Showing posts with label සිරියානු අර්බුදය​. Show all posts
Showing posts with label සිරියානු අර්බුදය​. Show all posts

Tuesday, August 2, 2016

ISIS ත්‍රස්ත නායකයෝ ඉරාකයේ මෝසුල් නගරය හැර යති

සිරියාවේ සහ ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන් සහ වෙනත් කැරලිකරුවන්ට එරෙහිව සිදු වන ප්‍රහාර තීව්‍ර වෙමින් පවතී.

ඉරානයේ සහ රුසියාවේ ආධාර ලබන සිරියානු රජයේ හමුදා සහ හිස්බුල්ලා ඇතුලු රජයේ හමුදාවලට පක්ෂ කණ්ඩායම් මීට සති දෙකකට පෙර සිරියාවේ අලෙප්පෝ (Aleppo) නගරය වටලාගත් හ​. පසුගිය ඉරිදා දිනයේදී ජායිෂ් අල්-ෆටෙහ් (Jaish Al-Fateh) සහ අල් නුස්රා (Al-Nusra) සංවිධානයන් විසින් සිරියානු හමුදා වෙත දැවැන්ත ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ එම වටලෑම බිඳ දැමීමටය​. ඒ සමඟම ප්‍රදේශයේ දරුණු සටන් ඇති වූ අතර රුසියානු ගුවන් ආධාර ද සිරියානු රජය පාර්ශවයට ලැබිණ​.

මේ අතර සඳුදා දිනයේදී මානුෂීය ආධාර බෙදීමට ගිය බව කියන රුසියානු Mi-8 වර්ගයේ හෙලිකොප්ටරයක් පහර දී බිම හෙළනු ලැබුණි. එහි ගමන් කළ පස් දෙනාම ඉන් ජිවිතක්ෂයට පත් වූහ​.
Russian Mi-8 helicopter

සිවිල් යුධ තත්ත්වය ඇරඹීමට පෙර ජනගහනය අතින් විශාලම සිරියානු නගරය වූ අලෙප්පෝවේ අදට ද දස දහස් ගණන් සාමාන්‍ය වැසියෝ දිවි ගෙවති. ඔවුනට සටන් බිමෙන් ඉවත්වීම සඳහා මානුෂීය කොරිඩෝ කිහිපයක් ස්ථාපිත කළ බව රජය මීට දින කිහිපයකට පෙර දැනුම් දුන්නේය​. නමුත් මේ වන විටත් ඉන් ප්‍රයෝජන ලබා නගරයෙන් ඉවත් වූ සිවිල් වැසියන් සංඛ්‍යාව අතලොස්සකි.

අලෙප්පෝ නගරය අල්ලා ගැනීමට හැකි වුවහොත් එය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත​.

මේ අතර නවතම වාර්තාවලට අනුව අගෝස්තු 1 වන සඳුදා රාත්‍රියේ හොම්ස් ප්‍රදේශයට ජිහාඩ් කැරලිකරුවන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී. අඟහරුවාදා දිනයේ සිරියානු ගුවන් හමුදා විසින් ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කෙරිණ​.

මේ ආකාරයෙන් වෙනත් පෙරමුණුවල සටන් හේතුවෙන් සහ ISIS ත්‍රස්තවාදීන් තවමත් ප්‍රබල ස්ථාවරයක පසු වීම නිසා පැල්මයිරා සිට රකා දෙසට එල්ල කෙරුණ සිරියානු හමුදා ක්‍රියාන්විත අඩපණ වී ඇත​. මේ අතර සිරියාවේ ISIS ත්‍රස්තයින් විසින් අල්ලාගත් විශාල ප්‍රදේශය මධ්‍යයේ පිහිටි, රජයේ හමුදා අත අදටත් පවතින ඩෙයර් එසෝර් ප්‍රදේශයට, දිගින් දිගටම ත්‍රස්ත ප්‍රහාර එල්ල වන නමුත් මේ වනවිට ද සිරියානු හමුදා සාර්ථකව එයට මුහුණ දෙමින් සිටිති.

කෙසේ වෙතත් ඉරාකයේදී ISIS ත්‍රස්තයින්ට එල්ලවන තර්ජන ඉහළ ගොස් තිබේ. නොබෝදා මෝසුල් නගරයෙන් වාර්තා වූ අන්දමට ඇතැම් ත්‍රස්ත නායකයින් නගරය අතහැර සිරියාව දෙසට පලා ගොස් ඇත​. ඉරකයේ දෙවන විශාලම නගරය වන මෝසුල් අල්ලාගැනීම සඳහා ඉරාක හමුදා සහ යුදෙව් පෙෂ්මර්ගා හමුදා සූදානම් වෙමින් සිටිති.

මේ අතර ඉරාකයේ අන්බාර් ප්‍රාන්තයේ වූ අවසන් බලකොටුවද දින කිහිපයකට පෙර ඉරාක හමුදා අතට පත් විය​.

Sunday, June 19, 2016

සිරියානු යුද්ධය​: ISIS ත්‍රස්තයින්ගෙන් ඓතිහාසික පැල්මයිරා දෙසට දැවැන්ත ප්‍රහාරයක්

ISIS ත්‍රස්තවාදීන් සිරියාවේ පැල්මයිරා පෙරමුණෙහි දී සිරියානු අරාබි හමුදාව​, එනම් සිරියානු රජයේ හමුදාව, ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාරයක් අරඹා තිබේ.

ඊයේ වනවිට සිරියානු හමුදා පැල්මයිරාවෙන් නැගෙනහිර පිහිටි අරාක් (Arak) නගරය​, අරාක් තෙල් ළිං සහ T-3 හමුදා ගුවන් තොටුපල යන ස්ථාන අල්ලාගෙන සිටියහ​. ඊයේ, එනම් ජූනි 18 වනදා, ත්‍රස්තයින් T-3 ගුවන් තොටුපල ආරක්ෂා කළ සිරියානු හමුදා වෙත සාර්ථක වාහන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් දරුණු ප්‍රහාරයක් දියත් කළහ​. එම ප්‍රහාර හමුවේ සිරියානු හමුදාවලට ගුවන් තොටුපල අතැර පසු බැසීමට සිදු විය​.

මේ අතර අරාක් තෙල් ළිං ප්‍රදේශවලට ද සටන්කාමීන් පහර දුන් අතර මේ වන විටද එම ප්‍රදේශයේ දරුණු සටන් ඇවිලෙමින් පවතී.
පැල්මයිරා පෙරමුණ, June 11. Map: Al-Masdar News

මෙම ප්‍රහාර හමුවේ තබාකා දෙසට වන සිරියානු ප්‍රහාර අඩාල වනු ඇතැයි සැක පළ වේ. මක් නිසාද යත් රුසියානු ගුවන් හමුදාවේ අවධානය වැඩිපුර පැල්මයිරා පෙරමුණ වෙත යොමු විය හැකි බැවිනි.

මේ අතර අනෙක් සටන් පෙරමුණුවලදීද ISIS සටන්කාමීන්ට එරෙහි දරුණු සටන් ඇති වෙමින් පවතී. රකා නගරයට උතුරින් වන මන්බිජ් නගරය අල්ලා ගැනීම සඳහා සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) විසින් ඊයේ තවත් ප්‍රහාරයක් අරඹන ලදී.

මේ අතර ඉරාකයේ ෆලූජා නගරය ත්‍රස්තයින් ගෙන් මුදාගත් බව ඉරාක අගමැතිවරයා ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය​. ඉදිරි දිනවල මෝසුල් ප්‍රාන්තය නිදහස් කරගැනීම කෙරෙහි ඉරාක හමුදා වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක් ෂිත ය​.

Saturday, June 18, 2016

ISIS ත්‍රස්ත විරෝධී සටන: ඉරාක හමුදා ඉදිරියටම ඇදෙති, සිරියාවේ තබාකාවලට දරුණු ගුවන් ප්‍රහාර

ත්‍රස්තවාදීන්ට එරෙහිව කෙරෙමින් පවතින සටනෙහි වැදගත් ජයග්‍රහණයක් ඊයේ ඉරාක හමුදා විසින් වාර්තා කරන ලදී. එරට හමුදා වසර දෙකක් මුලුල්ලේ ත්‍රස්තයින් ග්‍රහණයේ පැවති ෆලූජා නගර ශාලාව අල්ලාගෙන එහි ඉරාක ධජය එසවීමට සමත් වූහ​.

ෆලූජා අවට සටන් තවමත් පැවතිය ද නගරයේ රජයේ පාලන මධ්‍යස්ථානය අල්ලාගැනීම සංකේතාත්මක ජයග්‍රහණයකි.

පසුගිය දෙසැම්බරයේදී රමාදි නගරය අල්ලාගැනීමෙන් පසු ඉරාක හමුදා ලද වැදගත්ම ජයග්‍රහණය ලෙස ෆලූජා නගරයේ පාලන මධ්‍යස්ථානය අල්ලාගැනීම සැළකිය හැක​. කෙසේ වෙතත් නගරය තුළ පවතින සටන් තවදුරටත් කෙරෙමින් පවතී.

නවතම වාර්තාවලින් කියැවුනේ ඉරාක හමුදා විසින් අල්-හිට් නගරයේදී ISIS ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කොට ප්‍රධාන පෙළේ නායකයකු ඇතුලු අට දෙනකුගෙන් යුතු ත්‍රස්ත පිරිසක් ඝාතනය කල බව ය​.

මේ අතර ඉරාක හමුදාවේ 9 වන සන්නාහ සන්නද්ධ ඩිවිෂනය මේ වනවිට මෝසුල් ප්‍රාන්තයේ දකුණු දිග පිහිටි උපක්‍රමික වශයෙන් වැදගත් නගරයක් වන අල්-ෂිර්කට් නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් සඳහා සූදානම් වෙති. මෙහිදී ත්‍රස්තයින් ඉරාක හමුදා වෙත දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කරතැයි අපේක්ෂා කෙරේ.

මෝසුල් නගරය ඉරාකයේ දෙවන විශාලම නගරය වන අතර 2014 පටන් පාලනය යටතේ පවතී.

සිරියාවේ ISIS ත්‍රස්තයින්ට එරෙහි සටන්

මේ අතර සිරියාවේ රකා ප්‍රාන්තය ඔස්සේ සිරියානු හමුදාවල ඉදිරිගමන පසුගිය දින කිහිපයේ අඩාල වූයේය​. මීට බලපෑ හේතු කිහිපයකි.

ඉන් එකක් නම් ISIS සංවිධානය වෙනත් පෙරමුණුවල සිරියානු හමුදාවලට පහර දීමය​. මෙහිදී හොම්ස් නගරයෙන් නැගෙනහිර ප්‍රදේශයකට මෙන්ම ISIS ත්‍රස්තයින් විසින් වටලනු ලැබ ඇති ඩෙයර් එසෝර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාර වැදගත් වේ.

තවද රකා ප්‍රාන්තයේදීද ISIS ත්‍රස්තයෝ සිරියානු හමුදා වෙත ප්‍රහාර එල්ල කළ හ​. මේ අතරම සිය සටන් පෙරමුණට දෙපසින් එල්ල විය හැකි තර්ජන පිළිබඳ සැළකිලිමත් වීමට ද සිරියානු හමුදාවලට සිදු විය​.

කෙසේ නමුත් සිකුරාදා දිනයේදී රුසියානු ගුවන් හමුදා රකා ප්‍රාන්තයේ තබාකා ගුවන් කඳවුරට දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ හ​. සටන්කාමීන් සතු සන්නද්ධ රථ පෙළක් ද කඳවුරෙහි වූ ගොඩනැගිලි සමහරක් ද ප්‍රහාරයේ ඉලක්ක වූ බව වාර්තා විය​. ත්‍රස්තයින් සැළකිය යුතු පිරිසක් ද මෙම ප්‍රහාරවලින් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර අද දින ලැබුණ වාර්තාවලින් කියැවුණේ හිස්බුල්ලා සටන්කාමීන් ගේ විශේෂ බලකායක් ඩෙයර් එසෝර් වෙත යවන ලද බවයි.

ඉදිරි දිනවලදී සිරියානු හමුදා තබාකා දෙසට සිය සේනාංක මෙහෙයවනු ඇති බවට මෙම ප්‍රහාර අනාවැකි පළ කරයි.

මේ අතර පැල්මයිරා නගරයේ සිට නැගෙනහිරට පැමිණෙන සිරියානු හමුදා ඩෙයර් එසෝර් ඉලක්ක කරගෙන ඉදිරියට ඇදෙති. අද දිනයේද ISIS ත්‍රස්තයින් පැල්මයිරාවේ සිරියානු හමුදාවලට මරාගෙන මැරෙන ප්‍රාහරයක් එල්ල කිරීමට උත්සාහ කළ අතර එම උත්සාහය ව්‍යර්ථ කළ බැව් වාර්තා විය​.

Thursday, June 16, 2016

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිණී ජෝ කොක්ස් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රිණියක වන 41 හැවිරිදි හෙලන් ජොඈන් (ජෝ) කොක්ස් අද සවස සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගගත කිරීමෙන් පසුව මරුමුවට පත් වූවා ය​.

බටහිර යෝක්ෂයරයේ බැට්ලි ඇන්ඩ් ස්පෙන් (Batley and Spen) ආසනයේ මන්ත්‍රීවරිය ලෙස ඇය 2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමිනි. කම්කරු පක්ෂ නායකත්ව සටනේදී මුලින් ජෙරමි කෝර්බින්ට සහය දුන් ඇය ඔහු නායකත්වය සඳහා යෝජනා කළ මන්ත්‍රීවරුන් 36 දෙනා අතරද වූවා ය​. නමුත් පසු කාළීනව ඈය එම තීරණය පිළිබඳ පසු තැවෙන බව ප්‍රකාශ කළාය​.

සමාජ සේවිකාවක මෙන්ම හිටපු අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ගේ බිරිඳ ද​ වන සාරා බ්‍රවුන් සහ සාමි මන්ත්‍රීවරියක මෙන්ම හිටපු කම්කරු පක්ෂ නායක නීල් කිනොක්ගේ බිරිඳ වූ ග්ලෙනිස් කිනොක්ගේ උපදේශකවරියක ලෙස කටයුතු කර ඇති ජෝ කොක්ස් ඔක්ස්ෆෑම් සංවිධානයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත​.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සිරියානු අර්බුදයට විසඳුමක් සොයාගැනීම කෙරෙහි ඇය කැපවී ක්‍රියා කළාය​. බ්‍රිතාන්‍ය හමුදා සිරියානු අර්බුදයට මැදහත්වීමෙන් වඩා යහපත් ප්‍රතිපලයක් අත්කරගනු ලැබෙතැයි ඈ සිතුවාය​.

කම්කරු පක්ෂය තුළ බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් තිබුණු තරුණ මන්ත්‍රීවරියක වූ ඇය අනපේක්ෂිත ලෙස ඝාතනය කරනු ලැබීම සමස්ථ බ්‍රිතාන්‍යයම තුෂ්නිම්භූත කළේය​.

එක් වාර්තාවක සඳහන් වූයේ ඇයව ඝාතනය කළ තැනැත්තා "පළමුව බ්‍රිතාන්‍යය​!" (Britain First) යයි කෑ ගැසූ බවය​. සිද්ධිය ඇසින් දුටුවකු ප්‍රකාශ කර තිබුණේ ජෝ කොක්ස්ට වෙඩි තැබූ තැනැත්තා එතැනින් පිටවීමට පෙර ඇයට පා පහරක් ද එල්ල කළ බව ය​.

ජෝ කොක්ස් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු යයි විශ්වාස කළාය​. බ්‍රිතාන්‍යය ජාතිකයෝ යුරෝපා සංගමය තුළ සිටිනවාද නැද්ද යන්න පිළිබඳ  හරියටම තවත් සතියකින් පැවැත්වෙන ජනමත විචාරණයකදී තීරණය කිරීමට නියමිතය​.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත​.

ජෝ කොක්ස්ගේ මරණින් පසු නිවේදනයක් නිකුත් කළ ඇගේ සැමියා කියා සිටියේ "වෛරය විසින් ඈ මරා දැමිණ​. වෛරයට ලබ්ධියක්, ජාතියක්, ආගමක් නොමැත​" යනුවෙනි.

ජෝ කොක්ස් කුඩා දරුවන් දෙදෙනකුගේ මවක වූවාය​.

ඉරාකයේ සහ සිරියාවේ ISIS විරෝධී සටන්වල අලුත්ම තත්ත්වය​

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානයට එරෙහිව ඉරාක සහ සිරියානු හමුදා කරනු ලබන මෙහෙයුම්වලදී වැදගත් ජයග්‍රහණ කිහිපයක් ලැබීමට දෙරටෙහිම හමුදා ඊයේ සමත් වූහ​.

ඉරාක හමුදාවේ 34 වන බ්‍රිගේඩය​, හෂ්ඩ් අල්-ශාබි මිලීෂියා භටයින් සහ ෆෙඩරල් පොලිසියේ සහය ඇතිව දකුණුදිග ෆලූජා හි අල්-ෂුහාඩා දිස්ත්‍රික්කය යළි අල්ලාගත් හ​. ෆලූජා සඳහා පවතින සටන් අතරතුර ඉරාක හමුදා එම ප්‍රදේශයට ළඟා වුවද පසුගිය සතියේදී ISIS සටන්කාමීන් එම ප්‍රදේශයට යළි ඇතුලු වූහ. ඊයේ දිනයේදී ඔවුන් එම ප්‍රදේශයෙන් යළිත් පළවා හරින ලදී.

මේ අනුව ෆලූජා හි අල්-ජබේල් ප්‍රදේශය වෙත ඉරාක හමුදාවල අවධානය මේ වනවිට යොමු වී පවතී.

මේ අතර මෙම සතියේ මුල දී ඉරාක හමුදා විසින් මෝසුල් ප්‍රාන්තයේ දකුණුදිග පිහිටි ගම්මානයක බලය ISIS සංවිධානයෙන් පැහැරගන්නා ලදී. මෙය මෝසුල් නගරය දෙසට එල්ල කිරීමට බලාපොරොත්තු වන හමුදා ප්‍රහාර සඳහා වැදගත් පියවරක් ලෙස සැළකේ.

මේ අතර සිරියාවේ ISIS ත්‍රස්තයින්ට එරෙහිව සිදුවන සටන්වල වැඩි අවධානය ඩෙයර් එසෝර් ප්‍රදේශය වෙත යොමු විය​. රකා ප්‍රාන්තයේදී ISIS සංවිධානයට එල්ලවන ප්‍රහාර තීව්‍ර වූ විට සිරියානු හමුදාවල අවධානය වෙනත් අතකට යොමු කිරීම සඳහා ISIS සංවිධානය ඩෙයර් එසෝර් වෙත ප්‍රහාරයක් ඇරඹූහ​. මෙහිදී රුසියානු ගුවන් හමුදා සටන්කාමීන්ට දැඩි ප්‍රහාර එල්ල කළහ​. නමුත් ප්‍රදේශයට බලපෑ වැලි කුණාටුවක් හේතුවෙන් ගුවන් ප්‍රහාර සීමා කිරීමට සිදු වූ අතර ඊයේ එම වැලි කුණාටුව අවසන් වීමෙන් පසු නැවතත් සිය ගුවන් ප්‍රහාර ඇරඹීමට රුසියානු ගුවන් හමුදා කටයුතු කළහ​.

මේ අතර ඩෙයර් එසෝර් හි සිරියානු හමුදාවලට ප්‍රහාරයන් එල්ල කරනු ලබන දර්ශන ඇතුලත් ප්‍රචාරක වීඩියෝවක් ද මෑතකදී ISIS සංවිධානය විසින් අන්තර්ජාලයට එකතු කර තිබුණි.

ඩෙයර් එසෝර් ප්‍රදේශය සිරියාවේ නැගෙනහිරින් පිහිටි රජයේ හමුදා අත පවතින අවසන් ප්‍රදේශයයි. එය සම්පූර්ණයෙන්ම ISIS සටන්කාමීන් විසින් වටලනු ලැබ ඇත​.

Saturday, June 11, 2016

සිරියානු හමුදා තබ්කා (Tabqa) ගුවන් කඳවුර දෙසට වේගයෙන් ළඟාවෙති

ඊයේ දිනයේදී සිරියානු රජයේ හමුදා ISIS සටන්කාමීන් පළවා හැර රකා ප්‍රාන්තයේ සෆයේ (Sfaiyeh) මංසන්ධිය අල්ලාගත් හ​. සෆයේ ප්‍රදේශයේ තෙල් ළිං සහ විදුලි බලාගාරයක් ද සිරියානු හමුදා විසින් අල්ලාගන්නා ලදී. මේ අනුව තබ්කා (Tabqa) ගුවන් හමුදා කඳවුරට ළඟා වීමට සිරියානු හමුදාවනට ඇත්තේ තවත් කිලෝමීටර 20 ක් පමණි.

2014 අගෝස්තු අවසානයේදී තබ්කා කඳවුර වැටීමෙන් පසු රකා ප්‍රාන්තයට සිරියානු හමුදා ඇතුලු වූයේ පළමු වතාවටය​. පසුගිය සතියක කාළය තුළ ඔවුහු සටන්කාමීන් පසු බස්වමින් විදුලි වේගයෙන් තබ්කා කරා ඇදෙති. මේ අතර සිරියානු ගුවන් හමුදා මේ වනවිට තබ්කා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙන බව නවතම වාර්තා සඳහන් කරයි.
Raqqa Front on June 10 (Map: Al-Masdar News)

සිරියානු හමුදා වේගයෙන් ඉදිරියට යෑම හේතු කොටගෙන සලාමියා - රකා මාර්ගය කේන්ද්‍ර කරගනිමින් රකා ප්‍රාන්තය තුලට කාවැදුණ ප්‍රදේශයක් ඔවුන් අතට පත්ව ඇත​. මෙම සටන් පෙරමුණ පැත්තෙන් එල්ලවන ප්‍රහාරවලින් ආරක්ෂා කළ යුතුව ඇත්තේය​.

පසුගිය සතිය තුළ ප්‍රතිවාදී ISIS ත්‍රස්තයින් වේගයෙන් පළවා හැරීමට සිරියානු හමුදාවලට ගුවන් ප්‍රහාරවල සහය ඉතා වැදගත් විය​. විශේෂයෙන්ම කාන්තාර ප්‍රදේශවල සැඟ​ව පහරදීම් කළ නොහැකි බැවින් ISIS ත්‍රස්තයින්ට පසු බැසීම හැර වෙනත් විකල්පයක් නොවීය​.

මේ අතර ළඟ එන අනතුර හඳුනාගත් ISIS සටන්කාමීන් තබ්කා ප්‍රදේශයට අතිරේක භටයින් එවමින් සිටින බව තොරතුරු ලැබෙමින් පවතී. මෑතක දී එවන් එක් කණ්ඩායමක් නිරීක්ෂණය කළ සිරියානු ගුවන් හමුදා යානා එම කණ්ඩායමට පහර දී විනාශ කර දැම්මේය​. සටන්කාමීන් 50 ක් පමණ එම කණ්ඩායමෙහි වූ බව වාර්තා වේ.

රකා ප්‍රාන්තයේ බටහිරින් එල්ලවන සිරියානු හමුදා ප්‍රහාර මෙන්ම මන්බිජ් සහ අසාස් ප්‍රදේශවල සිරියානු විපක්ෂ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාර හේතුවෙන් ISIS ත්‍රස්තයෝ රකා ප්‍රාන්තයේදී සැලකිය යුතු අභියෝගයකට මුහුණ පා සිටිති.

කෙසේ වෙතත් නාගරික ප්‍රදේශවලදී කිනම් ආකාරයකින් ත්‍රස්තයින් මෙම අභියෝගයට මුහුණ දෙනු ඇතිදැයි පුරෝකථනය කළ නොහැක​. රහස් උමං, මර උගුල් ආදියෙන් ශක්‍තිමත් කරන ලද නාගරික ප්‍රදේශයක සටන් කිරීම කාන්තාරයේ සටන් කිරීමට වඩා බෙහෙවින් අවධානම් වනු ඇත​.