Thursday, March 18, 2021

අභ්‍යවකාශයේ "ඇවිද ගිය" මුල්ම මිනිසා

අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා කවරෙකුදැ යි ඇසුවොත් පාසැල් සිසුවෙකු වුණත් යූරි ගගාරින් යන නම මතකයට නගනු නිසැක යි. නමුත්, අභ්‍යවකාශයේ "ඇවිද ගිය" පළමු මිනිසා කවරෙකුදැ යි ඇසුවහොත් එම ප්‍රශ්නයට පිළිතුර බොහෝ දෙනකු දන්නේ නැහැ. පළමු වරට අභ්‍යවකාශයේ දී, තම අභ්‍යවකාශ යානයෙන් පිටතට පැමිණි (එනම් අභ්‍යවකාශයේ ඇවිද ගිය​) පුද්ගලයා වූයේ ද සෝවියට් වැසියෙක්. අලෙක්සේයි අර්හීපොවිච් ලියෝනෆ් ඔහුගේ නම යි.

වොස්ක්හොද්-2 (Voskhod-2) අභ්‍යවකාශ මෙහෙයුමෙන් අභ්‍යවකාශගත වූ ලියෝනෆ්, 1965 මාර්තු 18 වනදා, විනාඩි 12කුත් තත්පර 9ක් අභ්‍යවකාශ යානයෙන් පිටත රැඳී සිටියා.

1975 දී පළමු සෝවියට් සහ ඇමරිකන් ඒකාබද්ධ මෙහෙයුම වූ ඇපලෝ-සයූස් මෙහෙයුම සඳහා ලියෝනෆ්, සෝවියට් අජටාකාශගාමීන්ගේ නායකයා ලෙස ක්‍රියා කළා. මෙහි දී එම යානා දෙක එකිනෙක සම්බන්ධ වීම සිදුවුණා.

ලියෝනෆ් 1970-1991 සමයේ සෝවියට් අභ්‍යවකාශගාමී පුහුණු මධ්‍යස්ථානයේ උප ප්‍රධානියා ලෙස කටයුතු කළා. විශ්‍රාම ගිය පසු විවේක සුවය විඳින අතර ඔහු චිත්‍ර ශිල්පය වෙත ද යොමු වුණා. ලියෝනෆ් එහි දී ද ප්‍රධාන වශයෙන්ම අභ්‍යවකාශය පාදක කරගත් චිත්‍ර ඇඳීමට යොමු වුණා.

අභ්‍යවකාශ වැඩපිළිවෙල සඳහා 1960 දී තෝරාගන්නා ලද, යූරි ගගාරින් ඇතුළු සෝවියට් ගුවන් නියමුවන් 20 දෙනෙකුගේ පළමු කණ්ඩායමට ලියෝනෆ් ද අයත් වුණා. ඔහු එම පිරිසගෙන් කැපී පෙනෙන අයෙකු වූ බව සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙලෙහි ප්‍රධානී සර්ගේයි කොරොලොෆ් සහ​ රොකට් විද්‍යාඥයකු වූ බොරිස් චර්තොක් ඇතුළු සෝවියට් අභ්‍යවකාශ ව්‍යාපෘතියට සම්බන්ධ ව සිටි අය සඳහන් කර තිබෙනවා. එහෙයින්ම ඔහුව පළමු අභ්‍යවකාශ ඇවිදීම සඳහා තෝරාගනු ලැබුණා.


මෙම ගමන මුලින් සැලසුම් කළේ වොස්ක්හොද්-1 මෙහෙයුමේ දී සිදුකිරීමට යි. එහෙත්, පසුව එය වොස්ක්හොද්-2 මෙහෙයුමට කල් දමනු ලැබුණා.

වොස්ක්හොද්-2 මෙහෙයුම සඳහා අජටාකාශගාමීන් දෙදෙනෙකු සූදනම් වුණා. ලියෝනෆ්ගේ සගයා වූයේ පාවෙල් බෙල්යායෙෆ් නම් අභ්‍යවකාශගාමියා යි. ඔහු යානය මෙහෙයවීමට අමතරව යම් අපහසුතාවක් වූයේ නම් ලියෝනෆ්ට යළි යානයට පැමිණීමට උපකාර කිරීමට ද සූදානමින් සිටියා. ලියෝනෆ් විසින් කරන්නට නියමිත වූයේ කිසිවකුත් මින් පෙර නොකළ දෙයක් බැවින්, එය කෙසේ සිදු වේදැ යි සියයට සියයක් නිවැරදි අනාවැකි පළ කිරීමට ක්‍රමයක් වූයේ නැහැ.

වොස්ක්හොද්-2 යානාය රැගත් රොකට්ටුව 1965 මාර්තු 18 වනදා බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වුණා. ලියෝනෆ් අභ්‍යවකාශයේ දී යානයෙන් පිට වූයේ මීටර 5.3ක් දිග පටියකින් එය සමග සබඳතාව තබා ගනිමින්. මෙම අවස්ථාවේ දී ඔහුගේ අභ්‍යවකාශ ඇඳුම පිම්බෙන්නට වූයෙන් ඔහුට සිය චලනයන් සිදුකිරීම අපහසු වුණා. බෙල්යායෙෆ්ගේ සහායෙන් විනාඩි 12කට පසු ඔහු යළි යානය වෙත පැමිණියා.


ආපසු පෘථිවියට පැමිණෙද්දී යානයේ ස්වයංක්‍රීය ගොඩබැස්වීමේ පද්ධතිය ක්‍රියාවිරහිත වූයෙන් බෙල්යායෙෆ්ට එය ගොඩබස්වන්නට සිදුවුණා. ගොඩබිමෙහි යමෙකුට හානියක් නොවන ලෙස ඌරල් කඳුකරයෙහි උතුරු දෙසට යානය වැටෙන්නට දුන් බෙල්යායෙෆ්, ලියෝනෆ් ද සමග පැරෂුට් මඟින් පෘථිවියට ළඟා වුණා.

ඔවුන්ගේ වීරක්‍රියා (එහෙමත් නැත්නම් ඔවුන් මුහුණ දුන් අකරතැබ්බයන්) එතැනින් කෙළවර වූයේ නැහැ. ඔවුන් ගොඩබැස්සේ ජනශුන්‍ය පෙදෙසකට යි. ඔවුන් සතු සන්නිවේදන උපකරණ ද ක්‍රියා විරහිත වූයෙන් දින දෙකක් ඔවුනට කඳුකර පෙදෙසෙහි ගත කිරීමට සිදුවුණා. ඔවුන් සතුව වූයේ අභ්‍යාවකාශ ඇඳුම් පමණයි. කඳුකරයේ සීතලේ මෙසේ දෙදිනක් ගෙවූ පසු ඔවුන්ව බේරාගනු ලැබුණා.

3 comments:

  1. Spacewalk (2017) ලෙස මෙය චිත්‍රපටයට නගා තිබෙනවා. ආතර් සී ක්ලාර්ක් ඔහුගේ 2010 නවකථාවේ ලියනොෆ් ගේ චිත්‍රය ගැන සඳහන් කරනවා. +++++

    ReplyDelete
  2. ඔහුගේ තමා රුසියානු සදගමනයට තෝරාගත් පුද්ගලයා , පළමු අභ්‍යවකාශයේ ඇවිදීම මෙන්ම නැවත පෘතුවිය වෙත පැමිණීමේදී ඔහු ක්‍රියාකළ ආකාරය නිසා ඔහුව තොරගත්තාලු .

    ReplyDelete