Showing posts with label ඩොනල්ඩ් ට්‍රම්ප්. Show all posts
Showing posts with label ඩොනල්ඩ් ට්‍රම්ප්. Show all posts

Sunday, July 24, 2016

හිලරි ක්ලින්ටන් සිය​ උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස ටිම් කේන් තෝරාගැනීමට බලපෑ කරුණු

ඇමරිකා එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිය උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස වර්ජිනියා ප්‍රාන්ත සෙනට් සභික ටිම් කේන් තෝරාගත්තාය​.

කේන් තෝරාගැනීම සඳහා ඇයට බලපෑ හේතු කිහිපයකි. මූලික වශයෙන් කේන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් දෙපක්ෂය සමඟම එකඟත්වයෙන් කටයුතු කළ හැකි ආකාරයේ මධ්‍යස්ථ මතධාරියෙකි. එමෙන්ම වර්ජිනියා ප්‍රාන්තය සාපේක්ෂව තරමක් විශාල ප්‍රධාන සටන් බිමක් වන ප්‍රාන්තයකි. ඒ හේතුවෙන් කේන්ගේ සහභාගීත්වය වැදගත් ය​.

කේන් මිනසෝටා ප්‍රාන්තයේ ඉපිද​, කැන්සාස් සිටි හි හැදී වැඩුන​, හාර්වඩ් විශ්වවිද්‍යාලයෙන් නීතිය උගත් නීතිවේදියෙකි. කතෝලික භක්තිකයකු වන ඔහු ස්පාඤ්ඤ බස ද මනාව හසුරවයි. මෙය ලතින් ඡන්ද දායකයන් කෙරෙහි යම් බලපෑමක් කරනු ඇති බව බලාපොරොත්තු විය හැක​. කෙසේ වෙතත් ඇමරිකාවේ ලතින් ජාතිකයන්, නැතහොත් හිස්පැනික ඇමරිකානුවන්, වැඩි පිරිසක් ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත ය​.

විශේෂයෙන්ම මෙක්සිකෝව හරහා පවුරක් ඉදි කිරීම වැනි රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් අන්තගාමී අදහස් හේතුවෙන් හිස්පැනික ඇමරිකානු ඡන්ද වැඩි වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැක​.

2012 දී ද හිස්පැනික ඡන්ද විශාල වශයෙන් දිනාගත්තේ ඩිමොක්‍රටික් අපේක්ෂක බරාක් ඔබාමා ය​.

කේන්ගේ ආගමනයත් සමඟ ට්‍රම්ප් විවේචනය කරන රිපබ්ලිකානුවන් සහ මධ්‍යස්ථ මතධාරීන් තමන් වෙත නම්මවා ගැනීමට ක්ලින්ටන් බලාපොරොත්තු වනු ඇත​.

1998 දී වර්ජිනියාවේ අගනුවර වූ රිච්මන්ඩ් නගරයේ නගරාධිපති ධූරයට නගර සභිකයන් විසින් කේන් තෝරාගත් අතර ඒ වනවිට නගර සභාවේ බහුතර මන්ත්‍රීන් පිරිසක් කලු ඇමරිකානුවෝ වූහ​. 2002 දී උප ආණ්ඩුකාර පදවියට පත් හෙතෙම 2006 දී ආණ්ඩුකාර ධූරය සඳහා තරඟ කර ජය ලැබීය​. එමෙන්ම 2010 දී ඔහු ඇමරිකා එක්සත් ජනපද සෙනට් සභාවට තරඟ කර ජයග්‍රහණය කළේය​.

මෙම මැතිවරණවලදී සාමාන්‍යයෙන් රිපබ්ලිකන් පක්ෂය ප්‍රබල ප්‍රදේශවලදී ද ඔහු බලාපොරොත්තු වනවාට වඩා ඡන්ද ලබාගැනීමට සමත් වූයේය​.

හිලරි ක්ලින්ටන් මෑතදී පෙන්වා දුන් පරිදි කේන්, තමා ඉදිරිපත් වූ කිසිදු මැතිවරණයක් පරාජය වී නොමැත​.

ටිම් කේන් යනු සර්වශුභවාදියකු බවත් යම් වෙහෙසක් දැරීමෙන් ඕනෑම ගැටලුවක් විසඳාගැනීමට හැකි බව ඔහුගේ විශ්වාසය වන බවත් ක්ලින්ටන් සිය සගයා පිළිබඳ සටහන් කරමින් ප්‍රකාශ කළා ය​. තවද ජනතා සේවය තුලින් වෙනසක් සිදු කිරීමට හැකි බව ඔහු විශ්වාස කරන මූලධර්මය බව ද ඇය සිය ට්විටර් පිටුව හරහා ප්‍රකාශ කළාය​.

ඇගේ මෙම ප්‍රකාශය ඩොනල්ඩ් ට්‍රම්ප් සිය උප ජනපති අපේක්ෂකයා හඳුන්වා දුන් අවස්ථාවේ කළ කතාවට සම්පූර්ණයෙන්ම පටහැණිය​. මීට සතියකට පෙර ට්‍රම්ප් කළ එම කතාව සම්පූර්ණයෙන්ම පාහේ ඔහුගේ 'සගයා' වන පෙන්ස් පිළිබඳව නොව ඔහු පිළිබඳවම විය​.

කේන් එතරම් ප්‍රකට චරිතයක් නොවේ. නමුත් එම අර්ථයෙන් ගත් කළ මයික් පෙන්ස් ද එතරම් ප්‍රකට චරිතයක් නොවේ. පෙන්ස් රිපබ්ලිකන් පක්ෂයේ දක්ෂිනාංශයට බර පුද්ගලයෙකි. කේන් ඊට වඩා දෙපාර්ශවයේම මධ්‍යස්ථ මතවාදීන්ට ඇමතිය හැකි ආකාරයේ මැද මාවතක ගමන් කරන්නෙකි.

කේන් උප ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම කෙරෙහි ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශික​, වෙසෙසින්ම බර්නි සැන්ඩර්ස් හා එක්වූ කොටස් අතර යම් නොහොඳක් මතුවිය හැක​. ඔවුනගේ මතය අනුව කේන් ද විශාල ව්‍යාපාරිකයන් සතු බලයට එරෙහි වන්නකු නොවේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ සටන තියුණු මුහුණුවරක් ගතහොත් සැන්ඩර්ස් පාර්ශවයේ සිටි වැඩි පිරිසක් වඩා අඩු නපුර තෝරාගැනීමට ඉඩ ඇති අතර සැන්ඩර්ස් ද සිය පූර්ණ සහය මේ වනවිටත් ක්ලින්ටන් වෙත දක්වා තිබේ.

Tuesday, July 19, 2016

රිපබ්ලිකන් පක්ෂයේ දරුණු බෙදීමක්: ප්‍රබලයෝ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරති

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති සටන අමුතුම ආකාරයේ එකකි. ජනාධිපතිවරණයේ මහජන ඡන්ද විමසීම සෑම සිව් වසරකටම වරක් නොවැම්බර් මස පළමුවැනි සඳුදාට පසුව එන පළමුවැනි අඟහරුවාදා පැවැත්වේ. කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ දෙක සහ ඇතැම් සුලු පක්ෂ සිය අපේක්ෂකයින් තෝරාගැනීම අරඹන්නේ ඊට කළින් වසරේ අවසන් මාස කිහිපයේ පටන් ය​.

මෙහිදී ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් තෝරාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවන අතර එම පක්ෂවල නාමයෝජනා බලාපොරොත්තු වන එක් එක් අපේක්ෂකයෝ ඒ සඳහා සිය වැඩපිළිවෙලවල් ඉදිරිපත් කරමින් පාක්ෂිකයන් ගේ අනුමැතිය ඉල්ලා සිටිති.

මෙම අවස්ථාවේ එක් එක් අපේක්ෂකයන් අතර වාද විවාද පක්ෂ දෙකක දේශපාලකයන් අතර වාද විවාද තරමටම තීව්‍ර වන අවස්ථා ඕනෑ තරම් ඇත​.

කෙසේ වෙතත් බොහෝ අවස්ථාවලදී මෙම මූලික වටවලදී නාමයෝජනා සඳහා අපේක් ෂකයකු තෝරා ගැනෙන අතර ඔහු වටා පක්ෂය නැවත ඒකරාශී වේ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ දී ජනාධිපති මැතිවරණ වසරකදී ජූලි මාසයේදී පමණ රිපබ්ලිකන් ජාතික සම්මේලනය පවත්වනු ලබන අතර එය පක්ෂය යළි එක් අපේක්ෂකයකු වටා ඒකරාශී කෙරෙන අවස්ථාව වේ.

ඒ සාමාන්‍ය තත්ත්ව යටතේ ය​.

මෙවර පවතිනුයේ සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මූලික ඡන්දවලදී, එනම් රිපබ්ලිකන් ප්‍රාථමික ඡන්දවලදී නිව් යෝර්ක් නුවර කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය​. මේ වනවිට ඔහුට අවශ්‍ය පමණට වඩා නියෝජිතයින් ලැබී ඇත​. එහෙත් පක්ෂ ප්‍රබලයන් රැසක් ජාතික සම්මේලනය වර්ජනය කරමින් ට්‍රම්ප්ට සිය විරෝධය පළ කිරීමට තීරණය කර ඇත​.

2012 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා වූ මිට් රොම්නි සහ 2008 අපේක්ෂකයා වූ ජෝන් මැකේන් ද , අවසන් රිපබ්ලිකානු ජනපතිවරුන් වන ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් සහ ඔහුගේ පුත් ජෝර්ජ් ඩබ්. බුෂ් මෙන්ම කොංග්‍රස් සභිකයන් රාශියක් ද ක්ලීව්ලන්ඩ් නුවර පැවැත්වෙන ජාතික සම්මේලනය වර්ජනය කරති. මේ අතර ඇමරිකානු කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කතානායක පෝල් රයන්, පාක්ෂිකයන් පිරිසක් අමතා කතාවක් පැවැත්වූ අතර, ඔහු ට්‍රම්ප් පිළිබඳ කිසිදු සඳහනක් නොකරන්නට වග බලාගත්තේය​.

මේ අතර ඔහයෝ ආණ්ඩුකාර ජෝන් කේසික් ජතික සම්මේලනය වර්ජනය කිරීම ට්‍රම්ප් පාක්ෂිකයන්ට තදින් ම වේදනා ගෙන දී ඇත​. කේසික් නාමයෝජනා සටනේදී අවසානයටම ඉවත් වූ තරඟකරුවා විය​. ජාතික මට්ටමෙන් ඔහු ජනප්‍රිය චරිතයක් නොවූවද ඔහයෝ ප්‍රාන්තයේ කේසික් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි. ජනපතිවරණ සටනේදී තීරණාත්මක සටන් බිමක් (Battleground State) වන ඔහයෝ ප්‍රාන්තයේදී ට්‍රම්ප්ට කේසික්ගේ සහය අහිමි වීම දැඩි පසු බෑමකි.

ක්ලීව්ලන්ඩ් නගරය පිහිටා ඇත්තේද ඔහයෝ ප්‍රාන්තයේ වීම තවත් විශේෂත්වයකි.

ට්‍රම්ප් පාක්ෂිකයන් කේසික්ට හතර අතට පහර දෙද්දී ඇතැම් රිපබ්ලිකානු පාක්ෂිකයෝ තවමත් ට්‍රම්ප් සිය ජනාධිපති අපේක්ෂකයා වීම වැළැක්වීමට උපරිම උත්සාහයක් දරමින් සිටිති.

Monday, July 18, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති නාමයෝජනා අහිමි වේද​?

ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනය අද දින පටන් ක්ලීව්ලන්ඩ් නුවර දී පැවැත්වේ.​. එම පක්ෂයේ 2016 ජනාධිපති සහ උප ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම පිණිස මෙම සම්මේලනය පැවැත්වේ.

සාමාන්‍යයෙන් ජාතික සම්මේලනයට පෙර පැවැත්වෙන මූලික වටයේ ඡන්ද විමසීම්වලින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කරගන්නා ලද බැවින් පසුගිය වසරවලදී ජාතික සම්මේලනය එතරම් තීරණාත්මක නොවීය​. මෙවර ද මූලික වටයේ ඡන්දවලින් රිපබ්ලිකන් පාක්ෂිකයෝ වැඩි දෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමට කැමැත්ත පළ කළහ​. ඔහුට ඒ සඳහා අවශ්‍ය අවම ජාතික සම්මේලන නියෝජිත සංඛ්‍යාව ඉක්මවා නියෝජිත සංඛ්‍යාවක් ලැබී ඇත​.
Donald Trump (Pic: Gage Skidmore)

මූලික වටයේ ඡන්ද විමසීම්වලදී එක් එක් ප්‍රාන්තවලින් එක් එක් අපේක්ෂකයාට යම් නියෝජිතයන් ප්‍රමාණයක් හිමි වේ. ජාතික සම්මේලනයේදී මේ නියෝජිතයින් ඒ ඒ අපේක්ෂකයාට ඡන්දය දීමෙන් අදාළ අපේක්ෂකයා නිල වශයෙන් තෝරාපත් කරගැනේ.

සාමාන්‍ය තත්ත්වයකදී මෙම ක්‍රියාවලිය සිදු වන අතර අවශ්‍ය අවම නියෝජිතයන් පිරිස ඉක්මවා ලබාගත් අපේක්ෂකයකු වේ නම් ඔහු හෝ ඇය හෝ පක්ෂ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වේ.

මෙවර ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ සාම්ප්‍රදායික නායකත්වය අතර ජනප්‍රිය චරිතයක් නොවීම හේතුවෙනි. ඔහුගේ අධිකතර මමත්වය සහ අන්තවාදී අදහස් හේතුවෙන් ඇතැම් පක්ෂ ප්‍රබලයින් ඔහු අප්‍රිය කරන අතර ඇතමෙක් ඔහුට ජයග්‍රහණය කළ නොහැකි බව පවසමින් ජයග්‍රාහී අපේක්ෂකයකු පත්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙති.

තවමත් අවැසි නම් ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය යටතේ තරඟ කිරීම වැළැක්වීමට එක් තුරුම්පුවක් ඇත​.

ජාතික සම්මේලනයෙදී ඡන්දය භාවිතා විය යුතු ආකාරය තීරණය කෙරෙන කමිටුවක් වේ. ඊට සාමාජිකයෝ 112 ක් අයත් වෙති. ඇමරිකාවේ ප්‍රාන්ත පනහ ද​, කොලොම්බියා දිස්ත්‍රික්කය ද​, පාලන ප්‍රදේශ (territories) පහ ද වශයෙන් ප්‍රදේශ 56 කින් එක් ප්‍රදේශයට දෙදෙනා බැගින් මෙහි වෙති. ඒ දෙදෙනා කාන්තාවක සහ පුරුෂයකු ද වේ. මෙම කමිටුව නිර්දේශ කරන අයුරින් ඡන් දය පවත්වනු ලැබේ.

මේ අනුව, අවශ්‍ය නම්, ප්‍රාථමික ඡන්ද විමසීම්වල ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම නොසලකා හැර සෑම නියෝජිතයකුටම තමන් කැමති අයුරින් ඡන් දය ලබාදීමේ අවස්ථාව ලබා දීමට ද මෙම කමිටුවට පිළිවන​. එවිට ඕනෑම දෙයක් සිදුවිය හැක​.

කමිටුවේ බහුතරය එසේ තීරණය කළහොත් අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන් නිදහස් ඡන්දයක් සම්මේලනයේදී පැවැත්වෙනු ඇත​. කමිටුවෙන් සියයට 25 - 50 අතර පිරිසක් නිදහස් ඡන්දයක් ඉල්ලා සිටියහොත් එම තීරණය ගැනීම සම්මේලන නියෝජිතයනටම පැවරේ. මේ අනුව නියෝජිතයන් 2,472 දෙනා විසින් වැඩි කැමැත්ත අනුව නිදහස් ඡන් දයකට යාම පිළිබඳ තීරණය කෙරෙනු ඇත​.

ට්‍රම්ප් විරෝධී රිපබ්ලිකන් ප්‍රබලයින් සතු එකම තුරුම්පුව මෙයයි.