Wednesday, May 30, 2018

නයිජීරියානු සිවිල් යුද්ධය (බියාෆ්‍රා යුද්ධය​)

1967 මැයි 30 වනදා නයිජීරියාවේ නැගෙනහිර ප්‍රදේශය හෙවත් බියාෆ්‍රාව ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමෙන් පසු අප්‍රිකාවේ පසුගිය සියවසෙහි ඇති වූ බරපතල ම සිවිල් යුද්ධයකට මං විවර වුණා.

මෙසේ ස්වාධීනතාව ප්‍රකාශ කිරීමට හේතු වූයේ නයිජීරියාවේ විවිධ ජනකොටස් අතර වූ විරසකයන් සහ දේශපාලන අස්ථාවරභාවයයි.

අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නයිජීරියාවේ ප්‍රධාන ගෝත්‍ර තුනකට සහ තවත් ගෝත්‍ර ගණනාවකට අයත් ජනයා වාසය කරනවා. නයිජීරියාවේ උතුරුදිග ප්‍රදේශයවල බහුතරය හවුසා ගෝත්‍රිකයන් වන අතර ඔවුන් ඉස්ලාම් ලබ්ධිකයන්. රටේ මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල බහුතරය යොරුබා ගෝත්‍රිකයන්. රටේ නැගෙහනිර ප්‍රදේශයේ වැඩි දෙනා ඉග්බෝ ජාතිකයන්.

1960 දී නයිජීරියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවා. එතැන් පටන් ම ජාතීන් සහ ආගම් වශයෙන් නයිජීරියානුවන් අතර අර්බුද පැවතුණා. මෙය තීව්‍ර වුණේ 1966 දි සිදු වූ හමුදා කුමන්ත්‍රණ දෙකක් ද සමඟයි. මින් පළමුවැන්න ජනවාරියේදී සිදු වූ අතර ඊට සහභාගී වූයේ බොහෝ කොටම ඉග්බෝ නිලධාරීන් සහ සොල්දාදුවන්. ජූලි මාසයේදී උතුරුදිග නිලධාරීන් තවත් කුමන්ත්‍රණයකින් බලය ලබා ගත්තා. මේ අතර රටේ නැගෙනහිර හැර අනෙක් ප්‍රදේශයන් හි ඉග්බෝ සුළුතරයට එරෙහි ප්‍රහාර ද ඉහළ ගියා.

මෙම පසුබිමේදී ලුතිනන් කර්නල් ඔඩුමෙග්වු ඔජුක්වු විසින් 1967 මැයි 30 වනදා බියෆ්‍රාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළා. අප්‍රිකානු රටවල් කිහිපයක් මෙම නව රාජ්‍යය පිළිගත් අතර යුද්ධය දිගට ඇදී යද්දී ඇතැම් බටහිර රාජ්‍යයන් බියාෆ්‍රාවට මානුෂීය ආධාර ලබා දුන්නා.

එම වසරේ ම ජූලි මාසය වනවිට නයිජීරියානු හමුදා සහ බියෆ්‍රා හමුදා අතර සටන් ඇති වුණා. මුල් කාලීනව බියෆ්‍රා හමුදා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්ත ද ඔවුනට දිගට ම යුද්ධය ගෙන යා නොහැකි වුණා.
ලුතිනන් කර්නල් ඔඩුමෙග්වු ඔජුක්වු

1970 ජනවාරි 15 වනදා බියෆ්‍රාව යටත් වීමෙන් යුද්ධය අවසන් වුණා. මෙහිදී මියගිය සංඛ්‍යාවන් පිළිබඳ විවිධ ඇස්තමේන්තු ඇති අතර හමුදාවල 50,000 ත් 100,000 ත් අතර පිරිසක් මිය ගිය බව විශ්වාස කෙරෙනවා. නමුත් ප්‍රධානම ගැටළුව මතුව තිබුණේ සිවිල් වැසියන්ටයි. යුධ ප්‍රහාර මෙන්ම සාගතය නිසා මිය ගිය නයිජීරියානුවන් (වැඩිපුර ම බියාෆ්‍රා වැසියන්) සංඛ්‍යාව මිලියනය ඉක්මවන බව විශ්වාස කෙරෙනවා. බියාෆ්‍රා වැසියන් ගේ වගාබිම් විනාශ කොට ළිංවලට වස දැමීමට නයිජීරියානු හමුදා යුද්ධයේදී ක්‍රියා කළ අතර ඉන් බොහෝ සාමාන්‍ය වැසියන් පීඩා වින්ඳා.

බියාෆ්‍රා යුද්ධයට හේතු වූ බොහෝ අසමානතා අදට ද ඒ අයුරින් ම පවතින බව චෝදනා එල්ල වන අතර වර්තමානයේදී ද ඉග්බෝ තරුණයින් අතර බියාෆ්‍රා බෙදුම්වාදය පැතිර යන බවක් පෙනෙන්නට තිබෙනවා. නයිජීරියානු රජය ද එම පිරිස් මර්ධනය කරනු ලබනවා. එක් අවස්ථාවක උද්ඝෝෂකයින් 150 ක් පමණ නයිජීරියානු හමුදා ප්‍රහාරවලින් ඝාතනය වූ බවට චෝදනා එල්ල වුණා.

Tuesday, May 29, 2018

ලියන්නෙ කොහොමද - දෙවන සටහන​

පළවෙනි සටහනෙන් මම ලිව්වා ලියන්නෙකු වෙන්න මූලික ම අවශ්‍යතාව තමයි තමන් ලියන දේ සහ ඊට පරිවාර කරුණු අධ්‍යයනය කරන්න ඕන කියන එක.

එතකොට මේ අධ්‍යයනය කරන්න ඕන කොහොමද? ඉන්ටර්නෙට් එකෙන් ගත්තම ඇති ද?

සාමාන්‍යයෙන් ලෝකෙ කතාබහට ලක් වෙන, අධ්‍යයනය කෙරෙන දේවල් ගැන මූලික දැනුමක් ගන්න විකිපීඩියා හොඳ මූලාශ්‍රයක්. හැබැයි වැඩිය ම ලෝකෙ අවධානය නැති දේවල් ගැන නම් විකාර තියෙනව. උදාහරණයක් ගත්තොත් ලංකාවෙ ඉතිහාසය ගැන කවදාවත් විකියෙන් බලල ඉගෙන ගන්න හොඳ නෑ. හැබැයි යුරෝපා ඉතිහාසය, ඇමරිකන් ඉතිහාසය වගෙ දේවල්වල පසුබිම ඉගෙන ගන්න විකිය මරු.



හැබැයි මොකක් හෝ දෙයක් ගැන ලියද්දි ඒ ගැන තමන්ට පුද්ගලික අත්දැකීම තියෙනව නම් ඒක වටිනව. එහෙම නැත්නම් එහෙම තියෙන අය එක්ක කතා බහ කිරීම හෝ එයාලගෙ කතාවලට සවන් දීම.

අනෙක් දේ තමයි පොත් පත්, පුවත් වාර්තා, පර්යේශණ ග්‍රන්ථ/ලිපි ආදිය. මේවාට ලොකු වැඩක් කෙරෙනව. මේව ලියන අය ගොඩක් අය එක්ක කතා බහ කරල, නැත්නම් අදාල තැන්වලට ගිහින් ඒවා ලියන අය. අනික සමහර පොත්වලින් ඒ කතා කරන මාතෘකාවට අදාල විශාල වපසරියක් ආවරණය වෙනව. සමහර විෂයන් ගත්තම ඒ ගැන ලියන හෝ කියවන හෝ කෙනෙක් අනිවාර්යයෙන් කියවිය යුතු පොත් එහෙම තියෙනව. ඒ සබ්ජෙක්ට් එක දන්න අයහෙන් ඒ ගැන උපදෙස් ගන්න පුලුවන්.

උදාහරණයක් විදියට දෙවන ලෝක යුද්ධය ගැන කියවන හෝ ලියන හෝ අයෙක් අනිවාර්යයෙන් The Rise and the Fall of the Third Reich පොත කියවන්න ඕන. මොකද ඒ විෂයට අදාල, ඒ කියන්නෙ හිට්ලර්ගෙ ජීවිතය සහ නට්සි ජර්මනියට අදාල ලොකු වපසරියක් ආවරණය වෙන පොතක් නිසා. ඒක ලියූ කෙනා නට්සි පාලන කාලෙ ටිකක් කල් බර්ලිනයේ ජීවත් වූ මාධ්‍යවේදියෙක්. අපට ටයිම් මැෂින් එකක් නැතිව එහෙට යන්න බැරි නිසා, අපට ඒ අත්දැකීම ගන්න බෑ. එතකොට ඒක ගත්තු අයගෙන් අපට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන්.

මේ සියල්ලෙදි ම වැදගත් වන තව දෙයක් තියෙනව. ඒ තමයි හැකි සෑම අවස්ථාවක ම යම් මූලාශ්‍රයකින් ගත්තු කරුණු තවත් මූලාශ්‍රයකින් තහවුරු කරගන්න පුළුවනි නම් ඒක වටිනවා. කෙනෙකුගෙ මතක සටහන් වගේ දෙයක් නම් මේක කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වෙලාවට මේක කිව්වෙ අහවලා කියලා ඔබට සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒ කියන කෙනා සාමාන්‍යයෙන් කවුරුත් දන්න දෙයක් ගැන සිද්ධි කරුණු වරද්දනවා නම් ඒ ගැන නිවැරදි කිරීම් ඔබ ලියන්න ඕන. ඒ කෙනාගෙ අදහස් උදහස් නෙවෙයි. සිද්ධි කරුණු ගැනයි ඒ නිදහස ඔබට තියෙන්නෙ.

උදාහරණයක් විදියට 1996 ලෝක කුසලාන තරඟාවලියෙ සනත් ජයසූරිය ලකුණු 200 ක් ගත්තා කියලා කවුරු හරි කිව්වොත් අපිට පුළුවන් වරහනක් ඇතුලෙ දාන්න (සත්‍ය වශයෙන් ම 213 ක්) කියලා. ඒ වගේ දේවල්වලින් කියවන කෙනා තේරුම් ගන්නවා ලියන කෙනා ඔහේ කියන දේ ලියලා නෙවෙයි, තමනුත් යමක් හොයලා බලලා ලියලා කියන එක.

නමුත් වෙනත් බොහොමයක් දේවල් හැකි නම් මූලාශ්‍ර කිහිපයකින් තහවුරු කරගැනීම ප්‍රයෝජනවත් වනවා.

වර්තමානයෙදි නම් අධ්‍යයන කටයුතු සඳහා තවත් වැදගත් මාධ්‍යයක් තමයි වීඩියෝ. යූ ටියුබ් වගේ තැන්වල හුඟක් වාර්තා වැඩසටහන්, සාකච්ඡා වගේ දේවල් සොයාගන්න පුළුවන්. ඒ දේවල් අතිශයින් ම ප්‍රයෝජනවත් වනවා.

අපි අපේ මූලාශ්‍ර ගැන බලද්දි ඒවා කිනම් ආකාරයේ ද කියන දේ බලන්නට අවශ්‍යයි. සාමාන්‍යයෙන් ගොසිප් අඩවියකින් තොරතුරු අරගෙන ලිපි ලියන එක මගින් ලිපියට වටිනාකමක් එන්නෙ නැහැ. අනෙක ප්‍රකට මාධ්‍ය ආයතන ගත්තොත් ඒ ඒ ආයතන කුමන ආකාරයේ නැඹුරුවක් තියෙන අය ද කියන එක ගැන සොයා බලන එක වැදගත් වනවා.

ඒ වගේ ම පක්ෂග්‍රාහී ලිපියකින් වුනත් කරුණුමය දේවල් උකහා ගන්න බැරි නැහැ. මට මුණ ගැහිච්ච් හොඳම උදාහරණයක් තමයි මුවම්මර් ගඩාෆි ගැන බීබීසී යෙ පළ වූ ලිපියක්. විශේෂිතව ලිබියාව ගැන ලියූ කිසිම පොතක් මම කියවා නැහැ. ඒ නිසා ගඩාෆි ගැන කරුණු ලබා ගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්. මේ කියන බීබීසී ලිපිය ගඩාෆිට එරෙහිව බොහොම පක්ෂග්‍රාහී ව ලියූවක්. නමුත් එහි කරුණු ගොඩක් තිබුණා. මතවාදය සහ සිද්ධිමය කරුණු කියන දෙක වෙන් කර ගත්තම වැඩේ හරිම ලේසියි.

ඒකට පොඩි සාමාන්‍ය බුද්ධියක් සහ විචාර බුද්ධියක් තියෙන්න ඕන.

යම් කිසිවක් අධ්‍යයනයෙදි වැදගත් ම වෙන්නෙ අපි පාවිච්චි කරන මූලාශ්‍රයන් මොනවද සහ පාවිච්චි කළ හැක්කේ මොනවද කියන එක අවබෝධ කරගන්න එක. ගූගල් සර්ච් කරලා මොකක් හෝ සයිට් එකක තියෙන දෙයක් ගන්නවට වඩා ඒක ප්‍රයෝජනවත් වෙනවා.

Monday, May 28, 2018

ලියන්නෙ කොහොමද? - පළමු සටහන

අපි සමහරක් දෙනා ලියන්න ආසයි. විශේෂයෙන් ම කියවන්න ආස අය ලියන්නත් ආසයි. වෙන කෙනෙක් ලියපු පොතක්, ලිපියක් ආදිය කියවද්දි අපට ඒ අදහස එනවා.

මම කතා කරන්න යන්නෙ ප්‍රබන්ධ ගැන නෙවේ. ලිපි ලියන එක ගැන. මේක ම දියුණු කරලා ප්‍රබන්ධ නොවන පොත් ලියන තැනට අපට යන්න බැරි නැහැ.

මේ සටහන් පරම සත්‍යය නෙවේ. මට හිතෙන දේ පමණයි.

ලියද්දි වැදගත් කාරණා ගණනාවක් තියෙනව. නමුත් මම හිතන්නෙ වැදගත් ම කාරණේ තමයි අධ්‍යයනය කිරීම. තමුන් වඩා හුරු පුරුදු විෂයන් ඇති. (ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු). නමුත් ගොඩක් ම ටෙක්නිකල් විෂයක් නෙවේ නම්, තමුන් ලියන දේ ගැන හොඳ අදහසක් වගේ ම ඒ අවට පරිවාර දේ ගැනත් සාමාන්‍ය අදහසක් තිබීම වැදගත්.

මම කැමති විෂයන් සලකමු. මම ඉතිහාසය සහ ලෝක දේශපාලනය ගැන උනන්දුයි. එතකොට මම ඒ සබ්ජෙක්ට් අතුරිනුත් සමහර දේවල් ගැන ගොඩක් උනන්දුයි. මට දෙවනි ලෝක යුද්ධය ගැන ගොඩක් දේවල් මතකෙන් කියන්න පුලුවන්. මට පේන විදියට උතුරු කොරියාව ගැන ලංකාවෙ කියවන, ලියන අය අතරින් උඩින් ම ඉන්න කෙනෙක් මම. හැබැයි මට ආර්ජන්ටිනාව, බ්‍රසීලය වගෙ රටවල්වල ඉතිහාසය ගැන තියෙන්නෙ සාමාන්‍ය දැනුමක් විතරයි.

හැබැයි මම ඒ හැම දේ ගැනම ඉගෙන ගන්නව. උතුරු කොරියාව ගැන (එක උදාහරණයක් විතරයි) ගොඩක් කියවනව. අනික් රටවල් ගැන සාමාන්‍ය තරමට කියෝනව.

එහෙම ලොකු වපසරියක් අල්ලල තියෙන එක වැදගත් වෙන්නෙ අවශ්‍ය වුනොත් ඒ වගේ දෙයක් ගැන වුනත් ලියන්න පුළුවන් නිසා.

උදාහරණයක් විදියට මගෙ අත් දැකීමක් කිව්වොත්, 2017 නොවැම්බර්වල සිම්බාබ්වේ කුමන්ත්‍රණය වෙද්දි මම සිම්බාබ්වේ ගැන සැලකිය යුතු මට්ටමකට කියවලා තිබ්බෙ. එතකොට එහෙ වෙන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඒක ගොඩක් පහසු වුණා.

(කියවනවා/අධ්‍යයනය කරනවා කියන්නෙ ඉන්ටර්නෙට් එකෙන් කියවන එක විතරද? එහෙම විතරක් කලා ම ඇති ද? මදි ද? ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු)

ඕකෙ තව පැත්තක් තමයි අනික් දේවල් ගැන කියවන්නෙ නැතුව එක දෙයක් ගැන විතරක් කියවලා ඒ ගැන විතරක් ලියන එක. උදාහරණයක් කීවොත් චීනය ගැන දන්න කෙනෙක්ට චීනය ගැන විතරක් ම ලියන්න පුළුවන්.

හැබැයි අර ලොකු වපසරියක් අධ්‍යයනය කරන එකේ ම අනික් කතාවක් තියෙනව. ඒ කතාව මේ වගේ එක මාතෘකාවක් ගැන ලියන කෙනෙක්ටත් වැදගත්.

මම සාමාන්‍යයෙන් ඉතිහාසය කිව්වම වැඩි අවධානය යොමු කරන්නෙ දේශපාලන ඉතිහාසයට. හැබැයි ඒක ආර්ථික ඉතිහාසයෙන් වියුක්ත නැහැ. ඒ නිසා ආර්ථික කරුණු ගැන පොඩි හරි දැනුවත්කමක් වැදගත්. (වැඩි විස්තර පසුවට) ඒ විතරක් නෙවේ. අපි හිතමු අපි නැපෝලියන් ගැන ලියනව කියල. එතකොට ඒ කාලෙ තිබ්බ යුධ ආයුධ, උපක්‍රම වගේ දේවල් ගැනත් දැනගන්න එක වැදගත්.

මේවා ගැන මහ ලොකු දැනුමක් ඕන නෑ. කලින් කියවල තියෙන්න ඕනත් නෑ. සරලව ම කිව්වොත් මෙච්චරයි. ඔයා නැපෝලියන් ගැන ලියනවා නම් ඒ කාලෙ යුධ ආයුධ, උපක්‍රම වගේ දේවල් ගැන අධ්‍යයනයක් නැතුව ලියන්න පටන් ගන්න එපා. ඒ ගැන පොඩි හරි අධ්‍යයනයක් කරන්න.

ලෝක නිව්ස් ලියන්න ගිහින් ලංකාවෙ ගොඩක් අය අනාගන්නෙ ඊට සම්බන්ධ පසුබිම් කතා නොදන්නා නිසා. ඊටත් වඩා, ඒවා දැනගන්න ඕනකමක් නැති නිසා. ඒ අය හිතනවා නිව්ස් ලියනව කියන්නෙ මොකක් හරි පුවත් සේවයක ගිය රිපෝර්ට් එකක් පරිවර්තනය කරන එක කියලා.

ඒ අයට අමතක වෙනවා, ඒ පුවත් සේවයෙ ලිපිය ලියන කෙනා ඒක ලියන්නෙ පසුබිම් කතාව දැනගෙන කියලා.

තව ප්‍රශ්නයක් තියෙනව. ඉංග්‍රීසි දැනුම අඩු වීම සමහර අයට සමහර විෂයන් ගැන අධ්‍යයනය කරන්න බාධාවක්. ඒ ගැන අපි පස්සෙ කතා කරමු.

පසුවට කතා කරන්න දේවල් ගොඩයි. කමක් නෑ. ඒවා පසුවට. මේක අපි පියවරෙන් පියවර යමු. මේ ලිව්ව දේ ගැන ඔයාලගෙ අදහස් ලියන්න.