25 ක් පමණ පසුප්සට තල්ලු කරන්න සෝවිය්ට් සේනා සමත් වුණා.

ජර්මානුන් අතට පත්වූ විශාල ප්‍රමාණයේ නගරයක් මුදවාගත් පළමු අවස්ථාව සිදුවුණේ 1941 සුප්‍රකට මොස්කව් සටනට සතියකට පමණ කලින්. ඒ දකුණුදිග රුසියාවේ පිහිටි ප්‍රකට නගරයක්. එසේ මුදාගත් නගරය කුමක්ද?

Q 3

3. 1941 දී මොස්කව් නගරය ආසන්නයට ජර්මන් හමුදා පැමිණෙද්දී නගරයේ මෙත්‍රො නැවතුම්පළවල් ආරක්ෂිත ස්ථාන බවට පත්වුණා. වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම කඩ සාප්පු ආදිය ද මේවායේ ක්‍රියාත්මක වූ බව සඳහන්. වෙනකක් තබා ප්‍රසූතිකාගාර පවා මේවායේ ක්‍රියාත්මක වී තිබෙනවා.

1941 නොවැම්බර් 6 වනදා, බල්ෂවික් විප්ලවයේ 24 වන සංවත්සරයට දිනකට පෙර, සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් මෙත්‍රො නැවතුමකට පැමිණියේ මොස්කව් නාගරික සභාවේ සාමාජිකයන් ඇමතීමටයි. ඒ සඳහා වේදිකාවක් වෙනමම ඉදි කරනු ලැබුණා. මෙසේ ඔහු මොස්කව් නගර සභිකයන් අමතා කතාව පැවැත්වූ ප්‍රකට මෙත්‍රො නැවතුම කුමක්ද?

Q 4

4. ජර්මන් හමුදා මොස්කව් දෙසට පැමිණෙද්දී, නගරය අහිමි වුවහොත් යන අවදානමට සෝවියට් රජය සූදානම් වුණා. ඒ අනුව එකල කුයිබිශෙෆ් යන නමින් හඳුන්වන ලද නගරයට අගනුවර ගෙන යාමේ සැලසුම් සකස් කෙරුණා. එය එකල වොල්ගා මිලිටරි දිස්ත්‍රික්කයේ මූලස්ථානය ද වුණා.

කුයිබිශෙෆ් නගරය වර්තමානයේ හඳුන්වන්නේ කවර නමින් ද?

Q 5

5. ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය අළලා නිර්මාණය වූ චිත්‍රපට අතුරින් ජනප්‍රිය සෝවියට් චිත්‍රපටයක් වන්නේ А зори здесь тихие (අ සෝරි ස්දේස් තීහියෙ - The Dawns Here are Quiet) ය. 1942 වසරේ කරේලියාවේ ස්ථානගතව සිටින කාන්තා ගුවන් යානා නාශක කණ්ඩායමක් සහ එහි ප්‍රධානියා වන හමුදා නිලධාරියකු අනපේක්ෂිත ජර්මන් කණ්ඩායමකට මුහුණදෙන ආකාරය පිළිබඳ මෙම චිත්‍රපටයෙන් කියැවේ.

මෙම චිත්‍රපටයට පාදක වූයේ А зори здесь тихие නමින් ම පළ වූ කෘතියකි. එය "නිහඬ හිමිදිරි" නමින් සිංහලයට ද පරිවර්තනය වී තිබේ. මෙම කෘතිය රචනා කළ සෝවියට් ලේඛකයා කවරෙක්ද?

Q 6

6. ජර්මන් ආක්‍රමණයේ මුල් අවස්ථාවලදී ජර්මන් ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් සෝවියට් ගුවන් හමුදාවලට විශාල හානි සිදුවුණා. මෙම අවදානම් සහගත අවස්ථාවේ සෝවියට් නායකත්වය තීරණය කළේ කාන්තා නියමුවරියන්ගෙන් යුතු විශේෂ ඒකක කිහිපයක් ද පිහිටුවීමට යි. මේවායේ ඇතැම් කාන්තා නියමුවරියන් සෝවියට් ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදුන්නා.

මේ කාන්තාවන් අතර විශිෂ්ටතම ප්‍රහාරක නියමුවරිය ලෙස සැලකෙන්නේ 1943 අගෝස්තු 1 වනදා මියගිය තරුණියක්. ඇය මියයනවිට වයස අවුරුදු 22 සම්පූර්ණ වී තිබුණේ ද නැහැ. ප්‍රහාරක මෙහෙයුම් 168 කදී තනිව සතුරු යානා 12 ක් බිමදැමූ ඇය තවත් යානා හතරක් බිම දැමීමට දායක වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ සාර්ථකම ප්‍රහාරක නියමුවරිය ලෙස සැලකෙන්නේ ඇයයි. ඇය හඳුනාගන්න.

Q 7

7. රුසියාවේ කළු මුහුදු බලකායේ ඉතිහාසය 1783 දක්වා දිවෙන්නේ යයි සැලකෙනවා. දෙවන ලෝක යුද්ධයේදී කළු මුහුදු ප්‍රදේශයේ ජර්මන් ආක්‍රමණයන්ට එරෙහි මෙහෙයුම්වලදී මෙන්ම සෝවියට් ප්‍රතිප්‍රහාරයන්වලදී විශාල කාර්යයභාරයක් කළු මුහුදු නාවික බල ඇණිය අතින් සිදුවුණා. මේ අතරින් 1941 ඔඩෙස්සා වටලෑමේදී සහ 1941-42 සෙවස්තෝපල් වටලෑමේදී එය අතින් ඉටුවූ කාර්යයභාරය සුවිශේෂී වුණා. එම සටන්වලදී කළු මුහුදු බලකායට නායකත්වය දුන් සෝවියට් අද්මිරාල්වරයා කවරෙක්ද?

Q 8

8. 1943 වසරේ සිදුවූ කුර්ස්ක් සටනේ අවසන් සතිවලදී කුර්ස්ක් අඩකවයෙන් දකුණු කොටසේ සිට සෝවියට් ප්‍රතිප්‍රහාරයක් දියත් කරන ලදී. අගෝස්තු 3 වනදා අරඹන ලද එහි අවසන් අරමුණ වූයේ යුක්‍රේනයේ දෙවන විශාලම නගරය වන ක්‍රාකෆ් මුදා ගැනීමයි. අගෝස්තු 23 වනදා එම නගරය මුදාගත් අතර එදින සමස්ථ කුර්ස්ක් සටන නිල වශයෙන් අවසන් වූ දිනය ලෙස සැලකෙයි.

මෙම සෝවියට් මෙහෙයුම හඳුන්වන ලද්දේ 18 වන සියවස ජීවත් වූ ප්‍රකට ෆීල්ඩ් මාර්ෂල්වරයකුගේ නමිනි. ඔහු කවරෙක්ද?

Q 9

9. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 1965 වසරේ විජයග්‍රහණයේ දින සැමරුමට එවකට සෝවියට් ආරක්ෂක ඇමතිවරයා සහභාගී වූ අයුරුයි. ඔහු දෙවන ලෝක යුධ සමයෙහි දෙවන යුක්‍රේනියානු පෙරමුණේ අණදෙන නිලධාරියා ලෙස රුමේනියාව​, හන්ගේරියාව​, ස්ලොවැකියාව සහ ඔස්ට්‍රියාව ආදී රටවල් ෆැසිස්ට්වාදීන්ගෙන් මුදාගැනීමේදී විශාල කාර්යයභාරයක් කළා. ඔහු හඳුනාගන්න​.

Q 10

10. 1945 අප්‍රේල් 25 වනදා ජර්මනියේ එල්බ් නදීබඩ ටෝර්ගවු නගරය අසළදී සෝවියට් සහ ඇමරිකන් හමුදා අතර හමුව දෙවන ලෝක යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක්. එහිදී ජර්මනියේ ඉතිරිව තිබුණු කොටස් දෙකඩ වුණා. මෙහි දැක්වෙන ඡායාරූපය එම අවස්ථාව සනිටුහන් කිරීමට ගත් නිල ඡායාරූපයයි.

මෙම හමුව සිදුවූ ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය සෙබළුන්ද වූ බව සඳහන්. නමුත් නිල වශයෙන් සෝවියට් සහ බ්‍රිතාන්‍ය සෙබළුන් අතර හමුවීම සිදුවූයේ මීට දින කිහිපයකට පසු උතුරු ජර්මන් නගරයක් වූ විස්මාර්හි දී.

1945 මැයි 7 වනදා බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් මොන්ට්ගොමරි සහ සෝවියට් මාර්ෂල්වරයකු විස්මාර් නගරයේදී හමුවුණා. එම සෝවියට් මාර්ෂල්වරයා කවුද?

පිළිතුරු

1. බ්‍රැන්ඩන්බර්ග් ඩිවිෂනය​

2. රස්තෝෆ් නා දොන්

3. මයකෝව්ස්කයා

4. සමාරා

5. බරිස් වසිල්යේෆ්

6. ලිඩියා ලිත්ව්‍යාක් 

7. ෆිලිප් ඔක්ත්‍යාබර්ස්කි

8. ෆීල්ඩ් මාර්ෂල් පියෝතර් රුම්යාන්ත්සෆ් (එසේත් නැත්නම් රුම්යාන්ත්සෆ්-සදුනයිස්කි)

9. රදියෝන් මලිනෝව්ස්කි

10. කොන්ස්තන්තීන් රකසෝව්ස්කි

No comments:

Post a Comment