Thursday, August 27, 2020

ත්සාර් අලෙක්සන්දර්ගේ උපදේශිකාව

රාජ්‍ය නායකයින්ට හෝ දේශපාලන නායකයින්ට සිටිය යුත්තේ වන්දිභට්ට උපදේශකයින් නොව සත්‍යය පවසන උපදේශකයින්. ඒ අතින් රුසියාවේ ත්සාර් පළමුවන අලෙක්සන්දර් වාසනාවන්තයෙක්. ඔහු සිය බාල සහෝදරිය වූ එකැතරීනා පව්ලොව්නා හෙවත් කැතීෂේ වෙත බොහොම සමීප වූ බව ප්‍රකට කරුණක්. ඇය දේශපාලන කටයුතුවලදී ඔහුගේ ප්‍රමුඛතම උපදේශිකාවක් වුණා. ඒ වගේම ත්සාර්ට තමන්ට පෙනෙන දේ නොපැකිළව කියන්නට ඇයට හැකියාව තිබුණා.



නැපෝලියන්ගේ හමුදා 1812 දී රුසියාව ආක්‍රමණය කරද්දී රුසියන් ජෙනරල්වරු දෙපැත්තකට බෙදුණා. යුධ ඇමති මෙන්ම හමුදා ප්‍රධානියා වූ මිහායිල් බාර්ක්ලේ ඩි ටොලී කුමාරයා විශාල ප්‍රංශ හමුදාව හමුවේ පසුබසින්න වුණා. එහෙත් ජෙනරාල් බග්‍රතියෝන් හිටියේ සටන් කළ යුතුයි කියන තැන. ස්මොලෙන්ස්ක් සටනින් පස්සෙ රුසියන් හමුදා පසුබසිද්දී හමුදා නිල ඇඳුම අඳින්නට පවා ලජ්ජා බව බග්‍රතියෝන් කියා සිටියා.

මේ දෙපාර්ශවයේ ජෙනරල්වරු වඩා සුදුසු යුධ උපක්‍රමය ගැන තීරණයක් ගන්න බැරුව පැටලෙද්දී කැතීෂේ දොස් කිව්වේ ත්සාර්ටයි. අලෙක්සන්දර් සිය ජෙනරාල්වරුන් පාලනය කරගන්නේ නැති නිසා සහ තීරණයක් ගන්නේ නැති නිසා තත්ත්වය අවුල් වූ බව ඇය පැවසුවා. මේ අවස්ථාවේ අලෙක්සන්දර් කියා සිටියේ තමන් හමුදාව පුද්ගලිකව මෙහෙයවන බවයි.

"හමුදාවට අවශ්‍ය වන්නේ එහි චිත්ත ධෛර්යය නැංවිය හැකි අයෙක්. ඔබට එය කිසිසේත් ම කළ නොහැකියි" කැතීෂේ පැවසුවා.

මේ අනුව තමයි කුමක් කළ යුතුද කියන සාකච්ඡාව ඇතිවුණේ. අලෙක්සන්දර් ජෙනරාල්වරුන් හා කරපු කතාබහේදි හැම කෙනෙක්ම පාහේ කියුවේ මිහායිල් කුතූසොෆ්ට හමුදාව භාර දිය යුතු බවයි. අලෙක්සන්දර් කුතූසොෆ්ට අකමැති හෙයින් ඔහුව කොන් කර දමලායි තිබුණේ. එහෙත් මේ අවස්ථාවේ ඔහුට හමුදාව භාර ගන්නැයි කියන්නට අලෙක්සන්දර්ට සිදුවුණා.

කැතීෂේ තම සහෝදරයාව වර්ණනා කරන වන්දිභට්ට සොයුරියක් වුණා නම් ඒ වතාවේ රුසියාව නැපෝලියන් හමුවේ පරාද වෙනවා නිසැකයි.

කැතීෂේ නැපෝලියන් පිළිබඳ කතාවට තවත් අයුරකින් ද සම්බන්ධ වෙනවා. නැපෝලියන් සිය අධිරාජිණිය වූ ජොසෆින් ව දික්කසාද කර අලුත් විවාහයක් කරගැනීමට රජ කුමරියක් සොයද්දී ඔහුගේ අවධානය කැතීෂේ වෙත යොමු වුණා. මේ කාලෙ, 1807 ටිල්සිට් ගිවිසුමෙන් පසු රුසියාව සහ ප්‍රංශය මිත්‍රයින් වී සිටි සමයයි. කෙසේ වෙතත් නැපෝලියන්ට ඇයව විවාහ කර දෙන්න රොමානොෆ් පවුලට අවශ්‍ය වුණේ නෑ. ඇගේ මව හෙවත් මාතෘ අධිරාජිණිය වහ වහා තමන්ගෙ බෑණනුවන් කෙනෙකු වූ ඔල්ඩන්බර්ග් හි ජෝර්ජ් ආධිපාදවරයාට ඇයව විවාහ කර දුන්නා. ඔවුන් ජීවත් වුණේ ත්වේර් නගරයේ. කැතීෂේගේ දෙවනි දරුවා උපන්නේ නැපෝලියන්ගේ ආක්‍රමණය දිනවලයි.

ඔල්ඩන්බර්ග් හි ආධිපදවරයා ඉන් මාස කිහිපයකට පසු 1812 දෙසැම්බරයේ මියගියා. ඉන්පසු ගතවූ වසර කිහිපයෙදි කැතීෂේ සිය සොහොයුරු පිරිසට තවත් සමීප වුණා. වියානා සංගමය පැවැත්වෙන දිනවල ත්සාර් අලෙක්සන්දර් සමග ඇය එහිද ගියා. 1816 මුලදී වුටෙම්බර්ග් හි විලියම් කුමාරයා හා විවාහ වීමෙන් පසු ඇය එරටෙහි ජීවත් වෙන්නට ගියා. විලියම් කුමාරයා ඒ වසරේම රජ බවට පත්වුණා. ඇය රෝගී තත්ත්වයක් හේතුවෙන් 1819 දී මියගියා.

Tuesday, August 25, 2020

රුසියාවේ පළමු ත්සාර්

වර්තමානයේ අප දකින රුසියාව එනමින් ස්ථාපිත කරන ලද්දේ 1547 දී, සමස්ථ රුසියාවේ ත්සාර් ලෙස තමන්ව ප්‍රකාශයට පත් කරගත් හතරවන ඉවාන් විසින්. විදේශීය රටවල ඔහු වඩා ප්‍රසිද්ධ වන්නේ අයිවන් ද ටෙරිබල් (Ivan the Terrible) හෙවත් "බිහිසුණු අයිවන්" යන නමින්. නමුත් රුසියානුවන් ඔහුව හඳුන්වන්නේ "ඉවාන් ග්‍රෝස්නි" (Ива́н Гро́зный) යන නමින්. ඔහු බිහිසුණු අයිවන් වී අත්තේ මේ රුසියන් නම වැරදි ලෙස පරිවර්තනය වීමෙන් බවයි රුසියානුවන් ඔබට පවසනු ඇත්තේ.

ඉවාන් ග්‍රොස්නි දරුණු පාලකයකු මෙන්ම හොඳ සංවිධායකයකු ලෙස ද සැලකෙනවා. එමෙන්ම ඔහු රුසියාවේ භූමි ප්‍රදේශය ව්‍යාප්ත කිරීමට බෙහෙවින් දායක වුණා. එහෙත්, ඔහුගේ දරුණු ක්‍රියා සහ ක්ෂණික කෝපය හේතුවෙන් විශාල හානියක් ද රුසියාවට සිදුවුණා. ඔහු අතින් සිදුවූ මරණයක් නිසා රුසියාව දශකයකට වැඩි කලක් අරාජික සමයකට තල්ලු වී ගියේ යයි සැලකෙනවා.

ඉවාන් ග්‍රොස්නි සහ අයිවන් ද ටෙරිබල්

ඉංග්‍රීසි භාෂාවෙන් Terrible යන්න රුසියන් භාෂාවේ ග්‍රෝස්නි (Гро́зный​) යන්නෙහි නිවැරදි පරිවර්තනයක් නොවේ. ග්‍රෝස්නි යන්න උපදින්නේ ග්‍රසා යන යෙදුමෙන්. එයින් විදුලි කෙටීම​, අහස ගිගිරුම් දීම වැනි දේ හැඟවෙනවා. මේ අනුව ග්‍රෝස්නි යන යෙදුමට විදුලිය මෙන් ඉක්මන් යන අර්ථයක් ලැබෙනවා. එමෙන්ම ශක්තිමත්, වීරෝධාර​, සතුරා බිය වද්දනසුලු යනාදී අර්ථ ද ඒ සඳහා ලබා දී තිබෙනවා. රුසියානුවන් ඉවාන් ග්‍රෝස්නි ලෙස හතරවන ඉවාන් හඳුන්වා දෙන්නේ මෙම විවිධ අර්ථයන්ගෙන්.


කෙසේ නමුත් ඉංග්‍රීසියෙන් ග්‍රෝස්නි යන්න යනුවෙන් හැඳින්වීමත් සමග විදේශයන් හි හතරවන ඉවාන් ප්‍රකටව ඇත්තේ "බිහිසුණු" අයිවන් යන නමින්. ඉවාන් බිහිසුණු දේ කළ බව ඇත්ත යි. නමුත් ඊටත් වඩා බිහිසුණු දේ සිදුකළ පාලකයින් සිටිය දී ඉවාන් බිහිසුණු යයි පැවසීම තරමක් අසාධරණ බව යි රුසියානුවන් අදහස් කරන්නේ.

ත්සාර් බවට පත් වීම

පැරණි කියේවන් රුස් රාජ්‍යය මොංගොල් ආක්‍රමණවලින් පසු කැඩී බිඳී ගියා. ඊට අයත් වූ භූමි ප්‍රදේශ විවිධ රාජධානි යටතේ පැවති අතර, 16 වන සියවස වන විට මොස්කව් මහාධිපාද ප්‍රදේශය එයින් ප්‍රමුඛතම රාජ්‍යය බවට පත්ව තිබුණා. මෙම රාජ්‍යයේ තුන්වන වසීලිගේ පුත්‍රයා ලෙස 1530 අගෝස්තු 25 වනදා ඉවාන් වසීල්යෙවිච් උපත ලැබුවා. 1533 දී, එවකට තුන් හැවිරිදි වූ ඉවාන් කුමාරයා මෙහි පාලකයා බවට පත් වුණා. එකල එහි පාලකයා සාමාන්‍යයෙන් හඳුන්වන ලද්දේ ශ්‍රේෂ්ඨ කුමාරයා (Grand Prince) හෝ මහධිපාදයා හෝ යනුවෙන්. ඒ අනුව​, ඔහු මොස්කව් හි හතරවන ඉවාන් ලෙස ශ්‍රේෂ්ඨ කුමාරයා තනතුරට පත් වුණා.


ළාබාල කාලයේ දී ඉවාන් වෙනුවෙන් රාජ්‍යත්වයෙහි වැඩ බලන ලද්දේ වෙනත් අය යි. 1547 දී ඔහු රාජ්‍ය පාලනය ඍජුව තමා විසින් ම සිදුකිරීමට පටන් ගත්තා. මෙහිදී ඔහු තමන් රුසියාවේ ත්සාර් ලෙස ප්‍රකාශයට පත් කළා. ත්සාර් යන යෙදුම ලතින් භාෂාවේ සීසර් යන්නෙන් බිඳී එන්නක් වන අතර අධිරාජයා යන අර්ථය දෙනවා. එමෙන්ම වෙනත් සාමාන්‍ය මට්ටමට වඩා උසස් බලයක​, එනම් ප්‍රබල අධිරාජයකුගේ හෝ ක්‍රිස්තියානි ආගමික නායකයාගේ අවසර ඇතිව​, රාජ්‍ය පාලනය කරන්නා යන අර්ථය ද දෙනවා. මෙම තනතුර ස්ලැවික් රටවල් කිහිපයකම භාවිතා වී ඇති අතර මුලින්ම සාර්වරයෙකු බිහිවුණේ පළමු බාල්ගේරියානු අධිරාජ්‍යයේ යි.

ත්සාර් යන නම පවරා ගැනීමෙන් ඉවාන් තමා සිටි ස්ථාවරයට වඩා උසස් වූ තනතුරක් පවරාගත්තා පමණක් නොව සමස්ථ රුසියාවේ පාලකයා තමන් බවට ඇඟවූවා. එමෙන්ම තමන්ට ආගමික සංස්ථාවේ සහය හිමි බව ද පෙන්වා සිටියා.

ප්‍රතිසංස්කරණ සහ භූමි ව්‍යාප්තිය

ඉවාන් ග්‍රෝස්නිගේ ළමා කාලය එතරම් යහපත් වූයේ නැහැ. එයම ඇතැම් විට පසුකලෙක ඔහුගේ ඇතැම් ක්‍රියාවන්ට හේතු වූයේදැ යි සැක කළ හැකියි. ඔහුගේ පියාගේ මරණින් පසු මොස්කව් හි පාලකයා බවට පත් වූ ඔහුගේ රාජ්‍යත්වයේ වැඩ බැලීම ඔහුගේ මව වූ එලේනා ග්ලින්ස්කායා විසින් සිදුකරනු ලැබුණා. ඉවාන්ට වයස අවුරුදු අටක් වෙද්දී එලේනා ග්ලින්ස්කායා මියගිය අතර ඇයට යමෙකු විසින් විෂ දෙන්නට ඇතැ යි සැක කෙරෙනවා. ඉන්පසු ඉවාන්ව පාලනය කිරීම සඳහා බෝයාර්වරුන් නම් වූ රදල පවුල් කිහිපයක් උත්සාහ කළා. එකළ රුසියාවේ සැලකිය යුතු බලයක් මේ බෝයාර්වරුන්ට තිබුණා. තමන්ව පාලනය කරන්නට බෝයාර්වරුන් උත්සාහ කළ හෙයින් ඉවාන් තුළ ඔවුන් පිළිබඳ විශාල කැමැත්තක් වූයේ නැහැ.

තමන්ම රාජ්‍ය පාලනය කිරීමට පටන් ගත් විට​, ඉවාන් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඔහු නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කළා. නිත්‍ය හමුදාවක් (ස්ත්‍රෙල්ත්සි) ස්ථාපිත කළා. සෙම්ස්කි සොබෝර් නම් පාර්ලිමේන්තුව පිහිටවූවා. රදලයින් මෙන්ම පූජකයින් සහ නගර වැසියන් ද එහි නියෝජිතයන් ලෙස පත් වුණා. මේ සියල්ලෙන්ම ඔහු කළේ බෝයාර්වරුන් සතු වූ බලය කෙමෙන් සීමා කිරීමට උත්සාහ කිරීම යි. මේ අතර ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි සමුළුවක් පවත්වා රට පුරා ක්‍රිස්තියානි පල්ලියෙහි රීතීන් සහ වතාවත් එක් ක්‍රමයකට ගෙන එනු ලැබුණා. එයින් පල්ලිය වඩා ක්‍රමවත් ආයතනයක් කර, එමගින් ද බෝයාර්වරුන්ගේ බලය සීමා කරන්න ඔහු උත්සාහ කළා.

කසාන් වටලෑම (Peter Korovin, 1890)


මේ අතර ඉවාන්, ත්සාර් ලෙස කටයුතු කළ මුල් දශකය තුළ රුසියාවේ බලය වොල්ගා නිම්නය ඔස්සේ පතුරවනු ලැබුණා. කසාන් රාජ්‍යය 1552 දී අත්පත් කරගැනීම මෙහිදී අතිශය වැදගත් වූ සිදුවීමක් වුණා. එය සැමරීම සඳහා මොස්කව් හි විචිත්‍රවත්ම ගොඩනැගිල්ලක් වූ සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ඉදිකෙරුණා.

කසාන් අල්ලාගෙන වසර හතරකට පසු 1556 දී අස්ත්‍රහාන් හි බලය ද රුසියානුවන් විසින් අල්ලාගනු ලැබුණා. මින් දශක කිහිපයකට පසු 1582 දී, එර්මාක් තිමොෆෙයෙවිච් විසින් සිබීර් රාජ්‍යය අල්ලාගනු ලැබීම රුසියානුවන් සයිබීරියාවට ව්‍යාප්ත වීමේ ඇරඹුම ද සනිටුහන් කළා.

අප්‍රීට්ස්නිනා (Oпри́чнина)

1558 සිට රුසියාව දිගු කාලීන යුද්ධයකට පැටලුණා. එය හඳුන්වනු ලබන්නේ ලිවෝනියානු යුද්ධය යනුවෙන්. ඩෙන්මාර්ක්-නෝර්වේ, ස්වීඩනය​, ලිතුවේනියාව​, පෝලන්තය ආදී විවිධ රටවල් සමග මෙහිදී රුසියාව යුධ වැදුණා. මෙහිදී රුසියාවට භූමිය අහිමි වුණ අතර විශේෂයෙන්ම බෝල්ටික් ප්‍රදේශ සමග වෙළඳාම් කටයුතුවලට ද බාධා පැමිණුනා.

මේ අතර 1560 දී ඉවාන්ගේ බිරිඳ වූ අනස්තාසියා රොමනෝවා මරණයට පත් වුණා. ඇය ද විෂ ශරීරගත වීමෙන් මියගිය බව සැක කෙරුණා. මෙය ඉවාන්ට දෙවිධියකට බලපෑවා. එක් අතකින් රදලයින් කෙරෙහි වූ සැකය සහ කෝපය මින් තවත් වර්ධනය වුණා. එමෙන්ම ඔහුට ආත්ම සාහායිකාවක මෙන් සිටි විශ්වාසවන්ත කන්තාව ද ඔහුට අහිමි වුණා. ඉවාන් විශේෂයෙන් "බිහිසුණු" වන්නට පටන් ගත්තේ අනස්තාසියා මියගිය පසු බව සාමාන්‍යයෙන් පිළිගන්නා කරුණක්.

ඉවාන්ගේ රදල විරෝධී කටයුතු උත්සන්න වූයේ 1565 දී යි. ඔහු රුසියාවේ කොටසක් තම ඍජු පාලනය යටතට ගත්තා. එහි අප්‍රීට්ස්නිකි නම් වූ රහස් පොලිසියක් පිහිටවූවා. මෙය රුසියානු ඉතිහාසයේ පළමු රහස් පොලිසිය ලෙස සැලකෙනවා. ඉන් අනතුරුව ඉවාන් සිය බලය එහි තහවුරු කරගනිමින් තමන්ට එරෙහි වූ පිරිස් මර්දනය කළා.

1569 දී ඔහුගේ දෙවන බිරිඳ වූ මාරියා තෙව්රුකෝව්නාගේ මරණින් පසුව ඉවාන්ගේ සැක සංකා තවත් ඉහළ ගියා. එයින් ස්වල්ප දිනකට පසු ඔහුගේ ඥාති සහෝදරයා වූ ව්ලදිමීර් කුමාරයාට දිවි නසා ගැනීමට ඉවාන් බල කළා. ඒ, වසර ගණනක් තිස්සේ ව්ලදිමීර් පිළිබඳ තමන් තුළ වූ සැක සංකාවන් හි ප්‍රතිඵලයක් ලෙස යි.

ව්ලදිමීර් කුමාරයා එකල රුසියාවේ දෙවන විශාලම නගරය වූ නෝව්ගරද් හි ඉතා ජනප්‍රිය අයෙකු වුණා. ඉවාන් නෝව්ගරද් වැසියන් ද සැක කරන්නට වුණා. එහි ප්‍රතිඵලය වූයේ අප්‍රීට්ස්නික්වරුන් විසින් නගර වැසියන් සමූල ඝාතනය කිරීම යි. නෝව්ගරද් නගරය එහි පැරණි ශ්‍රී විභූතිය කරා යළි කෙදිනක හෝ ළඟා වූයේ නැහැ.

ඉවාන් තම සතුරන් යයි සිතූ අයට එරෙහිව දැඩි අමානුෂික වධ බන්ධනයන් ක්‍රියාවට නැගුවා. ඇතැම් විචාරකයින් විග්‍රහ කරන පරිදි ඉවාන් තමන්ව සැලකූයේ දෙවියන්ගේ නියෝජිතයා ලෙස යි. එවිට තමන්ට එරෙහිව යන අයට අපායේ දී හිමිවන දඬුවම් හිමි වියයුතු බව ඔහු විශ්වාස කළා.

පුත්‍රයා මරණයට පත් වීම

1581 නොවැම්බර් මාසයේ දිනෙක ත්සාර් ඉවාන් ග්‍රෝස්නි සිය පුත්‍රයා වූ ඉවාන් ඉවානොවිච්ගේ බිරිඳ වූ එලේනා ශෙරෙමෙතේවාට පහර දුන්නේ නුසුදුසු ඇඳුමක් හැඳ සිටියේ යයි චෝදනා කරමින්. ඇය එම අවස්ථාවේ ගැබිණියක ව සිටි අතර පහර දීමෙන් පසු ඇයට ගබ්සාවක් සිදුව තිබෙනවා. මේ පිළිබඳ සාර් ඉවාන් සහ සාර්යෙවිච් (කිරුළ හිමි කුමරු) ඉවාන් ඉවානවිච් අතර බහින්බස් වීමක් වුණා. එහි දී සාර් විසින් උල් අගිස්සක් සහිත බස්තමකින් එල්ල කළ පහරකින් සාර්යෙවිච් මරණාත්මක තුවාල ලැබුවා. ඉවාන් ග්‍රෝස්නි ප්‍රාතිහාර්යයක් ප්‍රාර්ථනා කරමින් යාඥා කළ ද දින කිහිපයකින් ඉවන් ඉවානවිච් මියගියා.

(මේ සිදුවීම මේ ආකාරයෙන්ම සිදුවූයේ යයි සම්පූර්ණයෙන් තහවුරු වී නැහැ. නමුත් සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන කතා පුවත මෙයයි).

මරණය සහ “කරදරකාරී සමය”​

ඉවාන් ග්‍රෝස්නි මියගියේ 1584 මාර්තු 28 වනදා සිය සමීපතමයෙකු වූ බොග්දාන් බෙල්ස්කි සමග චෙස් ක්‍රීඩා කරමින් සිටිය දී රෝගී වීමෙන්. ඔහුගේ මරණය සමග රුසියාව අවිනිශ්චිත කාලයක් කරා ගමන් ගත්තා. ඉවාන් ඉවානොවිච් මරණයට පත් වීමෙන් පසු, සිහසුන හිමි ශක්තිමත් අයෙකු නොවීම මෙයට හේතුව වුණා.

ඉවාන් ඉවානොවිච්ගේ මරණය හේතුවෙන් ඔහුගේ බාල සහෝදරයා ත්සාර්යෙවිච් බවට පත් වුණා. රෝගී තැනැත්තෙකු වූ ෆියදෝර් ඉවානොවිච් ආගම දහමට ලැදි, දේශපාලනය පිළිබඳ තැකීමක් නොකළ අයෙක්. 1584 දී සාර් ඉවාන් ග්‍රෝස්නි මියගිය පසු ෆියදෝර් ත්සාර් ලෙස පත් වූ අතර, සත්‍ය වශයෙන්ම බලය තිබුණේ ඔහුගේ බිරිඳගේ සොයුරා වූ බරිස් ගදුනෝෆ් අත යි.

ඉවාන් ග්‍රෝස්නිගේ අවසන් බිරිඳ වූ මාරියා නගායා 1581 දී දිමිත්‍රි ඉවානොවිච් නම් පුත්‍රයකු බිහි කළා. ඔහු 1591 දී මියගිය අතර බරිස් ගදුනෝෆ් විසින් එම මරණය සිදුකරවූ බවට ද සැකයක් පවතිනවා.

(දිමිත්‍රි මියගියේ නැති බවට ප්‍රබල විශ්වාසයක් වූ අතර එහෙයින්ම අරාජික සමයේදී තමුන් දිමිත්‍රි බවට කියා සිටි කිහිප දෙනෙක්ම රුසියන් සිහසුන සඳහා සටන් වැදුණා).

ෆියදෝර් 1598 දී මියගියේ දරුවන් නොමැතිව යි. ඒ අනුව එතෙක් රුසියාව පාලනය කළ රුරික් රජවංශය ඉන් නිම වුණා. බරිස් ගදුනෝෆ් තමා සාර් ලෙස ප්‍රකාශ කළ ද ඔහුටත් විරුද්ධවාදීන් මතු වුණා. 1605 දී ගදුනෝෆ් මියගිය පසු රට අරාජික තත්ත්වයකට පත් වුණා.

මේ ආකාරයෙන් මතු වූ සමය "කරදරකාරී සමය​" ලෙස හඳුන්වනවා. එය අවසන් වූයේ රොමානොෆ් රාජවංශය බලයට පැමිණීමෙනුයි.


Monday, August 24, 2020

කළු, සුදු, අළු සහ බෙලරූස්

ලෝකෙ දේශපාලන පළහිලව් ගැන ගොඩක් දෙනාට තියෙන්නෙ හරි සරල දැක්මක්. ඒ අය ලෝකෙ දකින්නෙ කළු සහ සුදු විදියට. මැද තියෙන අළු පාට පෙනෙන්නෙ නැහැ. මං මේකට කියන්නෙ "සීත යුද්ධ මානසිකත්වය" කියලා. ඒ අයගෙ විශ්ලේෂණ සුදුසු වෙන්නෙ 1991 ට පෙර ලෝකෙට. සෝවියට් දේශය තිබ්බ කාලෙට.

හැබැයි දැන් ලෝකෙ ඊට වඩා වෙනස්. දැන් සිද්ධ වෙන සමහර ජාත්‍යන්තර සිද්ධි සහ ගේම් තේරුම් ගන්න ඔය වගේ සරල කළු සහ සුදු තියරි හරියන්නෙ නෑ.


බෙලරූස් සම්බන්ධව මම නිව්ස් එකක් ලිව්වා නම් ම්සක කිසිම ඔපීනියන් එකක් කිව්වෙ නැත්තෙ සහ කියන්නෙ නැත්තෙ ඒකයි. අපිට පේන කළු සුදු දේශපාලනේට වැඩි දෙයක් එතන තියෙනව කියලයි අගෝස්තු මාසෙ 9 සහ ඊට පසුව වෙච්ච දේවල්වලින් මට හිතෙන්නෙ. ඒ ප්‍රශ්නය ගැන රුසියාව හැසිරිච්ච විදිය නිරීක්ෂණය කරද්දි මට ඒක හිතුණෙ. රුසියාව මුල් දිනවල එක පැත්තකින් මේ පිළිබඳ යුරෝපා නායකයින් සමග සාකච්ඡා කරන ගමන් ලුකාශෙන්කෝ වෙත ප්‍රබල ලෙස සහය දැක්වීමෙන් වැළකුණා. රුසියාවෙ ස්ථාවරය ලුකශෙන්කෝගෙ පැත්තට පැහැදිලි නැඹුරුවක් පෙන්නුම් කළේ සති දෙකක් පමණ ගතවුණාට පස්සෙයි. මේක හරි වැදගත් සංසිද්ධියක් බවයි පෙනෙන්නෙ.

මොනවත්ම කියන්න කල් වැඩියි. සමහර වෙලාවට, කවදාවත්ම මොනවත් කියන්න තරම් කරුණු අපි දැනගන්න එකක් නෑ.

කියවන්න​: බෙලරූස් උද්ඝෝෂකයන් භාවිතා කරන සුදු-රතු-සුදු ධජය

Sunday, August 23, 2020

රාජස්ථානයේ ජයිසල්මේර් බලකොටුව

ජයිසල්මේර් නගරය පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බටහිරට වන්නටයි. ථාර් කාන්තාරය මැද පිහිටි මෙම නගරය 78,000 කට ආසන්න ජනගහනයකින් යුතුයි. මෙහි ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගන්නා කහ පැහැති වැලිගල් වර්ගය හේතුවෙන් ඊට "රන්වන් නගරය" යන නම ලැබී තිබෙනවා.


ජයිසල්මේර් නගරයේ පිහිටි බලකොටුවේ ඉතිහාසය අවුරුදු 900 කට ආසන්නයි. මහාරවාල් ජයිසාල් නම් රාජ්පුත් නායකයා මෙම බලකොටුව ඉදි කිරීම ඇරඹූ බව කියනු ලබන්නේ 1156 වසරේදී යි. මෙය ඉදිකිරීමට වසර හතක් ගතවී තිබෙනවා. පසුකාලීනව විවිධ කොටස් ඊට එකතු වුණා.


ජයිසල්මේර් යන නමෙහි තේරුමත් ජයිසාල්ගේ පර්වතය යන්නයි. මෙම බලකොටුව "රාජස්ථානයේ පර්වත බලකොටු" නම් යුනෙස්කෝ ලෝක උරුමයට අයත් එක බලකොටුවක් වනවා. මෙයටත් "සෝනාර් කිලා" (රන්වන් බලකොටුව) යන යෙදුම භාවිතා වෙනවා. ජයිසල්මේර්වල සෑම ගොඩනැගිල්ලක්ම පාහේ ඉදිකර තිබෙන වැලිගල්වලින්ම මෙය ද ඉදිකර තිබෙනවා.


මෙම බලකොටුවේ සමස්ථ වටප්‍රමාණය කිලෝමීටර් 5ක් වනවා. එහි පවුරේ පළල මීටර් 2 - 3 ක් අතර වනවා. එමෙන්ම බලකොටුවේ ප්‍රධාන කොටසේ පවුරෙහි බිත්ති දෙකක් වන අතර ඒ මැද මීටර් 2-4ක් අතර පළල ඉඩක් තිබෙනවා. එම ඉඩ ප්‍රමාණය සෙබළුන් එහා මෙහා යාමට භාවිතා කළ හැකියි.


බලකොටුවේ ඉහළ කොටසෙහි තුවක්කු රඳවන ස්ථාන සහ සඳළුතල ආදිය වනවා. එමෙන්ම එහි ගල් බෝල සහ සිලින්ඩරාකාර ගල් තබා ඇත්තේ සතුරු හමුදා වෙත පෙරළීමටයි. බලකොටුවෙහි මුර අට්ටාල 99ක් වනවා.


අකායි සිංගේ පාලන සමයේදී (1722-62) ජනතාව බලකොටුව අසළ බෑවුම් ආශ්‍රිතව ජීවත් වීමට පැමිණියා. බලකොටුව තුළ ද දේවාල සහ වෙනත් ගොඩනැගිලි ඉදිවුණා. අදටත් එහි ප්‍රධාන දේවාල මෙන්ම ජෛන පන්සල් ද පිහිටා තිබෙනවා.


අතීතයේදී ජයිසල්මේර් හි ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ කාන්තාරය හරහා යන වෙළෙඳුන්ට පහසුකම් සැලසීම සහ ඔවුන්ගෙන් ලැබුණ බදු ආදායමයි. එහෙත් මුහුදු මගින් වෙළෙඳාම ප්‍රචලිත වීමත් සමග ජයිසල්මේර් හි වැදගත්කම පහළ ගියා. එහෙයින් අතීතයේ ධනවත් නගරයක් වූ එහි මූල්‍යමය තත්ත්වය පහළ වැටුණා. වර්තමානයේදී එහි වැදගත්ම ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තය යි.

සැන්ඩර්ස් අනුගාමිකයන්ගේ අලුත් පක්ෂය

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ මධ්‍ය වාමාංශික කොටසක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු අරඹා තිබෙන බව වාර්තා වනවා.

මෙම පිරිස ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් ජාතික සම්මේලනවලින් අනතුරුව රැස්වීමට සැරසෙන බවයි ප්‍රකාශ කෙරුණේ.

මෙම කණ්ඩායමේ මූලිකත්වය ගෙන ඇත්තේ ලේඛිකා මාරියාන් විලියම්සන්, ආර්කන්සා ප්‍රාන්තය නියෝජනය කළ හිටපු ඩිමොක්‍රටික් සෙනට් සභික මයික් ග්‍රැවල්, 2020 බයිඩන් ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ නීනා ටර්නර් සහ ආචාර්ය කෝර්නෙල් වෙස්ට් යන පිරිසයි.

ජනතාවාදී පක්ෂයක් සඳහා වන ව්‍යාපාරය නමින් තමන්ව හඳුන්වා දෙන මෙම පිරිස කියා සිටින්නේ සමාගම්වලට යට නොවූ, ජනතා අභිලාෂයන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම තම ඉලක්කය බවයි.

ඩිමොක්‍රටික් පක්ෂය සිය වාමවාදී කඳවුර කොන් කිරීමට ලක් කරන බවයි මෙම කණ්ඩායම ඇතුළු ඇතැම් කොටස්වල මතය වී තිබෙන්නේ.

තමා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියකු ලෙස හඳුන්වාගන්නා සෙනට් සභික බර්නි සැන්ඩර්ස් වටා සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් පහුගිය කාලයේ එක් වුණා. ඉන් වැඩි පිරිසක් තරුණ වයසේ අයයි. 2016 ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ නාමයෝජනා වෙනුවෙන් කළ සටනේදී ඔහු හිලරි ක්ලින්ටන්ට පරාජය වුණා. පක්ෂය තුළින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කෙරුණ බවටත් තොරතුරු පසුව අනාවරණය වුණා.


සැන්ඩර්ස් විසින් ඇති කළ ප්‍රබෝධය සමග ඩිමොක්‍රටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමරිකා (ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්) නම් ප්‍රබල සංවිධානයක් පවා නිර්මාණය වී තිබෙනවා. මෙය බොහෝ කලකින් ඇමරිකාවේ නිර්මාණය වුණු ප්‍රබල වාමවාදී සංවිධානය ලෙස අවිවාදයෙන් නම්කළ හැකියි.

මෙවර ජනාධිපතිවරණ නාමයෝජනා සටනේදී ද ජෝ බයිඩන්ට සැන්ඩර්ස් පරාය වීම සමග ඩිමොක්‍රටික් පක්ෂය තුලින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කළේ යන සැකයක් මතු වුණා.

Friday, August 21, 2020

නම් තුනක් ඇති ඝාතකයකුට ගොදුරු වූ ලියොන් ට්‍රොට්ස්කි

1940 අගෝස්තු 21 වන දා, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියේ සෝවියට් දේශයෙන් බොහෝ ඈත මෙක්සිකෝවේදී. එහෙත් මාරයාගේ කාර්යයභාරය සිදුකළේ සෝවියට් ඒජන්තයකු විසින්. යාක්ස් මොනාර්ඩ් නමින් පෙනී සිටි ඔහුගේ ඝාතකයා ඊට පෙර දින ඔහුගේ නිවසේ දී ම ට්‍රොට්ස්කිගේ හිසට, හිම කඳු නැගීමේ දී භාවිතා කරන පොරවකින් පහර දීමෙන්, මොළයට සිදු වූ හානිය ඔහුගේ මරණයට හේතු වුණා​​. ඔහුගේ මරණය එකල NKVD නමින් හඳුන්වන ලද, පසුව KGB බවට පත් වූ සෝවියට් රහස් ඔත්තු සේවය​ විසින් සිදුකරන ලද බව පසු කලෙක​ හෙළි වූ අතර සෝවියට් දේශය 1989 දී ඒ බව පිළිගත්තා​.

ට්‍රොට්ස්කි ඝාතනය ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද්දක් බව බොහොම පැහැදිලියි​. මෙම සැලසුම කෙතරම් ප්‍රවේශමෙන් පිළියෙල කෙරුණේද යත්, එය ක්‍රියාවට නැගූ යාක්ස් මොනාර්ඩ් යනු කවරෙක් ද යන වග පවා හෙළි වූයේ බොහෝ කල් ගත වූ පසුව යි​.

ස්ටාලින් vs ට්‍රොට්ස්කි

සෝවියට් විප්ලවයට නායකත්වය දුන් පිරිස අතුරින් රතු හමුදාව නිර්මාණය කිරීම සහ රුසියාවේ සිවිල් යුද්ධයේ දී එය ජයග්‍රහණය කරා ගෙන යාමට වැඩියෙන්ම දායක වූ තැනැත්තා ලියොන් ට්‍රොට්ස්කි බව පැහැදිලියි. විප්ලවයෙන් පසු විදේශ කටයුතු පිළිබඳ කොමිසාර්වරයා වූ ඔහු 1918 මාර්තුවේ දී යුධ සහ නාවික කටයුතු පිළිබඳ කොමිසාර්වරයා ලෙස පත්ව රතු හමුදාව ප්‍රබල සටන්කාමී ඒකකයක් බවට පත්කොට​, එය ජයග්‍රහණය කරා මෙහෙයවූවා​.


කෙසේ නමුත් පසුකාලීනව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ ජෝසප් ස්ටාලින් සිය බලය තහවුරු කරගත්තා​. ස්ටාලින් සහ ට්‍රොට්ස්කි අතර පෞද්ගලික ආරවුල් මෙන්ම සෛද්ධාන්තික ආරවුලක් ද තිබුණා​. මින් කවරක් දෙදෙනාගේ ආරවුලට වඩා වැදගත් වුණා ද යන්න විවාදාත්මකයි. නමුත් බොහෝවිට වාමාංශික ව්‍යාපාරවල සිදුවන්නේ පුද්ගලික තරහ මරහ වසාගැනීමට සෛද්ධාන්තික කවර එළීම බවත් ප්‍රකට කරුණක්. 1924 ජනවාරියේ සිදු වූ ලෙනින්ගේ මරණින් පසු ස්ටාලින් කෙමෙන් පක්ෂයේ බලය තහවුරු කරගත්තේ ට්‍රොට්ස්කි සහ ඔහුගේ සහචරයින් පසෙකට තල්ලු කරමින්.

1928 දී සෝවියට් කසාක්ස්ථානයට පිටුවහල් කරන ලද ට්‍රොට්ස්කි 1929 දී සෝවියට් දේශයෙන් ම පිටමං කරනු ලැබුණා. ඔහු සිව් වසරක් තුර්කියේ ඉස්තාන්බුල් නගරාසන්නයේ බ්‍යුකාඩා දූපතේ ජීවත් වුණා​. 1933 දී ඔහුට ප්‍රංශයේ දේශපාලන රැකවරණ හිමි වුණ නමුත් 1935 දී ට්‍රොට්ස්කිට ප්‍රංශයෙන් පිට වීමට සිද්ධ වුණා. මීළඟ දෙවසර ඔහු ජීවත් වුණේ නෝර්වේ රාජ්‍යයේ යි. 1937 දී සෝවියට් දේශයෙන් එල්ල වූ පීඩනය මත නෝර්වේ රාජ්‍යයට ඔහුව පිටමං කිරීමට සිදු වුණා.

ට්‍රොට්ස්කි මීළඟට ළඟා වුණේ මෙක්සිකෝවට යි. එරට ජනාධිපතිවරයා විසින් ඔහුව සාදරයෙන් පිළිගනු ලැබුණා. චිත්‍ර ශිල්පිය‍ෙකු වූ දියේගෝ රිවේරාගේ නිවසේ ජීවත් වූ ඔහු පසුව දැඩි රැකවල් සහිත නිවෙසක පදිංචියට ගියා.

පිටුවහල් ව සිටිය දී ඔහු ස්ටාලින් සමග සටන දිගටම ගෙන ගියා. 1930 දී පළ වූ රුසියානු විප්ලවයේ ඉතිහාසය ග්‍රන්ථය එම විප්ලවය පිළිබඳ විශිෂ්ට විස්තරයක් ලෙස සැලකෙනවා. එයින් පසු ඔහු පොත පත සහ ලිපි මඟින් ස්ටාලින් විවේචනය කළා. 1938 දී තුන්වන ජාත්‍යන්තරයට එරෙහිව ඔහු හතරවන ජාත්‍යන්තරය පිහිටවූවා.


කොමියුනිස්ට් ව්‍යාපාරය පැත්තෙන් ගත් කළ හතරවන ජාත්‍යන්තරයට විශාල බලපෑමක් තිබුණේ නැතත් ට්‍රොට්ස්කිගේ විවේචන ස්ටාලින්ට දරුණු පහරක් වුණා. කෘතහස්ට්ත ලේඛකයකු හා න්‍යායාචාර්යවරයකු වූ ට්‍රොට්ස්කිගේ සෛද්ධාන්තික ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ශක්තියක් ස්ටාලින්ට වූයේ නැහැ. 1930 දශකයේ මැද කාලයේ සිට ස්ටාලින් තමන්ට එරෙහි වේයැ යි සිතූ සියල්ලන් මරා දැමීමට පටන් ගෙන තිබුණ අතර සැතපුම් දහස් ගණනක් ඈත ජීවත් වූ ට්‍රොට්ස්කි ද එම ලැයිස්තුවේ ඉහළින් ම සිටියා.

නම් තුනකින් යුතු ඝාතකයා

ට්‍රොට්ස්කිට මාරාන්තික පහර එල්ල කළ පුද්ගලයා ට්‍රොට්ස්කිගේ නිවසේ අය දැන සිටියේ ෆ්‍රෑන්ක් ජැක්සන් යන නමින්. කෙසේ වෙතත් තමා යාක්ස් මොනාර්ඩ් නම් ප්‍රංශ ජාතිකය‍ෙකු බව ඔහු අත්අඩංගුවට ගත් පසු ප්‍රකාශ කළා. තමා බලාපොරොත්තු කඩ වූ ට්‍රොට්ස්කිවාදියකු බව ඔහු ප්‍රකාශ කළ නමුත් ප්‍රශ්න කිරීමේ දී ඔහුට දැඩි ස්ටාලින්වාදී අදහස් තිබෙන බව පෙනෙන්නට තිබුණා. තව ද ඔහුගේ ප්‍රංශ භාෂා භාවිතය ව්‍යක්ත ලෙස පෙනී ගියද, ඒ තුළ යාන්තමින් සැඟවුණ ස්පාඤ්ඤ ඌරුවක් ගෑවී තිබුණා. මේ අනුව යාක්ස් මොනාර්ඩ් යනු සැබැවින් ම වෙනත් පුද්ගලයකු බවට සැකයක් නිර්මාණය වුණා.

යාක්ස් මොනාර්ඩ් සැබැවින්ම කවරෙක් ද යන්න සොයා ගන්නා ලද්දේ මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අල්ෆොන්සෝ ක්විරෝස් කුඅරොන් විසින්. ඒ ස්පාඤ්ඤ ජාතික පොලිස් ලේඛනාගාරය පරික්ෂා කිරීමේ දී. ඝාතකයා රමෝන් මර්කඩෝර් නම් ස්පාඤ්ඤ කොමියුනිස්ට්වාදියකු බව යි මේ අනුව හෙළි වූයේ.

ඝාතන සැලසුම

රමෝන් මර්කඩෝර් මෙහෙයුම සඳහා බඳවාගෙන තිබුණේ ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ දී ඔහුගේ මව හා අනියම් සබඳතාවක් ගොඩනගාගත් NKVD නියෝජිත ලියොනිඩ් එයිටින්ගන් විසින්. රමෝන්ගේ මව දැඩි මතධාරී කොමියුනිස්ට්වාදිණියක වුණා. එමෙන්ම ස්පාඤ්ඤ බස මෙක්සිකෝවේ ද ව්‍යවහාර භාෂාව වීම ද රමෝන් මර්කඩෝර් මේ සඳහා බඳවා ගැනීමට අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබුණා.

1938 දී රමෝන් මර්කඩෝර් පැරිසියේ දී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදිණියක වූ සිල්වියා අගෙලොෆ් සමග සබඳතාවක් ඇතිකරගත්තා. 1939 දී ඔහු ෆ්‍රෑන්ක් ජැක්සන් යන ආරූඪ නාමයකින් යුත් ගමන් බලපතක් රැගෙන ඇය සමග ඇමරිකාවට පැමිණි අතර පසුව මෙක්සිකෝවට ළඟා වුණා. සිල්වියා මාර්ගයෙන් ඔහු ට්‍රොට්ස්කි නිවසට ඇතුළු වීමට අවස්ථාව උදා කරගත්තා.

1940 මැයි මාසයේ දී මෙක්සිකානු පොලිස් නිල ඇඳුමින් සැරසුණ විසි දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් ට්‍රොට්ස්කිගේ නිවසේ මිදුලට කඩා වැදී ඔහුගේ නිදන කාමරය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. මෙම අවස්ථාවේ ඔහුත් ඔහුගේ බිරිඳත් ප්‍රාතිහාර්යයකින් මෙන් දිවි ගලවාගැනීමට සමත් වුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් පිළිබඳ සොයාගන්නා ලද නමුත් මර්කඩෝර් පිළිබඳ හෙළි වූයේ නැහැ.

මේ අනුව මර්කඩෝර් දිගටම ට්‍රොට්ස්කි නිවසට යන්නට එන්නට වූ අතර ට්‍රොට්ස්කි සමග ද මිත්‍රත්වයක් ගොඩ නගාගැනීමට සමත් වුණා.

අගෝස්තු 17 වන දා මර්කඩෝර් ට්‍රොට්ස්කි හමු වුණේ ඔහු ලියමින් සිටි ලිපියක් පිළිබඳ සාකච්ඡා කිරීමට යි. මර්කඩෝර් එදින ට්‍රොට්ස්කිගේ කන්තෝරු කාමරයේ විනාඩි 11ක් රැඳී සිටියා.

නැවත ට්‍රොට්ස්කි හමුවීමට මර්කඩෝර් පැමිණියේ අගෝස්තු 20 වන දා යි. එදින පැහැපත් දිනයක් වූ නමුත් මර්කඩෝර් පැමිණියේ වැහි කබායක් හැඳගෙන යි. ඒ පිළිබඳ ට්‍රොට්ස්කිගේ බිරිඳ නතාලියා සෙඩෝවා විමසූ විට මර්කඩෝර් කියා සිටියේ "කොයි වෙලේ වුව වැසි වැටීමට ඉඩ ඇති ය​" යනුවෙන්.

නමුත් සත්‍ය කාරණය වූයේ එම කබායේ ඇතුල් සාක්කුවක මර්කඩෝර් හිම කඳු නගින්නන් භාවිතා කරන කුඩා අත් පොරවක් හෙවත් අයිස් පොරවක් රඳවාගෙන සිටීම යි. මර්කඩෝර් ට්‍රොට්ස්කිගේ කන්තෝරු කාමරයට ගොස් සිය ලිපිය ඔහුට පෙන්වා සිටියා. ට්‍රොට්ස්කි එය කියවන විට ඔහුට නොපෙනෙන ලෙස අයිස් පොරව සියතට ගත් මර්කඩෝර් එයින් ට්‍රොට්ස්කිගේ හිසට පහර දුන්නා.


ට්‍රොට්ස්කිගේ වේදනාත්මක කෑ ගැසීම ඇසී කාමරයට කඩා වැදුණ ආරක්ෂකයින් මර්කඩෝර් මරා දැමීමට සූදානම් වෙද්දී ට්‍රොට්ස්කි එය වළක්වාලූවා. ඔහුව ප්‍රශ්න කළ යුතු යි යනුවෙන් ට්‍රොට්ස්කි ප්‍රකාශ කළා. ඒ අනුව මර්කඩෝර් රඳවා ගනු ලැබුණා.

රෝහල්ගත කළ ට්‍රොට්ස්කි පසුදින මරණයට පත් වුණා. මර්කඩෝර් වසර 20ක් බන්ධනාගාරයේ කල් ගත කළ අතර පසුව නිදහස ලබා කියුබාවට සංක්‍රමණය වුණා. ඔහු මිය ගියේ 1978 දී යි.

Thursday, August 20, 2020

බෙලරූස් උද්ඝෝෂකයන් භාවිතා කරන සුදු-රතු-සුදු ධජය

මේ දිනවල බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝට එරෙහිව දැවැන්ත විරෝධතා පවතිනවා. මේ විරෝධතාවල දර්ශන නරඹද්දි ජනතාව භාවිතා කරන සුදු-රතු-සුදු ධජයක් දකින්න ලැබෙනවා. මෙය දැනට භාවිතා වන බෙලරූස් ජාතික ධජය නොවෙයි. අපි බලමු මේ ධජය කුමක්ද කියලා.

Pic: Reuters


බෙලරූස් උද්ඝෝෂණවල පසුබිම දැනගන්න මේ ලිපිය කියවලාම ඉන්න: බෙලරූස් රටේ සිදුවන දේ

වර්තමාන බෙලරූස් රාජ්‍යය පිහිටි ප්‍රදේශය අතීතයේදී ලිතුවේනියා මහාධිපාද ප්‍රදේශයට සහ පෝලන්ත - ලිතුවේනියා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් වුණා. පෝලන්ත - ලිතුවේනියා පොදුරාජ්‍ය මණ්ඩල ධජය ද සුදු සහ රතු වර්ණයෙන් යුතු වුණා. බෙලරූස් සුදු-රතු-සුදු ධජය එය අනුසාරයෙන් නිර්මාණය වූයේ යයි විශ්වාස කෙරෙනවා.

බෙලරූස් රාජ්‍යයේ මෙම ධජය මුලින්ම භාවිතා වුණේ 1918 දි. එකල එම ප්‍රදේශයේ පිහිටුවපු බෙලරූස් මහජන සමූහාණ්ඩුව නම් රජය විසින් එය භාවිතා කළා. මෙම ප්‍රදේශය එකළ ජර්මන් පාලනය යටතේ තිබුණත් මෙම රජය පිහිටුවාගැනීමේ අපේක්ෂාව වුණේ බෙලරූස් රාජ්‍යයක් නිර්මාණය කරගැනීමයි. කෙසේ වෙතත් බෝල්ෂවික් බලය වර්ධනය වීම හමුවේ එම ප්‍රදේශ රතු හමුදා යටතට පත්වීමෙන් මෙම උත්සාහය ව්‍යර්ථ වුණා.

පළමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය අතර කාලසීමාවේ නැගෙනහිර පෝලන්තයේ ක්‍රියාත්මක වෙච්ච බෙලරූස් සංවිධාන මෙම ධජය භාවිතා කළා. මේ අතර බෙලරූස් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තමන්ගෙ ධජය විදියට විවිධ ධජ භාවිතා කළා. ඒවා සෝවියට් ධජය මත පදනම්ව නිර්මාණය වූ ධජයන් වුණා.

1939 දි සෝවියට් හමුවා විසින් නැගෙනහිර පෝලන්තය අල්ලාගැනීමත් සමග මෙම ධජය එහි භාවිතය නැවතුණා. එහෙත් 1941 දි ජර්මනිය විසින් බෙලරූස් ප්‍රදේශය අල්ලාගත් පසු යළි මෙම ධජයට ඉඩ ලැබුණා. ඒ වගේම ජර්මන් හමුදාවට හා වෆන් SS බලකායට සම්බන්ධ වූ බෙලරූස් පිරිස් මෙම ධජය සහිත අත් පටියක් පැළඳ සිටියා.

1944 දි බෙලරූස් ප්‍රදේශය සෝවියට් සේනාංක විසින් අල්ලාගත් පසු නැවත මේ ධජය තහනම් වුණා. ඉන්පසු එය භාවිතා කළේ පිටුවහල් වී සිටි බෙලරූස් ජාතිකවාදීන් විසින් පමණයි. මේ අතර, 1951 දී බෙලරූස් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව සඳහා නව ධජයක් හඳුන්වා දෙනු ලැබුණා.

1991 දී සෝවියට් දේශය බිඳ වැටෙන සමයේ නැවත මෙම ධජය භාවිතයට පැමිණියා. ඒ අනුව 1991 සිට 1995 දක්වා එම ධජය බෙලරූස් හි ජාතික ධජය ලෙස භාවිතා කෙරුණා.

අලෙක්සන්දර් ලුකාශෙන්කෝ 1994 දී බලයට පැමිණි පසු ඔහු විසින් 1951 දී සම්මත වූ සෝවියට් බෙලරූස් ධජය අනුසාරයෙන් නිර්මාණය වූ ධජයක් හඳුන්වා දුන්නා. එය 1995 දී භාවිතයට පැමිණියා.

Pic: AP


මේ හේතුවෙන්, ලුකාශෙන්කෝ විරෝධීන් සිය උද්ඝෝෂණවලදී භාවිතා කරන්නේ බෙලරූස් සුදු-රතු-සුදු ධජයයි.

ඇතැම් අවස්ථාවල මෙම ධජයෙහි මැද, රතු පළිහක සුදු පැහැයෙන් අඳින ලද අසරුවකුගේ සංකේතයක් ද දැක්වෙනවා. එය ද 1918 බෙලරූස් රාජ්‍යයේ රාජ්‍ය ලාංඡනය වූ සලකුණයි. එය පැරණි ලිතුවේනියා මහාධිපාද ප්‍රදේශයේ රාජ්‍ය ලාංඡනය ද වුණා.

Tuesday, August 18, 2020

මාලි ජනපති, අගමැති අත් අඩංගුවට ගත් බව හමුදා කුමන්ත්‍රණකරුවෝ කියති

 මාලි රාජ්‍යයේ ජනාධිපති ඊබ්‍රහීම් බුබාකර් කීටා සහ අගමැති සුමේලු බුබේයේ මයිගා අත් අඩංගුවට ගත් බව එරට හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවන කණ්ඩායම පවසනවා.


මෙම හමුදා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පෙනී සිටින්නේ කර්නල් ඩියාවු නමැත්තෙක්.

මෙම කුමන්ත්‍රණය අද දියත් වූයේ බමාකෝ අගනුවර ආසන්නයේ කාටි හමුදා කඳවුරේ සිටයි. කැරලිකාර හමුදා කණ්ඩායම් ඉතා ඉක්මණින් ම බමාකෝ නගරයේදී රජයේ ඇමතිවරුන් පිරිසක් අල්ලාගත් බව වාර්තා පළ වුණා.

කර්නල් ඩියාවු


මේ අතර, ජනාධිපති හා අගමැති අත් අඩංගුවට ගත් පුවත සැළ වී බමාකෝ අගනුවර ඇතැම් පිරිස් ප්‍රීතිඝෝෂා කරන අයුරු දැක්වෙන වීඩියෝපට ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.


මාලි රාජ්‍යයේ ජූනි මාසයේ මුල පටන් රජයට එරෙහි උද්ඝෝෂණ පැවතියා. විරුද්ධ පක්ෂ එකමුතුවක් වන "ජූනි 5 ව්‍යාපාරය" රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිටියා. මාලි රාජ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය කිහිප වරක්ම කල් දමනු ලැබ තිබෙනවා.

බෙලරූස් රටේ සිදුවන දේ

 බෙලරූස් රාජ්‍යයේ පසුගිය සමයේ සිදුවූ සිදුවීම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ලියන්න කල්පනා කළා. තවම මෙම සිද්ධීන් අවසානයක් කරා ඇවිත් නැතත් මෙතෙක් කාරණා ගැන විස්තර කරන්න මෙය අවස්ථාව කරගන්නම්.


බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති වන්නේ අලෙක්සන්දර් ලුකාශෙන්කෝ යි. ඔහු 1994 දි බලයට පත් වූ අතර ඒකාධිපති අයුරින් එරට පාලනය කරනවා. නාමමාත්‍රව විපක්ෂ දේශපාලන පක්ෂ රටේ ක්‍රියාත්මක වුණත් ඒවා දැඩි මර්ධනකාරී පසුබිමක තමයි ක්‍රියාත්මක වුණේ.

මේ වසරේ බෙලරූස් ජනාධිපතිවරණය අගෝස්තු 9 වෙනිදාට යෙදී තිබුණා. මෙයට අපේක්ෂකයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වුණා. මේ අතර කලක් උසස් තනතුරු දැරූ දෙදෙනෙකුත් ඉදිරිපත් වන බව වාර්තා වුණා. කලක් තිස්සේ රුසියාවේ ගෑස්ප්‍රොම් ආයතනයට අයත් සමාගමක් වන බෙල්ගෑස්ප්‍රොම්බෑන්ක් හි ප්‍රධානියා වූ වික්තර් බබාරිකෝ සහ හිටපු තානාපති නිලධාරී සහ බෙලරූස් තාක්ෂණික උද්‍යානයේ සමාරම්භකයා වන වැලේරි ත්සෙපක්ලෝ මේ දෙදෙනායි.

බබාරිකෝව මූල්‍ය අක්‍රමිකතා චෝදනා මත අත් අඩංගුවට ගත් අතර ත්සෙපක්ලෝ රුසියාවට පළා ගියා.

මේ අවස්ථාවේදී, බන්ධනාගාරගත කර සිටින දේශපාලන ක්‍රියාකාරිකයකු වන සර්ගේයි තිහනොව්ස්කි ජනාධිපති සටනට ඉදිරිපත් වීමට උත්සාහ කළ ද එම අවස්ථාව ප්‍රතික්ෂේප කෙරුණා. එයින් පසුවයි ඔහුගේ බිරිඳ ස්වෙත්ලානා තිහනොව්ස්කායා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණේ.

ලුකාශෙන්කෝ බලාපොරොත්තු නොවූ විදියට ඇය වටේ පිරිස් එකතු වෙන්න ගත්තා. වසර ගණනාවකට පසු ජනාධිපතිවරණයකදි ලුකාශෙන්කෝට සැබෑ අභියෝගයක් එල්ල වුණේ මේ වතාවේයි.


කෙසේ වෙතත් අගෝස්තු 9 වනදා පවත්වපු ජනාධිපතිවරණය අවසානයේ මූලික ප්‍රතිඵල අනුමානයන්ට අනුව ලුකාශෙන්කෝ සියයට 80ක් ඡන්ද ලබාගෙන බවත් තිහනොව්ස්කායා සියයට දහයක පමණ ඡන්ද ලබාගෙන ඇති බවත් නිවේදනය කෙරුණා. විපක්ෂය මේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළා. එදින රාත්‍රියේ පටන් ජනතාව රජයට එරෙහිව විරෝධතා දක්වන්න පටන් ගත්තා.

දිනෙන් දින විරෝධතා වර්ධනය වුණා. තිහනොව්ස්කායා අසල්වැසි ලිතුවේනුයාවට පළා ගියේ සිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව පවසමින්. කෙසේ වෙතත් උද්ඝෝෂණ පාලනය කරන්න රජයට නොහැකි වුණා.

අගෝස්තු 14 වනදා බෙලරූස් අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් තමන් බෙලරූස් ජනාධිපතිවරණ ප්‍රතිඵල් පිළිනොගන්නා බව කියා සිටියා. එමෙන්ම මැතිවරණ දූෂණවලට හා උද්ඝෝෂණ මර්ධනයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පනවන්නට පියවර ගන්නා බව ද යුරෝපා සංගමය කියා සිටියා.

අගෝස්තු 16 ඉරිදා ලුකාශෙන්කෝ සිය ආධාරකරුවන් රැස් කරගෙන මින්ස්ක් අගනුවර රැළියක් පැවැත්වූවා. නැවත මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැති බවත්, විදේශයන්ගේ අවශ්‍යතා මත එවැනි පියවරක් ගැනීම රටේ අස්ථාවරත්වයට හේතු වන බවත් ඔහු පවසුවා. මේ අතර බෙලරූස් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ රටේ බටහිරදිග දේශසීමාවේ, පෝලන්ත හා ලිතුවේනියා මායිම් ආසන්නයේ අගෝස්තු 17 වනදා සිට යුධ අභ්‍යාස සිදු කරන බවයි.

කෙසේ වෙතත් අගෝස්තු 16 ඉරිදා මින්ස්ක් නගරයේ දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊට මිලියනයක පමණ පිරිසක් එක් වූයේ යයි ඇතැමුන් අනුමාන කළා.

අගෝස්තු 17 වනදා රට පුරා වැඩවර්ජනයක් සංවිධානය කර තිබුණා. රටේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා පවා ඊට එක් වුණා. මින්ස්ක් නගරයේ කර්මාන්තශාලාවකට ලුකාශෙන්කෝ ළඟා වුණේ එහි සිට කතාවක් පැවැත්වීමටයි. එහි රාජ්‍ය පාක්ෂික කම්කරුවන් සිටින බව විශ්වාස කෙරුණා. එහෙත් ලුකාශෙන්කෝ එහි සිටින බව ආරංචි වූ පසු විශාල පිරිස් කම්හල වැටලුවා. ලුකාශෙන්කෝ කතාව පවත්වද්දී ද ඔහුට විරෝධතා එල්ල වුණා.

ඉන්පසු අවස්ථාවක කම්කරුවකු හා ලුකාශෙන්කෝ අතර බහින්බස් වීමක් ද වීඩියෝවක සටහන්ව තිබුණා. එහි මේ ආකාරයේ හුවමාරුවක් සිදුවුණා.

ලුකාශෙන්කෝ: මම නුඹලට පහර දෙන්නේ නැහැ.

කම්කරුවා: ඔයා නම් කියයි

ලුකාශෙන්කෝ: නෑ. එහෙම කළාට මට වාසියක් නෑ. හැබැයි උඹලා කවුරුහරි මෙතන අනවශ්‍ය දෙයක් කරන්න හැදුවොත් අපි ඒක දරුණු විදියට මර්ධනය කරනව. පිරිමියෙක් වෙයන්. මෙතන උඹලා කණ්ඩායමක්. මම තනියම. (කම්කරුවා සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීමට පටන් ගන්නවා දැක) දාපන් ඔය ෆෝන් එක අහකට!


මේ අතර උද්ඝෝෂකයන් බෙලරූස් රාජ්‍ය රූපවාහිනී ආයතනය වටලෑවේ තම විරෝධතාව සඳහා සාධාරණ ගුවන් කාලයක් ලබාදෙන ලෙස බල කරමින්. ඉරිදා දිනයේ තිබුණු දැවැන්ත උද්ඝෝෂණ පිළිබඳ ඔවුන් වාර්තා කළේ නැහැ. උද්ඝෝෂකයන් ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළකර සිටියා.

අගෝස්තු 17 වනදා දිනය පුරාම මින්ස්ක් නගරයේ උද්ඝෝෂණ සිදුවුණා. තමන් නව ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයක් පැවැත්වීමට එකඟ බව ලුකාශෙන්කෝ කියා සිටියේ ඒ අතරතුරයි. එහෙත් ඊට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බව ඔහු පැවසුවා. ඔහු ඒ සඳහා කාල රාමුවක් ද ප්‍රකාශ කළේ නැහැ.


Monday, August 17, 2020

ලිබරල් රටවල ඉඳන් ඒකාධිපති ක්‍රම ප්‍රවර්ධනය කිරීම ගැන

පිටරට ඉන්න අය ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විඳිමින් ලංකාවේ එම අයිතීන් කප්පාදු කරන අදහස් උදහස්වලට උපකාර කරනවය කියන කාරණාව අලුත් දෙයක් නෙවේ. ඒ වගේම ඒක ලංකාවට සීමා වෙච්ච දෙයකුත් නෙවෙයි. ඒක ලංකාවට විතරක් ලඝු කරන්න උත්සාහ කරනව නම් ඒක එක්කො නොදන්නකම, එක්කො කුපාඩිකම.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුළුල් වෙද්දි වැඩියෙන්ම සංවිධානය වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කණ්ඩායම් කියන කාරණේ මෑතකදි මම දේශනයක් අතරතුර අහපු දෙයක්. හොඳට හිතල බැලුවොත් ඒක සම්පූර්ණ ඇත්ත. ඉතිහාසයේ ඒ වගේ අවස්ථා ඕන තරම් තියෙනව.

බටහිර රටවල පහුගිය අවුරුදු පනහක වගේ කාලෙ තුළ ආගමික අන්තවාදී සංවිධාන, වාමාංශික අන්තවාදී සංවිධාන සහ මෑත කාලෙදි ජාතිකවාදී සංවිධාන සිය කටයුතු කරගත්තෙ ඔය අවකාශය තුළ තමයි. මෑත කාලෙ ගැන හිතුවොත්, සමාජ මාධ්‍ය ආවට පස්සෙ ඒ ඔස්සේ වැඩියෙන්ම සංවිධානය වුණේ අන්තවාදී කණ්ඩායම්. ඒවට උදාහරණ කිහිපයක්ම තියෙනව. එතනදි හේතුව, ප්‍රධාන ධාරාවේ නැති අවකාශයක් වෙනත් මාධ්‍ය ඔස්සේ ඒ අයට ලැබීම. ප්‍රධාන ධාරාවෙ අයට ඒ වගේ අලුත් අවකාශයන් සාපේක්ෂව වැදගත් වුණේ අඩුවෙන්.


ලංකාව වගේ රටවල බොහෝ දෙනා පිටරට යන්නෙ ඒ රටවල සමාජ ක්‍රමයට හැඩගැහෙන්න අවශ්‍ය exposure එක අරගෙන නෙවේ. ඉතින් එහෙ ගියාම ඒ අයට insecure ගතියක් දැනෙනව. එහෙ ගිහිනුත් ඒ අය හොයන්නෙ මෙහෙ ජීවන ක්‍රමය. අර ජීවිතේට අනුගත වෙන්න බැරුව ගියාම, එහෙ සමාජය තුළ පිළිගැනීමක් නැති වුණාම, මේ අයට අනන්‍යතා අර්බුදයක් එනව. ඉතින් එයාලා ආයෙ එයාලගෙ මූලයන් හොයන්න ගන්නව. මේක පොදුවෙ හැමෝටම ඇත්ත නෙවේ. ඒත් බහුතරයකට ඇත්ත. ඒ වගේම ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවේ. බටහිර රටවලට යන තුන්වෙනි ලෝක රටවල් හැම එකකම පාහේ අයට ඔය ප්‍රශ්නෙ තියෙනව. ඔය වගේම හේතුවක් නිසා තමා යටත් විජිත යුගයෙ බටහිර රටවල අධ්‍යාපනය ලබන්න ගිය ස්වදේශීය ධනපති පවුල්වල අය වමේ ව්‍යාපාරවල හෝ ජාතිකවාදී ව්‍යාපාරවල නතර වුණේ. ඒකත් ලෝකෙ ගොඩක් යටත් විජිතවල වෙච්ච දෙයක්. එක උදාහරණයක් කීවොත් කාම්බෝජෙ වනසපු කෙමර් රූජ් එකේ ප්‍රධානීන් කීප දෙනෙක්ම ඉගෙනගත්තෙ ප්‍රංශෙ.

ඉතින් මේක අද ඊයෙ වෙච්ච දෙයක් නෙවේ. ලංකාවට සීමා වෙච්ච දේකුත් නෙවේ. ඔය කියන දේ, ඒ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් ඒකට එරෙහිවම යොදවන එක, බටහිර රටවල මිනිස්සුත්, ඒ රටවල ජීවත් වෙමින් ම කරනවා. අතීතයේදිත් කළා. හිට්ලර්ලා මුසෝලිනීලා කළෙත් ඒකමයි.

ඒ නිසා, එහෙ ගිහින් අපේ අය කියන කරන දේ ගැන බනින අය ඒක කරන්නෙ එක්කො නොදන්නකමට. එක්කො කුපාඩිකමට. අහන අය අහන්නෙ ඇයි කියලා නම් මම දන්නෙ නෑ. කොහොම වෙතත් මට නම් ඕක මැජික් එකක් නෙවේ. ෆේස්බුක් එකේ කෑගහල නවත්වන්න පුළුවන් දේකුත් නෙවේ. මේකත් ලීවෙ කැමති කෙනෙකුට මෙහෙම දේකුත් තියෙනව කියල මතක් කරල දෙන්න විතරයි.

Saturday, August 15, 2020

පරණ KGB මූලස්ථානයේ ඇති හිට්ලර්ගේ දත් ඉන්ස්ටග්‍රෑමයේ පළ කරයි

රුසියාවේ FSB ය සතුව ඇති ඇඩොල්ෆ් හිට්ලර්ගේ හා ඔහුගේ බිරිඳ ඊවා බ්‍රෝන්ගේ බව පැවසෙන දත් කොටස්වල ඡායාරූප කිහිපයක් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ්ගේ දියණිය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළකර තිබෙනවා.

ඉතිහාසය පිළිබඳ උද්‍යෝගයක් දක්වන්නෙකු වන පියේර් මැලිනොව්ස්කි නම් ඇගේ මිත්‍රයකු මෙම කොටස් නැරඹීමට අවසර ඉල්ලා ඇති අතර FSB ය එම අවසරය දී තිබෙනවා. ඒ අනුවයි ඔවුන් මෙම දන්ත කොටස් දැකබලාගෙන ඇත්තේ.


ලීසා පෙස්කෝවා පවසන්නේ හිට්ලර් 1945 දී මිය නොගිය බව විශ්වාස කරන්නන්ට වරදක් සිදුව ඇති බවයි.

1945 අප්‍රේල් 30 වනදා හිට්ලර් සහ ඊවා බ්‍රෝන් දිවි නසාගත් බව පැවසෙන අතර ඔවුන්ගේ සිරුරු ඔවුන් ජීවත්ව සිටි බංකරයෙන් පිටතට ගෙන ගිනි තබා තිබුණා. සෝවියට් හමුදා විසින් එම සිරුරු කොටස් සොයාගෙන ඔවුන්ගේ දන්ත කොටස් සිය භාරයට ගත්තා.

2018 දී ප්‍රංශ මානව විද්‍යාඥයකු විසින් කළ පරීක්ෂණවලින් මේ හිට්ලර්ගේ හා බ්‍රෝන්ගේ දත් කොටස් බව සනාථ වී තිබුණා.

FSBය පිහිටා ඇත්තේ සෝවියට් සමයේ KGB මූලස්ථානයේයි.

ලින්ක් එක:

https://www.instagram.com/p/CD4E82fiU4y/?igshid=102aa51gfw5s2

කමලා හැරිස්ගේ ශ්‍රී ලාංකික - ඇමරිකන් මාණ්ඩලික ප්‍රධානියා

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා වන්නේ ශ්‍රී ලාංකීය දමිළ යුවළකගේ දියණියක වන රෝහිනී කොසොග්ලු යි.

රෝහිනීගේ පියා වෛද්‍ය විජයවේන්ද්‍රන් රවීන්ද්‍රන් නම් වන අතර මව ශෝබනා රවීන්ද්‍රන් නම් වනවා. ඔවුන් යාපනයේ වැසියන් වූ අතර 1980 දශකයේදී ඇමරිකාවට සංක්‍රමණය වී තිබෙනවා.

හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට සම්බන්ධ කෙනඩි පාසැලේ දේශපාලන විද්‍යා විද්‍යාර්ථියකු වන රෝහිනී කොසොග්ලු මිචිගන් සරසවියෙන් සහ ජෝර්ජ් වොෂිංටන් සරසවියෙන් අධ්‍යාපනය ලැබූවෙක්. ඇය මුලින් මිචිගන් සෙනට් සභික ඩෙබී ස්ටැබ්නෝ යටතේ සේවය කර ඇති අතර පසුව කොලරාඩෝ සෙනට් සභික මයිකල් බෙනට්ගේ සෞඛ්‍ය සේවා උපදේශක ලෙස කටයුතු කළා. කමලා හැරිස් සෙනට් සභාවට තේරීපත් වූ පසු ඇගේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි රෝහිනී කොසොග්ලු සේවයට එක් වී තිබෙන්නේ.


ඩිමොක්‍රටික් උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් පත්වීම ඓතිහාසික අවස්ථාවක් බවයි කොසොග්ලු සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණේ.

කමලා හැරිස් ද එක් අතකින් ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක වන අතර අනෙක් අතින් කළු ජාතික සම්භවයක් ඇති කාන්තාවක්. එහෙයින් ඇමරිකාවේ ප්‍රධාන පක්ෂයක උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඇය පත්වීම ඓතිහාසිකයි.

ඇගේ පත්වීම තුළින් ජෝ බයිඩන්ට කළු ජාතික හා ඇමරිකන් ඉන්දියානු ඡන්ද ලැබීනේ වැඩි ඉඩක් ඇතැයි ඇතැම් විට අසන්නට ලැබෙන මතයක්. එහෙත් ඔවුන්ගේ ඡන්ද කොහොමටත් වැඩිපුර ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට බව 2016 දී ද පෙනීගිය කරුණක්. කමලා හැරිස්ව සිය උප ජනාධිපති අපේක්ෂක ලෙස බයිඩන් විසින් ආත් කරගත්තේ ඇය ඍජුබව හා දැඩි බව පිළිබඳ ප්‍රකට අයකු වීම හේතුවෙන් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

Friday, August 14, 2020

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති සබඳතා ස්ථාපිත කරයි

 ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ එකඟතාවක් ඇතිවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අගෝස්තු 13 වනදා නිවේදනය කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම එකඟතාවට එළඹුණේ බටහිර ඉවුරේ ජෝර්දාන් නිම්නය සහ යුදෙව් ජනාවාස ප්‍රදේශ ඈඳා ගැනීමට වන සැලසුම් අත් හිටුවීම සඳහා ඊශ්‍රායලය කැමැත්ත පළ කිරීම සමග බව ට්‍රම්ප් කියා සිටිනවා.


රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ මේ එකඟතාව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි කිරුළ හිමි ශෙයික් මොහොමඩ් බින් සයෙද් අල් නහ්යාන් කුමරු හා තමා අතර ඇති කරගනු ලැබුණ බවයි ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ.

මේ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රායලය සමග තානාපති සබඳතා ස්ථාපිත කරන තුන්වන අරාබි රාජ්‍යය වනු ඇති. මීට පෙර 1979 දී ඊජිප්තුව ද 1994 දී ජෝර්දානය ද එම පියවර ගත්තා.

ස්ථිර තානාපති කාර්යාල විවෘත කිරීම පිළිබඳ මෙන්ම ආයෝජන, සංචාරක කර්මාන්තය, ගුවන් ගමන්, ආරක්ෂාව යනාදී ක්ෂේත්‍රවල එකඟතා ගිවිසුම් පිළිබඳ ද සාකච්ඡා කිරීමට මෙම රටවල් දෙකේ නියෝජිතයින් නුදුරේදීම හමුවනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියා.

එමෙන්ම තවත් මුස්ලිම් රාජ්‍යයන් ද ඊශ්‍රායලය සමග තානාපති සබඳතා ස්ථාපිත කරගැනීමේ ඉඩක් ඇති බවට ද ට්‍රම්ප් ඉඟි පළකළා. මුස්ලිම් රාජ්‍යයන් සමග සබඳතා වර්ධනය කරගැනීම කෙරෙහි තමන්ද වැඩි අවධානයක් යොමු කරන්නේ යයි ඊශ්‍රායලය ද ප්‍රකාශ කර තිබෙනවා.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ද මීට පෙර ඊශ්‍රායලය සමග සාකච්ඡා කිරීමට තමන්ගේ ඇති උනන්දුව අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ගත් මෙම පියවර පලස්තීනුවන්ගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී තිබෙනවා.

ඊශ්‍රායලය සමග අරාබි රටවල් ඇතිකරගනු ලබන මෙම එකඟතාවන් පලස්තීනයට මෙන්ම කලාපීය වශයෙන් ඉරානයට ද හානිකර වනවා.

Thursday, August 13, 2020

කමලා හැරිස් උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස තෝරාගැනීම​ අනුවණකමකි

ජෝ බයිඩන්ගේ උප ජනාධිපති තරග සගයා ලෙස කමලා හැරිස් පත් කිරීමත් සමග ඇය ගැන විවිධ දේවල් කියවෙනවා දුටුවා. නමුත් සරලව කියන්න තියෙන්නෙ බයිඩන් ඓතිහාසික අනුවණකමක් කර ඇති බවයි.

කමලා කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිවේදී ලෙස ද, කැලිෆෝර්නියා ප්‍රාන්ත නීතිපති ලෙස ද කටයුතු කරන සමයන් හි ඇතැම් චුදිතයින් පිළිබඳ සාක්ෂි සඟවා ඔවුන් සිරගත කිරීමෙන් තම රැකියාවේ කාර්යය සාධනය ඉහළ බව පෙන්වන්න යත්න දැරූවෙක්. පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සාකච්ඡා වන මෙවන් සමයක එවන් අපේක්ෂිකාවක තෝරාගැනීම අමුතු වාසියක් ගෙනෙන්නේ නැහැ.


එමෙන්ම මෙවර ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති නාම යෝජනා සටනේදී ඇයගේ හැසිරීම අන්තිම නරක බව එහි විවාද නැරඹූ අය දන්නවා. සංස්කරණය කරන ලදුව පළ කරන ලද ඡායාරූපවල දිස්වන සුන්දරත්වය නම් එහිදී පෙනුණේ නැහැ. ඇය බොහෝවිට ඉතා පුද්ගලික මට්ටමෙන් තමාගේ පක්ෂයේම අනෙක් තරගකරුවන් පහත් කර කතා කළා.

බයිඩන් පිළිබඳ පවා ඇය බොහොම දරුණු ප්‍රකාශ සිදුකර තිබෙනවා. බයිඩන් විසින් තමන්ට අයුතු ලිංගික බලපෑම් කළේ යයි ඇතැම් කාන්තාවන් චෝදනා කරන විට හැරිස් ඔවුන් විශ්වාස කරන බව පවසා තිබුණා. සුදු සහ කළු ජාතිකයන් වෙන්කර තැබීම පිළිබඳ ඔහුගේ යම් අතීත ස්ථාවරයන් මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටි ඇතැමුන් සමග ඔහුගේ වූ සබඳතාවන් ඇගේ දැඩි ප්‍රහාරයට ලක් වුණා. එවන් අයෙක් සිය සටන් සගයා ලෙස තෝරාගැනීම ම ගැටළුවක් වනවා.

තෝරාගන්න තිබුණ අය ගැන මෙතනින් කියවන්න: ඩිමොක්‍රටික් 2020 උප ජනාධිපති අපේක්ෂිකාව කවුරුන් වේද?

තවමත් ජාතික මට්ටමේ මත විමසුම්වලදී මෙන්ම තියුණු සටනක් ඇති ප්‍රාන්ත වැඩි ප්‍රමාණයක ද ඉදිරියෙන් සිටින්නේ බයිඩන් බව සත්‍යයක්. එහෙත් ජනාධිපතිවරණයට තව මාස දෙකහමාරක් තිබෙනවා. මෙහිදී ඕනෑම දෙයක් විය හැකියි.

කමලා හැරිස්ගේ තෝරාගැනීම බයිඩන්ට වාසිදායක වන ක්‍රම කිහිපයක් තිබෙනවා. එකක් නම් කළු ජාතික ඡන්ද ඔහු වෙත ලැබීමට ඇති ඉඩයි. එහෙත් කොහොමත් කළු ජාතික ඡන්ද වැඩිපුර මෙවර ලැබෙන්නේ ඩිමොක්‍රටික් කඳවුරට බව අනුමාන කළ හැකියි. එම නිසා එහි විශාල වෙනසක් වේ යයි සිතීමට අපහසුයි.

ඊට වඩා වැදගත් කරුණක් නම් තමන් ඩිමොක්‍රටික් පක්ෂයේ වාමවාදී කඳවුරට යටත් නොවන්නකු බව බයිඩන් විසින් පෙන්වා දීමයි.

බයිඩන්ගේ වයස සහ ඔහු ඩිමෙන්‍ෂියාවෙන් පෙළෙන්නේ යයි වන සැකය හේතුවෙන් ඔහු සිය ධුර කාලය නිම නොකරනු ඇතැයි වන සැකය බොහෝ දෙනාට තිබෙනවා. මෑතකදී Rasmussen Reports විසින් කළ සමීක්ෂණයක දී සියයට 59 දෙනෙකු එම අදහස දක්වා තිබුණා. එවන් අවස්ථාවක කමලා හැරිස් වැනි කළු ජාතික කාන්තාවක ජනාධිපති වනු දැකීමට ඇමරිකානුවන් සූදානම් වෙයිද යන්න ද මෙම ජනාධිපතිවරණයේදී යම් වැදගත්කමක් ගන්නා ප්‍රශ්නයක් වනු ඇති.

Tuesday, August 11, 2020

රුසියාව අනුමත කළ කෝවිඩ්-19 එන්නත පුටින්ගේ දියණියක් ද ලබාගෙන​

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කෝවිඩ්-19 වයිරසයට එරෙහි එන්නතක් අනුමත කළ බව ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

ඔහු කියා සිටියේ තමාගේම දියණියක් ද එම එන්නත ලබාගත් බවයි. ඇයට එන්නත ලබාගත් පසු ශරීරයේ සුළු උෂ්ණත්ව ඉහළ යාමේ තත්ත්වයක් දැනුණ ද ඉන්පසු එය යථා තත්ත්වයට පත්වූ බවත් පුටින් කියා සිටියා.


රුසියාවේ ගමලෙයා වසංගත රෝග හා ක්ෂුද්‍ර ජීව විද්‍යා ආයතනය විසින් නිපදවන ලද මෙම එන්නත බුර්දෙන්කෝ හමුදා ශික්ෂණ රෝහලේදී හා සෙචෙනෝෆ් පළමු මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයේදී මානව පරීක්ෂණයන්ට භාජනය කෙරුණා. ජූනි 18 වනදා 38 දෙනකුගෙන් පරීක්ෂණ ඇරඹි අතර එම සියල්ලන්ටම කෝවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ගොඩනැගුණ බවයි රියානු රජය පැවසුවේ.

රුසියාවේ නියෝජ්‍ය අගමැතිණී තත්යානා ගලිකෝවා පවසන්නේ මෙම එන්නත සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බවයි. මහජනයා සඳහා එළඹෙන ජනවාරියේ සිට ලබාදිය හැකි බවත්, කැමති අයට එය ස්වේච්ඡා පදනමින් ලබාගත හැකි බවත් ඇය කියා සිටියා.

Friday, August 7, 2020

තමන් ඝාතනය කිරීමට කළ උත්සාහයන් පිළිබඳ පුටින් කතා කරයි

ව්ලදිමීර් පුටින් සමග ඔලිවර් ස්ටෝන් කළ සාකච්ඡා මාලාවක් "Putin Interviews" නමින් මීට කලකට පෙර එළි දැක්වුණා. මෙහි එක් අවස්ථවක පුටින් තමන්ව ඝාතනය කිරීම සඳහා ගන්නා ලද උත්සාහයන් පිළිබඳව සඳහන් කරනවා.


ඔලිවර්: 2012 දී ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සියය්ට 63 ක් ඡන්ද ලබාගත්තා.

පුටින්: ඔබ හරි

ඔලිවර්: තුන් වරක් ජනාධිපති ධුරයට පත් වනවා. මට දැනගන්න ලැබෙන විදියට ඝාතන උත්සාහයන් පහක්. කැස්ත්‍රෝට එරෙහිව තරම් ම නම් නැහැ. මම ඔහු සමග සාකච්ඡා කර තිබෙනවා. මම හිතන්නෙ ඔහුව ඝාතනය කරන්න අවස්ථාවල් පනහක්වත් උත්සාහ කළා. ඔබට එරෙහිව පහක් කියලයි මම දන්නෙ.

පුටින්: මම ඒ ගැන කැස්ත්‍රෝ සමගත් කතාබහ කර තිබෙනවා. ඔහු මගෙන් ඇහුවා "ඔබ දන්නවාද කොහොමද මම තවමත් ජීවතුන් අතර ඉන්නේ?" කියලා. මම ඇහුවා "කොහොමද​?" කියලා. "මගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු සොය බැළුවේ මම මයි" ඔහු කිව්වා. ඒත් මම මගේ රාජකාරිය කරනවා. ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය කරනවා. ඔවුන් තවමත් හොඳින් කටයුතු කරගෙන යනවා.

ඔලිවර්: ඔබ ඔවුන් විශ්වස කරනාවාද​?

පුටින්: ඔව්. මම විශ්වාස කරනවා.

ඔලිවර්: ඝාතකයකු මුලින්ම කරන්න උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක​ අංශය තුළට රිංගා ගැනීමයි.

පුටින්: මම එය දන්නවා. ඔබ දන්නවාද රුසියානුවන් අතර තියෙන කියමනක්? ඔවුන් කියනවා, "එල්ලී මැරෙන්න නියමිත තැනැත්තා දියේ ගිලී මැරෙන්නේ නැහැ" කියලා.

ඔලිවර්: ඔබට උරුම කුමක් ද​? ඔබ දන්නවාද​?

පුටින්: ඔබේත් මගේත් ඉරණම දන්නේ දෙවියන් පමණයි.

ඔලිවර්: සමහර විට නිදි ඇඳේම මිය යන්න වෙන්න පුළුවන්.

පුටින්: අපි කවුරුත් කවදා හෝ මැරෙනවා. වඩා වැදගත් වෙන්නේ අප සපුරා ඇති දේ මොනවාද යන්නයි. මේ නවාතැනේ අපි ජීවිතේ විඳ ඇති ද යන්නයි.

Thursday, August 6, 2020

ට්‍රම්ප් සමීක්ෂණ වාර්තාවලින් බයිඩන්ට ළං වෙයි

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණ වාර්තා අනුව මෙතෙක් ජනප්‍රියත්වයෙන් සැලකිය යුතු මට්ටමකින් ජනාධිපති ට්‍රම්ප් අභිබවා සිටි ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය අඩුවන බවක් පෙනෙනවා.



The Hill පුවත් ආයතනය කළ සමීක්ෂණයකදී සොයාගන්නා ලද්දේ ඊට සහභාගී වූ සියයට 43ක් බයිඩන්ට ඡන්දය දෙන බව ප්‍රකාශ කරද්දී සියයට 40ක් ට්‍රම්ප්ට ඡන්දය දෙන බව ප්‍රකාශ කරන බවයි. මේ අනුව දෙදෙනා අතර පරතරය සියයට 3 දක්වා අඩුවී තිබෙනවා. ජූලි මාසය මැදදී මෙම ආයතනය විසින් කළ සමීක්ෂණයේදී බයිඩන් සියයට 7 ක් ඉදිරියෙන් සිටියා.



ඇමරිකාවේ මධ්‍ය බටහිර ප්‍රාන්තවල ඡන්දදායකයන් අතර හා පක්ෂයකට සම්බන්ධ නැති ඡන්දදායකයන් අතර ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබෙනවා.

මෙම සමීක්ෂණය සඳහා 2,850 දෙනෙකු සම්බන්ධ කරගෙන තිබුණු අතර වැරදීමේ සම්භාවිතාව 1.84% බව සමීක්ෂකයින් පවසනවා.

මේ අතර මෑතදී පවත්වන ලද ජාතික මට්ටමේ සමීක්ෂණ වාර්තා තුනකට අනුව බයිඩන් සාමාන්‍යයක් ලෙස ට්‍රම්ප්ට වඩා සියයට පහකින් ඉදිරියෙන් සිටිනවා. මෙය ද කලින් තිබුණ තත්ත්වයට වඩා ට්‍රම්ප් ඉදිරියට එන ලකුණක්.

සමීක්ෂණ වාර්තා සහ ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය වෙනස් වියහැකි අතරම, මැතිවරණයට තවත් මාස තුනක්ම තිබෙනවා. එහෙත් ජාතික මට්ටමේ සමීක්ෂණවලින් පොදුවේ එක් අපේක්ෂකයකු පැහැදිලි ලෙස ඉදිරියෙන් සිටියේ නම් මැතිවරණ දිනයේදී ඔහුට තිබෙන වාසිය වැඩි වීම නොවැළැක්විය හැකි දෙයක්. ට්‍රම්ප් සිය පරතරය අඩු කිරීම ඔහුට පැහැදිලි වාසියක් ගෙනෙනවා.

Wednesday, August 5, 2020

ඩිමොක්‍රටික් 2020 උප ජනාධිපති අපේක්ෂිකාව කවුරුන් වේද?

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් තම උප ජනාධිපති තරග සගයා මෙම සතිය තුළ ප්‍රකාශ කිරීමට නියමිතයි.

ඔහු උප ජනාධිපති සගයා ලෙස කාන්තාවක නම් කරන බව පොරොන්දු වී තිබෙනවා. මේ අතර කළු ඇමරිකානු කාන්තාවක එම තැනට පත් කරන ලෙස ද ඉල්ලීමක් තිබෙනවා.

බයිඩන් විසින් නම් කිහිපයක් සලකා බලන බවත් ඒ අතර කළු ජාතික කාන්තාවන් සිව් දෙනෙකු ද වන බවත් වාර්තා වුණා. එමෙන්ම බයිඩන් තමන් විසින් සලකා බලන අවසන් කිහිප දෙනා සමග සාකච්ඡා කිරීම මේ වනවිට ද පටන්ගෙන තිබෙනවා.

ජෝ බයිඩන් (Getty Images)


මීට පෙර වරෙක ඔහු කියා සිටියේ තම උප ජනාධිපති සගයා තමන් සමග එක්ව වැඩ කිරීමට හැකි, ඕනෑම වෙලාවක ජනාධිපති ලෙස වගකීම බාරගත හැකි අයකු වියයුතු බවයි. ඇය විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂ වූ ප්‍රවීණත්වයක් සහිත වීම අවශ්‍ය නැති බව බයිඩන් පවසනවා. ඊට හේතුව එය බයිඩන්ට හුරුපුරුදු ක්ෂේත්‍රයක් වීමයි.

බයිඩන්ගේ තෝරාගැනීමට ඇතුලත් අවසන් කිහිප දෙනා අතර සෙනට් සභික කමලා හැරිස්, හිටපු ජාතික ආරක්ෂක උපදේශක සූසන් රයිස් සහ කොන්ග්‍රස් සභික කැරන් බාස් ආදීන් වන බවයි වාර්තා වන්නේ.

කමලා හැරිස්


සැන් ෆ්‍රැන්සිස්කෝවේ පළමු කළු ජාතික කාන්තා දිස්ත්‍රික් නීතිවේදී ලෙස කමලා හැරිස් අපරාධ මැඩීම පිළිබඳ දැඩි ප්‍රතිපත්ති ගන්නා අයකු ලෙස නමක් දිනාගත්තා. එහෙත් ඇයගේ ඇතැම් ක්‍රියාකාරකම් විවේචනයට හේතු වී තිබෙනවා. 2016 දී කැලිෆෝර්නියාවෙන් සෙනට් සභාවට තේරී පත්වූ ඇය ඉතා දැඩි අයකු මෙන් සැලකෙනවා. කැලිෆෝර්නියාව කොහොමත් ඩිමොක්‍රටික් ප්‍රාන්තයක් වන හෙයින් ඇයගේ තෝරාගැනීම ප්‍රාදේශීයව වෙනසක් ඇති නොකරනු ඇති. එමෙන්ම අපරාධ මැඩීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවල ප්‍රතිසංස්කරණ අවශ්‍ය යයි තර්කයක් මතුවන යුගයක කමලා හැරිස් සුදුසු උප ජනාධිපති තරගකරුවකු ද යන්න ගැටළුවක්.

වැල් ඩෙමිංග්ස්


ෆ්ලොරීඩා ප්‍රාන්තය නියෝජනය කරන කොන්ග්‍රස් සභික වැල් ඩෙමිංග්ස් ද බයිඩන් විසින් සලකා බලනු ලබන්නේය යන්න වාර්තා වී තිබුණා. ඇය ද 27 වසරක් ඕර්ලැන්ඩෝවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළා. වසර හතරක් එහි ප්‍රධානියා ද වූ ඇය එකල තුල එම ප්‍රදේශයේ අපරාධ සියයට හතලිහකින් පමණ අඩු කිරීමට දායක වුණා. ෆ්ලොරීඩා ප්‍රාන්තය තීරණාත්මක තරගයක් තිබෙන ප්‍රාන්තයක් වන හෙයින් ඩෙමිංග්ස් වැන්නකු තෝරාගැනීම බයිඩන්ට අමතර වාසියක් වනු ඇති.

වොරන්


බයිඩන් සමග ඩිමොක්‍රටික් ජනාධිපති නාමයෝජනාව උදෙසා සටන් කළ එලිසබෙත් වොරන් ද සලකා බලන්නන් අතර වන්නේ යයි වාර්තා වුණා. වොරන් මධ්‍ය වාමාංශික ඡන්ද ලබාගැනීමේදී වැදගත් වන්නට ඉඩ තිබෙනවා. විශේෂයෙන් බර්නි සැන්ඩර්ස්ගේ ආධාරකරුවන් වොරන් වැන්නකු පිළිබඳ සතුටු වීමේ ඉඩක් තිබෙනවා.

ග්‍රෙච්ටන් විට්මර්


මිචිගන් ආණ්ඩුකාර ග්‍රෙච්ටන් විට්මර් කෝවිඩ්-19 වසංගතයට එරෙහිව කරන සටනත් සමග ජාතික මට්ටමෙන් ද කැපී පෙනෙන්නට වුණා. ඇය වසංගතය පාලනයට ගත් දැඩි පියවර දක්ෂිනාංශික කණ්ඩායම් සමහරක විරෝධයන්ට හේතු වුණා. එයින් ඩිමොක්‍රටික් කඳවුරේ ඇගේ නම ප්‍රචලිත වුණා. මිචිගන් යනු 2016 දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ඉවහල් වූ ප්‍රාන්තයක් වීම එහි වැදගත්කම තවත් ඉස්මතු කරනවා.

ටැමී ඩක්වර්ත්


බයිඩන් විසින් සලකා බලන තවත් අයකු ලෙස වාර්තා වූ ටැමී ඩක්වර්ත් සුවිශේෂී චරිතයක්. ඇය ඉරාකයේදී යුධ හමුදා හෙලිකොප්ටරයක් පදවමින් සිටියදී කැරලිකරුවන් ඊට පහර දුන්නා. ඇයට දෙපා අහිමි වුණා. නමුත් ඇය හමුදා සේවයේ තවත් කලක් සිටිමින් ලුතිනන් කර්නල්වරියක ලෙස විශ්‍රාම ගත්තා. පසුව ඇය ඔබාමා පාලනයේ හමුදා විශ්‍රාමික කටයුතු නියෝජ්‍ය ලේකම්වරියක ලෙස පත්වුණා.

කොන්ග්‍රස් සභාවට පත් වූ ඇය 2016 දී සෙනට් සභාවට තේරී පත් වුණා. ඇය කොන්ග්‍රස් සභාවේ පළමු තායි-ඇමරිකන් කාන්තා සාමාජිකාවයි. එමෙන්ම කොන්ග්‍රස් සභාවට පත් වූ දෙපා අහිමි පළමු කාන්තාවයි. 2018 දී ඇය සෙනට් මන්ත්‍රීවරියක ව සිටින අතර දරුවකු බිහිකළ පළමු ඇමරිකන් කාන්තාව බවටත් පත්වුණා.

කැරන් බාස්


කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් කොන්ග්‍රස් සභාවට පත් වූ කැරන් බාස්, උප ජනාධිපති ස්ථානය පිළිබඳ ප්‍රකාශ වෙද්දී මුලින් එතරම් ඇසුණ නමක් නොවේ. එහෙත් ඒ නම දිගටම ඇසෙමින් තිබෙනවා. විශේෂයෙන්ම "බ්ලැක් ලයිව්ස් මැටර්" උද්ඝෝෂණ රැල්ල සමග කළු ජාතික අපේක්ෂිකාවකට තැන ලැබෙනු ඇතැයි යන මතය සමග ඇය වැදගත් සාධකයක් වනවා.

ටැමී බෝල්ඩ්වින්


මේ අයට අමතරව, විස්කොන්සින් ප්‍රාන්තය නියෝජනයකරන ටැමී බෝල්ඩ්වින් පිළිබඳ ද ඇසෙමින් තිබෙනවා. ඇය සෙනට් සභාවට පත්වූ පළමු විවෘත ලෙස සමරිසි තැනැත්තියයි. තවද විස්කොන්සින් ප්‍රාන්තය 2016 දී ට්‍රම්ප් විසින් ජයගැනීම ද මෙහිදී වැදගත් සාධකයක්.

සූසන් රයිස්


ඇරිසෝනා ප්‍රාන්තය නියෝජනය කරන සෙනට් සභික කර්ස්ටන් සිනේමා, නිව් මෙක්සිකෝ ආණ්ඩුකාර මිෂෙල් ලුජාන් ග්‍රිෂාම්, ජෝර්ජියා ප්‍රාන්තයෙන් කොන්ග්‍රස් සභාවට තරග වදින ස්ටේසි ඒබ්‍රම්ස් ඇට්ලන්ටා නගරාධිපතිණිය වන කෙයිෂා ලාන්ස් බොටම්ස් ආදී තවත් නම් කිහිපයක් ද බයිඩන් විසින් සලකා බලන බව වාර්තා වුණා. මේ අතර සූසන් රයිස් ද කණින් කොණින් ඇසෙන ඉතා වැදගත් නමක් බව පෙන්වා දියයුතුයි. කෙසේ වෙතත් ඇයගේ ප්‍රවීණත්වය ඇත්තේ ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති කෙරෙහියි. රයිස්ට වාසියට ඇති කරුණ නම් ඔබාමා පාලන සමයේ සිටම ඇය හා බයිඩන් අතර ඇති අවබෝධයයි.

Tuesday, August 4, 2020

රුසියාවේ රාජාලි යුගලයේ රාජ්‍ය ලාංඡනය

රුසියාවෙ රාජ්‍ය ලාංඡනයේ රාජාලින් යුවළක් සිටිනවා ඔබ දැක ඇති. මේ රාජාලි යුවළ මුලින්ම රුසියානු රාජ්‍ය ලාංඡනය සඳහා යොදාගෙන තියෙන්නෙ 1497 දි. එවකට මොස්කව් හි කුමාරයා හෙවත් ආදිපාදවරයා වූ තුන්වන ඉවාන්ගෙ සමයේ, ඔහුගේ රාජකීය මුද්‍රාව සඳහා මෙසේ මෙවන් ලාංඡනයක් යොදාගෙන තිබෙනවා.

මෙම ලාංඡනය මුලින්ම තෝරාගන්න ඇත්තෙ ඔස්ට්‍රියාවෙ හැප්ස්බර්ග් රාජවංශයේ ලාංඡනය අනුසාරයෙන් බව හිතන්න පුළුවන්. එමගින් මොස්කව් පාලනයට ප්‍රබලත්වයක් සහ පිළිගැනීමක් ආරෝපණය කරන්න උත්සාහ කරන්න ඇති බවයි සැලකෙන්නේ. හැබැයි මෙය සියයට සියයක් තහවුරු කරන්නට අපහසු කරුණක්.

කෙසේ වෙතත් මෙම ලාංඡනය පිළිබඳ පසුව ගොඩනැගුණ පැහැදිලි කිරීම තමයි මේ රාජාලින් දෙදෙනාගෙන් රෝමය හා බයිසන්තියම, එනම් බටහිර හා නැගෙනහිර රෝම අධිරාජ්‍යයන් සංකේතවත් වෙනව කියන කරුණ. මොස්කව් නගරය ඕර්තඩොක්ස් ක්‍රිස්තියානින් විසින් "තුන්වන රෝමය" ලෙස සැලකීම මෙම අර්ථ ගැන්වීමට හේතු වුණා.

රාජාලින් දෙදෙනාගේ ලාංඡනය විවිධ වෙනස්කම් සමග දිගටම භාවිතා වුණා. රාජවංශයන් පවා වෙනස් වෙද්දි ඒ මූලික ලක්ෂණය වූ රාජාලින් දෙදෙනා රාජ්‍ය ලාංඡනයේ රැඳී සිටියා.



1857 අප්‍රේල් 11 වන දා, ත්සාර් දෙවන අලෙක්සන්දර් අද පවතින ස්වරූපයෙන් මෙම ලාංඡනය සම්මත කළා. එය 1917 වනතුරු භාවිතා වුණා. සෝවියට් රුසියාව බිහි වීමත් සමග එය භාවිතයෙන් ඉවත් කෙරුණා. මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇතැම් කුලුනු මුදුනේ මෙම රාජාලි සලකුණ තිබුණ අතර ඒවා ස්ටාලින් විසින් ඉවත් කරවනු ලැබුණා. ඉන්පසු කුලුනු පහක මුදුනේ රතු තරු සවි කෙරුණා.

සෝවියට් දේශය කඩා වැටුණ පසු නැවත රාජාලි දෙදෙනාගේ ලාංඡනය භාවිතාවට පැමිණ තිබෙනවා. ක්‍රෙම්ලීනයේ ලෙළදෙන රුසියානු ධජයෙහි රාජාලින් දෙදෙනාගේ රාජ්‍ය ලාංඡනය දකින්න පුළුවන්. එමෙන්ම ඒ ආසන්නයේ පිහිටි රාජ්‍ය ඉතිහාස කෞතුකාගාරයේ ඉහළ ද එම රාජ්‍ය ලාංඡන දෙකක් සවි කර තිබෙනවා.

Pic - රාජ්‍ය ඉතිහාස කෞතුකාගාරය මුදුනේ සිටින රාජාලි දෙදෙනාගේ සංකේතය.

Monday, August 3, 2020

පිරමිඩ් හැදුවෙ පිටසක්වලයින් බව පැවසීමට හේතු

ටෙස්ලා ආයතනයේ ප්‍රධාන විධායක වශයෙන් ඊලොන් මස්ක් නවීන තාක්ෂණික ලෝකයේ පෙරළිකාරයකු බවට පත්වී තිබෙනවා. ඔහු විසින් සිදුකරන ඕනෑම ප්‍රකාශයක් දෙස විශාල අවධානයක් යොමුවීම ස්වාභාවික කරුණක්. මෑත දිනෙක ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ කළ වචන කිහිපයක ප්‍රකාශයක් මගින් පිරමීඩ නිර්මාණය කළේ පිටසක්වල ජීවීන් බව සඳහන් කළා. මේ වචන කිහිපය විශාල විවාදයකට මුල පිරුවා.

Pic: Getty Images


ඊජිප්තුවේ පෞරාණික උරුමය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු සහ ඊජිප්තු උරුමයන් පිළිබඳ ලෝ ප්‍රකට විද්‍යාර්ථියෙකු වන ආචාර්ය සාහි හවාස් ඊලොන් මස්ක් වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. පිරමීඩ පිටසක්වල ජීවීන් විසින් කරන ලද්දක් නොවන බව සනාථ කෙරෙන කරුණු ද ගෙනහැර දක්වමින් ඔහු ප්‍රබල ප්‍රහාරයක් මස්ක් වෙත එල්ල කළා.

මේ අතර ඊජිප්තුවට පැමිණ එහි සොහොන් ගෙවල් හා ඒ සම්බන්ධ ලේඛණ පරීක්ෂා කර බලන ලෙස එරට ජාත්‍යන්තර සහයෝගීතා ඇමතිණී රානියා අල් මෂාට්, ඊලොන් මස්ක් වෙත ආරාධනාවක් ද කර තිබෙනවා.

ඊජිප්තු පිරමීඩ නිර්මාණය කළේ පිටසක්වලයින් බවට කියන මතය කලක් තිස්සේ මතු වන්නක්. මේ බව තහවුරු කිරීමට ඇතැම් අවස්ථාවල ඉදිරිපත් කරන සාධක ද සත්‍යතාවයෙන් තොරයි. උදාහරණයක් ලෙස ගත්තොත් පිරමීඩයක ගල් දෙකක් අතරින් කඩදාසියක් යැවීමට පවා නොහැකියි කියන ප්‍රකාශය වැනි අතිශයෝක්ති සහිත කතා ඇතැම්විට පුවත්පත්, සඟරා ආදියේ ද පළ වනවා.

ඊජිප්තු ඉතිහාසය මනාව අධ්‍යයනය කළොත් මෙම පිරමීඩවල පරිණාමය සිදුවූ ආකාරය පෙනී යනවා. ගීසාහි මහා පිරමීඩවල ඈතට බැලූ බැල්මට​ පෙනෙන සුමට බව මුල් කාලීන පිරමීඩවල නැහැ. ඒවායේ ඇත්තේ පියවර වශයෙන් ඉහල නැගෙන ආකෘතියක්. ලෝකයේ ගලින් නිර්මිත පළමු ගොඩනැගිල්ල ලෙස සැලකෙන ෆාරාඕ ජෝසර්ගේ පිරමීඩය (ක්‍රි.පූ. 2667-2648) තමයි එහි මුල් අවස්ථාව වන්නේ. එය තමයි කාලය ගතවීමේදී වඩා සුමට වෙලා, විශාල වෙලා නිර්මාණය වන්නේ. එය පියවරෙන් පියවර සිදුවූ සංවර්ධනයක් මිස එක රැයින් සිදු වෙච්ච දෙයක් නොවේ. ඊජිප්තුවේ තියෙන විවිධ පිරමීඩ දිහා බලද්දි ඒ විවිධ පරිණාමික අවස්ථා පැහැදිලිව පෙනෙන්න තියෙනවා. (අනාගතයේ දවසක ඒ ගැන වෙනම ලියන්න බලාපොරොත්තු වෙනවා).

ජෝසර්ගේ පිරමීඩය​ (Getty Images)


මෙවැනි ආකාරයෙන් කරුණු පැහැදිලිව පෙනෙන්න තිබියදී ඊලොන් මස්ක් පිරමීඩවල ගෞරවය පිටසක්වල ජීවීන් නම් අප දැක නැති කොට්ඨාශයක් වෙත දෙන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක්.

පුද්ගලිකව ඊලොන් මස්ක් මෙවැන්නක් ප්‍රකාශ කරන හේතුව පැහැදිලි නැතත් බටහිර රටවල පිරිස් මෙම කරුණ උලුප්පා දැක්වීමට පොදු හේතුව තෝරා බේරා ගන්න අපහසු නැහැ.

පිරමීඩ නිර්මාණය කළේ සුදු මිනිසුන් නොවන බව බොහොම පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. ග්‍රීකයන්ට පෙර ඊජියන් මුහුදු ප්‍රදේශවල ජීවත් වූවන් සුද්දන් ලෙස පෙන්නුම් කරගන්නට බටහිර රටවල අයට හැකිවෙලා තියෙනව.  ඒ නිසා පැරණි ඊජියානු ප්‍රදේශවල නිර්මාණයන් ගැන ඔය වගේ කතා එතරම් ජනප්‍රිය කරවන්න අවශ්‍ය වෙලා නැහැ. නමුත් ඊජිප්තුව සම්බන්ධව මේ අයට ප්‍රශ්නයක් තියෙනව. ඒ සා දැවැන්ත නිර්මාණයක් සුදු ජාතික නොවන ජනතාවක් විසින් කළාය කියන දේ පිළිගන්න වගේම වෙන අය එය පිළිගන්නවා දකින්න ඒ අය අකැමැතියි. ඒ නිසා තමයි ඔය පිටසක්වල කතා කරළියට එන්නෙ.

මේ අය සුද්දන් හදපු නැති හැම නිර්මාණයක්ම පිටසක්වල ජීවීන්ගෙ ගිණුමට බැර කරන්න උත්සාහ කරයි. අන්තිමට බලද්දි ඒවා සේරම කරල තියෙන්නෙ පිටසක්වලයො. අනුරාධපුරයේ දාගැබ් ආදී ලෝකය වටා තියෙන වෙනත් ඇතම් නිර්මාණ ගැනත් මේ වගේ ප්‍රවාද ගොඩනගන උත්සාහයන් අපි දැකල තියෙනව.

මේ විදියෙ මනස්ගාත ප්‍රචාරය කරන සියල්ලන්ම බටහිර රටවල අය නොවේ. මේ අය අතරෙ ඕනතරම් ඒ ඒ රටවල අයත් ඉන්න පුළුවනි. බොහෝ දෙනෙක් මෙවැනි අදහස් ප්‍රචාරය කරන්නෙ එක්කො නොදන්නකම නිසා. එක්කො නොදන්නකම එක්ක එන අරුම පුදුම දේ ගැන, ඉන්ද්‍රජාල දේ ගැන තියෙන නැඹුරුව නිසා. එක්කො නොදන්නකම එක්ක එන පරගැතිකම නිසා. ප්‍රසිද්ධ පුද්ගලයෙක් කිව්ව පළියට යමක් විශ්වාස කරන එකත් එහෙම පරගැතිකමක් තමයි. එතනදි තමයි ඊලොන් මස්ක්ලා වැදගත් වෙන්නෙ.

මේ කියපු හේතු සියල්ලෙම මහා පොදු සාධකය වෙන්නෙ නොදන්නකම තමයි. ඊජිප්තු පිරමීඩවල විකාශනය පියවරෙන් පියවර දැක්ක අයෙක් මේ මනස්ගාත කීයටවත් පිළිගන්නෙ නැහැ.

Sunday, August 2, 2020

රස්පුටින්ගෙ මරණය - දකින විදියෙ වෙනස

රස්පුටින්ව මරා දමන්න මූලික පියවර ගන්නෙ ෆීලික්ස් යුසූපෆ් කියන කුමාරයා. ඔහු තව කීප දෙනෙක් ඊට හවුල් කරගන්නවා. ඒත් අදහස ඔහුගෙ. සිද්ධිය වෙන්නෙ ඔහුගෙ නිවසේ.

ඔහු පසු කලෙක ලිව්ව විදියට ඔවුන් රස්පුටින්ට සයනයිඩ් දැමූ කේක් කන්න දෙනව. වයින් බොන්න දෙනව. ඒත් රස්පුටින් මැරෙන්නෙ නෑ. පස්සෙ යුසූපෆ් ඔහුට වෙඩි තියනව. ඒ පිරිස අතරෙ ඉන්නව දොස්තර කෙනෙක්. ඔහු කියනව රස්පුටින් මැරිලා කියල. පස්සෙ වෙලාවක රස්පුටින් වැටිල ඉන්න තැනින් නැගිට යුසූපෆ් වෙත කඩා පනිනව. කට්ටිය ආයෙ වෙඩි තියල ඔහුව මැඩ පවත්වනව. පස්සෙ නෙවා ගඟෙහි අතු ගංගාවකට දානව.



යුසූපෆ් මෙහෙම ලියන්නෙ රස්පුටින් මිනිසෙකු නොව යක්ෂයකු බව පෙන්වන්න. පස්සෙ ඔහු කියනව​ තමන් සාතන් සමග සටන් කරලා දිනුවා කියල.

රස්පුටින්ගෙ සිරුර ගොඩගෙන දින කීපයකට පසු කටකතාවක් යනව ඔහුගෙ පෙනහළුවල වතුර තිබ්බා කියල. ඒ කියන්නෙ ගඟට දාද්දිත් ඔහුට පණ තිබ්බා කියල. මේක අදටත් තියෙන කතාවක්. ඒත් ඒ සිද්ධිය වෙච්ච අලුත පත්තර වාර්තාවල ඔහුගෙ මරණ පරීක්ෂණය ගැන ලියද්දි ශරීරයේ විෂ හෝ පෙනහළුවල වතුර හෝ තිබ්බ බව වාර්තා කරල නැහැ. මේ කතා පතුරවල තියෙන්නෙ රස්පුටින් මිනිහෙක් නොව යක්ෂයෙක් හෝ සාතන් හෝ කියල පෙන්වන්න. යුසූපෆ් මෙයින් අදහස් කළේ තමන් වීරයෙක් කියල පෙන්වන එක.

හැබැයි දැන් කතාව වෙනස් මානයක් අරගෙන. අද වෙද්දි රුසියාවෙ ඕර්තඩොක්ස් ආගමික ජාතිකවාදීන් මේ ව්‍යාජ කතාවම අරන් රස්පුටින්ව වීරයෙක් කරලා.

යුසූපෆ් කියන්නෙ රදළයෙක්. ඒ වගේම ද්විලිංගික ආකර්ශණය (bisexual) තිබ්බ, ගැහැණු ඇඳුම් අඳින්න කැමති (crossdresser) අයෙක්. ආගම් නොඇදහූ අයෙක්. රස්පුටින් කියන්නෙ ගොවියෙක්. ධාර්මික ඕර්තඩොක්ස් ලබ්ධිකයෙක්. රස්පුටින්ව වීරයා කරන අය කියන්නෙ යුසූපෆ් කියන අනාගමික, විෂම ලිංගික ප්‍රවණතා තිබ්බ මනුස්සයට රස්පුටින්ව මරන්න අච්චර අමාරු වුණේ රස්පුටින් හොඳ ආගම් භක්තියකින් යුක්ත වූවකු නිසා කියල.

ඉතිහාස කතා වෙනස් වෙන හැටි.

* රස්පුටින් ඇත්තටම මියගියේ වෙඩි පාරවල් තුනකින්. එකක් ඉතා ආසන්නයේ සිට නළල මැදට තිබ්බ වෙඩිල්ලක්.

(මේ කරුණු උපුටා ගත්තෙ ඩග්ලස් ස්මිත්ගෙ Rasputin පොතෙන්)

Saturday, August 1, 2020

අත්ලාන්තික් සාගරයේ ඉතාලි සබ්මැරීන කඳවුර​

1940 අගෝස්තු 1 වන දා බෝර්ඩෝ නගරයේදී අත්ලාන්තික් සාගරයේ ඉතාලි සබ්මැරීන මූලස්ථානය ලෙස Betasom කඳවුර ස්ථාපිත කෙරුණා.

මෙහි Betasom යන නම ග්‍රීක බීටා අකුර සහ සබ්මැරීන සඳහා යෙදෙන ඉතාලි වචනය වන Sommergibili එකතුව සෑදුණක්. බීටා අකුර තෝරාගත්තේ බෝර්ඩෝ යන නමෙහි පළමු අකුර B වන හෙයින්, එහි ග්‍රීක ස්වරූපය තෝරාගනිමින්.

Betasom හි එකවර සබ්මැරීන 30 ක් දක්වා රඳවා තැබිය හැකි වුණා. මුලින් එහි සිට කටයුතු කිරීමට සබ්මැරීන 28 ක් පැමිණියා. මෙහි ඉතාලි හමුදා සාමාජිකයන් 1,600 ක් ද රැඳී සිටියා. සබ්මැරීන නැවැත්වීමට ආරක්ෂිත ස්ථාන හා වියළි තටාක (dry docks) ද මෙහි වුණා.

2009 දී සබ්මැරීන රඳවන දිස් වූ අයුරු. - Pic: Tony Hisgett


මෙම කඳවුරෙහි අණදෙන නිලධාරියා වූයේ අද්මිරාල් පෙරෝනා යි. එමෙන්ම අත්ලාන්තික් සාගරයේ මිත්‍ර පාක්ෂික නැව්වලට පහර දීමේ මෙහෙයුම්වලට මෙහි සබ්මැරීන දායක වුණා. මෙම අත්ලාන්තික් සටනේ සමස්ථ අණදෙන නිලධාරියා වූයේ ජර්මන් නාවික හමුදාවේ ග්‍රෑන්ඩ් අද්මිරාල් කාර්ල් ඩෝනිට්ස්. ඔහු යටතට තමයි ඉතාලි සබ්මැරීන ද අයත් වුණේ.

Betasom සබ්මැරීන කඳවුර 1943 දක්වා ම ක්‍රියාත්මක වුණා. එම වසරේ ඉතාලියේ සිදුවූ දේශපාලන පෙරළිවලින් පසු එහි කටයුතු නැවතුණා.