Monday, February 15, 2016

අග්නිදිග ආසියාවේ විශාලතම බැංකුව​

අග්නිදිග ආසියාව (South East Asia) යනු රටවල් දහයක පමණ ප්‍රමාණයකින් සමන්විත ආසියාවේ ඉතාමත් වැදගත් ආර්ථික කලාපයකි. මෙම කලාපයේ බැංකු අතුරින් විශාලම බැංකුව ලෙස කළක් තිස්සේම පැවතියේ සිංගප්පූරුවේ DBS බැංකුවය.

නමුත් මෙම වාර්තාව DBS බැංකුවට අහිමි වූ බව පසුගිය සතියේ සිංගප්පූරුවේ චැනල් නිව්ස් ඒෂියා (Channel News Asia) රූපවාහිනී සේවය විසින් වාර්තා කරන ලදී. මෙම වාර්තාවට අනුව අලෙවිකරණ ප්‍රාග්ධනය (Market capitalization) අතින් දැනට අග්නිදිග ආසියාවේ විශාලම බැංකුව වනුයේ ඉන්දුනීසියාවේ බෑන්ක් සෙන්ට්‍රල් ඒෂියා (Bank Central Asia) ආයතනයයි.

මීට හේතු වී ඇත්තේ DBS බැංකුවේ කොටස්වල වටිනාකම සීඝ්‍ර ලෙස අඩු වීමත්, ඒ සමඟින්ම බෑන්ක් සෙන්ට්‍රල් ඒෂියා බැංකුවේ කොටස්වල වටිනාකම ඉහළ යාමත් බව සඳහන්.

2015 අගෝස්තුවේ සිට මේ දක්වා කාළය තුළ DBS හි කොටස්වල වටිනාකම සියයට 37.8 කින් පහළ වැටී ඇතත්, BCA කොටස්වල අගය සියයට 18.6 කින් ඉහළ ගොස් ඇත​.

බෑන්ක් සෙන්ට්‍රල් ඒෂියා බැංකුවෙහි ඉතිහාසය 1957 පෙබරවාරි 21 වනදා තෙක් දිවෙන අතර DBS බැංකුව ආරම්භ කර ඇත්තේ 1968 ජූනි මාසයේය​. 2009 සිට 2015 තෙක් පිට පිටම වසර හතක් "ආසියාවේ සුරක්ෂිතම බැංකුව" ලෙස ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් තෝරාගෙන ඇත්තේ DBS බැංකුවය​.

Saturday, February 13, 2016

තමිල්නාඩු මැතිවරණය සඳහා කරුණානිධි සහ කොංග්‍රස් පක්ෂය යළි එක්වෙති

ළඟ එන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහා සන්ධානගතව තරඟ කිරීමට මුත්තුවේලු කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාහම් (DMK) පක්ෂය සහ ඉන්දීය ජාතික කොංග්‍රසය එකඟ වූහ​.
කරුණානිධි

ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක සහ කොංග්‍රස් පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයකු වන ගුලාම් නබි අසාඩ් සහ කරුණානිධි අතර හමුවකින් පසු මෙම තීරණය කරා එළඹුන බව ප්‍රකාශ කරන ලදී.

මෙම පක්ෂ දෙක මීට පෙර 2006 දී සන් ධානගතව තරඟ වැදී තමිල්නාඩු මැතිවරණය ජයගත් අතර 2011 දී ඔවුන් ඇතුලත් වූ සන් ධානය ජයලලිතාගේ සමස්ථ ඉන් දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක් ෂය ප්‍රමුඛ සන් ධානය විසින් පරාජය කරන ලදී.

DMK නායක කරුණානිධි 2013 දී කොංග්‍රසය සමඟ වූ සන්ධානය බිඳ දැමූයේ එවකට කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් විසින් පාලනය කෙරුණ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව, ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකයන් ගේ අයිතීන් පිළිබඳ හඬක් නොනගන බවට දෝශාරෝපණය කරමින්.

2014 දී පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී DMK පක්ෂය ප්‍රාන්තයේදී අන්ත පරාජයකට පත්වූ අතර කොංග්‍රසය සමස්ථ ඉන්දියාව පුරාම අන්ත පරාජයක් භුක්ති වින් දේය​.

තෙල් මිල සියයට 12 කින් නගී

ඔපෙක් රාජ්‍යයන්හි තෙල් නිෂ්පාදනයෙහි සීමා කිරීමක් පිළිබඳ පළවූ වාර්තා හේතුවෙන් සිකුරාදා දිනයෙහි ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිළ සියයට 12 කින් පමණ ඉහළ ගියේය​.

ඇමරිකා එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙට්‍රෝලියම් ඇමති උපුටා දක්වමින් ඔපෙක් රටවල් නිෂ්පාදනය අඩු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා කළේය​.

මේ අතර වෙනෙසුවේලාවේ පෙට්‍රෝලියම් ඇමති එයුලෙජියෝ ඩෙල් පිනෝ ප්‍රකාශ කළේ මේ පිළිබඳ ඛනිජ තෙල් නිපදවන ඔපෙක් සාමාජික මෙන්ම සාමාජික නොවන රටවල් ද එකඟතාවකට පැමිණෙමින් ඇති බවයි.

මේ පිළිබඳ ඔහු බීබීසී සේවයට අදහස් දැක්වූයේ සෞදි අරාබියේ සහ රුසියාවේ සංචාරයකින් අනතුරුව වීම වැදගත් කරුණක්.

බ්‍රහස්පතින්දා වන විට ඇමරිකානු ඩොලර් 30 ටත් වඩා අඩු වූ බ්‍රෙන්ට් බොර තෙල්වල මිල සිකුරාදා වන විට ඩොලර් 33.36 වී තිබුණ අතර ඩොලර් 26.05 වූ ඇමරිකානු බොර තෙල්වල මිල ඩොලර් 29.44 දක්වා ඉහළ නැඟ තිබුණි.

කෙසේ නමුත් මෙම මාධ්‍ය වාර්තා පිළිබඳ සැක පළ කරන පිරිස් දක්වා සිටින්නේ මෙය වෙනෙසුවේලාවේ සහ රුසියාවේ උවමනාවට කෙරෙන ප්‍රකාශ මිස අවසන් එකඟතාවකට තවමත් පැමිණ නැති බවයි.

මේ අතර​, ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ එක්සත් ජනපදය සිය නිෂ්පාදනයන් පාලනය කිරීමට කටයුතු කිරීම බලාපොරොත්තු විය යුතු බවය. මෙම වසර අවසානය වනවිට ලෝක තෙල් මිල ඩොලර් 50 පමණ අගයකට පත් කිරීම ඔවුනගේ අරමුණ විය හැකි බව මෙම විශ්ලේෂකයින් මත පළ කළහ​.

ලෝක කොටස් වෙළෙඳපොළවල වත්මන් කඩා වැටීමට ප්‍රධාන හේතු

ලෝක කොටස් වෙළෙඳපොළ පසුගිය සතියේ පැහැදිලි කඩා වැටීමකට ලක් වූයේය​. ආසියාවේදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වූ අතර ජපානයේ ටෝකියෝ කොටස් වෙළෙඳපොළ සියයට එකොළහකින් පමණ පහත වැටුණි. ලෝකයේ මතුවූ මෙම ප්‍රවණතාවය කෙරේ බල පෑ කරුණු කිහිපයකි.
Tokyo Stock Exchange (Pic: Stefan, Wikimedia Commons)

1. ඛනිජ තෙල් මිල පහළ යාම​: ලෝක වෙළෙඳපොළෙහි තෙල් බිල පහල වැටීම හේතුවෙන් තෙල් සමාගම්වල ලාභය පහත වැටෙනු ඇති බව ද​, එහෙයින්ම ඔවුන් ණය ලබාගෙන ඇති  බැංකුවලට එයින් බලපෑමක් එල්ල වේ යයිද යන බිය කොටස් වෙළෙඳපොළවලට බලපෑමක් කළේය​.

2. ඍණ පොළී අනුපාතික​: ජපානයෙහි යෙන් මුදල ඩොලරයට සාපේක් ෂව ශක්තිමත් වීමත් සමඟ අපනයන සමාගම්වල කොටස්වලට පහර වැදුණි. තවද​, භාණ් ඩ හා සේවාවල මිල වැඩිවීමේ වේගය අඩු වීම ආර්ථිකයට අසුබදායක වනු ඇතැයි වූ බිය ද කොටස් වෙළෙඳපොළ පරිහානියට හේතු විය​.

3. චීනයේ කොටස් වෙළෙඳපොළ අවප්‍රමාණ වීම​: ලෝකයේ නැගී එන ආර්ථික බලවතකු මෙන්ම බටහිර රටවල ආර්ථික අපහසුතා මධ්‍යයේ ස්ථාවරව සිටි ප්‍රබලම රට වූ චීනයේ කොටස් වෙළෙඳපොළ මෑතකදී දැඩි පසු බෑමකට ලක් විය​. එයටද මූලික වූයේ තෙල් මිල අවප්‍රමාණය වීමය​. පසුගිය සතියේ චීන නව වසර හේතුවෙන් එරට කොටස් වෙළෙඳපොළ වසනු ලැබ තිබුණි. මීළඟ සඳුදා දිනයේ යළි වීන වෙළෙඳපොළ විවෘත වන විට, ලෝක අවප්‍රමාණයන් ගේ බලපෑම චීනයට ද පැතිර යනු ඇතැයි යන බියක් ආර්ථික විශ්ලේෂකයන් තුළ පවතී.

4. ලෝක ආර්ථික අවපාතයක් කෙරෙහි වන බිය​: එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ (Federal Reserve Bank) ප්‍රධානී ජැනට් යෙලන් ගිය සතියේ ප්‍රකාශ කළේ කොටස් වෙළෙඳපොළවල මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අවපාතයකට සූදානම් වීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති බවයි. මෙම තත්ත්වය ද කොටස් වෙළෙඳපොළ කෙරෙහි අසුබදායී ලෙස බලපානු ඇත​.

5. බැංකු අර්බුධ​: යුරෝපයේ කළක් තිස්සේම පැවති අඩු පොළී අනුපාතික බැංකුවල ලාභාංශ කෙරෙහි අයහපත් බලපෑමක් එල්ල කොට ඇති අතර ඒවායේ ආදායම මෙන්ම ණයවලින් ලැබෙන ප්‍රතිලාභ ද අඩුවී ඇත​.

6. ලෝක දේශපාලනික තත්ත්වයන්: උතුරු කොරියානු මිසයිල අත් හදා බැලීමෙන් පසු දකුණු කොරියාව විසින් කේසොංග් (Kaesong) විශේෂ ආර්ථික කලාපය වසා දැමීමට තීරණය කළේය​. උතුරු කොරියාවේ පිහිටි මෙහි දකුණු කොරියානු සමාගම් 124 ක් ක්‍රියාත්මක වූ අතර උතුරු කොරියානුවන් 55,000 ක් රැකියා කළහ​. මෙම කලාපය වසා දැමීමෙන් පසු එහි ක්‍රියාත්මක වූ සමාගම්වල කොටස් මිල පහළ වැටුණි.

යූරෝ 500 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට සැරසේ

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ඊයේ රැස්වූ යුරෝපා මුදල් අමාත්‍යවරු යූරෝ 500 මුදල් නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීම පිළිබඳ සළකා බැලූහ​.
Pic: Bin im Garten, Wikimedia Commons

විශාල වටිනාකමක් ඇති යූරෝ 500 මුදල් නෝට්ටුව නීති විරෝධී ගනුදෙනු සඳහාත්, විශේෂයෙන්ම ත්‍රස්තවාදී කණ් ඩායම්වලට මූල්‍ය ආධාර ලබාදීම සඳහාත් යොදා ගැනීමට ඇති ඉඩකඩ මෙහිදී ඔවුනගේ අවධානයට යොමු විය​.

තවද​, මුදල් සඟවාගැනීම සඳහාද යූරෝ 500 නෝට්ටු භාවිතා කිරීමේ ඉඩකඩ මෙහිදී සළකා බලන ලදී.

ඇතැම් මුදල් ඇමතිවරුන් මෙම පියවර සඳහා ඍජු ලෙසම අනුමැතිය දක්වා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේය​.

මේ අනුව, අවශ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ තමන්ට වාර්තා කරන ලෙස යුරෝපා මුදල් ඇමතිවරු යුරෝපා බහ බැංකුවට දන්වා සිටියෝය​.

වර්තමානයේ ලෝකය පුරා යූරෝ ට්‍රිලියනයක් පමණ වටිනා මුදල් නෝට්ටු සංසරණය වන බව ඇස්තමේන්තු කර ඇත​. මෙයින් තුනෙන් එකක් පමණ යූරෝ 500 නෝට්ටු ලෙස සැරිසරන බව විශ්වාස කෙරේ.

Saturday, December 5, 2015

පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

1914 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හන්ගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමඟ පළමු ලෝක යුද්ධයේ ආරම්භය සනිටුහන් වූ අතර දින කිහිපයක් තුළදී ජර්මනිය සහ ඔස්ට්‍රා-හන්ගේරියාව එක් පාර්ශවයකත්, බ්‍රිතාන්‍යය​, ප්‍රංශය, බෙල්ජියම​, සර්බියාව​, රුසියාව යන රටවල් අනෙක් පාර්ශවයත් වශයෙන් බෙදී එකිනෙකා හා කුළල් කා ගැනීම ඇරඹිණ​. පසුව මෙම රටවල් අතරට තවත් බොහෝ රටවල් එක් වූ අතර​, ජර්මනිය ඇතුලු පාර්ශවය මධ්‍ය බලවතුන් ලෙසත්, අනෙක් පාර්ශවය මිත්‍ර පාර්ශවය ලෙසත් සළකණු ලැබේ.

ඔස්ට්‍රා-හන්ගේරියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළ සැණින්, සිය ස්ලාව් ජාතික මිත්‍රයා වෙනුවෙන් ඉදිරිපත් වූ රුසියාව​, ඔස්ට්‍රා-හන්ගේරියාවට එරෙහිව හමුදා ජංගමගත කිරීම ඇරඹුවේය​. ජූලි 30 වනදා රුසියාව ජර්මනියට එරෙහිවද හමුදා ජංගමගත කිරීම ඇරඹීය​. මෙම ක්‍රියාව නවතන ලෙස ජර්මනිය රුසියාවට කියා සිටි නමුත්, එම අනතුරු ඇඟවීම බලාපොරොත්තු වූ පරිදිම නොසළකා හරින ලදී. අගෝස්තු 1 වනදා රුසියාවට එරෙහිව ජර්මනිය යුධ ප්‍රකාශ කළේය​.

බටහිර පෙරමුණෙහි යුධ තත්ත්වයක් සඳහා ජර්මන් යුධ සැලසුම ෂ්ලීෆන් සැලසුම (Schlieffen Plan) නම් විය​​. එම සැලසුම අනුව ජර්මන් හමුදා බෙල්ජියම හා ලක්සම්බර්ග් හරහා විදුලි වේගයෙන් ප්‍රංශයට කඩා වැදිය යුතු විය​. මෙහිදී ජර්මනිය. යුරෝපා බලවතුන් අතර වූ එකඟතා ගිවිසුමක් උල්ලංඝනය කිරීමට නියමිතව තිබිණ​.

1839 දී යුරෝපා රටවල් බෙල්ජියමේ මධ්‍යස්ථභාවය පිළිබඳ එකඟතා ගිවිසුමකට පැමිණියහ​. මේ ගිවිසුම යුරෝපා රටවල් විසින් මහත් ඉහළින් සලකන ලදී. ඒ කෙතෙක්දැයි කිවහොත්, 1870 දී ප්‍රංශ​-ප්‍රශියා යුධ සමයේදී, ප්‍රශියානු හමුදා ප්‍රංශය ආක්‍රමණය කළේ ඇල්සාස් හරහා වූ වඩා දුෂ්කර මාර්ගය ඔස්සේය​.

අගෝස්තු 1 වනදා ජර්මනිය ප්‍රංශයෙන් මධ්‍යස්ථභාවය පිළිබඳ සහතිකයක් ඉල්ලා සිටියේය​. මක් නිසාද යත්, රුසියාවට යුධ ප්‍රකාශ කළ විට ඊට එරෙහිව ප්‍රංශය ඉදිරිපත් වන බව දැන හුන් හෙයිනි. ප්‍රංශය​, ජර්මනියේ මෙම ඉල්ලීම සැළකුවේ නැත​. ජර්මනිය අගෝස්තු 2 වනදා ලක්සම්බර්ග් වෙත හමුදා යවා අගෝස්තු 3 වනදා ප්‍රංශයට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​.

මේ අතර​, ජර්මනිය​, බෙල්ජියම හරහා සිය හමුදා යැවීමට අවසර ඉල්ලූ නමුත්, බලාපොරොත්තු වූ පරිදිම එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූයෙන්, බෙල්ජියමට එරෙහිව යුද්ධයට බටහ​. මෙහි ප්‍රතිපලය වූයේ බ්‍රිතාන්‍යය අගෝස්තු 4 වනදා ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමයි.

ආරම්භයේදී මධ්‍ය බලවතුනට සිදුවූ එක් වරදක් නම් රටවල් දෙක අතර උපක්‍රමික අනවබෝධයයි. ජර්මනිය ප්‍රංශයට කඩා වදිද්දී, රුසියාව පිළිබඳ ඔස්ට්‍රියා-හන්ගේරියාව විසින් අවධානය යොමු කෙරෙනු ඇතැයි එරට බලාපොරොත්තු විය​. එනමුත් ඔස්ට්‍රියාව වඩා අවධානය යොමු කළේ සර්බියාව දෙසටය​. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා පෙරමුණු දෙකකට කැඩීමය​.

මේ අනුව ඔස්ට්‍රා - හන්ගේරියාවට සර්බියානු සටන් පෙරමුණට එවිය හැකි වූයේ 300,000 කට මඳක් වැඩි හමුදාවක් පමණි. සර්බියානු ආක්‍රමණය මෙහෙයවීම භාර වූයේ ජෙනරාල් ඔස්කාර් පොටියොරෙක්ට ය​.

පොටියොරෙක් විචිත්‍රවත් පුද්ගලයකු වූයේය. 1911 සිට බොස්නියා හර්සගොවිනාවේ ආණ්ඩුකාරයා වූ හෙතෙම 1914 ජූනි 28 වනදා ආච්‍ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය වූ අවස්ථාවේ එම රථයේ සිටියේය​. ඇතැම් වාර්තා අනුව​, ඝාතකයා වූ ගැව්රිලෝ ප්‍රින්සිප් පසුව ප්‍රකාශ කළේ ආච්ඩියුක්වරයාගේ බිරිඳ වූ සොෆීට වැදුණ වෙඩිල්ල ඇත්තෙන්ම තබන ලද්දේ පොටියොරෙක් වෙත බවයි.

ජර්මන් යුධ සැලැස්ම​

යුරෝපයේ මධ්‍යගතව වූ ජර්මනියේ පිහිටීම එරටට වාසි අවාසි දෙකම ගෙන ආවේය​. එක් අතකට එමගින් දෙපසින් වන ප්‍රතිවාදීන්ට එරට විවෘත වූ අතර දිගු කාලීන යුද්ධයකදී එය අවාසිදායක වීමට ඉඩ තිබිණ​. අනෙක් අතට ප්‍රතිවාදී රටවල් දෙකේ හමුදාවලට එක්ව, එක පසකින් ජර්මනියට පහරදීමේ හැකියාව නොවීය​. තව ද ජර්මන් දුම්රිය මාර්ග ඉතාම සැළකිල්ලෙන් යුතුව තනා තිබුණි. එම මාර්ග තැනීමේදී හමුදාවේ අනුමැතිය ද ලබාගත යුතු වූයේය​. මේ අනුව ජර්මන් හමුදාවට යුධ සමයකදී සිය පිරිස් ප්‍රවාහනය කිරීම සඳහා මනා දුම්රිය මාර්ග ජාලයක් නිර්මාණය වී තිබුණි. මීට සාපේක්ෂව රුසියාවේ පැතැතියේ ඉතාම ප්‍රාථමික මට්ටමේ ගමනාගමන පහසුකම් ය​.

1871 දී ප්‍රංශ - ප්‍රශියානු යුද්ධය අවසන් වූ පසු ජර්මන් අධිරාජ්‍යයේ යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හෙල්මුත් ෆොන් මෝල්ට්කේ (වැඩිමහලු) ප්‍රංශය සහ රුසියාව යන දෙරටටම එරෙහිව යුද්ධයක් සඳහා සැලසුමක් සූදානම් කළේය​. යම් හෙයකින් එම දෙරට සමඟම ජර්මනියට යුද්ධ කිරීමට සිදු වුවහොත් එහි ඇති අපහසුව ඔහු තේරුම් ගත්තේය​. පෙරමුණු දෙකක සටන් කිරීම සඳහා ජර්මනියට අවශ්‍ය සම්පත් සහ පිරිස් බලය ප්‍රමාණවත් නොවන බව ඔහු දැන සිටියේය​. නමුත් එම රටවල් දෙක දෙපසක පැවතීම නිසා මුලින් එක් රටකට පහර දී එය අඩපණ කොට ඉන් පසු අනෙක් රට දෙස හැරීමට ඔහු අදහස් කළේය​.

මෝල්ට්කේගේ අදහස වූයේ රුසියාවට මුලින්ම පහර දී එරට අඩපණ කොට ඉන් පසු ප්‍රංශය දෙස අවධානය යොමු කිරීමය​. මේ අනුව දෙරටින් එකක්වත් සිය හමුදා ජංගමගත කිරීමට පෙර රුසියාවට පහර දෙන ජර්මනිය එරටට දරුණු ලෙස පහර දී, ඉන් පසු එම පෙරමුණේ හමුදාවලින් කොටසක් ද ප්‍රංශය වෙත යැවිය යුතු විය​. ඉන් පසු ප්‍රංශයට කඩා වැදිය යුතු විය​. ඒ බෙල්ජියම හරහා ය​.

1891 දී මෝල්ට්කේගේ තනතුරට පත් ජෙනරල් ඇල්ෆ්‍රඩ් ෆොන් ෂ්ලීෆන් වෙනස් කළේ මෙම සැළැස්මය​. නමුත් ෂ්ලීෆන් තීරණය කළේ මුලින්ම රුසියාවට පහර දීම අවදානම් බව ය​. රුසියාව විශාල බිම් ප්‍රදේශයකින් යුත් රටක් වීම ඊට හේතුව විය. ෂ්ලීෆන් සැලසුම් කළේ බෙල්ජියම සහ ලක්සම්බර්ග් හරහා ප්‍රංශයට කඩා වැදී, ප්‍රංශ - ජර්මන් දේශසීමා ආරක්ෂක බලකොටුවලට පසුපසින් පහර දීමට ය​. මේ අනුව ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශවල රැඳවිය යුතු වූයේ කුඩා සේනාංකයක් පමණි. මේ අතර රුසියානු ආක්‍රමණයකින් ආරක්ෂා වීම සඳහා නැගෙනහිර පෙරමුණේ හමුදා රැඳවිය යුතු වූ අතර ඔවුන් ආක්‍රමණකාරී නොවී ප්‍රතිවාදියාගෙන් සිය දේශසීමා ආරක්ෂා කිරීම පමණක් කළ යුතු විය​.

මෙහිදී ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශ මග හරිමින් බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදීමට තීරණය කිරීමේ හේතුව පැහැදිලි ය​. ඇල්සාස් - ලොරේන් ප්‍රදේශ ආශ්‍රිත ජර්මන් - ප්‍රංශ දේශසීමාවේ වැඩි කොටසක් කඳුකරය වූ අතර එහි වූ පටු පහත් බිම හරහා ජර්මන් හමුදා පැමිණියේ වී නම් ඒ සමඟම ඔවුන්ගේ මග ඇවිරීමට ප්‍රංශ බලකොටු කිහිපයක් ම විය​. මේ අනුව එම ප්‍රදේශයේ යුධ පෙරමුණ පටු මෙන්ම බාධක සහිත එකක් වීමට නියමිත වූයේය​. ජර්මනිය බලාපොරොත්තු වූ ආකාරයේ වේගවත් ප්‍රහාරයකට එම පෙරමුණ සුදුසු වූයේ නැත​.

බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදීමේදී මුහුණ දිය යුතු වූ ප්‍රධාන බාධකයක් වූයේ බෙල්ජියමේ ලීග් බලකොටුව ය​. ෂ්ලීෆන් අදහස් කළේ එම බලකොටුව මග හැර හමුදාව ප්‍රංශයට යැවීමට ය​. තව ද බෙල්ජියම ආක්‍රමණයට ඔහු කෙළින්ම කැමැත්තක් දැක්වූයේ නැත​. බෙල්ජියමේ මධ්‍යස්ථභාවය බිඳ දමා ජර්මනිය වරදකරුවකු වීමට වඩා ඔහු කැමැති වූයේ බෙල්ජියමේ අවසරය ලබාගෙන හමුදා එරට හරහා යැවීම ය​. අනෙක් අතට බෙල්ජියම අසළ හමුදා එක් රැස්වනු දකින ප්‍රංශය බෙල්ජියම හරහා හමුදා එවීමට කටයුතු කරනු ඇතැයි ද යන සිතිවිල්ලක් ඔහු තුළ විය​.

කෙසේ වෙතත් ඔහුගේ සැලසුම අනුව බටහිර පෙරමුණෙහි ජර්මන් හමුදාවල දකුණු අත පස ශක්තිමත් විය යුතු වූ අතර වම් පස​, එනම් ඇල්සාස් - ලොරේන් අශ්‍රිත සේනාංක එතරම් විශාල වීම අවශ්‍ය නොවීය​. මෙම අදහස ෂ්ලීෆන් තුළ කෙතරම් තදින් පැළපදියම් වී තිබ්බේද යත් ඔහු සිය මරණ මංචකයේදී "මොනවා කළත් දකුණත පස ශක්තිමත් කරන්න​" යයි පැවසූ බැව් සඳහන් ය​.

1913 දී සිදු වූ ෂ්ලීෆන්ගේ මරණින් පසු ඔහුගේ තනතුරට පත් වූයේ වැඩිමහලු මෝල්ට්කේගේ බෑණා වූ හෙල්මුත් ෆොන් මෝල්ට්කේ (කනිෂ්ඨ​) ය​. ඔහු ෂ්ලීෆන් සැකසූ සැලැස්ම තවත් වෙනස්කම්වලට භාජනය කළේය​. ෂ්ලීෆන් ඉදිරිපත් කළ සැළැස්මේ මූලික හරය එසේම තිබුණ ද මෝල්ට්කේ දකුණුපස ශක්තිමත් කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමු නොකළේය​. 1905 සිට 1914 දක්වා සමය තුළ අලුතින් එක්වූ හමුදා ඩිවිෂන 9 න් 8 ක් ම ඔහු එක් කළේ වම් පෙරමුණට ය​. එම දෙසින් ජර්මන් සේනාංක ශක්තිය මදි යයි ඔහු සිතූ සේ ය​. මේ අතර රුසියානු පෙරමුණෙන් එක් ඩිවිෂනයක් බටහිරට ගෙන ආ බව සැබැවි. එහෙත් මේ වෙද්දී රුසියානු හමුදා පෙර තරම් දුර්වල තත්ත්වයක නොවූ හෙයින් එය ද අවසානයේ නරකට හිටියේය​.

අනෙක් අතට ෂ්ලීෆන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් බෙල්ජියම හරහා හමුදා යැවීමට අවසර සකසා ගැනීම ගැන අවධානය යොමු කළ ද මෝල්ට්කේ එවන් අදහසක් නොදැරීය​. ඔහු බලාපොරොත්තු වූයේ වේගවත් ප්‍රහාරයක් මගින් ලීග් බලකොටුව අල්ලා ගැනීම ය​.

ප්‍රංශ යුධ සැලැස්ම​

ජර්මනියට එරෙහි යුද්ධයක් සඳහා ප්‍රංශය විසින් සකසන ලද යුධ සැළැස්මෙහි මූලික අඩුපාඩු දෙකක් විය​. එකක් නම් ජර්මන් හමුදා ශක්තිය අවතක්සේරු කිරීම ය​. ජර්මනිය සතු අතිරේක සේනාංක ද යුද්ධය වෙනුවෙන් යොදවා ගනු ඇතැයි ප්‍රංශය විශ්වාස කළ අතර ඔවුන් තක්සේරු කළේ ජර්මන් සේනා ශක්තිය ඩිවිෂන 68 ක් වනු ඇති බව ය​. මෙයින් අතිරේක සේනාංක එතරම් බලපෑමක් නොකරනු ඇතැයි ඔවුන් විශ්වාස කළ හ​. එහෙයින් ඔවුන් බලාපොරොත්තු වූයේ ඩිවිෂන 45 ක පමණ වූ සේනා ශක්තියකට මුහුණ දීමට ය​. නමුත් ජර්මන් සේනා ශක්තිය අතිරේක හමුදා ද සහිතව ඩිවිෂන 83 ක් විය​.

අනෙක් අතට ප්‍රංශ හමුදා අංශ බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප්‍රදේශයක පැතිරුණ ප්‍රහාරයක් ජර්මානු හමුදා විසින් එල්ල කරන ලදී. බෙල්ජියම හරහා ඔවුන් කඩා වදිනු ඇතැයි ප්‍රංශ නිලධාරීන් විශ්වාස කළ ද ඔවුන් බලාපොරොත්තු වූයේ ආර්ඩනස් ප්‍රදේශය හරහා ප්‍රධාන ප්‍රහාරය එල්ල වනු ඇතැයි යන්න ය​.

ප්‍රංශ සැලැස්ම ආරක්ෂාකාරී එකකට වඩා ප්‍රහාරාත්මක එකක් විය​. ඔවුනගේ පළමු සහ දෙවන හමුදා සාර් ප්‍රදේශය වෙත ලොරේන් ප්‍රදේශය හරහා කඩා වැදිය යුතු වූ අතර තුන්වන හමුදාව මේට්ස් ප්‍රදේශයේ රඳවන ලදී. පස්වන හමුදාව ආර්ඩනස් දෙසට මුහුණ ලා සිටියේය​. සිව් වැනි හමුදාව යුධ පෙරමුණෙන් පසුපසින් අතිරේක සේනාංකයක් ලෙස තබා තිබුණි.

මූලික ජර්මන් ප්‍රහාරය​

මනා සැලසුමකින් යුතුව තනන ලද දුම්රිය මාර්ග පද්ධතිය හේතුවෙන් ජර්මන් හමුදා ඉතා වේගයෙන් බටහිර පෙරමුණ කරා ගෙනෙන ලදී. අගෝස්තු 6 වනදා වනවිට මහා පරිමාණ හමුදා යෙදවීම පටන් ගෙන තිබිණ​. දිනකට දුම්රිය 550 ක් රයින් නදිය හරහා වැටුණ පාලම් මතින් සෙබලුන් පෙරමුණට ගෙන ආවේ ය​. අගෝස්තු 12 වනවිට හමුදා සේනා හතක මිලියන 1.5 ක පිරිසක් පෙරමුණ වෙත පැමිණියෝ ය​.

ජර්මන් හමුදා බෙල්ජියමට කඩා වදින මාර්ගය හරස් කරගෙන ලීග් බලකොටුව වූ අතර අගෝස්තු 5 වනදා බලකොටු මග හරිමින් ගිය බ්‍රිගේඩයක් විසින් නගරය අල්ලාගන්නා ලදී. මෙම බ්‍රිගේඩයට නායකත්වය දුන්නේ පසු කළෙක මහත් ප්‍රසිද්ධියක් දිනාගත් ලූඩන්ඩෝර්ෆ් ය​. කෙසේ නමුත් ලීග් බලකොටු අල්ලාගත හැකි වූයේ හවිට්සර් වර්ගයේ විශාල කාලතුවක්කු සටනට පැමිණි පසු ය​.

කෙසේ වෙතත් ප්‍රංශ යුධ නායකයන්ට ජර්මන් ප්‍රහාරය එල්ල වන ස්ථානය පිළිබඳ අවබෝධයක් නොවූ හෙයින් ඔවුන් හමුදා සූදානම් කොට තිබුණේ ඇල්සාස්, ලොරේන් සහ බෙල්ජියමේ ආර්ඩනස් ප්‍රදේශයනට මුහුණලා ය​. එහෙයින් බෙල්ජියම හරහා එන ජර්මන් හමුදාවලට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් ප්‍රංශ හමුදා මේ වෙද්දී එම ප්‍රදේශයේ නොවූහ​. මේ අතර​, සිය හමුදා සමූල ඝාතනය වීම වැළැක්වීම පිණිස බෙල්ජියම් හමුදා ඇන්ට්වර්ප් දෙසට පසු බැස්සෝය​.

ප්‍රංශ හමුදා ප්‍රහාර​

අගෝස්තු 7 වනදා බටහිර පෙරමුණේ අනෙක් අන්තයෙහි ප්‍රංශ ප්‍රහාරය ඇරඹිණ​. මෙම ප්‍රහාරය එල්ල වූයේ ඉහළ ඇල්සාස් ප්‍රදේශයට ය​. මුල් ප්‍රහාරය ඉක්මණින් ම මැඩ පවත්වන ලද අතර අගෝස්තු 19 වනදා වඩා විශාල සේනාංක සමඟ කළ දෙවන ප්‍රහාරය මගින් ප්‍රංශ හමුදා රයින් නදිය වෙත ළඟා වීමට සමත් වූහ​. නමුත් වෙනත් ප්‍රදේශවල වූ පරාජයන් හේතුවෙන් මෙම ප්‍රහාරය නවතා දමන ලදී.

මේ අතර අගෝස්තු 14 වනදා ලොරේන් ප්‍රදේශයට ප්‍රංශ හමුදා කඩා වැදුණ හ​.

මෙම ප්‍රහාර හේතුවෙන් ජර්මන් හමුදාවල අවධානය වෙනතක යොමු විය​. මේ අවස්ථාවේ කළ යුතු වූයේ දකුණු පසින් පෙරමුණ වෙත එල්ල කෙරෙමින් පැවති ප්‍රහාරය දිගටම සිදු කරගෙන යාම වුව ද කනිෂ්ඨ මෝල්ට්කේ ඉහත කී ප්‍රංශ ප්‍රහාර කෙරෙහි අවධානය යොමු කලෙන්, මූලික ප්‍රහාරය දුර්වල වීමට එය හේතු විය​.

දින කිහිපයක් යන තෙක් මෝල්ට්කේ සිටියේ දෙලොවක් අතර ය​. එක් අතකින් දකුණු පසින් එල්ල කෙරෙන ප්‍රහාරය දිගටම කරගෙන යාම සහ අනෙක් පසින් වම් පස දෙස අවධානය යොමු කිරීම අතර දෝලනය වූ ඔහු පසුව දකුණු පසින් එල්ල වන ප්‍රහාරය දිගටම සිදු කිරීමට තීරණය කළේය​. එහෙත් ඔහු වම් පස හමුදාවලට උපදෙස් දුන්නේ හැකි තරම් ප්‍රංශ සේනාංක ඒ දෙස රඳවා තබා ගන්නා ලෙස ය​. එහි හමුදා මෙහෙයවූ රුප්‍රෙෂ්ට් කිරුළ හිමි කුමරු මෝල්ට්කේ වෙත කියා සිටියේ තමන්ට එසේ කිරීමට නම් ප්‍රංශ හමුදා වෙත පහර දීමට සිදු වන බව ය​. මෙහිදී මෝල්ට්කේ කළේ ඒ පිළිබඳ තීරණය ගැනීම රුප්‍රෙෂ්ට් කුමරුටම පැවරීමයි.

මේ අනුව​, උපක්‍රමශීලීව පසු බසිමින් සිටි රුප්‍රෙෂ්ට් සිය හමුදා නවතා ලොරේන් වෙත කඩා වැදුණ ප්‍රංශ සේනා හා සටනට බැස්සේය​. ප්‍රංශ සේනාංක මේ ප්‍රහරයෙන් පසු බැස ගියේය​. නමුත් රුප්‍රෙෂ්ට් සතුව තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය හමුදා ශක්තිය නොවීය​. තව ද​, ප්‍රංශ හමුදාව වට කිරීමට කළ උත්සාහයක් ද අසාර්ථක වූ අතර ප්‍රංශ සේනාවෝ සිය බලකොටු වෙත පසු බැස්සෝය​. ඔවුන් එයින් පළවා හැරීමට ප්‍රමාණවත් සේනාංක ජර්මානුන්ට නොවීය​. ඒ හේතුව නිසාම​, ප්‍රංශ හමුදාවට සිය පිරිස් ශක්තියෙන් කොටසක් ප්‍රධාන ප්‍රහාරය එල්ල වන ප්‍රදේශය වෙත යැවීමට පිළිවන් විය​.

මේ අතර ප්‍රංශ සේනාංක බෙල්ජියම හරහා ඉදිරියට එන ජර්මානුන්ට පහර දීම සඳහා උපක්‍රමයක් සැලසුම් කළ හ​. මේ අනුව ආර්ඩනස් ප්‍රදේශයට ප්‍රංශ තුන්වන සහ සිව්වන හමුදා කඩා වැදිය යුතු වූ අතර ඔවුන් ජර්මන් හමුදාවලට පසුපසින් පහර දිය යුතු විය​. මේ අතර පස්වන හමුදාව වයඹ දෙසට යවන ලදී. මේ වනවිට ප්‍රංශයට ගොඩ බැස සිටි බ්‍රිතාන්‍ය කාර්යය සාධක බලකාය ද සමඟ එක්ව ඔවුන් ජර්මානුන් හා සටන් කළ යුතු විය​.

නමුත් ප්‍රංශ හමුදා තමන් ඉදිරියේ සිටින ජර්මන් සේනාංකවල ශක්තිය මෙන්ම ඔවුන් කෙතරම් ප්‍රදේශයක පැතිර සිටියේද යන්න පිළිබඳ නිවැරදි අදහසකින් යුතුව සටන් නොකළෝය​. ආර්ඩනස් හරහා ජර්මානුන්ට පහර දීමට ගිය ප්‍රංශ සේනා බලාපොරොත්තු වූයේ වැඩි පිරිස් ශක්තියකට මුහුණ දීමට ඔවුනට නොහැකි වනු ඇත යනුවෙනි. එහෙයින්, එක්තරා මීදුම් සහිත දිනයක (අගෝස්තු 22), ජර්මන් සිව්වන සහ පස්වන හමුදාවලින් සමන්විත ප්‍රබල බල සෙනඟකට මුහුණ දීමට සිදු වූ විට ප්‍රංශ හමුදා විමතියට පත් වූහ​. මේ අතර වයඹ දෙසට ගිය සේනාංක ද ජර්මන් පළමු, දෙවන සහ තුන්වන හමුදා හමුවේ පසු බැස්සෝය​. බ්‍රිතාන්‍ය කාර්යය සාධන බලකායට ද වේගයෙන් පසු බැසීමට බල කරන ලදී.

මින් පසු බෙල්ජියමේ සහ වයඹ දිග ප්‍රංශයේ නාමූර්, මෝබේග් (Maubeuge) සහ ජිවේ (Givet) වැනි බලකොටු සඳහා සටන් ඇතිවූ අතර ජර්මන් ඩිවිෂන කිහිපයක් එහි රැඳී සිටියහ​. එහෙයින් ඔවුහු තීරණාත්මක වූ මාර්න් නදී සංග්‍රාමය සඳහා සම් බන් ධ නොවූහ​.

මීටත් වඩා විමතියට කරුණ නම් ජර්මන් ඩිවිෂන හතරක් බටහිර පෙරමුණෙන් ඉවත් කර නැගෙනහිර පෙරමුණ වෙත යැවීම ය​. මෙම හමුදා ඉවත් කරගත්තේ අගෝස්තු 25 වනදා ය​. ඒ වනවිට නාමූර් සටන අවසන් වේගන ආවා පමණි. යම් හෙයකින් එම ඩිවිෂන දිගටම එහි රැඳී සිටියේ නම් මාර්න් නදී සංග්‍රාමයට එම හමුදා ද යොදවා ගත හැකි වන්නට තිබුණි.

මාර්න් නදී සංග්‍රාමය​

කෙසේ නමුත් අගෝස්තු අවසානය වන විට තමන්ට සිදු වූ පරාජයන් සමඟම ප්‍රංශ මාණ් ඩලික ප්‍රධානී ජෙනරල් ජ්‍යොෆ්‍ර සිය හමුදා පසුපසට ගත්තේය​. වර්ඩුන් කේන් ද්‍ර කරගෙන මෙම හමුදා ප්‍රතිසංවිධානය කරගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය​.

ෂ්ලීෆන් සැලැස්මට අනුව ජර්මන් හමුදා පැරිසිය ද හසුවන සේ හමුදා මෙහෙයවා ඉන් පසු එම හමුදා වැටලිය යුතු විය​. ප්‍රංශ හමුදා පසුබසිනු දුටු ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆොන් ක්ලක්ගේ පළවන ජර්මන් හමුදාව සහ ජෙනරාල් කාර්ල් ෆොන් බ්‍යුලෝගේ දෙවන ජර්මන් හමුදාව පැරිසිය වට කරනු පසෙක ලා පසු බසින ප්‍රංශයින් වටලෑමට සිය හමුදා මෙහෙයවීය​. නමුත් ඒ සමඟම​, ජර්මන් සේනාංක සිය දකුණු අත දිශාවෙන් නිරාවරණය වූහ​.

මෙම වරද ජ්‍යොෆ්‍ර විගස දුටුවේය​. මේ අනුව ඔහු සිය හමුදා එදෙසට යැවූ අතර පසු බසින හමුදාවලට ද නැවතී සටන් කරනැයි අණ දුන්නේය​. සැප්තැම්බර් මුල් සතිය නිම වෙද්දී ප්‍රංශ හමුදා ජර්මානුන්ට පහර දුන්නේ ය​.

සතියක් තිස්සේ පැවති පළමු මාර්න් නදී සංග්‍රාමය නිම වූයේ ජර්මන් හමුදාව පළවා හැරීමෙනි. පැරීසියට වූ අවදානමෙන් එය මුදවනු ලැබූ අතර යළි වසර හතරක් ගතවන තුරු පැරිසිය වැටෙනු ඇතැයි යන භීතියක් ප්‍රංශයට ඇති වූයේ නැත​.

පැරිසියට එල්ල වූ අවදානමෙන් එය මිදීම ප්‍රංශ ජාතිකයනට කෙතරම් වැදගත් වූයේද යත්, මාර්න් නදී සංග්‍රාමය "මාර්න් නදියේ ප්‍රාතිහාර්යය​" ලෙසද හඳුන්වනු ලැබේ.

අගල් යුධ ව්‍යාපාරය​

මාර්න් නදී සංග්‍රාමයෙන් පසු, බටහිර පෙරමුණෙහි යුද්ධය පැවැතියේ එකිනෙකා වටලෑමට කරන ලද උත්සාහයන් පෙළකි. එක් පාර්ශවයක් උතුරු දෙසින් හමුදා යවමින් අනෙක් පාර්ශවයේ හමුදා වටලන්නට යත්න දරද්දී අනෙක් පාර්ශවය​, ඊට උතුරින් හමුදා සේනාංක යවමින් එම හමුදා වටලන්නට උත්සාහ කළහ​. මේ අයුරින් දෙපාර්ශවය එකිනෙකා පරයන්නට කළ උත්සාහයන් නතර වූයේ උතුරු මුහුදු වෙරළෙනි. එහෙයින් මේ සටන් මාලාවට 'මුහුද කරා තරඟ දිවීම' ලෙස කියනු ලැබේ.

මෙම සටන්වලින් කිසිදු පාර්ශවයකට තීරණාත්මක ජයග්‍රහණයක් නොලැබුන හෙයින් සීත ඍතුව ආරම් භ වන විට දෙපාර්ශවය උතුරු මුහුදේ සිට ලොරේන් දක්වා වූ දිගු පෙරමුණක් දිගේ එකිනෙකාට මුහුණ දීගෙන සිටියෝය​. ජර්මන් හමුදා මෙහි ආරක්ෂිත යුධ අගල් ඉදි කළ අතර​, මිත්‍ර හමුදා ද ඊට පිළිතුරු අගල් මාලාවක් ඉදි කළහ​.

මුලින් මේවා ඉදි වූයේ තාවකාලික ආරක්ෂිත උපක්‍රමයක් ලෙසය​. නමුත්, යුද්ධාවසානය ආසන්න වනතෙක්ම බටහිර පෙරමුණෙහි යුද්ධය අර්ථ දැක්වනුයේ මෙම අගල් යුධ ව්‍යාපාරය මගිනි.

නැගෙනහිර පෙරමුණ​

බටහිර පෙරමුණේ ප්‍රංශය කෙරෙහි එල්ල වූ ජර්මන් බලපෑම මඳක් අඩු කරවන අටියෙන් නැගෙනහිර පෙරමුණෙහි සටන් ලහි ලහියේ ඇරඹීමට රුසියානුවෝ ක්‍රියා කළහ​. ඔවුනගේ මූලික ඉලක්කය වූයේ නැගෙනහිර ප්‍රශියාවයි.

රුසියානු හමුදා බොහෝ අංශවලින් ජර්මන් හමුදාවලට වඩා පසුපසින් සිටි බැව් සිහි තබාගත යුත්තේය​. රුසියානුවනට පිරිස් බලය පිළිබඳ ගැටලුවක් නොවීය​. එහෙත් ප්‍රවාහනය සහ හමුදාවේ ගුණාත්මකභාවය යන අතින් රුසියාව ජර්මනියට වඩා වූයේ පසුපසිනි. ජර්මානුන්ට සිය දුම්‍රිය මාර්ග පද්ධතිය ඔස්සේ විගස හමුදා ප්‍රවාහනය කළ හැකි විය​.

මේ අතර​, හමුදා නායකත්වය අතින් ද ජර්මානුන් ඉදිරියෙන් සිටිනු දක්නා ලදී. විශ්‍රාම ගෙන සිටි ජෙනරල් පෝල් ෆොන් හින්ඩන්බර්ග් නැවත සේවයට කැඳවූ ජර්මනිය​, ඔහු සහ ජෙනරල් එරික් ලූඩන්ඩෝර්ෆ් නැගෙනහිර පෙරමුණ වෙත යැවූහ​. මේ දෙදෙනා මෙතැන් පටන් පළමු ලෝක යුද්ධය පුරාවටම ජර්මනියේ යුධ ව්‍යාපාරය කෙරෙහි විශාල බලපෑමක් කරන්නට නියමිතව සිටියෝය​.
ටැනන්බර්ග් සටනේදී යටත් වූ රුසියානු සිරකරුවන් පිරිසක්

අගෝස්තු 26-30 අතර සිදුවූ ටැනන්බර්ග් සංග්‍රාමයේදී, රුසියානු දෙවැනි හමුදාව අතුගෑවී ගියාහ​. රුසියානු දෙවැනි හමුදාවේ 230,000 ක් සටනට එක්වූ බව සඳහන් වන අතර ඉන් 92,000 ක් සිරකරුවන් ලෙස අල්ලාගන්නා ලදී. තවද​, මියගිය හෝ තුවාල ලද හෝ පිරිස 78,000 ක් බව කියැවේ.

මෙම සටනෙන් රුසියානු දෙවැනි හමුදාව විනාශ කරන ලද මුත් රුසියානු පළමු හමුදාව තවදුරටත් නැගෙනහිර ප්‍රශියාවේ රැඳී සිටියේය​.​. ටැනන්බර්ග් ජයග්‍රහණයෙන් පසු, ජර්මන් අටවැනි හමුදාව රුසියන් පළමු හමුදාව දෙස අවධානය යොමු කළේය​​. පළමු මාසුරියන් විල් සටනේදී (First Battle of the Masurian Lakes) පළමු හමුදාව පරාජය වූ අතර එය වටලනු ලැබීමට පෙර වහ වහා පළා ගියේය​​.

සර්බියානු වික්‍රමය​

ඉතිහාසයේ ඇතැම් සිදුවීම් කෙරෙහි සාමාන්‍ය අවධානය යොමු වීම අඩුය​. බටහිර ඉතිහාසඥයින් බොහෝ දෙනකු බෙල්ජියමේ නිර්භීතකම පිළිබඳ සාකච්ඡා කළද ඔවුනට සර්බියාව නිතර මතකයට නොනැඟේ. පළමු ලෝක යුද්ධය ආරම්භයේදීම මිත්‍ර පාක්ෂික ජයග්‍රහණයක් ලෙස වාර්තා වූයේ සර්බියානුවන් විසින් තමනට වඩා ප්‍රබල ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජ්‍යයේ හමුදා පරාජය කිරීමයි.

1914 අගෝස්තු මාසයේදී චර් කඳු ගැටය අසළ සිදු වූ සටනේදී (Battle of Cer) සර්බියානු හමුදා විසින් ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා පරාජය කරන ලදී. මේ අනුව ඔස්ට්‍රියා-හන්ගේරියානුවන්ගේ පළමු සර්බියානු ආක්‍රමණය ලත් තැනම ලොප් විය​.
Battle of Cer
නැගෙනහිර පෙරමුණේ ජර්මන් හමුදා විසින් රුසියානුවනට දරුණු ලෙස පහර දීමෙන් පසු ලද ඉස්පාසුවේදී ඔස්ට්‍රියා-හන්ගේරියානුවෝ යළිත් සර්බියාව දෙසට කඩා වැදුණහ​. මෙම ප්‍රහාරයේදී ද එම හමුදා මෙහෙයවන ලද්දේ පොටියොරෙක් විසිනි. කලින් සිදු වූ පරාජය පසෙක තිබියදී ඔහු එම ප්‍රහාරය පිළිබඳ ඉතාම විශාල බලාපොරොත්තු තැබීය​.

ඔක්තෝබරය මැද භාගයේ පමණ සිට සර්බියාවට වර්ෂාව ඇද හැලුණ අතර බොහෝ මාර්ග මඩ වීමෙන් ගමනාගමනය දුර්වල විය​. සර්බියානු ෆීල්ඩ් මාර්ෂල් රඩොමීර් පුට්නික්ගේ අපේක්ෂාව වූයේ එම හමුදාවේ ඉදිරි ගමන එමගින් මන් දනය වනු ඇති බවයි. කෙසේ නමුත් ඔස්ට්‍රියා - හන්ගේරියානු හමුදාවලට පුට්නික් බලාපොරොත්තු වූ තරම් බාධාවක් වර්ෂාවෙන් එල්ල නොවීය​.

නොවැම්බර් මස මැදදී ඇරඹි ඔස්ට්‍රියා - හන්ගේරියානු ප්‍රහාරය හමුවේ සර්බියානු හමුදා පසු බැස ගිය අතර 1914 දෙසැම්බර් 2 වනදා ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා බෙල්ග්‍රේඩයට ඇතුලු වූහ​.

කෙසේ වුවද මෙය උපක්‍රමික පසුබෑමක් විය​. සර්බියානු හමුදා දෙසැම්බර් 3 වනදා වනවිට ප්‍රතිප්‍රහාර දියත් කිරීම ඇරඹූ අතර දින කිහිපයකින් ඔස්ට්‍රියා-හන්ගේරියානු හමුදා වේගයෙන් පසු බස්වන ලදී. දෙසැම්බර් මැද වනවිට ඔවුහු සර්බියාවෙන් මුලුමනින්ම පළවා හරින ලදහ​.

කළින් ලියූ ලිපි පෙළ​

පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

Saturday, November 14, 2015

ජවිපෙට කුමාර් ගුණරත්නම් අදාළ​ නැත​

ජනතා විමුක්ති පෙරමුණට​, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් හෝ අදාළ නැත​.

ජවිපෙ නායකයින් ඡන්ද අඩු වූ විට කියන්නේ තමන්ගේ ඡන්ද අඩු වුවද​, මතවාදය පැරදී නැති බවත්, විප්ලවීය පක්ෂයකට ඡන්ද ගණන එතරම් වැදගත් නැති බවත් ය​.

මැතිවරණ යනු විප්ලවීය පක්ෂයක අරගලයේ එක් සාධකයක් පමණක් බව ඔවුහු කියති.

ඒ අතරම​, ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ගණනවත් ගන්නට බැරි වූ පෙරටුගාමීන් තමන්ට අදාළ නැති වග ඔවුහූ පුන පුනා කියති.

කුමාර් ගුණරත්නම් ද තමන්ට අදාළ නැති බව ඔවුහු පුන පුනා කියති.

ටීවී වැඩසටහනක හෝ මාධ්‍ය සාකච්ඡාවක හෝ කටට උත්තරය දී අමාරුවේ දැමූ අවස්ථාවක එවැනි උත්තරයක් දීමෙන් නොනවතින ඔවුහු ප්‍රසිද්ධ රැළිවලදීද එවැනි දෑ කියති.

තමන්ට එරෙහිව නඩු මගට ගිය චිත්‍රාංගනීගේ සැමියා වර්ණනයට ගත් වචන ප්‍රමාණය හා සමාන​ වචන ප්‍රමාණයක්,ඇතැම්විට ඊටත් වඩා වැඩි වැඩි වචන ප්‍රමාණයක්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් ගැන පැවසීමට මෙවර ඉල් මහ විරු සමරුවේදී අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා යන දෙදෙනා වැය කළහ​.

ඒ කුමාර් ගුණරත්නම් ඔවුනට අදාළ නොවන බැවිනි.

එනයින් ගම්‍ය වන්නේ, ඔවුන් වැඩි කළක් මිඩංගු කරන්නේ ඔවුනට අදාළ නොවන දේ පිළිබඳ කියැවීමට වගයි.