Wednesday, October 26, 2022

ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය​: හොඳම විපක්ෂය පිළිබඳ සටන​

ගුජරාටයේ සහ හිමාචල් ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණ මෙම වසර අවසන පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ය​. ඕනෑම දිනයක ඉන් දීය මැතිවරණ කොමිසම විසින් ඊට දින නියම කරනු ඇත​. මෙම මැතිවරණ අතුරින් ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී තිබේ. අගමැති නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තය බැවින් ඒ කෙරේ නිසැක අවධානයක් හිමි වන අතර මෙවර මැතිවරණයේදී තවත් හේතුවක් ඊට බලපා ඇත​. එනම් ආම් ආද්මි පක්ෂයේ වර්ධනය යි.

කොන්ග්‍රස් පක්ෂයේ ක්‍රමික​ අවනතියත් සමග ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රතිපක්ෂ කණ්ඩායම් අතර පැහැදිලි නායකත්වයක් නොමැති බෙදුණු ස්වභාවයක් පෙන්නුම් කරයි. අන් විපක්ෂ කණ්ඩායම්වලට මුහුණදීමට සිදුව ඇති එක් අභියෝගයක් වන්නේ ඒවා ප්‍රාදේශීය බල කඳවුරු සහිත දේශපාලන පක්ෂ වීම ය​. ත්‍රිණමූල් කොන්ග්‍රස් පක්ෂය මෑතකදී සිය බටහිර බෙංගාල බලකොටුවෙන් ඔබ්බෙහි ප්‍රදේශ කිහිපයක මැතිවරණ සඳහා තරග කළ ද ඊසානදිග ඉන්දියාවේ හැර ඔවුන් වෙත කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීම අසීරු වූයේ ය​. අනෙක් පක්ෂ එතරම් හෝ සිය ප්‍රාදේශීය මූලයන් වෙතින් ඔබ්බට ව්‍යාප්ත වී නොමැත​. මේ හේතුවෙන් ජාතික මට්ටමේ විපක්ෂ දේශපාලන පක්ෂයක් ලෙස අදටත් පෙනී සිටින්නේ කොන්ග්‍රස් පක්ෂය පමණි. එම පක්ෂය සදාකාලිකව විපක්ෂයේම සිටීමේ අපේක්ෂාවෙන් යුක්ත වන බවක් පෙනී යයි.


ආම් ආද්මි පක්ෂය තවමත් දිල්ලියෙන් සහ පන්ජාබයෙන් ඔබ්බෙහි එතරම් ව්‍යාප්ත වූ පක්ෂයක් නොවන නමුත් එයට අන් ප්‍රදේශ වෙත පැතිරීමේ සෛද්ධාන්තික හැකියාවක් ඇත​. එය ජාති, කුල​, භාෂා මත පදනම් වූ මතවාදයකින් හෝ ඡන්ද පදනමකින් හෝ යුක්ත පක්ෂයක් නොවේ. එහෙයින් එම පක්ෂය තවත් කිසියම් කාලසීමාවක් තුළදී ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත  වෙත ද පැතිරීමේ අවකාශයක් තිබේ.

ආම් ආද්මි පක්ෂය දූෂණය පිටුදැකීම සිය ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස සලකයි. සත්‍ය වශයෙන්ම ආම් ආද්මි පක්ෂය උපත ලද්දේ ද අන්නා හසාරේගේ දූෂණ විරෝධී ව්‍යාපාරය තුළිනි. මීට අමතරව එම පක්ෂය ඉන්දීය දේශප්‍රේමය ද සිය ප්‍රතිපත්ති සමග මනාව මුසුකරගෙන සිටියි. එම පක්ෂය වර්ගවාදය පිළිනොගත්ත ද එමගින් භාරතීය ජනතා පක්ෂයට සටන්පාඨ සැපයීමෙන් වැළකීමට ප්‍රවේශම්කාරී වෙයි කාශ්මීරය පිළිබඳ 370 වගන්තිය අහෝසි කිරීම ආදී කරුණුවලදී එය භාරතීය ජනතා පක්ෂයට එරෙහිව නොගියේ ය​.  අනෙකුත් ඇතැම් පක්ෂ මුස්ලිම් ජනතාවට වාසිදායක වන ලෙස කටයුතු කරතැයි චෝදනා කරමින් හින්දූන් එම පක්ෂවලින් ඈත් කිරීමට භාරතීය ජනතා පක්ෂය උත්සාහ කරයි. ආම් ආද්මි පක්ෂයට එම චෝදනාවෙන් දමාගැසීම අසීරු කටයුත්තකි.

අවවරප්‍රසාදිත ජනතාවට සුබසාධන කටයුතු සැලසීම සහ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා කටයුතු කිරීම තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ආම් ආද්මි පක්ෂයේ ප්‍රතිපත්ති අතර වේ. දිල්ලියේ පාලනය එම පක්ෂය යටතේ වූ වසර අටක පමණ කාලය තුළ එම පක්ෂය විවිධ සුබසාධන කටයුතු ක්‍රියාවට නැංවූ අතර නිලධාරීවාදය සීමා කිරීමට ක්‍රියා කළේ ය​. මෑතකදී තමන් බලයට පත්වූ පන්ජාබයේ ද එවන් වෙනස්කම් කිරීමට ඔව්හු බලාපොරොත්තු වෙති.

පසුගියදා නිමා වූ ගෝව ප්‍රාන්ත මැතිවරණයට එම පක්ෂය මුහුණ දුන්නේ යම් සාර්ථකත්වයක් අපේක්ෂාවෙන් වුවද බලාපොරොත්තු වූ තරම් යහපත් ප්‍රතිඵලයක් ඔවුන් වෙත ලැබුණේ නැත​. කෙසේ වෙතත් ගුජරාට් ප්‍රාන්තයේ තත්ත්වය ඉන් වෙනස් වේ යයි ඔවුන් අපේක්ෂා කරන බවක් පෙනී යයි.

ගුජරාටයේ සාර්ථකත්වයක් පිළිබඳ ආම් ආද්මි පක්ෂය අපේක්ෂා කරන්නේ කරුණු සහිතව ය​. 2021 දී ගුජරාටයේ පැවති පළාත් පාලන මැතිවරණවලදී එම පක්ෂය සියයට 13 ක් ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ ය​. එමෙන්ම සූරත් නගරසභා ප්‍රදේශයේ මත්‍රීධුර 28 ක් ලබාගැනීමට ද එම පක්ෂය සමර්ථ වූයේ ය​. කොන්ග්‍රස් පක්ෂයට සමස්ථයක් ලෙස ගුජරාටයෙන්ම ලැබුණේ මන්ත්‍රීධුර 57 ක් පමණි.

ඔක්තෝබර් මස මුල දී ප්‍රසිද්ධ කරන ලද ABC-CVoter සමීක්ෂණයට අනුව පෙනීගියේ එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය පහසු ජයක් ලබනු ඇති බව ය​. ඔවුන්ට සියයට 46.8 ක ඡන්ද ප්‍රතිශතයක් සමග ආසන 135-143 අතර ප්‍රමාණයක් ලැබේ යයි එම සමීක්ෂණය විසින් අනුමාන කෙරිණ​. කොන්ග්‍රස් පක්ෂයට සියයට 32.3 ක ප්‍රතිශතයක් සමග ආසන 36-44 අතර ප්‍රමාණයක් ද ආම් ආද්මි පක්ෂයට සියයට 17.4 ක ප්‍රතිශතයක් සමග ආසන 1-2 ක් අතර ප්‍රමාණයක් ලැබේ යයි අදාල සමීක්ෂණය පැවසීය​. මෙතරම් අඩු ආසන ප්‍රමාණයක් ලැබේ යයි අනුමාන කෙරෙන්නේ ඉන්දියාවේ පවතින කේවල ඡන්ද ක්‍රමය හේතුවෙනි.

ඉන්දියාවේ මැතිවරණ පිළිබඳ ජනමත සමීක්ෂණ එතරම්ම විශ්වසනීය නොවන අතර මැතිවරණයට තවත් සැලකියයුතු කාලයක් ද තිබේ. එසේ වුවද​, ගුජරාටයේදී කොන්ග්‍රස් පක්ෂය අභිබවා යාම ආම් ආද්මි පක්ෂයට පහසු නොවන බව පැහැදිලි ය​. එසේ වුවද​, අනෙක් අතින් සැලකූ විට​, කොන්ග්‍රස් පක්ෂය එකතැන පල්වන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබුණ ද​, ආම් ආද්මි පක්ෂය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන දේශපාලන ව්‍යාපාරයකි. පන්ජාබයේ දී තම ප්‍රබලම ප්‍රතිවාදියා වූ කොන් ග්‍රස් පක්ෂය පරාජය කිරීමට සමත් වීම ආම් ආද්මි පක්ෂයේ වර්ධනය පිළිබඳ පැහැදිලි සාධකයක් වූයේ ය​. ගුජරාටයේ ආම් ආද්මි පක්ෂය විසින් පවත්වන මහජන රැස්වීම්වලට සැලකියයුතු සෙනගක් ආකර්ශණය වන බව ද පෙනෙන්නට තිබේ. මෙම සෙනග ඡන්දවලට හැරෙනු ඇත්දැ යි ද එමගින් කොන්ග්‍රස් පක්ෂයට අභියෝගයක් එල්ල වේදැ යි ද අපට තව සති කිහිපයකදී දිස්වනු ඇත​.


No comments:

Post a Comment