Showing posts with label කම්කරු පක්ෂය​. Show all posts
Showing posts with label කම්කරු පක්ෂය​. Show all posts

Thursday, June 16, 2016

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිණී ජෝ කොක්ස් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රිණියක වන 41 හැවිරිදි හෙලන් ජොඈන් (ජෝ) කොක්ස් අද සවස සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගගත කිරීමෙන් පසුව මරුමුවට පත් වූවා ය​.

බටහිර යෝක්ෂයරයේ බැට්ලි ඇන්ඩ් ස්පෙන් (Batley and Spen) ආසනයේ මන්ත්‍රීවරිය ලෙස ඇය 2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමිනි. කම්කරු පක්ෂ නායකත්ව සටනේදී මුලින් ජෙරමි කෝර්බින්ට සහය දුන් ඇය ඔහු නායකත්වය සඳහා යෝජනා කළ මන්ත්‍රීවරුන් 36 දෙනා අතරද වූවා ය​. නමුත් පසු කාළීනව ඈය එම තීරණය පිළිබඳ පසු තැවෙන බව ප්‍රකාශ කළාය​.

සමාජ සේවිකාවක මෙන්ම හිටපු අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ගේ බිරිඳ ද​ වන සාරා බ්‍රවුන් සහ සාමි මන්ත්‍රීවරියක මෙන්ම හිටපු කම්කරු පක්ෂ නායක නීල් කිනොක්ගේ බිරිඳ වූ ග්ලෙනිස් කිනොක්ගේ උපදේශකවරියක ලෙස කටයුතු කර ඇති ජෝ කොක්ස් ඔක්ස්ෆෑම් සංවිධානයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත​.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සිරියානු අර්බුදයට විසඳුමක් සොයාගැනීම කෙරෙහි ඇය කැපවී ක්‍රියා කළාය​. බ්‍රිතාන්‍ය හමුදා සිරියානු අර්බුදයට මැදහත්වීමෙන් වඩා යහපත් ප්‍රතිපලයක් අත්කරගනු ලැබෙතැයි ඈ සිතුවාය​.

කම්කරු පක්ෂය තුළ බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් තිබුණු තරුණ මන්ත්‍රීවරියක වූ ඇය අනපේක්ෂිත ලෙස ඝාතනය කරනු ලැබීම සමස්ථ බ්‍රිතාන්‍යයම තුෂ්නිම්භූත කළේය​.

එක් වාර්තාවක සඳහන් වූයේ ඇයව ඝාතනය කළ තැනැත්තා "පළමුව බ්‍රිතාන්‍යය​!" (Britain First) යයි කෑ ගැසූ බවය​. සිද්ධිය ඇසින් දුටුවකු ප්‍රකාශ කර තිබුණේ ජෝ කොක්ස්ට වෙඩි තැබූ තැනැත්තා එතැනින් පිටවීමට පෙර ඇයට පා පහරක් ද එල්ල කළ බව ය​.

ජෝ කොක්ස් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු යයි විශ්වාස කළාය​. බ්‍රිතාන්‍යය ජාතිකයෝ යුරෝපා සංගමය තුළ සිටිනවාද නැද්ද යන්න පිළිබඳ  හරියටම තවත් සතියකින් පැවැත්වෙන ජනමත විචාරණයකදී තීරණය කිරීමට නියමිතය​.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත​.

ජෝ කොක්ස්ගේ මරණින් පසු නිවේදනයක් නිකුත් කළ ඇගේ සැමියා කියා සිටියේ "වෛරය විසින් ඈ මරා දැමිණ​. වෛරයට ලබ්ධියක්, ජාතියක්, ආගමක් නොමැත​" යනුවෙනි.

ජෝ කොක්ස් කුඩා දරුවන් දෙදෙනකුගේ මවක වූවාය​.