Friday, July 31, 2020

එලිසවෙතා අධිරාජිණියගේ තුන්කොන් ආදර කතාව

එලිසවෙතා පෙත්‍රොව්නා විවාහ වී සිටියේ නැහැ. ඇය විවාහ වන වයස ද පසුවෙමින් තිබුණා. එකල අවුරුදු 30 ඉක්මවා ගිය කාන්තාවක විවාහයට හොඳටම වයසින් වැඩි අයකු වුණා. එලිසවෙතා ඉතා සුරූපී කාන්තාවක් වුනත් විවාහ වීමේ හැකියාවක් වූයේ නැහැ.

එලිසවෙතාට ආදරවන්තයෙක් සිටියා. අලෙක්සේයි රසුමොව්ස්කි. ඔහු ගැමියෙක්. එතරම් උගත් අයකු නොවුණත් දක්ෂ අයෙක්. ඔහු ප්‍රබෝධමත්, සන්සුන් සහ විශ්වසනීය අයකු වුණා. ඇය ඔහුගේ ගම්මානයට පවා ගියා. ඔහුගේ නෑදෑ හිතමිතුරන් හමුවුණා.

රසුමොව්ස්කිට කිසිම තනතුරක් අවශ්‍ය වුණේ නැහැ. ඔහු ඇයට ඉතා පක්ෂපාතී වුණා. ඇයගේ ආරක්ෂාව පිළිබඳ වගබලා ගත්තා. ඇයට සමීපව සහකරු ලෙස සිටියා. ඔවුන් රහසේ විවාහ වූ බවත් ළමුන් ලැබුණ බවත් කියනවා. ඒත් ඒ බව තහවුරු වී නැහැ.

එලිසවෙතා ඉතා ආඩම්බර කාන්තාවක්. වයසට යද්දී ඇය තම රූපය ගැන කරදර වුණා. එවිට ඇයට සමීප වූයේ වෙනත් තරුණයෙක්. ඒ ඉවාන් ෂුවාලොෆ්. ඉවාන්ව ඇය වෙත යොමු කළේ ඔහුගේ ඥාති සොයුරන් දෙදෙනායි. එමගින් තමන්ට වාසියක් අත්කර ගැනීමයි ඔවුන්ට අවශ්‍ය වුණේ. නමුත් ඉවාන් ඔවුන්ට ඕනෑ විදියට කටයුතු කළේ නෑ. ඔහුට ද තනතුරු ආදිය අවශ්‍ය වූයේ නැහැ.

ඉවාන් එලිසවෙතාට වඩා අවුරුදු දහ අටක් ලාබාල අයෙකු වූ අතර ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනා ගනිද්දී ඇයට වයස අවුරුදු 40 ත් ඉක්මවා තිබුණා. ඔවුන් අතර ආදර සබඳතාවක් ඇති වූයේ පසුවයි.



කෙමෙන් කෙමෙන් එලිසවෙතා, අලෙක්සේයි රසුමොව්ස්කිව ඈත් කරන්නට වුණා. ඔහු එහිදී කෝප ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු පසෙකට වුණා. එලිසවෙතාගේ කැමැත්තට එරෙහිව කිසිවක් කිරීමට ඔහුට අවශ්‍ය වූයේ නෑ. ඔහු එලිසවෙතාට අවශ්‍ය පරිදි ඉන්නට දී ඈත්ව ගියා.

එලිසවෙතා පෙත්‍රොව්නා වයස අවුරුදු 53 ක් වෙද්දී මියගියා. එතෙක් ඇගේ පෙම්වතා වූයේ ෂුවාලොෆ්.

මහා පීටර් අධිරජයාගේ දියණියක වූ එලිසවෙතා පෙත්‍රොව්නා යනු 1741 - 62 සමයෙහි රුසියාවේ අධිරාජිණිය යි.

Thursday, July 30, 2020

හතලිස් වන නිදහස් දිනය සැමරූ වනුවාටු

දකුණුදිග ශාන්තිකර සාගර ප්‍රදේශයේ පිහිටි වර්ග කිලෝමීටර් 12,189 ක් විශාල, දූපත් 83 කින් පමණ සමන්විත, ජනගහනය 300,000 ක් පමණ වන වනුවාටු රාජ්‍යය අද සිය 40 වන නිදහස් දිනය සැමරුවා.

වනුවාටු වැසියන්ට මේ වෙනුවෙන් ජූලි 23 සිට දින නවයක දිගු නිවාඩුවක් ලැබී තිබෙනවා.



යටත් විජිත සමයේ නිව් හෙබ්‍රඩීස් නමින් හැඳින්වූ වනුවාටු දූපත් හි කොටසක් බ්‍රිතාන්‍යය සහ අනෙක් කොටස ප්‍රංශය විසින් පාලනය කෙරුණා. එයින් පසු එම රටවල් දෙකම එකතු වී එය පාලනය කළා. 1970 දශකයේ එරට ජාතික නිදහස් ව්‍යාපාරයක් දියත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1980 දී එරටට නිදහස ලැබුණා.



වනුවාටු රාජ්‍යයේ නිල භාෂා වන්නේ බිස්ලාමා, ඉංග්‍රීසි හා ප්‍රංශ යන භාෂා යි. මීට අමතරව තවත් ස්වදේශික භාෂා 113 ක් පමණ එහ වනවා. එනම් රටේ ජනගහනයෙන් සෑම 2500 කට පමණ එක් භාෂාව බැගින් වන තරම් භාෂා ඝනත්වයක් එහි තිබෙනවා. එහෙයින් ලොව ඉහළම භාෂා ඝනත්වයක් ඇති රාජ්‍යය ලෙසයි වනුවාටු සලකනු ලබන්නේ.



වනුවාටු රාජ්‍යය වර්තමාන කෝවිඩ්-19 වසංගතයෙන් ගැලවී සිටීමට මෙතෙක් සමත්ව සිටිනවා. එහෙත් එම වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීම එරටට බරපතල ප්‍රශ්නයක් වනවා නොඅනුමානයි.

වනුවාටු රාජ්‍යයට අතීතයේදී ආධාර උපකාර ලැබුණේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවලින්. පසුව බ්‍රිතාන්‍යය මෙම කලාපයේ කටයුතුවලින් ඈත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් එරටට ආධාර ලබාදීම නැවතුණා. මේ අතර ඇමරිකාව එම අඩුව පිරවීමට දායක වුණා. වර්තමානය වනවිට චීනය වනුවාටු රාජ්‍යයට ණය සහ ආධාර විශාල වශයෙන් ලබා දෙනවා. රටේ දෙවන විශාලම නගරය වන ලූගන්විල් හි විශාල වරායක වැඩ සිදුවනවා. එතරම් විශාල වරායක අවශ්‍යතාව වනුවාටු රාජ්‍යයට නැහැ. එහෙයින් එය අනාගතයේදී හමුදාමය අවශ්‍යතා උදෙසා චීනය විසින් ගොඩ නංවන ලද්දේ යයි සැක මතු වනවා. ණය ගෙවාගත නොහැකිව රට කෙමෙන් චීන බලපෑමට හසුවන බවක් පෙනී යනවා.

Wednesday, July 29, 2020

සෝවියට් සිනමාකරුවන්ගේ කැරැල්ලෙන් තිරගත වීමට වරම් ලද Repentance

සෝවියට් පාලන කාලය තුළ සිනමාකරුවන්, ලේඛකයන්, සංගීතවේදීන් ආදී කලා ක්ෂේත්‍රයන් හි නියැළුණ අයව මධ්‍යගත සංගම්වලට සංවිධානය කිරීමේ ක්‍රමවේදයක් පැවතුණා. එසේ කළවිට, ඔවුන්ව පාලනය කිරීම පහසු වුණා. සෝවියට් රජයයන් ඔවුන් වෙත සැලකූවේ සහන හා තර්ජන මිශ්‍ර ක්‍රමවේදයකින්. රජයේ මතය සමග යනතෙක් විවිධ අයුරින් උපකාර කිරීමත් පිට පනින්නන්ට සීමා පැනවීමත් මෙසේ සිද්ධ වුණා.

මෙම සංගම්වලට නිලධාරීන් පත් කෙරුණේ කොමියුනිස්ට් පක්ෂයට අවශ්‍ය විදියටයි. වඩාත් නිවැරදිව කිව්වොත් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට අවශ්‍ය ආකාරයට යි. මෙසේ නිලතලවලට පුද්ගලයින් නම් කිරීම දේශපාලන මණ්ඩලය විසින් සිදු කෙරුණ මේ සංගම්වල මහාසභා විසින් එම නම් අනුමත කිරීම පමණක් සිදු වුණා.

මිහායිල් ගොර්බචොෆ් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වූ පසුවත් මෙම ක්‍රමය එකවර වෙනස් වූයේ නැහැ. එහෙත් ගොර්බචොෆ් යනු වෙනස් ආකාරයක නායකයකු බව පෙනෙන්නට පටන් ගන්න බොහෝ කල් ගත වූයේ නැහැ.

ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස සිනමවේ වූ වැදගත්කම සෝවියට් නායකත්වය මුල සිටම තේරුම්ගෙන තිබුණා. සෝවියට් යුගයේ මුල්කාලයේදී, සාක්ෂරතාවයෙන් යුතු ජන ප්‍රතිශතය අඩු වූයෙන් එහි වැදගත්කම තවත් වැඩි වුණා. වැඩි පිරිසක් වෙත සිය පණිවිඩය යැවීමට සිනමාව සුදුසුම මාධ්‍යය බව සෝවියට් රජය විශ්වාස කළා. "සිනමාව අපට වැදගත්ම වන කලා මාධ්‍යය යි" යනුවෙන් සෝවියට් රුසියාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ මහජන කොමිසාර් වූ ලුනචාර්ස්කි සමග ලෙනින් පවසා ඇතැයි ද සඳහන්.

නමුත්, සෝවියට් රජයට එරෙහිව සංගමයක් ලෙස මුලින්ම කැරලි ගැසුයේ ද සිනමාකරුවන්ගේ සංගමය යි. 1986 දි, සාමාන්‍ය විදියටම, කොමියුනිස්ට් පක්ෂය විසින් සිනමාකරුවන්ගේ සංගමයට නිලධාරී මණ්ඩලය යෝජනා කරලා එවනු ලැබුණා. එහෙත්, මැයි 13-15 දිනවල තිබුණ මහා සභා රැස්වීමෙදි මේ නම් එක්ක තමුන්ම යෝජනා කළ විකල්ප ද ඉදිරිපත් කරන්න සංගමයේ නාම යෝජනා කමිටුව ක්‍රියා කළා. පක්ෂයේ යෝජනා පරාජය කෙරුණා.

මේ කැරැල්ල පිළිබඳ ප්‍රතිසංස්කරණවාදී පිරිස් විරුද්ධ වුණේ නැහැ. එහෙත් දැඩිමතධාරී කොමියුනිස්ට්වාදීන් ඊට විරෝධය පළකළා. එමෙන්ම ඇතැම් අය චෝදනා කළේ මෙය ගොර්බචොෆ් කඳවුර විසින් කලින් සැලසුම් කර සිදුකළ දෙයක් කියා යි. එහෙත් මෙම අවස්ථාවට සහභාගී වූ සිනමාවේදී මායා තුරව්ස්කයියා සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ එවැනි පෙර සූදානමක් පිළිබඳ නොදන්නා බවයි. මේ සිද්ධිය ඔවුන් ද පුදුමයට පත් කළේ යයි ඇය කියා සිටියා.

සම්මේලනයේදී කතා කළ සිනමාකරුවන් බොහෝ දෙනෙකු රජය කෙරෙහි සිය අප්‍රසාදය පළ කළා. ඔවුන්ගේ සිනමා නිර්මාණ එක්කෝ සංස්කරණය කිරීමට හෝ තිරගත කිරීමට ඉඩ නොදීමට හෝ රජය ක්‍රියාකර තිබුණා.

කෙසේ වෙතත්, සංගමයේ නව සභාපති වූ එලේම් ක්ලීමෆ් තම මුල්ම අරමුණ කරගත්තේ තහනම් වූ නිර්මාණ තිරගත කරවාගැනීම යි. 1984 දී වැඩ අවසන් කළ, ජෝර්ජියානු සිනමාවේදී ටෙන්ගිස් අබුලඩ්සේ විසින් අධ්‍යක්ෂණය කෙරුණ Repentance චිත්‍රපටය ඉන් ප්‍රමුඛ වුණා. එකල ජෝර්ජියාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානී එඩුවාර්ඩ් ශෙවර්ඩ්නාඩ්සේගේ සහය ද ඇතිව නිර්මාණය වූ මෙම චිත්‍රපටය තිරගත කිරීමට අවසර ලැබී තිබුණේ නැහැ.



මේ චිත්‍රපටයට පාදක වුණේ කුඩා ජෝර්ජියානු නගරයක නගරාධිපතිවරයෙක්. වර්ලොම් නම් වූ ඔහු හිට්ලර්, මුසෝලිනී හා ස්ටාලින් යන තිදෙනාගේ එකතුවක්. කුඩා උඩු රැවුළ, කළු කමිසය හා ඝණව වැවුණ කළුවන් කොණ්ඩය එම සංකලනය පෙන්නුම් කළා. චිත්‍රපටය මුලදී වර්ලොම් මියයන අතර ගෞරව සහිත අවමගුලක් ඔහු වෙනුවෙන් පවත්වනවා. එහෙත් ඉන්පසු ඔහුගේ මළමිනිය විවිධ අවස්ථාවල පෙනී ඉන්නට පටන් ගන්නවා.

සෝවියට් ක්‍රමය තුළ ස්ටාලින්ව විවේචනය කිරීම එතරම් ජනප්‍රිය නොවූ කාලෙක මේ චිත්‍රපටය විප්ලවකාරී එකක් වුණා. එහෙයින් මෙය තිරගත කිරීමේ ප්‍රශ්නය සුළුපටු එකක් වූයේ නැහැ. ක්ලිමෝෆ් මේ ප්‍රශ්නය පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරණ අංශයේ ප්‍රධානී අලෙක්සන්දර් යාකොව්ලෙෆ් වෙත ඍජුවම යොමු කළා.

මෙකල යාකොව්ලෙෆ් යනු ගොර්බචොෆ්ගේ සමීපතමයෙක්. එමෙන්ම ප්‍රතිසංස්කරණවාදියෙක්. ඔහු වරක් ගොර්බචොෆ් වෙත ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ගෙන ආවා. පක්ෂයේ තීරක බලය සීමා කිරීම, සමූහ ගොවිපලවල් විසුරුවා හැර පුද්ගලික ඉඩම්වල වගා කිරීමට අවසර දීම, ස්වාධීන දේශපාලන පක්ෂ ක්‍රමයක් හා මැතිවරණ ආදිය මේ යෝජනාවල තිබුණා. ගොර්බචොෆ් එම අවස්ථාවේ පවසා තිබුණේ එවැනි විප්ලවකාරී වෙනසකට එය අවස්ථාව නොවන බවයි.

එහෙව් යාකොව්ලෙෆ් ද මේ චිත්‍රපටය පිළිබඳ ප්‍රශ්නයෙදි තනි තීරණයක් ගන්නට මැළි වුණා. ඔහු එය දේශපාලන මණ්ඩලයට යොමු කළා. මෙහිදී ගොර්බචොෆ් සියුම් උපායක් කල්පනා කළා. ඔහු මේ චිත්‍රපටය පිළිබඳ තීරණය සිනමාවේදීන්ගේ සංගමය වෙත පැවරුවා. එම සංගමය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට තීරණය කළා.

මුලින්ම ජෝර්ජියාවේ තිරගත කළ Repentance චිත්‍රපටය පසුව සෝවියට් දේශයේ අන් ප්‍රදේශයන්හි ද ප්‍රදර්ශනය කෙරුණා. එය විසින් සෝවියට් සිනමාකරුවන්ව නව නිර්මාණ කිරීම කෙරෙහි දිරිමත් කෙරුණා.

ත්සාර් යුගයේ විරුවන්ගේ නමින් ස්ටාලින් පිදූ පදක්කම්

1942 ජූලි 29 වෙනිදා සෝවියට් දේශය විසින් රතු හමුදා සාමාජිකයන් උදෙසා විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන සුවොරෝෆ් (1 වන, 2 වන හා 3 වන පන්ති), කුතූසොෆ් (1 වන හා දෙවන පන්ති) වගෙම නෙව්ස්කි යන පදක්කම් හඳුන්වා දුන්නා.

මෙහි නිරීක්ෂණය කළ යුතු දේ තමයි ඔවුන් කොමියුනිස්ට් වීරයන්ගෙ නම් වෙනුවට පැරණි ත්සාර් පාලන කාලයේ වීරයින්ගෙ නම් මේ පදක්කම් උදෙසා යොදාගැනීම. සුවොරෝෆ් හා කුතූසෆ් ත්සාර් යුගයේ විරුවන් වූ අතර නෙව්ස්කි ඊටත් පෙර සමයේ රුසියාවේ ජාතික වීරයකු වුණ අයෙක්.



මේ විතරක් නෙවෙයි. රතු හමුදා මෙහෙයුම් සමහරක් හඳුන්වා දෙනු ලැබුණේ ද පැරණි ත්සාර් යුගයේ යුධ විරුවන් නමින්. බග්‍රතියෝන්, රුම්යාන්ත්සෙෆ් වැනි අයගෙ නම්වලින් හැඳින්වූ මෙහෙයුම් එයට උදාහරණ වනවා. ඇත්තෙන්ම කුතූසොෆ් හා සුවොරෝෆ් දෙදෙනාගේ නමින් ද මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වුණා.

ඉතින් රට පාලනය කළේ කොමියුනිස්ට්වාදීන් වුණාට ජර්මන් ආක්‍රමණය අවස්ථාවෙ යොදාගත්තු සංකේත සමහරක් පැරණි දේශප්‍රේමී සංකේත වුණා. එය​ එක්තරා දෛවෝපගත සිදුවීමක්.

Photo: Embassy of the Russian Federation in Sri Lanka and Maldives

Monday, July 27, 2020

බර්ලින් නගරයට මුලින්ම ඇතුල් වූ සෝවියට් (ඇමරිකන්) යුධ ටැංකි

1945 අප්‍රේල් 20 වනදා, 1 වන බෙලෝරුසියානු පෙරමුණේ අණදෙන නිලධාරී මාර්ෂල් ගියෝර්ගි ෂූකොෆ් තම පෙරමුණේ හිටපු 2 වන යුධ ටැංකි මුරභට හමුදාවේ අණදෙන නිලධාරී සෙම්යොන් බොග්දානෆ් වෙත නියෝගයක් කළා. එය තමයි බර්ලින් වෙත සිය හමුදාව යවන ලෙසට. ඒ වෙද්දි සීලොව් කඳුකරයේ සටන නිම වෙලා. සෝවියට් හමුදා සහ බර්ලින් අතරෙ වැඩකට ඇති කිසිම ජර්මන් සේනාංකයක් නැහැ.



බොග්දානෆ් මේ වැඩේ බාරදුන්නා 1 වෙනි යාන්ත්‍රික බලකායෙ ලුතිනන් ජෙනරල් සෙම්යොන් ක්‍රිවොෂෙයින්ට. අප්‍රේල් 21 වෙද්දි බර්ලින් නගර සීමාවට අයත් වයිසන්සී ප්‍රදේශයට ක්‍රිවොෂෙයින්ගේ සේනාංකය පැමිණියා. ඉතින් මේ සේනාව තමයි බර්ලින් වෙත ඇතුල් වෙච්ච පළමු සෝවියට් සේනාංකය.

ලස්සනම වැඩේ කියන්නෙ මේ යාන්ත්‍රික බලකායෙ තිබ්බෙ ඇමරිකාවෙන් ලැබිච්ච ෂර්මන් යුධ ටැංකි. එතකොට සෝවියට් සේනාංක ආවෙ ඇමරිකන් යුධ ටැංකිවලින්. මේවා සෝවියට් දේශය වෙත ලැබුණේ ණය වෙනුවට බද්දට දීමේ ක්‍රමය යි.

Tuesday, July 21, 2020

එමිරේට් රාජ්‍යය අඟහරු ලොවට ගෙනයන ඇය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ග්‍රහයා වෙත යවන සිය යානය වන "අමාල්" (අරාබි බසින් බලාපොරොත්තුව) ජූලි 19 වනදා පිටත් කළා. එය අඟහරු වටා කක්ෂගත වන යානයක් වනවා. ලබන පෙබරවාරියේදී එය රතු ග්‍රහයා වටා කක්ෂගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනාගතය උදෙස විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව මෙන්ම එහි ආයෝජනය කිරීම කෙරෙහි වැදගත් ස්ථානයක් දෙන රාජ්‍යයක්. ඒ අතින් එය අරාබිකරයේ සුවිශේෂී රාජ්‍යයක් වනවා. එහි එක් පියවරක් ලෙස ඔවුන් 2017 දී කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අමාත්‍ය ධුරයක් ද ස්ථාපිත කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ වැඩපිළිවෙල භාරව සිටින්නේ කාන්තාවක් වීම තවත් සුවිශේෂී කරුණක්. ඇයටද එම වගකීම පැවරුණේ 2017 වසරේයි. ඇය නමින් සාරා අල්-අමීරි.



සාරා අල්-අමීරි වෘත්තිය දිවිය ඇරඹුවේ පරිගණක ඉංජිනේරුවරියක ලෙසයි. පසුව ඇය එමිරේටයේ උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයට සම්බන්ධ වී එරට පණිවිඩ චන්ද්‍රිකා සැලසුම් කිරීමට එක් වුණා. 2016 දී එමිරේටයේ විද්‍යා කවුන්සිලයේ සභාපති ලෙස පත් වූ ඇය 2017 දී උසස් විද්‍යාවන් දියුණු කිරීම භාර අමාත්‍ය ධුරයට පත් කළා.

තම රාජ්‍යය අභ්‍යවකාශ තරණය කෙරෙහි බොහෝ ප්‍රමාද වී යොමු වූ රටක් බව පෙන්වා දෙන ඇය එහෙයින්ම තම රටෙහි උත්සාහය දෙස අන් අය පුදුමයෙන් බැලීම ගැන පුදුම නොවන බව පවසනවා.

කලාපයේ පවතින අස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් ලෝකයට වැඩදායක යමක් කිරීම තම අභිලාෂය බවයි අල්-අමීරි කියන්නේ.

එක්සත් අරාබි එමීරයේ අඟහරු තරණය කිරීමේ වැඩපිළිවෙලේ සියයට 34 ක් දෙනා කාන්තාවන්. එහි විද්‍යාඥ කණ්ඩායමේ සියයට 80ක් කාන්තාවන් වනවා.

පෝර්ට්ලන්ඩ් හි පොලිසියට අභියෝග කළ "නිරුවත් ඇතීනා"

ඇමරිකාවේ ඔරෙගන් ප්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ් නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ අතරතුර පොලිසිය ඉදිරියට නිරුවතින් පැමිණි කාන්තාවක් ඔවුන්ට විරෝධය පළ කරනු දක්නට ලැබුණා.

මුහුණු ආවරණයක් පැළඳ සිටි ඇය වීදියක් හරහා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියට පැමිණ ඔවුනට අභියෝග කරන්නට වුණා.



ඇය සමග තවත් කිහිප දෙනකු එහි පැමිණි අතර ඔවුන් අත පළිහ ද තිබුණා.

පොලිසිය ඔවුන්ගේ දෙපා ප්‍රදේශය වෙත පෙපර් ස්ප්‍රේ බෝල කිහිපයක් එල්ල කළා. පසුව පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගියා.

ඇගේ ක්‍රියාව හේතුවෙන් ඇතමුන් විසින් උද්ඝෝෂකයන්ගේ සහයට පැමිණි දෙවඟනක්, නැත්නම් "නිරුවත් ඇතීනා" ලෙස ඇයව නම් කර තිබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ජනප්‍රිය වූයේ "නිරුවත් ඇතීනා" යන නමින්.

පෝර්ට්ල්න්ඩ් හි විරෝධතා අතරතුර විරෝධතාකරුවන් පිරිසක් පොලිස් ස්ථානයකට ද කඩාවැදී තිබුණා. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු නගරයේ උද්ඝෝෂණ නිතර පවතිනවා.

Sunday, July 5, 2020

සෝවියට් දේශය බෝල්ටික් රටවල් අත්පත් කරගත් හැටි

1940 ජූනි 17 වනදා සෝවියට් විදේශ ඇමති ව්‍යචෙස්ලාව් මෝලතෆ් ජර්මන් තානාපති ෂුලන්බර්ග්ව සිය කාර්යාලය වෙත කැඳවාගත්තේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡාවකටයි.

මෙහිදී සෝවියට් විදේශ ඇමතිවරයා "ජර්මන් හමුදා ප්‍රංශයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ සෝවියට් රජයේ උණුසුම් සුබපැතුම්" එකතු කළා.

එයින් පස්සෙ මෝලතෆ් සාකච්ඡාවට ලක් කළේ ජර්මනියෙ එතරම් කැමති කාරණයක් නෙවෙයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය බෝල්ටික් රටවලදී සිදු කරන යටිකූට්ටු වැඩ මගින් ජර්මනිය සහ සෝවියට් දේශය අතර හොඳ හිත පළුදු කිරීමට උත්සාහ කරන බව පැවසූ මෝලතෆ් එවන් උත්සාහයන් වැළැක්වීමට එම රටවලට සෝවියට් රජයේ විශේෂ නියෝජිතයින් යැවූ බව කියා සිටියා.

ලැත්වියාවේ රීගා නගරයේ මැයි දින සැමරුමක් (1941)


මෙසේ විදේශ ඇමතිවරයා විස්තර කළේ දින කිහිපයකට කලින් සෝවියට් රජය විසින් සිදුකළ කාර්යයක්. මෙසේ යවන ලද නියෝජිතයන් වුණේ ස්ටාලින්ගේ සුවච කීකරු හෙන්චයියන් තිදෙනෙක්. ලිතුවේනියාවට යවන ලද ව්ලදිමීර් දෙකනෝසෆ්, ලැත්වියාවට යවන ලද අන්ද්‍රේයි විෂීන්ස්කි සහ එස්තෝනියාවට යවන ලද අන්ද්‍රේයි ෂ්දානෆ් ඔවුන් තිදෙනායි.

ජූනි 14 වනදා සෝවියට් රජය විසින් ලිතුවේනියාවට අවසානාත්මක නිවේදනයක් එවනු ලැබුණා. එයින් සෝවියට් රජය ලිතුවේනියාවට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා. ලිතුවේනියා රජය ඉල්ලා අස්වීම, ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීම සහ සෝවියට් දේශයට රිසි තරම් රතු හමුදාවන් ලිතුවේනියාව වෙත එවීමට අවසර දීම එම ඉල්ලීම් අතර වුණා. මේවා ඉටු කිරීමට ලබා දුන්නේ පැය නවයක කාලයක් පමණයි.

ලිතුවේනියාව මෙම ඉල්ලීම් පිළිගත් නමුත් එරටින් ලැබුණ ප්‍රතිචාරය අසතුටුදායක බව කියා සිටි සෝවියට් දේශය ජූනි 15 වනදා ලිතුවේනියාවට රතු හමුදාව එවීමට කටයුතු කළා. මීළඟ දින කිහිපයේදි ලැත්වියාව හා එස්තෝනියාව යන දෙරටට ද මෙසේ අවසානාත්මක නිවේදන නිකුත් කරමින් ඒවායේ සෝවියට් හමුදා රඳවන්නට සෝවියට් දේශය ක්‍රියා කළා.

1940 දී එස්තෝනියාව​, ලැත්වියාව සහ ලිතුවේනියාව​ (lithuaninanmaps.com)


මෙයින් පසුව බෝල්ටික් රටවල් තුනේ කොමියුනිස්ට් පක්ෂ හැර සියළු දේශපාලන පක්ෂ තහනම් කරනු ලැබුණා. ඒවායේ ජූලි 14 වනදා මැතිවරණ පවත්වනු ලැබුණා. වෙනත් පක්ෂ නොවූයෙන් එහිදී කොමියුනිස්ට් පාක්ෂිකයන් පාර්ලිමේන්තුවලට පත් වුණා.

ඉන් පසුව මේ රටවල් තුනේ පාර්ලිමේන්තු තම රටවල් සෝවියට් දේශයට එක් කරගන්නා ලෙස සෝවියට් දේශයේ උත්තරීතර සෝවියට් සභාවෙන් ඉල්ලා සිටියා. මෙසේ අගෝස්තු 3 වනදා ලිතුවේනියාව ද, අගෝස්තු 5 වනදා ලැත්වියාව ද, අගෝස්තු 6 වනදා එස්තෝනියාව ද සෝවියට් දේශයට එකතු කරගැනුණා.

නට්සි ජර්මනිය මෙම ක්‍රියාව ගැන එතරම් සතුටු වුණේ නැහැ. නමුත් 1939 දී දෙරට අතර අත්සන් කරන ලද නිරාක්‍රමණික ගිවිසුමෙහි රහස්‍ය කොටසට අනුව බෝල්ටික් රටවල් සෝවියට් බලපෑම් කලාපයට ඇතුලත් කරන ලද බැවින් මීට එරෙහි වෙන්නත් නට්සි ජර්මනියට පදනමක් තිබුණේ නැහැ. අනෙක් අතට ඒ වෙද්දී ජර්මනිය සිටියේ බ්‍රිතාන්‍යය සමග සටන පිළිබඳ පූර්ණ අවධානයෙන්. එහෙයින් බෝල්ටික් රටවල් ගැන ලොකු අවධානයක් දෙන්න ඔවුන්ට බැරි වුණා.