Thursday, April 29, 2021

රුසියාවේ ත්සාර් දෙවන අලෙක්සන්දර්

1818 අප්‍රේල් 29 වනදා, මොස්කව් ක්‍රෙම්ලිනයේ කුඩා නිකුලස් මන්දිරයේදී රුසියාවේ ත්සාර් දෙවන අලෙක්සන්දර් උපත ලැබුවා. එකල රුසියාවේ ත්සාර් වූ පළමුවන අලෙක්සන්දර්ගේ බාල සහෝදරයා ද, අනාගත ත්සාර්වරයකු ද වූ පළමු නිකුලස්ගේ පුත්‍රයා වූ දෙවන අලෙක්සන්දර්, 1855 දී ත්සාර් ලෙස පත්වුණා.

මහා පීටර් විසින් රුසියාවේ අගනුවර පීතර්බුර්ග් වෙත ගෙනගිය බව ඔබ දන්නවා. 1725 න් පසු රුසියාවේ පාලනයට පත් වූ සියළු අධිරාජයින් හා අධිරාජිණියන් අතුරින් මොස්කව්වලදි උපන් අයකු වන්නේ දෙවන අලෙක්සන්දර් පමණයි. සම්ප්‍රදායිකව ත්සාර් පවුල පාස්කු නිවාඩුවට මොස්කව් පැමිණීමේ සිරිතක් වුණා. අලෙක්සන්දර් උපන්නේ එවන් අවස්ථාවකයි.


දෙවන අලෙක්සන්දර් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ 1861 දී ප්‍රවේණිදාසයන් නිදහස් කිරීම නිසයි. එහෙයින් ඔහු "විමුක්තිදායකයා" ලෙස නම් ලැබුවා.

දෙවන අලෙක්සන්දර්ගේ ජීවිතය, ආදර කතා, ඔහු මුහුණදුන් ඝාතන ප්‍රයත්නයන් හා ඔහුගේ ඝාතනය ආදිය ගැන ලියන්න කරුණු බොහෝ තියෙනව. වෙලාවක් වුණොත් ලියන්නම්.

දෙවන අලෙක්සන්දර්ට මරණාත්මක බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සාදවන ලද දේවස්ථානය ගැන මෙතැනින් කියවන්න​: සාන්ත පීතර්බුර්ග් නගරයේ පාට පාට පල්ලිය

Monday, April 26, 2021

ජර්මන් හරිත පක්ෂය පළමු වරට ජනප්‍රියම දේශපාලන පක්ෂය බවට පත්වෙයි

ජර්මනියේ පවත්වන ලද සමීක්ෂණයකදී පළමු වරට එරට හරිත පක්ෂය අන් දේශපාලන පක්ෂ සියල්ල අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.

Bild am Sonntag පුවත්පත වෙනුවෙන් Kantar ආයතනය විසින් සිදුකළ "ඉරිදා ප්‍රවණතා" සමීක්ෂණයේදී හරිත පක්ෂය සියයට 28 ක ජනප්‍රියත්වයක් පෙන්නුම් කළා. මෙය කලින් සතියට වඩා සියයට හයක් ඉදිරියට පැමිණීමක් වනවා.

බෙයර්බොක් සහ මර්කල් (DPA)


චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ CDU/CSU සන්ධානය සියයට 27 ක ජනප්‍රියත්වයක් පෙන්වන අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 13 ක ජනප්‍රියත්වයක් පෙන්වනවා.

අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය පක්ෂය සියයට 10 ක ජන ප්‍රසාදයක් ලබාගනිද්දී අන්ත වාමාංශික "වාම පක්ෂය" සියයට 7 ක ජන ප්‍රසාදයක් වාර්තා කර තිබෙනවා. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 9 ක ප්‍රසාදයක් වාර්තා කළා.

කියවන්න: ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ

හරිත පක්ෂය මෙම ජනප්‍රියත්වය පෙන්නුම් කරන්නේ අන්නාලීනා බෙයර්බොක් පක්ෂයේ චාන්සලර් අපේක්ෂකයා ලෙස නම් කරන ලද පසුවයි. CDU/CSU සන්ධානය ද තම අපේක්ෂකයා ලෙස අමීන් ලැෂෙට් නම් කළේ ජනතාව අතර වඩා ජනප්‍රිය පුද්ගලයා වන CSU නායක මාර්කස් ෂ්‍යෝඩර් පසෙකට දමමින්.

මේ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සිය චාන්සලර් අපේක්ෂකයා ලෙස ඔලාෆ් ෂොල්ට්ස් නම්කළා. ඔහු පසුගිය දා බෙයර්බොක් විවේචනය කළේ ඇය පරිපාලනයේ අත්දැකීම් අඩු අයකු බව ප්‍රකාශ කරමින්. දැනට උප චාන්සලර් ධුරය​ දරන ෂොල්ට්ස් පවසන්නේ ජර්මනිය වැනි විශාල කාර්මික රාජ්‍යයක් මෙහෙයවීමට සුදුසු වන්නේ තමන් වැනි පළපුරුදු අයකු බවයි. ෂොල්ට්ස් සහ බෙයර්බොක් එකම ප්‍රදේශයේ දේශපාලකයන් වන හෙයින් ඔවුන් අතර පැහැදිලි තරගයක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර පසුගිය සතිය තුළ හරිත පක්ෂයට අලුතින් සාමාජිකයන් 2,159 ක් එක්ව ඇතැයි එම පක්ෂය සඳහන් කළා.

Saturday, April 24, 2021

G5 සහේල් සංවිධානය​

අප්‍රිකාවේ සහරා කාන්තාරය සහ නිවර්තන කලාපීය ප්‍රදේශ අතර පිහිටි අර්ධ ශුෂ්ක සහේල් කලාපය ආශ්‍රිතව පිහිටි රටවල් පහක එකමුතුවක් G5 සහේල් (G5 du Sahel) නමින් හඳුන්වනු ලබයි.

මෙම සංවිධානය පිහිටුවාගනු ලැබුනේ 2014 පෙබරවාරි 15 සිට 17 දක්වා පැවති අන්තර්ජාතික සමුලුවකදී ය​.



මෙම සංවිධානයේ සාමාජිකයන් වන්නේ මොරිටානියාව​, මාලි, බුර්කිනා ෆාසෝ, නයිජර් සහ චැඩ් ය​. මෙම සියල්ල පැරණි ප්‍රංශ යටත් විජිත වේ. එහෙයින් මෙම සංවිධානය සහ ප්‍රංශය අතර සමීප සබඳතාවයක් දක්නට ලැබේ.

2014 දෙසැම්බරයේදී මෙම සංවිධානයට අයත් වන රටවල් ගිවිසුමකට එළඹියේය​. එමෙන්ම සංවිධානයේ නිත්‍ය ලේකම් කාර්යාලය මොරිටානියවේ පිහිටු වීමට​ කටයුතු කෙරිණ​.

මෙම රටවල්වල ආර්ථික දියුණුව සහ ආරක්ෂාව සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳ මෙම සංවිධානය අවධානය යොමු කරයි. මෑත කාළයේදී ඉස්ලාමික අන්තවාදී සංවිධානවලින් එන තර්ජනයන් පිළිබඳ ද විශේෂ අවධානයක් ඔවුන් යොමු කර තිබේ. ප්‍රංශය විසින් කලාපයෙහි 5,100 ක පමණ වන හමුදාවක් මේ වනවිට නවත්වා තිබේ.

G5 සහේල් සංවිධානය ධරණීය සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. සංවර්ධන අවශ්‍යතා වන පරිපාලනය​, ආරක්ෂාව​, ආර්ථික ශක්තිය සහ යටිතල පහසුකම් ආදිය පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා ආයෝජන ප්‍රමුඛතා වැඩසටහන නම් වැඩ පිළිවෙලක් ද ඔවුහු අනුගමනය කරති.

Friday, April 23, 2021

ලෙනින් තම ආරූඪ නාමය තෝරාගත්තේ කෙසේද?

සෝවියට් රුසියාවේ සහ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලදිමීර් ඉලීච් උල්යානෆ් වඩාත් ප්‍රසිද්ධ වුණේ ලෙනින් යන නමින්. ලෙනින් යනු ඔහු 1901 දි පමණ භාවිතයට ගන්නා ලද ආරූඪ නාමයක්. සාමාන්‍යයෙන් රහසිගත දේශපාලනයේ යෙදුණ බල්ෂවික්වාදීන් මෙවැනි ආරූඪ නාම භාවිතා කිරීම ප්‍රකට කරුණක් වුණා. එමෙන්ම ඔවුන් ඇතැම්විට එවන් නම් ගණනාවක් භාවිතා කළා.

ලෙනින් යනු උල්යානෆ් භාවිතා කළ ආරූඪ නාම 146 කින් එකක්. මේ නම් අතර රුසියානු නම් 129 ක් සහ විදෙස් නම් 17 ක් වූ බවයි කියවෙන්නේ.


නමුත් ඔහු භාවිතා කළ අන් සියළු නම්වලට වඩා ප්‍රකට වූයේ ලෙනින් යන නමයි. ඔහු ඒ නම තෝරාගත්තේ කවර හේතුවක් නිසාද යන්නත් විවාදයට තුඩුදෙන කතාවක්. උල්යානෆ් කිසිදු දිනෙක ලෙනින් යන නමෙහි උපත පැහැදිලි නොකළ හෙයින් මෙම විවාදය කිසිදිනෙක සම්පූර්ණයෙන් විසඳෙනු ඇතැයි සිතන්නත් අපහසුයි.

ලේනා නදියෙන් ලෙනින්

මෙයින් වඩාත් ජනප්‍රිය සහ වැඩි පිළිගැනීමක් ලැබී ඇති මතය වන්නේ ලෙනින් සිය නාමය රුසියාවේ මහා ගංගාවක් වන ලේනා නදිය ඇසුරින් ගෙතූ බවයි. ඇතැමුන් විශ්වාස කරන්නේ එය ලේනා හෝ එලේනා හෝ යන කාන්තා නම ඇසුරින් ගොඩනගන ලද බවයි. එහෙත් එය එතරම් ජනප්‍රිය මතයක් නොවේ.

Pic - The Moscow Times

ලෙනින්ගේ ලේලියක වූ ඔල්ගා උල්යානවා ද විශ්වාස කරන්නේ ලේනා නදිය ඇසුරින් ලෙනින් යන නම පටබඳින්නට ඇති බවයි. එකල වොල්ගා නදිය ආශ්‍රයෙන් පටබැඳුණ වොල්ගින් යන නම බොහෝදෙනා භාවිතා කරන ලද හෙයින් එය උල්යානෆ් භාවිතා නොකළ බව ඇය විශ්වාස කරනවා.

රුසියානු මාක්ස්වාදයේ පියාලෙස සැලකෙන ප්ලෙහානෆ් වොල්ගින් යන නම භාවිතා කළ නිසා ඔහුව උපහාසයට ගැනීමටත් උල්යානෆ් ලෙනින් යන නම ගත්තේ යයි මතයක් තිබෙනවා. එසේ වී නම් එය රුසියානු වාමාංශිකයන්ට පමණක් වැටහෙන දේශපාලන උපහාසයක් වන්නට ඇති.

ගමන් බලපත්‍රයක්

ලෙනින් තමන්ව "එන්. ලෙනින්" යනුවෙන් හඳුන්වාගන්නට පටන්ගෙන ඇත්තේ 1901 දී යි. එයට සමකාලීනව ඔහුට ඔහුගේ මිතුරකු සිය පියාගේ පැරණි ගමන් බලපත්‍රයක් දුන් බවට සඳහන් වනවා. එහි අයිතිකරුගේ නම නිකොලායි ඊගරවිච් ලෙනින් වූ අතර එහි උපන්දිනය වෙනස් කර තිබුණ බව සඳහන්. රටින් පිටවීමට වරක් ලෙනින්ට මෙම ගමන් බලපත්‍රය උපකාර වූ බව කියවෙනවා. කෙසේ නමුත් පසුව ඔහු ඒ නම භාවිතා කරන්නට අදහස් කර ඇතැයි මේ මතය අනුව පැවසෙනවා.

නිකොලායි ලෙනින්ගේ පවුල රදළ පවුලක්. සයිබීරියාවෙහි රුසියන් බලය තහවුරු කිරීමේදී එක්තරා කොසැක්වරයෙක් සැලකියයුතු කර්තව්‍යයක් කර තිබෙන අතර එක් සීත කාලයක් ලේනා නදිය අසළ ගතකර තිබෙනවා. එහෙයින් ඔහුට ලෙනින් යනුවෙන් නමක් ලැබී තිබෙනවා. නිකොලායි ලෙනින් ඔහුගෙන් පැවතෙන්නෙක්. ඔහු කලක් රජයේ උපදේශකයකුව සිටි අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව යරොස්ලාව් ප්‍රදේශයේ ජීවත් වුණා.

කෙසේ වෙතත් නිකොලායි ලෙනින් මියගියේ 1902 දී බවයි සඳහන් වන්නේ. ඒ වනවිට ව්ලදිමීර් ඉලීච් සිය ආරූඪ නාමය භාවිතා කිරීමට පටන්ගෙන තිබුණා.

තොල්ස්තෝයි පාඨකයා

ලෙනින් රුසියාවේ මහා ගත්කතුවර ලෙව් තොල්ස්තෝයි මහත් රුචියෙන් කියවූවෙක්. එමෙන්ම ඔහු තොල්ස්තෝයි හඳුන්වා දුන්නේ "රුසියානු විප්ලවයේ කැඩපත" ලෙසයි. තොල්ස්තෝයි ලියූ "කසාකි" (කොසැක්වරු) නම් නවකතාවක අලේනින් (Olenin) නම් චරිතයක් වනවා. කොකේසස් ප්‍රදේශයට පිටුවහල් කෙරෙන අලේනින් එහි ස්වභාව සෞන්දර්යයට ආශක්ත වනවා. 1898 දී තමන් සයිබීරියාවට පිටුවහල් කෙරෙද්දී ව්ලදිමීර් ඉලීච් මෙම නවකතාව කියවූ බව ඔහුගේ බිරිඳ නදේස්දා කෘප්ස්කායා පවසනවා. අලේනින් සහ තමන් අතර සමාන්තර ස්වභාවයක් ලෙනින්ට හැඟෙන්නට ඇතැයි සිතන්න පුළුවන්. මෙම නම ඇසුරින් ලෙනින් තමන්ගේ නම ද තෝරාගන්නට ඇතැයි සිතිය හැකි බවයි ඇතැම් ඉතිහාසකරුවන් පෙන්වා දෙන්නේ.


ප්‍රධාන මූලාශ්‍රය: Why did Vladimir Lenin adopt the name ‘Lenin’? (Russia Beyond)

Thursday, April 22, 2021

වෙනත් රටක ආරක්ෂක ඇමති වූ සෝවියට් මාර්ෂල්වරයා

දෙවන ලෝක යුධ සමයෙන් අනතුරුව කොමියුනිස්ට් පාලනය නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයකටම ව්‍යාප්ත වුණා. මේ අතරින් එක් රටක් වුණේ පෝලන්තය යි. සෝවියට් හමුදාවන්හි සහ එහි සහය ලද පෝලන්ත කොමියුනිස්ට් හමුදාවන්හි බලපෑමෙන් පෝලන්තයේ කොමියුනිස්ට් රජයක් බිහිවුණා.

නැගෙනහිර යුරෝපයේ බොහෝ රටවල මෙන්ම පෝලන්තයේ ද කොමියුනිස්ට්වාදීන් මුලින්ම සිය ප්‍රතිවාදීන් මර්ධනය කළා. පසුව කොමියුනිස්ට් පක්ෂය තුළම සිටි ස්ටාලින්වාදී සෝවියට් ක්‍රමය සමග අනුගත නොවූවන් මර්ධනය කළා. කොමියුනිස්ට්වාදය පෝලන්තයට ගැලපෙන ලෙස සකස් කරගතයුතු බව විශ්වාස කළ ව්ලැඩිස්ලාව් ගොමුල්කා පෝලන්ත කම්කරු පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් නෙරපන ලද්දේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මේ අනුව 1948 දී බොලෙස්ලාව් බේරූට් එම තනතුරට පත්වුණා.

බේරූට් පෝලන්ත නායකයා වූ පසු සෝවියට් හමුදා වැඩියෙන් පෝලන්තයේ කටයුතුවලට සම්බන්ධ කෙරුණා. පෝලන්ත හමුදා ඒකක බොහොමයක අණදෙන නිලධාරී තනතුරු සෝවියට් නිලධාරීන් වෙත ලැබුණා. නමුත් වැදගත්ම සිදුවීම වූයේ 1949 දී සෝවියට් මාර්ෂල්වරයකු වූ කොන්ස්තන්තින් රකසෝව්ස්කි පෝල්න්තයේ ආරක්ෂක ඇමති ධුරයට පත්වීමයි.


රකසෝව්ස්කිගේ පවුල පෝලන්ත රදළ පවුලක්. රකසෝව්ස්කි උපන්නේ 1896 දී, එවක රුසියානු අධිරාජ්‍යය යටතේ නාමිකව ස්වතන්ත්‍ර ප්‍රදේශයක් වූ "සංගම් පෝලන්තයේ" අගනුවර වූ වෝර්සෝ නගරයේ යි. 1914 දී රුසියානු අධිරාජ්‍යය වෙනුවෙන් හමුදාවට එක්වූ ඔහු 1917 න් පසු සෝවියට් පාලනය තෝරාගත්තා. පෝලන්තය ස්වාධීන රාජ්‍යයක් වූ පසුත් ඔහු පෝලන්තයට පැමිණියේ නැහැ.

දෙවන ලෝක යුද්ධයේ විශිෂ්ට සෝවියට් සෙන්පතීන් අතුරින් අයකු වූ ඔහු 1944 දී බග්‍රතියෝන් මෙහෙයුම සැලසුම් කරන තැන සිට සිදුකළ කාර්යයභාරය හේතුවෙන් මාර්ෂල්වරයකු බවට උසස් කෙරුණා.

1949 දී පෝලන්තයේ ආරක්ෂක ඇමති ලෙස ඔහු පත්වීම එරට තුළ සෝවියට් පාලනය පිළිබඳ පැහැදිලි සාධකයක් වුණා.

රකසෝව්ස්කිව පෝලන්ත වැසියන් දුටුවේ පෝලන්ත ජාතිකයකු ලෙස නොව රුසියානුවකු ලෙසයි. එහෙයින් ඔහු කළේ ජනප්‍රිය රාජකාරියක් නොවේ. පෝලන්ත ජාතිකයන් සහ රුසියානුවන් අතර ඓතිහාසික එදිරිවාදිකම ඉතා දිගු එකක් වූයෙන් කොමියුනිස්ට්වාදයට එය බලෙන් මර්ධනය කරනවා විනා, මුලිනුපුටා දමන්න හැකියාවක් වූයේ නැහැ.

"රුසියාවේදී ඔවුන් මා පෝලන්තකාරයකු යයි කියනවා. පෝලන්තයේදී ඔවුන් මා රුසියානුවකු යයි කියනවා" යනුවෙන් රකසෝව්ස්කි ම මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා.

1956 ජූනි මාසයේදී පෝලන්තයේ ඇතිවූ ජනතා විරෝධයෙන් අනතුරුව එරට ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුවූ අතර සෝවියට් ඍජු අධීක්ෂණය අඩු කෙරුණා. රකසෝව්ස්කිගේ ආරක්ෂක ඇමති රාජකාරිය ද එයින් අවසන් වුණා. 

Tuesday, April 20, 2021

ජර්මන් හරිත පක්ෂයේ චාන්සලර් අපේක්ෂිකාව

ජර්මනියේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී සිය පක්ෂයේ චාන්සලර් ධූර අපේක්ෂිකාව ලෙස අන්නාලීනා බෙයර්බොක් නම් කරන බව එම පක්ෂය නිවේදනය කළා. මෙයින් පෙර කිසිදු අවස්ථාවක හරිත පක්ෂය චාන්සලර් ධුරයට අපේක්ෂකයකු නම්කර නැහැ.


හතළිස් හැවිරිදි බෙයර්බොක් 2018 සිට පක්ෂයේ සම නායිකාව වනවා. බ්‍රැන්ඩන්බර්ග් ප්‍රාන්තයේ හරිත පක්ෂ නායිකාව ලෙස 2009 සිට 2013 තෙක් කටයුතු කළ බෙයර්බොක් 2013 සිට ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වනවා. ඇය හැම්බර්ග් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබාගෙන ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වෙතින් අන්තර්ජාතික නීතිය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා. ඇය ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස හසුරවන අයෙක්.

මෙවර මැතිවරණය සඳහා හරිත පක්ෂය ඉදිරිපත් වන්නේ අන් කිසිදු අවස්ථාවකට වඩා ප්‍රබලවයි. එහෙයින් තනිව ආණ්ඩු පිහිටුවීමක් පිළිබඳ සිතිය නොහැකි වුවද මීළඟ මැතිවරණයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගන්නා පක්ෂය බවට පත්වීමේ සැලකියයුතු අවස්ථාවක් හරිත පක්ෂයට තිබෙනවා.

Monday, April 19, 2021

අගමැතිවරයකුගේ දිවි නසාගැනීම - 1941

1941 අප්‍රේල් 18 වනදා ග්‍රීක අගමැති අලෙක්සන්ද්‍රොස් කොරිසිස් හිසට වෙඩි තබාගෙන දිවි නසාගත්තා.

අප්‍රේල් 6 වනදා ඇරඹුණ ජර්මන් ආක්‍රමණය හේතුවෙන් ග්‍රීක හමුදා වේගයෙන් පරාජය වීම මීට හේතුව ලෙස සැලකුණා. ග්‍රීක හමුදා 1940 ඔක්තෝබරයේ ඇරඹි ඉතාලි ආක්‍රමණය සාර්ථක ලෙස මැඩ පැවැත්වූවත්, ඉතාලි ප්‍රහාර හේතුවෙන් හමුදාවේ වැඩි කොටස වූයේ ඇල්බේනියා දේශසීමාවේ යි. එහෙයින් බල්ගේරියාවේ සිට ජර්මන් සේනා ග්‍රීසියට කඩා වැදෙද්දී ඊට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දැක්වීමට ග්‍රීක සේනා අසමත් වුණා.


1885 දී පෝරස් නම් කුඩා දිවයිනේ උපත ලද කොරිසිස් අගමැති ධුරයට පත් වූයේ 1941 ජනවාරි 29 වනදා යි. ඒ අගමැති ඉයොආන්නිස් මෙටක්සාස්ගේ මරණයෙන් පසුවයි.

ඇතැන්ස් නගරයේ කලබල ඇතිවේ යයි සැකය හේතුවෙන් කොරිසිස්ගේ මරණයට හේතුව මුලින් අනාවරණය කෙරුණේ නැහැ.


කෙසේ වෙතත් ග්‍රීසියේ දෙවන ජෝර්ජ් රජු යුධ නීතිය පනවා ඇතැන්ස් හි මහජන සාමය තහවුරු කළා. මේ අතර​ ජර්මන් සේනා නගරය දෙසට වේගයෙන් ඇදෙමින් සිටියා. ඔවුනට ඇතැන්ස් නුවරට ළඟාවීමට ගතවූයේ තවත් දින නවයක් පමණයි.

Sunday, April 18, 2021

ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ​

ජර්මන් ෆෙඩරල් ජනරජයෙහි ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකි.

Pic - DPA

ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව

(ඉංග්‍රීසි: Christian Democratic Union; ජර්මන්: Christlich Demokratische Union Deutschlands; කෙටි නම CDU)

1946 ජූනි 26 වනදා පිහිටුවන ලද මෙම පක්ෂය ජර්මනියේ ප්‍රධානම දක්ෂිනාංශික පක්ෂය වේ. කන්සර්වේටිව් හෙවත් පැරණි සිරිත් විරිත් අගයන​, ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රිකවාදී පක්ෂයක් වන මෙය ජර්මනියේ බැවේරියාව හැර අන් ප්‍රාන්තවල ක්‍රියාත්මකය​.

ක්‍රිස්තියානි සමාජ එකමුතුව

(ඉංග්‍රීසි: Christian Social Union; ජර්මන්: Christlich-Soziale Union in Bayern; කෙටි නම CSU)

ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ බැවේරියානු සගයා ය​. මෙම පක්ෂය ද කන්සර්වේටිව්, ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් වන අතර CDU පක්ෂයට වඩා කන්සර්වේටිව් පක්ෂයක් ලෙස සැළකේ.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

(ඉංග්‍රීසි: Social Democratic Party; ජර්මන්: Sozialdemokratische Partei Deutschlands; කෙටි නම SPD)

ජර්මනියේ ප්‍රධානම වාමාංශික පක්ෂය මෙයයි. 1863 මැයි 23 වනදා පිහිටුවන ලද සමස්ථ ජර්මන් කම්කරු සංගමය මෙහි මූලාරම්භකයා වේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන නම එය විසින් 1890 සිට භාවිතා කරයි.

වාම පක්ෂය

(ඉංග්‍රීසි: The Left; ජර්මන්: Die Linke; කෙටි නම LINKE)​

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වඩා වාමාංශික දේශපාලන පක්ෂයකි. මෙය 2007 දී පිහිටුවන ලද්දේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයේ පක්ෂය (PSD) සහ කම්කරු සහ සමාජ සාධාරණත්වය සඳහා ඡන්දදායකයන්ගේ විකල්පය නම් වූ පක්ෂ දෙකේ එකමුතුවෙනි. මෙයින් PSD යනු නැගෙනහිර ජර්මනියේ පාලක පක්ෂය වූ සමාජවාදී එක්සත් පක්ෂයේ අනුප්‍රාප්තිකයා ය​. මෙම පක්ෂය ප්‍රධාන වශයෙන් පැරණි නැගෙනහිර ජර්මනියේ ප්‍රබලය​.

90 සන්ධානය​/හරිතවේදීන්

(ඉංග්‍රීසි: Alliance '90/The Greens; ජර්මන්: Bündnis 90/Die Grünen; කෙටි නම GRÜNE)

සාමාන්‍යයෙන් හරිතවේදීන් (The Greens) ලෙස කියැවෙන මෙම පක්ෂය 1993 දී පිහිටුවන ලද්දේ පැරණි බටහිර ජර්මනියේ හරිත පක්ෂය සහ නැගෙනහිර ජර්මනියේ බිහිවූ 90 සන්ධානය යන පක්ෂ දෙක එකතු වීමෙනි.

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

(ඉංග්‍රීසි: Free Democratic Party; ජර්මන්: Freie Demokratische Partei; කෙටි නම FDP)

1948 දෙසැම්බර් 12 වනදා පිහිටවුන මෙම පක්ෂය විවෘත ආර්ථිකයට පක්ෂ​, ලිබරල්වාදී දේශපාලන පක්ෂයකි. මෙය පැරණි බටහිර ජර්මනියේ තුන්වන ප්‍රධානම පක්ෂය වූ අතර වර්තමාන ජර්මනියේද වැදගත් පක්ෂයකි. කෙසේ වෙතත් 2013 මැතිවරණයේදී ඊට සියයට 5 ජාතික ඡන්ද ප්‍රතිශත සීමාවට ළඟා වීමට නොහැකි වූයෙන් පාර්ලිමේන්තු නියෝජනය අහිමි විය​.

ජර්මනිය සඳහා විකල්පය​

(ඉංග්‍රීසි: Alternative for Germany; ජර්මන්: Alternative für Deutschland; කෙටි නම AfD)

2013 පෙබරවාරි 6 වනදා පිහිටුවන ලද ජර්මනිය සඳහා විකල්පය අන්ත දක්ෂිනාංශික​, ජාතිකවාදී පක්ෂයකි.

මීට අමතරව ජර්මනියේ අනෙකුත් පක්ෂ අතර නව​-නට්සිවාදී පක්ෂයක් ලෙස සැළකෙන ජර්මන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, පයිරට් පක්ෂය සහ තවත් කුඩා පක්ෂ ගණනාවක් වේ.

Monday, April 12, 2021

සර්බියාවෙන් සෝවියට් අභ්‍යවකාශගාමීන් සමරා මුද්දර එකතුවක්

අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ යූරි ගගාරින්ගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනට අද වසර 60 ක් සපිරෙනවා. 1961 අප්‍රේල් 12 වනදා වස්තොක්-1 යානයෙන් ඔහු අභ්‍යවකාශගත වුණා.


මෙම අවස්ථාව සැමරීමට සර්බියාව සමරු මුද්දර එකතුවක් මුද්‍රණය කර තිබෙනවා. එම එකතුවෙහි ගගාරින් මෙන්ම දෙවන සෝවියට් අභ්‍යවකාශගාමියා වූ ගර්මන් තිතෝෆ් (Gherman Titov) සහ පළමු කාන්තා අභ්‍යවකාශගාමියා වූ වැලන්තිනා තෙරෙෂ්කෝවා ද සැමරීම සඳහා මුද්දර සහ මුල් දින කවර වනවා.




ගර්මන් තිතෝෆ්ගේ අභ්‍යවකාශ ගමන සිදුවූයේ 1961 අගෝස්තු 6 වනදා වස්තොක්-2 යානයෙන්. ඒ වනවිට ඇමරිකාවේ ඇල්න් ෂෙපර්ඩ් සහ ගස් ග්‍රිසම් අභ්‍යවකාශ ගමන්වල නිරතව තිබුණෙන් ඔහු අභ්‍යවකාශගත වූ ලොව සිව්වැන්නා වුණා. කෙසේ වෙතත් පැය විසි පහක් වූ සිය සම්පූර්ණ ගමනේදී ඔහු පෘථිවිය වටා එක්වරකට වඩා ගමන් කළ මුල්ම තැනැත්තා වෙමින් 17 වරක් ඒ වටා ගමන් කළා. තිතෝෆ් ඒ වනවිට 26 වන උපන් දිනය ද පසුකර තිබුණේ නැහැ. එහෙයින් ඔහු අදටත් අභ්‍යවකාශගතවූ ලාබාලම පුද්ගලයා වනවා.

තෙරෙෂ්කෝවා වස්තොක්-6 යානයෙන් අභ්‍යවකාශගත වූයේ 1963 ජූනි 6 වනදා යි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 26 යි මාස 5 ක් වුණා.

Thursday, April 8, 2021

ඉන්දියාවේ එන්නත් හිඟය ගැන පක්ෂ විපක්ෂ භේදයක්

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල කෝවිඩ්-19 එන්නත් හිඟයක් වාර්තා වනවා. ප්‍රාන්ත කිහිපයක්ම එන්නත් හිඟයන් පිළිබඳ අනතුරු ඇඟවීම් කරනු ලැබ තිබෙනවා.

මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ පන්වේල් ප්‍රදේශයේ එන්නත් ලබාදීම නවත්වා තිබෙනවා. එමෙන්ම ප්‍රාන්තය සතුව දැනට ඇති සමස්ථ එන්නත් තොග දින තුනක් තුළ අවසන් වේ යයි මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තය පවසනවා.

Pic - Getty Images

මේ අතර වාරානසී ප්‍රදේශයේ රජය විසින් අනුමත එන්නත් මධ්‍යස්ථාන 66 න් එන්නත් ලබාදීම කෙරෙන්නේ 25 ක පමණයි. වාරානසී යනු අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන ආසනයයි.

මේ අතර මෝදි අද සිය දෙවන එන්නත් මාත්‍රාව ලබාගත් බව ප්‍රකාශ කළා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හර්ෂ් වර්ධන් මහාරාෂ්ඨ්‍ර, පන්ජාබ්, ඔදීෂා, රාජස්ථාන් ප්‍රාන්තවල සහ දිල්ලියේ රජයන්ට ව්‍යාජ එන්නත් හිඟයක් මවාපෑම ගැන චෝදනා කරනවා. හර්ෂ් වර්ධන් චෝදනා කරන්නේ මෙම ප්‍රාන්ත රජයන් සිය එන්නත්කරණ ව්‍යාපෘතියේ මන්දගාමීත්වය වසාගැනීමට ඉහළ ඉලක්ක ලබාදෙමින් එන්නත් ප්‍රමානවත් තරමට නොමැති බවට චෝදනා කරන බවයි.

මෙම ප්‍රාන්ත සියල්ලම භාරතීය ජනතා පක්ෂ පාලනය නොපවතින ප්‍රාන්ත වීම ද මෙහිදී වැදගත් කරුණක්. මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් දේශපාලනීකරණය කිරීම පිළිබඳ හර්ෂ් වර්ධන් එම ප්‍රාන්තවල රජයන්ට චෝදනා කරනවා.

ඉන්දියාව වෙනත් රටවලට ද සැලකියයුතු එන්නත් ප්‍රමාණයක් යවන හෙයින් එමගින් ද දේශීය අවශ්‍යතා පිළිබඳ ගැටළු ඇතිවන්නේ යයි චෝදනා මතු වනවා. කෙසේ වෙතත්, එසේ පිටරට යැවීම නවතා දැමුවද ප්‍රමාණවත් එන්නත් නොමැති යයි ඇතැම් විශේෂඥයන් පවසනවා.

පසුගිය සතිවල වේගවත් කරන ලද්දේ කෝවිඩ්-19 රෝගීන් වාර්තාවීම පැහැදිලි ලෙස ඉහළගොස් ඇති පසුබිමෙහි, ඉන්දියාවේ එන්නත්කරණය වේගවත් කරනු ලැබ තිබෙනවා. මෙය ද එන්නත් මාත්‍රා ප්‍රමාණවත් නොවීමට​ ඍජුව බලපා ඇති බවයි පෙනී යන්නේ.

Tuesday, April 6, 2021

2021 තමිල්නාඩු සහ කේරළ මැතිවරණ

තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්ත දෙකෙහි මැතිවරණ 2021 අප්‍රේල් 6 වනදා පැවැත්වෙනවා. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 සඳහා ද කේරළ ප්‍රාන්ත සභාවේ ආසන 140 සඳහා ද මෙම මැතිවරණය පවත්වනවා. එමෙන්ම​, එක් ප්‍රාන්තයක විරුද්ධවාදීන්, අනෙක් ප්‍රාන්තයේ එක්ව තරග කරන අමුතු අවස්ථාවක් ද මෙහිදී දකින්න පුළුවන්.


මෙහි තරග කරන පක්ෂ සහ ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වන කරුණු කිහිපයක් පිළිබඳ පහත පොඩ්කාස්ට් එකෙන් ඔබට අහන්න පුළුවනි.

2021 තමිල්නාඩු සහ කේරළ මැතිවරණ. භාරතීය ජනතා පක්ෂය දකුණු ඉන්දියාවට කඩාවදීද?

Monday, April 5, 2021

පරදින්න බලාගෙන තරග කරන දීපන්

ජනමාධ්‍යවේදියකු, යූටියුබර් කෙනෙකු සහ ව්ලොගර් කෙනෙකු වන දීපන් චක්‍රවර්ති මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන විශේෂ චරිතයක්.

නාමක්කල් ආසනයෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින ඔහුට ජයග්‍රහණය පිළිබඳ වැඩි බලාපොරොත්තු නැහැ.

ඔහු පවසන්නේ මධ්‍යම පාන්තික තරුණයකු වන ඔහුට ඡන්දය සඳහා වියදම් කිරීමට විශාල ධනයක් නොමැති බවයි. ඔහුගේ ආසනය සඳහා තමිල්නාඩුවේ ප්‍රධානම පක්ෂ දෙක වන DMK සහ AIADMK පක්ෂ දෙකම අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙනවා. කට් අවුට්, පෝස්ටර්, රූපවාහිනී දැන්වීම්, ගුවන් විදුලි දැන්වීම්, පුවත්පත් දැන්වීම් සඳහා මුදල් නැති ඔහු අත් පත්‍රිකා මුද්‍රණය කරගෙන ගෙන් ගෙට යමින් ප්‍රචාරණයෙහි යෙදෙනවා.

ඊට අමතරව තම ප්‍රචාරණ මාධ්‍යය වන්නේ යූ ටියුබ්, ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය බවයිඔහු පෙන්වා දෙන්නේ.

තරුණ ප්‍රජාව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමට සහ ඔවුන් දේශපාලන ක්‍රියාවලිය සඳහා සක්‍රියව දායක කරගැනීමට පොළඹවාගැනීමට තමන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවයි දීපන් පවසන්නේ. තම මැතිවරණ ව්‍යාපාරයේ නාම යෝජනා භාරදීමේ සිට සියළු ප්‍රධාන අවස්ථා ඔහු යූ ටියුබ් මගින් වාර්තා කරන්නේ ද එම අරමුණින්.

2021 අප්‍රේල් 6 වනදා තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන්නේ මැයි 2 වනදා යි. දීපන් කොතරම් ජනතාවකට ආමන්ත්‍රණය කර ඇතිදැයි එදාට බලමු.

Sunday, April 4, 2021

ජෝර්දානයේ මාලිගා කුමන්ත්‍රණය පිටුපස විදෙස් හස්තයක්?

ජෝර්දාන රජ පවුලෙහි සාමාජිකයන් ඇතුළු විසි දෙනකු පමණ අත් අඩංගුවට ගන්නාලද පුවත මීට අය කිහිපයකට පෙර එරට රජයේ පුවත් සේවය වන පෙට්‍රා ආයතනය මගින් නිවේදනය කෙරුණා.

රජ පවුලේ සාමාජිකයකු වන හසන් බින් සයිද්, දෙවන අබ්දුල්ලා රජුගේ සමීපයකු වන බාසම් ඊබ්‍රහීම් අවදල්ලාහ් සහ තවත් නම සඳහන් නොකළ පිරිසක් අත් අඩංගුවට ගනු ලැබ තිබෙනවා.


එමෙන්ම හිටපු කිරුළ හිමි කුමරු මෙන්ම දෙවන අබ්දුල්ලා රජුගේ අර්ධ සහෝදරයා වන හම්සා බින් අල්-හුසේන් මෙන්ම ඔහුගේ මව වන නූර් රැජිණ ද රඳවාගන්නා ලද බවයි වාර්තා වූයේ. හම්සා බින් අල්-හුසේන් කුමරු සැටලයිට් තාක්ෂණය ඔස්සේ පවසා සිටියේ තමන් නිවාස අඩස්සියට පත්කරනු ලැබ ඇති බවයි.

ඔහුට ජාතික ආරක්ෂාවට බාධා වන අයුරින් කටයුතු නොකරන ලෙස දැඩි ලෙස අවවාද කෙරුණ බව පෙට්‍රා ආයතනය පැවසුවා.

මෙම අත් අඩංගුවට ගැනීම්වලට හේතුව දෙවන අබ්දුල්ලා රජුබලයෙන් නෙරපා හැරීමට කුමන්ත්‍රණයක් සිදුවෙමින් පැවතීම බවයි සැක කෙරෙන්නේ. මෙම මාළිගා කුමන්ත්‍රණය පිටුපස විදෙස් හස්තයක් ඇති බවට ද සැක මතුවෙමින් පවතිනවා.

මෙම මාළිගා කුමන්ත්‍රණය මෑතකාලීනව ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර සබඳතා පුළුල් වීමේ පසුබිමෙහි අරාබියේ බල තුලනය එහා මෙහා කිරීමේ උත්සාහයක් වියහැකි යයි සැක මතුව තිබෙනවා.

බාසෙම් අවදල්ලාහ් කලක් ජෝර්දානයේ ආර්ථික කටයුතු ඇමතිවරයා ද වූ අතර ඔහුට අරාබියේ අන් රටවල ද ව්‍යාපාරික සබඳතා තිබෙනවා.

1999 දී හුසේන් රජුගේ අභාවයෙන් පසු රජකමට පැමිණි දෙවන අබ්දුල්ලා රජු බටහිරට සමීප ප්‍රතිපත්ති අනුගමනය කරන්නෙක්. කෙසේ වෙතත් මෑත කාලයේ ඔහුගේ රජය විසින් සිවිල් නිදහස සීමා කරන බවට චෝදනා මතුවුණා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් පනවන ලද සීමා උපයෝගී කරගෙන විරුද්ධවාදීන් මර්ධනය කරන බවට රජයට එරෙහිව චෝදනා එල්ල වනවා.

1999 සිට 2004 වසර වනතෙක් ජෝර්දානයේ කිරුළ හිමි කුමරුවා වූයේ හම්සා බින් අල්-හුසේන් කුමරුයි. පසුව දෙවන අබ්දුල්ලා රජු විසින් තම පුත්‍රයාව එම තනතුරට පත්කරනු ලැබුණා.

Saturday, April 3, 2021

1971 කැරැල්ල - සටන්කාමීන්ගේ උපක්‍රම​

1971 අප්‍රේල් කැරැල්ල ශ්‍රී ලංකාවේ දේශපාලනයේ එක්තරා නොමැකෙන සන්ධිස්ථානයක් බවට විවාදයක් නැහැ. මේ කැරැල්ල නිදහසින් පසු ලංකාවේ ආයුධ සන්නද්ධ නැගිටීමකින් බලය අල්ලා ගන්න කරපු පළමු උත්සාහය වුණා. ඒ වගේම එයට සහභාගී වූ ඉතා විශාල පිරිසක් තරුණ තරුණියන් වූ නිසා ලංකා ඉතිහාසයේ පළමු තරුණ කැරැල්ල ලෙසත් මෙය හඳුන්වන්න පුලුවනි.

මෙම කැරැල්ලේදී රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා කරන ලද උපක්‍රමය වූයේ රටේ පොලීසිවලට එකම අවස්ථාවේ පහර දීමයි. එමෙන්ම එවකට අගමැතිණිය වූ සිරිමා බණ්ඩාරනායක සහ හමුදාපතිවරුන් ආදී ප්‍රබලයින් කිහිප දෙනෙකු තම භාරයට ගෙන රටේ ආරක්ෂක අංශ සහ පරිපාලනය අකර්මණ්‍ය කිරීමටත් සැලසුමක් සකස් වී තිබුණා.

Pic - CMU

1971 අප්‍රේල් 5 වනදා උදෑසන 5 ට වැල්ලවාය පොලිසියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ළඟ එන ප්‍රහාරය පිළිබඳ රජයට අනතුරු ඇඟවීමක් ලැබුණ හෙයින් කැරැල්ල අසාර්ථක වූ බව කිව හැකියි. නමුත් අනෙක් අතට , ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ උපක්‍රමය වැරදීම් සිදුවීමට ඇති තරම් ඉඩකඩ තිබූ එකක් බවත් කිව යුතුයි.

බලය ඇල්ලීම

ජනතා විමුක්ති පෙරමුණේ පළමු නායක රෝහණ විජේවීර දේශපාලනය ඇරඹුවේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ (පීකිං පිළ) හෙවත් ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂයෙන්. කෙසේ නමුත් එම පක්ෂයේ මහ ලේකම් එන්. ෂන්මුගදාසන් සමග මතභේද ඇති කරගත් විජේවීර තම හිතවාදීන් එක් කරගෙන පක්ෂයේ බලය අල්ලාගැනීමට සැලසුම් කළා. අක්මීමණ ප්‍රදේශයේ ඩබ්. ටී. කරුණාරත්නගේ නිවසේ එම හිතවාදීන් කිහිපදෙනෙකුගේ රැස්වීමක් 1965 මැයි මාසයේදී පැවැත්වුණා. වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය ලෙස සළකනු ලබන්නේ මෙම රැස්වීමයි.

විජේවීර හිතවාදීන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ බලය අල්ලාගන්නට නොහැකි වූ අතර 1966 දී විජේවීර පක්ෂයෙන් ඉවත් කෙරුණා. ඉන්පසු ඔහු සිය කණ්ඩායම ගොඩ නගන්නට වුණා.

අක්මීමණ සාකච්ඡාවෙන් සුළු කලකට පසු විජේවීර පාර්ශවය අනුරාධපුරයේ ගල්කුලම දී සහ හම්බන්තොට කිරින්දේ දී ගොවිපල දෙකක් පටන් ගත්තා. කිරින්ද ගොවිපල මුහුදටත්, කලපුවකටත්, වනාන්තරයටත් මායිම් වූ එකක්. අවශ්‍ය වුණහොත් පිටරටින් ආයුධ ගෙනැවිත් ගොඩ බෑමට මෙය උචිත ස්ථානයක් බව විජේවීර ප්‍රකාශ කළා යැයි අප්‍රේල් කැරැල්ලෙහි ප්‍රධාන විත්තිකරුවන් සම්බන්ධ වූ අප්‍රේල් මහ නඩුවේ පළමු විත්තිකරු වූ එස්.වී.ඒ. පියතිලක ප්‍රකාශ කර තිබෙනවා.

1971 කැරැල්ල හා සම්බන්ධ වූ එවක ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් සිය 71 කැරැල්ල පොතෙහි සඳහන් කරන පරිදි බලය ඇල්ලීම පිළිබඳ අදහසක් පැවතිය ද ඒ සඳහා නිශ්චිත උපක්‍රමයක් විජේවීර තුළ මුල් කාලයේ තිබී නැහැ. ඔහු ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ ඩී. අයි. ජී. ධර්මසේකර සහ ඩී. ඒ. ගුණසේකර යන දෙදෙනා සංවිධානයට එක් වීමෙන් පසුවයි.

ධර්මසේකර කලක් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (මොස්කව් පිළ ) සමඟත් සම්බන්ධ වී සිටි අයෙක්. ඔහු ෆිදෙල් කැස්ත්‍රෝගේ විප්ලවය පිළිබඳ පැහැදී සිටි අතර එම ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කළ හැකි යයි විශ්වාස කළා. එම ක්‍රමය අනුව විප්ලවයේ කේන්ද්‍රය විය යුත්තේ ගරිල්ලා සටන්කාමී කණ්ඩායමයි. ඔවුන් විසින් සිය යුධ ව්‍යාපාරය හරහා ජනතාවට විප්ලවයේ පණිවිඩය ගෙන යා යුතු වුණා. මේ අනුව සුළු සන්නද්ධ කණ්ඩායමක් ගරිල්ලා ක්‍රමයේ සටන් මගින් එම ව්‍යාපාරයට නායකත්වය දිය යුතු වුණා.

ලංකා සම් භාණ්ඩ සංයුක්ත මණ්ඩලයේ කම්කරුවකු වූ ඩී. ඒ. ගුණසේකර චීන කොමියුනිස්ට් පිළෙන් කැඩී ආවෙක්. ඔහු මාඕ සේතුංගේ විප්ලව න්‍යාය පිළිගත් අයෙකු වුණා. ප්‍රාදේශීයව මූල කඳවුරු පිහිටුවාගෙන කෙමෙන් නගර යටත් කිරීමේ දිග්ගැස්සුණ ජනතා යුද්ධ න්‍යායය ඔහු විසින් පිළිගනු ලැබූ ක්‍රමවේදයයි.

කැස්ත්‍රෝ සහ මාඕ ප්‍රතික්ෂේප කිරීම

විජේවීර මෙම ක්‍රම දෙකම ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ ම ස්වාධීන න්‍යායයක් ඉදිරිපත් කළා. ඔහු මෙම ක්‍රමය ජනතා විමුක්ති පෙරමුණේ සුප්‍රකට පන්ති පහෙන් අවසන් පන්තිය වූ “ලංකාවේ විප්ලවය ගත යුතු මග ” යන පන්තියට ඇතුලත් කළා.

කැස්ත්‍රෝ සහ මාඕ දෙදෙනාගේ විප්ලවවාදී උපක්‍රම ප්‍රතික්ෂේප කිරීම සඳහා විජේවීර යොදාගත් තර්කය වූයේ ලංකාවේ පවතින සුවිශේෂී තත්ත්වයන්ට ගැළපෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. කියුබාවේ විප්ලවය වන සමයේ හමුදා ආණ්ඩුවක් පැවති බවත් එහෙයින් ජනතාව සංවිධානය කිරීම අපහසු වූ බවත් එහෙයින් කැස්ත්‍රෝගේ ක්‍රමය අනුගමනය කළ යුතු වූ බවත් විජේවීර කියා සිටියා.

මාඕ

මාඕගේ ක්‍රමය පිළිබඳ ඔහුගේ විවේචනය වූයේ ලංකාවේ සෑම ප්‍රදේශයක් ම මහාමාර්ග පද්ධතියකින් එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින් මූල කඳවුරු පිහිටුවීමට සුදුසු ආරක්ෂිත ප්‍රදේශයක් සොයාගැනීම අපහසු බවයි. මාඕ සේතුං විප්ලවය දියත් කරන සමයේ චීනයේ අභ්‍යන්තර බෙදීම් තිබුණ බවත් පිටිසරබද පෙදෙස් සමඟ ප්‍රධාන ආණ්ඩුවේ සබඳතා අඩු වූ බවත් ඔහු සඳහන් කළා.

මේ අනුව ලංකාව පුරා පොලිස් ස්ථානවලට එකවර පහර දීමේ “විසිරුණු හා ක්ෂණික අරගල න්‍යායය ” ලංකාවේ විප්ලවය ගතයුතු මග බව විජේවීර කියා සිටියා.

සැන්සිබාරයෙන් ලද ගුරුහරුකම

ඇතැම් අය තුළ පවතින අදහසක් වන්නේ විජේවීර විප්ලවය සඳහා තමන්ගේම න්‍යායක් නිර්මාණය කළ බවයි. වික්ටර් අයිවන් සිය 71 කැරැල්ල පොතෙන් කියා සිටින්නේ විජේවීර මෙසේ අලුත් න්‍යායක් ගොඩ නැගුවේ පක්ෂයේ අතිශයින්ම තීරණාත්මක ප්‍රශ්නයකදී තවත් කෙනෙකුගේ අදහස බාර ගැනීමට ඔහු තුළ වූ අකමැත්ත නිසා බවයි .

කෙසේ නමුත් එකල ක්‍රියාකාරී වූ ජවිපෙ නායකයන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර තිබුණේ විජේවීර තනිවම ස්වාධීන න්‍යායක් ගොඩ නැගුවා නොව වෙනත් රටකින් ඊට ගුරුහරුකම් ද ලබාගත් බවයි.

1964 ජනවාරියේදී සැන්සිබාරයේ විප්ලවයෙන් එරට ඇෆ්‍රෝ ෂිරාසි පක්ෂය බලයට පැමිණියා. මෙහිදී ඔවුන් අනුගමනය කළ ක්‍රමය වූයේ රටේ පොලිසියට පහර දී එයින් අල්ලාගන්නා ලද ආයුධ ද යොදවාගෙන අගනුවර බලය ඇල්ලීමයි. මෙම විප්ලවවාදී ව්‍යාපාරයේ නායකයා වූයේ අබෙයිඩ් කරුමේ නැමැත්තෙක්. ඔහු ලුමුම්බා සරසවියේදී විජේවීරගේ සමකාලීනයකු වුණා.

අබෙයිඩ් කරුමේ (mwananchi.co.tz)

විජේවීර පාර්ශවය සැන්සිබාර ක්‍රමයට බලය අල්ලාගන්නට බලාපොරොත්තු වන බව 1971 කැරැල්ලේදී කෑගලු දිස්ත්‍රික් නායකයා වූ සරත් විජේසිංහ ඊට වසර කිහිපයකට පෙර තමන් සමඟ පැවසූ බව නීතීඥ කල්‍යානන්ද තිරාණගම මීට වසර කිහිපයකට පෙර දිවයින පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා . තිරාණගම එම සමයේ චීන පිළෙන් ඉවත් ව ක්‍රියාත්මක වූ මාවෝවාදී කණ්ඩායමක සාමාජිකයකු වුණා.

කෙසේ නමුත් එම සැලැස්ම ව්‍යර්ථ වුවහොත් ගතයුතු පියවර පිළිබඳ විජේවීර පාර්ශවයට ඒ වනවිට අදහසක් නොවූ බව විජේසිංහ සමඟ කළ සාකච්ඡාවලදී පැහැදිලි වූ බවත් තිරාණගම සඳහන් කර තිබෙනවා.

කඩදාසියේ යුද්ධ කිරීම

කෙසේ වෙතත් වික්ටර් අයිවන් සඳහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ 1971 දී ලංකාව පුරා පොලිසිවලට පහර දීමට තරම් සන්නද්ධ ශක්තියකින් නොවූ බවයි. අනෙක් අතට එසේ සන්නද්ධ වීම සහ පුහුණු වීම රහසේ කළ හැකි දෙයක් නොවන බව ඔවුන් තේරුම් ගත යුතුව තිබුණා.

සැන්සිබාරයේ එක් රැයකින් රජය පෙරළීමට අවශ්‍ය වූයේ 1000 කට අඩු පිරිසක් වුවත් එයට හේතුව වූයේ සැන්සිබාරය කුඩා රටක් වීමයි. නමුත් ලංකාවේ එවැනි සුළු පිරිසකට එක රැයකින් රටේ බලය අල්ලාගැනීම කළ හැක්කක් වුණේ නැහැ. එහෙයින් බැලූ බැල්මට ආකර්ෂණීය ක්‍රමයක් වුවත් එක රැයකින් රටේ මර්මස්ථාන සියල්ලට පහර දී රටේ බලය ඇල්ලීම ප්‍රායෝගිකත්වයෙන් තොර බලාපොරොත්තුවක් වූ බව සඳහන් කරන්න පුළුවන්.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුණේ ඉතා සුළු තුවක්කු ප්‍රමාණයක්. එහෙයින් පුහුණු කඳවුරුවලදී පක්ෂ කාඩර්වරුන්ට අවි පුහුණුව ලබා දුන්නේ රූප සටහන් අනුසාරයෙනුයි. ඇත්තෙන්ම මෙය “කඩදාසියේ යුද්ධ කිරීමකට” වඩා වැඩි යමක් වුණේ නැහැ.

සංවිධානය සතු තුවක්කු සංඛ්‍යාව වැඩි කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කළේ බලපත්‍රලාභීන් සතු වූ තුවක්කු සොරකම් කිරීමයි. ඇතැම්විට නිවෙස්වලට සොරුන් පනින අවස්ථාවල තුවක්කු සහ පතරොම් පමණක් නැතිවන අවස්ථා වාර්තා වුණා. මේ අනුව ළඟ එන උවදුරක් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය යොමු වුණා.

අනතුරු

පොලිසිවලට පහර දීම සඳහා අත් බෝම්බ නිපදවීම, පරීක්ෂා කිරීම සහ ගබඩා කිරීම ද විවිධ තැන්වල සිදු වුණා. මෙවැනි කටයුත්තක් වුණත් ලොකු කාලයක් සඟවාගෙන සිටිය හැකි රහසක් නොවෙයි. අනතුරු සිදු වීමටත් ඒ ඔස්සේ රජයේ අවධානය ඒ වෙත යොමු වීමත් නොවැළැක්විය හැකි කරුණක් වුණා. 1970 දෙසැම්බර් 16 වනදා සිදු වූ එක් අනතුරකින් අයිවන් තුවාල ලැබීම එවන් එක් සිදුවීමක්.

කුඩා කණ්ඩායමක් රටක බලය අල්ලා ගන්නේ නම් කළ යුතුව තිබුණු හොඳම ක්‍රමය නම් රටේ අගනුවරට පහර දීම යි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ලේදී කොළඹ නගරයට පහර දීම සඳහා කුඩා පිරිසක් පමණක් සූදානම් කළ අතර ඔවුනට බාර දී තිබුණේ ප්‍රධාන ප්‍රභූන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම යි. ඒ යොදවපු පිරිස ඒ වැනි මෙහෙයුමකට කෙතරම් සූදානම් ද කියන කරුණත් විවාදාත්මකයි.

1971 මාර්තු මාසයේදී නෙලුම්දෙනිය ප්‍රදේශයේ බෝම්බ නිෂ්පාදනය කළ ස්ථානයක වූ පිපිරුමකින් පස් දෙනකු මිය ගියා. ඒ වගේම ඊට දින කිහිපයකට පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාර්ස් ශාලාවෙ පිපිරීමක් සිදු වුණා. ඉන් පසු කළ පොලිස් සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනු ලැබුණා. මේ අනුව ළඟ එන අනතුරක් ගැන රජයට ඉව වැටී තිබුණා.

මේ අතරෙ මාර්තු 13 වනදා ජවිපෙ නායක රෝහණ විජේවීර අත් අඩංගුවට ගෙන පසුව යාපනයේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. මේ අනුව අප්‍රේල් මාසයේ කැරැල්ල ක්‍රියාත්මක වන විට ජවිපෙ නායකයා සිටියේ සිර භාරයේ.

වැල්ලවාය පොලිසිය

1971 අප්‍රේල් 2 වනදා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයට රැස් වූ ජවිපෙ දේශපාලන මණ්ඩලය අප්‍රේල් 5 වනදා රාත්‍රී 11.30 ට ප්‍රහාරය දියත් කරන්නට තීරණය කළේ එහි ඇතැම් සාමාජිකයන් ඊට එරෙහි වූ පසුබිමකයි. විශේෂයෙන් ම කොළඹ ප්‍රදේශයේ තිබුණු අවම සූදානම පිළිබඳ ඇතැම් සාමාජිකයන් කරුණු දැක්වූ නමුත් අවසන් තීරණය වුණේ ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමටයි.

කෙසේ වෙතත් අප්‍රේල් 5 වනදා උදෑසන 5 ට වැල්ලවාය පොලිසියට පහර දෙනු ලැබුණා. මෙහිදී සිදුවී තිබුණේ ප්‍රහාරය කෙරෙන දිනය පිළිබඳ ඇතිවූ පැටලැවිල්ලක්. එදින රාත්‍රිය වනවිට රටේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබුණා. මේ හේතුව නිසා එදින රාත්‍රියේ ප්‍රහාරවලින් ජවිපෙ ක්‍රියාකාරීන් අතට පත් වුණේ පොලිස් ස්ථාන අතලොස්සක් පමණයි.

යම් හෙයකින් වැල්ලවාය ප්‍රහාරය කළින් එල්ල නොවී තිබුණා නම් අප්‍රේල් 5 රාත්‍රී ප්‍රහාරය සාර්ථක වීමට ඉඩ තිබූ බව ඇතැමුන්ගේ අදහසයි. අනාගතයේ සිදු වන දේ පිළිබඳව මෙන්ම ඉතිහාසයේ සිදු නොවූ දේ පිළිබඳවත් අනාවැකි කිව නොහැකි හෙයින් ඒ පිළිබඳ යමක් නිශ්චිතව කීම අසීරුයි. නමුත් මනාව සන්නද්ධ නොවූ, නුපුහුණු ක්‍රියාකාරිකයන් පිරිසක් සමඟ මෙවැනි බරපතල එල්ල කොට එය සාර්ථක කරගැනීම විශාල අභියෝගයක් වූ බව පැහැදිලිව කිව හැකියි.

මූලාශ්‍ර

1. වික්ටර් අයිවන්, 71 කැරැල්ල

2. වෛද්‍ය රුවන් එම්. ජයතුංග, 71 කැරැල්ල

3. උදේනි සමන් කුමාර, 71 අප්‍රේල් නඩු විභාගය – විජේවීරගේ හෘදය සාක්ෂිය

මුලින්ම පළවූයේ මෙහි ය​: සැන්සිබාරයෙන් ගුරුහරුකම් ලද 71 කැරැල්ල

Thursday, April 1, 2021

ජර්මන් පාක්ෂික ඉරාක රජයක් බිහිවීම - 1941

1941 අප්‍රේල් 1 වනදා ඉරාකයේ සිදුවූ කුමන්ත්‍රණයකින් බ්‍රිතාන්‍ය විරෝධී, අරාබි ජාතිකවාදී රජයක් බිහිවුණා.

ජාතිකවාදී ජෙනරාල්වරුන් සිව් දෙනකු මූලිකත්වය ගෙන දියත් කෙරුණ මෙම කුමන්ත්‍රණය මගින් හිටපු අගමැතිවරයකු වූ රශීද් අලි අල්-ගේලානි අගමැති ධුරයට පත්කළේ දැඩි බ්‍රිතාන්‍ය ගැත්තකු වූ නූරි අල්-සයිද් අගමැති ධුරයෙන් නෙරපා දමමින්.


නව රජයට ජර්මනියේ සහය ලැබුණා. එහෙත් ඒ වනවිට ද ඉරාකය තුළ, බැග්ඩෑඩ් අගනුවරින් කිලෝමීටර් 80ක් ඈත, බ්‍රිතාන්‍යයට අයත් විශාල ගුවන් හමුදා කඳවුරක් තිබුණා. එය හබ්බනියා කඳවුරයි. ඉරාක හමුදා එය වටලෑවා. නමුත් මැයි මස මුලදී බ්‍රිතාන්‍යයන් විසින් ඉරාක සේනාංක වෙත පහර දෙනු ලැබුණා. එයින් ස්වල්ප දිනකින් නව ඉරාක රජය බිඳවැටුණා.




ඡායාරූපයේ දැක්වෙන්නේ 1941 ඉරාක කුමන්ත්‍රණයේ සංවත්සරයක් ජර්මනියේ බර්ලින් හිදී සමරනු ලබන අවස්ථාවයි. මෙහි සභාව අමතමින් සිටින්නේ ගේලානි යි.