Showing posts with label හිලරි ක්ලින්ටන්. Show all posts
Showing posts with label හිලරි ක්ලින්ටන්. Show all posts

Thursday, July 28, 2016

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත් වූ පළමු උප ජනාධිපති අපේක්ෂිකාව​

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් කෙරෙන පළමු කාන්තාව ලෙස හිලරි ක්ලින්ටන් ඊයේ ඉතිහාසයට එක් වූවාය​. ඒ එරට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස ඇය නිල වශයෙන් නම් කරනු ලැබීමත් සමඟය​.

ඇමරිකානු ඉතිහාසයේ කුඩා පක්ෂවලින් කාන්තාවන් ගණනාවක් ම ජනාධිපති ධූරය සඳහා තරඟ කර ඇත​. ප්‍රථම වරට ඇමරිකානු ජනාධිපතිවරණයකට තරඟ වැදුණ කාන්තාව වූයේ වික්ටෝරියා වුඩ්හල් ය​. ඒ 1872 දී ය​. එහෙත් ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් හෝ පක්ෂවලින් මින් පළමුව කිසිදු කාන්තාවක ජනාධිපති ධූරයට ඉදිරිපත් වී නොමැත​.

ඇමරිකාවේ උප ජනාධිපති ධූරය සඳහා වෙනමම ඡන්දයක් නොපැවැත්වෙන අතර මැතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයා විසින් සාමාන්‍යයෙන් සිය තරඟ සගයා නම් කරනු ලබයි. ඇමරිකානු ඉතිහාසය තුළ ප්‍රධාන පක්ෂ දෙකෙන් උප ජනාධිපති ධූරය සඳහා කාන්තාවන් දෙදෙනකු නම් කර තිබේ.

ප්‍රථම වරට කාන්තාවක උප ජනාධිපති ලෙස ඉදිරිපත් කළ ප්‍රධාන ඇමරිකානු පක්ෂය වූයේ ද ඩිමොක්‍රටික් පක්ෂය ය​. ඒ 1984 ජනාධිපතිවරණය සඳහා ය​. මෙසේ ඉදිරිපත් කළ අපේක්ෂිකාව වූයේ ජෙරල්ඩීන් ෆෙරාරෝ ය​. (මින් පසු 2008 දී රිපබ්ලිකන් අපේක්ෂක ජෝන් මැකේන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස සාරා පේලින් තෝරාගනු ලැබීය​).

1984 ජනාධිපතිවරණයට පෙර වැඩි වාසි තිබුණේ එවක ජනාධිපති ධූරය දැරූ රොනල්ඩ් රේගන්ට ය​. ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඔහු හා තරඟ කිරීමට තෝරාගන්නා ලද්දේ හිටපු උප ජනාධිපති වෝල්ටර් මොන්ඩේල් ය​. මොන්ඩේල් සිය උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස ෆෙරාරෝ තෝරාගත්තේය​.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ 9 වන කොට්ඨාශයේ මන්ත්‍රීවරිය ලෙස 1979-85 වසරවල ඇමරිකානු කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කළ ජෙරල්ඩීන් ගේ පියා ඉතාලියානු සංක්‍රමණිකයෙකි. මව ද ඉතාලි සංක්‍රමණිකයන් ගෙන් පැවතෙන්නියක් වූවාය​.

1984 ජනාධිපතිවරණය මොන්ඩේල් ජයගනු ඇතැයි එතරම් බලාපොරොත්තු පළ වී නොතිබුණි. ෆෙරාරෝ තරඟ බිමට ඇතුලත් වූ විගසම මොන්ඩේල්-ෆෙරාරෝ ඡන්ද ව්‍යාපාරය කෙරෙහි යම් අවධානයක් යොමු වුවද කෙටි කළකින්ම එය යටපත් විය​. විශේෂයෙන්ම ෆෙරාරෝගේ සැමියාගේ ව්‍යාපාර කටයුතු පිළිබඳ මතු කෙරුණ යම් යම් චෝදනා ඇගේ ඡන්ද ව්‍යාපාරයට ඍණාත්මකව බලපෑවේය​.

ජනාධිපතිවරණයේදී රේගන් මහජන ඡන් දයෙන් සියයට 58.8 ක් තරම් විශාල ප්‍රමාණයක් ලබා ගත් අතර මොන්ඩේල් ලබාගත්තේ සියයට 40.6 ක් පමණි. මිනෙසෝටා ප්‍රාන්තය හැරුණ විට අන් සියලු ප්‍රාන්ත රේගන් විසින් ජයගත් අතර වොෂිංටන් ඩී. සී අගනුවර දී මොන්ඩේල් ජයගත්තේය​.

බිල් ක්ලින්ටන් ජනාධිපති ධූරයට පත් වූ පසු 1993 දී ජෙරල්ඩීන් ෆෙරාරෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත් කරන ලදී. ඇය 1996 තෙක් එම තනතුරෙහි රැඳී සිටියාය​.

1935 අගෝස්තු 26 වනදා උපන් ජෙරල්ඩීන් මියගියේ 2011 මාර්තු 26 වනදා ය​.

Sunday, July 24, 2016

හිලරි ක්ලින්ටන් සිය​ උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස ටිම් කේන් තෝරාගැනීමට බලපෑ කරුණු

ඇමරිකා එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිය උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස වර්ජිනියා ප්‍රාන්ත සෙනට් සභික ටිම් කේන් තෝරාගත්තාය​.

කේන් තෝරාගැනීම සඳහා ඇයට බලපෑ හේතු කිහිපයකි. මූලික වශයෙන් කේන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් දෙපක්ෂය සමඟම එකඟත්වයෙන් කටයුතු කළ හැකි ආකාරයේ මධ්‍යස්ථ මතධාරියෙකි. එමෙන්ම වර්ජිනියා ප්‍රාන්තය සාපේක්ෂව තරමක් විශාල ප්‍රධාන සටන් බිමක් වන ප්‍රාන්තයකි. ඒ හේතුවෙන් කේන්ගේ සහභාගීත්වය වැදගත් ය​.

කේන් මිනසෝටා ප්‍රාන්තයේ ඉපිද​, කැන්සාස් සිටි හි හැදී වැඩුන​, හාර්වඩ් විශ්වවිද්‍යාලයෙන් නීතිය උගත් නීතිවේදියෙකි. කතෝලික භක්තිකයකු වන ඔහු ස්පාඤ්ඤ බස ද මනාව හසුරවයි. මෙය ලතින් ඡන්ද දායකයන් කෙරෙහි යම් බලපෑමක් කරනු ඇති බව බලාපොරොත්තු විය හැක​. කෙසේ වෙතත් ඇමරිකාවේ ලතින් ජාතිකයන්, නැතහොත් හිස්පැනික ඇමරිකානුවන්, වැඩි පිරිසක් ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත ය​.

විශේෂයෙන්ම මෙක්සිකෝව හරහා පවුරක් ඉදි කිරීම වැනි රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් අන්තගාමී අදහස් හේතුවෙන් හිස්පැනික ඇමරිකානු ඡන්ද වැඩි වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැක​.

2012 දී ද හිස්පැනික ඡන්ද විශාල වශයෙන් දිනාගත්තේ ඩිමොක්‍රටික් අපේක්ෂක බරාක් ඔබාමා ය​.

කේන්ගේ ආගමනයත් සමඟ ට්‍රම්ප් විවේචනය කරන රිපබ්ලිකානුවන් සහ මධ්‍යස්ථ මතධාරීන් තමන් වෙත නම්මවා ගැනීමට ක්ලින්ටන් බලාපොරොත්තු වනු ඇත​.

1998 දී වර්ජිනියාවේ අගනුවර වූ රිච්මන්ඩ් නගරයේ නගරාධිපති ධූරයට නගර සභිකයන් විසින් කේන් තෝරාගත් අතර ඒ වනවිට නගර සභාවේ බහුතර මන්ත්‍රීන් පිරිසක් කලු ඇමරිකානුවෝ වූහ​. 2002 දී උප ආණ්ඩුකාර පදවියට පත් හෙතෙම 2006 දී ආණ්ඩුකාර ධූරය සඳහා තරඟ කර ජය ලැබීය​. එමෙන්ම 2010 දී ඔහු ඇමරිකා එක්සත් ජනපද සෙනට් සභාවට තරඟ කර ජයග්‍රහණය කළේය​.

මෙම මැතිවරණවලදී සාමාන්‍යයෙන් රිපබ්ලිකන් පක්ෂය ප්‍රබල ප්‍රදේශවලදී ද ඔහු බලාපොරොත්තු වනවාට වඩා ඡන්ද ලබාගැනීමට සමත් වූයේය​.

හිලරි ක්ලින්ටන් මෑතදී පෙන්වා දුන් පරිදි කේන්, තමා ඉදිරිපත් වූ කිසිදු මැතිවරණයක් පරාජය වී නොමැත​.

ටිම් කේන් යනු සර්වශුභවාදියකු බවත් යම් වෙහෙසක් දැරීමෙන් ඕනෑම ගැටලුවක් විසඳාගැනීමට හැකි බව ඔහුගේ විශ්වාසය වන බවත් ක්ලින්ටන් සිය සගයා පිළිබඳ සටහන් කරමින් ප්‍රකාශ කළා ය​. තවද ජනතා සේවය තුලින් වෙනසක් සිදු කිරීමට හැකි බව ඔහු විශ්වාස කරන මූලධර්මය බව ද ඇය සිය ට්විටර් පිටුව හරහා ප්‍රකාශ කළාය​.

ඇගේ මෙම ප්‍රකාශය ඩොනල්ඩ් ට්‍රම්ප් සිය උප ජනපති අපේක්ෂකයා හඳුන්වා දුන් අවස්ථාවේ කළ කතාවට සම්පූර්ණයෙන්ම පටහැණිය​. මීට සතියකට පෙර ට්‍රම්ප් කළ එම කතාව සම්පූර්ණයෙන්ම පාහේ ඔහුගේ 'සගයා' වන පෙන්ස් පිළිබඳව නොව ඔහු පිළිබඳවම විය​.

කේන් එතරම් ප්‍රකට චරිතයක් නොවේ. නමුත් එම අර්ථයෙන් ගත් කළ මයික් පෙන්ස් ද එතරම් ප්‍රකට චරිතයක් නොවේ. පෙන්ස් රිපබ්ලිකන් පක්ෂයේ දක්ෂිනාංශයට බර පුද්ගලයෙකි. කේන් ඊට වඩා දෙපාර්ශවයේම මධ්‍යස්ථ මතවාදීන්ට ඇමතිය හැකි ආකාරයේ මැද මාවතක ගමන් කරන්නෙකි.

කේන් උප ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම කෙරෙහි ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශික​, වෙසෙසින්ම බර්නි සැන්ඩර්ස් හා එක්වූ කොටස් අතර යම් නොහොඳක් මතුවිය හැක​. ඔවුනගේ මතය අනුව කේන් ද විශාල ව්‍යාපාරිකයන් සතු බලයට එරෙහි වන්නකු නොවේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ සටන තියුණු මුහුණුවරක් ගතහොත් සැන්ඩර්ස් පාර්ශවයේ සිටි වැඩි පිරිසක් වඩා අඩු නපුර තෝරාගැනීමට ඉඩ ඇති අතර සැන්ඩර්ස් ද සිය පූර්ණ සහය මේ වනවිටත් ක්ලින්ටන් වෙත දක්වා තිබේ.