Showing posts with label ඇෆ්ඝනිස්ථානය. Show all posts
Showing posts with label ඇෆ්ඝනිස්ථානය. Show all posts

Monday, September 19, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (පස් වන කොටස) - දෙවියන්ගේ සොල්දාදුවෝ

සිව් වන කොටස​: ඇමරිකාව සහ පාකිස්ථානය

ඇෆ්ඝනිස්ථානය මුලුමණින්ම පාහේ ඉස්ලාම් භක්තිකයන් වසන රාජ්‍යයකි. එයින් පහෙන් හතරක් සුන්නි මුස්ලිම්වරුන් වන අතර ඉතිරි සියයට 20 ශියා මුස්ලිම්වරු වෙති. මධ්‍යම ඇෆ්ඝනිස්ථාන් කඳුකරයේ ජීවත්වන හසාරා ජාතික ප්‍රජාව රටේ සමස්ථ ජනගහනයෙන් සියයට 20 ක් පමණ වන අතර ඔවුන් සියල්ලෝම පාහේ ශියා මුස්ලිම් ලබ්ධිකයෝ වෙති.

සෝවියට් ආක්‍රමණය ඇෆ්ඝනි මුස්ලිම්වරුන්ට වැදුන තදබල පහරක් විය​. ඇෆ්ඝනිස්ථානයේ කොමියුනිස්ට් පාලනය සිය බලය පැතිරවීමට කළ උත්සාහයේදී ඔවුනට හරහට සිටි ප්‍රධාන කණ්ඩායමක් වූයේ ඉස්ලාමීය පූජකයින් හෙවත් මුල්ලාවරුන් බව අපි කළින් ද දුටිමු.

ඇෆ්ඝන් - පාකිස්ථාන දේශ සීමාව බොහෝ ස්ථානවලදී වැටී ඇත්තේ කඳුකර පෙදෙස් හරහා ය​. එහි දෙපසම ජීවත් වන්නෝ පශ්තුන් ජාතිකයෝ වෙති. මෙම දේශසීමාව අදටත් රැකීම අපහසු දේශසීමාවකි. මෙම දේශසීමාව හරහා 1978 න් පසු විශාල පිරිසක් පාකිස්ථානය කරා පැමිණියෝය​. මුජහිදීන් ව්‍යාපාරයට අවශ්‍ය පිරිස් බලය සැපයුණේ මූලික වශයෙන්ම මේ හරහා ය​.
මුජහිදීන්වරු හෙවත් 'දෙවියන් ගේ' සෙබලු යාඥාවක් අතරතුර - 1987. Pic Erwin Lux

ඇෆ්ඝනිස්ථානයේ මුජහිදීන් (දෙවියන්ගේ සෙබලු) ව්‍යාපාර ගණනාවක් විය​. මෙයින් සමහරෙක මූලාරම්භය වූයේ ඩාවුඩ් ඛාන්ගේ වාමාංශික රජයට එරෙහිව මතු වූ ඉස්ලාමීය ව්‍යාපාරයන් ය​. සමහරෙක නායකයෝ කොමියුනිස්ට්වාදීන් බලය ඇල්ලීමටත් පෙර සිටම පිටරටවලට ගොස් සිටියහ​. මුල් කාලීනව කොමියුනිස්ට්වාදීන්ට එරෙහි අරගල ප්‍රාදේශීයව ආගමික නායකයින් සහ ඉඩම් හිමියන් විසින් නායකත්වය දෙමින් පැන නැගුණ ද ඒවාට පසු කාලීන දේශපාලනික නායකත්වය ලැබුණේ මෙම කණ්ඩායම් වලිනි.

මින් ප්‍රධාන ව්‍යාපාර හතක් සුන්නි මුස්ලිම් ආගමිකයන් ගෙන් සැදුම් ලත් අතර එම හත පසු කළෙක ඒකාබද්ධව ඇෆ්ඝනිස්ථාන මුජහිදීන්වරුන්ගේ ඉස්ලාමීය එකමුතුව (Islamic Unity of Afghanistan Mujahideen) නමින් සංවිධානය විය​. මෙම සංවිධානයට 'පෙශාවර් හත' (Peshawar Seven) සහ මුජහිදීන් හත් හවුල් සන්ධානය (Seven Party Mujahideen Alliance) යයි ද කියන ලදී. මින් හයක් මූලිකවම පශ්තුන් ජාතිකයන් ගෙන් සැදුම්ලත් අතර එකක් තජික් ජාතිකයන් ගෙන් සැදුම් ලද්දේය​. මෙම සංවිධානවලට අවි ආයුධ ඇමරිකානුවන් විසින් පාකිස්ථානය හරහා ලබා දෙන ලදී. මූල්‍යමය ආධාර ද ඇමරිකාව සහ විශේෂයෙන්ම ඇතැම් අරාබි රටවල්වලින් ගලා ආවේය​.

සුන්නි මුස්ලිම් කණ්ඩායම් හෙවත් 'පෙශාවර් හත​'

පෙශාවර් හත ලෙස ප්‍රසිද්ධ වූ සුන්නි මුස්ලිම් සංවිධානයන් පහත පරිදි වේ.

​01. ජමියත් - ඊ - ඉස්ලාමි (ඉස්ලාමීය සමාජය​) ඇෆ්ඝනිස්ථානයේ මුලින්ම ඇරඹි ඉස්ලාමීය දේශපාලන පක්ෂය ලෙස ද සළකනු ලබයි. 1968 සිට 2011 දී සිදුවූ සිය මරණය තෙක්ම මෙම පක්ෂයට නායකත්වය දෙන ලද්දේ ඉස්ලාම් දර්ශනය පිළිබඳ වියතකු වූ, කළක් ඇෆ්ඝනිස්ථාන ජනාධිපති ධූරයට ද පත් බුරනුද්දීන් රබ්බානි විසිනි. මෙම සංවිධානය තුළින්ම පැන නැගුණ ශූරා - ඊ - නසාර් (උතුරු දිග ශූරා කවුන්සිලය​) සඳහා නායකත්වය දුන්නේ 1980 ගණන්වල සිට 2001 සිදුවූ සිය මරණය තෙක්ම ඇෆ්ඝන් යුද්ධවල ප්‍රධාන චරිතයක් වූ අහමඩ් ශා මසූඩ් විසිනි.

02. හෙස්බ් - ඊ - ඉස්ලාමි (ඉස්ලාමීය පක්ෂය​) ඇෆ්ඝන් යුද්ධවල ප්‍රකට එමෙන්ම අන්තවාදී චරිතයක් වූ ගුල්බුද්දීන් හෙමටියාර් විසින් 1970 දශකයේ මැද භාගයේදී ආරම්භ කළ සංවිධානයකි. මෙයට ගිල්සායි පශ්තුන්වරුන් ගේ සහය ලැබුණ අතර පාකිස්ථානය ද හෙක්මටියාර් වෙත බොහෝ සෙයින් ආධාර​ කළේය​. වෙනත් මුජහිදීන්වරුන් සමඟ ද ගැටුම් ඇතිකරගත් සංවිධානයක් වූයේය​. 1992 න් පසු රට අරාජක වීමට හෙක්මටියාර් කෙළින්ම බලපෑවේය​.

03. හෙස්බ් - ඊ - ඉස්ලාමි (කාලිස්) යනු හෙක්මටියාර්ගේ පක්ෂයෙන් බිඳුනකි. එහි නායකයා මවුලවී යුනුස් කාලිස් විය​. මෙහි ප්‍රධාන නායකයන් අතර අබ්දුල් හක්, අමීන් වර්දක් සහ පසු කළෙක කුප්‍රකට වූ ජලාලුද්දීන් හක්කානි ද වූහ​.

04. ඇෆ්ඝනිස්ථානයේ විමුක්තිය සඳහා වන ඉස්ලාමීය එකමුතුව සාම්ප්‍රදායික ඉස්ලාමීය සංවිධානයක් විය​. මෙය ඉටිහාඩ් - ඊ - ඉස්ලාමි නමින් ද ප්‍රසිද්ධ විය. මෙහි නායකයා වූයේ අබ්දුල් රසූල් සයාෆ් ය​. පසු කළෙක පිලිපීනයේ මතුවූ අබු සයාෆ් නම් ත්‍රස්ත කල්ලිය සිය සංවිධානයට නම ලබා දුන්නේ මෙම ඇෆ්ඝන් සටන්කාමියාගේ නම ඇසුරෙනැයි ද මතයක් පවතී. සවුදි අරාබියේ ආධාර අබ්දුල් රසූල් සයාෆ් වෙත ලැබුණ අතර වහාබිවාදය පැතිරවීමට ඔහුගේ කටයුතු ඉවහල් වී යයි කියනු ලැබේ. තවද ඇෆ්ඝනිස්ථානයේ සටන් කරනු පිණිස අරාබියෙන් ස්වේච්ඡා සටන්කාමීන් ගෙන ඒමේදීද සයාෆ් වැදගත් කාර් යය භාරයක් කළේ ය​. මෙම සටන්කාමීන් 'ඇෆ්ඝන් අරාබීන්' ලෙස ප්‍රකට වූ අතර, ඒ අතුරින් පසු කළෙක වැඩියෙන්ම ලෝක ප්‍රසිද්ධියට පත් වූ තැනැත්තා ඔසාමා බින් ලාඩන් නම් වූවෙකි.
අබ්දුල් රසූල් සයාෆ් (වමේ) 1984 දී. Pic: Erwin Franzen

05. ඇෆ්ඝනිස්ථාන ජාතික ඉස්ලාමීය පෙරමුණ, සූෆිවරයකු වන අහමඩ් ගයිලානි ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය​. පෙර කී සංවිධානවලට වඩා මධ්‍යස්ථ මතධාරී සංවිධානයකි.

06. ඇෆ්ඝන් ජාතික විමුක්ති පෙරමුණ, සිබ්ගටුල්ලා මොජාඩෙඩි විසින් මෙහෙයවන ලද මධ්‍යස්ථ මතධාරී සංවිධානයක් විය​. 1992 දී ඔහු ඇෆ්ඝනිස්ථානයේ තාවකාලික ජනාධිපතිවරයා ලෙස කෙටි කළක් කටයුතු කළේ ය​.

07. ඉස්ලාමීය විප්ලවකාරී ව්‍යාපාරය හෙවත් හරාකට් - ඊ - ඉන්කිලාබ් - ඊ - ඉස්ලාමි සංවිධානය මොහොමඩ් නබි මොහොමදි විසින් මෙහෙයවන ලදී.

ශියා කණ්ඩායම්

මේ අතර ශියා මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වූ මුජහිදීන් කණ්ඩායම් ගණනාවක් විය​. මුල් කාළයේදී මෙවන් සංවිධාන 37 ක් පමණ වූ බව හෙන්රි S. බ්‍රැඩ්‍ෂර් විසින් ගණන් බලා තිබේ (Afghan Communism and Soviet Intervention, Oxford and New York, 2000​). 1979 සැප්තැම් බරයේදී පිහිටුවාගත් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලාමීය එකමුතුව පිළිබඳ විප්ලවකාරී කවුන්සිලය (ශූරා - ඊ- එන්ගෙලාබ් - ඊ - එටෙෆාක් - ඊ - ඉස්ලාමි ඇෆ්ඝනිස්ථාන්) හෙවත් ශූරා පක්ෂය ශියා කණ්ඩායම් ඒකාබද්ධතාවක් ගොඩ නැගීමට උපකාර කළේ ය​. පසු කළෙක ඉරානයේ ආභාෂය සහ ආධාර මත වර්ධනය වූ ශියා ඉස්ලාමීය සංවිධාන විසින් ශූරා පක්ෂය අඩපණ කරන ලදී. 1987 දී මෙම සංවිධාන අටක එකතුවක්  'ටෙහෙරාන් අට දෙනා' (Tehran Eight) නමින් ඒකාබද්ධ විය​. එහෙත් එම එකමුතුව වසර දෙකක් පමණ ඇතුලත වෙනම සංවිධානයක් බවට පත් වූයේය​.​ ඒ හෙස්බ් - ඊ - වහ්ඩට් - ඊ - ඉස්ලාමි හෙවත් ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය එක්සත් පක්ෂයයි (Afghanistan Islamic Unity Party).​

බටහිර රටවල සහය ලැබීම හේතුකොටගෙන 'පෙශාවර් හත​' කෙරෙහි ජාත්‍යන්තරයෙහි වැඩි අවධානයක් යොමු විය​. මේ අනුව ශියා කණ්ඩායම් කෙරෙහි ජාත්‍යන්තරයේ අවධානය යොමු වූයේ සාපේක්ෂව අඩුවෙනි. ශියා මුස්ලිම් ජනයා ප්‍රතිශතයක් ලෙස අඩු වීම ද මෙම ව්‍යාපාරවල බලපෑම සාපේක්ෂව අඩු වීමට හේතු විය​.

මේ අතරම හසාරා ජනයා විසූ මධ්‍යම කඳුකර ප්‍රදේශවල කොමියුනිස්ට් රජයේ බලපෑම එතරම් තදින් පැතිරුණේ නැත​. එම ප්‍රදේශ සමහරක් පැවතියේ ප්‍රාදේශීය පාලකයින් යටතේ පැවති ස්වාධීන ප්‍රදේශ මෙනි.

Thursday, September 15, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (තෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණය

දෙවන කොටස: ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (දෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණයට පාර කැපීම

ඒ 1838 වසර යි. එවකට ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධානතම පාලකයා වූ දෝස්ත් මුහම්මද් ඛාන් බලයෙන් පහ කර සඩොසායි පෙළපතෙහි ශා ෂුජා නැවත බලයෙහි හිඳුවීම සඳහා බ්‍රිතාන්‍යයෝ පිඹුරුපත් සකසමින් සිටියෝය​. දෝස්ත් මුහම්මද් රුසියාව සමඟ සබඳතා වර්ධනය කරගන්නා බවට බ්‍රිතාන්‍යය තුළ වූ සැකය ද මීට හේතු වූයේය​. බ්‍රිතාන්‍ය නිලධාරියකු සහ පසු කළෙක ප්‍රසිද්ධ ඉතිහාසඥයකු වූ මොන්ට්ස්ටුවර්ට් එල්ෆින්ස්ටන් මෙම සැලසුම් පිළිබඳ බෙහෙවින් විවේචනාත්මක වූයේය​. බ්‍රිතාන්‍යයට, විශාල හමුදාවක් සමඟ ගොස්, කාබුල් හි ශා ෂුජා සිංහාසනාරූඪ කිරීම එතරම් අපහසු නොවනු ඇතැයි සඳහන් කළ ඔහු, දැවැන්තම ගැටලුව වන්නේ ඔහුගේ සිහසුන රැක ගැනීම බව පෙන්වා දුන්නේය​.

"දුප්පත්, සීත​, ශක්තිවන්ත​, ඈත පිටිසර රටක, විශේෂයෙන්ම ඇෆ්ඝන්වරුන් වැනි කලහකාරී ජනතාවක් අතර, ඔහුව සිහසුනේ තබා ගැනීම කළ නොහැක්කක් බව මගේ අදහසයි. ඔබ සාර්ථක වුවද​, එයින් සිදු වන්නේ රුසියාවට සාපේක්ෂව ඔබ දුර්වල වීම ය​. ඇෆ්ඝන්වරුන් අපක්ෂපාතී වූ අතර වෙනත් ආක්‍රමණිකයකුට මුහුණ දීම සඳහා ඔබේ ආධාර ඉතා ස්තූති පූර්වකව පිළිගන්නට ඉඩ තිබිණ​. නමුත් දැන් ඔවුන් ඔබ එළවා දැමීම සඳහා ඕනෑම ආක්‍රමණිකයකුගේ උපකාරය ලබාගනු ඇත​" එල්ෆින්ස්ටන් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ඕක්ලන්ඩ් සාමි වෙත ලියා දැන්වීය​.

1979 දී සෝවියට් දේශයට සිදු වූයේ මෙයම බව කිසිදු පැකිළීමකින් තොරව කිව හැක​. සෝවියට් දේශය පළවා හරිනු වස් ඇෆ්ඝන් මුජහිදීන්වරු ඇමරිකානු ආධාර ලබාගත්තෝ ය​. නමුත් මෙහිදී ඇමරිකානුවන් වටහා නොගත් තවත් දෙයක් විය​. මුජහිදීන්වරුන් ඔවුන් සැළකූයේ අවශ්‍ය අවස්ථාවේ උපකාර කරන මිතුරකු වන තාක් කල් ඇෆ්ඝන් ජාතිකයන්ට ඇමරිකානුවන් වැදගත් විය​. එහෙත් ඔවුන් ද ආක්‍රමණිකයාගේ භූමිකාව රඟපෑමට වූ කළ ඇමරිකානුවන් හෝ රුසියානුවන් හෝ යයි කිසිදු වෙනසක් ඇෆ්ඝන් ජනතාවට නොවීය​.

එහෙයින් එල්ෆින්ස්ටන් එදා කළ අනතුරු ඇඟවීම වත්මන් ඇෆ්ඝනිස්ථානය පිළිබඳව ද ඒ ලෙසින්ම අදාළ කරගත හැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

සෝවියට් පාලකයින් කෙතරම් දුරට මෙම අවධානම පිළිබඳ අවධානය යොමු කළේද යන්න සැක සහිත ය​. මේ වනවිට ද ඇෆ්ඝන් මුජහිදීන්වරුන් සතුව ප්‍රබල අවි ආයුධ නොතිබිණ​. ඇමරිකානුවන් ඔවුනට මුලදී ආධාර කළේ ආයුධවලින් නොව සන්නිවේදන උපකරණ ආදියෙනි. එහෙයින් සිය අවි බලයෙන් මුජහිදීන්වරුන් විනාශ කළ හැකිවනු ඇතැයි සෝවියට් හමුදා අදහස් කරන්නට ඇත​.

කෙසේ නමුත් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම මගින් මතුවන ජාත්‍යන්තර තත්ත්වය සෝවියට් පාලකයින් විසින් සළකා බලන ලදී. බටහිර රටවල් මීට දැඩි සේ ප්‍රතිචාර නොදක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි නොවීය​. එහෙත් වෙනත් රටවල් ඇෆ්ඝනිස්ථානය තුළ මතුවන තත්ත්වයන් ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමේ අවදානම නොසළකා හැරීමට ද ඔවුන් කැමැති වූයේ නැත​.

1979 දෙසැම්බර් මාසය මුල් සතිය වනවිට ඇෆ්ඝන් ප්‍රශ්නය සෝවියට් නායකත්වයට වද දුන් ප්‍රධාන ගැටලුවක් විය​. දෙසැම්බරය මුලදී සෝවියට් 40 වන හමුදාව යළි ස්ථාපිත කිරීම සඳහා සෝවියට් ආරක්ෂක ඇමති මාර්ෂල් දිමිත්‍රි උස්තිනොව් විසින් උපදෙස් ලබාදෙන ලදී. දෙසැම්බර් 12 වනදා සෝවියට් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලය ඇෆ්ඝනිස්ථානයට හමුදා යැවීමේ තීන් දුව ගත්තේය​. මේ අතර පුනර්-ස්ථාපනය කරන ලද සෝවියට් 40 වන හමුදාව තුර්ක්මනිස්තාන් හමුදා දිස්ත්‍රික්කයෙහි එක් රැස් වෙමින් පැවතිණ.

මේ වනවිට ද ඇෆ්ඝනිස්ථානය තුළ කුඩා සෝවියට් හමුදා කණ්ඩායම් සහ කේ.ජී.බී. නියෝජිතයන් රැඳී සිටියෝය​. නමුත් දෙසැම්බර් 24 වනදා සෝවියට් දේශය ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමඟම 5000 ක පමණ කේ.ජී.බී සහ වෙනත් විශේෂ ඒකකවල පිරිස් ඇෆ්ඝනිස්ථානය වෙත​ ගුවනින් එවන ලදී. ඔවුන් සමහරෙක් පැමිණියේ සෝවියට් තානාපති කාර්යාලය ආරක්ෂා කරන මුවාවෙනි.
සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම (ඇමරිකානුවන් විසින් සැකසූ සිතියමකි)

මේ අතර දෙසැම්බර් 25 වනදා වන විට සෝවියට් 40 වන හමුදාව ගොඩබිම් මාර්ග ඔස්සේ ඇෆ්ඝනිස්ථානය වෙත ඇතුලු විය​.

ඔවුන් බලාපොරොත්තු වූයේ සති කිහිපයක හෝ මාස කිහිපයක යුද්ධයක් විනා, දස වසරක් තිස්සේ සිය හමුදා විනාශයට ගෙන යන දීර්ඝ යුද්ධයක් නොවේ.

Operation Storm-333 (මාරුතය-333 මෙහෙයුම​)

සෝවියට් දේශය මේ වනවිටත් ජනාධිපති ආමීන් ඉවත් කිරීමට තීරණය කර තිබුණි. ඒ සඳහා ඔවුන් විසින් දියත් කෙරුණ මෙහෙයුම 'මාරුතය තුනයි තුනයි තුන​' ලෙස නම් කෙරිණ​.

සම්පූර්ණ මෙහෙයුමට ගත වූයේ විනාඩි 43 කි.

සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයට ඇතුලු වන අවස්ථාවේ ජනාධිපති හෆිසුල්ලා ආමීන් වැඩි ආරක්ෂාව පතා කාබුල් නුවර පැරණි රජ මාලිගයක් වූ ටාජ්බෙග් මාලිගය කර ගියේය​. සෝවියට් සේනාංක ඔහුට එරෙහි වනු ඇතැයි ඔහු ඒ අවස්ථාවේ බලාපොරොත්තු නොවූ බව සඳහන් වේ.

සෝවියට් බල ඇණි කාබුල් නගරය බාහිර ලෝකය සමඟ සම්බන්ධ වූ දුරකථන මාර්ග කපා දැම්මෝය​. මේ අතර මාරුතය​-333 ක්‍රියාත්මක කිරීමට සියල්ල සැකසිණ​.

මාරුතය-333 සඳහා සහභාගී වූයේ කේ.ජී.බී. විශේෂ සේනාංක දෙකක් (ඇල්ෆා ඒකකයේ ග්‍රොම් හෙවත් 'අකුණු සැරය​' කණ්ඩායමේ 24 දෙනෙක් සහ සෙනිත් කණ්ඩායමේ 30 ක්), 345 වන වාසර මුරභට රෙජිමේන්තුව (345 Guards Airborne Regiment) සහ 154 වන ස්පෙට්ස්නාස් (සෝවියට් විශේෂ බලකා) බැටෑලියනය ය​. මෙම අවසානයට සඳහන් කළ බැටෑලියනය මධ්‍යම ආසියානු භටයින් ගෙන් සදුම්ලත් අතර එහෙයින් "මුස්ලිම් බැටෑලියනය​" යයි ප්‍රසිද්ධ විය​. ඇෆ්ඝන් නිල ඇඳුම් ඇඳවූ විට එම සෙබලුන් දිස් වූයේ ඇෆ්ඝන් සෙබලුන් ලෙස ය​.

මෙම මෙහෙයුම ඇෆ්ඝන් ප්‍රහාරයක් ලෙස හුවා දැක්වීමට මෙම "මුස්ලිම් බැටෑලියනය" උපකාර වූ අතර ආමීන් ගේ විරුද්ධවාදීන් පිරිසක් ද මෙහෙයුමට සම්බන්ධ විය​. හිටපු ජනාධිපති නූර් මුහම්මද් තරාකිගේ සමීපතමයකු වූ ද ආමීන් බලයෙන් පහ කිරීමට ඔහු හා කුමන්ත්‍රණය කළ අයගෙන් කෙනෙකු ද වූ සයෙඩ් මොහොමඩ් ගුලබ්සෝයි ද ඒ අතර විය​.
ටාජ්බෙග් මාලිගය - Tracy Hunter (Wikimedia Commons)

"සෑම සන්නද්ධ රථයකම ඇල්ෆා කණ්ඩායමේ කිහිප දෙනෙකුත්, අණ දෙන නිලධාරියාත්, රියැදුරෙක් සහ තුවක්කුකරුවකු සිටි අතර ඊට අමතරව ඇෆ්ඝන් ජාතිකයන් ද වුණා. මගේ රථයේ මීළඟ ඇෆ්ඝන් ආරක්ෂක ඇමතිවරයා සිටියා. මම ඔහුව ආරක්ෂා කිරීම මගේ සෙබළෙකුට පැවරුවා. කුමක් වුවත් මොහුගේ ජීවිතය ආරක්ෂා විය යුතුයි යනුවෙන් මම ඒ සෙබළාට උපදෙස් දුන්නා" ඇල්ෆා කණ්ඩායමේ අණදෙන නිලධාරී ඔලෙග් බැලෂොව් RT රූපවාහිනිය සමඟ 2009 දී කියා සිටියේය​.

සෝවියට් සේනාංක ටාජ්බෙග් මාළිගය වෙත ළඟා වෙද්දී එහි සිටි සෙබලු ඔවුනට වෙඩි තැබීමට වූහ​. මාළිගයේ වහලයෙන් එල්ල වූ වෙඩි ප්‍රහාර මෙහිදී විශාලම තර්ජනය විය​. මෙම ප්‍රහාරය ඉතා දැඩි වූ අතර සෝවියට් සෙබලුන් ගණනාවකට තුවාල සිදු විය​. එහෙත් හෙල්මට් සහ වෙඩි නොවදින කබා හේතුවෙන් බොහෝ දෙනාගේ දිවි ගැලවුණ අතර සතුරු ප්‍රහාර මැද ඔව්හු මාළිගයට ඇතුලු වූහ​​. සටනේදී මිය ගිය ආමින් ගේ ආරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත අගයක් සඳහන් නොවන නමුත් එම අගය සියයකට වැඩි ය. ප්‍රහාරකයින් ගෙන් සැඟවීමට ආමීන් ගත් උත්සාහය ව්‍යර්ථ වූයේය​. ඔහු ඝාතනය කරන ලදී. ඔහුගේ එකොළොස් වියැති පුත්‍රයා ද වෙඩි උණ්ඩ කැබලිවලින් ලත් තුවාල හේතුවෙන් මිය ගියේය​.

ආමීන් ඝාතනය කිරීමෙන් පසු සෝවියට් දේශය විසින් බලයට පත් කරන ලද්දේ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පර්චම් පිළෙහි බබ්රක් කර්මාල් ය​. සෝවියට් හමුදා දස දහස් ගණනින් ඇෆ්ඝනිස්ථානය වෙත ඇදෙමින් තිබිණ​. සෝවියට් ක්‍රමයේ ආණ්ඩුවක් බලයට පත්කර සෝවියට් උප රාජ්‍යයක් ලෙස ඇෆ්ඝනිස්ථානයෙහි බලය පැතිරවීමට මොස්කව් හි නායකයෝ කල්පනා කළ හ​.

කෙසේ වෙතත් ඒ සඳහා තව බොහෝ දුර යා යුතු විය​.

Tuesday, September 13, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (පළමු කොටස​) - ප්‍රථම ජනරජය බිඳ වැටීම​

ඇෆ්ඝනිස්ථානය වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අස්ථාවර​, අවි ගැටුම්වලින් ගහණ රටක් ලෙස ය​. 1978 පටන් එක දිගටම පවතින විවිධ අවි ගැටුම් හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය හෙම්බත් වී සිටියි. අදින් පටන් ගන්නා මෙම ලිපි පෙළ මගින් වත්මන් ඇෆ්ඝන් අවිගැටුම්වල ඉතිහාස පිළිබඳ සොයා බැලීමට අපි අදහස් කරන්නෙමු.

ඇෆ්ඝනිස්ථානයට බටහිරින් ඉරානය ද​, නැගෙනහිරින් පකිස්ථානය ද වන අතර උතුරින් උස්බෙකිස්ථානය, තුර්ක්මනිස්ථානය සහ තජිකිස්ථානය වෙයි. 1978 දී උතුරින් පැවතියේ සෝවියට් දේශයයි. එවකට සෝවියට් සමූහාණ්ඩු වූ තජිකිස්ථානය, තුර්ක්මනිස්ථානය සහ උස්බෙකිස්ථානය අද ස්වාධීන රාජ්‍යයන් ය​.

ඇෆ්ඝනිස්ථානය වර්තමානයේ මිලියන 32 ක පමණ ජනගහනයක් වාසය කරන රටකි. මෙයින් ආසන්න වශයෙන් සියයට 40 කට මඳක් වැඩිපුර සිටින්නෝ පශ්තුන් ගෝත්‍රිකයෝ වෙති. ටජික් ජාතිකයින් සියයට 25 ක් පමණ සිටින අතර උස්බෙක් ජාතිකයින් සියයට 8 ක් පමණ ද හසාරා සහ වෙනත් ජාතීන් කිහිපයක ජනයා ද එහි වසති. පශ්තුන්වරුන් වැඩිපුර ජීවත් වන්නේ රටේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල ය​. ටජික් ජාතිකයෝ සහ උස්බෙක්වරු රටේ උතුරට වන්නට ප්‍රමුඛ වෙති. එමෙන්ම බටහිර පකිස්ථානයේ කඳුකර පෙදෙස්වල ද පශ්තුන් ගෝත්‍රිකයෝ වාසය කරති. මෙය පසු කාලීනව ඇෆ්ඝන් ඉතිහාසය කෙරෙහි දැඩි බලපෑමක් කළ බව ද මෙහිදී සිහිපත් කළ යුතු ය​.
ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්ථානයේ පශ්තුන්වරුන් වසන ප්‍රදේශ​

මෙම ජන සංයුතිය ඇෆ්ඝනිස්ථානය පිළිබඳ ඕනෑම අධ්‍යයනයකදී වැදගත් සාධකයකි. ඇෆ්ඝනිස්ථානය යනු ගමනාගමනය දුෂ්කර​, කඳුකර රටකි. එහෙයින් එකම ජනවර්ගයේ වුවද ප්‍රාදේශීය උප කණ්ඩායම් එකිනෙකාගෙන් ස්වාධීන වීමට කැමති අතර මධ්‍යම ආණ්ඩු සිය කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම නොරුස්සති.

ඇෆ්ඝනිස්ථානයේ වත්මන් යුද්ධයට පාර කැපුනේ 1978 සිදු වූ කුමන්ත්‍රණයෙනි. එයට අවශ්‍ය පසුබිම 1973 කුමන්ත්‍රණයෙන් පසු බිහිවූ පළමු ඇෆ්ඝන් ජනරජය සමයේ ඇති විය​.

1973 දී ඇෆ්ඝනිස්ථානයේ පාලකයා වූයේ මොහොමඩ් සහීර් ශා රජු ය (රාජ්‍ය සමය 1933 - 73)​. එම වසරේ ජූලි 17 වනදා, ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉතාලියට ගොස් සිටියදී ඔහුගේ ඥාති සහෝදරයකු මෙන්ම හිටපු අගමැතිවරයකු ද වූ මොහොමඩ් ඩාවුඩ් ඛාන් එරට බලය අල්ලා ගත්තේය​. ඒ සඳහා ඔහුට සෝවියට්  දේශයට සමීප වාමාංශික පක්ෂයක් වූ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවදී පක්ෂයේ (People's Democratic Party of Afghanistan - PDPA) සහය ද ලැබුණි.
මොහමඩ් සහීර් ශා රජු 1930 දශකයේදී

රජ පවුලට නෑකම් කියූ හෙයින් ඔහුට ද රජවීමේ හැකියාවක් තිබුණ ද ඩාවුඩ් ඛාන් එතෙක් පැවති පාලන ක්‍රමය වෙනස් කරමින් ඇෆ්ඝනිස්ථානය ජනරජයක් බවට ප්‍රකාශ කළේය​. ඔහු මුල් කාළයේ සෝවියට් දේශයට වඩා සමීප වූ පාලනයක් ගෙන ගිය අතර PDPA පක්ෂය ද එහිදී වැදගත් තැනක් ගත්තේය​. කෙසේ නමුත් පසු කලෙක ඩාවුඩ් ඛාන් සහ පක්ෂය අතර විරසකයන් ඇති වන්නට විය​. තවද පක්ෂයේ ද පර්චම් සහ ඛල්ක් නම් පිල් දෙක අතර බෙදීම වර්ධනය විය.

පර්චම් පිළ වඩා නාගරික සාමාජිකයන් අතර ජනප්‍රිය වූ අතර ඔවුනගේ අදහස වූයේ කෙමෙන් කෙමෙන් සමාජවාදය කරා ගමන් කළ යුතු බවය​. ඛල්ක් පිළ වඩා වේගවත් සමාජවාදී වැඩපිළිවෙලක් බලාපොරොත්තු විය​. එම පිළෙහි වූ වැඩි දෙනා ග්‍රාමීය පෂ්තුන් ගෝත්‍රිකයන් විය​.

1978 අප්‍රේල් 17 වනදා පර්චම් පිළේ ප්‍රකට සාමාජිකයකු වූ මීර් අක්බාර් ඛයිබර්ගේ ඝාතනය ඇෆ්ඝන් ජනරජයේ අවසානයට මග විවර කළේය​. ඇතැම් අය එම ඝාතනය කරවන ලද්දේ PDPA පක්ෂයේම ඛල්ක් පිළ විසිනැයි අදහස් කළ ද වැඩි දෙනා රජය දෙසට එම ඝාතනය පිළිබඳ ඇඟිල්ල දිගු කළහ​​. ඔහුගේ අවමඟුල අවස්ථාවේදී PDPA පාක්ෂිකයෝ රජයට එරෙහි විශාල උද්ඝෝෂණයක් කළ හ​. රජය මින් තැති ගත් අතර PDPA නායකයින් අත් අඩංගුවට ගැනීමට පියවර ගත්තේය​. නමුත් එම පියවර එතරම් වේගයෙන් ක්‍රියාත්මක නොවී ය​. ඛල්ක් පිළෙහි ප්‍රමුඛයකු වූ හෆිසුල්ලා අමීන් නිවාස අඩස්සියට පත් වූ අතර ඔහු එහි සිට තමන්ට පක්ෂ හමුදා ඛණ්ඩවලට රජය පෙරළීම සඳහා අවශ්‍ය උපදෙස් යැවීමට සමත් විය​.

1978 අප්‍රේල් 27 වනදා බ්‍රහස්පතින්දාවකි. එදින උදේ වරුවේ කාබුල් අන්තර්ජාතික ගුවන් තොටුපලෙහි වූ හමුදා සේනාංක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ඇරඹීය​. කෙමෙන් කෙමෙන් රජයට පක්ෂ හමුදා පසු බස්වන ලදී. ගුවන් හමුදාවට අයත් යානා කිහිපය ද යොදා ගනිමින් රජයට පක්ෂ සේනාංකවලට පහර දෙනු ලැබුණි. අප්‍රේල් 28 වනදා උදෑසන වනවිට ජනාධිපති ඩාවුඩ් ඛාන් සහ ඔහුගේ පවුලේ අය ඝාතනයට ලක් විය​. කොමියුනිස්ට්වාදී PDPA පක්ෂය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා ගත්තෝය​. පර්ශියානු දින දර්ශනයෙහි දෙවන මාසය හෙවත් සවුර් මාසයේ මෙම විප්ලවය සිදු වූ හෙයින් මෙයට සවුර් විප්ලවය (Saur Revolution) යයි ද කියනු ලැබේ.
නූර් මුහම්මද් තරාකි

නව රජය විසින් ඇෆ්ඝනිස්ථානයේ නිල නාමය ඇෆ්ඝනිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වෙනස් කරන ලදී. නූර් මුහම්මද් තරාකි නව ජනාධිපතිවරයා වූ අතර හෆිසුල්ලා අමීන් විදේශ ඇමතිවරයා විය​. මෙම රජයට ඛල්ක් සහ පර්චම් යන දෙපිළෙහිම අය අයත් වූහ​.

කෙසේ නමුත් වැඩි කල් නොගොසින්ම රජය ඇතුලත බල අරගල මෙන්ම රාජ්‍ය විරෝධී ජනතා නැගිටීම් ද ඇෆ්ඝනිස්ථානය අස්ථාවර කිරීමට පටන් ගත්තේය​.