Wednesday, June 8, 2016

සිරියානු කුර්දි-අරාබි SDF හමුදා මන්බිජ් නගරයට ඇතුලු වෙති

ඇමරිකානු ආධාර ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සංවිධානය අද දින ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාම් රාජ්‍යය (Islamic State of Iraq and Syria - ISIS) ත්‍රස්තයින් අත පවතින මන්බිජ් නගරයට පළමු වරට ඇතුලු විය​.

ISIS ත්‍රස්තයින් විසින් එල්ල කෙරුණු දරුණු ප්‍රතිප්‍රහාර මධ්‍යයේ SDF හමුදා පසු බැස ගියෝය​. නමුත් ISIS සංවිධානය යටතේ පවතින මන්බිජ් නගර ප්‍රාන්තරයන් දිගටම SDF හමුදා අතට පත්වෙමින් පවතී.

මන්බිජ් නගරයේ සිටින ත්‍රස්තයින් මේ හේතුව නිසා කොටුවීමේ අවධානමකට ලක්ව ඇත​.

මේ අතර මන්බිජ් වෙත එල්ලවන ප්‍රහාර හේතුකොටගෙන සටන්කාමීන්ට අසාස් යුධ පෙරමුණෙන් පසු බැසීමට බලකරන ලදී. මේ වනවිට අසාස් නගරයට දකුණින් වන ප්‍රදේශ රැසක් ජයිෂ් අල්-මුජහිදීන් නම් කැරලිකාර කණ්ඩායම අතට පත්ව ඇත​.

මන්බිජ් හි රැඳී සිටින ත්‍රස්තයින් ගේ මීළඟ පියවර කුමක් වේදැයි තවමත් පැහැදිලි නැත​. ඔවුන් අවසන් සටන්කාමියා තෙක් සටන් වැදීමට තීරණය කළහොත් නගරය අල්ලාගැනීම SDF හමුදාවලට එතරම් පහසු නොවනු ඇත​.

කෙසේ වෙතත් යුධ පෙරමුණෙන් ලැබෙන වාර්තාවලින් කියැවෙන්නේ මන්බිජ් වෙත ඕනෑම මොහොතක SDF හමුදා කඩා වැදීමට ඉඩ ඇති බවය​.

මේ අතර රකා ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශ ඔස්සේ සිරියානු රජයේ හමුදා ද දිගින් දිගටම සටන්කාමීන් පසු බස්වමින් ඉදිරියට එමින් සිටිති.

නැගෙනහිර සිරියාවෙහි රජයේ හමුදා අත පවතින දෙයර් එසෝර් ප්‍රදේශය වටලාගෙන සිටින ත්‍රස්ත කණ්ඩායම්වලට පහරදීමට සිරියානු හමුදා සහ ඔවුනගේ මිතුරන් නව මෙහෙයුමක් අරඹා තිබේ. රුසියානු ගුවන් ආධාර සහිතව සිරියානු හමුදා 137 වන කාලතුවක්කු බ්‍රිගේඩය​, හිස්බුල්ලා සටන්කාමීන් සහ ප්‍රාදේශීය ගෝත්‍රික හමුදා මෙසේ දෙයර් එසෝවලින් නිරිතදිග ප්‍රදේශයට පහර දී උපක්‍රමික වශයෙන් වැදගත් උස්බිමක් අල්ලාගත් හ​.

හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂ ඡන්ද සටනින් ජය ප්‍රකාශ කරයි

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙහි ප්‍රාන්ත හයක ඩිමොක්‍රටික් පක්ෂ මූලික වටයේ තරඟ ඊයේ පැවත්වන ලදී.

මෙම තරඟවල ප්‍රතිපලය ලෙස සෙනට් සභික හිලරි ක්ලින්ටන් සිය ප්‍රතිවාදියා වූ බර්නි සැන්ඩර්ස් පරාජය කොට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා දිනාගන්නා තැනට පත්ව සිටියි.

සඳුදා දිනයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කළේ ක්ලින්ටන් පක්ෂ සම්මේලනයට තෝරා පත්කරනු ලබන නියෝජිතයන් ගෙන් 2,383 ක් දිනාගෙන ඇති බවය​. නාම යෝජනා ලබාගැනීමට අවශ්‍ය අවම නියෝජිත සංඛ්‍යාවද 2,383 කි.

නමුත් මෙම පුවත් වාර්තාව පිළිබඳ සැන්ඩර්ස්ගේ ආධාරකරුවන් එතරම් පැහැදීමකට පත් වූයේ නැත​. මෙම පුවත් වාර්තාව ඡන්ද විමසීමට කෙතරම් බලපෑමක් කළේද යන්න කිව නොහැක​.

කෙසේ වෙතත් ඊයේ පැවති තරඟවලින් නිව් ජර්සි, නිව් මෙක්සිකෝ, දකුණු ඩැකෝටා සහ කැලිෆෝර්නියා ප්‍රාන්තවල ජය ක්ලින්ටන්ට ලැබී තිබේ. සැන්ඩර්ස් දිනාගත්තේ මොන්ටානා සහ උතුරු ඩැකෝටා පමණි.

ඇමරිකා එක්සත් ජනපදයේ විශාලම ජනගහනයක් වසන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ සටන ජයගැනීම කෙරෙහි සැන් ඩර්ස් විශාල බලාපොරොත්තු තැබූ නමුත් ඔහු එම සටනින් පරාජය විය​.
Pic: AFP

උතුරු ඩැකෝටා ප්‍රාන්තයේදී ඡන්ද 253 ක් (64.21%) සැන් ඩර්ස් ලැබූ අතර ක්ලින්ටන් ඡන්ද 101 ක් (25.63%) ලැබීය​. 40 දෙනකු ඡන්දය දුන්නේ නැත​. මේ අතර මොන්ටානාවලදී සැන්ඩර්ස් ඡන් ද 63,168 ක් (51.05%) ලැබීය​. ක්ලින්ටන් ඡන්ද 55,194 ක් ලබාගත් අතර 5,364 දෙනෙක් දෙදෙනාටම කැමැත්ත නොදැක්වූහ​.

නිව් ජර්සි ප්‍රාන්තය මුලින්ම ප්‍රතිපල නිකුත් වූ ප්‍රාන්තය වූ අතර එහිදී ඡන් ද සංඛ්‍යාවෙන් සියයට 63.26 ක් ක්ලින්ටන් විසින් දිනාගන්නා ලදී. දකුණු ඩැකෝටාවේදී ක්ලින්ටන් 51.03% ඡන් ද දැබූ අතර නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේදී සියයට 51.5 ක් ඡන් ද දිනාගත්තාය​.

අද දින ඡන්ද ප්‍රතිපල නිකුත්වන අතරවාරයේදී ජනාධිපති බැරක් ඔබාමා ක්ලින්ටන් අමතා ඇයට සුබ පැතුවේය​. මේ අතර හෙට දින ඔහු සැන්ඩර්ස් මුණගැසීමට නියමිතය​.

Miss USA ලෙස තේරී පත් වූ පළමු හමුදා නිලධාරිණිය

ඇමරිකා එක්සත් ජනපදයේ Miss USA 2016 තරඟය ජයග්‍රහණය කිරීමට 26 හැවිරිදි ඩෙෂෝනා බාබර් සමත් වූවාය​.

ඇය කොළොම්බියා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වූවාය​. එක්සත් ජනපදයේ තරඟය සඳහා ප්‍රාන්ත පනහෙන් සහ කොළොම්බියා දිස්ත්‍රික්කයෙන් තරඟකාරිය බැගින් ඉදිරිපත් වේ.

තරඟයේ දෙවන ස්ථානය හවායි දූපත් හි චෙල්සි හාඩින් ද තෙවනි ස්ථානයෙ ජෝර්ජියා ප්‍රාන්තයේ එමානි ජොවාන් ඩේවිස් ද දිනාගත් හ​.

1952 සිට මෙම වසර දක්වා කොළොම්බියා දිස්ත්‍රික්කයෙන් Miss USA ජයග්‍රාහිකාවන් තිදෙනකු වාර්තා වී ඇත​. ඩෙෂෝනාගේ විශේෂත්වය වූයේ ඇය Miss USA තරඟය ජයගත් පළමු හමුදා නිලධාරිණිය වීමය​.

එක්සත් ජනපද හමුදාවේ ස්වෙච්ඡා නිලධාරිණියක වන ඇය එරට වාණිජ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ විශ්ලේෂකවරියක ලෙස සේවය කරයි.

බාබර් පමණක් නොව ඇගේ පවුලේ මව​, පියා, සහෝදරයා සහ සහෝදරිය ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවය කර ඇත.

තරඟය අවස්ථාවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඩෙෂෝනා පවසා සිටියේ රට වෙනුවෙන් යුධ බිමට ගිය අය පිළිබඳ දැනට වඩා අවධානය යොමු විය යුතු බවය​.

Tuesday, June 7, 2016

ඇමරිකානු ජනපති සටනේ තීරණාත්මක නිව් ජර්සි (New Jersey) ප්‍රාන්ත​ ඡන්ද විමසීම ඇරඹේ

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ සටනේ මූලික වටයේ ඡන්ද විමසීමෙහි (primaries) තවත් වටයක් අද පවත්වනු ලබයි.

මේ අනුව අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30 ට නිව් ජර්සි ප්‍රාන්තයේ මූලික වටයේ ඡන්ද විමසීම් ආරම්භ විය​. මෙරට වෙලාවෙන් හෙට උදෑසන 5.30 ට (නිව් ජර්සි වේලාවෙන් රාත්‍රී අටට​) ඡන්ද විමසීම අවසන් වනු ඇත​.

අද දින ඡන්ද පවත්වන අනෙක් ප්‍රාන්ත පහ වන්නේ කැලිෆෝර්නියා, මොන්ටානා, නව මෙක්සිකෝ, උතුරු ඩැකෝටා සහ දකුණු ඩැකෝටා ය​.

මෙම ප්‍රාන්ත පහ රටෙහි මැද හෝ බටහිර (පැසිෆික්) වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති අතර නිව් ජර්සි පිහිටා ඇත්තේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතවය​. එහෙයින්, නිව් ජර්සි ප්‍රාන්ත ප්‍රතිපල අනෙක් ප්‍රාන්තවලට පෙර ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිව් ජර්සි ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනය සඳහා නියෝජිතයන් 126 ක් තෝරාගනු ලබයි. ඩිමොක්‍රටික් පක්ෂයේ තරඟය පවතින්නේ හිලරි ක්ලින්ටන් සහ බර්නි සැන්ඩර්ස් අතරය​. ක්ලින්ටන්ට නියෝජිතයන් 2,383 ක සහය ලැබී තිබෙන බව අද දින ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කළේය​. ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාමයෝජනා දිනාගැනීමට අවශ්‍ය අවම නියෝජිතයන් ගණනද 2,383 වේ. එහෙයින් ක්ලින්ටන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගනු ඇතැයි බලාපොරොත්තු පළවී අවසන් ය​.

මේ හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ මූලික වටයේ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ පක්ෂය තුළ ඡන්ද සටන අවසන් වනු ඇතැයි විශ්වාසය පළවී ඇත​.

සිරියාව​: ISIS ත්‍රස්තවාදීන් රකා ප්‍රාන්තය ඔස්සේ දිගටම පසු බසී (සිතියම් සහ වීඩියෝ)

සිරියානු හමුදා ප්‍රහාර මධ්‍යයේ ISIS ත්‍රස්තවාදීහු සලාමියා - රකා (Salamiyah - Raqqa) මහා මාර්ගය ඔස්සේ තවදුරටත් පසු බසිමින් සිටිති.

එරට වේලාවෙන් සඳුදා රාත්‍රිය වනවිට සිරියානු හමුදා තබ්කා මංසන්ධියට (Tabqa Crossroad) කිලෝමීටර 5 ක් නුදුරින් සිටියෝය​. එතැන් සිට තබාකා වෙත ඇත්තේ තවත් කිලෝමීටර 31 ක් පමණි.

2014 දී ISIS ත්‍රස්තයින් රකා ප්‍රාන්තය හරහා සිරියානු හමුදා පසු බස්වද්දී එහි රජයේ හමුදාවල අවසන් කඳවුර ලෙස ඉතිරි වූයේ තබ්කා ගුවන් කඳවුරයි. 2014 අගෝස්තු මස අවසන් සතියේ සටන්කාමීන් එය අල්ලාගත් අතර එහිදී ජීවග්‍රහයෙන් අල්ලාගන්නා ලද සිරියානු සෙබලුන් 250 දෙනකු පොළවේ එකදිගට දිගා කොට ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරන ලදී.
රකා ප්‍රාන්තයේ තත්ත්වය, ජූනි 6 රාත්‍රිය​. සිතියම Al-Masdar News

සිරියානු හමුදාවේ 555 වන රෙජිමේන්තුව​​, 4 වන යාන්ත්‍රික බලකා ඩිවිෂනය සහ 'කාන්තාරයේ උකුස්සෝ' (Desert Hawks - Suqur al-Sahara) මිලීෂියා බල ඇණිය තබාකා දෙසට එල්ල වන මෙම නවතම ප්‍රහාරය දියත් කරති. සිරියානු 555 වන රෙජිමේන්තුව සිය හමුදා මෙහෙයුම් දැක්වෙන වීඩියෝවක් ද මෑතකදී නිකුත් කළේය​.

සිරියානු ප්‍රහාර හේතුවෙන් අලෙප්පෝ නගරයට නැගෙනහිරින් මස්කනා තැනිතලා ප්‍රදේශයේ සිටින ISIS සටන්කාමීන් අපහසු තත්ත්වයකට පත්ව සිටිති. රකා නගරය සහ ඔවුන් අතර සැපයුම් මාර්ග අවහිර වීමේ තර්ජනය මීට හේතුවයි. තවද​, රකා නගරයට උතුරින් ක්‍රියාත්මකවන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සංවිධානයේ මෙහෙයුම් හේතුවෙන් මෙම සැපයුම් මාර්ග වැසීයාමේ අවදානම වැඩි වී ඇත​.

ඉරාකයේ ෆලූජා සහ මෝසුල් ප්‍රදේශවල ද සිරියාවේ රකා ප්‍රදේශයේද එකවිට සිදු කෙරෙන හමුදා මෙහෙයුම් හේතුවෙන් මේ වනවිට ත්‍රස්තයින් සැලකිය යුතු තර්ජනයකට මුහුණ දී සිටිති. කෙසේ වෙතත්, ISIS විරෝධී කණ්ඩායම්වල එකමුතුභාවය පිළිබඳ ඇතැම් විශ්ලේෂකයෝ සැක පළ කරති. විශේෂයෙන්ම SDF සංවිධානය බොහෝ කොටම සිරියානු කුර්දි සංවිධානයක් වීමත් ඔවුන් සිරියානු හමුදාවලට ද එරෙහි වීමත් මෙම අසමගිකම් පිළිබඳ එක් උදාහරණයකි. ඉරාකයේ මෝසුල් නගරබද පෙදෙස්වල ක්‍රියාත්මක වන කුර්දි පැෂ්මර්ගා සෙබලුන් සහ ඉරාක හමුදා අතරද එතරම් සමගියක් නැත​.

කෙසේ වෙතත් සිරියාවේදී නම් ඇමරිකානු සහ රුසියානු ගුවන් හමුදා යම්කිසි එකඟතාවයකින් යුතුව යුධ කටයුතු කරගෙන යන බවක් දක්නට ඇත. රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළ පරිදි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ ඇමති සර්ගේයි ලැව්රොව් සිරියාවේ යුධ මෙහෙයුම් පිළිබඳ දුරකතනය ඔස්සේ සාකච්ඡා කර තිබේ. SDF සංවිධානය ඇමරිකානු ආධාර ලබන අතර සිරියානු හමුදා රුසියානු ආධාර ලබයි.

Monday, June 6, 2016

ඇන්ජෙලා මර්කල් එකොලොස්වන වරටත් ලොව බලවත්ම කාන්තාව ලෙස තෝරාගනු ලබයි

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ෆෝර්බ්ස් සඟරාව මගින් තෝරනු ලබන ලොව බලවත්ම කාන්තාවන් ලැයිස්තුවෙහි ප්‍රථම ස්ථානය පිට පිටම හයවැනි වරටත් දිනාගෙන තිබේ.

ලෝ ප්‍රකට ඇමරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝර්බ්ස් සඟරාව 2004 සිට සෑම වසරකම ලොව බලවත්ම කාන්තාවන් සියය නම් කරයි. මෙතෙක් අවස්ථා 11 කදීම මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත්තේ ඇන්ජෙලා මර්කල් ය​.

මෙවර ලැයිස්තුවෙහි දේශපාලන නායිකාවන් 12 දෙනෙක් ද​, ප්‍රධාන විධායක නිලධාරිණියන් 32 ක් මෙන්ම බිලියනපතිණියන් එකොලොස් දෙනෙක් ද වෙති.

ලොව බලවත්ම කාන්තාවන් සියය අතුරින් ලාබාලතම තැනැත්තිය වන්නේ 43 හැවිරිදි මරිස්සා මේයර් ය​. ඇය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරයි. වඩාත්ම වයසින් වැඩි තැනැත්තිය දෙවන එලිසබෙත් රැජිණ ය​.

චීන ජාතික කාන්තාවන් 9 දෙනකු මෙවර ලයිස්තුවේ සිටීම විශේෂත්වයකි. චීනයේ අලි බබා සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක වන ලුසි පෙන්ග් මින් ඉදිරියෙන්ම සිටින තැනැත්තියයි. ඇයට සමස්ථ ලැයිස්තුවේ 35 වන ස්ථානය හිමි ව තිබේ.

ඇන්ජෙලා මර්කල්ට පසු දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටිනුයේ ඇමරිකානු කාන්තාවන් දෙදෙනෙකි. ඒ පිළිවෙලින් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරාගැනීමේ වැඩි ඉඩක් ඇති හිලරි ක්ලින්ටන් සහ ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ (Federal Reserve Bank) අධිපති ජැනට් යෙලන් ය​.

ISIS සටන්කාමීන් ප්‍රධාන නගරයක් රැක ගැනීමේ දැඩි වෑයමක​

"ඉස්ලාම් රාජ්‍යය​" ලෙස තමන්ව හඳුන්වා ගන්නා සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය (Islamic State of Iraq and Syria -ISIS) සිරියාවේ මන්බිජ් නගරය (Manbij City) ආරක්ෂා කර ගැනීම සඳහා දරුණු සටනක නිරතවන බව වාර්තා වේ.

ඇමරිකානු ආධාර ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික පෙරමුණේ (Syrian Democratic Forces - SDF) හමුදා මන්බිජ් නගරය අසළ ගම්මාන රැසක් අල්ලාගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිති. පසුගිය පැය 24 ක කාළය තුළ ඔවුන් විසින් ගම්මාන දහයක් පමණ අත්පත් කරගෙන තිබේ. මේ අතර මන්බිජ් නගරයට කිලෝමීටර 5 ක් දකුණෙන් වන කබීර් අල්-කබීර් ගම්මානය ද නගරයට උතුරින් පිහිටි ඩඩාට් නම් ගම්මානය ද වේ.

මේ අතර සටන්කාමීන් උතුරින් පිහිටි අසාස් යුධ පෙරමුණේ සිටින භටයින් එදෙසින් මන්බිජ් දෙසට එවමින් සිටින බව වාර්තා වේ. මන්බිජ් නගරය සංවිධානයට අහිමි වුවහොත් අසාස් (Azaz) ප්‍රදේශයේ සිටින සටන්කාමීන් කොටු වීමට සහ තුර්කිය සහ සංවිධානයේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශය අතර මාර්ගය වැසී යාමට ඉඩ ඇති හෙයින් එම නගරය රැක ගැනීම ඔවුනට අත්‍යාවශ්‍ය කරුණක් වී ඇත​.

මේ අතර වෙතත් සටන් පෙරමුණුවල ද සටන්කාමීන්ට දැඩි අභියෝග එල්ලවෙමින් පවතී.

රකා ප්‍රාන්තයට (Raqqa Governorate) සිරියානු හමුදා සිකුරාදා දිනයේ ඇතුලු වූ අතර සති අන්තයේ ඔවුනට දරුණු ප්‍රහාරවලට මුහුණ දීමට සිදු විය​. එම ප්‍රහාර මධ්‍යයේ තමන් අල්ලාගත් ඇතැම් ප්‍රදේශවලින් සිරියානු හමුදාවලට පසු බැසීමට සිදු වූ නමුත් ඉරිදා වනවිට නැවතත් එම ප්‍රදේශ අල්ලා ගැනීමට සිරියානු හමුදා සමත් වූහ​.

මේ අතර ලිබියාවේ සිර්ටේ නගරයට දකුණින් පිහිටි ගුවන්තොටුපලක් සටන්කාමීන් ගෙන් නැවත ලබාගැනීමට ලිබියානු හමුදා සමත් වූහ​.

ඉරාකයේ ෆලූජා දෙසට මෙහෙයුම්වල නිරත වන ඉරාක හමුදා මේ වනවිට ෆලූජා නගරයේ දකුණු මායිම දෙසට පැමිණ සිටිති. ෆලූජා නගරය අසළ 400 දෙනකු පමණ මරා වළ දැමූ සමූහ මිනීවලක් සොයා ගැනීමට ඉරාක හමුදා සහ සහායක මිලීෂියා කණ්ඩායම්වලට හැකිවී තිබේ. ඔවුන් විවිධ චෝදනා මත මරාදමන ලද සිවිල් වැසියන් වන බව සැළකේ.